විසිවැනි සංශෝධන යෝජනාවට සෑම පැත්තකින්ම පාහේ විරෝධය මතුවුණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක අගමැතිවරයකු මේ හරහා නිර්මාණය කිරීමට යන බවට මත ගොඩනැගුණි. විධාය

ක ජනපති, විධායක අගමැති ධුරය යනාදී වචනම දේශපාලන විද්‍යාවේ සරල සිද්ධාන්තවලින් ගත්ත ද වැරැදි සහගතය. එය පසුගියදා ඇතිවූ කොටියා-දිවියා සංවාදය හා සමානය. මෙතැන තිබෙන්නේ අප පාවිච්චි කරන භාෂාවේ සමහර වචනවල වෙනසකි. එහෙත් සංකල්පීය වශයෙන් ගත්විට මෙතැන ලොකු ප්‍රශ්නයක් තිබේ.

1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්විට එය උත්කර්ෂයට නැංවීමට එ.ජා.ප. ය විධායක ජනාධිපති යනුවෙන් වචනයක් එකතු කළේය. එයට හේතුව ඒ වනවිටත් නාම මාත්‍රික ජනාධිපතිවරයකු 1972 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී තිබීමය. විධායක ජනාධිපතිවරයකු කියා කෙනෙකු නැත. සිටින්නේ ජනාධිපතිවරයෙකි. විධායක ජනාධිපති ක්‍රමය නමින් ක්‍රමයක් ඇත්තේම නැත. තිබෙන්නේ ජනාධිපති ක්‍රමයයි. ලංකාවේ ඇත්තේ අර්ධ ජනාධිපති ක්‍රමයකි. එ.ජා.ප.ය මෙය උත්කර්ෂයට නැංවීමට විධායක වචනය යොදා ගත්ත ද වාමාංශිකයන් එම වචනය යොදාගන්නේ මෙම ධුරය නරක බව පෙන්වීමටය. විධායක ජනාධිපති යන වචන ඇසුණු විට ඉතා දරුණු සාධකයක් වශයෙන් හැඟෙන්නේ ඒ නිසාය.

එහෙත් එවන් තත්ත්වයක් සැබෑවටම නැත. ලංකාවේ තිබෙන්නේ අර්ධ ජනාධිපති ක්‍රමයකි. ඇමෙරිකාවේ තිබෙන්නේ පූර්ණ ජනාධිපති ක්‍රමයකි. ජනාධිපති පවත්වන්නේ වෙනම ඡන්දයකිනි. ව්‍යවස්ථාදායකය පත්වන්නේ තවත් ඡන්දයකිනි. ඒ දෙක අතර සම්බන්ධයක් නැත. ව්‍යවස්ථාදායකයේ බලය තිබුණා හෝ නැතිවුණා කියා ජනාධිපතිගේ ධුරය අහිමි කිරීමක් වන්නේ නැත. ඉන්දියාවේ, එංගලන්තයේ තිබෙන්නේ සහ 1978 දක්වා ලංකාවේ පැවැතියේ පාර්ලිමේන්තු ආකෘතියකි. නැති නම් කැබිනට් ක්‍රමයයි. ඡන්දයකින් පාර්ලිමේන්තුව පත්වන අතර එහිදී බහුතර බලය හිමිවන කණ්ඩායම විධායකය පාලනය කිරීම මෙම ක්‍රමයේදී සිදුවනු ඇත. ආණ්ඩුව බවට පත්වන්නේ එම කණ්ඩායමය. ලංකාවේ පවතින්නේ මේ ක්‍රම දෙකේ මිශ්‍රණයක් බව ඕනෑම කෙනකුට වැටහෙන්නකි.

ජනාධිපති පත්වන්නේ වෙනම ඡන්දයකිනි. එහෙත් විධායකය පරිපූර්ණත්වයට පත්වීමට නම් කැබිනට් මණ්ඩලයක් අවශ්‍යය. ඒ කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පක්ෂයෙනි. ලංකාවේ ආණ්ඩුවක් බිහිවන්නේ මේ දෙකේ එකතුවෙනි. එහෙත් ඇමෙරිකාවේ ආණ්ඩුව යනුවෙන් හඳුන්වන්නේ ජනාධිපති සහ ඔහුගේ කණ්ඩායමටය. එයට පාර්ලිමේන්තුව සම්බන්ධයක් නැත. ඉන්දියාවේ, එංගලන්තයේ නැති නම් 1978ට පෙර ආණ්ඩුව යනුවෙන් හැඳින්වූයේ පාර්ලිමේන්තුවේ වැඩිබලය හිමි කණ්ඩායමටය. ලංකාවේ ආණ්ඩුව යනු එක ඡන්දයකින් පත්වන ජනාධිපතිත් වෙනම ඡන්දයකින් පත්වී පාර්ලිමේන්තු බලය හිමිකරගෙන සිටින කණ්ඩායමේ බහුතර බලය හිමි අය එක්වී බිහිකරන පාලනයයි. මේ අනුව මෙරට ඇත්තේ මිශ්‍ර ක්‍රමයකි. අර්ධ ජනපති ක්‍රමයකි.

කැසකවන්නේ මේ ක්‍රමය වෙනස් කිරීමටය. ලංකාවේ පවතින අර්ධ ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමයක් ඇතිකරගත යුතුද නැද්ද යන්න මෙතැන තිබෙන ප්‍රශ්නයයි. එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නැත. දැන් පවත්නා ජනාධිපති ක්‍රමයට එරෙහිව තර්ක ගණනාවක් මතුව තිබේ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීම ඉන් එකකි. ඇමෙරිකාවේ ඇත්තේ පූර්ණ ජනපති ක්‍රමයකි. ප්‍රංශයේ ඇත්තේ අර්ධ ජනපති ක්‍රමයකි. එංගලන්තයේ තිබෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයකි. මේ රටවල් තුනම ප්‍රජාතන්ත්‍රවාදීය. එනිසා ජනාධිපති ක්‍රමය කුමන ක්‍රමයකින්වත් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුවැඩිවීමට සම්බන්ධ නැත. ඒ අනුව ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී නැත. එනිසා අලුතෙන් වෙනත් ක්‍රමයකට යාමේ වුවමනාවක් නැත.

එහෙත් අපේ රටේ ප්‍රශ්නයක් තිබේ. 1978 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ අර්ධ ජනාධිපති ක්‍රමය අත්තනෝමතික බලයෙන් යුක්ත වූ බව ඇත්තකි. ඒ මොහොතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තිබුණි. ඒ අවස්ථාවේ ජනපති ජේ.ආර්. ට ජනපති ක්‍රමයක් හඳුන්වා නොදුන්නත් ඔහුට හයෙන් පහක බලයක් පාර්ලිමේන්තුවේ හිමිවීම නිසා හැසිරෙන්නේද පූර්ණ බලය ඇති ආකාරයටය. ඊට පෙර තුනෙන් දෙකේ බලයක් තිබූ සිරිමාවෝ හැසිරුණේ ද ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙනි. ලංකාවේ ජනාධිපති අත්තනෝමතික ඉතාම බලසම්පන්න කෙනකු වන්නේ එක් විශේෂ අවස්ථාවක් ඇති වුවොත් පමණි. එනම් ජනාධිපතිවරයාගේ පක්ෂයටම පාර්ලිමේන්තු බහුතරය හිමිවූ අවස්ථාවකය. එසේ නොවන සෑම අවස්ථාවකම පත්වන ජනාධිපතිවරයකුම නාමමාත්‍රික වනු ඇත.

හොඳම උදාහරණය අද මේ රටේ පවතින තත්ත්වයයි. වත්මන් ජනාධිපතිවරයා දුර්වල බව බොහෝ විට කියැවෙන්නකි. වත්මන් ජනාධිපතිවරයා පත්ව සිටින තත්ත්වයට ඔහු නොව ජේ.ආර්, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, ආර්. ප්‍රේමදාස යන ඕනෑම කෙනකු පත්ව සිටියත් මීට වඩා වෙනස් තත්ත්වයක් ඇති වන්නේ නැත. මෙතැන දුර්වල වත්මන් ජනාධිපතිවරයා නොවේ. ජනාධිපති ධුරයයි. ජනාධිපති ධුරයේ යථාස්වභාවය එයයි. 2001 සිට 2004 දක්වා ජනපතිව සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගය. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු බලය තිබුණේ එජාපයටය.

එතැනදී ආණ්ඩුව බවට පත්වූයේ එජාපයයි. චන්ද්‍රිකා කුමාරතුංග නාමමාත්‍රික, දුර්වල ජනපතිවරියක වූවාය. ව්‍යවස්ථාව අනුව රටේ යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීමේ බලය හිමි ජනපතිටය. සටන් විරාමයක් සම්බන්ධ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ ද ජනාධිපතිටය. එහෙත් එදා ප්‍රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කළේ ජනාධිපති චන්ද්‍රිකා නොව අගමැති රනිල් වික්‍රමසිංහය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය නීති විරෝධීය. ජනාධිපති කොතරම් නාමමාත්‍රික වූවා දැයි මෙයින් තහවුරු වනු ඇත. විධායක කිය කියා මේ ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නත් වත්මන් ජනාධිපතිවරයාගෙන් ප්‍රකට වන්නේ එම ධුරයේ සැබෑ ස්වභාවයයි. ජනාධිපති ධුරයට මේ ජනාධිපති ක්‍රමය යටතේ පාර්ලිමේන්තු බලය අහිමි වුවොත් එම ධුරය ඉතාමත්ම දුර්වල චරිතයක් බවට පත්වනු ඇත. මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ නොව සරත් ෆොන්සේකා මෙතැනට ගෙනැවිත් තැබුවත් මීට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වන්නේ නැත. කවුරු කුමක් සිතා සිටිය ද මේ ක්‍රමය යටතේ, මේ ආකෘතිය යටතේ තීරණාත්මක සාධකය වන්නේ පාර්ලිමේන්තු බහුතරයයි.

පවතින වාතාවරණය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතාට යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැක. එනිසා ඔහුට අවශ්‍ය කෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට පුළුවන. එසේ කර මහින්ද මහතාට පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට හැකි වුවොත් පාර්ලිමේන්තු බලය මත මේ ආණ්ඩු ක්‍රමය පවත්වාගෙන යන්නට පුළුවන. ඒ අනුව දැනටත් මේ ආකෘතිය මවා පෙන්වන ආකාරයේ මහා අත්තනෝමතික ක්‍රමයක් නොවේ. එවැනි යම් යම් බලතල පැවතිය ද ඒවා 19 වැනි සංශෝධනයෙන් සෑහෙන දුරකට වෙනස්වී තිබේ. මේ පසුබිම යටතේ බලන විට මේ ක්‍රමය වෙනස් කිරීමේ ප්‍රායෝගික හෝ සිද්ධාන්තමය අවශ්‍යතාවක් නැත.

ජනාධිපති ධුරය තිබීමෙත් ප්‍රශ්නයක් නැත. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට නිරන්තරයෙන්ම හඬ නගන්නෝ වාමාංශිකයෝය. 1978 ව්‍යවස්ථාව ඉදිරිපත්වීමෙන් පසුව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පොත් පිංචක් රචනා කළේය. යම් ආණ්ඩුක්‍රම ආකෘතියක් යම් රටක දිගුකලක් තිස්සේ ක්‍රියාත්මක වූවා නම් එය විප්ලවීය ලෙස පරිවර්තනය නොකළ යුතු බවත් තිබෙන ආකෘතිය ඉදිරියට ගෙන යා යුතු බවත් එහි එක් තැනක සඳහන්ය. ඔහු ඒ අවස්ථාවේ තර්ක කළේ පාර්ලිමේන්තු ක්‍රමයෙන් අර්ධ ජනපති ක්‍රමයට යනවාට විරුද්ධවය. එදා ඔහු ගොඩනැගූ තර්කය අද මතුව ඇති තත්ත්වයට හොඳින්ම ගැළපෙන්නකි. ලංකාවේ වැඩිම කාලයක් ක්‍රියාත්මක වී ඇත්තේ 1978 ආණ්ඩු ක්‍රමයයි. වසර 40ක් දැනට එය ක්‍රියාත්මක වී තිබේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හොඳ හෝ නරක සම්බන්ධයෙන් අවබෝධයක් අපට තිබේ. එය මේ රටට හුරු පුරුදුය.

නෛසර්ගිකවම ජනාධිපති ක්‍රමය නරක ක්‍රමයක් නොවේ නම් අපට හුරු පුරුදුත් මේ ක්‍රමය නම් කළ යුත්තේ මේ ක්‍රමය විසිකර දැමීමටද? පරම්පරා දෙකක් පමණ දැක නැති ආකෘතියක් ක්‍රියාත්මක කිරීමද? ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරන ජ.වි.පෙ.වත් පාර්ලිමේන්තු ආකෘතිය මේ රටේ ක්‍රියාත්මක වෙනවා දැක නැත. එනිසා කළ යුත්තේ හදිසියේ එවැනි ක්‍රමයට යනවා ද නැති නම් පවත්නා ක්‍රමයේ අඩුපාඩු සොයා බලා අනෙක් රටවල් මේ ක්‍රමය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගාගෙන ඇති ආකාරය දෙස දෑස් හැර බලා ඒ මත ක්‍රියාත්මක වීමද? අප කළ යුත්තේ එකී දිශාවට ගමන් කිරීමය.

කළයුතු දේ නොකර විප්ලවීය වෙනස් කිරීමට යාමෙන් සිදුවිය හැක්කේ විනාශය ළඟාකර ගැනීමය. 1975 සිට 1977 දක්වා සිරිමා බණ්ඩාරනායක ඡන්ද කල් දැමූ බව ද අමතක නොකළ යුතුය. එදා පැවතියේ පාර්ලිමේන්තු ක්‍රමයකි. එය අත්තනෝමතික නොවන්නේ දැයි තර්ක කළ හැකිය. ඉන්දිරා ගාන්ධි හදිසි නීතිය යටතේ රට පාලනය කළේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් යටතේය. එනිසා පාර්ලිමේන්තු ක්‍රමය යටතේ වුවත් අවශ්‍ය නම් අත්තනෝමතික තත්ත්වයක් ගොඩනගා ගත හැකිය.

යුද්ධය සම්බන්ධයෙන් ද මේ රටේ තර්කයක් මතුකර තිබේ. යුද්ධය ජයගැනීමට විධායක ජනපති ධුරය හේතු වූ බවට මත තිබේ. එය පසෙකින් තබන්නට පුළුවන. යුද්ධය ඇතිවීමට විධායක ජනපති ක්‍රමය හේතු වූ බව ඇතැම් අයගේ මතයයි. එහි කිසිඳු සත්‍යතාවක් නැත. දෙමළ දුක් ගැනවිලි යැයි දෙමළ අය කියන කාරණා සියල්ල නිර්මාණය වූයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය යටතේය. යථාර්ථය ගතහොත් ජනාධිපති ආණ්ඩුක්‍රමය හේතුවෙන් සුළු ජාතීන්ට ලංකාවේ ආණ්ඩුව තෝරා ගැනීමේ අවස්ථාවට සම්මාදම් වීමට හැකි වී තිබේ. එහෙත් පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ආණ්ඩුව පිහිටුවීමට සිංහලයන්ගේ ඡන්ද සියයට සියයක්ම ප්‍රමාණවත් වුණි.

අද තත්ත්වය එයට සම්පූර්ණයෙන්ම වෙනස්ය. ජනපතිවීමට සියයට පනහ ඉක්මවා ඡන්ද ගැනීම සිංහල ඡන්දවලට අමතරව සුළු ජාතික ඡන්ද අවශ්‍යය. 2020 ජනාධිපතිවරණයට පොහොට්ටු පක්‍ෂයෙන් ඉදිරිපත්වීමේ තරගයකට බැසිල් රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ එක්ව සිටිති. මේ දෙදෙනාම තරගයට මෙන් සුළු ජාතීන්ගේ සිත් සැනසීමට, ඔවුන්ගේ ආදරය ලබන ආකාරයේ ක්‍රියාවලට යොමුව ඇති ආකාරයක් දැකගත හැකිය. මීට පෙර ඒවා දුටුවේ නැත. යම් අයකු ජනාධිපති ධුරයට බලාපොරොත්තු සගහත වෙනවා නම් අද තිබෙන ක්‍රමය අනුව ඔහු සුළු ජාතීන් දෙස ද හැරී බලනු ඇත. 1956දී බණ්ඩාරනායක මහතාට එසේ කිරීමේ වුවමනාවක් තිබුණේ නැත. එසේ නම් ජනවාර්ගික ප්‍රශ්නය පැත්තෙන් ගත්ත ද පවත්නා ක්‍රමය වඩා සුදුසුය.

පවතින ක්‍රමය යටතේ ආණ්ඩුව පිහිටුවීමට සියලු දෙනාගේම සම්මාදම අවශ්‍යය. ඒ අනුව එය පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදීය. රාජ්‍යයට යම් අභියෝගයක් එල්ල වුවොත් එහිදී එම රාජ්‍යයට අවශ්‍ය ස්ථාවරභාවය ලබාදීමට මේ ධුරයට පුළුවන. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදය හා ස්ථාවරභාවය යන අංශ දෙකම මේ තුළ තිබේ. රටකට අවශ්‍ය ද එයයි. එක් පක්‍ෂයක යම් වුවමනාවකට හෝ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසා මේ ක්‍රමය වෙනස් කිරීමේ වුමනාවක් නැති බව මෙයින් තහවුරු වන්නකි.