පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්

රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල සිදුවෙමින් තිබෙන්නේ මොනවාදැයි කාටවත් හරියට නොතේරෙන තරමට තත්ත්වය සංකීර්ණ වී ඇත. මේ සංකීර්ණත්වය වඩාත් වැඩියෙන් පෙනෙන්නට තිබෙන්නේ රටේ ආර්ථිකය, ආරක්ෂාව හා රටේ දේශපාලනය යන ක්ෂේත්‍ර තුනෙහිය. මේ සටහනින් මූලික වශයෙන් අදහස් කරන්නේ ආර්ථික හා ආරක්ෂක ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින පසුබෑම පිළිබඳව අවධානය යොමු කිරීමටත් වඩා වැඩි අර්බුදයක් පෙන්නුම් කෙරෙන ‘දේශපාලන ක්ෂේත්‍රයේ’ පවතින බරපතළ කාරණයක් පිළිබඳව සාකච්ජා කිරීමටය. එහෙත් ඊට පෙර මුල් ක්ෂේත්‍ර දෙක ගැන යම් සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්ය.

මේ දවස්වල අප ගත කරමින් සිටින්නේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් සහිත කාලයක් බව තේරුම් ගැනීමට ආර්ථික විද්‍යාව පැත්තේ විශේෂ දැනීමක් අවශ්‍ය වන්නේ නැත. අපේ සමාජයේ පහත මාලයේ සිටින හැමෝම පාහේ දන්නා කාරණයක් වන්නේ මේ දවස්වල මේ රටේ වැසියන්ගෙන් එදිනෙදා ජීවන අවශ්‍යතා ඇතුළත් අත්‍යවශ්‍ය ආහාර ටිකවත් මිලදී ගන්නට හැකියාව ඇත්තේ සමාජයේ සුළුතරයකට බවය. ඒ හැරුණු විට තමන්ගේ පඩිපතෙන් පටන්ගෙන හැම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක කර තිබෙන බදු බර නිසා මධ්‍යම පාන්තිකයන් සිටින්නේ පීඩනයෙන් හෙම්බත් වෙමින්ය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ මිල ඉහළ යන්නේ කාටවත් පාලනය කළ නොහැකි වේගයෙන් වීම මෙහිදී අවධානයට ගත යුතු තවත් කාරණයකි.

 ඉන්ධන මිල සූත්‍රය කියන්නේ මිල වැඩිකිරීම කෙළින් කියන්නට නොහැකි නිසා ඉස්සරහට දාගත් වචනයක් පමණක් බවට වී ඇති බව තවත් පැත්තක කථාවය. මේ සියලු තත්ත්වයන් යටතේ වුවත් අගමැතිතුමා විසින් එතුමා යන හැම රැස්වීමකම පාහේ කියන්නේ 2015 පසුව වත්මන් ආණ්ඩුව කළ ප්‍රධානම වැඩේ මේ රටේ ‘ආර්ථිකය ගොඩ ගැනීම’ බවය. අගමැතිතුමාගේ මේ ‘ආර්ථිකය ගොඩ ගැනීමේ’ න්‍යාය එතුමාගේ ආණ්ඩුවේ අයටවත් තේරෙනවා ඇතැයි මා සිතන්නේ නැත. මේ කියන ආකාරයේ ‘ආර්ථිකය ගොඩ නැගීමක්’ දෙවැනි වෙන්නේ කුලියාපිටියේ වොක්ස්වැගන් හැදීම වැනි කථාවකට පමණක්ය. ආර්ථිකයේ සිදුවෙමින් පවතින මේ කඩා වැටීමේ බරපතළභාවය ගැන මේ වන විට කථා කරන්නේ රට තුළ පමණක් නොවන බවද මේ දවස්වල මාධ්‍ය මගින් පැහැදිළි වෙන තවත් කාරණයකි. ලන්ඩන් නුවර කේන්ද්‍ර කර ගනිමින් පළවන ලෝකයේ ඉතාමත් කීර්තියක් දිනා ඇති දි ඉකොනොමිස්ට් (The Economist) සඟරාව පසුගිය සතියක ලංකාව පිළිබඳව පළ කළ ලිපියක මේ ආණ්ඩුව යටතේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින කඩා වැටීම පිළිබඳව වැදගත් විවේචනයක් ද පළකර තිබුණේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතේ තිබෙන අර්බුදය ජාත්‍යන්තර වශයෙන්ම කථා කරන මාතෘකාවක් බවට පත්වී ඇති නිසාය.

මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයේ තත්ත්වය ද කඩා වැටෙමින් තිබෙන්නේ මෙයටම සමාන ආකාරයෙන්ය. රටේ සිවිල් ආරක්ෂාව භාරව සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුවය. ඒ දෙපාර්තමේන්තුව පිහිටවූයේ අපේ රට යටත් විජිතයක් ලෙසින් තිබෙන කාලයේය. ඒ කාලයේ සිටම මේ රටේ සිවිල් ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදුකළේ මේ දෙපාර්තමේන්තුව බව අප හැමෝම දන්නා කාරණයකි. ඒ ඒ කාලවල අනෙක් හැම දෙපාර්තමේන්තුවක්ම පාහේ වැඩවර්ජන කෙරුවාට පොලිස් දෙපාර්තමේන්තුව ඒ අයගේ රාජකාරිය අත් හරිමින් සිවිල් ආරක්ෂාව පරදුවට තබා කිසි දිනක වැඩ කළේ නැත. ඒ වගේම රටේ ජාතික ආරක්ෂාව සලසන ත්‍රිවිධ හමුදාව සමඟ අනවශ්‍ය ගැටුමකට පොලිසිය කිසිම දිනයක ගියේද නැත. ජාතික ආරක්ෂාව රකින අය විසින් සිවිල් ආරක්ෂාව රකින අය ආරක්ෂා කළ අතර සිවිල් ආරක්ෂාව රකින අය විසින් ජාතික ආරක්ෂාව රකින අය ආරක්ෂා කිරීම අපේ රටේ තිබූ පිළිගත් සම්ප්‍රදයක් විය. අනෙක් අතට මේ දෙගොල්ලන්ම එකතු වී රටත් ජනතාවත් ආරක්ෂා කිරීම දෙපාර්ශවයේම මූලික වගකීම විය.

මේ දවස්වල සිදුවෙමින් පවතින දේවල්වලින් පෙනෙන්නේ මෙතෙක් මෙරට පිළිගත් ඒ ආරක්ෂක සම්ප්‍රදාය යම් ආකාරයකින් අර්බුදයට ගමන් කරමින් තිබෙන බවය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නීතියේ රැහැනට හසු කරන්නට කැස කවන නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටීමත් සහ ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරිත්වය සොයන්නට වෙනත් සීඅයිඩී එකක් යොදවන්නට සිදුවීමෙනුත් පෙන්නුම් කරන්නේ මේ කියන සිවිල් ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව අතර ඇතිවී තිබෙන අවුල් සහගත තත්ත්වයේ බිහිසුණු ස්වභාවයේ ඇත්ත කථාවය. මේ අවුල් සහගත තත්ත්වය වාර්තා කරන මාධ්‍ය කියන්නේ මේ භයානක තත්ත්වය තුළ ‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට රටෙන් යන්නට සිදූ වූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවන්නට’ සිදූ වූ බවත්ය. ආණ්ඩුවට වසර තුනක් ගෙවෙද්දී ආරක්ෂාවේ ප්‍රධානීන්ට එකිනෙකාට එරෙහිව ආරක්ෂා වෙන්නට සිදුවෙන තත්ත්වයක් උද්ගතවීම පෙන්නුම් කරන්නේ අතිශයෙන්ම කනගාටුදායක තත්ත්වයක් බව විශේෂයෙන් කිව යුතු නැත. අනෙක් අතට එවැනි තත්ත්වයක් තුළ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව ගැන කියන්නට වෙන්නේ දෙවියන්ට මිස වෙනත් කෙනකුට නොවන බව මගේ හැඟීමය.

තුන්වෙනුව අප බැලිය යුත්තේ මේ දවස්වල රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන කනගාටුදායක තත්ත්වය ගැනය. මේ සටහනෙන් ආමන්ත්‍රණය කළ මූලික කාරණය වන්නේත් දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවෙමින් තිබෙන අර්බුදය පිළිබඳවය. මගේ තක්සේරුව වන්නේ දේශපාලනයේ මේ දවස්වල සිදුවෙමින් පවතින කඩා වැටීම ඉහත සඳහන් කළ ආර්ථිකය හා ආරක්ෂාව යන පැති දෙකටම වඩා බරපතළ එකක් බවයි. මේ ආණ්ඩුව බලයට පත්වූවාට පසුව දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගණනාවක්ම මෝදු වෙමින් තිබෙන බව සැබෑය. ඒත් ඒවා අතරින් ප්‍රධාන කාරණා දෙකක් විශේෂයෙන්ම හඳුනාගත හැකි බව මගේ තේරුම් ගැනීමය. එයින් එක් කාරණයක් වන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදන්නට හෝ අලුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙන්නට වැඩ කිරීම හරහා සමාජයේ මතුවී තිබෙන දේශපාලන අර්බුදයයි. මේ ව්‍යවස්ථා හැදීම හෝ සංශෝධනය කරන්නට හදන්නේ එක්කෝ ආණ්ඩුව ඇතුළේ සිටින එජාපය හා ශ්‍රීලනීපය වැනි කණ්ඩායම්ය. එහෙමත් නැතිනම් 2015 ජනාධිපතිවරයා පත්කරන්නට මුල්වී වැඩ කළ ටීඑන්ඒ සහ ජවිපෙ වැනි කණ්ඩායම්ය. මේ දෙගොල්ලන්ගේ උපක්‍රම වෙනස් වුණත් උත්සාහයේ වෙනසක් නොමැති බව පැහැදිලිවම පෙන්නුම් කෙරෙන කාරණයකි. දේශපාලන ක්ෂේත්‍රයේ පෙන්නුම් කරන දෙවන අර්බුදය වන්නේ දැනට තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ආකාරයෙන් කටයුතු කිරීම නිසා හට ගත් දේශපාලන අර්බුදය. ඒ කියන්නේ දැනට තියෙන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන ආකාරයෙන් ජාතික ආණ්ඩු හැදීම පළාත් සභා ඡන්ද කල් දැමීම වැනි කාරණා හරහා මේ ආණ්ඩුවේ කණ්ඩායම් නිර්මාණය කර ඇති අර්බුදය. මගේ නිරීක්ෂණය වන්නේ මේ අර්බුද දෙක එකිනෙකට වෙනස් ආකාරයෙන් මෙරට වර්තමාන දේශපාලනය අර්බුදයට යවමින් සිටින බවය.

මෙතැන තේරුම් ගත යුතු තවත් කාරණයක් වන්නේ මේ දේශපාලන අර්බුද දෙක නියෝජනය කරන්නේ එක් පැත්තකින් ‘විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය’ හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට උත්සාහ කිරීමත් අනෙක් පැත්තේන් ‘විස්සයි විස්සේ’ (2020) අලුත් ජනාධිපතිවරයකු හා අලුත් ආණ්ඩුවක් හැදීම සඳහා උත්සාහ කිරීමත් යන එකිනෙකට ස්වයං විසංවාදි ව්‍යාපෘති දෙකක් එකට ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීම බවය. මේ කාරණා දෙක ස්වයං විසංවාදී යැයි කීවේ විසිවැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරයම ඉවත්කරන්නට පොරකන අයම විස්සයි විස්සේ ජනාධිපතිධුරය වෙනුවෙන් කථා කරන්නට පටන් ගෙන තිබීම එකිනෙකට නොගැළපෙන තර්ක දෙකක් නිසාය. දැනට ඉදිරිපත් වී ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කැමති නම් 2020 ජනාධිපති ධුරයක් ගැන සිහින මැවීම විකාරයක් වෙනවා මෙන්ම 2020 ජනාධිපති ධුරය ලබා ගන්නට සූදානම් වෙනවා නම් 2020 සංශෝධනය හරහා ඒ තනතුර අහෝසි කරන්නට වැඩ කරන්නට සුදානම්වීම විකාරයක් බව මගේ හැඟීමය. විහිළුවට කාරණය වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම් මේ දෙකටම එකවර පෙනී සිටින්නට උත්සාහ කිරීමය.

ජවිපෙ ඉදිරිපත් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියන්නේ 1978 ව්‍යවස්ථාවේ එන විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවය. 1978 ව්‍යවස්ථාව හැදුවාට පසු කාලයේ එනම් 1987-1988 කාලයේදී සම්මත වූ 13 වැනි සංශෝධනයෙන් පසුව මේ රටේ ඒකීයභාවය රැකගැනීම සඳහා විධායක ජනාධිපති ධුරය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වී ඇති බව ඒ සංශෝධනයට විරුද්ධ සමහරුන්ගේ මතයයි. ඒ අර්ථයෙන් ගත් කල විධායකය අහෝසි කරන්නට පෙර 13 ගැන තීරණයක් ගත යුතු බව ඒ අයගේ යෝජනාවය. මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දය නොපවත්වන්නේ 13 සංශෝධනයට අහෝසි කරන්නට සිතා සිටින නිසා දැයි අප දන්නේ නැති වුණත් විධායකය හා 13 වැනි සංශෝධනය එකට ගැට ගැසී ඇතැයි පැවසීම පිළිබඳව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තීරණයක් ගැනීම අතිශයෙන්ම වැදගත්ය. ජවිපෙ විධායක ජනාධිපති ධුරයට විරුද්ධව සංශෝධන ගෙනෙන විට ඒ සංශෝධනයට උදව් කරන්නට එජාපය සැරසෙන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කරන්නේ කුමක්ද කියා අදහසක්වත් ලබා රටට කියන්නේ නැතිව වීම මෙහි ඇති අනෙක් භයානක කාරණයයි.

මේ ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාව එක පැත්තකින් සිදුවෙද්දී අනෙක් පැත්තෙන් පෙන්නුම් කරන්නේ 2020 අලුත් ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ කීපයේම අය සූදානම් වෙමින් සිටින බවය. මෙසේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධුරය අහෝසි කරන්නට වහසි බස් දොඩන ගමන් අනෙක් පැත්තෙන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට පක්ෂය සූදානම් කිරීමට එජාපයේ නායකයන් සූදානම්වීමෙන් පෙන්නුම් කරන්නේ තමන්ගේ පක්ෂයේ ස්ථාවරය ගැන තමන්ටම එතරම් පිළිගැනීමක් නොමැති ආකාරයක් බව ඉතාමත් පැහැදිලි සත්‍යයකි. මේ කාරණය ගැන එජාපයේ මතයෙන් පෙන්නුම් කරන්නේ එක්කෝ ‘20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් එසේ නැත්නම් ඒ ජනාධිපති ධුරයට එජාපයේ නායකයකු පත්කළ යුතු බවත්’ වැනි එකිනෙකට නොපෑහෙන ආකාරයේ ස්ථාවරයක්ය. මේ ආකාරයේ දේශපාලනයක් සමාජගතවීම හරහා රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වූ විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යනවාද නැතහොත් එය අහෝසි කරන්නට උත්සාහ ගන්නවාද යන කාරණය ගැන චලනය වෙන ආකාරයේ තීරණය ගැනීම හේතුවෙන් රට ගමන් කරමින් සිටින්නේ අවිනිශ්චිත දේශපාලන අවකාශයකට බව ඉතාමත් පැහැදිලි කාරණයයි.