අප මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය. 

එහි මුඛ්‍ය ලක්ෂණය වන්නේ, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේත්, එතුමන් නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේත් අනුප්‍රාණ ලැබ සිදු වූ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවන ක්‍රියාදාමය නොසිතූ විරූ සහ ඛේදනීය පසුබෑමකට ලක්වීමයි. 

නිර්ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන අන්ධකාරය නැවත අප වෙත පියමන් කරමින් සිටියි. එම පසුබෑමේ සහ අන්ධකාරයේ කර්තෘකයන් වී සිටින්නේ 2015 දේශපාලන පුනර්ජීවනයේ නායකයින්ම වීම එම ඛේදනීයභාවය තවත් තියුණු කරයි. මේවා ඇසින් දකින්නට පෙර මෙලොව හැර යාමට අවස්ථාව ලැබීම ගැන සමහරවිට බොහෝ බෞද්ධයින් විශ්වාස කරන ආකාරයෙන් දේවතාවෙකු වී සිටින සෝභිත ස්වාමීන් වහන්සේ සැනසුම් සුසුමක් හෙළනවා විය හැකිය.

සෝභිත ස්වාමීන් වහන්සේ මා පුද්ගලිකව දැන හඳුනාගෙන සිටි කෙනෙකු නොවේ. එහෙත් අසම්මතවාදී සහ අයුක්ති විරෝධී ධර්ම දේශකයෙකු බව, 1970 ගණන්වල මුල් භාගයේ සිට උන්වහන්සේ ගැන මා දැනගෙන තිබිණ. 

1971 තරුණ කැරැල්ලෙන් පසුව එම කැරැල්ලේ තිබුණ සමාජ සාධාරණත්වවාදී අර්ථය ගැන උන්වහන්සේ ප්‍රසිද්ධියේම තම අදහස් පළ කළහ. 1977න් පසුව ඇති වූ නිර්ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රභූතාන්ත්‍රික ආණ්ඩුකරණය ගැන ද උන්වහන්සේ ප්‍රසිද්ධියේම විවේචනය කළහ. 

1994 ඇති වූ ආණ්ඩු වෙනස සඳහා ද සෝභිත හිමියන් කළේ වැදගත් දායකත්වයකි. උන්වහන්සේගේ වැදගත්ම දේශපාලන මැදිහත්වීම වූයේ පසුගිය දශකයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තියුණු පසුබෑමකට පත් වූ අවධියක, ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන අපේක්ෂාව පුනර්ජීවනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට අවශ්‍ය සමාජ ප්‍රතිරෝධය ගොඩනගන සිවිල් සමාජ ව්‍යාපාරයකට නායකත්වය දීමයි. 

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ වගකීම ඉටුකිරීමට දේශපාලන පක්ෂවලට නොහැකි වූ විට සහ දේශපාලන පක්ෂ අධිකාරවාදී, නිර්ප්‍රජාතන්ත්‍රවාදී බලව්‍යාපෘතිවල පහර ඉදිරියේ දුබල වී සිටි වකවානුවක, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් දේශපාලන පක්ෂවලට පිටින් ගොඩනැගීමේ පුරෝගාමියා වූයේ උන්වහන්සේයි.

සෝභිත හිමියන් මුහුණට මුහුණ ලා හමුවීමට මට ලැබුණේ එක් අවස්ථාවක පමණි. ඒ 2015 අප්‍රියෙල් මාසයේ, යහපාලන ආණ්ඩුව පිහිටුවා තුන් මසකට පසු යහපාලන පරිවර්තනයේ අත්දැකීම සමාලෝචනය කිරීමට, කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයේදීය. 

සෝභිත හිමි සහ මාද එම සම්මන්ත්‍රණයේ කථික මඬුල්ලේ සිටියෙමු. මේ සම්මන්ත්‍රණයේ කථා පැවැත් වූ 2015 දේශපාලන වෙනසට සෘජුව දායක වූ සිවිල් සමාජ සහ බුද්ධි ශ්‍රේණිවල නියෝජිතයන් පොදුවේ ඉදිරිපත් කළ අදහසක් නම්, යහපාලන ආණ්ඩුවේ නායකයින්ට තමන් ජනතාවගෙන් ඉල්ලා සිටියා වූත්, ජනතාවගෙන් ලැබුණා වූත් ජනවරම ගැන නිසි අවබෝධයක්වත්, එය සාක්ෂාත් කරලීමට අවශ්‍ය දේශපාලන කැපවීම හෝ අධිෂ්ඨානය හෝ ප්‍රමාණවත් ලෙස නොතිබුණේය යන්නයි. 

ලිප ගිනි මොළවා දීම, තාච්චිය රත්කර දීම, පිටි අනා දීම සහ එහෙත් රොටිය පුළුස්සා බිමට නොගැනීම පිළිබඳ උන්වහන්සේගේ ප්‍රසිද්ධ දෘෂ්ටාන්තය නැතහොත් උපමාකථාව ඉදිරිපත් කළේ මෙම සම්මන්ත්‍රණයේදීය. අද සිදුවන සිදුවීම් දෙස වෙන ලොවක සිට බලා සිටින උන්වහන්සේ කියනු ඇත්තේ ‘මේ ගොල්ලෝ ලිපේ ගින්දරත් නිවලා නේ’ යන්න යැයි මට සිතේ.

මේ නිරීක්ෂණය වනාහී වර්තමාන ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනය මුහුණ දෙන මහා අර්බුදයේ පරිමාව කියාපාන්නකි. මෙම අර්බුදයේ මූලික ලක්ෂණ කිහිපයක් අපට පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. 

ඉන් පළමුවැන්න නම්, ප්‍රතිසංස්කරණවාදී පොරොන්දුවක් සහිතව මහජන සහයෝගය ලබාගෙන බලයට එන දේශපාලන නායකත්වය එම පරිවර්තනයේ කර්තෘක කාර්යය අතරමගදී අතහැර දැමීම පමණක් නොව, එය ආපසු හැරවීමේද කර්තෘකයන් වීමේ අනතුර නිරන්තරව තිබෙන්නේය යන්නයි. එය වැළැක්විය හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් අප අතර නැත. 

දෙවැන්න නම්, ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන ක්‍රියාවලිය බිඳ දැමීම සඳහා දූෂණය විසින් ඉටුකරනු ලබන සෘජු කාර්යභාරයයි. අප රටද, ඉන්දියාවද ඇතුළුව බොහෝ රටවල දේශපාලනඥයින් සහ ආණ්ඩු සම්බන්ධ දූෂණය දෙයාකාරයකින් සිදු වන බව පෙනේ. පළමුවැන්න ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂණයයි. දෙවැන්න දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ දූෂණයයි. පසුගිය සති දෙක තුළ අප රටේ අපට නිරීක්ෂණය කළ හැකි වූයේ දේශපාලන දූෂණය ඉතා ඉහළ මට්ටමෙන් ප්‍රසිද්ධියේ සහ දෛනිකව සිදුවන ක්‍රියාවලියක් බවයි. 

මෙම ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රවණතා තුනක් පවත්නා බව කෙනෙකුට නිරීක්ෂණය කළ හැකිය. පළමුවැන්න ආණ්ඩුකරණයේ ඉහළම බලධරයන්ගේ අවශ්‍යතාව, අනුදැනුම සහ ආශිර්වාදය ඇතිව දේශපාලන දූෂණ සිදුවීමයි. දෙවැන්න දේශපාලන දූෂණය ආණ්ඩුකරණ, එනම් ආණ්ඩු පිහිටුවීමේත්, ආණ්ඩු බිඳ දැමීමේත් ක්‍රියාවලියේ අනිවාර්ය සහ සුජාත අංගයක් ලෙස අපගේ දේශපාලන පංතිය විසින් සලකනු ලැබීමයි. තුන්වැන්න දේශපාලන දූෂණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සමඟ සම්බන්ධ කිරීමයි. 

‘ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව දූෂණය පැවතිය හැකි වුවත්, දේශපාලන දූෂණයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකියි’ යන නව දේශපාලන න්‍යායික මූලධර්මය අප රටේ දේශපාලන නායකයින් ලෝක දේශපාලන චින්තාවට එකතු කරමින් සිටින නවතම ප්‍රවාදය බව පෙනේ. 

දේශපාලන දූෂණය ලැජ්ජා විය යුතු නැති, ආඩම්බර විය යුතු දේශපාලන යහගුණයක් ලෙසත්, එය ‘යහපාලනය’ යන සංකල්පයේ අලුත් අර්ථය වී ඇති බවත් ඔවුහු මෙරට පුරවැසියන්ට කියති.

තුන්වැනි නිරීක්ෂණය නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද?, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්යභාරය කුමක්ද?, පුරවැසියන් මෙන්ම වෘත්තීය දේශපාලනඥයින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දැක්විය යුත්තේ කවර සැලකිල්ලක්ද? යන්නයි. 

ඡන්ද අයිතියවත් තවමත් නොලැබූ උසස්පෙළ පන්තිවල ඉගෙනගන්නා පාසැල් දරු දැරියන්ට දේශපාලන විද්‍යාව යන විෂය යටතේ උගන්වන පාඩමක තේමාව ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ යන්නයි. එම පාඩම යටතේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්නා අදහසක් නම් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක මූලික සහ උත්තරීතර නීතිය වන්නේය’ යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට භක්තිමත්ව, එය ආරක්ෂා කරන බවට රජයේ රැකියා ලබා ගන්නා සෑම පුරවැසියෙක්ද, ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී, ප්‍රාදේශීය සභා සභික ආදී දේශපාලන තනතුරු ලබා ගන්නා සෑම වෘත්තීය දේශපාලනඥයෝද  දිවුරා පොරොන්දු වෙති. 

එහෙත් මෙරට පුරවැසියන් ඔක්තෝබර් 26 දා සැන්දෑවේ හදිසියේම දුටුවේ කුමක්ද? අප රටේ මූලික උත්තරීතර නීතියට භක්තිමත්ව, එය ආරක්ෂා කිරීමට ශපථ වී ඇති ඉහළම පිරිසෙන් කොටසක් එම උත්තරීතර නීතිය හිතුමතේ උල්ලංඝනය කිරීමයි. 

ඊට පසුව පුරවැසියන් දුටුවේ කුමක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති විවෘතව උල්ලංඝනය කිරීමම ව්‍යවස්ථානුකූල ක්‍රියාවක් යැයි නීති විශාරදයින් යැයි කියාගන්නා පුද්ගලයින් මහජනතාව හමුවේ කියාපෑමයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍ය බලය හිමි පාලකයින් විසින් තම කෙටිකාලීන දේශපාලන ස්වාර්ථය සඳහා සිතැඟි ලෙස උල්ලංඝනය කළ හැකි ලියවිල්ලක් නම්, අප රටේ නායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සළකන්නේ රටේ මූලික සහ උත්තරීතර නීතිය ලෙස නොවේ. තම තනතුරුවල දිවුරුම් දෙන විට ඔවුන් දැන් කියවිය යුත්තේ අලුත් ප්‍රකාශයකි. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලයේ රැඳී සිටීමටත්, දේශපාලන බලය අයුතු ලෙස සහ සදාචාර විරෝධී ලෙස අවභාවිතා කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා සීමා පවතින්නේ නම් ඒවා නොසලකා හැරීමටත් මම දිවුරා පොරොන්දු වෙමි.” යනු ඒ සඳහා දැනට යෝජනා කළ හැකි විකල්ප දිවුරුම් ප්‍රකාශයකි. අප දැන් පිවිස සිටින්නේ ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය පාලනය බිඳවැටී නොව බිඳදමා ඇති පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී අවධියකටය. එහි විනාශකාරීමය බැරෑරුම්කම තවමත් පටන්ගෙන නැත. එහි පළවිපාක විවෘතව ප්‍රකාශ වීමට පටන්ගත් විට අප සමාජය තුළ නැවත වරක් දේශපාලන ප්‍රචණ්ඩත්වය, දරුණු මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්, ලේ වැගිරීම් සහ දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ නව අවධියකට අප පත් වී සිටින බව අපට පෙනෙනු ඇත.

සිව්වැනි නිරීක්ෂණය අපට කළ හැක්කේ ‘දේශපාලන විශ්වසනීයත්වය යන සංකල්පය යටතේය. 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්ඩු වෙනසෙහි සන්දර්භයේ තිබුණු එක් ලක්ෂණයක් වූයේ දේශපාලන ආයතන සහ දේශපාලන නායකයින් පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටී තිබීමයි. 0එම බිඳවැටුණ මහජන විශ්වාසය යළි ගොඩනැගීම යහපාලනය පිළිබඳ දේශපාලන පොරොන්දුවේ එක් අංගයක් විය. එහෙත් 2015 වසරේ මැද භාගයේ සිට 2018 ඔක්තෝබර් මස අවසන් සතිය දක්වා ආණ්ඩුවේ නායකයින් ක්‍රියාත්මක කළ ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ, පුරවැසි විශ්වසනීයත්වය යළි ගොඩනැගීමේ පොරොන්දුවට ලබා දී තිබුණේ මඳ සැලකිල්ලකි. 

සභාග ආණ්ඩුවේ එක් පාර්ශ්වයක නායකයින් කළේ ආර්ථික දූෂණය තම දේශපාලන පැවැත්මේ අංගයක් බවට පත්කර ගැනීමයි. එම ක්‍රියාවලිය එළිදරව් වූ විට ඔවුන් කළේ ඒවා වසා ගැනීමට තම දේශපාලන කූඨ බුද්ධිය උපරිම ලෙස යොදා ගැනීමයි. 

ඒ අතර ආණ්ඩුවේ සිටි අනෙක් පාර්ශ්වය කළේ, ආණ්ඩුව ඇතුළත දේශපාලන බලතුලනය තමන්ට වාසිදායක ලෙස හරවා ගැනීමට තම එදිරිවාදී පාර්ශ්වයේ ආර්ථික දූෂණය පිළිබඳ සිදුවීම් දේශපාලනිකව පාවිච්ච් කිරීමයි. මෙම පසුබිම තුළ පුරවැසියන් මුහුණ දෙන උභතෝකෝටිකය මෙයයි. 

දේශපාලන ජීවිතය පිරිසිදු කිරීමට ශපථ කරමින් ආණ්ඩුබලය ලබා ගන්නා දේශපාලන නායකයින්ට ආර්ථික සහ දේශපාලන දූෂණයේ යෙදෙන විට, මෙම දේශපාලන නායකයින් ගැන අපට තව දුරටත් දේශපාලන විශ්වාසයක් තැබිය හැකිද? දේශපාලන ජීවිතය පිරිසිදු කිරීමට තරම් අප රටේ ආයතන ශක්තිමත් නැත්නම්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ආයතන ගැන අපට විශ්වාසයක් තැබිය හැකිද? මෙම උභතෝකෝටිකයට විසඳුම් පුරවැසියන් ඉදිරියේ දැනට නැත. දැනට ඉදිරිපත් වී තිබෙන දේශපාලන විකල්පයට කළ හැක්කේ එම උභතෝකෝටිකය තියුණු සහ උග්‍ර කිරීම පමණි.

‘දේශපාලන නායකත්වය පිළිබඳ විශ්වාසය බිඳවැටීම’ යන ඉහත අප කළ නිරීක්ෂණය තරමක් දුරට විභාග කළ යුතු කාරණයකි. 

මේ විභාගය ආරම්භ කිරීම සඳහා 2014 අග කාලයේ අප රටේ පැවති දේශපාලන වාතාවරණය ගැන මඳක් සිහිපත් කර ගනිමු. 2014 වන විට අප රටේ තියුණු දේශපාලන අර්බුදයක් පැවතිණ. එහි එක් ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරගෙන දේශපාලන අධිකාරවාදය පෙරට පැමිණ තිබීමයි. ඒ අනුව 2014 වන විට ලංකාවේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබිණි. එය වූ කලී දෙමං සන්ධිස්ථානයකි. 

දෘඪ අධිකාරවාදයක් කරා  පරිවර්තනය වන්නේද? ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය  කරන්නේද? යනු මෙම එකිනෙකට විරුද්ධ මාවත් දෙක විය.  

2014 වසරේ අවසාන කාර්තුව පැමිණෙන විටද රටේ දේශපාලන බල තුලනය පැවතියේ දෘඪ අධිකාරවාදයේ  මාවතට ප්‍රවිෂ්ඨ වීමේ විකල්පයකය. නැවතත්  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ විකල්පයට මහජන සහයෝගය ගොඩනැ‍ඟෙමින් තිබිණ. 

අද අප ගුණ සමරන මාදුලුවාවේ සෝභිත හිමි සහ උන්වහන්සේ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මහජන අභිලාෂය ශක්තිමත් කිරීමේ කාර්යයේ පුරෝගාමී වැඩ කොටස ඉටු කර තිබිණි. එහෙත් මෙම ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය ශක්තිමත් මැතිවරණ විකල්පයක් වී නොතිබුණු අතර, එය එම මොහොතේ ලංකාවේ දේශපාලනයේ තිබුණු මූලිකම හිඩැසද විය. 

ජනාධිපතිවරණ මැතිවරණයක් ළඟ එමින් තිබුණු සන්දර්භය තුළ දේශපාලන වෙනසක් ඇති කිරීමේ ක්ෂණික කර්තෘක කාර්යය හිමිව තිබුණේ දේශපාලන පක්ෂ සන්ධානයකට සහ විකල්ප ජනාධිපති අපේක්ෂකයෙකු වෙතය. එවකට ශ්‍රීලනිපයේ මහ ලේකම්ව සිටි සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය අතහැර විරුද්ධ පක්ෂ සන්ධානය වෙතට පැමිණීම නිසා 2014 ඔක්තෝබර් මාසයේ තුන්වැනි සතිය තෙක් පැවති දේශපාලන බල තුලනය, ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ විකල්පයට වාසිදායක ලෙස මාරු විය. 

2018 ජනවාරි 08 දින සිදු වූ ජනාධිපති මැතිවරණයේ දී දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාර අතර පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගී තිබීමත්, එම සන්ධානයේ නියෝජිතයා වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත් ඒ මත ආණ්ඩු වෙනසක් ඇතිවීමත්, ලංකාවේ දේශපාලනයේ අධිකාරවාදී පරිවර්තනය ආපසු හැරවීමට අවශ්‍ය දේශපාලන අවකාශය විවෘත කළ සිදුවීම් දෙකයි.

එයින් අවුරුදු තුනහමාරකට පසු, ජනවාරි 08 දායින් පසුව සිදු වූ ක්‍රියාවලිය දෙස ආපසු හැරී බලන පුරවැසියන්ට පෙනෙන්නේ, තම ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයේ ඉරණම භාර දුන් දේශපාලන නායකත්වය එම වගකීම ඉටුකර  නැති බවයි. ප්‍රධාන නායකයින් දෙදෙනාගේම දේශපාලන චර්යාව දෙස විචාරාත්මකව පසු විපරමක යෙදෙන පුරවැසියන්ට එම නායකයින්ගේ දේශපාලන අසාර්ථකත්වයට තුඩු දුන් විවිධ සාධක හඳුනාගත හැකිය. ඒ අතර එක් සාධකයක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිෂ්ඨාපනය කේන්ද්‍ර කොටගත් පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ සහ පරිවර්තනීය පෙරොන්දු සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කැපවීම, දේශපාලන පරිණත බව, දේශපාලන අධිෂ්ඨානය සහ මහජන විශ්වාසය දිනා ගැනීමේ හැකියාව නව නායකත්වය සතු නොවීමයි. 

පක්ෂ කිහිපයක සන්ධානයක් වූ එම සභාග ආණ්ඩුවට සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයට සාමූහික නායකත්වය දීමට එම නායකයෝ අසමත් වූහ. ඒ සමගම දූෂණය පිටුදැකීමේ පොරොන්දුව රහසේ කඩකරමින් නව ආණ්ඩුවේ සදාචාරාත්මක පදනම දෙදරා හැරීමට එක් නායකයෙකු සමත් විය. 

සභාග ආණ්ඩුව තුන්වැනි වසරට පා තබන විට නායකයින් දෙදෙනා එකිනෙකාහට නොගැළපෙන මාවත් දෙකකට තනි තනිව පිවිස ඇති බව පෙණිණ. ඔවුන් අතර වර්ධනය වූ සමනය කළ නොහැකි පුද්ගලික ප්‍රතිවිරෝධතා පසමිතුරු දිසාවන් කරා ගමන් කිරීමේ පළවිපාක දැන් අප ඉදිරියේ දිගහැරෙන දේශපාලන අර්බුදයේ එක් පැත්තක් පමණි.

මෙම ආණ්ඩුව පිළිබඳ අත්දැකීම පුරවැසියන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලනවිට අප රටේ පුරවැසියන් මුහුණ දෙන බැරෑරුම් උභතෝකෝටිකs' නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ පුරවැසියන්ට කළ හැක්කේ තම දේශපාලන අපේක්ෂා ඉටුකරනු ඇත යන විශ්වාසය මත දේශපාලන නායකත්වයකට ආණ්ඩුකිරීමේ  වරපත්‍රය ලබා දීමයි. බලය පැවරීමයි. එහෙත් එසේ බලය පවරනු ලැබූ නායකයින් තම වගකීම පැහැර හරින විට ඒ වෙනුවට තෝරා ගත හැකි විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් ඇත්තේද නැත. 

අධිකාරවාදී පරිවර්තනයකට නායකත්වය දිය හැකි දේශපාලන නායකයන් ලංකාවේ පහසුවෙන් සොයා ගත හැකියි. එහෙත් එක් ප්‍රජාතන්ත්‍රවාදී නායක පරපුරක් අසාර්ථක වන විට ඒ හිඩැස පිරවිය හැකි නව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයක් අප සමාජය විසින් බිහිකරනු නොලැබීම යන යථාර්ථයට අප රටේ පුරවැසියන් ළඟදීම මුහුණ දෙනු ඇත. මේ දිනවල සීමාවක් නොමැතිව සිදු කෙරෙන දේශපාලන දූෂණය, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නව නායකත්වයක් බිහිවීමට ඇති අවකාශය විනාශ කිරීමේ අලුත් සාධකයක්ව පවතී. 

කෙටිකාලීන බල ව්‍යාපෘතීන් සහ දේශපාලන න්‍යාය පත්‍රවලට ගැළපෙන ලෙස දේශපාලන දූෂණ මෙහෙයුම්වල යෙදෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින තමන් අලුතෙන් බිහිවන දේශපාලන නායක පරපුරද දූෂණය කරන බව සහ විනාශ කරන බව කල්පනා නොකරති. මෙම ජ්‍යෙෂ්ඨ මෙන්ම කණිෂ්ඨ දේශපාලන නායකයින් පිළිබඳ අප රටේ තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටීම කොතරම් තියුණු ලෙස සිදුවෙමින් පවතින්නේද යන්න සමාජ මාධ්‍යය තුළ මේ දිනවල සිදුවන සාකච්ඡා, පළකෙරෙන උපහාස සහ කාටූනවලින් ප්‍රබල ලෙස ප්‍රකාශ වේ.

‘දේශපාලන නායකත්වය සහ දේශපාලන විශ්වාසනීයත්වය’ පිළිබඳ ගැටලුව දැන් ගුණාත්මක වශයෙන් නව අවධියකට ළඟා වී තිබෙන බව මේ දිනවල අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. එම නව අවධියේ ලක්ෂණය නම් උගත් තරුණ පරපුර ප්‍රතිෂ්ඨාපිත දේශපාලන නායකත්වය පිළිබඳ දක්වන විශ්වාසභංගත්වයයි. 

ප්‍රතිපත්ති විරහිත, අත්‍යන්තයෙන්ම අවස්ථාවාදී, දේශපාලන සහ ආර්ථික ස්වාර්ථය පමණක් තම දේශපාලන ජීවිතයේ අරමුණ කරගෙන ඇති සහ දේශපාලන බලය යනු තම ආත්මාර්ථකාමී දේශපාලන වුවමනාවන් සාක්ෂාත් කර ගැනීමේ ඵලදායී මාර්ගයක් ලෙස සලකන ප්‍රතිෂ්ඨාපිත දේශපාලන නායකත්වය පිළිබඳ මෙම උගත් තරුණ පරපුර සමාජ මාධ්‍යය වෙතින් ප්‍රකාශ කරන  උපහාසය සහ අවඥාව, මේ දිනවල ලංකාවේ සිදුවන දේශපාලන වශයෙන් ඉතාම නිර්මාණාත්මක එකම දෙයද වෙයි. අනපේක්ෂිත සහ පිළිකුල් සහගත දේශපාලන සිදුවීම් දෙස බලා සිත කළකිරීමට පත්වන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන විඥානයක්ද, සංවේදී දේශපාලන මනසක්ද ඇති පුරවැසියන්ට යහපත් දේශපාලන අපේක්ෂා පිළිබඳ සුළු හෝ බලාපොරොත්තුවක් ජනිත කරන්නේ මෙම නිර්මාණශීලී තරුණ පෙළ ප්‍රකාශයට පත් කරන විචාරාත්මක දේශපාලන සංවේදීතාවය විසිනි.

‘දේශපාලන බලාපොරොත්තුව’ පිළිබඳ මෙම අදහස්, මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳ දේශපාලන ස්මරණයට කරන ගෞරවයේ සංකේතයක් ලෙස අවධාරණය කරන්නට මම කැමැත්තෙමි. 

ඉතාම අන්ධකාර ආගාධයක වැටී සිටියදී පවා මනුෂ්‍යයන්ට නොනැසී පැවතිය හැක්කේ ආලෝකයේබලාපොරොත්තුව තිබෙන විටය. දේශපාලන අන්ධකාරය මැද සිටින මනුෂ්‍යයින්ට අවශ්‍ය වන්නේ දේශපාලන ආලෝකයේ බලාපොරොත්තුවයි. ලංකාවේ දේශපාලනය අර්ධ අන්ධකාරයේ පැවති වකවානුවක දේශපාලන බලාපොරොත්තුවේ පහන්සිළුව  දැලුවූයේ මාදුලුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේය. 

සමාජය වෙලාගන්නා දේශපාලන අන්ධකාරය ඉදිරියේ, අන්ධකාරය වෙතටම ආපසු පැන දුවන්නේ නැතිව, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සිදු කළ හැකිය යන බලාපොරොත්තුවේ කුඩා ගිනිසිළුව දැල්වීමේ ගිණිකූර පත්තුකර දේශපාලන ඉදිරි ගමනේ මාවත වසාගෙන සිටි අන්ධකාරය දුරු කිරීමට අවශ්‍ය අරගලයට අනුප්‍රාණය සපයමින් උන්වහන්සේ දුන් ආදර්ශය වෙන කවරදාටත් වඩා ඉදිරි කාලය තුළ අප සැමට අදාළ වනු ඇත.

මෙම කතාව අවසන් කිරීමට පෙර වර්තමාන අර්බුදය ගැන කෙටියෙන් අදහසක් පළ කළ යුතු වේ. අද අප රට මුහුණ පා සිටින අර්බුදය බහුමානීය, එනම් පැතිකඩ කිහිපයකින් සමන්විත අර්බුදයකි. එය ආර්ථික, දේශපාලනික, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාමය, ආයතනික සහ දේශපාලන සදාචාරාත්මක යන පැති සහිත මහා අර්බුදයකි. 

අප රටේ සිටින දේශපාලන ප්‍රභූතන්ත්‍රයේ ප්‍රධාන කණ්ඩායම් තුන අතර පසුගිය අවුරුදු කිහිපය තුළ වර්ධනය වූ ප්‍රතිවිරෝධතා දැන් විවෘත බල අරගලයක් සහ රාජ්‍ය බලය සඳහා විවෘත සටනක් බවට පත් වී තිබේ. කලින් තුන්කොන් අරගලයක්ව පැවති එය දැන් දෙකොන් බල අරගලයක් බවට පරිවර්තනය වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ස්වාධිපත්‍ය බලය ඇතැයි සැලකෙන මහජනතාව මෙම බල අරගලය දෙස හුදෙක් බලරහිත බලාසිටින්නන් බවට ලඝුකරනු ලැබ සිටිති. 

මහජන නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ දොර අගුලු ලා වසා තැබීම නිසා සිදුවී තිබෙන්නේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන පරමාධිපත්‍යයේ ඉහළම ආයතනික ප්‍රකාශනය වන ව්‍යවස්ථාදායකය විධායකයේ අණසක යටතට ගැනීමයි. විධායක ජනාධිපති ක්‍රමය ‘සම්පූර්ණයෙන් අහෝසි කිරීම’ යන දේශපාලන ඉලක්කය සූත්‍රගත කිරීමෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් 2013-2014 වසරවල මෙරට ජනතාව ඉදිරියේ තැබූ දේශපාලන පරිකල්පනය වෙතට නැවත හැරීමට දැන් කාලය එළඹ ඇත.

ඉදිරි දින කිහිපය තුළ සිදුවීමට බොහෝවිට ඉඩකඩ තිබෙන බව පෙනෙන්නේ, දැනට දෙපාර්ශ්වයක් අතර ද්‍රැවීකරණය වී තිබෙන දේශපාලන බල අරගලය, විධායකය හා ව්‍යවස්ථාදායකය, එනම් ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුව අතර විවෘත සටනක් බවට පත්වීමයි. දැනට බල අරගලයේ යෙදී සිටින එක් පාර්ශ්වයකට ව්‍යවස්ථාදායකයේ බහුතරය තිබෙන බව පෙනේ. අනෙක් පාර්ශ්වයට රාජ්‍ය බලයේ කේන්ද්‍රීය ආයතනවල පාලනය සතුව තිබේ. මෙම පසුබිම තුළ මේ දිනවල අප රටේ මෝරමින් පවතින්නේ ද්වන්ධ බල සටනකි. 

රාජ්‍ය බලය සඳහා පවත්නා අරගල ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙම තත්ත්වය පෙනෙනු ඇත්තේ භයානක ප්‍රතිඵල ඇති කිරීමේ විභවතාව ඇති ද්වන්ධ බල අරගලයක් ලෙසයි. සාමකාමීව විසඳුමක් ඇති නොවුවහොත් එය නග්න ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමෙන් පමණක් විසඳිය හැකි රාජ්‍ය බලය පිළිබඳ අර්බුදයක් බවට තියුණු වීමේ අනතුර අද අප සැම දෙනාම ඉදිරියේ ති‍බේ.

දිනෙන් දින උග්‍ර සහ තියුණු වන මෙම බල අර්බුදය සාමකාමීව විසඳීමට ඇති මාර්ග ගැන සිතීම පරිණත දේශපාලන විඥානයක් සහිත මෙරට පුරවැසියන්ගේ ක්ෂණික කාර්යභාරය වී තිබේ. එය මොහොතක් හෝ ප්‍රමාද කළ නොහැකිය. එය ප්‍රමාද නොකිරීම, මාදුළුවාවේ නායක හිමියන් පිළිබඳ දේශපාලන ස්මරණයට මේ මොහොතේ අප කළ යුතු ගුණ පූජාවද වෙයි. 

සිය බලය රැක ගැනීමේ දේශපාලන අරගලයේ දී ලේ වැගිරීම්වලටත්, අරාජිකත්වයටත්, ඒකාධිපතිවාදයටත් මග විවෘත නොකරන දේශපාලන මැදිහත්වාදී බව; ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවාදයේ ප්‍රතිමානීය මූලධර්මවලට ගරු කිරීම, ස්වාර්ථයට නොව පොදු ජන යහපතට කැප වී දේශපාලන යහගුණය වර්ධනය කර ගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉවසීමෙන් සහ පරිණතතාවයෙන් සිතීම, කතා කිරීම, සහ ක්‍රියා කිරීම යන සතර ශීලයේ පිහිටන ලෙස අපේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටීම, මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අප රටේ පුරවැසියන් වහාම කළ යුතු එක් කාර්යයකි.

 ‘දේශපාලන අන්ධකාරය සහ දේශපාලන අපේක්ෂාව‘ යන මැයෙන් 

මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් කරන ලද 

මාදුලුවාවේ සෝභිත හිමි සමරු දේශනය ඇසුරිනි