ඕනෑම පාර්ලිමේන්තුවකට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වීම දේශපාලනිකය. සාමාන්‍යයෙන් එවැන්නක් ඉදිරිපත් වන්නේ ජය ගන්නම නොවේ. යම් හඬක් දේශපාලන ක්‍ෂේත්‍රයේ හා රට තුළ ඇති කිරීමටය. එහිදී බෙහෙවින්ම සිදු වී තිබෙන්නේ අදාළ යෝජනාව පරාජයට පත්වීමකි. නිදහස් ශ්‍රී ලංකාවේ අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා අතුරින් පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ පරාජයට පත් වූ යෝජනාව මේ ආකාරයෙන් ගෙනා තෙවැන්න ලෙසින් සැලකේ. 

මීට ඉහත මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වූයේ 1975 දී එවකට අගමැති ධුරය හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ එතුමියට එරෙහිවය. එයින් ද එතුමිය ජය ගත්තාය. එහෙත් එමඟින් ඇයට එල්ල කරනු ලැබූ දේශපාලන ප්‍රවාහයෙන් නම් ගොඩ යෑමක් ඇගේ මුළු ජීවිත කාලය තුළම දක්නට නොලැබුණි. අවසානයේ දී එතුමියගේ රජය වසර දෙකක් ඇවෑමෙන් අන්ත පරාජයකට ලක්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා මෙදා තුර මේ රටේ ඉතිහාසයේ කිසිම දිනෙක එවන් පරාජයක් අත් පත් කර ගෙන නොමැත. එහි අවසානයේ ආරම්භය එම විශ්වාසභංග යෝජනාව බව සමහර දේශපාලන විචාරකයෝ අදත් සඳහන් කරති. 

මේ නිසා විශ්වාසභංග යෝජනාවක නොම්මර ජයග්‍රහණ  මෙන්ම සදාචාරත්මක පරාජය ද එතුළම දක්නට ලැබේ. විශ්වාසභංග යෝජනාවේ ජයග්‍රහණ සමඟම එක්සත් ජාතික පක්ෂය කඩිනම් ප්‍රතිසංවිධානයකට යොමු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ මේ ඉතිහාසය ගැන දැනුවත්ව සිටින නිසාදැයි කියන්න දන්නේ නැත. 

වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා මෙන්ම පාලක එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. ඒකාබද්ධ විපක්ෂය යනු විපක්ෂයේ අසුන් ගෙන සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකි. අනෙක් කොටස ආණ්ඩුව නියෝජනය කරති.

මෙසේ  එක් කොටසක් ආණ්ඩුව නියෝජනය කරන අතරේ අනෙක් කොටස ආණ්ඩුවේම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලැබීම ද විශේෂත්වයකි. අනෙක් විශේෂත්වය ආණ්ඩුව නියෝජනය කරන කොටසින් 16 දෙනෙකු (ඇමැති හා උප ඇමැතිවරු) යෝජනාවට පක්ෂව අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමයි. තවත් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටිමින් අගමැතිවරයාගේ ජය තහවුරු කිරීම ද අරුම පුදුම දේශපාලනයකි. 

ඒකාබද්ධ විපක්ෂය මේ මොහොතේ පසුවන්නේ ‘පොදුජන පෙරමුණ’ නමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේ තරග කර සුවිශේෂී ජයග්‍රහණ ලබමින් සිටින පසුබිමකයි. එය එසේ මෙසේ  ජයක් නොවන්නේ ලංකා ඉතිහාසයේ එවැන්නක් මෙතෙක් සිදු නොවීම නිසාය. එසේම බලයේ සිටිය දී එක්සත් ජාතික පක්ෂය මෙතරම් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අවස්ථාවක් ද දක්නට නොලැබේ.

මේ නිසා ජය ගැනීමට නොහැකි පදනමකින් මෙවන් යෝජනාවක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ඒකාබද්ධ විපක්ෂයට ද තිබුණේද යන්න ප්‍රශ්නයකි. එසේ ගෙන එමින් එක්සත් ජාතික පක්ෂයට රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට අවස්ථාවක් සලසා දීමට ඔවුන් සුදානම් වූයේ මන්දැයි කියන්න දන්නේ නැත.

ඒකාබද්ධ විපක්ෂයේ හා පොදුජන පෙරමුණේ උපාය උපක්‍රමීය නායකයා ලෙසින් සැලකෙන දක්ෂ සංවිධායකවරයකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේශපාලන භාවිතය තුළ නම් මෙවැන්නකට ඉඩක් නොමැත. ඊට හේතුව ඔහු මේ වගේ පීචං දේශපාලන වැඩවලට අත නොගසන නිසාය. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කරන පරිදි 19 සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කරලීමේ ප්‍රතිපාදන නොමැති නම් ඊළඟ විකල්පය ලෙසින් සැලකෙන්නේ විශ්වාසභංග යෝජනාවකින් ඔහු ඉවත් කිරීම බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ නිසා ඒකාබද්ධ විපක්ෂය සාම්ප්‍රදායික විපක්ෂයක් වශයෙන් ආණ්ඩුව ඇතුළේ ගොඩ නැඟෙමින් පැවැති රනිල් විරෝධය ප්‍රයෝජනයට ගෙන ඔහු විශ්වාසභංග යෝජනාවකින් පරාජය කිරීමට යම් සූත්‍රයක් ගොඩනඟා ගත් බවක් දක්නට ලැබේ. ඊට ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු නියෝජනය කරන තම සගයන්ගේ සහාය ද ලැබී තිබූ බව මේ වන විට දේශපාලන ලෝකයට රහසක් නොවේ. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ වැනි අත්දැකීම් සහිත උපක්‍රමික නායකයකු බලයේ සිටියදී ඔහු අභ්‍යන්තර ගේම්වලින් පරාජයට පත් කිරීම පහසු වන්නේ නැත. එසේම එක්සත් ජාතික පක්ෂය කුමන අභ්‍යන්තර ප්‍රශ්න පැන නැඟුණ ද නායකයාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට නොපෙළඹෙනු ඇත. 

ජනාධිපති මෛත්‍රී මෙහි දී මධ්‍යස්ථ ස්ථාවරයක් ගත් බව පැහැදිලිය. ඔහු එය විවෘතවම ප්‍රකාශ කළේය. ඔහු පැත්තක් ගනු ලැබුවේ නම් විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය පැහැදිලිවම වෙනස් වනු ඇත.

එසේ නම් ඒකාබද්ධ විපක්ෂය මෙම යෝජනාව ගෙන ආවේ ආණ්ඩුව නියෝජනය කරන තම කණ්ඩායම කෙරෙහි විශ්වාසයකින් යුතුව බව පිළිගැනීමට සිදු වේ. මෙම විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන් එකට සිට ගනු ලැබුවේ නම් ප්‍රථමයෙන්ම යෝජනාවට පක්ෂව ලැබෙන ඡන්ද ප්‍රමාණය 95කි.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ එය 102ක් වනු ඇත. අතුරලියේ රතන හිමියන්ගේ හැසිරීම දෙස බලන විට වර්තමානයේ වුව ද එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රමාණය 104කට සීමා වනු ඇත. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද 16ක් වෙනුවෙන් රහසිගත මෙහෙයුමක් පැවැති බව මේ වන විට කාටත් රහසක් නොවේ. එම සැඟවුණු ඡන්ද කරළියට ඒමට නියමිතව තිබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 95 දෙනා එකට සිටගත් පසුව යැයි දැනගැනීමට තිබේ.

එය සුරංගනා කතාවක් නොවනු ඇත්තේ පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමඟම එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවෙන් එකවරම වත්මන් ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත් වී මේ මෙහෙයුම දෙස බලන විටය. පක්ෂ අභ්‍යන්තරයේ සිටින මෙවන් රහසිගත කණ්ඩායම් දේශපාලනිකව තීරණාත්මක මෙහොතක දී මතුවීම ස්වාභාවිකය. 

මේ නිසා විශ්වාසභංග යෝජනාවේ තීරණාත්මක මොහොතක් උදා වුණි නම් අදාළ යෝජනාවට පක්ෂව යූ.එන්.පීය තුළින්ම 16 දෙනෙකුගේ ඉවත් වීම එතරම් විස්මයජනක කරුණක් නොවනු ඇත. එසේ වුණි නම් ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද වුවද යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් නොවනු ඇත. මේ සියල්ල වෙනස් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජය නියෝජනය කරන පාර්ශ්වයේ වැඩි පිරිසක් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ වීමට තීරණයට ගැනීමත් සමඟය. එය අගමැතිවරයා රැකගැනීම වෙනුවෙන් ලැබුණු නොසිතූ විරූ සහායකි. එසේම එතුමා ලැබූ ජයග්‍රහණයකි.

මෙම ජයග්‍රහණය අගමැතිවරයා ලබන්නේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යෝජනාව විවාදයට ගැනීමට පෙර දින අගමැතිවරයාට දැනුම් දී තිබිය දීය. එය අගමැතිවරයාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස කරනු ලබන දැනුම් දීමකි. ඉන් රටේ ජනතාවට ගම්‍ය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම ගෙඩිය පිටින්ම අගමැතිවරයාට විරුද්ධ වීම හැරෙන්න වෙන කුණුහරුපයක් එම ඉල්ලීමේ නොමැති බවයි. 

මෙහිදී ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් ඉල්ලා සිටියේ බෙදුණු තීන්දුවක් නොගන්නා ලෙසයි. රාජ්‍ය නායකයා ලෙසින් එම තීන්දුව ගනු ලබන පක්ෂ රැස්වීමට ඔහුට සහභාගි නොවීම සාධාරණය. මෙහිදී පක්ෂයක වගකීම් පැවරෙන්නේ ලේකම්වරුන්ට හා ජ්‍යෙෂ්ඨ නායකයනට බව අමුතුවෙන් කිව යුතු නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීන්දුවක් ගෙන තිබිය දී පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා හැසිරී තිබෙන්නේ ඊට පටහැනිව පමණක් නොව පක්ෂයේ නායකයා වන ජනාධිපතිවරයා පවා අපහසුතාවට පත් වන අයුරිනි. මෙහි ඇති අනෙක් පුදුමය ජනාධිපතිවරයාට සමීපතම මන්ත්‍රීවරයකු වන මලික් ජයතිලක පවා මෙහිදී මධ්‍යස්ථ තැනකට තල්ලුවීමය. 

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම දෙකඩ වී ඇත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 16 දෙනකු යෝජනාවට පක්ෂ වීම හා තවත් පිරිසක් යෝජනාවට මධ්‍යස්ථ වීම තුළින් දේශපාලන අර්බුදයක් හට ගෙන තිබේ. දැන් විශ්වාසභංගය නිසා අපහසුතාවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව පෙනේ. එය එම පක්ෂයට බූමරංගයක් වී තිබෙනවා වාගේය. මෙවන් තීරණාත්මක දේශපාලන කරුණකදී පක්ෂයක් ස්ථිර ප්‍රතිපත්තියකට ඒමට නොහැකි වීම මෙන්ම බෙදුණු තීන්දුවකට යාම පාක්‍ෂිකයන්ට කරනු ලබන අපරාධයකි.

ඊට හේතුව හරි හෝ වැරැදි එක ප්‍රතිපත්තියක් ඔවුනට නොමැතිකමයි. යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩුව නියෝජනය කරන 16 දෙනාට යූ.එන්.පී. විරෝධී හා ආණ්ඩු විරෝධී ජනමතය තුළ පිළිගැනීමක් ලැබී තිබේ. ඔවුන් සැබෑ ශ්‍රී ලංකාකාරයන් ලෙසින් සැලකේ. යෝජනාව ගෙන එනු ලැබූ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන්ටත් වඩා මේ මොහොතේ ඔවුන් ජනප්‍රියත්වයට පත්ව ඇත. දේශපාලනයේ හැටි එහෙමය.

මෙම විශ්වාසභංගය හරහා මතු වන දේශපාලන අභ්‍යාසය මේ රටේ වර්තමානයේ දේශපාලනය කරන හා අනාගතයේ ඊට ඇතුළු වීමට බලාපොරොත්තු වන සියල්ලටම හොඳ පාඩමකි. විවිධ තැන්වල සිදු වූ සාකච්ඡාවල කතාබස් වූ කරුණු සමහරුන් ඔත්තුකරුවන් ලෙසින් හුවමාරු කරගත් අවස්ථා ද දක්නට ලැබෙන බව දැන ගැනීමට තිබේ. මේ නිසා සමහරුන්ගේ බෙල්ල බේරුණේ අනූ නමයෙනි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ පසුබිමක එම පක්ෂයේම කොටසක් නිහඬ කර ගනිමින් යෝජනාව ජය ගැනීම වළක්වා ගැනීමට හැකි වීම අගමැති රනිල් වික්‍රමසිංහ ලැබූ උපක්‍රමීය ජයග්‍රහණයකි. මෙතැන් සිට ඔහුට ඉතිරිව ඇත්තේ අදාළ කණ්ඩායම සන්ධාන ආණ්ඩුව තුළ රඳවා ගනිමින් එම පිරිස සිරිකොත ඩාලිරෝඞ් ශාඛාව බවට පත් කර ගැනීම පමණි. ඉදිරියේ දී පුළුල් එක්සත් ජාතික පෙරමුණක් තුළ මෙම නන්නත්තාර කණ්ඩායම ඊට ඇතුළත් කර ගැනීමේ කාර්යය ඔහුට පහසු වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුතුව තිබුණේ මෙවන් යෝජනාවකට මැදිහත් වී අර්බුදයක් හදා ගැනීම නොව සම්මුතිවාදී ආණ්ඩුව තුළ අලුත් සම්මුතියකට එළඹීමය. ඒ සඳහා ඕනෑ තරම් අවකාශ ඔවුනට තිබුණි. පසුගිය දෙසැම්බර් මාසය වන විටත් එම පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තිබූ ගිවිසුම අවසන් වී තිබුණි. මේ නිසා පහසුවෙන්ම අලුත් ගිවිසුමකට යෑම හෝ වෙනත් තීරණයකට එළඹීමට ඉඩක් විවර විය. මේ සියල්ල සම්බන්ධයෙන්  ඒ අයට නොතිබුණේ දේශපාලන ප්‍රඥාව පමණි.  

වසන්තප්‍රිය රාමනායක