මීට වසර 9කට පෙර මේ රටේ සන්නද්ධ හමුදා එල්.ටී.ටී.ඊ.ය සම්පූර්ණයෙන්ම පරාජය කර අත්පත් කරගත් ජයග්‍රහණය රටක් වශයෙන් අපට සුවිශේෂීය. මෙය දෙවැනි නිදහස වශයෙන් ද සැලකේ. එවන් ජයග්‍රහණයක් වාර්ෂිකව සැමරීම යහපත්ය. මෙය හැඳින්වූයේ ‘මානුෂික මෙහෙයුම’ නමිනි.
 
එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවැති සියලුම සාකච්ඡාමය ක්‍රියාමාර්ග අසාර්ථක වීමෙන් පසුව ඔවුන් සමඟ කතා කළ යුතු භාෂාව යුද්ධය පමණක්ම විය. මෑත ඉතිහාසයේ ගුවන්, නාවික, ගොඩබිම් බලයක් සහිත ප්‍රදේශ පාලනය කළ ත්‍රස්තවාදී සංවිධානයක් සහමුලින්ම පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙසින් මෙම මානුෂික මෙහෙයුම සැලකේ. මේ ගෙවීයන්නේ එහි 9 වැනි සැමරුම් සමයයි. 
 
පසුගියදා පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකට ගොස් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කොළේ ඉරාගෙන ඇඟේ හලා ගත්තා ද? මාධ්‍යකරුවන්ගේ උපක්‍රමයකට හසුවුණා දැයි කියන්න දන්නේ නැත. එහෙත් අමාත්‍ය රාජිත පටලවාගෙන කියූ සමහර කාරණාවල හරයාත්මක සත්‍යයක් තිබේ. ඒවා ඉදිරිපත් කළ ආකාරයේ පටලැවිල්ලක් හා ආවේගශීලී බවක් ඇත. හදිස්සි වුණාම කොරොස් කටෙත් අත දෑම බොරුය. දකුණේ ජනතාව උතුර සමඟ සැබෑ සහජීවනයකට යන්නේ නම් උතුරේ සිදුවන මළවුන් සිහිකර පොල්තෙල් පහන් දැල්වීමේ චාරිත්‍රයක් වුව ද ඉවසීමට දකුණට සිදුවේ. නැතිනම් යුද විරුවන් විශ්‍රාම යමින් සිටියදීම වුව ද තවත් යුද්ධයක් හෝ අපට එරෙහි ජාත්‍යන්තර තෙරපීමක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
 
  රාජිත කිසිදු අවස්ථාවක ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් තම ස්ථාවරය මොනම හේතුවක් නිසාවත් වෙනස් නොකළ දේශපාලනඥයෙකි. පක්ෂ මාරු කළත් ඔහු තම පිළිවෙත වෙනස් කළේ නැත. අප කැමති වුවත් නැතත් එහි දේශපාලනික හා ප්‍රතිපත්තිමය වැදගත්කමක් තිබේ.
 
මෙම මාධ්‍ය හමුවේදී සිවිල් වැසියන් මිය ගිය කාරණය අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කළ මාධ්‍යවේදියා ඒ සම්බන්ධයෙන් කුමන ස්ථාවරයක් දැරුව ද එදා එ.ජා. මහලේකම් පත් කළ දරුස්මාන් කමිටුවට පසුගිය පාලන සමයේ මේ රටේ විදේශ අමාත්‍යාංශය ලිඛිතව පිළිතුරු සපයමින් සඳහන් කරන්නේ යුද්ධයේදී සිවිල් වැසියන් 7000ක් පමණ මිය ගිය බවයි. අමාත්‍ය රාජිතට ඒ ටික කියාගන්න බැරිවීම කනගාටුදායකය. ආණ්ඩුවේ මාධ්‍ය එය අමතක කිරීම ද පුදුම සහගතය. උගත් පාඩම් ප්‍රතිසංවිධාන කොමිසම මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක යෙදේ. 
 
‘ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපය ඉලක්ක කර නොගත් බව කොමිසම නිගමනය කරයි.’ (එල්.එල්.ආර්.සී. වාර්තාව)
“සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙමින් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුව පැවැති ප්‍රදේශ මුදාගැනීමට යොදාගත් හමුදාමය උපාය මාර්ගය, පරිස්සම්කාරී ලෙස ක්‍රියාවට නැංවූවක් ලෙස කොමිසම සෑහීමකට පත්වේ.” (එල්.එල්.ආර්.සී. වාර්තාව)
අමාත්‍ය රාජිතට එරෙහිව පැනනැඟී ඇති දේශපාලන ප්‍රහාරයේදී ඔහු වෙනුවෙන් සමහර කරුණුවලටවත් සාර්ථකව පිළිතුරු දීමට ආණ්ඩුව වෙනුවෙන් ඍජුව ඉදිරිපත් වූ වගකිව යුත්තකු නොමැති තරම්ය. රාජ්‍ය මාධ්‍ය ද එසේමය. මේ දේශපාලනයේ හැටි එහෙමය. රාජිත එය දැනගෙන දේශපාලනය කරනවා නම් යහපත්ය. 
 
එල්.ටී.ටී.ඊ.ය තහනම් සංවිධානයකි. එවන් සංවිධානවලට මහවිරු සැමරුම් පැවැත්වීම තහනම්ය. මේ ඊයේ පෙරේදා දකුණු ඉන්දියාවේදී ද එය ප්‍රදර්ශනය විය. ඉන්දීය ආණ්ඩුව එවන් සැමරුමක් සූදානම් කළ 500කට අධික එල්.ටී.ටී.ඊ. පිරිසක් අත්අඩංගුවට ගත්තේය. 
 
එහෙත් මළවුන් සිහිකර පහනක් පත්තු කිරීමේ වරදක් නොමැත. එම අයිතිය රටේ ඕනෑම පුරවැසියකුට තිබේ. ඊට එරෙහිව ද දකුණේ නලියන අය සිටිත්. “උනහපුළුවාගේ පුතා උගේ අම්මාට මැණිකක්” යැයි ගැමි කියමනක් තිබේ. එය ත්‍රස්තවාදියාගේ අම්මාටත් අදාළය. ඒ නිසා ඔවුන් පස් කා වැළපීමේ සිදුවීම් තුළ බෙදුම්වාදයක් ඇද්දැයි සොයාබැලීම විහිළු සහගතය.
 
මේ සියලු කලබල අස්සේ තමන්ට ඇති වැඩ කටයුතු පසෙක තබා ත්‍රස්තවාදියා හා රණවිරුවා කවුරුන්දැයි රටේ දේශපාලනය කරන අයට පැහැදිලි කර දීමට ජනාධිපති මෛත්‍රීට සිදුවිය. ඒ සමහර අයගේ ප්‍රකාශ නිසා රජය අපහසුතාවට පත්වන නිසා දැයි කියන්න දන්නේ නැත.
 
 “ත්‍රස්තවාදියා කවුද රණවිරුවා කවුදැයි පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව මම කනගාටු වෙනවා. රණවිරුවා හා ත්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත්, විපක්ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී.ඕ.වලටත් තිබෙනවා.” 
 
දකුණේ අය රාජ්‍ය රණවිරු සැමරුමට සමගාමීව බෙදුම්වාදී ව්‍යවස්ථාවක් පිළිබඳ බිල්ලකු මවන විට උතුරේ සිදුවන්නේ ද ඒ හා සමාන ක්‍රියාදාමයකි. උතුරේ පාසල් කඩ සාප්පු බලහත්කාරයෙන් වසා දමා යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් සමඟින් මහ ඇමැති විග්නේශ්වරන් එල්.ටී.ටී.ඊ.යේ මහවිරු සැමරුමට පණ දෙමින් සිටී.
 
වරද ඇත්තේ රණවිරු සැමරුම්වල හා මළවුන් සිහිකිරීම්වල නොවේ. මේවා යටින් ක්‍රියාත්මක වන පටු ජාතිවාදී කැත දේශපාලනයේය. නැති නම් එම සැමරුම් පටු දේශපාලනය සඳහා යොදා ගැනීමේය. එල්.ටී.ටී.ඊ.ය ඊට නිල වශයෙන් සහභාගී වී සිටිනවා දැයි කල් ඇතිව සොයා බැලීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබිය යුතුය. පෞද්ගලික බස්කාරයන්ටත් යට වූ ආණ්ඩුවකින් එය බලාපොරොත්තු වීම ද වැරැදිය.
 
  අපට දැන් අපේ දුකට පිහිටවීමට නායකයෙක් සිටිනවා යැයි මීට වසරකට පෙර සමූහ දූෂණයකට ලක්ව ඝාතනය වූ විද්‍යා සිසුවියගේ මව පැවැසුවේ කාට ද? ජනාධිපති මෛත්‍රීටය. ඒ ඔහු හදිස්සියේම ඇගේ නිවසට ගොඩවැදුණු මොහොතේය. යාපනයේ සාමාන්‍ය ජනතාව අතර බෙදුම්වාදයක් ජාතිවාදයක් හෝ වෙනත් රටක් පිළිබඳ අදහසක් නොමැත. එහෙත් ඔවුනට විසඳාගත යුතු දෙමළ වීම නිසාම මුහුණ දෙන ගැටලු ඇති බව පෙනේ. මේ ආණ්ඩුව බලයට පත්වන්නේ ද එම ප්‍රශ්න විසඳන බවට විශේෂයෙන්ම පොරොන්දු වෙලාය. එහෙත් ආණ්ඩුවේ සමහරුන් හොරකමට ප්‍රමුඛත්වය දීම නිසා සියල්ල කණපිට පෙරළිලා වාගේය. සමහරුන්ට හොරකම හා රට යෑම හැරෙන්නට වෙනත් කිසි වගකීමක් ඇති බවක් නොපෙනේ. 
 
මේ සියලු තත්ත්වයන් යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ දිනවල වගකීම් සහගත ප්‍රවේශයකින් කටයුතු කරන බව පෙනේ. ඔහු දැන් තමා වටා සිටින සමහර අයියලා නිවැරැදිව හඳුනාගෙන සිටිනවා වාගේය. ඒ දනුම හා අත්දැකීම් ඔහුට තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලික ස්ථාවරය යහපත්ය. එහෙත් සුළු ජාතීන් ඔහුගෙන් ඈත්වුණු පිරිස් තවමත් වෙනස් වෙලා නැත. අනාගතයක් ගැන කල්පනා කරන්නේ නම් ඒ අය පාලනය කර ගැනීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවේ. 
  පසුගිය කාල පරාසය පුරාම එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජය කිරීමට අවශ්‍ය ශක්තිමත් දර්ශනයක් වැඩපිළිවෙළක් පැවැතිය ද ඉන් පසු උදාවන තත්ත්වයන් ජයගැනීමේ දර්ශනයක් පසුගිය දශක දෙක තුළ කිසිදු ආණ්ඩුවකට තිබී නැත. එහෙත් වත්මන් රජය බලයට පත්වන්නේම ඊට කැපවෙන බව සහතික කරමිනි. තවමත් මේ ආණ්ඩුව නොකරන්නේ ම එයමය. වත්මන් ගෝලීයකරණ රටාව තුළ ලෝක බලපෑම්වලින් තොරව ජීවත් වීමේ අයිතියක් කිසිදු රටකට නොමැත. මෙහිදී යම් සුපිරි බලයක් අත්පත් කර ගෙන සිටින්නේ මහා බලවතුන් පමණි. එම මහා බලවතුන් පෙන්වමින් ඔවුන්ට පුළුවන් නම් අපට බැරි ඇයි ද කියා ප්‍රශ්න කිරීම ගමේ මිනිහා රැවටීමට නම් හොඳය. පසුගිය දා රුසියාවට යවන ලද තේ පෙට්ටියක තිබී කුරුමිණියෙක් හමුවිය. මේ නිසා රුසියාවට යවනු ලැබූ සමස්ත තේ අපනයනයම තහනමකට ලක් විය. ඉන් අපට බිලියන ගණනක පාඩුවක් අත්වන තත්ත්වයක් උදාවිය. අපේ ස්වාධීනත්වය කුරුමිණියාට ද යට විය. වසර 2500 අභිමානය පසෙක තබා අප රුසියාව ඉදිරියේ නොවඳිනා වැදුම් වැඳ ප්‍රශ්නයට විසඳුම් සොයනු ලැබීය. 
 
  “අපේ තේ එපා නම් නුඹලා බම්බු ගහගනිල්ලා” යැයි රුසියාවට කීමට තරම් ස්වාධීනත්වයක් අපට නොතිබුණි. අප කතා කරන අභිමානයේ හා ස්වාධීනත්වයේ ශක්තිය මැන බැලීමට හැකි වන්නේ මෙවන් කාරණාවලදීය. මේ නිසා උතුරේ ප්‍රශ්නය අප රට තුළම විසඳා නොගෙන ජාත්‍යන්තර අත දැමීමක් සිදුවුවහොත් එය කිසිසේත්ම ශ්‍රී ලංකාවට හොඳක් වන්නේ නැත. එසේ වුවහොත් ජාත්‍යන්තර තෙරපීමකින් අනතුරුව බොහෝ දෑ ඔවුනට දිනා ගැනීමට යළි යුද්ධයක් වුව ද අවශ්‍ය නොවනු ඇත. හෙට දවසේ රටේ කවුරු බලයට පත් වුව ද මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. එය ‘සොඳුරු ආඥාදායකයකු’ට වුව ද පොදුය. උතුරේ ප්‍රශ්නය නොවිසඳා හෙට දවසේ සොඳුරු ආඥාදායකයකු කැඳවා ගැනීමට දකුණේ සිංහල බෞද්ධ ප්‍රජාව සූදානම් වන්නේ නම් එයට උතුරේ අන්තවාදීන්ට තම ඉල්ලීම් දිනාගැනීම සඳහා ජාත්‍යන්තර තෙරපුමක් උදෙසා පහසුවනු ඇත. නැත්නම් ආඥාදායකයාට වුව ද බලය පවත්වාගෙන යෑම උදෙසා ජාත්‍යන්තරය අබියස පූස්පැටියකු වීමට සිදු වනු ඇත. 
 
එහෙම නම් අනේ ඉතින් කුමක් කරන්නේ ද? ඔය ඉල්ලන දෙයක් දීල දාමු කියා පසුගාමීව රට පාවාදීමේ තැනකට අප යා යුතු ද නැත. 
 
  මේ ගෝලීය වටාපිටාව තුළ අපට අපේ ස්වාධීනත්වය රැකගෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සිදුවන්නේ හැඟීම්වලට වහල් වෙමින් එදා වේල ටුවර්ස් දේශපාලනයක යෙදෙමින් නොවේ. මොළේ පාවිච්චි කරමිනි. එය නොතේරෙන කෙනකුට නෙල්සන් මැන්ඩෙලාගෙන් වුව ද පාඩම් ඉගෙනගත හැකිය. ඔහු තම ජනාධිපති පදවි ප්‍රාප්තිය දා ප්‍රීතියෙන් උදම්ව ඉහළට ඔසවන ලද තුවක්කුවක හඬ නිකුත් කළ හිතවත් පාක්ෂිකයා පක්ෂයෙන් ද ඉවත් කළේ ය. ඊට හේතුව එය සහජීවනයට කුඩා හෝ බාධාවක් විය හැකි යැයි හෙතෙම කල්පනා කළ නිසාය. නායකයන් වැඩ කරන්නේ එසේය. ඇවැසි වන්නේ දේශපාලන විසඳුම්ය. පරිණත අත්දැකීම් සහිත පාඩම් ඉගෙනගෙන ඇති දේශපාලන නායකත්ව රැසකි.
 
  අදත් අපේ දේශප්‍රේමීහු එදා එළාරගෙන් මේ රට නිදහස් කරගත් දුටුගැමුණු රජු ගැන කතා කරති. ඔහුගේ වීරකම් අගයති. එහෙත් ඔහු ලොවට එළිකළ සහජීවනය ගැන හෝ මිනිස්කම ගැන කතා කරන්නේ නැත. තමා අතින් මැරුම් කෑ එළාරගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියෝග දුන් දුටුගැමුණු එළාර නමින් සොහොනක් තැනවීය. ඊට ගෞරව කිරීමට ද රාජ නියෝග නිකුත් කළ බව පොත පතේ සඳහන් වේ. දුටුගැමුණු කළ දේ ඒ විධියටම අදට ගළපාගත යුතු නැත. එහෙත් ඔහු දුන් ආදර්ශය ජනවාර්ගික සමගියට හා සහජීවනයට යොදාගත හැකිය. මේවා ගැන අපේ දේශප්‍රේමීහු කිසිවක් කල්පනා නොකරති. ඒ තරමටම අපි අවස්ථාවාදී දේශප්‍රේමයෙන් උමතු වී සිටින්නෙමු. 
 
වසන්ත ප්‍රිය රාමනායක