රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අද දවසේ සංවාදාත්මක මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද නැද්ද යන්න නොව කරනවා නම් කිරීමට දහසක් දෑ තිබියදී යල්පැන ඇති හදිසි අවශ්‍යතාවක් නොවූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා සංශෝධනයකට එළඹ ඇත්තේ ඇයිද යන්නයි.
 
 එසේම ජනතා විමුක්ති පෙරමුණේ ද සහායෙන් තටු කපාදැමූ ජනාධිපති පදවිය, අද වන විට කටේ හයිය තිබෙන තරමට ගතේ හයියක් නැතිව වැටී සිටියදී, දෙපා ගැට ගැසීමට සැරසෙන්නේ ඇයිද යන්න ඔවුන් නගන තවත් පැනයකි. ගැහැනියක් පිරිමියකූ කිරීම හැර අන් සියල්ල කළහැකි බව කියා 80 වැඩවර්ජනය පොඩිපට්ටම් කොට හොඬය වැනුවා පමණයි කියා උදම් ඇනුවේ ජයවර්ධන ජනාධිපතිතූමාය. 81 යාපනේ සංවර්ධන සභා ඡන්දයේදී සිදුවූ දේ සැමට මතකය. පුස්තකාලයටද ගිනි තැබිණි, 82 ජනමත ප්‍රෝඩාව හරහා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගත්තේය, 83 ක`එ ජුලියේ වගකීම, ජනමත විමසුමේදී තමන්ට අභියෝග කළ ජවිපෙ මත පැටවූවේය. පක්‍ෂ නායකත්වය ඇතුළු සාමාජිකයන් සමූලඝාතනය කිරීමේ වාඩුව ගැනීමට හිතා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට සිතුවා නම් එහි ඇති අසාධාරණයක් නැත. එහෙත් අද ඒ ඒකාධිපතින් නැත.
 
මහින්ද මහතා විධායක ජනාධිපති බලය යොදා ගත්තේ පුරා තිස් අවුරුද්දක් පැවති ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සඳහා දේශපාලන නායකත්වය සැපයීම සඳහාය. ඒ කාර්ය ඉටුකරවා ගන්නා තැනට මහින්ද මහතා තල්ලුකරගෙන ආවේද ජවිපෙය. මහනිල් මල් ව්‍යාපාරය, දේශ හිතෛශි ජාතික ව්‍යාපාරය, මව්බිම ලංකා පදනම, රතුතරුව වැනි බහුජන සංවිධාන පෙරටුකරගත් ජවිපෙ, ත්‍රස්තවාදයට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටියේය. එහෙත් මහින්ද මහත්තයා තම වගකීම ඉටුකිරීමේදී අවසන් වන තෙක් හිටියේ වීරවංශ පිල ය. මුළු රටම ජාතික ධජය අත දරා ත්‍රස්තවාදය පිටුදකින රණවිරුවන්ට සවියක් වෙද්දී ජවිපෙ කළේ වැඩ වර්ජන කැඳවීමය. එයින් පක්‍ෂයට ලැබුණු වාසියක් නොවීය. 
 
දැන් ජවිපෙට රාජපක්‍ෂවරු නයාට අඳුකොළ මෙන් වුවත් එදා එජාප නායකයන් වධකාගාර පවත්වමින් කොළ කොටි, කහබළල්ලු වැනි මැර කල්ලි යොදා ජවිපෙ ක්‍රියාකාරීන් වැල ගිය මුල ගිය තැන් සොයමින් අතුරුදන් කරද්දී, එයට එරෙහිව ජිනීවා යාමට ලෑස්ති වුණේ මහින්දය. එසේම ජවිපෙ ඇතුළු මුළු රටේම අපේක්‍ෂාව වූ නොබෙදුනු රට මෙතෙක් පවත්වා ගැනීමෙහිලා යමක් කළේ රාජපක්‍ෂලාගේ නොසැලුනු දේශපාලන නායකත්වය බව අමතක නොකළ යුතුය. රට බෙදෙන අන්තිම නිමේෂයන්වූ 2002 සටන් විරාම හෙවත් අවබෝධතා ගිවිසුමෙන් යෝජනා කළ අන්තර් ස්වයංපාලන අධිකාරියත් :ෂීඨ්*ල 2005 සුනාමි සහන මණ්ඩලයටත් එරෙහිව ජනමතය ගොඩ නගා රටේ අනාගතය සුරක්‍ෂා කළේ ජවිපෙය. එසේනම් වරද ඇත්තේ විධායක බලයේ නොව එය අතට ගන්නා මිනිසාගේ භාවිතය තුළ බව අවබෝධ කොටගත යුතුය. ඒ නිසා අප විසින් කළ යුත්තේ විධායක කඩුව වඳුරකුට නොදී රටට ජාතියට මේ රටේ ගහකොළට ආදරය කරන මිනිසකුගේ අතට දීමය.  
 
පළමුවෙන් පටන්ගත යුතු දේ පළමුවෙන් කළ යුතුය යන්න අප උගත් පාඩමකි. පටන් ගන්නේ නම් ජනතාව වෙනුවෙන් කිරීමට රටට දැනෙන ඕනෑතරම් වැඩ තිබේ. යහපාලන සැඩපහරේ ගසා යන ගොවි කම්කරු සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතු`එ ජීවිතය සමඟ පොර බදන මිනිසුන් වෙනුවෙන් මීට වඩා ඵලදායි මැදිහත්වීම්වලට අවතීර්ණ විය යුතුව ඇත. තමන්ද ඇතුළුව මේ රටේ පාලකයන්ට පඩි නඩි ගෙවීමට මසකට රුපියල් කෝටි 182 ක් සහ 88 ලක්ෂයක් :182ල88ල00ල000* වැයවන බව මෑතකදී කළ සමීක්‍ෂණයකින් හෙළිවිය. බදුපිට බදු සහ දඩ පිට දඩ ගසා ජනතාව මිරිකා හප කරන යහපාලකයන් අභයභූමි වනසද්දී, සීනි සහ අල කන්ටේනර්වලින් මත්කුඩු තොගපිටින් රට තුළට ගෙන එද්දී, බෙහෙත් නැතිව ජාතියේ අනාගතය වු ළදරුවන් මියැදෙද්දී, බෙහෙත් පෙත්තෙන් ගසාකන,
 
ටෙන්ඩරයෙන් කොමිස්ගහන, ජාවාරම්කාරයන්ගෙන් අල්ලස් ගෙන ජනතාවට නොව ජාවාරම්කාරයන්ට අවශ්‍ය පරිදි දේශපාලනය කරන, දේශපාලනඥයන් සිටිද්දී, ඒ කිසිවකටත් උත්තරයක් නොසොයා රාජ්‍යයේ රාමුව වෙනස්කිරීම ප්‍රමුඛ කටයුත්තක් කර ගැනීම කාලීන වුවක් හෝ ජනතාව දිනා ගතහැකි ව්‍යාපෘතියක් හෝ නොවන බව කිව යුතුය. සෝභිත හිමියන් පෙනී හිටියේ දූෂණය නාස්තිය නැති යහපාලනයක් වෙනුවෙනි. එදාට වඩා අද තත්ත්වය වෙනස්ය.
 
විධායක බලතල පාවිච්චි නොකරන ජනාධිපතිවරයකු සිටියදී අද සිදුවන මහා පරිමාණ අල්ලස් ගැනීමේ සිට රටේ සැම තැනකම සිදුවන නාස්තිය, දූෂණය, පරිපාලන අකාර්යක්‍ෂමතාව දෙස බලන විට අපට නම් දැනෙන්නේ ශක්තිමත් පාලකයෙක් මේ රටට අවශ්‍ය බවය. රාජ්‍ය නායකයා දුර්වල වන විට  රටේ දේපල විකුණන, ශ්‍රමය භූමිය ඇතුළු රටේ සම්පත් හොර ගිවිසුම් මගින් විදේශිකයන්ට පුදා රටවැස්සන් හිඟන්නන් ලෙසින් පාරට බස්සන, පාලනයක් බිහිවන බව ඇස් පනාපිට පෙනි පෙනී තිබියදී, එවන් පාලනයක් අහවර කිරීම පසෙක ලා, ජවිපෙ කරන්නේ කඳේ ඇති රෝගයට කරටියට බෙහෙත් කිරීමය. එය අරාජකවාදී පිළියමකි. ලෙඬේ ඇත්තේ මුලේ බව නොදැන මුදුනින් මල් සහ ඵල බලාපොරොත්තුවීම මුළාවක් පමණි. මෙවැනි වෙදකම්වලින් සතුටුවන්නේ බටහිර බෙදුම්වාදීන් සහ ඔවුන් විසින් මෙහෙයවන මෙරට ඒජන්තයන් පමණි. 
 
මෙතෙක් ඉතිහාසය තුළ බෙදුම්වාදයට එරෙහිව තිබූ වැදගත්ම බාධකය වූයේ පළාත් මට්ටම් දක්වා විහිදුවාලිය හැකි විධායක ජනාධිපතිගේ බලතල සමූහයයි. ආණ්ඩුකාරයා තමන්ගේ නියෝජිතයා ලෙසින් පළාත් පරිපාලනය මෙහෙයවන බලධාරියා බවට පත්කොට මහ ආණ්ඩුවේ අණසක පළාත් මට්ටම් දක්වා පැතිරවීමට 78 ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ ජනාධිපතිට හැකිවිය. මධ්‍යයට අභියෝග කරන ඕනෑම පළාත් සභාවක් විසුරුවා හැර මධ්‍යම ආණ්ඩුවේ බලයට පවරා ගැනීමට විධායක ජනාධිපතිට හැකියාව තිබුණි. ප්‍රේමදාස ජනාධිපතිතුමා වර්ධරාජා පෙරුමාල් ප්‍රකාශයට පත්කළ ඊළාම් පළාත් සභාව විසුරුවා හැරියේ එකී විධායක ප්‍රතිපාදනයන්ට අනුවය. එබැවින් වර්ගවාදී මානසිකත්වයන් යටතේ බෙදුම්වාදී ත්‍රස්තවාදය ඉතිහාසයෙන් ගොඩගෙන උතුරේ ජනතාව අන්තවාදය කරා මෙහෙයවීමට විග්නේශ්වරන්ලාට සිවාජිලාට ප්‍රතිපාදන සැපයෙන පළාත් සභා ක්‍රමය පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කාලෝචිත නොවේය යන්න බොහෝ දෙනකුගේ මතය වී තිබේ. එසේ නම් ජවිපෙ විසින් ඉටු කළයුතු පූර්ව කොන්දේසියක් තිබේ.
 
එනම් ඔවුන් විසින්ම සුදු අලියෙක් ලෙසින් හඳුනාගත් ජාතිය මත පැටවී ඇති මහා බරක් වූ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පෙරමුණ ගැනීමය. එසේ නැතහොත් ජාතිය බෙදෙන බෙදුම් රේඛා දෙපස සිට මරාගන්නා සම්පත් විසම ලෙස බෙදීයාමෙන් ජාතික සංවර්ධනය අඩාල වන්නාවූ  ප්‍රතිවිපාක සහිත යෝජිත පෙඩරල් ව්‍යවස්ථාව අක්‍රිය කොට මේ කුඩා රට වාර්ගික පදනම් මත සිදුවන කැබැලිවීම වළකාලීමට දායක විය යුතුය. ඉන්පසු ඒකීය රටක් තුළ බලය හැකිතාක් පහළට ගලායන දේශපාලන හා පරිපාලන විකේන්ද්‍රනයක් ඇති කිරීමට පෙරමුණ ගත යුතුය. බලය බෙදීම පිළිබඳ කිසිවකුත් අකමැති නැත. අපගේ අකමැත්ත ඇත්තේ වාර්ගික බෙදුම් රේඛා මත බිම්කඩවල් නිර්මාණය කිරීම පිළිබඳවය. ඒ බව මැනවින් වටහා ගත් ජවිපෙ මුල්කාලයේ යෝජනා කළේ විකේන්ද්‍රනීය පරිපාලන ක්‍රමයකි. එය ඉන්දියාවේ පංචායත් රාජ්‍ය ක්‍රමයට සමරූපී විය. ඒ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බෙලහීන කළ විධායක ජනාධිපතිවරයකු බිත්තියටම හේත්තු කිරීමට සැරසීම එක්කෝ බටහිර නව අධිරාජ්‍යවාදී වුවමනා එපාකම් ඉටුකිරීමකි, නැතහොත් දමිළ බෙදුම්වාදී අවශ්‍යතාවට අනුබල දීමකි.   
 
අද ලෝක දේශපාලන බලවේග අධ්‍යයනය කරනවිට පැහැදිළි වන්නේ, බටහිර නව අධිරාජ්‍යවාදීන් පරිධියේ ඇති රටවල දේශපාලනය තමන්ගේ න්‍යාය පත්‍රයට අනුකූලව හසුරුවමින් සිටින බවයි.  අප රට කෙරෙන්ද ඒ සිතිවිල්ල ඒ අයුරින්ම වලංගු කරගැනීම වටී. මැතිවරණවලදී අපි ඡන්දය පාවිච්චි කළත් ඡන්ද පොළට යන අපේ මනස හදන්නේ බටහිර බලවේගයන්ය. ඔවුහු ඒ සඳහා ඉතා සූක්‍ෂම ලෙසින් රට තුළින්ම දුෂ්ඨ ඒජන්තයන් සොයාගනිති.  එකී ඒජන්තයන්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සමානාත්මතාවය, අනාගමික රාජ්‍ය, සංහිඳියාව, අසාර්ථක රාජ්‍යය, මැදිහත්වීමට ඇති අයිතිය, පෙඩරල්වාදය වැනි මානවවාදී ඉතා සාධනීය සටන්පාඨ අත දරා ජනතාව මුලා කරති.
 
ඉන්පසු මෙකී දුෂ්ඨ බලවේග තමන්ට අනුගත නොවන පාලකයන් පළවාහැර, රූකඩ පාලකයන් පරිධියේ රටවල වාඩි කරවා එකී රටවල සම්පත් කොල්ලයේ යෙදෙති. ඒ වෙනුවෙන් ඕනෑම බරපැනක් දැරීමට ඔවුන් සූදානම් බව මේ නිදසුනෙන් පැහැදිළි වේ. බලන්න සෝවියට් දේශය බිඳ වැටීමෙන් අනතුරුව 1996 පැවැත්වූ මැතිවරණයේ දී ප්‍රතිසංස්කරණවාදී යෙල්ට්සින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකාව ලෝබ නැතිව ඩොලර් බිලියන 1900 ක් වැය කොට තිබුණි. ප්‍රගතිශීලින් පරාජය කිරීම සඳහා ඔවුහු අපි වෙනුවෙන්ද වියදම් කරති. 2015 ජනවාරි පෙරළිය අපි කරපු අපේම පෙරළියක් පමණක් නොවන බව මෙහිලා සිහිපත් කර ගැනීම වටී.  
 
මෙසේ තමන්ට අනුගත නොවන, පරිධියේ රටවල සිටින දේශයට ආදරය කරන ශක්තිමත් පාලකයන්, ඒකාධිපතියන් ලෙසින් හෝ මිනීමරුවන් ලෙසින් ලෝකයට හඳුන්වා දී, බටහිර කොල්ලකාරි ධනවැද්දන් තමන්ගේ අරමුණු ඉටුකරගත් අයුරු සදාම් හුසේන් හා කර්නල් ගඩාපි මරාදැමූ අයුරින් මනාව පැහැදිලි වේ.  ජෝන් පර්කින්ස් වරක් මෙසේ පාපොච්චාරණය කර තිබේ. “අපි කියන දේ ඇසුවේ නම්, අදත් සදාම් හුසේන් ඉරාකයේ පාලකයා වන බවය. බටහිරයන් විසින් පෝෂණය කළ කොටි ත්‍රස්තවාදයේ පරාජය අමෙරිකාව විසින් මෙහෙයනු ලබන නෝර්වේ ප්‍රමුඛ යුරෝපා සංගමයේද පරාජයක් ලෙස අපට කලින් දුටුවේ ලෝකයේ ප්‍රගතිශීලී කඳවුරේ නායකයන්ය.
 
  2009 මැයි 19 ජයග්‍රහණයෙන් පසු ජනාධිපති පුටින්ගේ ගෞරව සම්මානයට මහින්ද පාත්‍රවන්නේ ඒ නිසයි. මේ යථාර්ථය ජවිපෙ ද නොදන්නවා නොවේ. එබැවින් රට කැබැලිවීමට ඇති සකලවිධ ඉඩප්‍රස්ථා හ`ඳුනාගෙන, බටහිර දුෂ්ඨ බලවේගයනට අතපෙවීමට ඇති කඩතොළු මකා දමා, රටත් ජාතියත් මුහුණපා ඇති මේ ව්‍යසනයෙන් ගැලවිය හැකි මාර්ගයක් සොයනවා විනා, රටේ සාමාන්‍ය ජනතාවට කිසිදු සංවේදිතාවක් නැති, විධායකය රෙපයාර් කිරීමට ජවිපෙ වඩුවන් සැරසීම පාන් ඉල්ලා හඬන මිනිසුන්ට පාන් දෙනු වෙනුවට පාන් තැනු පෝරණුව කඩා කේක් තනන බේකරියක් තැනීමට සැරසෙන්නාක් වැනිය. 
 
ඒ නිසා ජවිපෙ 20 සංශෝධන ව්‍යාපෘතිය, ගැටලුව නිවරැදිව හඳුනාගත් පිළියමක් නොවන නිසාත්, අකලට ගෙන එන්නක් නිසාත්, රාජ්‍ය දුබල කිරීමේ උත්සාහයක් නිසාත්, පොදු මහත් ජනතාව සහ ත්‍රෛනිකායික සංඝරත්නයේ ආශිර්වාදය නොලබන නිසාත්, අනාගතයේ ඒකාබද්ධයෙන් එතැය
 
පුරෝකථනය කරගත් දේශපාලන චරිතයක් ඉලක්ක කර ඇති නිසාත්, සුළුතර හා බහුතර දේශපාලන පක්‍ෂ බොහොමයක් විසින් ප්‍රතික්‍ෂේප කරන ව්‍යාපෘතියක් බවට පත්වනු ඇතැයි සිතේ.