වසර 2019 සඳහා වූ අය වැය පාර්ලිමේන්තුවේදී සම්මත වූවේය. මෙය මිශ්‍ර ඵලදායක අයවැයකි. එයට හේතු කීපයකි. සංවේදී වූ හොඳ පැත්තක් මේ අයවැයේ තිබේ. ඒ වගේම පරස්පර විරෝධී කාරණා ද මෙහි අඩංගුය. මධ්‍යම සහ කුඩා පරිමාණයේ කර්මාන්තවලට බැංකු හරහා විශේෂ ණය ක්‍රමයක් මේ අයවැයෙන් යෝජනා කර තිබේ. සියයට පහක හයක පමණ පොලියකට එම ණය ලබාදීමට සැලසුම් කර තිබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙවන් පොලියකට ණය දෙන්නේ ලංකාවේ පළමු වතාවටය. මෙය ඉතා හොඳ ලක්‍ෂණයකි. මේ ණය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති, කර්මාන්තවල දියුණුව නිසි පරිදි ගොඩනඟා ගතහොත් අපනයන අංශය ශක්තිමත් කර ගැනීමට ද අවකාශය තිබේ. හොඳම ප්‍රතිඵල ලබන සිසුන්ට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලවලට යාමට හැකිවන ආකාරයට සිතාගැනීමට නොහැකි ආකාරයට ශිෂ්‍යත්ව ලබා දී තිබේ. මෙය ඉතාමත් හොඳ පියවරකි. පාසල් දරුවන්ට කිරි වීදුරුවක් ලබාදීමට යෝජනා කිරීම ආදිය බෙහෙවින්ම යහපත්ය.

එහෙත් විශාල වැය ප්‍රමාණයක් මේ අයවැයේ පෙන්නුම් කර තිබේ. මේ මුදල් අයකර ගැනීම පෙන්නුම් කරන්නේ ඍජු හා වක්‍ර බදු මගිනි. ඒ සියල්ලේ අවසානය මේ රටේ මහජනතාවය. ඒ අනුව අවසන් පීඩකයා වන්නේ සාමාන්‍ය සමාජයයි. බලාපොරොත්තු වන වියදම් කිරීමට අවශ්‍ය මුදල් රජයට ලැබෙන ආකාරය සම්බන්ධව ප්‍රශ්න තිබේ. වැඩෙමින් තිබෙන්නේ බදුය. මීට අමතරව මේ මුදල් සොයා ගැනීමට නම් විදේශ ආයෝජන රටට ලැබිය යුතුය. එහෙත් විදේශ ආයෝජකයන්ට ලබාදෙන සහයෝගය පිළිබඳ පැහැදිලි දර්ශනයක් මේ අයවැයේ පෙනෙන්නට නැත.

ආයෝජක ප්‍රශ්නයක් මේ රටේ ඇතිවීමට මූලිකවම බලපෑ කරුණක් වූයේ මහ බැංකු වංචාවය. මහ බැංකුවත් වංචා කරන රටක කෝටි ගණනින් ඩොලර් ගෙන ඒමට වෙනත් රටවල ආයෝජකයෝ මැලිවෙති. ලංකාවට මුදල් එවන විට සැක සහිතව ඒ දෙස බලන තත්ත්වයක් ජත්‍යන්තරව නිර්මාණය වී තිබේ. යුරෝපා රටවල් මෙතැනදී විශේෂිතය. එයට හේතුව ලංකාව මුදල් විශුද්ධිකරණය කරන රටක් ලෙස ප්‍රචලිතව තිබීමය. එය අපේ මූල්‍ය වෙළෙඳපොළේ ඍණාත්මක ලක්‍ෂණයකි. ආසියාවේ රටවලින් ලංකාවට මුදල් එව්ව ද යුරෝපයේ සහ ඇමෙරිකාවේදී මේ ප්‍රශ්නය තදින්ම බලපාන්නකි. විදේශ ආයෝජකයන්ගේ පැමිණීම අඩුවීමට මේ කාරණා තදින්ම බලපා තිබේ. රජය නොයෙකුත් ආකාරයේ ඉලක්කම් විජ්ජා ඉදිරිපත් කළත් ඒවායෙන් ඇත්ත කතාවක් කියැවෙන්නේ නැත. ඩොලරයට ගෙවන මුදල රුපියල් හයකින් හතකින් අඩු වූ බව මේ දිනවල කියන කතාවකි. මෙම අඩුවීමට හේතුව විදේශ රැකියාවල නියුතු ලාංකික ජනතාව අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට මුදල් එවීමය. මේ නිසා ඩොලර් මිලියන ගණනක් රටට ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියලේ අගය ශක්තිමත් වූවේය. එහෙත් තවත් මාසයකින් දෙකකින් මුලින් පැවැති තත්ත්වයම නිර්මාණය වනු ඇත. මෙයට අමතරව ආයෝජනය වෙනුවෙන් ඩොලර් බිලියන දෙකක් පමණ ලබාදෙන බවට ජපානයත් චීනයත් ආණ්ඩුවට පොරොන්දු වූවේය. එය ද මෙයට බලපෑ තවත් සාධකයකි. එසේ නැතිව වෙනත් ආශ්චර්යයක් මෙතැන සිදුව නැත.

ආයෝජනය හා සම්බන්ධ රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව අඩුවී තිබේ. ආයෝජන අඩුවීමට එය ද හේතුවකි. මේ පසුබිම යටතේ ඉතාමත් දුෂ්කර පසුබිමක් යටතේ තම ව්‍යාපාර මේ රටේ ආරම්භ කිරීමට විදේශ ආයෝජකයන්ට සිදුවනු ඇත. එහෙත් ඊට වඩා පහසුවෙන් ආසියාවේ අනෙක් රටවල ආයෝජනය කිරීමට ඔවුන්ට පුළුවන. ඉන්දියාව, බංග්ලාදේශය එයට උදාහරණ දෙකකි. නිරන්තරයෙන් වෙනස් වන නීති රාමුවක් මේ රටේ තිබේ. අලුතෙන් බදු හඳුන්වාදීමක් කෙරෙනවා නම් ඒ සම්බන්ධ දැනුවත් කිරීම වසරකට එකහමාරකට පෙර කිරීම අනෙක් රටවල තත්ත්වයයි. එහෙත් අපේ රටේ එවන් ක්‍රියා හිටි ගමන් මධ්‍යම රාත්‍රී 12න් ආරම්භ වනු ඇත. මෙවන් අනපේක්‍ෂිත බදු අයකිරීම් මේ රටේ බහුලය. මේවා විදේශ ආයෝජකයන්ට ගැටලුවකි. කවුරු කෙසේ කීවත් මේ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජනවල අඩුවීමක් තිබේ. මේවා ආර්ථිකයට තදින්ම බලපාන කාරණාය.

ලංකාව ලබාගන්නා ණය ප්‍රමාණය ද වැඩිවී තිබේ. ලබාගෙන ඇති ණය ගෙවීමට තවත් ණය ගැනීමට සිදුව තිබේ. ආර්ථික විද්‍යාවේදී සාමාන්‍යයෙන් එවැන්නක් විය හැකිය. එහෙත් ණය ගන්නා විට රුපියලේ ඇති අනුපාතය ණය ගෙවන විට නැත. බෙහෙවින් ඉහළ අනුපාතයකට ගමන් කරනු ඇත. එනිසා එම පරතරය පියවා ගැනීමටත් ණය ගැනීමට සිදුවනු ඇත. වෙළෙඳ පරතරය වැඩි වෙමින් තිබේ. අයවැය පරතරය ද එසේමය. මේ සියල්ල එකතු වූ විට යම් ආර්ථික ප්‍රශ්නයක් නිර්මාණය වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩුවී තිබේ.

මේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පාදනයට සමාජයේ ලොකු සහභාගීත්වයක් නැත. සමාජයේ සෑම කොටසක්ම සම්බන්ධ කරගෙන ඔවුන්ගේ යෝජනා ලබාගෙන ඒවා සම්බන්ධ වාද විවාද කර තීරණ ගැනීමේ ක්‍රමවේදයක් මේ රටේ නැත. අතිබහුතරය ක්‍රම සම්පාදනයට කිසිදු සම්බන්ධයක් නැත. එයට සම්බන්ධ වන්නේ ඉතා සීමිත නිලධාරීන් කොටසක් සීමිත දේශපාලනඥයන් කොටසක් පමණි. ඒ වගේම ඇතැම් දේශපාලනඥයන්ට මේ ගැන කිසිදු අවබෝධයක් නැත. අයවැය විවාදයට ඉදිරිපත් වූ බොහෝ කරුණුවල කිසිදු හරයක් නැත. මේ කරුණු ඉදිරිපත් කළ අයගේ දැනුම පිළිබඳ කනගාටු විය යුතුය. සිදුවන්නේ පෞද්ගලික කරුණු සම්බන්ධව මඩ ගසා ගැනීමක් පමණි. රටේ වර්ධනයට බුද්ධිමතුන්ගේ දායකත්වය සම්බන්ධව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙවන් පසුබිමකය. එය කාලීන අවශ්‍යතාවකි.

පොලී අනුපාත ඉහළ යමින් තිබේ. මෙය ආර්ථිකයට ඍජුව බලපාන්නකි. ක්‍ෂුද්‍ර ණය ලබාගත් අය සියදිවි නසා ගන්නා තැනට තල්ලුවීමට මෙය හේතුවක් වී තිබේ. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට ඇතැමෙක් යෝජනා කරති. එහෙත් එම මුදල් අය කරගත යුතු බව තවත් පිරිසක් කියති. මේ සම්බන්ධව කිසිදු තීරණයක් තවම නැත. එහෙත් බංගලාදේශයේ මේ ණය ක්‍රම ඉතාමත් හොඳින් ක්‍රියාවට නංවා තිබේ. ඒ හරහා ග්‍රාමීය දරිද්‍රතාව නැති කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. එහෙත් මේ රටේදී ණය ගතහොත් දරිද්‍රතාව අන්ත දරිද්‍රතාවට පත්වනු ඇත. ඒ ණය නැවත අයකර ගන්නා ක්‍රමය සහ ලබාදෙන ප්‍රමාණය අනුවය. මේ අනුව පොලී අනුපාත ඉහළ යාම ආර්ථික කඩාවැටීමට හේතුවක් වනු ඇත.

වසර 2015 දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 86ක් පමණය. 2018 දී මෙය ඩොලර් බිලියන 125ක් පමණ වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණි. එහෙත් මේ වනවිට ගමන් කිරීමට හැකිව ඇත්තේ ඩොලර් බිලියන 89කට පමණය. මෙයින් පෙනෙන්නේ ආර්ථිකයේ නිෂ්පාදන ප්‍රමාණයේ සැලකිය යුතු වර්ධනයක් නොමැති බවය. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අවශ්‍ය මූලික පහසුකම් ආයෝජකයන්ට සහ අපනයනකරුවන්ට, නිෂ්පාදකයන්ට නොලැබීමය. විදුලි අර්බුදයෙන් කර්මාන්ත විශාල සංඛ්‍යාවක් බිඳ වැටෙනු ඇත. විදුලි ජනන යන්ත්‍රයක් මිලදී ගැනීමට මිලියන ගණනින් මුදල් අවශ්‍යය. විදුලිය කප්පාදුව හේතුවෙන් දිවා කාලයේත් රාත්‍රියේත් වැඩ කරන කාලය සීමා වී තිබේ. ශීත කාමරවල තැබිය යුතු දේ තබා ගැනීමට නොහැක. විදුලිය කප්පාදුවෙන් වැඩියෙන්ම පීඩා විඳින්නෝ කුඩා සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෝය. කර්මාන්තකරුවෝය. මෙහි බලපෑම දකින්නට ලැබෙන්නේ තවත් මාස හයකින් පමණය. සෑම වසරකම විදුලිය කප්පාදු සිදුවන බව බලධාරීහු දනිති. එහෙත් මේ ප්‍රශ්නයට මුහුණදීමට කිසිදු වසරක වැඩපිළිවෙළක් තිබුණේ නැත. එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීම හැරුණු කොට අර්බුදයට පිළියම කාගෙන්වත් නැත. අවසානයේ පීඩනයට පත්වන්නේ සාමාන්‍ය සමාජයයි. මෙවන් අර්බුදවලට පිළියම් වශයෙන් අප අවට රටවල් සුළං බලය, සූර්ය බලය, පරමාණුක ශක්තිය ආදී නොයෙක් ක්‍රම භාවිත කර තිබේ. මේවා සම්බන්ධ ගිවිසුම් අපේ රටේ ද තිබේ. එහෙත් ඒ බොහෝ ගිවිසුම් කඩදාසිවලට පමණක් සීමා වී ඇති බව කිව යුතුය. එකිනෙකාට චෝදනා නැඟීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව දැන්වත් අවබෝධ කරගත යුතුය. ආයෝජකයන් පැමිණීමට පෙර මේ රටේ දිගුකාලීන වැඩපිළිවෙළක් තිබිය යුතු බව මේ හරහා ගම්‍ය වන තවත් කරුණකි.

විදුලිය බලය ආයෝජනයේදී ප්‍රධාන සාධකයකි. ආසියාවේ රටවල් අතර විදුලියට වැඩිම මුදලක් අයකරන රට ද ලංකාවය. ඊට අමතරව නිසි කලට විදුලිය ලැබෙන්නේ ද නැත. ආයෝජකයන් යම් ආයෝජනයක් කිරීමට පෙර මේවා සම්බන්ධ පූර්ව සමාලෝචනයකට යනු ඇත. ලංකාව ආයෝජනයට සුදුසු ස්ථානයක් නොවන බව එහිදී තහවුරු වීම වැළැක්වීම අපහසුය. ලංකාවේ ආයෝජනය සම්බන්ධයෙන් බලනවිට මෙවන් බොහෝ ප්‍රශ්න තිබේ. ලංකාව අවට රටවල් මෙවන් ප්‍රශ්න කඩිනමින් විසඳීම ද අපට අවාසියකි. එනිසා අප මෙම ප්‍රශ්න විසඳන්නේ නැතිව අපේක්‍ෂා කරන ප්‍රමාණයට විදේශ ආයෝජන ලබාගත නොහැක. අර තරම් මේ තරම් ආයෝජන ලැබුණා යැයි ප්‍රකාශයට පත් කළ ද ඒ ආයෝජන සංඛ්‍යා ලේඛන පමණි. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැත. එනිසා මේ කාරණයට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවනු ඇත.

ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ පමණින් එහි ප්‍රතිඵලයක් ලෙස රටට ආයෝජන ලැබෙනවා යැයි සිතන්නේ නම් එය මිථ්‍යාවකි. ලිබරල් ප්‍රතිපත්ති ක්‍රමවත්ව රට තුළ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් නොමැති නම් ආයෝජකයන් එන්නේ නැත. අද ලංකාවේ ලිබරල් ප්‍රතිපත්තියක් තිබුණ ද එය නිසියාකාරව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් රටේ නැත. යම් යම් ප්‍රශ්න සම්බන්ධව එකිනෙකාට කර ගන්නා චෝදනා ද ජාත්‍යන්තරයට යාම වැළැක්විය නොහැක. ලංකාව දේශපාලනික අස්ථාවර බව මේ හරහා ගෙන යන පණිවිඩයයි. ඒ වගේම ලංකාවේ ආයෝජනය භයානක, අවදානම් ක්‍රියාවක් බව ජාත්‍යන්තරයේ සිතුවිල්ල වනු ඇත. එවන් සිතුවිල්ලකින් ලංකාවේ ආයෝජනයට විදෙස් ආයෝජකයන් යොමු වන්නේ නැත.

පසුගිය රජය කාලයේ යම් ප්‍රතිපත්තියක් දිගමට ක්‍රියාත්මක වූවේය. ලෝකය එය දුටුවේය. මේ නිසා රටක් හෝ දෙකක් ලංකාවේ ආයෝජනය කළා විය හැකිය. එය චීනයට හෝ ඉන්දියාවට සීමා වූවා වන්නට පුළුවන. ලෝකයෙන්ම ආයෝජන නොලැබුණ ද මේ රටවල් දෙකෙන් ආයෝජන ලැබුණි. මේ රටට මුදල් ගෙන ඒමට යම් වාතාවරණයක් සහ විශ්වාසයක් එදා තිබුණි. එහෙත් අද තත්ත්වය එයට වඩා වෙනස්ය. වත්මන් රජය බලයට පැමිණි පසු ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය ආදී රටවලින් විශාල වශයෙන් ආයෝජන ලැබේයැයි බොහෝ දෙනා සිතූහ. එහෙත් එවන් කිසිවක් වුණේ නැත. ඩොලර් බිලියන ගණන් ආයෝජන මා දන්නා තරමින් නම් මේ රටවලින් පැමිණ නැත. එවන් ආයෝජන යළිත් ලැබී ඇත්තේ චීනය සහ ඉන්දියාවෙනි. වරාය නගර ව්‍යාපෘතිය වසරක පමණ කාලයක් නවතා තිබුණි. එහෙත් අවසානයේ එම ව්‍යාපෘතිය චීනයටම දී තවත් අක්කර දහසක් ලබාදීමට සිදුවූවේය. එසේ නම් ලොකු වෙනසක් එතැන සිදුව නැත. සින්නක්කරව දීමත් අවුරුදු අනූනවයක බදුකරය දීර්ඝ කිරීමත් යන දෙකම එකය. එහෙත් මේවායෙන් සමාජය නොමඟ යැවීමට පුළුවන. මේවා පිළිබඳව දන්නා අය එසේ නොමඟ යැවීමට නොහැක.

බොහෝ ව්‍යාපෘතිවලට ජාත්‍යන්තරව ණය ගැනීමට අපට සිදුවනු ඇත. ණය නොගෙන කිසිදු රටක් පවත්වාගෙන යා නොහැක. ගන්නා ණය ප්‍රමාණය, කොන්දේසි අප තීරණය කළ යුතුය. මේ වනවිට ඩොලර් බැඳුම්කර නිකුත් කර තිබේ. එයට ලබාදී ඇති පොලිය සියයට හතකට වැඩිය. මෙය ඉහළ පොලියකි. පසුගිය රජය දී තිබෙන්නේ ද මෙවන් පොලියකි. මීට වඩා අඩුවෙන් කිසිදු රටක් අපට ණය දී නැත. අවසානයේ බලනවිට මේවා මිලදී ගෙන තිබෙන්නේ ද චීනය ආදී රටවල්ය. එ නිසා මෙතැන තිබෙන්නේ අංක විජ්ජාවකි. දේශපාලන ක්‍රියාවලියට බුද්ධිමතුන්ගේ වැඩි දායකත්වයක් මේ රටේ ඇතිවිය යුතුය. එසේ නොවී මේ ප්‍රශ්න විසඳා ගත නොහැක. කරුණු නොදන්නා අය පවා විදේශ රටවලදී ලංකාව නියෝජනය කරති. මේවායෙන් රටට වැඩක් වේද?

රටට විදේශ ආයෝජන ලැබීමට අනෙක් රටවල් සමඟ සසඳන විට එම රටවල තත්ත්වයට හෝ ඊට වඩා හොඳ මට්ටමක අප සිටිය යුතුය. එසේ නොවී කුමක් කළත් විදේශ ආයෝජන ලැබෙන්නේ නැත. සංචාරකයන් ආකර්ෂණයට වැඩපිළිවෙළක් දියත් කර තිබේ. එසේ ගෙන්වා ගන්නා සංචාරකයන්ට පැය තුන හතරක් සිටීමට වන්නේ විදුලිය නැතිවය. මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වනු ඇත. විදුලිය ජලය කප්පාදු කරන රටකට සංචාරකයන් ගෙන්වා ගන්නේ කෙසේ ද? මෙය අස්ථාවරභාවයකි. සෑම ප්‍රශ්නයක්ම එකිනෙකට සම්බන්ධය. එනිසා මේවා විසඳිය යුත්තේ ද එකතුවය. කෙනකුට චෝදනා නැඟීමෙන් ප්‍රශ්න විසඳිය නොහැක. ඉදිරි වසර දෙක තුනකදී හෝ ප්‍රශ්න විසඳා ගැනීමට වැඩපිළිවෙළක් ඉදිරිපත්ව නැත. විදුලිබල ප්‍රශ්නයෙන්ම එය තහවුරු වී තිබේ.

දේශීය නිෂ්පාදන පරයන ආනයන ක්‍රියාවලියක් මේ රටේ තිබේ. අවශ්‍ය වන්නේ දේශීය නිෂ්පාදනය ශක්තිමත් කිරීමය. එම නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ද අවශ්‍යය. එහෙත් වට්ටක්කා අලින්ට කෑමට දෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මේවා මෙසේ නොවන ක්‍රමවේද අවශ්‍යය. එය ද රටට විදේශ විනිමය ඉතිරි කරන්නකි. එනිසා මේවා අමතක නොකළ යුතුය. මේ රටේ ඕනෑම දෙයක් නිපදවා අපනයනය කිරීමේ හැකියාව තිබේ. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. කොළයකට සීමා නොවූ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට අවශ්‍යය. එය සමාජයේ සෑම තලයකම සංවාදයට ලක්වන්නක් වීම ද වුවමනාය. කුමන ආණ්ඩු බලයට පැමිණියත් පවතින ප්‍රශ්න විසඳන ක්‍රමයක් ඉදිරිපත් නොකළහොත් කිසිවක් වන්නේ නැත. සිදුවන්නේ රොටිය අනෙක් පැත්ත හැරවීම හා සමාන ක්‍රියාවකි. එනිසා ජාතික ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් සැවොම සිතා බැලිය යුතුය.

සටහන - චමින්ද මුණසිංහ