(කුසල් පෙරේරා විසිනි)

ලාංකිකයන් පළමු වරට ජාතික හැඳුනුම් පතක් ලැබූයේ මීට අවුරුදු 45 ට ඉහතින් 1972 දීය. ඒ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත නැවත 1971 සංශෝධනය කිරීමෙන් පසුවය. එතැන් සිට වයස අවුරුදු 16 ට වැඩි සියලූ ශ‍්‍රී ලාංකිකයන් ජාතික හැඳුනුම් පතක් ලබා ගැනීම අනිවාර්ය විය. එහි අංකය විදේශ ගමන් බලපත‍්‍රයෙහි ද ඇතුළත් කෙරිණ.

ලෝකයේ පළමු වරට ජාතික හැඳුනුම් පතක් නීතිගත කරනු ලැබූයේ එංගලන්තයේ පස්වන හෙන්රි රජු විසිනි. ඒ වෙනුවෙන් ඔහු 1414 දී ‘‘ආරක්ෂක පැවැත්ම’’ සඳහා පනතක් කි‍්‍රයාවට නැඟීය. එහෙත් ඉන් අවුරුදු 500 ට පසුව 1914 ආරම්භ වූ පළමු ලෝක යුද්ධය තෙක් පුද්ගල හැඳුනුම්පත් භාවිතය වැදගත් නොවූවකි. ඉන් එක් කාරණාවක් ඉස්මතු කෙරෙන්නේය. ජාතික හැඳුනුම්පතක ඇත්ත අවශ්‍යතාව ඇත්තේ ආරක්ෂක හේතූන් සඳහාය. අපේ රටේ ද හැඳුනුම්පත සම්බන්ධයෙන් 1968 සම්මත කළ නීතිය වසර 04 ට පසු කි‍්‍රයාවට නැඟීම ඉක්මන් වූයේ 1971 සන්නද්ධ කැරැල්ලෙන් පසුවය. උතුරු-නැගෙනහිර යුද්ධය දිග්ගැස්වීමත් සමඟ ජාතික හැඳුනුම්පත හැම ආරක්ෂක කඩුල්ලක්ම පසුකරන්නටත් රජයේ ආයතනවලට ඇතුළුවීමටත් රාජ්‍ය සේවාවන් සඳහාත් අත්‍යවශ්‍ය විය. ඒ සමඟ බැංකු කටයුතු සඳහා ද අනිවාර්ය විය. එවැනි භාවිතයක් සමඟ ගෙවුණු අවුරුදු 45 ක පමණ කාලයේ ජාතික හැඳුනුම්පත හැම දෙයකටම අදාළ කර ගැනීම අවශ්‍යතාවකට වඩා පුරුද්දක්ම විය.

යුද්ධය අවසන් කෙරුණු පසු එනමුත් ආරක්ෂක අවශ්‍යතා සඳහා ජාතික හැඳුනුම්පතක වුවමනාව ඍජුව කතා කෙරුණේ නැත. එය මේ වන විට වෙනත් තලයකට මාරුවී ඇත. ජීව දත්ත හා ජීවමිතික ලක්ෂණ ඇතුළත් අලූත් විද්‍යුත් හැඳුනුම් පතක් නැතිව එදිනෙදා කාර්යයන් සාර්ථක කළ නොහැකි යැයි දැන් කතා කෙරේ. අප දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත යල් පැන ගිය තාක්ෂණයක නිමැවුමක් වන හෙයින් නවීන ලෝකයේ ජීවත්වන්නට එය ප‍්‍රමාණවත් නොවේ යැයි තර්ක කරනු ලැබේ.

ඒ වෙනුවට විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ගැන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙහි සඳහන් කරන්නේ, නවීන අවශ්‍යතා වෙනුවෙන් පැරණි තාක්ෂණය හා පහසුකම් සමඟ හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පවත්වා ගෙන යා නොහැකි බවය. ඒවගේම හැඳුනුම් පතකට අවශ්‍ය ආරක්ෂක උපක‍්‍රම ආදියත් නවීන තත්ත්වයන්ට නොගැළපෙන්නේ යැයි එහි සඳහන් වන්නේය. ඒ අනුව වයස අවුරුදු 15 ක් හෝ ඊට වැඩි සියලූ පුරවැසියන් සඳහා ඔවුන්ගේ පුද්ගල දත්ත, පවුලේ විස්තර හා ඔවුන්ගේ ජීවදත්ත සහ ජීවමිතික ලක්ෂණ ඇතුළත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් 2016 සිට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කෙරෙන්නේ යැයි එම වෙබ් අඩවියෙහි සඳහන් වන්නේය.

නවීන විද්‍යුත් හැඳුනුම් පතක් නිකුත් කිරීමෙහි ජාතික අරමුණු ඔවුන් නිල වශයෙන් පැහැදිලි කරන්නේ, ”(01) නවීන තාක්ෂණය භාවිත කරමින් ශී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාව නිවැරැුදිව තහවුරු කිරීම, (02) රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන මගින් සපයන සේවා වඩාත් පහසුවෙන් හා කඩිනමින් ලබාදීමට තොරතුරු හුවමාරු පද්ධතියක් සැකසීම සහ (03) රටේ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව පලදායීව සිදු කිරීම සඳහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අවශ්‍ය වන්නාවූ පහසුකම් සැලසීම’’ යනුවෙනි.

එමගින් තහවුරු කිරීමට උත්සාහ කෙරෙන්නේ, දැනට ‘‘රාජ්‍ය ආයතන හා අනෙකුත් ආයතන මගින් සපයන සේවා වඩාත් පහසුවෙන් හා කඩිනමින්’’ පුරවැසියන්ට නොලැබෙන්නේත් ‘‘රටේ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව පලදායීව සිදු කරන්නට’’ නොහැකිව ඇත්තේත් පුරවැසියන් සතුව මේ නවීන විද්‍යුත් හැඳුනුම්පත් නොමැති නිසා යන්නය. එවගේම සංවර්ධනය වෙනුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටද මෙවැනි නවීන ජාතික හැඳුනුම්පත් අවශ්‍ය බව ය.

මේ පසුබිමෙහි අපේ රටේ සාකච්ඡා නොවන නමුත් බරපතළ කාරණාවක් වන්නේ රාජ්‍යය හා පුරවැසියා අතර පවතින හා පැවතිය යුතු සමාජ කොන්තරාත්තුව කුමක්ද යන්නය. එය අනෙක් දකුණු ආසියානු රටවල මෙන්ම අපගේත් තීන්දු වන්නේ පුරවැසියා මත රාජ්‍යය තබා ගන්නා ආධිපත්‍යයක් සහිතවය. එබැවින් පුරවැසි සමාජයේ පොදු සහ පෞද්ගලික අයිතීන් තීන්දු කෙරෙන්නේ රාජ්‍යයේ පැවැත්මට යටත්වය. රාජ්‍යය වෙත පුරවැසියා අභිබවා ලබා දෙන කණපිට හැරවූ වැදගත්කම හමුවේ, ජීවදත්ත හා ජීවමිතික ලක්ෂණ සහිත පුද්ගල තොරතුරු ඇතුළත් විද්‍යුත් හැඳුනුම් පත ගැන අප කතා කළ යුතුව ඇත.

පුරාතන එංගලන්තයේ පස්වන හෙන්රි රජු ආරක්ෂක පැවැත්ම සඳහා යැයි පළමු වරට ඔහුගේ යටත්වැසියනට හැඳුනුම්පත් ලබා දෙන්නට පටන් ගත් තැන සිට, ජාතික හැඳුනුම්පත් ඇත්තටම වැදගත් වූයේ රාජ්‍ය ආරක්ෂාව සඳහා පුද්ගලයන් හඳුනා ගැනීමටය. ජනපි‍්‍රය බසින් කියන්නේ නම්, එහි ඇත්ත වැදගත්කම තිබූයේ ‘‘ත‍්‍රස්තවාදියා’’ සමාජයේ අනෙක් ‘‘දේශපේ‍්‍රමී’’ ජනතාවගෙන් වෙන්කර හඳුනා ගැනීමේ අනන්‍යතා සහතිකයක් ලෙසිනි. ඒ වෙනුවෙන් දැනට භාවිත වන ජාතික හැඳුනුම්පතෙහි පුරවැසියන්ගේ නම, ගම, උපන් දිනය, ස්තී‍්‍ර පුරුෂ භාවය, පදිංචිය, හැඳුනුම්පත් අංකය වැනි තොරතුරු සමඟ පහසුවෙන් හඳුනාගත හැකි වන ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව ගනු ලබන ඡායාරූපයක පිටපත ඇත. ඡුායාරූපය සමඟ ඒ තොරතුරු සියල්ල තනි මධ්‍ය දත්ත පද්ධතියකට ද ඇතුළු කෙරෙන්නේය.

මෙම ජාතික විද්‍යුත් හැඳුනුම්පත සම්බන්ධයෙන් පවසන අනෙක් සියලූ කාරණා ඉටුකර ගැනීම වෙනුවෙන් දැනට භාවිත වන ජාතික හැඳුනුම් පතෙහි ඇතුළත් කර ඇති තොරතුරු සියල්ල ප‍්‍රමාණවත්ය. ඒවා පුද්ගල අනන්‍යතාව සඳහා ද ප‍්‍රමාණවත්ය. හැඳුනුම්පත් අංකය ඒ වෙනුවෙන් දැනට යොදා ගැනෙන මූලික සාධකයකි. නව විද්‍යුත් හැඳුනුම්පතේ වාසි ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරන ‘‘....මැතිවරණවලදී ඡුන්දය ලබාදීම, බැංකු කටයුතු, රියැදුරු බලපත්, ගමන් බලපත‍්‍ර, දෙස් විදෙස් රැකියා, අර්ථසාධක ප‍්‍රතිලාභ, රක්ෂණ, ඉඩම් හා දේපළ, විශ‍්‍රාම වැටුප් ආදී සේවා ලබා ගැනීමේදී තම අනන්‍යතාව නිවැරැදිව තහවුරු කිරීමට හැකිවීම, එම තොරතුරු අදාළ ආයතන සමග නෛතික, දත්ත හුවමාරු පද්ධතියක් හරහා සම්බන්ධ කිරීම තුළින් හැඳුනුම්පත නොමැතිව වුවද සේවා බාධාවකින් තොරව ලබා ගත හැකිවීම’’ යන සියල්ල, එම අදාළ ආයතන දියුණු කාර්යක්ෂම ආයතන බවට පත් කෙරෙන්නේ නම් දැනට භාවිත වන හැඳුනුම්පත මගින්ද ඉටුකර ගත හැකි සේවාය. අවශ්‍ය වන්නේ හැඳුනුම්පත් අංක මත අලූතින් යෝජනා කරන ‘‘ජාතික පුද්ගල නාම ලේඛනයක් මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කර’’ එය විද්‍යුත් ජාලයකට සම්බන්ධ කිරීම පමණි.

දැනටත් හැඳුනුම්පත් අංකය ලබා දීමෙන් බිල්පත් ගෙවීමේ ඉතා පහසු ක‍්‍රම බොහෝ ජංගම හා අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් භාවිත කරති. එලෙසින්ම සමෘද්ධි, සේවක අර්ථසාධක ප‍්‍රතිලාභ, රක්ෂණ, විශ‍්‍රාම වැටුප් වැනි බොහෝ සේවා සඳහා හැඳුනුම්පත් අංකය යොදා අනන්‍යතාව සහතික කිරීමේ එවැනිම විද්‍යුත් පහසුකම් සකසා ගත හැකිය. දැනට ඒවා එසේ නොවීමේ ප‍්‍රධානම හේතු වන්නේ සියලූ රාජ්‍ය ආයතන ගතානුගතික මානසිකත්වයක් සහිත අලස, අකාර්යක්ෂම කාර්යාල බවට පත්ව තිබීමත්, ඒ හා වර්ධනය වී මුල්බැස තිබෙන වංචා හා දුෂණයත් නිසාවෙනි. එයට ජීව දත්ත හා ජීවමිතික ලක්ෂණ එකතු කළ හැඳුනුම්පත් ජනතාවට ලබා දීමෙන් විසඳුම් ලැබෙන්නේ නැත.

මෙම නව විද්‍යුත් හැඳුනුම්පත පිළිබඳව 2012 දී එවකට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබූ ‘‘ලංකා ලොජිස්ටික් සහ ටෙක්නොලොජීස් සමාගමේ’’ තොරතුරු තාක්ෂණ අංශයේ ප‍්‍රධානී ලලිත් ලියනගේ එදා ඉදිරිපත් කළ විස්තරයකට අනුව, ලංකාවේ කඩදාසි මත මුද්‍රණය කෙරෙන හැඳුනුම්පත් භාවිත වන නිසා තොරතුරු විද්‍යුත් දත්ත ලෙස ලබා ගැනීමට නොහැකිය. ඒ වනවිට භාවිතයේ තිබූ හැඳුනුම්පත් වලින් සියයට 15-20 ත් අතර සංඛ්‍යාවක් ව්‍යාජ හැඳුනුම්පත් යැයි ඔහු පැවසුවේය. ඒ සමඟ ඇතිවන ගැටලූ ලෙස ඔහු ඉදිරිපත් කෙරුවේ හැඳුනුම්පතෙහි තොරතුරු වෙනස් කිරීමට ඇති ඉඩකඩ, ව්‍යාජ හැඳුනුම්පත් මුද්‍රණය කිරීමේ හැකියාව සහ හැඳුනුම්පත් සඳහා කාල නිර්ණයක් නොතිබීම වැනි ගැටලූය.

ප‍්‍රශ්නය මතුවන්නේ මේ කියන්නාවූ සියලූ අඩුපාඩු හා ආරක්ෂණ සීමා ඉවත් කරමින් පවතින ජාතික හැඳුනුම්පත නවීන විද්‍යුත් හැඳුනුම්පතක් ලෙස නිකුත් කළ නොහැකි ද යන්න ය. පරණ කඩදාසි හැඳුනුම්පත වෙනුවට අලූත් විද්‍යුත් හැඳුනුම්පතක් කාල නිර්ණයක් ද ඇතිව වසර 10 ට හෝ වලංගු කර ආණ්ඩුවට අවශ්‍ය නම් නිකුත් කළ හැකිය. එහෙත් මේ කරන්නේ එය නොවේ. මෙහි වෙනත් වුවමනාවක් ඇතැයි ඔප්පු වන්නේ ජීවදත්ත සහ ජීවමිතික ලක්ෂණ ද පවුලේ සියලූ තොරතුරු ද සමගින් අලූත්කර සැකසීමට ගනු ලැබූ තීන්දුව නිසාවෙනි. මෙය දෙපාර්තමේන්තුව පවසන පුද්ගලයකුගේ නිවැරැදි අනන්‍යතාව සහතික කිරීමට වඩා දුර යන්නකි. අලූතින් එකතු කෙරෙන තොරතුරු සමග එක් පුද්ගලයකු හරහා පවුලේ අනෙක් සියලූ දෙනා ද සෝදිසියට ලක් කළ හැකි මෙවලමක් බවට අලූත් ජාතික විද්‍යුත් හැඳුනුම්පත පත් කර ගැනෙන්නේය. එය පුතාගෙන් පියාට හා මවටද, ඔවුන්ගෙන් ඔවුන්ගේ පවුලේ අයටද යනාදී වශයෙන් ජීවදත්ත හා ජීවමිතික ලක්ෂණ ඇතුළු තොරතුරු පෙළින් පෙළට උකහා ගත හැකි මෙවලමක් වන්නකි.

මෙය එබැවින් නිශ්චිතවම පුරවැසියා සහ රාජ්‍යය අතර පවතින සහසම්බන්ධය තව වරක් පුරවැසියාගේ අවාසියට තීන්දු කෙරෙන්නකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවතිය යුතු පුද්ගල නිදහසත් පෞද්ගලිකත්වයත් රාජ්‍ය විසින් ආක‍්‍රමණය කෙරෙන්නකි. මෙහි අවදානම වැඩි වන්නේ අද රාජ්‍ය බුද්ධි අංශ කි‍්‍රයාත්මක වන ආකාරය සමගින්ය. හැම අතින්ම දුප්පත් රටවල පවා රාජ්‍ය ආරක්ෂක හා බුද්ධි අංශ නවීන විද්‍යුත් තාක්ෂණික පහසුකම් හා පුහුණුවෙන් ඉතා පොහොසත්ය. පසුගිය දසකයකට හමාරකට වැඩි කාලයේ අපගේ බුද්ධි අංශ ද එවැනි දියුණුවක් ලබා ඇත. බුද්ධි අංශ දියුණු කෙරෙන හැම රටකම මර්දනය ද වර්ධනය වන්නේය. ඒවගේම රටවල් අතර ඇති රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට එහා යන භූගෝලීය මායිම් නොතකන ඉතා සමීප සබඳතා බුද්ධි අංශ සතු වන්නේය. ඒ ඔස්සේ ඔවුහු ඉතා රහස්‍ය තොරතුරු ද හුවමාරු කර ගනිති. නවීන ලෝකයේ අන්තර්ජාල පහසුකම් හා තොරතුරු තාක්ෂණය වැඩියෙන් භාවිත වන්නේ බුද්ධි අංශ තොරතුරු ගබඩා කිරීමට සහ විශ්ලේෂණය කිරීමටත් ඒ හැම අවශ්‍ය අයුරු රහස්‍ය ලෙස බෙදා ගැනීමටත්ය.

ඉන්දියාවේත් පාකිස්තානයේත් අද ජීවදත්ත සහ ජීවමිතික ලක්ෂණ සහිත ජාතික හැඳුනුම්පත් පෞද්ගලිකත්වය ආක‍්‍රමණය කෙරෙන්නේ යැයි කතිකා ආරම්භ වී ඇත. පාකිස්තානයේ ‘‘දත්ත පද්ධති හා ලියාපදිංචි කිරීමේ ජාතික අධිකාරය’’ ‘‘ජාතික පුද්ගල නාමලේඛන මධ්‍ය දත්ත පද්ධතිය’’ පවත්වා ගෙන යන්නේය. එය යොදා ගනිමින් පාකිස්තාන පොලීසිය පුද්ගල සෝදිසි සංඛ්‍යානික මෙවලමක් :ෘසටසඒක ්චච* නිර්මාණය කර ගෙන ඇත. ඒ මතින් ඔවුන්ට  ඕනෑම පුද්ගලයකුගේ ගමන් බිමන්, සිටින ස්ථානය, ලබාගත් දුර කතන ඇමතුම් වැනි එසැණ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත.

ලෝකයේ විශාලම ජීවදත්ත හා ජීවමිතික ලක්ෂණ සහිත ජාතික විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වන ඉන්දීය ‘‘ආධාර්’’ ව්‍යාපෘතිය ගැනද සැක මතුව ඇත. ඇතැම් රාජ්‍ය ආයතන එය යොදා ගනිමින් කෙරෙන අවභාවිතා ගැන චෝදනා ඇත. පෞද්ගලිකත්වය මූලික අයිතියක් ලෙස පිළිගත යුතු යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සමක් ගොනු කෙරෙන්නේ ඒ සමගය. එම පෙත්සම නව දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගනු ලැබුවේය. පසුගිය අගෝස්තු 24 වන දින ඒ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඒකමතික තීන්දුවට අනුව දැන් පෞද්ගලිකත්වය හා පෞද්ගලික නිදහස වෙනස් කළ හෝ ඉවත් කළ නොහැකි මූලික අයිතියකි. ඒ සමඟ ඉන්දීය ආධාර් ව්‍යාපෘතියට එරෙහි පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් හමුවේ ඇති අනෙක් නඩුව වෙත පෞද්ගලිකත්වය අලූත් කොන්දේසියක් ලෙස පැනවෙන්නේය.

ජීවදත්ත හා ජීවමිතික ලක්ෂණ සමග විද්‍යුත් හැඳුනුම්පත් පුරවැසි අයිතීන්ට කෙතරම් අනතුරුදායකද යන කාරණාව ඒ සමඟ විශේෂයෙන් කතා කළ යුතු කාරණාවක් ලෙස අප හමුවට එන්නකි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු වූ එස්.කේ. කවුල් පෞද්ගලිකත්වය සම්බන්ධ පෙත්සම් විභාගයෙහි තීන්දුව ලියමින් අවධාරණය කර තිබූයේ,

‘‘මේ සංඛ්‍යානික යුගයේ අන්තර්ජාලයේ තැන්පත් කෙරෙන තොරතුරු එහි නොමියෙන තොරතුරු ලෙස පැවතීම (අපට) බලපෑමක් කරන්නකි. මනුෂ්‍යයාට අමතක වූවත් අන්තර්ජාලයට අමතක වන්නේ නැත. ඒවගේම මනුෂ්‍යයාට අමතක වන්නටද ඉඩ දෙන්නේ නැත. අන්තර් ජාලයේ තොරතුරු සහමුලින් මකා දැමිය නොහැක. ඒවායේ පිය සටහන් ඉතිරි වන්නේය. එනිසා මේ සංඛ්‍යානික යුගයේ සංරක්ෂණය සාමාන්‍ය රීතිය වන අතර අමතක කිරීම අරගලයක් යැයි කියැවෙන්නකි.’’ යනුවෙන් ය.