මානව සමාජය ඇතැම් සාධක අනුව කණ්ඩායම්වලට බෙදේ. මිනිස් පවුලේ බොහෝ සමානකම් මෙන්ම අසමානකම් ද ගණනාවක් පවතී. දැනට ලෝකයේ හෝඩියක් සහිත භාෂා ගණන පන්දහස ඉක්මවයි. කතා කරන භාෂාව අනුව මිනිසුන් කණ්ඩායම් ගැසීම, අනන්‍යතා නිර්මාණය, ඉල්ලීම් ඉදිරිපත් කරමින් දුක්ගැනවිලි හා අයිතිවාසිකම් කියාපෑම සිදුවේ. අදහන ආගම ද එසේය. ලොව ප්‍රධාන පෙළේ ආගම් දොළහක් වෙද්දී කුඩා පරිමාණයේ ඇදහීම් ද රැසක් වේ.

සිරුරේ භෞතික හැඩරුව මෙන්ම සුදු, කහ, දුඹුරු, කළු ආදී වශයෙන් සමේ වර්ණය අනුව ද මානව සමාජය බෙදේ. එකම ආගමක් අදහන එකම භාෂාවක් කතා කරන මිනිසුන් අතර වුවද බෙදීම් තිබිය හැකිය. සංස්කෘතික චර්යාව අනුව ඇති බෙදීම් හැටියට අපි ඒවා හඳුනාගනිමු. ලංකාවම උදාහරණයකට ගතහොත් සිංහල බෞද්ධ ජනයා අතර වුව විවාහ මංගල සිරිත්, අවමංගල සිරිත් හා උඩරට පහතරට සමාජ වශයෙන් බෙදීම් පවතී. මානව සමාජයේ පවත්නා වූ මේ ආකාරයේ බෙදීම් සමාජ මානව විද්‍යාවේදී වාර්ගික විවිධත්වය යනුවෙන් හැඳින්වේ. 

වාර්ගික විවිධත්වය වනාහි ස්වාභාවික ප්‍රපංචයකි. එය බලහත්කාරයෙන් නිර්මාණය කළ නොහැකි සේම බලහත්කාරයෙන් නැති කිරීමට ද නොහැකිය. බලහත්කාරයෙන් වාර්ගික විවිධත්වය නැතිකිරීමට දරන උත්සාහය අවසන් වන්නේ ඉතා බියකරු ලේ වැගිරීම්වලිනි. නිදසුනක් හැටියට දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඊට මුලපිරූ ජර්මනියේ ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් පැවැසුවේ ජර්මන් ආර්ය ජාතිය හැරුණුවිට අනෙක් ජාති මර්දනය කළ යුතු බවය. කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධයට බලපෑවේ වාර්ගික සාධක පමණක් නොවේ.

ලෝකය බෙදාගැනීම සඳහා අධිපති රටවල් අතර පැවැති තරඟය ඊට මූලිකවම බලපෑවේය. වාර්ගික විවිධත්වය මත පැන නගින ප්‍රචණ්ඩත්වය වැළැක්විය හැක්කේ වාර්ගික ප්‍රපංචය පිළිගෙන ඒ ඒ වාර්ගික කණ්ඩායම්වලට සමාන අභිමානයෙන් ගෞරවයෙන් සමාන ඉඩප්‍රස්ථා ඇති සමාජයක් නිර්මාණය කිරීමෙන් පමණි. එහෙත් දිගුකාලීනව මෙවැනි ගැටුම් සමථයකට පත්කිරීමට මානව සමාජය සමත් වී නැත. 

වාර්ගික විවිධත්වය නිසා හටගන්නා ගැටුම් පාලනයට ධනවත් රටවල් නම් කිසියම් අයුරකින් සමත් වී තිබේ. ඔවුන්ට එම සමත්කම ලැබීමට ප්‍රධාන හේතුවක් තිබේ. එම රාජ්‍ය වෙනත් රාජ්‍යවල සම්පත් කොල්ලකාරී ලෙස උදුරාගැනීමෙන් විශාල ධනයක් ගොඩනගාගැනීම මුල් කොටගෙන සතුටුදායක ජීවන මට්ටමක් නිර්මාණය කිරීමට දායක වීම ඊට හේතුවයි. මේ නිසා හටගන්නා වාර්ගික මතභේද, ගැටුම්, ප්‍රචණ්ඩත්වය පසුගිය සියවසේදී අග භාගයේදී විශාල වශයෙන් වර්ධනය වීම දැකගතහැකිය. 1990 දී පමණ එහිත් උච්චතම අවස්ථාවට පැමිණියේය.

එක්සත් ජාතින්ගේ අධ්‍යයනයක සඳහන් වන පරිදි 1992-1994 කාලයේදී ලොව පුරා අවි ගැටුම් 92 ක් පැවැති අතර රටවල් දෙකක් අතර තිබුණු යුද්ධ වන්නේ එයින් තුනක් පමණි. ඉතිරි 89 ම වාර්ගික ස්වරූපයක් ගත් අවි ගැටුම්ය. ශ්‍රී ලංකාවේ වසර තිහකට ආසන්න කාලයක් පැවැතියේ එබඳු යුද්ධයකි. උතුරු අයර්ලන්තයේ, ඉන්දියාවේ, රුසියාවේ , ඇෆ්ඝනිස්ථානයේ ආදී වශයෙන් රටවල් රැසක් මේ ගැටුම් ඇතිවුවත් ඒවා අද වනවිට සමථයකට පත්ව තිබේ. මෙම ගැටුම් පැන නැගීමට ප්‍රධානතම හේතුව වන්නේ කිසියම් වාර්ගික කණ්ඩායමක් කුඩා කණ්ඩායමක් වූ සුළුතරයට මනුෂ්‍යන් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය එම සමාජයේ නැතිවීමයි. ආර්ථික දුක්ගැනවිලි මේ ගැටුම් පසුපස ඇති මූලික සාධකයි. තත්ත්වය වර්ධනය වනවිට සමාජ, ආර්ථික පැතිමාන ද ඊට ඇතුළත් වේ. 

ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටලුව පැන නඟින විට ඒ පිළිබඳ අර්ථකථන රැසක් විය. නිදහසින් පසු බලයට පත් වූ සිංහල බහුතරයක් විසින් පාලනය කරන ලද ආණ්ඩු දෙමළ ජනතාවට හිතාමතා වෙනස්කම් කළා යන කාරණය එක් අර්ථකථනයකි. එහෙත් එය පූර්ණ සත්‍ය නොවේ. නිදහස ලැබීමට පෙර සිටම දෙමළ ප්‍රභූ පන්තිය තමන්ටම විශේෂ වූ වෙනම පාලන ඒකකයක් හෝ පාලන බලතල ඉල්ලා සිටියේය. 1970 දශකයේදී සන්නද්ධ සටන්කාමීත්වයකට වර්ධනය වූයේ එම මතයයි. මෙහි තවත් කරුණක් ද වේ. වාර්ගික වශයෙන් සුළුතර කණ්ඩායම්වලට බහුතරයෙන් වෙනස්කම් සිදුවනවිට ඒ වෙනස්කම්වලට එරෙහිව නැඟී සිටීම බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි. කිසිදු සමාජ  කොටසක් සදාකල් මර්දනයට හා යටපත්කිරීමට නොහැකිය. මනුෂ්‍ය සමාජයේ ස්වභාවය එයයි. කිසියම් රටක මෙවන් ගැටුම් මතුවන විට ලෝකයේ බලවත් රටවල් ඒ ගැටුම් තමන්ට වාසි පරිදි කළමනාකරණයට අත පොවයි.

අප ජීවත් වන ලෝකයේ තිබෙන්නා වූ අධිපතිවාදී ලෝක රටාව ඊට හේතුවයි. වත්මන් ලෝකයේ දේශපාලන ආර්ථික පර්යාය සකස් වී තිබෙන්නේ 30 - 35 ක් පමණ වූ ඉහළ ජීවන මට්ටමක් අත්පත් කරගත් රටවල අණසක යටතේය. 1500 සිටම බි්‍රිතාන්‍ය, ප්‍රංශය, බෙල්ජියම, එංගලන්තය, ඕලන්දය ආදී රටවල් අධිරාජ්‍ය ගොඩනඟා භූමි ප්‍රදේශ රැසක් සියතට ගත්තේය. එසේ සාදාගත් ව්‍යුහය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වෙනස් වුවත් ඒ පැරැණි යටත්විජිත තවදුරටත් තමන් යටතේ තබාගැනීමට දරන උත්සාහය වෙනස් වුණේ නැත. සිදුවුණේ එය වෙනත් ආකාරයකින් ඉස්මතු වීමය.

ලෝකයේ පර්යායේ පරිධියේ රටවල ඇතිවන ගැටුම් බලවත් ජාතින් සිය ලෝකාධිපත්‍ය පවත්වාගැනීමට හා තහවුරු කරගැනීමට ප්‍රයෝජනයට ගනී. ලෝකය පුරාම වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් තිබෙන බරපතළම ප්‍රශ්නයක් බවට එය පත්ව තිබේ. උදාහරණයකට අපේ රටේ හටගත් ගැටුමේදී බලවත් රටවල් ඊට මැදිහත්වීම, උත්සන්න කිරීම, ගැටුම සමථයකට පත්කිරීමට ගන්නා ක්‍රියාමාර්ගවලට බාධා කිරීම අපට දකින්නට ලැබිණි. එල්.ටී.ටී.ඊ ය මිලිටරිමය වශයෙන් පරාජය කළ විට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙනාවේ ශ්‍රී ලංකා රජයේ හමුදා ගැටුමේ අවසාන භාගයේදී යුද අපරාධ කළ බව කියමිනි.

ඒ අපරාධ කළ අයට එරෙහිව නඩු පවරා දඬුවම් කළ යුතු යැයි ද කීවේය. අවාසනාවට මේ රටේ ආණ්ඩුව ඒ යෝජනාව පිළිගෙන ඇත. මා මෙහිදී උත්සාහ කරන්නේ බලවත් රටවල් මේ ආකාරයට පරිධියේ රටවල ප්‍රශ්නයට මැදිහත්වීම නිසා ඒවා විසඳීමට අපහසු වී උත්සන්න වන බව අවධාරණය කිරීමටය. එපමණක් නොවේ. තමන්ට පාලනය කිරීමට අවශ්‍ය රටවල එවැනි ගැටුම් අවුළුවාලීම ද මෑත භාගයේදී පැහැදිලිව දකින්නට තිබුණේය. 

බලවත් රාජ්‍යයකට යම්කිසි රටක් අවනත නොවන්නේ නම් එම රට අභ්‍යන්තරිකව දුර්වල කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඒවායේ ස්වාභාවිකවම පවතින ජනවාර්ගික විවිධත්වයයි. යුගෝස්ලාවියාව නමැති රාජ්‍යට අත් වූ ඉරණම ඊට මෑතකාලීන හොඳම නිදසුනයි. යුගෝස්ලාවියාව නිර්මාණය වී තිබුණේ සමූහාණ්ඩු හයකිනි. එම සමූහාණ්ඩු නියෝජනය කළෝ එකිනෙකට වෙනස් ජන කණ්ඩායම්ය. නිදසුනක් ලෙස සර්බියාවේදී සර්බි ජනයා, ක්‍රොයේෂියාවේදී ක්‍රොයේෂ් ජනයා  හා කොසෝවෝ ප්‍රාන්තයේදී ඇල්බේනියා සම්භවයක් සහිත ජනයා බහුතරය විය. මේ ජන කොටස් අතර නිසර්ගයෙන්ම පැවැති මතභේද උත්සන්න කිරීමෙහි ප්‍රතිඵලය වූයේ යුගෝස්ලාවියාව නමැති රාජ්‍යය ලෝක සිතියමෙන් අතුරුදහන් වීමය. මේ බලපෑමෙන් අපේ රටට ද ගැලවීමක් නැති බව මගේ තක්සේරුවයි.

සෑම ජන කොටසකම අන්තවාදීහු වෙති. ඔවුන් සංඛ්‍යාවෙන් විශාල නොවුණ ද විශාල හානියක් කිරීමේ හැකියාව තිබේ. දිගන ප්‍රදේශයේ හටගත් ගැටුමට මුල් වූ කාරණයම නිදසුනකට ගනිමු. එහිදී සිදුවුණේ තරුණයන් සිව් දෙනෙකු පහරදීමෙන් ලොරි රථ රියැදුරකු මරණයට පත්වීමයි. මේ සිද්ධිය ක්‍ෂණික කෝපය නිසා වූවක් විය හැකිය. එය කල්තබා සැලසුම් කළ එකකැයි මට කිසිසේත් යෝජනා කළ නොහැකිය. එහෙත් තමන්ගේම වූ බල දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන පිරිස් මේ සිද්ධිය ප්‍රයෝජනයට ගනිති. අදාළ ගැටුම මේ දක්වා දුරදිග ගොස් තිබෙන්නේ එම කලහකාරීත්වයන් පාලනය කිරීමට අපොහොසත්වීමෙනි. ඉන්දියාවේ දී ද මේ තත්ත්වය දැකගතහැකිය.

අන්තවාදය සෑම ජන කොටසකම මුල් බැස ගැනීමක් තිබේ. සිංහල ජනයා අතර ද එසේය. අපේ රටේ බහුතර ජනයා සිංහල බවත් ඔවුන් අදහන්නේ බුද්ධාගම බවටත් වාදයක් නැත. අපේ රටේ ඉතිහාසය, සභ්‍යත්වය, වාරි කර්මාන්තය, සංස්කෘතිය, සිරිත් විරිත් සියල්ල ගොඩනැඟී තිබෙන්නේ එකී සිංහල බෞද්ධ සභ්‍යත්වය මතය. ඒ අතරම මේ රටේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, කතෝලික ආදී වෙනත් ජන කොටස් ද මේ රටේ වෙසෙන බව අපට බැහැර කළ නොහැකිය. ඔවුන්ට ද තමන්ගේම වූ භාෂාවක්, ආගමක්, සංස්කෘතික අනන්‍යතාවක් තිබේ. එම යථාර්ථය පිළිගැනීමට අකැමැති සීමිත අන්තවාදී පිරිස්වල ක්‍රියාකාරකම්වලට රටක විශාල අවුලක් ඇතිකිරීමට පුළුවන. 

මේ ආකාරයටම ඉස්ලාමය පදනම් කරගත් අන්තවාදී බලවේග අද වනවිට රටවල් ගණනාවක ක්‍රියාත්මක වේ. ඊට ඕනෑ තරම් සාක්ෂි ද තිබේ. මියන්මාරය හෙවත් පැරැණි බුරුමයේ රෝහින්ග්යා ජන කොටස් සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රශ්නය ඊට ආසන්නතම උදාහරණයකි. මෙතැන ඇත්ත ගැටලුවක් තිබේ. රෝහින්ග්යා නමින් හඳුන්වන ජන කොට්ඨාශය මියන්මාරයේදී එරට නීත්‍යනුකූල වැසියන් ලෙස සැලකෙන්නේ නැත. එම පිරිස් බොහෝවිට තර්ජනයට වධහිංසනයට පහරදීමට අතවරයට ලක්වෙති. එමෙන්ම ඔවුන් අතරෙන් සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක් ද බිහි වී තිබේ. ඛනිජ තෙල් ආදායමෙන් ධනවත් වී සිටින ඇතැම් රටවල් ඊට සහාය දක්වයි.

සවුදි අරාබිය, ඕමානය, කටාරය මෙවැනි පිරිස්වලට අරමුදල් සපයයි. ඉතින් මේ අරමුදල් ලබාගැනීමේ වුවමනාවත් අන්තවාදී අභිලාෂත් මිශ්‍ර වූ විට එතැන ඇතිවන්නේ පාලනය කළ නොහැකි ගැටුමකි. මට හැඟෙන ආකාරයට මෙවැනි අන්තවාදී පිරිස් ලංකාවේ ද සිටිති. එය කෙතරම් අන්තවාදයකට ගොස් ඇතිදැයි කිවහොත් මේ රට අයිති සිංහල බෞද්ධයාට පමණකැයි කියන්නෝ වෙති. එමෙන්ම මේ රටවල් දිනෙක ඉස්ලාම් ධර්මයට යටත් විය යුතු යැයි විශ්වාස කරන්නෝ ද වෙති. දෙමළ නිජබිමක් ඇති බවත් එය සිංහල ආණ්ඩුව විසින් යටත් කරනු ලැබ ඇති බවත් කියන්නේත් මෙවැනි පිරිස්ය. මෙවැනි පිරිස්වලට ලෝකාධිපත්‍ය තහවුරු කරගැනීමෙහි නිරත රටවලත් ඔවුන්ගේ අණසක යටතේ පවතින අන්තර්ජාතික සංවිධානවලත් සහාය ලැබේ. ඔවුන් විසින් සපයනු ලබන අරමුදල්වලින් යැපෙන විවිධ රාජ්‍ය නොවන සංවිධාන මේ ක්‍රියාවලියේදී සක්‍රීය වැඩ කොටසක් කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර ගැටුම්වලට බලපාන ප්‍රධානතම සාධක අතර තිබෙන්නේ මෙම කරුණයි.

මෙම ගැටුම් නිරාකරණයට වාර්ගික විවිධත්වය ඉවසීමට හා ඊට ගරු කිරීමට සමාජයේ බහුතරය අතර හෝ විශ්වාසයක් පිළිගැනීමක් ඇති විය යුතුය. වාර්ගික විවිධත්වයට ඉඩ සලසන සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගත යුතුය. එම සමාජ ආර්ථික ක්‍රමයේ ඵලය සාධාරණ ලෙස බෙදී යන සමාජයක් ඇති විය යුතුය. එසේ නොවන තාක් මේ ගැටුම් නතර කිරීම පහසු නැත. මුස්ලිම් ජනයාට කිසියම් ආකාරයකට මුදල් ලැබෙන බවත් ඔවුන් ධනවත් බවටත් සමාජයෙහි මතයක් තිබේ. එහෙත් සත්‍යය එය නොවේ. මුස්ලිම් සමාජයේ බහුතර ජනයා ගතකරන්නේ බෙහෙවින් දුෂ්කර ජීවිතය. එම ලක්ෂණය දෙමළ සමාජයේ ද තිබේ.

යහපත් සමාජයක් ගොඩනඟන අතර ශක්තිමත් ආර්ථිකයක් හා ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ හැකි උපරිම මට්ටමින් සමාන ලෙස බෙදී යන  සමාජ ක්‍රමයක් ගොඩනැඟිය යුතු වන්නේ එහෙයිනි. එසේම මෙහි තවත් පැතිකඩක් තිබේ. බලයේ සිටින ආණ්ඩු ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ විට, සාධාරණ සමාජයක් ගොඩනැගීමට අසමත් වූ විට ජනතාව අතර තිබෙන භේද ප්‍රයෝජනයට ගනී. ඒ ගැටුම් අවුලුවා සිය බලය රැකගැනීමේ ඒකාරම්මණයෙනි. ආර්ථික ප්‍රශ්න හා සමාජ සාධාරණත්වය ගැන අවධානය වෙනතකට යොමු කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි. ඉන්දුනීසියාවේ ජනාධිපතිව සිටි සුහර්තෝ පැවැසුවේ “මම කොමියුනිස්ට් ගින්න නිවා දැමීමට ජාතිවාදී ගින්න අවුළුවාලමි” කියාය.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගුජරාට ප්‍රාන්තයේ මහ ඇමැතිව සිටියදී මුස්ලිම් ජනයාට බරපතළ වධහිංසාවලට ලක්වන්නට සිදුවිය. ඔහුගේ හින්දු උත්තම මතවාදයේ තිබුණේ මුස්ලිම්විරෝධී ස්වභාවයයි. මෙන්න මේ ආකාරයට බල කණ්ඩායම් බලය අත්පත් කරගැනීමටත්, තහවුරු කරගැනීමටත්, ජනතාවට සාධාරණයක් නොවන විට එය සැඟවීමටත්, ජන අවධානය වෙනතකට යොමුකිරීමටත් වාර්ගික ගැටුම් අවුළුවාලීම දේශපාලන උපක්‍රමයක් කරගෙන තිබේ. 

1983 දී දෙමළ ජනයාට එරෙහිව අවුළුවාලන ලද ජූලි කෝලාහල මූලිකවම සංවිධානය කරනු ලැබුවේ එවක බලයේ සිටි ආණ්ඩුවේ ප්‍රධානින් පිරිසක් විසිනි. දෙමළ ජනතාවට පහර දුන්, දෙමළ කඩසාප්පු කොල්ල කෑ, දෙමළ කර්මාන්තශාලා ගිනි තැබූ පිරිස් සතුව පහර දිය යුත්තේ කාටද කියාත් ඉන්පසුව යා යුත්තේ කොයිබටදැයි කියාත් ලේඛන ද තිබිණි. ඔවුන් එදා පහරදීම් සඳහා පිටත්වුණේ ලංකා ගමනාගමන මණ්ඩලයට, සතොසට, ලංකා විදුලිබල මණ්ඩලයට, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අයත් වාහනවලිනි.

වාර්ගික විවිධත්වය මත හටගන්නා පහසුවෙන් විසඳිය හැකි ගැටුම් උච්ච අවස්ථාවකට පත්වන්නේ මෙවැනි සංකීර්ණ වටපිටාවකය. ජූලි කලබල හටගන්නා විට එල්.ටී.ටී.ඊ ය යනු ඉතා කුඩා සංවිධානයකි. ඇතැම් විචාරකයන්ගේ ගණන් බැලීම් අනුව ඔවුන්ගේ ස්ථිර කාඩර්වරු සංඛ්‍යාවෙන් තිහකි. ඔවුන්ට තිබුණේ දෙවැනි ලෝක යුද්ධයේදී පාවිච්චි කළ තුවක්කුය. එහෙත් ඉතා කෙටි කාලයක් ඇතුළත ඔවුන් ආර්ථික හා පිරිස් බලයෙන් කෙතරම් ශක්තිමත් වීදැයි අපි දනිමු. දෙමළ ජනයාට ඇති වූ අපරාධය නිසා ලෝකයේ ජන අනුකම්පාවෙන් ලැබූ උදවු උපකාරත් ලෝකයේ බලවත් රටවල බල දේශපාලන ව්‍යාපෘතියත් ඒ පසුපස තිබුණේය. 

එනිසා හටගෙන ඇති මෙම අර්බුදය විසඳිය හැක්කේ මා සිතනා ආකාරයට යහපත් සමාජ කතිකාවක් හරහා සමාජය දැනුම්වත් කිරීමෙනි. එම දැනුම්වත්කිරීමේ මූලිකවම අන්තර්ගත විය යුත්තේ සියලු දෙනාම මනුෂ්‍යයෝය යන උගැන්වීමය. වර්ණය, භාෂාව, සංස්කෘතිය අනුව හටගන්නා වාර්ගික විවිධත්වය ස්වාභාවික ප්‍රපංචයක් බවත් එය රටක දියුණුවට ඉවහල් කරගත යුතු කරුණක් බවත් සමාජයට මනාව සන්නිවේදනය කළ යුතුය. විවිධත්වය පිළිගනිමින් ඉවසමින් හා ඊට ඉඩ සලසමින් නිර්මාණය කරන යහපත් සමාජ කතිකාවට සමගාමීව ඊට සරිලන පාලන තන්ත්‍රයක් ගොඩනැගිය යුතුය. එම පාලන තන්ත්‍රයේදී අඩුම තරමින් ඒ ඒ ජන කොටස්වල ජන අනුපාතයට සරිලන සේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීය සහභාගීත්වය සැලැසිය යුතුය.

තෙවනුව ජාතික සම්පත් හා විභවතා මැනැවින් හඳුනාගෙන ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැඟිය යුතුය. බලවත් රටවලින් එල්ල වන පීඩනය මඟහරවාගත හැක්කේ එවැනි රටවලට පමණි. ආර්ථිකයේ ඵලය සාධාරණ ලෙස බෙදී යාම එහිලා අත්‍යවශ්‍ය කොන්දේසියයි. මෙය අප යෝජනා කරන තරම් පහසු කාරියක් නොවන වග ද අවධාරණකටයුතුය. එහෙත් එය කළ යුතු හා කළ හැකි දෙයකි. නොඑසේව බියකරු ලේ වැගිරීම්වලින් යුතු ව්‍යසනයකට රට තල්ලු වීම නොවැළැක්විය හැකි වනු ඇත.

සටහන -  බිඟුන් මේනක ගමගේ