අපේ රටේ ව්‍යවස්ථාව මේ දිනවල පවතින දේශපාලන බල හුවමාරු කතාවේ කේන්ද්‍රය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරනු ලැබුවේ ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල අනුවය. එම පත්කිරීම නීති විරෝධී බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ද ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි තමන් ව්‍යවස්ථානුකූල අගමැති බව සඳහන් කරමිනි. බලපෙරළිය මෙසේ ව්‍යවස්ථාවේ වගන්ති අතරේ සැරිසරද්දී පවතින ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් නිවැරැදි කර ගැනීමට එය කදිම අවස්ථාවක් පාදාදී තිබෙන බව අපගේ විශ්වාසයයි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් පවතින්නේ 1978 වසරේ දී එවකට රටේ නායකයා වී සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. එදා සිට මෙදා දක්වා ගතවූ වසර 40ක කාලය තුළදී එම ව්‍යවස්ථාව සංශෝධනය වූ වාර ගණන 19කි. අවසන් වරට සිදුවූ 19 වැනි සංශෝධනය සහ 1987 දී සිදු වූ 13 වැනි සංශෝධනය මේ අතුරින් කැපීපෙනෙයි. ’87 සංශෝධනය ඉන්දු - ලංකා ගිවිසුමට අදාළව සිදු කෙරුණු අතර එය ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙන සිදුවීමකි.

2015 මැයි මාසයේ දී සිදුවූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද මෙරට ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වූයේ ප්‍රථමවරට ප්‍රධාන පක්ෂ දෙකම එක්වී බලයේ සිටින ජනාධිපතිවරයකුගේ බලතල අඩු කිරීම එමගින් සිදුවූ බැවිනි. එම පක්ෂ දෙකම එකතු වී බිහිකළ හවුල් ආණ්ඩුව අවසන් කෙරුණේ ද එකී 19 වැනි සංශෝධනයම උපයෝගී කර ගනිමින් වීම දෛවෝපගත සිද්ධියකි. දැන් වඩ වඩාත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ඇතිවීමට හේතුව ද එම බලපෙරළියට ව්‍යවස්ථාව උපයෝගී කරගැනීම නිසාය. ව්‍යවස්ථාවේ පවතින අඩුපාඩු සකස් කිරීමට මෙය හොඳ අවස්ථාවකි. මහජනතාවගේ අවධානය ද ව්‍යවස්ථාව දෙසට යොමුවී තිබීම එයට උත්තේජනයක් ලබාදී තිබේ.

රටක ව්‍යවස්ථාවෙන් එරටේ ස්ථාවරභාවය හොඳින්ම රැක දීම අවශ්‍යය. එයට කිසියම් අභියෝග එල්ල වන්නේ නම් ඒ පිළිබඳව විමසිලිමත්වී රට තුළ සංවාදයක් ඇතිකොට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ක්‍රියාකිරීම අවශ්‍යය. රටක ව්‍යවස්ථාවක් ඕනෑ ඕනෑ වෙලාවට සංශෝධනය කළ නොහැක. එහෙත් කාලානුරූපව සිදුවිය යුතු වෙනස්කම් නොවුණොත් එය රටේ දේශපාලන ස්ථාවර භාවයට බරපතළ ප්‍රශ්න ඇතිකිරීමට ඉඩ තිබේ. නිරන්තරව එසේ සිදුවීම රටක පැවැත්මට යහපත් තත්ත්වයක් නොවේ.අපේ රටේ ව්‍යවස්ථාවට ගෙනඑන සංශෝධන පිළිබඳ කතාබහේදී ජනවාර්ගික ගැටලුව ද සලකාබැලීම අවශ්‍යය. රටේ තිස් වසරක යුද්ධය අවසන් වුවද තවමත් උතුරේ පවතින දේශපාලන ගැටලුවලට නිසි විසඳුම් ලැබී නැත.

දැනට උතුරේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් රටේ ව්‍යවස්ථාවට සිදු කෙරෙන වෙනස්කම් හරහා තම ගැටලුවලට තිරසාර විසඳුමක් ලබාගත හැකි බවට විශ්වාසය තබා සිටින නායකයෙකි. එවැනි නායකයකු සමඟ ව්‍යවස්ථාවේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඵලදායී වනු ඇතියි අපගේ වැටහීමය. එසේම දැන් අග්‍රාමාත්‍යධුරය හොබවන මහින්ද රාජපක්ෂ මහතාට ද උතුරත් සමඟ සිදු කෙරෙන දේශපාලන ගනුදෙනු සම්බන්ධයෙන් හොඳ වැටහීමක් තිබීමද වාසියකි. උතුර සමඟ කරන ගනුදෙනුවලදී දකුණේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ද අමතක නොකළ යුතුය. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් කෙරෙහි දකුණේ ජනතාව වඩාත් විශ්වාසය තබනු ඇතැයි කිවහැක්කේ ඔහු යුද්ධය ජයග්‍රහණය කර දුන් නායකයාවීම හේතුවෙනි. අවශ්‍ය වන්නේ මේ සියලු අවස්ථා එකට ගළපා ගැනීමය. 

පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙනඒම අවශ්‍ය නැතැයි කෙනකුට තර්ක කළ හැකිය. බැලූ බැල්මට එය රටේ සාමාන්‍ය ජනතාවට බලපාන්නා වූ කාරණයක් නොවන බැවින් ඔවුන් එසේ කියනවා විය යුතුය. එහෙත් දේශපාලන ස්වාධිපත්‍යය අභියෝගයට ලක්වන විට, පාර්ලිමේන්තුව තුළ බල අරගල සිදුවන විට ඒවා ජනතාවට බලනොපාන්නා වූ කරුණු යැයි කෙනකුට කීමට හැකියාවක් නැත. උතුරේ ගැටලු දෙස ද ඒ ආකාරයට බැලීම අවශ්‍යය. ඔවුන්ටද විසඳා ගතයුතු ගැටලු රාශියක් තිබෙන බව ද ඒ අතරින් ඇතැම් ගැටලුවක් කෙළින්ම රටේ ව්‍යවස්ථාව හා සම්බන්ධ බව ද ප්‍රකාශවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. ඒ කෙරෙහි රටේම අවධානය යොමුවීම අවැසි බව අප​ෙග් හැඟීමය.

මේ කරුණු කෙසේ විස්තර කළ ද රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල එකඟත්වයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අවකාශයක් නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ අතර අව ශ්‍යයෙන්ම සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් එක් මතයකට පැමිණිය හැකි නම් එය ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ මාවත හෙළි පෙහෙළි කරදෙනු ඇත. එසේ නොවු​ෙණාත් සිදුවන්නේ එක් පක්ෂයක් ඉදිරිපත් කරන මතයට අනෙක් පක්ෂ විරුද්ධ වීමය. එයට දේශපාලන කාරණා ද හේතුවිය හැකිය. තවදුරටත් කල් නොයවා සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට මුල පිරිය හැකිනම් මේ එයට කාලය බව පෙන්වා දීමට කැමැත්තෙමු.