(තරිඳු ජයවර්ධන)

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක පිරිසුදු පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය පසුගිය සිකුරාදා (24) සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය. වසර තුන හමාරකට පෙර සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියට හරියටම වසර දෙකක කාලයක් පුරා සංකීර්ණ විමර්ශනයක් කරන්නට සිදු විය.

වැලිවේරිය රතුපස්වල පිහිටි කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය නිසා වතුර අපිරිසුදු වන බව කියමින් ගම්වාසීන් විරෝධතා කරන්නට පටන් ගත්තේ 1997 වසරේ සිටය. ඉන් ඵලක් නොවූ තැන පාරට බැස අඛණ්ඩ විරෝධතාවක් පැවැත්වීමට තීරණය කළ ප‍්‍රදේශවාසීහු 2013 ජුලි 27 වැනි දා සෙනසුරාදා උද්ඝෝෂණ මාලාව ආරම්භ කළහ. එතැන් සිට දින පහක් විරෝධතා පැවැත්වූවත් නිසි විසඳුමක් නොලැබිණි. ගම්වාසීහු ප‍්‍රශ්නගත කම්හල අසලටම වී සාමකාමීව විරෝධතා පැවැත්වූහ.

එම විරෝධතාවට සහාය පළ කරමින් අවට තවත් ගම්වල විශාල පිරිසක් 2013 අගෝස්තු පළමුවැනිදා වැලිවේරිය නගරයේ සහ බැලූම්මහර මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කළහ. කළබලයක් ඇතිවුවහොත් විරෝධතාව විසිරුවා හැරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් දෙකක් ද ජල ප‍්‍රහාරක රථ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබුණත් කිසිදු කළබලයකින් තොරව ගම්වාසීහු විරෝධතාව කරගෙන ගියහ. වැලිවේරිය, මල්වතුහිරිපිටිය සහ පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරු ද උද්ඝෝෂණය අවස්ථාවේ වැලිවේරිය පොලිසිය අසල සිටියහ.

මේ අතර එදින දහවල් කිසිවකු බලාපොරොත්තු නොවූ මොහොතක බැලූම්මහර උද්ඝෝෂණය විසිරුවා හැරීමට බි‍්‍රගේඩියර්වරයකු පෙරටු කරගත් යුද හමුදා කණ්ඩායමක් පැමිණියහ. යුද හමුදාවේ පිරිසක් අත  පොලූ ද තවත් පිරිසක් අත ටී පනස් හය තුවක්කු ද තිබිණි.  යුද හමුදා කැබ් රථයක බොනට්ටුව මත නැගි බි‍්‍රගේඩියර් එතැන සිටි පිරිසට විසිර යන ලෙස දැන්වීය. විසිර නොගියහොත් තල්ලූකරන්නට සිදුවන බව කීවේය. තමන්ට ඇති ප‍්‍රශ්න බි‍්‍රගේඩියර්ට කියන්නට ප‍්‍රදේශවාසීන් පටන්ගන්නවාත් සමග පොලූ අතැතිව සිටි යුද හමුදා සාමාජිකයෝ පහර දෙමින් පිරිස විසිරුවා හැරියහ.

ඉන් පසු යුද හමුදා පිරිස ගියේ වැලිවේරිය නගරය දෙසටය. සිද්ධිය ආවරණය කළ මාධ්‍යවේදීන්ට පහර දී ඔවුන් ඉවත් කර දැමීමෙන් පසු යුද හමුදා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස සිටි බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධන මහතා මෙගාෆෝනයක් ආධාරයෙන් කතාවක් කළ අතර එම කතාවෙන් පසු තමන්ට විසිර යෑමට මිනිත්තු 10ක් දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. වෙඩි තැබීම ආරම්භ වූයේ ඉන් පසුය. රාත‍්‍රී අට පමණ වන තුරු යුද හමුදාව වෙඩි තැබූහ. පහර දුන්හ. ප‍්‍රදේශයේ කතෝලික දේවස්ථානයට කඩා වැදී එහි සිටි පිරිසට ද පහර දුන්හ.

යුද හමුදාවේ පහර දීමෙන් සහ වෙඩි තැබීමෙන් 50ක් පමණ තුවාල ලැබූහ. පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මියගියහ. රමිල රවිශාන් පෙරේරා සහ අඛිල දිනේෂ් එලෙස වෙඩි වැදී මියගිය සිසුන් දෙදෙනාය. ඇඟලූම් සේවකයකු වන නිලන්ත පුෂ්පකුමාර මියගොස් තිබුණේ පහර දීමකින් සිදුවූ තුවාල හේතුවෙනි.

මෙම සිදුවීමට පසු දින එනම් 2013 අගෝස්තු 02 වැනිදා සහකාර පොලිස් අධිකාරී සඳසිරි බණ්ඩාර මහතා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ වැලිවේරිය පොලිසියේ ආරක්ෂාවට පැමිණි යුද හමුදාවේ පිරිසට උද්ඝෝෂකයන් පහර දීම නිසා ජීවිතාරක්ෂාව පතා යුද හමුදාව වෙඩි තබා ඇති බවයි.

ඊට පසු දින පොලිස්පතිවරයා විසින් රතුපස්වල විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට පවරනු ලැබීය. කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද නිසි විමර්ශන සිදු නොවන බවට චෝදනා පැමිණෙන්නට පටන් ගත් අතර 2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩු මාරුවත් සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල සියනෑ පරිසරය සුරැකීමේ ඒකාබද්ධ සංවිධානය ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කළේය. 2015 පෙබරවාරි මස හය වැනිදා සීඅයිබී 2 x 332/19 අංකයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ල සී.ආර්.204/2015 යටතේ ලේඛනගත කර විමර්ශන සඳහා යොමු කර තිබිණි. වෙඩි තැබීම ගැන යළි විමර්ශන අරඹන ලෙස 2015 පෙබරවාරි 18 වැනිදා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දෙනු ලැබීය. ඒ අනුව පොලිස්පතිවරයා විසින් විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරන ලදුව 2015 මාර්තු පස්වැනිදා රහස් පොලිස් විමර්ශන ඇරැඹිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල මහතාගේ අධීක්ෂණයෙන් තවත් පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පිරිසකගේ මෙහෙයවීම යටතේ රහස් පොලිසියේ විශේෂ ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ උපපොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කරමින් මුල්ම බී වාර්තාව 2015 මාර්තු නව වැනිදා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළහ.

විමර්ශනය අතරතුර රහස් පොලිසිය මාධ්‍යවේදීන්, නීතිඥවරුන්, ගම්වාසීන්, පොලිස් නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයන් 100කට අධික පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.

පිරිසුදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාව ගෙන ආ ගිනි අවි 107ක්  වසර තුනක් තිස්සේ පොලිසියට බාර දී නැතැයි රහස් පොලිසිය 2016 ජුලි 14 වැනිදා ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වීය. එම උද්ඝෝෂණය පාලනය කිරීමට යුද හමුදාවේ 289 දෙනකු ද පොලිස් විශේෂ කාර්ය බළකායේ 134 දෙනකු සහ පොලිසියේ හත් දෙනකු පැමිණි බවට කරුණු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය. යුද හමුදාවේ 289 දෙනා අතර නිලධාරීන් 16 දෙනකු සිට ඇති බවත්, ඔවුන් හැර ඉතිරි 273 දෙනා ගිනි අවි භාවිත කර ඇති බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය කීවේය.

යුද හමුදාව එදින ගෙන ආ බව කියන ගිනි අවි 98ක් මීට පෙර රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර තිබූ අතර ඉතිරි පිරිස අත තිබූ ගිනි අවි ද රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට සඳහා ලබා දෙන ලෙස නියෝග කරන්නැයි රහස් පොලිසිය ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් එදින කළ ඉල්ලීමට අවසර දෙමින් එම ආයුධ වහා බාර දෙන ලෙස යුද හමුදාවට නියෝග කැරිණි. උද්ඝෝෂණය අතරතුර මියගිය තිදෙනාගෙන් දෙදෙනකුගේ හිසට වෙඩි වැදුණු බවට වෛද්‍ය වාර්තා අනුව තහවුරු වී ඇතැයි ද අනෙක් පුද්ගලයා පහරකෑමට ලක්වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.

රතුපස්වල වෙඩි තැබීමෙන් වසර තුන හමාරකට පමණ පසු 2016 දෙසැම්බර් 15 වැනිදා යුද හමුදාව ටී පනස් හය ගිනි අවි 40ක් අධිකරණයට බාර දුන් අතර ඒවා රස පරීක්ෂකට යොමු කැරිණි.

මේ අතර සිද්ධියේදී යුද හමුදාව කෙතරම් වෙඩි තිබ්බ ද කොළඹ අපරාධ කොට්ඨාසය රස පරීක්ෂක වෙත යවා තිබුණේ උණ්ඩ 20කටත් අඩු ප‍්‍රමාණයක් පමණි. ඉන් පරීක්ෂණයට බඳුන් කළ හැකි මට්ටමේ ඇත්තේ උණ්ඩ කිහිපයක් බව රහස් පොලිසිය උසාවියට දැනුම් දී තිබිණි. රස පරීක්ෂකට යොමු කළ ගිනි අවිවලින් තුනක් හා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මීට පෙර රස පරීක්ෂකට යොමු කර තිබුණු හිස් පතොරොම් තුනක් එකිනෙක සැසඳෙන බව රහස් පොලිසිය දැනුම් දුන්නේය.

ඒ අනුව රහස් පොලිසිය එම ගිනි අවි භාවිත කළ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේය. මිනී මැරීමට හා මිනී මැරීමට තැත්කිරීම යන චෝදනා යටතේ පසුගිය සිකුරාදා ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ සිද්ධිය වූ දින වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණ ද එය කළබලකාරී නොවූ බවයි. එවැනි කළබලකාරී තත්ත්වයක් ඇති වූවානම් පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් දෙකක්, ජල ප‍්‍රහාරක රථ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබූ බවයි. මහේස්ත‍්‍රාත්වරයකු, දිසාපති හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට ඉහළ නිලධාරියකුට අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව යුද හමුදාව කැඳවීමේ බලය තිබුණ ද ඔවුන් එලෙස හමුදාව කැඳවා නැතැයි අනාවරණය වූ බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මීට පෙර සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට වාර්තා කර තිබූ පරිදි පොලිසියේ ආරක්ෂාවට පැමිණි යුද හමුදාවට උද්ඝෝෂකයන් පහර දුන් පසු ජීවිතාරක්ෂාව පතා යුද හමුදාව වෙඩි තැබූ බව කීම පිළිගත නොහැකි බව ද එලෙස කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් සිටියේ නම් ඔවුන් හෝ ඔවුන් සතු ආයුධ හෝ අත්අඩංගුවට ගත යුතු වුවත් එවැනි පුද්ගලයකු හෝ භාණ්ඩ හෝ අත්අඩංගුවට ගෙන නැතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.