විධායක ජනාධිපති ධුරය හා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වනවිට නැවතත් විශාල සංවාදයක් හටගෙන තිබේ. එක් අතෙකින් එය සංවාදයකට වඩා සමාන කළ හැක්කේ වාද විවාද ගහන ආන්දෝලනාත්මක තේමාවක් හැටියටය. ඒ ගැන පාර්ලිමේන්තුවෙන් ඇසෙන කතාවලට අවධානය යොමුකරද්දී පෙනී යන කරුණ වන්නේ දේශපාලන පක්ෂ අතර තවමත් ඒ ගැන නිසි එකඟතාවක් හටගෙන නැති බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යනු 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ කඳවුර නියෝජනය කළ සිවිල් සමාජය, දැනුම්වත් පුරවැසියන් ඇතුළු පාර්ශ්වවල ප‍්‍රධාන සටන් පාඨයයි. පොදු අපේක්ෂකයාගේ ජනපතිවරණ පොරොන්දුවයි. පොදු අපේක්ෂකයාගෙන් ද ඔබ්බට ගියහොත් 1977 න් පසුව බලයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් සියලූම ආණ්ඩුවලත් ඒවායේ නායකයා හැටියට ජනාධිපති පුටුවට ගොඩ වූ අයගේත් පොරොන්දුවයි.

ඇත්තවශයෙන්ම මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකත්වය හිමිවන්නේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නෙමැයි යන පොරොන්දුව සමඟිනි.  එනිසා එය මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් ඔහු දැන් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් ආවාට ගියාට ප‍්‍රතික්ෂේප කළ හැකි කාරණාවක් නොවේ. එසේ වුවද පවතින විධායක ජනාධිපති ධුරය සංශෝධන සහිතව හෝ තබා ගත යුතුය යන අදහසක් දැන් ශ්‍රීලනිපයෙන් පැමිණ තිබේ.

ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන තම මතය සෘජුව පවසනු ආසන්න කාලයේදී අප දැක නැත. එහෙත් පාර්ලිමේන්තුවට වසර 70 ක් සපිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා සිටියේ කුමක් ද? පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් පාර්ලිමේන්තු ක‍්‍රමයත් ශක්තිමත් කිරීමට තමා කැපව සිටින බවයි. මේ කියමනේ අන්‍යාර්ථය වන්නේ පාර්ලිමේන්තුව හා තරගකාරී සෙසු ආයතන ඊට සාපේක්ෂව බලයෙන් අඩු විය යුතුය යන්නයි. ජනාධිපතිවරයා ද මේ මොහොතේ කැප වී සිටින්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට නම් ඊට අභියෝගයක් විය හැකි විධායක ජනාධිපති ධුරයක් තවදුරටත් තිබිය නොහැකි බව අපි දනිමු.

පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති ධුරය යන දෙකම සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ලොව තිබේ. එහෙත් ඒවායෙන් එකක් වඩාත් තනුක හා බලවත් තත්ත්වයට පත්වීම දැකිය හැකිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වුවද ඔහු මහජන ඡන්දයෙන් තෝරාපත් වන අයකු විය යුතුය යන කරුණයි. එක්තරා ආකාරයකට මෙය ගැටලූසහගත තත්ත්වයකි. මක්නිසාද යත් මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකදී කිසිදු ආකාරයකින් නාමික පුද්ගලයකු නොවන නිසාය. මහජන ඡන්දයෙන් තේරීපත්වීම විසින්ම ඔහු විධායක බලධාරියකු බවට පත්කෙරේ.

පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැතිවරයකුට එවැනි බලයක් හිමි නොවේ. අගමැති හා පාර්ලිමේන්තුව පවතින අවස්ථාවකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකොට ජනාධිපතිවරයා පාර්ලි මේන්තුවෙන් තෝරාපත් කරගැනෙන අදහසක් ඉදිරිපත්ව තිබේ. එය එක්තරා ආකාරයක ආණ්ඩුක‍්‍රම මාදිලියකි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්වන බහුතර බලය සහිත පක්ෂය ආණ්ඩුව පිහිටුවීම හා අගමැතිවරයා විධායක බලය සහිත ක‍්‍රියාත්මක වීමේ ක‍්‍රමවේදය තුළදී ඡුන්දයෙන් පත් වූ ජනාධිපතිවරයකු තවදුරටත් එහි රැඳීම යනු පැහැදිලි ලෙසම බල අරගලයකි.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට ගැළපෙන්නක් නොවේ. එනිසා නිශ්චිත වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත අගමැතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා වන අවස්ථාවකදී අවශ්‍ය නම් තවදුරටත් ජනාධිපතිවරයකු තබා ගැනීමට අපට හැකියාවක් ඇත. එහෙත් ඒ ඡන්දයෙන් තෝරාපත්කරගත් අයකු හැටියට නොවේ. නම් කරන ලද ජනාධිපතිවරයකු හෝ මේ අවස්ථාවේ යෝජනා කර ඇති ආකාරයට පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරගත් අයෙකු හැටියටය.

ඔහු දේශපාලන ආස්ථානයක් නොදරන්නෙකි. එහෙත් ඡන්දයෙන් තෝරාපත් කර ගන්නකු දැඩි දේශපාලන ආස්ථානයක සිටින්නෙකු වන බැවින් සියලූ ආයතන දේශපාලනීකරණයට ලක්වීම නොවැළැක්විය හැකිය.

එවැනි අමිහිරි අතීත අත්දැකීම් අපට කොතෙකුත් තිබේ. විශේෂයෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අලූතින්ම හඳුන්වා දුන් බලතල රාශියක් වේ. උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය ඇතුළුව ජනවාර්ගික සාමය, සංහිඳියාව සම්බන්ධයෙන් පෙනීසිටීමත්, ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර ඒවා අධීක්ෂණය කිරීමත්, නිසියාකාරයෙන් මැතිවරණ පැවැත්වීමට සහාය දීම ඇතුළු කාරණා රැසක් ඊට අදාළය.

මේ කාරණා සැබැවින්ම පිහිටා තිබෙන්නේ හුදු දේශපාලනඥයකුගේ ඇසකින් රටේ ප‍්‍රශ්න දෙස බලන්නකුට වඩා රාජ්‍යතාන්ත‍්‍රිකයකුගේ භූමිකාවක් අරමුණු කරගෙනය. පැහැදිලිවම ඡන්දයකින් පත්ව දේශපාලන ඇසකින්, දේශපාලන කෝණයකින් ප‍්‍රශ්න දෙස බලන දේශපාලන පක්ෂ නායකයකුට මෙවැනි ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කළ නොහැකිය.

එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවෙන් තෝරාගත් ස්වාධීන චරිතයකට පමණි. රාජ්‍ය නායකයා ද වන එවැන්නෙකු සැල කෙන්නේ ව්‍යවස්ථා ප‍්‍රධානියා ද හැටියටය. එමනිසා මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීව ගුණයෙන් පිරි යෝජනාවක් නොසල කමින් ශ්‍රීලනිපය ඉදිරිපත් කරන විකල්පය පැහැදිලි ලෙසම ගැටලූකාරී බව නොකියාම බැරිය. රටක් හැටියට ශ්‍රී ලංකාව දැන් සිටින්නේ කිසියම් තීරණාත්මක අඩියකය. අපට දැන් අවශ්‍යවී තිබෙන්නේ කුමක් ද? වඩාත් සංවිධිත වූ ද සංවර්ධනයේ ප‍්‍රගතිය කරා රට ගමන් කරවන්නට හැකි වූ ද ශක්තිමත් තීන්දු තීරණ ගැනීමට හැකි වූ ද පාලන ක‍්‍රමයකි. නිවැරැදි තීන්දු ගතහැකි විනිවිදභාවයෙන් යුතු දේශපාලන ක‍්‍රමයකි. එම දේශපාලන ක‍්‍රමය සඳහා දායකත්වය දැක්විය හැකි මැතිවරණ ක‍්‍රමයකි. ස්වාධීන අධිකරණයකි. එහෙත් ඒ සියල්ල කරා වූ ගමන මන්දගාමීව ඇති බව අපේ නිරීක්ෂණයයි.

අනෙක් අතට ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරය පුළුල් කිරීමට අදාළව යම් යම් පියවර ගනිමින් සිටී. එහෙත් ආණ්ඩුවට එය ජනතාවට නිවැරැදිව සන්නිවේදනය කරගැනීමට හැකිව නැති බව අප පිළිගත යුතුය. විශේෂයෙන්ම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා යහආණ්ඩුකරණයට අදාළව ව්‍යුහාත්මක වශයෙන් මෙරට විශාල ප‍්‍රතිසංස්කරණ සිදු වූ බව කිවමනාය.

විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් බවට සඳහන් කර එම පනත සම්මත කිරීම එහිදී ප‍්‍රමුඛය. යහආණ්ඩුකරණයක ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ විනිවිදභාවයයි. ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ජනතාව තොරතුරු දැනගැනීමයි. මෙම නීතිය නිසා ජනතාවට ඉතා පහසුවෙන් තොරතුරු ලබාගැනීමට අවකාශය උදා වී ඇත.

ජනමාධ්‍ය නිදහසෙහි මූලාශ‍්‍රය නම් ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියයි. එසේ බලද්දී මෙම පනත පොදු පුරවැසියන්ට මෙන්ම ජනමාධ්‍ය සමාජයට ද ප‍්‍රගතිකාරක උපකරණයක් බව පැහැදිලිය. අතුරුදහන්වූවන් පිළිබඳ කමිටු පනත ද එවැන්නකි. එය උතුරු නැගෙනහිරට පමණක් අදාළ නීතියක් නොවේ. ලංකාවේ  ඕනෑම තැනක සිදුකරන අතුරුදහන් කිරීමක දී නෛතිකමය වශයෙන් වින්දිත පාර්ශ්වයට විශාල සහායක් මෙමගින් ලැබේ. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය ගත්ත ද එසේය. ප‍්‍රසිද්ධියේ කතාබහට ලක් නොවුණ ද ඒවායේ ද යම්කිසි ආකාරයේ ප‍්‍රගතිශීලී වැඩ සිදු නොවෙනවා නොවේ.            

වැඩි හඬක් නැතිවම වුවද ග‍්‍රාමීය නිවාස යෝජනා ක‍්‍රම රැසක් දැන් දැන් දිවයින පුරා ක‍්‍රියාත්මක වී තිබේ. පැවැති ආණ්ඩුව සමඟ සසඳද්දී පැහැදිලිවම ජනමාධ්‍ය නිදහස ස්ථාපිත වී ඇත. මේ නිසාම ඊට අනුබද්ධව පුද්ගල නිදහස ද වර්ධනය වී තිබේ. පුද්ගල අතුරුදහන්වීම් හා පැහැරගෙනයාම් පහළ වැටී ඇත. ඇත්තවශයෙන්ම මේවා හැඳින්විය හැක්කේ දුර්දාන්ත පාලනයකට එරෙහිව සටන් කර ජනතාව ලබාගත් ජයග‍්‍රහණ හැටියටය.

එහෙත් එය පවා ජනතාවට අවශ්‍ය තරමින් සන්නිවේදනය කරන්නට ආණ්ඩුව සමත්ව නැති බව සත්‍යයකි. එහිදී ජනමාධ්‍ය ද සංවර්ධන පුවත් ගැන දක්වන උනන්දුව ප‍්‍රමාණවත් නොවන බව කිවයුතුය. කෙසේ වෙතත් මේ දුර්වලතා කල්තියා හඳුනාගෙන ඊට පිළියම් යෙදීම ආණ්ඩුවට හොඳය. මන්දයත් කවර හේතුවක් නිසා හෝ නිර්මාණය වී ඇති කලකිරීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්දයකදී ජනතා බෝම්බයක් වීමට ඉඩ ඇති නිසාය. එහි අනිටු පලය වන්නේ හඳුන්වා දී ඇති නව දේශපාලන ක‍්‍රමයේ යහගුණද කොට්ට උරයක් මෙන් නොපිට පෙරළීමට එමගින් ඉඩ විවර වන නිසාය. පවතින දේශපාලන තත්ත්වය ගැන නිවැරැදි කියවීමක් මෙන්ම පොදු ජන යහපත උදෙසා වූ සැබෑ එක්සත්භාවයක් ද ඊට අවැසිය.

අප දැනටමත් සිටින්නේ ආණ්ඩුක‍්‍රම නීතියත්, ආණ්ඩු පාලනයත් ආගමත් එකට පටලවාගෙනය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විද්වත් හා හරවත් සංවාදයක් වෙනුවට අන්තෝ ජටා බහිජටා තත්ත්වයක් හටගෙන ඇති සෙයක් දිස්වන්නේ මේ හෙයිනි. ලොව ඇතැම් රටවලදී රාජ්‍ය පාලනයට ආගම ද සම්බන්ධ වී තිබේ. එය බොහෝ දෙනකු සිතන අයුරින් පෙරදිගදීම නොව දියුණු බටහිරදී ද සිදුව ඇත. එහෙත් නිරාගමික ව්‍යවස්ථා සැලකෙන්නේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථා හැටියටය. ඊට හේතුව ආගම නමැති පුද්ගලික කාරණාව රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ප‍්‍රවර්ධනය කළ යුත්තක් සේ සැලකෙන්නේ නැති වීමය.

එහෙත් එයින් අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය ආගමික කටයුතුවලට අනුග‍්‍රහ දැක්වීම හෙළාදැකීමක් සිදුවන්නේ නැත. එහෙත් මෙම සිද්ධාන්තය යථාර්ථයක් බවට පත්කරගැනීම ඇතැම් ජන සමාජවල පවතින සමාජ, සංස්කෘතික පසුබිම් සමඟ පහසු නැත. ශ්‍රී ලංකාව ද ඊට කදිම උදාහරණයකි. මෙරට සාතිශය බහුතරය සිංහලයෝය. බෞද්ධයෝය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒකීය රාජ්‍යයක් හැටියට හඳුන්වා දී බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම නමැති කරුණ විසින් නිරාගමික රාජ්‍යයක් දක්වා යෑම දුෂ්කර කරනු ලැබ තිබේ.

මේ නිසා පවතින තත්ත්වය තුළ අසීරු ඉලක්ක කරා ගොස් සියල්ල නැති කරගන්නවාද වඩා යහපත් පරිවර්තනයක් සිදුකරනවාද යන්න අප සිතිය යුතුය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව මගින්ද අපට මේ මනෝභාවය පැහැදිලි වේ. මේ අතරම එක් ආගමකට ප‍්‍රමුඛස්ථානය දී තිබියදී ඊට සමාන තත්ත්වයක් සෙසු ආගම්වලට ලබාදෙනවාය යන්නද සෙද්ධාන්තිකව නිවැරුදි නොවේ.

තවද බුද්ධාගමට දෙන ප‍්‍රමුඛතාව ගැන කියද්දී ශ්‍රී ලංකා ජන රජය යන වචන වෙනුවට ශ්‍රී ලංකාව යන්න පාවිච්චි කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයෝ විරෝධය පළ කරති. ඔවුන් එහිදී තර්ක කරන්නේ ශ්‍රී ලංකාව යන්නෙන් රට මිස රාජ්‍යය අර්ථවත් නොවන බවය. සැබැවින්ම අප දැන් සිටින්නේ මෙසේ වචන අල්ලාගෙන සෙල්ලම් කළ යුතු වාතාවරණයක නොවේ. වාර්ගික වශයෙන් කලක් තිස්සේ පැවැති ආතතිකාරී සීමා තුළ සිටිමින්ම පවා දේශපාලන කණ්ඩායම් හා ජන කොටස් තමන්ගේ පැත්තෙන් කැප කිරීම කරමින් යහපත් හෙටක් ගැන සිහින දකින මොහොතකය.

විශේෂයෙන්ම ඒකීය රාජ්‍ය සංකල්පයට දෙමළ ජාතික සන්ධානය පවා සිය මනාපය දෙමින් අපේක්ෂා පෙරදැරිව සිටින්නේ සියලූ වාර්ගිකයන්ට හෙටක් සැලැසෙන දේශපාලන බලය උරගාබැලීමකටය. එම අපේක්ෂා වැරැදි නැත. තවද වාර්ගික හා වාමාංශික පදනමින් යුත් දේශපාලන කණ්ඩායම් පවා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙන් කිසියම් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. එය ඓතිහාසිකව කෙතරම් අගනා මොහොතක් ද? එවැනි මොහොතක ඒකාබද්ධ විපක්ෂයේ වචන හරඹ ගර්හාකටයුතුය.

(සටහන - බිඟුන් මේනක ගමගේ)