(ජයතිලක ද සිල්වා)

දැන් දේශපාලන සංවාදයෙහි, විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල, බෙහෙවින් කතාබහට ලක්ව ඇති විෂයයක් වන්නේ අල්ලස, දූෂණය සහ මහජන දේපළ අවභාවිතයට වරදකරුවන් සොයා බලා දඬුවම් දීමය. ජන වහරට අනුව කෙටියෙන් කිවහොත් හොරුන් ඇල්ලීමය.

හොරුන් සිටින්නේ කොහි ද? ආණ්ඩුව කියන්නේ ඒකාබද්ධ විපක්ෂය තුළය. ඒකාබද්ධ විපක්ෂයට අනුව ආණ්ඩුව හොර ගුහාවකි. එසේම ආණ්ඩුව ඇතුළතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකිනෙකාට හොරකම් චෝදනා නඟත්. දෙමළ ජාතික සන්ධානයට සහ ජනතා විමුක්ති පෙරමුණට හොරකම් චෝදනා නැතත් ආණ්ඩුවට සහයෝගය දීමෙන් ඔවුන් ද පාපකර්මයට හවුල් බවට ඒකාබද්ධය චෝදනා කරයි. මෙසේ බලන විට ඔක්කොම හොරුය.

අනෙක් අතට, ඒ පක්ෂ තමන් හෝ තම පිලේ හෝ කිසිවකු හෝ වරදෙහි බැඳුණු වගක් පිළිගන්නේ නැත. එසේ බලන කල ඔක්කොම පාරිශුද්ධත්වයෙහි සංකේත ය. චෝදනා එල්ලවී ඇති දේශපාලනඥයෝ එයින් නොනැවතී “පුළුවන් නම් ඔප්පු කැරපල්ලා!” යැයි අභියෝග කරති. එහෙත් කිසිවෙක් අපහාසයට නඩු දමා නැත.

එහෙත් මහ බැංකු බැඳුම්කර වංචාවත් සමඟ දූෂණයේ, වංචාවේ, හොරකමේ බෝම්බය යහපාලන ආණ්ඩුවේ “අතේ පත්තු” වී හොරුන්ගේ දළ සේයා ඉස්මතුව තිබේ. ආණ්ඩුවට ද නිදි ගැට හැරැ පියා යමක් කරන්නට සිදු විය. කෝප් කමිටුව පන්දුව ඔසොවා දුන්නාය. වැර පහර වැදුණේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙනි. 

අල්ලස දූෂණය පිළිබඳ විමසා බලන කොමිෂන් සභාවෙන් ද අපරාධ 34ක වාර්තා භාර දී ඇත. එහි චූදිතයන් සේ බොහෝ දේශපාලනඥයන් සිටින බව සැලයි.

අද අප සිටින්නේ සන්ධිස්ථානයකය. දේශපාලනඥයන්ගේ මඩ සෙල්ලම තවත් උත්සන්නව ඇති අතර ජනතාව බලා සිටින්නේ සහ ඉල්ලා සිටින්නේ වරදකරුවන්ට දඬුවම් දෙන තෙක්ය.

ජනාධිපති සිරිසේන හොරකමට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි. වරදකරුවන්ට නියත දඬුවම් දෙන බවට දිවුරා සිටී. අගමැති වික්‍රමසිංහ ද එම කතාවම කරයි. ඒ සඳහා අවශ්‍ය නීති කඩිනමින් ගෙන එන්නට පොරොන්දු වෙයි. අපි බලා සිටිමු. පසුගිය අවුරුදු තුනේ අත්දැකීම අනුව නම් ඒ ගැන එතරම් විශ්වාසයක් නැති බව කිව යුතුය. උරණ නොවන්න. ඒ අපේ හැටිය.

බැඳුම්කර කොමිසම කියා ඇති එක් කාරණයක් වන්නේ 2008-14 කාලයෙහි ද මෙවන් වංචා බැඳුම්කර අලෙවියෙහි සිදු වූ වගක් පෙනෙන්නට ඇති බවය. එයින් පෙනෙන්නේ හොරකම කාලයක් මුළුල්ලේ සිට බෙහෙවින් ව්‍යාප්ත පරිමාණයකින් සිදු වන බවය. ජන විඥානය ඒ බව පසක් කැරැ සිටී.

දූෂණය, වංචාව කොතෙක් ඉහ වහා පැතිර ඇත් ද යත් එය පිළිගත් ජීවන රටාවක් තරමටම වැඩී හමාරය. උපතේ සිට මරණය දක්වාම අල්ලසෙන් තොර ජීවිතයක් නැති තරම්ය. එය සමාජයෙහි තිරස්ව මෙන්ම සිරස්ව ද පැතිර හමාරය. එක් පැත්තකින්, එය සමාජයෙහි සෑම ක්ෂේත්‍රයක්ම වසා ඇතිවා පමණක් නොව අනෙක් පැත්තෙන්, මහ පාරේ බලහත්කාරයෙන් රථ ගාල් නියමුවන් සේ ක්‍රියාකරන්නවුන්ගේ සිට රටෙහි ඉහළම තැන්වල වැජැඹෙන්නවුන් දක්වා විහිදී ඇත. 

සංවර්ධනය ගෙන එන්නේ නම් දූෂණය තිබුණාට කමක් නැතැයි කියන්නෝ ද සිටිත්. ප්‍රසිද්ධ වැඩවලින් කොමිස් ගැනීමට ඇතැම් දේශපාලනඥයන් පමණක් නොව ඇතැම් රජයේ නිලධාරීන් ද ඇබ්බැහිව ඇත්තේ එය පාරම්පරික උරුමයක් සේ සලකාය. ඇතැම් රජයේ දෙපාර්තමේන්තු වංචාවට, අල්ලසට නම් දරා ඇත. රේගුව, පොලිසිය මෙන්ම අධිකරණ හා අධ්‍යාපන ක්ෂේත්‍ර නිදසුන්ය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ද දැන් දැන් චෝදනා එල්ල වෙමින් පවතී. සමුපකාරය ගත හොත් එය දූෂණයට පර්යාය පදයක් සේය. පෞද්ගලික අංශය ද සිල්වතුන්ගෙන්ම සමන්විත නොවේ. අනෙක් අතට, අල්ලසෙහි උපත බොහෝ විට ඇත්තේ ද එහිය.


බැඳුම්කර සහ ඉහත සඳහන් සෙසු වංචා සිදු කළවුන්ට එරෙහිව නීතියෙන් දඬුවම් පැමිණවීමෙන් වංචා දූෂණ ආදිය කම්මුතු කළ හැකි ද? නැත. එහෙත් එයින් අනාගතයෙහි වරදෙහි බැඳෙන්නවුන් අධෛර්යයට පත් වනු ඇත. ඒ තාක් දුරට යහපත් ප්‍රතිඵලයක් ඇති වේවි. 

අල්ලස හා දූෂණයට හේතුව අදාළ පුද්ගලයන්ගේ විෂමාචාරයම නොවේ. ඒවා ජනිත කරවන තත්ත්වයක් සමාජයෙහි වාස්තවිකවම පැවැත්මත්, ඒ කැටුව යන ආචාර ධර්ම පරිහානියත් මූලික හේතුවක් බව කිව යුතුය. වෙනත් වචනවලින් කිව හොත්, ඒවා පැන නඟින්නේ පවත්නා සමාජ ක්‍රමයෙහිම ඌනතා හේතුවෙනි. දියුණුතම එක්සත් ජනපදයෙහි සිට සෑම ධනපති රටකම අනල්ප වංචා, දූෂණ පැවැත්මෙන්ම ඒ බව ප්‍රායෝගිකව පැහැදිලි වෙයි.

ධනවාදය පරාර්ථය නොව ආත්මාර්ථය ඉස්මතු කරමින් පෝෂණය කරන්නකි. ධනවාදයෙහි නවතම අවධිය වන නව ලිබරල් ක්‍රමය යටතේ එහි විෂමාචාර වැඩිදියුණුව ඇත. මෙරට දූෂණ ව්‍යාප්තියෙහි හැරැවුම් ලක්ෂයක් 1977 වසර දී සලකුණු වන්නේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය හඳුන්වා දීමත් සමඟය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරක් ආයෝජකයන් “චෞර සිටුවරයන්” ලෙස හැඳින්වූයේ නිකමටම විය නොහැකිය.

ශ්‍රී ලංකාව වැනි දියුණු වන රටවල වංචා දූෂණයට ඇති ඉඩකඩ බොහෝය. සීමිත සම්පත් පරිහරණයට අත්‍යධික පිරිසක් සිටිනා බැවින් ඒවා සාධාරණව බෙදී යාමට වඩා ප්‍රබලයා දුබලයා යට කරමින් ඒවා භුක්ති විඳීම සාමාන්‍ය තත්ත්වය බවට පත්ව ඇත.

මෙය අල්ලසට හා වංචාවට තෝතැන්නකි. නීති පද්ධතියෙහි අඩුපාඩු ද ඊටම රුකුලකි. කිසියම් රටක නීතියෙහි ආධිපත්‍යය බිඳ වැටී ඇත්නම් එතැන අල්ලස දූෂණය රජ කරයි. ශ්‍රී ලංකාවට ද එය සත්‍ය වෙයි.

අල්ලස, දූෂණය, වංචාව පිටුදැකීමට නම් ඒ සඳහා හිතකර සමාජ - ආර්ථික රාමුවක්, සමාජ ක්‍රමයක් කරා අප යා යුතුය. පරාර්ථකාමී මානවීය දැක්මක් සහිත සමාජයක්, සාධාරණ සමාජයක් ගොඩ නැඟිය යුතුය.

මේ සඳහා පවත්නා නීතියෙහි අඩුපාඩු මැකිය යුතුය. මැතිවරණ නීති ඇතුළු බොහෝ නීති වෙනස් කළ යුතුය. රාජ්‍ය ව්‍යවස්ථාව පවා වෙනස් කළ යුතුය. ඒ සඳහා දැන් කදිම අවස්ථාවක් උදාව ඇත්තේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකට රජය දැන්මම පිවිස ඇති හෙයිනි.

කෙටියෙන් කියන්නේ නම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය ඇති වුවහොත් අල්ලස දූෂණය සහ වංචාව කිසි සේත්ම නොඉවසන, එය පිටුදකින සමාජයක් බිහිවනු ඇත. යහපාලනය අනු යන්නෝ වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද එය අනු යා යුතුය.