කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය
ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

කලක සිට උදෑසන ම එන කෙටි පණිවිඩවල සඳහන් වන්නේ එක්කෝ රිය අනතුරකින් අයකු හෝ කීපදෙනකු හෝ මිය ගිය බවය, නැතහොත් වෙඩි තබා හෝ කපා කොටා හෝ අයකු හෝ කීප දෙනකු හෝ ඝාතනය කර ඇති බවය. එක්කෝ බැංකුවක් හෝ වෙළෙඳ ආයතනයක් කොල්ලකා ඇති බවය. එසේම සතියකට වරක් නොව දෙවරක් හෝ තුන්වරක් පමණ ජංගම දුරකථනවලට එන කෙටි පණිවිඩයක් වන්නේ විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ ලෝටස් පාර වසා ඇත යන්නය. එක්කෝ පාර්ලිමේන්තු වට රවුම හෝ කොළඹ පුරහල අවට ප්‍රදේශය සහ වෝර්ඩ් පෙදෙස විරෝධතා ව්‍යාපාරයක් නිසා අවහිර වී ඇති බවය. ඒ පණිවිඩය එන්නේ උදෑසනම නොව එකොළහ හමාර දොළහ වන විටය.

ලෝටස් පාර, පාර්ලිමේන්තු වට රවුම, පුරහල ප්‍රදේශය සහ වෝර්ඩ් පෙදෙස වැසීමට සිදුවන විරෝධතා, කොල්ල කෑම්, අනතුරු සහ ඝාතන පිළිබඳ එන කෙටි පණිවිඩ හුදු පණිවිඩවලින් එහාට ගිය ඇඟවුම් අපට ලබා දෙමින් සිටී. අප තවම ඒවා නිසි ලෙස තේරුම් ගෙන හෝ අවබෝධ කරගෙන ​හෝ නැති වුවත් ඒ ඇඟවුම්වලින් නැවත නැවත කියාපාන්නේ ආණ්ඩු නොව බරපතළ රාජ්‍ය අර්බුදයකට අප සමාජය මුහුණ දී ඇති බවය.

රාජ්‍ය අර්බුදයක් යනු ආණ්ඩු අර්බුදයකට වඩා භයානක තත්ත්වයකි. එහෙත් හුදු ආණ්ඩු බලය ගැන පමණක් හිතන සහ ඒ සඳහා පමණක් වැඩකරන අයට මේ උවදුර නිසිලෙස වැටහෙන්නේ නැත. එමෙන්ම ආණ්ඩුවට වඩා රාජ්‍යය වැදගත් බව දන්නේ නැති ජනයාටද මෙහි ඇති භයානකකම වැටහෙන්නේ නැත. එවන් පසුබිමක කිවයුත්තේ මී අඹ ගෙඩියකට පණුවන් ගැසූ විට උන් ඉවත්කළ පමණින් යහපතක් වේ යැයි සිතීම ඒ පණුවන් විසින් මී අඹ ගෙඩිය සුවපත් කරනු ඇතැයි සිතීම තරමටම අනුවණකමකි යන්නය. මේ රටේ පාලකයන් පණුවන් සේ යැයි ඔබට සිතේ නම් එය මා පෙන්වා දුන් දෙයක් නොව ඔබේ නිවැරැදි දැක්මක් ය. ඒ දැක්ම මත කළයුතු වන්නේ පණුවන් සමඟින් මී අඹ ගෙඩියද වීසි කොට සරුසාර අස්වැන්නක් පතා අලුත් මී අඹ පැළයක් සිටුවීමය.

ලෝටස් පාරේ විරෝධතා පමණක් නොව, බස් නැවතුමක් ගානේ ඔහේ ළතවෙමින් පැය භාගයේ ගමන පැය එකහමාරක් තිස්සේ යන මගී ප්‍රවාහන බස් එසේ යන්නේ රියැදුරුගේ සහ කොන්දොස්තරගේ වරදින් යැයි එකවර අපට පෙනෙන සත්‍යයේ සැබෑ හේතුව ද රාජ්‍යයයේ ව්‍යසනය නැතහොත් වසර අසූහතක් තිස්සේ මේ රාජ්‍යය කුරුබවට පත්වී තිබීම ය. රෝගී ජීවිත පළිහක් කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිනපතා සිදුවන වැඩ වර්ජන වනාහි ඒ ක්ෂේත්‍රයේ රස්සා කරන අයගේ දුෂ්ටකම නිසා යැයි එකවර පෙනෙන සත්‍යයේ සැබෑ හේතුවද රාජ්‍යයේ නොවැඩුණු බව හෝ කුරුමිටි බවය. රාජ්‍ය සේවයෙන් වැඩක් කර ගැනීමට ගොස් ඇතිවන දහසකුත් එකක් අපහසුතා ද ඒ සේවයේ සිටින අයගේ අලසකම, නපුරුකම, වංචාව, අකාර්යක්ෂමතාව, දූෂණය සහ ආත්මාර්ථය නිසා සිදුවේ යැයි අපට පෙනෙන සත්‍යයේ සැබෑ හේතුවද රාජ්‍යයේ අපරිණත බව සහ කුරුමිටි බව ය. පාර පුරා ඒ පැත්තෙන් මේ පැත්තෙන් මිනිසුන් යටකරමින් දුවන වාහන අශීලාචාර මිනිසුන්ගේ විනයක් නැතිකම නිසා සිදුවන දෙයක් යැයි අපට පෙනෙන සැබෑවේ නියම හේතුවද රාජ්‍යයේ කුරුමිටි කම ය.

පහළොස් ලක්ෂයකට ආසන්න සෙනඟක් සහිත රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට සිදුවන්නේ ද, සමෘද්ධිලාභීන් ගණන තවත් පනස් දහසකින් වැඩිකරනවා යැයි කියන්නට සිදුවන්නේද, ආසියාවේ ලොකුම වකුගඩු රෝහල සැදීමට සිදුවන්නේ ද අපේ රාජ්‍යයේ කුරු බව සහ අසමත්භාවය නිසාමය. කෝටි ගණනින් පාඩු ලබන රාජ්‍ය ආයතන ඒවායේ රස්සා කරන අයට වාර්ෂිකව බෝනස් ලබා දෙන්නේ ඒ ආයතනවල අයගේ ආත්මාර්ථය නිසා යැයි පෙනෙන සත්‍යයේ සැබෑ හේතුවද රාජ්‍යයේ ව්‍යසනය සහ මෝඩකම ය.

රටේ මිනිසුන් ගෙවන ජාතික බදු ආදායම ජනයාගේ සුබසාධනය සඳහා නොව ඉලක්ක සැපිරීමේ කොන්දේසිය ට අනුව ඒ ජාතික බදු අදායමෙන් වසරකට දෙවතාවක් වැටුප මෙන් හතරහමාර ගුණයක් තරමක ‘දිරිදීමනා’ ලබා ගන්නා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආශ්චර්යයට හේතුව ‘අපි හැදුනම ඇති’ න්‍යාය යැයි පෙනෙන සත්‍යය පිටුපස ඇත්තේ ද රාජ්‍යයේ කුරුමිටිකම සහ දුෂ්ටකම ය. පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලත් ‘අපි හැදුනම ඇති’ න්‍යායේ සිටීමේ හේතුවද එයම ය. මේ උදාහරණ ලැයිස්තුවට තවත් සිය ගණනක් එකතු කර සිතා බැලීම කියවන්නන්ට බාර කරමි.

ඇත්තටම අපේ රාජ්‍යය ලත් තැනම ලොප් වී ඇත. ඊට බලපෑ සහ බලපාන ප්‍රධාන හේතුව වන්නේ පුද්ගලවාදී අරමුණකින් බලයම ගැන හිතන නග්න ආත්මාර්ථකාමී බලකාමීන් අතට මිස, රාජ්‍යය ගොඩනැගීම පිළිබඳ විධිමත් මූලෝපායික දැක්මක් ඇති ජනතාවාදී රාජ්‍යය ශිල්පීන් අතට රාජ්‍ය අධිකාරිය සහ ආණ්ඩු අධිකාරිය අත්පත් නොවීමයි. එහෙත් ඒ බලකාමීන්ට පමණක් වැරැද්ද පවරා අනිත් අයට අතපිහදා ගත නොහැක. මේ රාජ්‍ය ව්‍යසනය නවතන්නේ කෙසේද යන්න සොයා බැලීමට පෙර මේ ව්‍යසනය ට දායකවන සාධක ගැන පළමුව අවධානය යොමු කළ යුතුය.

සාර්ථක ශීලාචාර රාජ්‍යයක් සඳහා අවශ්‍ය ප්‍රමුඛ කොන්දේසියක් සහ පදනමක් වන්නේ යහපත් පුරවැසි සමාජයක් ය. එවැනි සමාජයක් ඉබේ ඇතිවන්නේ නැත. එය සාමුහික ව්‍යායාමයක ප්‍රතිඵලයකි. ඉංග්‍රීසි පාලකයන්ගෙන් මේ රටේ මිනිස්සුන්ට පුරවැසිභාවයට පෙර ලැබුණේ ඡන්දදායකකම ය. යටත්විජිතයේ යටත්වැසියාට පුරවැසිකමට පෙර ඡන්දදායකකම ලැබිණි. ඒ නිසා සිදුවුණේ පුරවැසිකමට වඩා ඡන්දදායකකම ලොකුවීමය. හරියට රාජ්‍යයට වඩා ආණ්ඩුව ලොකු වුණා වගේ ය. එබැවින් සිදු වී ඇත්තේ මේ මොහොත දක්වාම පුරවැසිකම හුදු නෛතිකමය කාරණයක් පමණක්ම වීමය.

සමාජයක් පුරවැසිකරණය වීමේදී සිදුවන සහ සිදුවිය යුතු ඉදිරිගාමී සමාජ, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සමාජානුයෝජනය මේ නෛතික පුරවැසියා අරබයා අදාළ වූයේ නැත. එහෙම එකක් දන්නේත් නැත. එය තවමත් එසේම ය. අදාළ නැත. ඒ නිසා මේ රටේ ඉරණම තීරණය කරන්නට ඇවැසි විධිමත් සහ ශක්තිමත් පුරවැසි සමාජයක් තවමත් නැත. ඒ ඉරණම තීරණය කරන්නෝ මැතිවරණ කාලෙට පමණක් දඟලන අනුවණ ඡන්දදායකයෝය. ඔබගේ පුරවැසිභාවය කුමක් දැයි කෙනකු ඇසූ විට ‘ශ්‍රී ලාංකික’ යැයි උත්තර දෙන බහුතරයක් අය සමාජ, දේශපාලන සහ ආර්ථික පුරවැසියන් නොව නිකම්ම නිකන් නෛතික පුරවැසියන් සහ ඡන්දය දීමෙන් පමණක් උදම්වන ඡන්දදායකයෝය. මේ රාජ්‍යය ලත් තැනම ලොප් වී කුරුමිටි වීම වනාහි අර ඡන්දදායකයන් සමාජ-ආර්ථික-දේශපාලන පුරවැසියන් නොවීමේ පලවිපාක ය.

රාජ්‍යය විධිමත්ව සහ ශීලාචාරව ගොඩනැඟීම ට බාධා වූ තවත් සාධකයක් වන්නේ රාජ්‍යවාදී සමාජ ව්‍යාපාරවලට වඩා වෘත්තීය සමිති බලවත් වීම ය. එසේම රාජ්‍ය ප්‍රතිසංස්කරණවලට වඩා වෘත්තීය ගැටලුවලට උත්තර සෙවීම ප්‍රමුඛ හෝ එකම කාර්යය වීම ය. සමාජ ප්‍රතිසංස්කරණවාදී විඥානයට වඩා වෘත්තීය සමිති විඥානය බලවත් වීමය. එසේම වෘත්තීය සමිති, සමාජ ව්‍යාපාර සේ පෙනෙන වෙස් මුහුණු දමා ගනිමින් සමාජ ව්‍යාපාරවලට ඇති අවකාශය සහ මහජන කැමැත්ත පළුදු කිරීමය. මීට වාමාංශික ව්‍යාපාරය මුළුමනින්ම වගකිව යුතුය. ලංකාවේ වම වෘත්තීය සමිති සරණං ගච්ඡාමී වීම සහ දෛනික ප්‍රතිචාරාත්මක දේශපාලනයක පමණක් නිරත වීම මෙරට ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාර බිහි නොවීමට බලපෑ ප්‍රධාන සාධකයක් ය.

අදටත් ලෝටස් පාර තාවකාලිකව වැසෙන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ හෝ මහජන හිතසුව පිණිස රාජ්‍යය සැකසීම සඳහා වූ පුළුල් අරමුණු සහිත සමාජ ව්‍යාපාරවල අරගල නිසා නොව ගෝත්‍රවාදී සහ කල්ලිවාදී වීදි බැසීම් නිසාය. මා මිත්‍ර මහාචාර්ය සුමනසිරි ලියනගේ පෙන්වා දෙන ආකාරයට මහා සමාජ ව්‍යාපාර සඳහා මෙවැනි වීදි බැසීම් යොදාගත හැකිද පරිවර්තනය කරගත හැකිද යන්න මට නම් සැක සහිතය. මන්ද කණ්ඩායම් බඩගෝස්තරවාදය මේවා තුළ නිධන්ගතව පවතින නිසා ය.

එසේම අධිකාරී බලය සහ යුරෝපීය දේශපාලන න්‍යායපත්‍ර අනුගමනය කරන මෙරට බුද්ධිමතුන් කටයුතු කළේ සහ කරන්නේ ජනවාර්ගික ගැටලුව විසඳීම මගින් රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා ය යන මතයේ පිහිටා ය. ඔවුන්ට අනුව රටේ ඇත්තේ එකම එක ජාතික ප්‍රශ්නයකි. ඒ ඔවුන් කියන ‘ජාතික ප්‍රශ්නය’ හෙවත් ජනවාර්ගික ගැටලුව ය. ඒ ඔවුන්ගේ දැනුමේ තරමය. සමාජවාදය මගින් සියලු ප්‍රශ්න විසඳෙනවා යැයි කියූ සහ ලියූ වාමාංශිකයන්ද පසුව නොකියා කීවේ ‘ජනවාර්ගික ගැටලුව විසඳීම මගින් සමාජවාදය ද උදා කරගත හැකි’ බවය. මේ සියල්ලෝම රට මංමුළා කළෝ ය. සමාජය අනාථ කළෝ ය. රාජ්‍යය ගොඩනැඟීම සහ සැකසීම වාර්ගික ප්‍රශ්නයකට ඌණනය කළෝ ය. ඒ නිසා ශීලාචාර සහ ජනසම්මතවාදී රාජ්‍යයක් සැකසීම සඳහා වන ගැඹුරු සමාජ කතිකාවක් නිර්මාණය වීමට අවශ්‍ය අනෙකුත් සියලු පැතිමාන පොළොව මතුපිට දී නොව ඇතුළතදී ම මිය ගියේ ය. වාර්ගික ප්‍රශ්නය නමැති කළු රෙද්දෙන් රාජ්‍ය නිර්මාණය කිරීමේ පුළුල් ඉඩකඩ වැසී ගියේ ය. සතියකට දෙවතාවක් හෝ තුන්හතර වතාවක් ‘ලෝටස් පාර’ වැසෙන්නේ අන්න ඒ නිසාය.

තවද නියෝජිතයින් වෙනුවට ඒ හා සමාන වෙස්මුහුණු පැළඳගත් පාලකයන් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම, රාජ්‍ය සේවය වෙනුවට නිලධාරීවාදය බලවත් වීම, පක්ෂ වෙනුවට කල්ලි බලවත් වීම, රාජ්‍ය ශිල්පය වෙනුවට ආණ්ඩු බල ක්‍රීඩාව බලවත් වීම යනාදිය ද අපේ රාජ්‍යය කුරු වී ලත් තැනම ලොප් වීමට බලපා ඇති සාධකය. එනම් රාජ්‍යය කුරුවී ලත් තැනම ලොප් වී ‘ලෝටස් පාර’ වැසීමට බලපා ඇති වැඩි දුර විස්තර කළ යුතු සාධක ය. ඉතින්, අප සිතා බැලිය යුත්තේ ගෝත්‍රික වීදි විරෝධතාවලින් ‘ලෝටස් පාර’ වැසෙන්නේ නැති රාජ්‍යය ප්‍රශස්ත ලෙස නිර්මාණය කර ගැනීම උදෙසා වූ පුළුල් සමාජ ව්‍යාපාරයක් පිළිබඳව ය.