ලුසිත ජයමාන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (3) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනා ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. ඒ අනුව, අප රටේ හටගෙන ඇති ව්‍යවස්ථාමය අර්බුදය තවත් උත්සන්න විය. ව්‍යවස්ථාමය අර්බුද ලෝකයට අරුමයක් නොවෙයි. රටවල් රැසකින් ව්‍යවස්ථාමය අර්බුද වාර්තා වේ.

ආසියානු කලාපයේ ව්‍යවස්ථාමය අර්බුද හටගත් රටවල් අතර පාකිස්තානය, තායිලන්තය සහ ඉරානය ද කැපී පෙනෙයි. පාකිස්තානයේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ 1997 වසරේදී ය. ඒ, එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ සජාද් අලී ෂා සහ අගමැති ධුරය හෙබවූ නවාස් ෂරීෆ් අතරේය. අගවිනිසුරුවරයා චෝදනා නඟන්න වූයේ අගමැති ෂරීෆ් අධිකරණයට බලපෑම් එල්ල කරන බවටය. දෙදෙනා අතර පැවැති මත ගැටුම අවසන් වෙද්දී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයෙන් ඉවත් වීමට සජාද් අලී ෂා ට කටයුතු කළේය. 

 තායිලන්තයේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ 2006 වසරේ දී, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වූ නිසාය. ඊට හේතුව වූයේ අගමැති ධුරයේ කටයුතු කළ තක්සින් ෂිනවාත්‍රා ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීමය. අද පවා තායිලන්තයේ දේශපාලන අර්බුද පවතී. තායිලන්තයේ අද පවතින්නේ හමුදා පාලනයකි. හමුදාව රටේ බලය අල්ලා ගත්තේ දේශපාලන පක්ෂ එකිනෙකා සමඟ මත ගැටුම් ඇති කර ගැනීමත් සමඟය. 

 ඉරානයේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ ඉරාන විප්ලවයට වසර ගණනාවකට පෙර 1953 වසරේදීය. ඒ කාලයේ ඉරානයේ ජනාධිපතිවරයකු මෙන්ම අගමැතිවරයෙක් ද විය. ජනාධිපති ධුරයේ කටයුතු කළ මොහොමද් රේසා පලාවී අගමැති ධුරයේ කටයුතු කළ මොහොමද් මොසාදේජ් ධුරයෙන් නෙරපා දැමීමට තීරණය කළේය. මොහොමද් රේසා පලාවී අගමැති ධුරය අත්හැරීම ප්‍රතික්ෂේප කළේය. අර්බුදයට මුල් වූයේ මෙයයි. අද වනවිට, ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අල්කොමේනී කටයුතු කරයි. ජනාධිපති ධුරයේ කටයුතු කරන්නේ උත්තරීතර නායකයාගේ අනුමැතිය හිමිවන තැනැත්තාය. අද ඉරානයේ ජනාධිපතිවරයා වන්නේ හසන් රොව්හානි ය. 

 අප්‍රිකා රටවල් දේශපාලන පමණක් නොව සන්නද්ධ අරගලවලින් ද නිරන්තරයෙන් බැට කයි. අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ පළමු ජනාධිපති වූයේ ජෝසෙප් කාසා වූබෝ ය. කාසා වූබෝ ජනාධිපති ධුරය හොබවද්දී අගමැති ධුරයේ කටයුතු කළේ ලුමුම්බා ය. මොවුන් දෙදෙනා එකිනෙකා බලයෙන් නෙරපා දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී, ව්‍යවස්ථාමය අර්බුදයක් හටගත්තේය. ඒ, 1960 වසරේදීය. අර්බුදය උත්සන්න වී මාසයක් ගත වෙද්දී, හමුදාපති ධුරය හෙබවූ ජනරාල් මොබුටා මැදිහත් වී, කුමන්ත්‍රණයක් මගින්, දෙදෙනාම බලයෙන් නෙරපා දැමීමට කටයුතු කළේය. කෙසේ නමුත් යළි මාසයකට පසු කාසා වූබෝ යළි කොංගෝවේ ජනාධිපති ධුරයට පත් කර ගැනිණ. 

 ඊජිප්තුව ව්‍යවස්ථාමය අර්බුදයකට මුහුණ දුන්නේ, ජනතා විරෝධය මැද, 2011 දී, වසර 30ක් තිස්සේ බලයේ රැඳී සිටි හොස්නි මුබාරක් ධුරයෙන් ඉවත් වීමත් සමඟය. හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූයේ විශේෂ හමුදා මණ්ඩලයක් පිහිටුවා ඊට බලතල ලබා දීමෙන් ද පසුවය. ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදුණු අතර මොහොමද් මුර්සි ජනපති ධුරයට පත් විය. ඒ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සහාය ඇතිවය. මුස්ලිම් සහෝදරත්වය යනු හොස්නි මුබාරක් ජනපති ධුරය හොබවද්දී, තහනම් කරනු ලැබ තිබුණු දේශපාලන පක්ෂයයි. 

 මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ සහාය ලැබූ මොර්සිට ජනාධිපති ධුරය දැරීමට සිදුවූයේ මාස කිහිපයක් පමණි. ජනතා විරෝධය මැද, හමුදාව මැදිහත් වී, මොර්සි ද ධුරයෙන් ඉවත් කෙරුණු අතර, පසුව අත්අඩංගුවට ගනු ලැබුණි. හමුදාපති ලෙස කටයුතු කළ අල් සීසී ජනාධිපති ධුරයට පත් විය. වර්තමානයේ ඊජිප්තුවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ ද අල් සීසී ය. මුර්සි බලතල අයථා ලෙස භාවිත කළේ යැයි විරෝධතාකරුවන් අමානුෂික ලෙස මර්දනය කළේ යැයි යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී මේ වනවිටත් සිරදඬුවම් විඳිමින් සිටී. හොස්නි මුබාරක් ධුරයෙන් ඉවත් වෙද්දී, බලය පවරා දුන් හමුදා මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හමුදාපති මොහොමඩ් අල් සීසී ජනාධිපති ධුරයට පත් විය. වර්තමානයේ ඊජිප්තුවේ ජනාධිපති ධුරය හොබවන්නේ ද අල් සීසී ය. අල් සීසී හමුදා ධුරය අත්හැර දමා සිවිල් වැසියකු ලෙස ජනාධිපතිවරණයට පසුව ඉදිරිපත් විය. 

 මලාවි රාජ්‍යය ව්‍යවස්ථාමය අර්බුදයකට ලක් වූයේ ජනාධිපති ධුරයට පත් බිංගු වා මුතාරිකා සහ උපජනාධිපති ධුරයේ කටයුතු කළ ජොයිස් බණ්ඩා අතරේ හටගත් මත ගැටුම් මුල් කොට ගනිමිනි. එම මත ගැටුම්වලට හේතුව වූයේ දෙදෙනා එකිනෙකට විරුද්ධ පක්ෂ දෙකකින් බලයට පත් වීමය. අවසානයේ දී උපජනාධිපති ධුරයේ සිටි ජොයිස් බණ්ඩා මලාවි රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත් කෙරුණි. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුවය. 

 2016 වසරේ ජනාධිපතිවරණයෙන් අදාමා බරෝ ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ජනාධිපති ධුරය හෙබවූ යහ්යා ජමේයා මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. ධුරය අත්හැරීම ද යහ්යා ජමේයා ප්‍රතික්ෂේප කළේය. 2016 ජනවාරි 17 වැනිදා, යහ්යා ජමේයා දින 90ක කාලයක් සඳහා හදිසි නීතිය ද ක්‍රියාත්මක කළේය. ඒ, ධුර කාලය දීර්ඝ කර ගැනීමට ක්‍රමෝපා සකසා ගැනීමට කල් ගැනීමේ අපේක්ෂාවෙනි. අසල්වැසි අප්‍රිකා රටවල් වන සෙනගාලය, ඝානාව සහ නයිජීරියාව මෙම අවස්ථාවේදී ගැම්බියාවට හමුදාව එවීය. ඒ අනුව, එල්ල වුණු බලපෑම් මත ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමටත් ධුරයෙන් ඉවත් වීමටත් යහ්යා ජමේයා ට සිදුවිය. ධුරයෙන් ඉවත් වුණු යහ්යා ජමේයා අවසානයේ රටින් ද යන්න ගියේය. 

 දකුණු ඇමෙරිකාව හෙවත් ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ 1973 වසරේදීය. ඒ වනවිට චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවන්න වූයේ සැල්වදෝර් අලෙන්දේ ය. බලතල වැඩි කර ගැනීමට උත්සාහ ගන්නවා යැයි අලෙන්දේ ට චෝදනා එල්ල විය. ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවට හිස නැමීමට සැල්වදෝර් අකැමැත්ත පළ කිරීමත් සමඟ රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. 

 තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන පේරු රටේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ 1992 වසරේදීය. ඒ වනවිට ජනාධිපති ධුරය හොබවන්නා වූයේ ඇල්බර්ටෝ ෆුජිමෝරි ය. හමුදාවේ ද සහාය ඇතිව හෙතෙම කොංග්‍රසය විසුරුවා හැරියේය. ඒ, කොමියුනිස්ට්වාදී සහ මාක්ස්වාදී දේශපාලන පක්ෂවලට විරෝධය පාමිනි. 1993 දී, ජනපතිවරයාගේත් හමුදාවේත් මැදිහත් වීමෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු යෙදුණි. නව ව්‍යවස්ථාවක් සකසනතුරු ඇල්බර්ටෝ ෆුජිමෝරි ජනාධිපති ධුරයේ රැඳී සිටීමට තීරණය කළේය. 

 තුවාලු යනු දකුණු පැසිෆික් සාගරයේ පිහිටි බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දූපත් රාජ්‍යයකි. ජනගහනය 12,000ක් පමණි. 2013 වසරේ දී මෙම කුඩා දූපත් රාජ්‍යයේ ද ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය. ඒ, අගමැති ධුරයේ කටයුතු කරන්න වූ විලී ටෙලාවි ට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වීමෙනි. පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස කටයුතු කළේ විලී ටෙලාවිගේ හිතවාදියකු වුණු කමුටා ලට්සායි ය. ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කතානායකවරයා ඉඩක් නොලැබිණි. 

 කොංග්‍රසය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ලෙස විරෝධය දක්වද්දී, 2009 වසරේ හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ධුරය හෙබවූ මැනුවෙල් සිලායා ජනමත විමසුමක් පැවැත්වීමට උත්සාහ දැරුවේය. එය අවසන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත හමුදාව මැනුවෙල් සිලායා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. 

1877 මැයි 16 වැනිදා ප්‍රංශයේ ද ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය. එම අවස්ථාවේදී ප්‍රංශයේ ජනාධිපතිවරයා වූයේ පැට්‍රිස් දෙ මැක් මහොන්ය. ජනාධිපතිවරයා අගමැති ධුරයේ සිටි යූල්ස් සිමොන්ස් ඉවත් කිරීමටත් අගමැති ධුරය ඇල්බර්ට් දෙ බ්‍රොග්ලී ට ලබා දීමටත් උත්සාහ දැරුවේය. ඒ අනුව, ව්‍යවස්ථාමය අර්බුදය නිර්මාණය විය. 

 ෆීජි දූපත් රාජ්‍යයේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය වූයේ 1977 වසරේදීය. අභ්‍යන්තර දේශපාලන අර්බුද හෙයින් පැවැති මැතිවරණයෙන් පසු රජයක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබුණේ නැත. හටගත් අර්බුදය විසඳීමට ෆීජි ආණ්ඩුකාරවරයා මැදිහත් වූ අතර ආණ්ඩුකාරවරයා හටගත් අර්බුදය විසඳුවේ විපක්ෂයෙන් අගමැතිවරයකු නම් කරමිනි. 

(අන්තර්ජාල පුවත් සේවා ඇසුරිනි)