තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

මීදුමෙන් බර වූ දුම්බර කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ඉඩම් විවිධ කටයුතු සඳහා බදු දීමට යන බවට පසුගිය කාලයේ පරිසරවේදීන්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතා මතු විය. එම චෝදනා අසත්‍ය බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේය. මෙවර සත්‍ය ගවේෂණ මගින් හෙළිදරව් කරන්නේ දුම්බර වන පෙතට වෙන්නට යන නස්පැත්තිය පිළිබඳවයි.

මෙරට විවිධ ප‍්‍රදේශවල පිහිටි ඉඩම් කිහිපයක් රාජ්‍ය වැවිලි සංස්ථා පනත යටතේ පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවටත් තවත් සමාගම්වලටත් පවරමින් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ ඇමැතිවරුන් වූ ඊ.එල්.සේනානායක ,ගාමිණී ජයසූරිය මහත්වරු 1982 පෙබරවාරි 27 වැනි දා සහ මැයි 31 වැනි දා අති විශේෂ ගැසට් පත‍්‍ර නිකුත් කළහ. ඒ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුවය. එම ගැසට්ටුවලට ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුදල පිළිබඳ කිසියම් පොරොන්දුවක් හෝ ගිවිසුමක් ඇතුළත් කර තිබුණේ නැත. මෙලෙස පවරා දුන් ඉඩම් අතර දුම්බර කඳු වැටිය ආශ‍්‍රිත ඉඩම් ද තිබිණි.

ඉන් අනතුරුව 2000 වසරේ මැයි 05 වැනි දා අංක 1130/22 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් එවකට වන සම්පත් හා පරිසර අමාත්‍ය මහින්ද විජේසේකර මහතා දුම්බර වන පෙත නකල්ස් සංරක්ෂිත වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළේය. රජයේ මිනුම්පති විසින් සකස් කරන ලදුව ඔහු බාරයේ තබාගෙන සිටි මහ/යූඞීඞී/98/985 දරණ අනුරේඛනය අනුව සකස් කර ඇති ඉඩම් ද, මා/නකල්ස්/97/39 යන අනුරේඛනය අනුව සකස් කර ඇති ඉඩම් ද, මා/නකල්ස්/98/10 අනුරේඛණයේ සඳහන් ඉඩම් ද නකල්ස් සංරක්ෂිත වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කැරුණේ 2000 වසරේ අපේ‍්‍රල් 10 වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදිය.  සංරක්ෂිත වනාන්තර සඳහා පේ‍්‍රරණ කලාපයක් තිබිය යුතු වුව ද නකල්ස් පේ‍්‍රරණ කලාපයේ මායිම් ලකුණු කිරීමක් සිදුවූයේ නැත.

”ඉඩම් කොමිෂන් සභාව විසින් ඉඩම් අන්සතු කිරීම” මැයෙන් 2004 ජූලි 22 වැනි දා හිටපු ජනාධිපතිනිය පීඑස්/සීපී/26/2004 අංකයෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළාය. දේශපාලනඥයන්ගේ  ඕනෑ එපාකම් අනුව ඉඩම් බෙදා දීම ගැන එම කැබිනට් පත‍්‍රිකාවෙන් බොහෝ විස්තර ඉදිරිපත් කර තිබේ. එම කැබිනට් පත‍්‍රිකාවේ අංක හය යටතේ ඉදිරිපත් කර ඇති ඡේදය මෙසේය.

”රත්නපුර, ගාල්ල, මාතර සහ මාතලේ යන දිස්ත‍්‍රික්කවල අන්සතු කිරීම සඳහා හඳුනාගත් ඉඩම් සමහරක් සිංරාජ වනය, නකල්ස් කඳුවැටිය, නාකියාදෙනිය වැනි වන රක්ෂිතයන්ට මායිම්ව පිහිටා ඇති බව කමිටු නිරීක්ෂණයට ලක්වී ඇත. 2001 අගෝස්තු 10 වන දින නිකුත් කෙරුණු ජනාධිපති නියෝගයකින් රජයේ වනාන්තර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත් කර ඇත . මේ අනුව (අ) ලෝක උරුමයක් වූ සිංහරාජ අඩවිය (ආ) නකල්ස් කඳුවැටිය (ඇ) කන්නෙලිය දෙදිය – නාකියාදෙනිය සංකීරණය සහ ශ‍්‍රීපාද අඩවි වන සංකීර්ණයට යාව හෝ ඉන් කිලේාමීටර 0.5ක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි සියලූම වනාන්තර වන සංරක්ෂිතයන් ලෙසින් ප‍්‍රකාශයට පත් කොට සංරක්ෂණය කරනු පිණිස ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දෙන මෙන් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නියමයක් කිරීමට පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍යවරයා අනුමැතිය ඉල්ලා ඇත. මෙකී අරමුණ මුදුන්පත් කර ගැනීම ස`දහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් දළ වශයෙන් ඉඩම් අක්කර 2485ක ප‍්‍රමාණයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාදීම කළ යුතු වන්නේය. එබඳු ඉඩම්වල ලැයිස්තුවක් 5 වැනි උපලේඛනයේ දැක්වේ. වන රක්ෂිතයන් ලෙසින් මෙකී ඉඩම් නොපමාවම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කරයි.”

එම කැබිනට් පත‍්‍රිකාවේ සඳහන්ව ඇති අන්දමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් 2002 ජනාවරි පළමු වැනි දා සිට 2004 මාර්තු 31 වැනි දා තෙක් අන්සතු කළ ඉඩම් ගැන සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලයෙන් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව වාර්තා කර ඇත්තේ සමාගම් සහ පුද්ගලයන් වශයෙන් ගත් විට 243කට කෘෂිකාර්මික කටයුතු සඳහා බව කියමින් ඉඩම් අක්කර 7880ක් බදු දීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හඳුනාගෙන තිබුණු බවයි. මෙහි අවාධාරණය කර ඇත්තේ බොහෝ ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇත්තේ දේශපාලන බලපෑම් මත බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනිය සිය කැබිනටට් පත‍්‍රිකාව මගින් ඉදිරිපත් කර ඇති පරිදි රක්ෂිත වනාන්තර අවට ඇති ඉඩම් ද වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ස`දහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගත යුතුව තිබුණත් එලෙස සිදුවූයේ නැත.

කෙසේ වෙතත් 2007 වසරේ ජූලි 27 වැනි දා අංක 1507/9 දරණ අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් එවකට පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නකල්ස් ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක් නකල්ස් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කළේය. නියම කරල ලද දිනයේ සිට එම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය තුළ පිහිටි යම් සැලසුම් ක‍්‍රමයක් හෝ ව්‍යාපෘතියක් නතර කළ යුතු බවත්, ඒ ආශ‍්‍රිතව බලතල ක‍්‍රියාත්මක කිරීම ආදිය මධ්‍යම පරිසර අධිකාරිය  හැර වෙනත් කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු බවත් එම ගැසට්ටුවේ සඳහන්වේ.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටිය දී 2008 මැයි 22 දෙවැනි දා නමින් යුත් අංක 1550/9 දරණ අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප‍්‍රදේශ කිහිපයක් පස සංරක්ෂණ පනත යටතේ සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කළේය. නකල්ස් රක්ෂිතය ආශ‍්‍රිත ප‍්‍රදේශ කිහිපයක් ද එම ගැසට්ටුවට අයත්ය.

කරුණු මෙසේ වෙද්දී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවේ 34 වැනි කමිටු රැුස්වීම 2010 ජූලි 25 වැනි දා සිට අගෝස්තු 03 වැනි දා තෙක් බ‍්‍රසීලයේ බ‍්‍රසීලියාහිදී පැවැත්විණි. බ‍්‍රසීලයේ ජෝ ලූයිස් සිල්වා ෆෙරෙයිරාගේ සභාපතිත්වයෙන් රැුස්වූ එම කමිටුවේ දී නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් බවට පත් කිරීමට තීරණය විය. හෙක්ටයාර 31305ක රක්ෂිතය මෙන්ම ඊට අදාළ පේ‍්‍රරණ කලාපය ලෙස හෙක්ටයාර 35074ක් ද ලෝක උරුම කමිටුවෙන් නම් කැරිණි. මෙහි දැක්වෙන අංත

01 දරණ සිතියමේ දම් පැහැයෙන් දක්වා ඇත්තේ එම පේ‍්‍රරණ කලාපයයි.

මේ ප‍්‍රදේශය ආශ‍්‍රිතව පාරිසරික සහ සංස්කෘතිය වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා යුනෙස්කෝ සංවිධානය වාර්ෂිකව මුදල් වෙන් කරයි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන සහ සංස්කෘතිය අරමුදල ලෙස හැඳින්වෙන යුනෙස්කෝවෙන් යම් ස්ථානයක් ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්නේ එම ස්ථානය ලෝකයේම දුර්ලභ ස්ථානයක් හා වැඩි වටිනාකමක් ඇති ස්ථානයක් වීම නිසාය. නකල්ස් ලෝක උරුමයක් වූයේ ද ඒ අනුවය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයාව සිටි කබීර් හෂීම් මහතා 2017 නොවැම්බර් 23 වැනි දා එම්පීඊඞී/පීඅයි/5/11/2 දරණ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් වතු සමාගම් කිහිපයකට ලබා දී ඇති ඉඩම් ආශ‍්‍රිත ප‍්‍රතිව්‍යූහ ගත කිරීමට ඉල්ලා තිබේ.   එම කැබිනට් පත‍්‍රිකාවේ අංක 10 යටතේ දක්වා ඇත්තේ කල්බදු ගිවිසුම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු යෝජිත පිළිවෙත්ය. රුපියල් බිලියන 02ක් ඉක්ම වූ ආරම්භක ආයෝජනයක් සහිත ව්‍යාපෘති සඳහා වසර 55ක කාලයක් ද, ඉතිරි ඉඩම් සඳහා බදු ගිවිසුම් කාලය වසර 30කින් සීමා කෙරෙන බව ද එහි දැක්වේ. වසර දෙකක් බදු කුලිය කල් තියා රැස්කරන බවත්, බදු කුලී වාර්ෂිකව අක්කරයට රුපියල් 4000ක නියම කළ අවම මිලක් සහිත ඉඩම් පිළිබඳ රජයේ තක්සේරු කිරීම මත පදනම් වනු ඇති බවත්, වෙළෙඳ වටිනාකම අනුව වාර්ෂිකව සියයට 10කින් බදු කුලී ඉහළ යනු ඇති බවත් එහි සඳහන්වේ.

ඒ අනුව මේ වන විටත් අදාළ ඉඩම් බදු දීමට අදාළ ව්‍යාපෘති වාර්තා ද සකස් කර තිබේ. වත්තේගම නගරයට ආසන්න අළකොලේ වත්ත හඳුනාගෙන ඇත්තේ හරිත සංචාරක ව්‍යාපෘතියක් සඳහාය. පන්විල අල්පේඇල්ල වත්ත, පන්විල ගෝමරේ වත්ත, හාගලවත්ත, කෑල්ලබොක්කවත්ත , රත්තොට මිඞ්ල්ලන්ඞ් වත්ත, නිකොලොය වත්ත, ආදී වතු ගණනාවකට අදාළ පිඹුරුපත් මේ වන විටත් සකසා තිබේ. අංක 02 ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස එක් වත්තක් සම්බන්ධ විස්තරය.

තේ වගාව, තේ කර්මාන්ත ශාලා, සංචාරක කලාප, සත්ව ගොවිපොළවල් මෙන්ම ජලය බෝතල් කර විකුණන ව්‍යාපෘති ආදී රැසක් සිදු කිරීමට මේ වන විට හඳුනාගෙන ඇති බව එම ව්‍යාපෘති වාර්තා පරීක්ෂා කරීමේදී පෙනී යයි.

ලෝක උරුමයක්වූ නකල්ස්හි යුනෙස්කෝ සංවිධානය පේ‍්‍රරණ කලාපය ලෙස නම් කළ ඉසව්වේ ඉඩම් රැසක් මෙම ව්‍යාපෘතිවලට හසුවී තිබේ. එපමණක් නොව ඇතැම් ඉඩම් ඇත්තේ රක්ෂිතය මායිමේමය. එම ප‍්‍රදේශවල අප කළ සංචාරවලදී දැක ගත හැකි වූයේ ඇතැම් තේ ඉඩම් මේ වන විටත් ඇත්තේ රක්ෂිත මායිමේ බවයි.  රත්තොට මිඩ්ලන්ඩ් වත්ත පිහිටා ඇත්තේ ද රක්ෂිත මායිමේමය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයෙන් සිදු කරන ලෙස ව්‍යාපෘති වාර්තාවක දැක්වෙන්නේ නකල්ස් ආශ‍්‍රිතව කුරුලූ විශේෂ 128ක්, සමනල් විශේෂ 60ක්, මත්ස්‍ය විශේෂ 15ක්, පෘෂ්ඨ වංශිකයන් 10ක්, ක්ශීරපායින් විශේෂ 17ක් ඇතුලූ සත්ත්ව විශේෂ 324ක් හඳුනාගෙන ඇති බවයි. ඉන් 05ක් නකල්ස් වලටම විශේෂිතය. ඔවුන් ලෝකයේ වෙනත් කිසිදු තැනකින් සොයා ගෙන නැත. ජාතික වශයෙන් තර්ජනයට ලක්වී ඇති සත්ව විශේෂ 80ක් නකල්ස් ප‍්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ශාක විශේෂ 1033ක් හඳුනාගෙන ඇති අතර ඉන් 12ක් දුර්ලභ ශාක විශේෂය. 160ක් ආවේණික ශාක විශේෂය.

රජයේ ආයතන මෙන්ම වෙනත් පාර්ශ්වද වරින් වර කළ සමීක්ෂණවලින් කන්ල්ස් වෙත එල්ල වී ඇති තර්ජන රැසක් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රි ලංකාවේ ජල මූලාශ‍්‍ර රැසක් ඇත්තේ නකල්ස් කඳුවැටිය ආශ‍්‍රිතවය. බරපතලම කාරණය වන්නේ නකල්ස් ආශ‍්‍රිත ඇතැම් ඉඩම් ජලය බෝතල් කර විකුණන ව්‍යාපෘතිය සඳහාද යෙදීමට යෝජනා කර තිබීමයි. මොරගහකන්ද ආදී ජලාශවලට ජලය සැපයෙන ප‍්‍රධාන මූලාශ‍්‍රය නකල්ස් කඳුවැටියයි. සිදුකිරීමට නියමිත ව්‍යාපෘති නිසා රක්ෂිතයට ඇති වන දැඩි බලපෑම පමණක් නොව එමගින් මුළු දිවයිනේම දේශගුණික විපර්යාද ඇති විය හැකි බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

නකල්ස් ආශ‍්‍රිත ඉඩම් අවභාවිතය නතර කිරීමට පියවර ගන්නවා වෙනුවට ඉඩම් නීත්‍යනුකූලව අව භාවිත කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීමෙන් වැනසෙන්නේ ශ‍්‍රී ලංකාවේ උරුමයයි. මුළු ලෝකයටම උරුමයක් වූ නලක්ස් ලංකාවේ දේශපාලනඥයන්ට උරුමයක් නොවන්නේ ඇයිදැයි රටේ ජනතාව ප‍්‍රශ්න කළ යුතුය. නොඑසේනම් අනාගයේ නකල්ස් ලෝක උරුමය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් විය හැකිය. තවත් කල් ගියහොත් නකල්ස් ලංකාවේ සිතියමෙන්ද ඉවත් වනු ඇත.

 

විකුණන්න යන්නේ මධ්‍යම හදවතයි

සමින්ත විතානගේ (ප‍්‍රදේශයේ පරිසර ක‍්‍රිකාරිකයෙකි)

”නකල්ස් ගැන අපි කලින් ඉඳන්ම කතා කළා. දැන් නකල්ස් ප‍්‍රශ්නය යටපත් වෙලයි තියෙන්නේ. අලූතින් ප‍්‍රශ්නයක් ආවම ඒවට යොමුවීම නිසා මෙය යටපත් වෙලා තියෙන්නේ. මේ කැබිනට් පත‍්‍ර‍්‍රිකාව අයින් කළා කියලා තවම ප‍්‍රකාශයක් කරලා නෑ. මධ්‍යම පළාතේ හදවත මෙයයි. තවම නක්ල්ස් පේ‍්‍රරණ කලාපය ලකුණු කරලා නෑ. දැන් වතු 16ක් බදු දෙන්න යනවා. දෙන්න යන්නෙත් ගොවිපොළවල් හදන්න, විදුලිබලාගාර හදන්න , වතුර බෝතල් කරල කර්මාන්ත ශාලා හදන්න. මේවායින් පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ ප‍්‍රදේශවල ජනතාවත් මේ ගැන හරි දැනුම්වත් වීමක් නෑ. ඒ නිසයි රජයෙන් ප‍්‍රයෝජන ගන්නේ. දැනට ව්‍යාපෘති 253ක් දෙන්න ලෑස්තියි. සමහර වෙලාවට මිනිස්සුන්ට පගාව දීලා මේවා කරගන්න හදනවා. වතු පාඩු වෙනවා නම් ඒවට වග කියන්න  ඕනේ රජයයි. වතු පිට අයට දීලා පද්ධතියට විනාශ කරන්න යනවා නම් රජය වග කිව යුතුයි. අඩි 3500ටත් වඩා උඩින් සමහර වතු මායිම් තියෙන්නේ. මේවා වළක්වන්න නම් ලොකු සංවාදයක් ඇති කර ගත යුතුයි. අද කනක්ල් වෙන්න පුළුවන්. හෙට තවත් තැනක වෙන්න පුළුවන්. ”

 

”වතු විකිනීම වෙනුවට වන වගාවක් ඇති කළ යුතුයි”

ගාමිණී ජයතිස්ස (මාතලේ පරිසර ක‍්‍රියාකරිකයෙකි)

දුම්බර වන පෙතේ ස්වාරක්ෂිත කලාපයක අවශ්‍යතාව මේ වන විට දැඩිව දැනෙනවා. ඊට ප‍්‍රධානම සාධකය තමයි මොරගහ කන්ද හා කළු ගඟ ජලාශ ඉදි කිරීම. මේ ජලාශ දෙකේ මූලාශ‍්‍රය දුම්බර වන පෙතයි. දුම්බර වන පෙතේ මාතලේ මිඞ්ලන්ඞ් වත්ත සිට මහනුවර හෙයාර්පාර්ට් වත්ත දක්වා වතු 16ක් විකිණීමට වැවිලි සංස්ථා කටයුතු කරමින් පවතිනවා. අක්කර 21000ක් පමණ විකුණන්නයි සැලසුම් කරලා තියෙන්නේ. ඉන් වැඩි ප‍්‍රමාණයක් දුම්බර රක්ෂිතයේ ස්වාරක්ෂිත කලාපයයි. පෙර කී ජලාශ ව්‍යාපෘති නිසා වනාන්තර අක්කර දස දහසක් පමණ විනාශ වුණා. ඒ වෙනුවට විකිණීමට යෝජනා කරලා තියෙන ඉඩම් වල වන වගා ඇති කළ යුතුයි. රටේ දේශගුණික විපර්යාස වලට පිළියමක් ලෙස සහ වන වගාව වැඩි කිරීම ස`දහා මේ බදු දෙන්න යෝජිත ඉඩම් යොදා ගෙන වන වගාවන් ඇති කළ යුතුයි. ඒ වගේම පේ‍්‍රරණ කලාපය ලකුණ කළ යුතුයි.

 

සියලූ ඉඩම් වන සංරක්ෂණයට පවරා ගත යුතුයි

ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් (පරිසරවේදී)

නලක්ස් ප‍්‍රදේශයට දුම්බර කියලත් කියනවා. දුම්බර කියෙන්නේ දුමෙන් බරවූ කියන එකයි. මීදුමෙන් බරවූ ප‍්‍රදේශයක් කියන අදහසිනුයි දුම්බර කියන්නේ. මේ වගේ තැන් ලෝක උරුමයක් කරන්නේ ඒවාගේ ස්ථාන ලෝකයටම තිබෙන්නේ බොහොම සීමිත ප‍්‍රමාණයක් වීම නිසා. නකල්ස් පිහිටා තිබෙන්නේ මහවැලි ගංගා නිම්නයේ. සදාහරිත සහ කඳුකර වනාන්තර කියන දෙවර්ගයටම අයත් වනාන්තර එහි තිබෙනවා. ආවේණික ශාක සහ සත්ව විශේෂ මෙහි තිබෙනවා. දුම්බර අංකටුස්සා, නකල්ස් ගල් මැඩියා වගේ සතුන් ලෝකෙන්ම හමුවෙන්නේ දුම්බරින් විතරයි. මහවැලි ග`ගේ ජල අවශ්‍යතාවෙන් සියයට 40ක් විතර පුරවන්නේ නකල්ස්වලින්.

පාංශු තත්ත්වය අතිනුත් මේ පැත්ත ඉතාම වැදගත් වෙනවා. පාරිසරික අතින් වගේම සංස්කෘතික අතිනුත් මෙම ප‍්‍රදේශය වටිනවා. පාරම්පරික ජනතාව සිටියා කියන්න සාක්කි ලැබිලා තියෙනවා. විශේෂයෙන් යක්ෂ ගෝති‍්‍රකයන් සිටි බවට විශ්වාස කරන ප‍්‍රදේශ මෙහි තිබෙනවා. අවුරුදු 2500ට වැඩි ඉතිහාසයක් එම ප‍්‍රදේශවලට තිබෙනවා. මෙහි ඇතැම් හුදකලා ගම්මාන තවමත් තිබෙනවා. ඔවුන්ගේ සුවිශේෂ සංස්කෘතික ලක්ෂණ තිබෙනවා. විවිධ ඇදැහිලි ක‍්‍රම ඔවුන් ළඟ තිබෙනවා. කවියක් තියෙනවා ”එපිට කන්ද කළු පහනේ කැලේයා, මෙටිට කොනට ලග්ගල මී මුරේයා, දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා,  හොඳයි පරකාස ලක මී මුරේයා” නකල්ස්වල තියෙන සංස්කෘතික කතන්දරේ ගැන තියෙන කවියක් මේ.  නකල්ස්වල එක පැත්තකින් පුරාණ වැව් ගණනාවක් තිබෙනවා. මේක ලෝක උරුමයක් කරන්නෙම සංස්කෘතික සහ පාරිසරික වටිනාකම නිසා. ලෝකේ කොච්චර කැළෑ තිබ්බත් ලෝක උරුම වනාන්තර තියෙන්නේ ටිකයි.

නකල්ස් ඇතුළේ ජාන මංකොල්ලයත් සිද්ධ වෙනවා. හිටපු ජනපතිනියගේ යෝජනාවට අනුව මෙහි ඉඩම් පවරා ගෙන,නීති විරෝධී සියලූ දේවල් ඉවත් කර නකල්ස් රැක ගැනීමට පියවර ගත යුතුයි.”

දුම්බර සංරක්ෂිත වනයක් කළ ගැසට්ටුව

 ඇමැති කබීර් හෂීම්ගේ කැබිනට් පත‍්‍රිකාව

 හිටපු ජනපතිනිය ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාව

 ඉඩම් බදු දීමේ සැලසුම්

බදු දීමට යන වත්තක සිට මීටර කිහිපයක් දුරින් පිහිටි දිය ඇල්ලක්

නකල්ස් ආශ‍්‍රිත පරිසර පද්ධතිය ඡායාරූප