පරිවර්තනය - කෝවිද ගුණසේකර

 

2009 වසරේ නිමාව දුටු වාර්ගික යුද්ධයේ දී පරාජයට පත් කෙරුණු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ”ඉහළ වන්දියක්” ගෙවීමට එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට අවශ්‍යව තිබේ.

පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීමේ සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය දේවා මනෝහරන් ස්වාමිනාදන් මහතා මේ අරභයා ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී අමාත්‍යවරුන්ගේ අවධානයට ලක් වූ අතර, හානියට පත්වූ සියලූම අයවලූන්ට, කිසිම ආකාරයකින් වෙනස්කමක් සිදුකිරීමකින් තොරව, මෙම වන්දිය ගෙවිය යුතුයැයි ස්වාමිනාදන් අමාත්‍යවරයා එම කැබිනට් පති‍්‍රකාවෙන් නිර්දේශ කර තිබිණ. ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය ගැන එහි සඳහනක් නොතිබූ අතර, එය අමාත්‍යවරුන් තීරණය කළ යුතුයැයි ඔහුගේ අපේක්ෂාව විය. මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක් කිරීම සදහා අවශ්‍ය කාලය ලබාගනු වස් අවසන් තීරණයක් ගැනීම ලබන සතියට කල් තැබිණ.

මෙම යෝජනාවේ තිබෙන අර්බුදකාරී තත්ත්වය වනුයේ එයින් ඉහළ වන්දි මුදලක් ගෙවන ලෙසට නිර්දේශ කර තිබෙනුයේ ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීම සඳහා අවි අතට ගත් පුද්ගලයින් පිරිසක් වෙනුවෙන් වීමය. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සදහා ඔවුහු ලොව එක් පාර්ශවයකින් අරමුදල් රැස්කර ගන්නා තුර අනෙක් පාර්ශවයෙන් ඉතාම දියුණු අවි ආයුධ ලබාගත්හ.

අද ඔවුන් හැදින්වෙනුයේ ලොව මෙතෙක් පහළ වූ ඉතාම භයංකර ගරිල්ලා කණ්ඩායමක් සැටියටය. දශක තුනක කාලයක දී එල්.ටී.ටී.ඊ සංවිධානය, ඊළාම් යුද්ධයේ අදියර 3ක් සනිටුහන් කරමින් ප‍්‍රචණ්ඩ හා බලවත් සංවිධානයක් ලෙස ප‍්‍රගමනය වූ ආකාරය වර්තමානයේ යුද විශේෂඥයින්ගේ අධ්‍යයනයට පවා පාත‍්‍රවී තිබෙන්නකි.

උතුරේ කි‍්‍රයාත්මක වූ අනෙක් සම මතවාදී කණ්ඩායම් හා සමානවම එල්.ටී.ටී.ඊ සංවිධානය එහි අවිගත් අරගලය ආරම්භ කළේ රජයට අයත් අවි කොල්ලකෑමෙනි. දෙවන ලෝක යුද සමයේ භාවිතයට ගැනුනු මිලිමීටර 0.303 රෝයල් එන්ෆීල්ඩ් වර්ගයේ ෂොට්ගන් වර්ගයට අයත් අවි ඔවුන්ගේ පි‍්‍රයතම අවි විය.

උතුරේ බොහෝමයක් පොලිස් ස්ථාන සංවිධානයේ ඉලක්ක බවට පත්විය. දෙවන අදියරේ දී, එල්.ටී.ටී.ඊයේ අවි ශක්තිය ඒකේ 47 රයිෆල සහ චීනයේ නිෂ්පාදිත ටී56 අවි දක්වා පුළුල් විය. මේ අතරවාරයේ ඔවුහු ඉතා ප‍්‍රාථමික මට්ටමින් පොලිසියක්, නාවික අංශයක්, හා ගුවන් අංශයක් ආරම්භ කළහ. සංවිධානය වෙනුවෙන් සටන්වැද මියයන සාමාජිකයන්ගේ නම් ලත් බෝම්බ වර්ග ගණනාවක් ද මේ සමයේ උපත ලැබීය.

උරහිස මත තබා ගැනෙන අවියකින් ගොඩබිම සිට ගුවනට එල්ල කැරෙන මිසයිල, පුළුල් හා සංවිධානාත්මක නාවික අංශයක්, එල්.ටී.ටී.ඊ අවිගත් අරගලයේ තෙවැනි අදියරේ කරළියට පැමිණියේ ඔවුන් වඩාත් ඉහළ මට්ටමින් සංවිධානය වී තිබෙන බව මනාව පෙන්වා දෙමිනි. ගුවන්පථයක් ගොඩනැගූ ඔවුන් සතුව ගුවන්යානයක් ද විය. මෙය සංකේතාත්මක දෙයක් වුවද, එය දකුණේ සැළකිය යුතු තරමේ කැළඹීමක් ඇතිකිරීමට සමත් විය.

යුද උපකරණ සහ උණ්ඩ ගෙන්වාගැනීම සදහා සයුරු ප‍්‍රවාහන ජාලයක්ද ඔවුන් පවත්වාගෙන ගිය අතර, සැළකිය යුතු කාලයක් පුරාවට එල්.ටී.ටී.ඊ ය ගොඩබිම බලය අත්පත් කරගෙන සිටියේය. වන්නියෙන් ආරම්භ වූ එය යාපනය අර්ධද්වීපය පුරාම පැතිරින. කොටින්ම කියතොත් එල්.ටී.ටී.ඊ ය පවත්වාගෙන ගියේ සමාන්තර රජයක්ය.

ජනතාව පත්කරගෙන සිටි රජයේ ආධිපත්‍ය මෙම ප‍්‍රදේශයන් මත බලනොපැවැත්වුණද, එම ප‍්‍රදේශයන්හි සේවය කරමින් සිටි රජයේ සේවකයින්ට වැටුප් සහ රෝහල් සදහා ඖෂධ, ආහාර, ආදිය නොකඩවා සැපයීමට රජයට සිදුවිය. මෙසේ සැපයෙන ඖෂධ එල්.ටී.ටී.ඊ පළමුකොටම ලබාදුන්නේ මහාවීර පවුල්වල සාමාජිකයන්ටය. සාමාන්‍ය ජනතාව සිටියේ දෙවැනි තැනය. තුවාළ ලැබූ සාමාජිකයන් උතුරට පැමිණි අවස්ථාවල ඔවුන් සදහා රජයේ රෝහල්වල වූ ගබඩාවලින් ඖෂධ ලබාගැනීමට ද එම සංවිධානය කටයුතු කළේ ය.

1991 වසරේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන අංශයේ සාමාජිකාවක් ඉන්දියා අගමැති රජීව් ගාන්ධි ඉන්දියා පොළව මතදීම ඝාතනය කළාය. වසර 2කට පසු 1993 වසරේ මැයි මස 1 වැනිදා, එම අංශයේ තවත් සාමාජිකයකු ශ්‍රී ලංකා ජනපති රණසිංහ පේ‍්‍රමදාස මහතා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කළේ ය. එල්.ටී.ටී.ඊ ය එල්ල කළ මෙවැනි ම්ලේච්ඡ ප‍්‍රහාරවලට හසුව දිවි අහිමි වූ අමාත්‍යවරුන්, හමුදා නිලධරයන්, පොලිස් නිලධරයන්, ආගමික නායකයන්, සහ සිවිල් වැසියන්, ගණනාවකි. මෙම සඳහන එල්.ටී.ටී.ඊය කළ විනාශයේ තරම ලඝු කොට දැක්වීමකි.

මුල් අවස්ථාවේ දී විවිධ අවිගත් සංවිධානයන් ප‍්‍රහාර එල්ල කළ ද, පසුව එල්.ටී.ටී.ඊ සංවිධානය ක‍්‍රමයෙන් එම සංවිධාන මතින් නැගී සිටියේ, අරමුණ වෙනුවෙන් පෙනී සිටින එකම බලවත් සංවිධානය බවට පත්වෙමිනි. හමුදා කදවුරු අත්පත් කරගනිමින්, එම කදවුරුවල වූ කාලතුවක්කු අවි, තොග ගණන් ෂෙල් උණ්ඩ සහ වෙනත් උපකරණ, තමන් සන්තකයට ගනිමින් නොනැවතුනු එල්.ටී.ටී.ඊය අනපේක්ෂිත ප‍්‍රහාර එල්ල කරමින් කොළඹ හා ශ්‍රී ලංකාවේ අනෙක් ප‍්‍රධාන නගරයන් අස්ථාවර තත්ත්වයට පත් කළේ ය. ඔවුන් කළේ යැයි මෙතෙක් අනාවරණයව ඇති, සහ අනාවරණයව නොමැති, දේ සැළකිල්ලට ගත් විට, වර්තමානයේ මෙසේ යෝජනාවත් ඉදිරිපත්ව තිබෙන්නේ ඔවුන්ට සහ ඔවුන්ගේ අනුප‍්‍රාප්තිකයන් වන පවුලේ සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමටය. ලෝකයේ තත්ත්වය සැළකූ විට මෙය ඉතාම විරල අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.

මෙසේ ඉහළ නංවන ලද වන්දියක් ගෙවීම ”සංහිදියාව ඇතිකිරීම” වෙනුවෙන් රජය ගන්නා උත්සාහය ශක්තිමත් කිරීමක් වනු ඇති බවට ස්වාමිනාදන් අමාත්‍යවරයා පෙන්වා දී ඇතත්, සංහිදියාව ඇතිකිරීම සදහා වන ප‍්‍රධාන කාරණා බොහෝමයක් මේ දක්වාම කි‍්‍රයාවට නංවා නොමැති බව සදහන් කළ යුතුය.

නව ව්‍යවස්ථාවක් හදුන්වාදෙන බව පැවැසුන ද, රජය බලයට පත්ව වසර තුනක කාලයක් ගතව ඇති වර්තමානයේ එහි කටයුතු ප‍්‍රගමනය වෙමින් පවතින්නේ ඉබි ගමනිනි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ, ජනපතිවරයාගේ බලතල තවදුරටත් කප්පාදු කිරීම සහ අගමැතිවරයා සතු බලතල පුලූල් කිරීම, පෙරදැරි කැරගෙන සකස් කර තිබෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා කතානායකවරයාට භාරදුන්නේ ය.

මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ ත‍්‍රස්තයින් යුදමය වශයෙන් පරාජයට පත්කළ ආරක්ෂක අංශ සාමාජිකයන්, තමන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ වෙනත් ආයතනය නගමින් සිටින යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනාවලය මුහුණදෙමින් සිටින වාතාවරණයකය. බටහිර තානාපති කාර්යාලයන් මෙම කරුණ මත පිහිටා මෙම ඇතැම් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ සාමාජිකයන්ට එම රටවලට ඇතුල්වීමට වීසා බලපත් නිකුත් කිරීම පවා ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම චෝදනා විමර්ශනය කිරීම සදහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියකට වර්තමාන රජය සම අනුග‍්‍රාහයකත්වය දැක්වූ අතර, එම යෝජනාවලියෙන් යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා විමර්ශනය කිරීම සදහා වගවීමකින් යුතු අධිකරණ යාන්ත‍්‍රණයක් ඇතිකළ යුතුව ඇතැයි ද, එම යාන්ත‍්‍රණයට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් විදෙස් විනිසුරුවරුන් පත්කළ යුතුව ඇතැයි ද නිර්දේශ කර තිබේ.

ඇමරිකාව ඉදිරිපත් කළ මෙම යෝජනාවලියට එසේ සම අනුග‍්‍රාහකත්වය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජය ද, බටහිර රටවලින් නැගෙන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීමේ චෝදනා විමර්ශනය කළ යුතුයැයි පිළිගෙන ඇත.

නමුත් මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සදහා ස්වාමිනාදන් තම පදනම ලෙස භාවිතා කර තිබෙන්නේ උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශයකි. එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධව සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුව තිබෙන බව එහි සදහන් වන අතර, ”එම සංවිධානය හා සම්බන්ධව සිටි පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට යම්කිසි සහන මුදලක් ලැබීම සදහා සුදුස්සන් බව ප‍්‍රතිපත්තිමය වශයෙන් සැළකිය හැකි” බව එහි වැඩිදුරටත් සදහන් වේ.

හිටපු ජනපති උපදේශක සහ පසුව නීතිපති ලෙස පත් කැරුනු සී.ආර්.ද.සිල්වා මහතාගේ ප‍්‍රධානීත්වය යටතේ සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කොමිසම පත්කිරීමට පියවර ගත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ 2010 මැයි මස 15 වැනිදාය.

2011 නොවැම්බර් මස 15 වැනිදා, අධ්‍යනයට පාත‍්‍ර වූ කරුණු සම්බන්ධයෙන් කොමිසම දිගු වාර්තාවක් ඉදිරිපත් කළේ ය.

කොමිසම පත්කිරීමේ අරමුණු 5ක් විය.

01. 2002 පෙබරවාරි මස 21 වැනිදා අත්සන් තැබුනු සටන්විරාම ගිවිසුම බිද වැටීමට හේතු වූ කරුණු සහ අවස්ථා සහ එතැන් සිට 2009 මැයි මස 19 වැනිදා දක්වා දිගහැරුණූ අවස්ථා විමසුමට ලක්කිරීම

02. කිසියම් පුද්ගලයකු, කණ්ඩායමක් හෝ ආයතනයක්, සෘජුව හෝ වක‍්‍රව හෝ එම තත්ත්වය ඇතිවීමට වගකිවයුතුදැයි යන්න

03. නැවත එවැනි සිදුවීමකට ඉඩනොතැබීම සදහා මෙම අවස්ථාවලින් අප උගත යුතු දේ සහ එම අවස්ථාවල ප‍්‍රතිඵල ලෙස අවධානයට ගතයුතුව තිබෙන දේ

04. මෙම සිදුවීම්වලින් අගතියට පත්ව සිටින  ඕනෑම පුද්ගලයකු හෝ එම සිදුවීම් නිසා අගතියට පත්වීමට ඉඩ තිබෙන ඔහු මත යැපෙන අයවලූන් සහ ඔහුගේ අනුප‍්‍රාප්තිකයන්, සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සදහා යොදාගත යුතු යාන්ත‍්‍රණය හදුනාගැනීම

05. අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළැක්වීමට, ජාතීන් අතර එක්සත්භාවය සහ සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීමට, විමසුමට ලක්කර තිබෙන වෙනත්  ඕනෑම කරුණකට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙන පරිදි, ගතයුතුව තිබෙන ආයතනිකමය, පරිපාලනමය සහ ව්‍යවස්ථාමය පියවරයන්