දේශීය ලොකු ලූනු ගොවීන්ගේ අස්වැන්න මිලදී නොගන්නා ආනයනකරුවන්ට මින් ඉදිරියට බී ලූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තිය දැකීමෙන් මෙරට ලොකු ලූනු ගොවියාට අස්වැසිල්ලක් ලැබුණාට සැකයක් නැත.

වෙළඳ පොළෙහි කොටස් ගණනාවකි. ගොවියා, වෙළෙන්දා හා පාරිභෝගිකයා ඉන් ප්‍රධානය. ගොවියාගේ ද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය ගොවියා, මධ්‍යම පරිමාණ ගොවියා හා මහා පරිමාණ ගොවියා වශයෙනි. වෙළෙන්දාගේද ප්‍රභේද රැසකි. ඒ සාමාන්‍ය වෙළෙන්දා මධ්‍යම පරිමාණ වෙළෙන්දා හා මහා පරිමාණ වෙළෙන්දා වශයෙනි. ඇතැම්විට මහා පරිමාණ ගොවියා සමඟ හැරෙන්නවත් සාමාන්‍ය වෙළෙන්දාට නොහැකිය. ඒ මහා පරිමාණ වෙළෙන්දා මෙරට වෙළඳපොළ සමඟ පමණක් නොව ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමඟ ද ගනුදෙනු කරන්නෙකි. වෙළෙඳපොළ ආර්ථිකයෙන් වැඩි පංගුව ඔවුහු හිමිකරගෙන සිටිති. ජාවාරම්කරුවාගේ භූමිකාවට පිවිසෙන්නේ ද ඔවුන්ගෙන්ම පිරිසකි. මේ සියල්ලන් මැද අතරමැදියෝ ද සිටිති. වෙළඳ පොළ හැසිරවීමේ තීරණාත්මක බලයක් ඔවුහු අත්පත් කර ගෙන සිටිති.

වෙළඳ පොළට අදාළව තීන්දු තීරණ ගත යුත්තේ මේ සියලු සාධක නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය. එහිදී වැඩිම අවධානය යොමු කළ යුතු වන්නේ සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාටය. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට සාධාරණය ඉටුවන්නේ නම් සෙසු පාර්ශ්වවලට අසාධාරණයක් සිදුවන්නේ නැත. සාමාන්‍ය ගොවියාට හා සාමාන්‍ය වෙළෙන්දාට අසාධාරණයක් සිදුවන්නේ නම් එහිදී වැඩිම පීඩනයට ලක්වන්නේ පාරිභෝගිකයායි, නූතන ආර්ථික විද්‍යාවෙහි මූලික ස්වරූපය වන්නේ “පාරිභෝගික මූලික අලෙවිකරණය” වේ. එයින් බලාපොරොත්තු වන්නේ පාරිභෝගිකයා පිනවීම අංක එක වන බවය.

සෑම තැනකදීම පාහේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළ ආර්ථිකය ද ක්‍රියාත්මක වන්නේ රුයිතෙටය. සාමාන්‍ය ගොවියා මෙන්ම සාමාන්‍ය වෙළෙන්දාද ඇතුළත් පොදු මහජනතාව පිනවීම වෙනුවට අතරමැද එක්තරා ජාවාරම්කාර පන්තියක් පිනවීම සිදුවේ. ඇමැති හැරිසන්ගේ තීන්දුව වඩාත් වැදගත්වන්නේ ඒ අර්ථයෙනි.

සෑම ක්‍ෂේත්‍රයකම මෙන්ම ආර්ථික ක්‍ෂේත්‍රයට ද ජාතික ප්‍රතිපත්තියක් නොමැති හෙයින් පෙරකී අතරමැදි ජාවාරම්කාර පන්තියේ හිතසුව පිණිස වන ක්‍රියාමාර්ග සැමදාමත් ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ලොකු ලූනු ගොවීන් අස්වැන්න නෙළන කාලයේදීම පිටරටින් බී ලූනු ගෙන්වීමට ඉහළ ව්‍යාපාරික පන්තියට දී ඇති අවසරය දැක්විය හැකිය.

භාණ්ඩ හිඟවීම මිල ඉහළ යාමට හේතුවක් වන්නාසේම භාණ්ඩ සුලබවීම මිල පහත බැසීමට හේතුවකි. මෙරට ගොවියාගේ ලොකු ලූනු අස්වැන්න නෙළන සමයේදීම බී ලූනු පිටරටින් ගෙන්වීමේදී එය ලොකු ලූනු මිලට සෘජුවම බලපායි. ඒ අනුව අතරමැද ජාවාරම්කාර පන්තිය ලොකු ලූනු කිලෝවකට මිල තීරණය කරයි. කුණු කොල්ලයට වුවත් එම මිලට ලොකු ලූනු අලෙවි කිරීමට ගොවියාට සිදුවන්නේ තමන්ගේ අස්වැන්නට අත්වන ඉරණම හොඳින්ම දන්නා හෙයිනි. කුණු කොල්ලයට එසේ ලොකු ලූනු මිලදී ගත්ත ද එහි වෙළඳ පොළ මිල තීරණය කරනු ලබන්නේ අතරමැදි ජාවාරම්කාර පන්තිය විසිනි.

අතීතයේදී මඩ සෝදාගත් කල්හි ගොවියා සිහසුනට වටී යැයි කීමට වර්තමානය වනවිට මඩ සෝදාගත් කල්හි සොහොන් බිමට යාමට ගොවියාට සිදුවී තිබෙන්නේ එම පරිසරය තුළය. වෙළඳ පොළට ගිය කල්හි ගුවන්ගත වී ඇති බඩුමිල දකින පාරිභෝගිකයාට දිවංගතවීමට සිදුවන්නේ ද ඉහත පරිසරය තුළය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇත්තේ මහා පරිමාණ ජාවාරම්කාර වෙළඳ පන්තිය සතුව හෙයින් ඔවුන්ට හැමදාමත් තමන්ගේ වෙළඳ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ හැකියාවක් ලැබේ. මඩ නොගාගෙනම ඔවුන්ට සිහසුනට පත්වීමේ හැකියාව ලැබෙන්නේ එහෙයිනි. අස්වැන්න විකුණාගත නොහැකිව එන මාර්ග අවුරා විරෝධය පළ කිරීමටත් මහ මඟ දමා අස්වැන්න ගිනි තැබීමටත් ගොවියාට අත්වී ඇති ඉරණම අහම්බයක් නොවේ. වගාව සඳහා ගත් ණය ගෙවාගත නොහැකිව වස බී මිය යාමේ ගොවියාගේ ඉරණම නිස්කාරණේ නිර්මාණය වූවක් නොවේ.

ඇමැති පී. හැරිසන් ප්‍රකාශ කර තිබුණේ ලොකු ලූනු ගොවීන් සහ බී ලූනු ආනයනකරුවන් අතර ඉදිරියේදී පොදු ගිවිසුමකට එළැඹෙන බවය. ඒ අනුව එක ආනයනකරුවකු ආසන්න වශයෙන් ගොවීන් දහ දෙනකුට වැඩි පිරිසකගෙන් ලොකු ලූනු තොග මිල දී ගත යුතුය. ඇමැති හැරිසන්ගේ උපදෙස් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේදැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.