- ජයතිලක ද සිල්වා

මෙරට වත්මන් දේශපාලනය අන්තයට පිරිහී පවතී. දූෂණය එහි ඉහ වහා ගොසිනි. එය කල් ඉකුත් වූ හුවමාරු බඩුවකි. වාචාල කතා සහ මගඩි නාටක හැර එයින් වන ජනතා සෙතක් නැති තරම් ය. සිල්ලර හා ඒ සා වැදගත් නොවන කාරණා අරබයා කරන වාද විවාද හැරෙන විට ජනතාවගේ අත්‍යවශ්‍ය ජීවන ගැටලු වෙත දේශපාලකයන්ගේ අවධානය යොමු වන්නේ කලාතුරකිනි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, කෘෂිකර්මාන්ත සංවර්ධනය වැනි ප්‍රධාන විෂය පිළිබඳ මෙතෙක් ජාතික ප්‍රතිපත්ති නිශ්චය කැරෙන මහජන සංවාදයක්වත් නැත්තේ එහෙයිනි. ඒ අතර පාලකයෝ වරප්‍රසාද පොදි බැඳගෙන කාමසුඛල්ලිකානුයෝගීව වැජැඹෙත්. ඒ කෙසේද යත් මහජන මුදලින්මය.

විධායක ජනාධිපති ක්‍රමය යටතේ ඇතැම් රාජාණ්ඩු ලක්ෂණ රකිමින් වඩමින් ඉදිරියට ගෙන යාම දැකිය හැකිය. රාජ්‍ය නායකයාගේ මූලිකත්වයෙන් පවත්වන වප් මඟුල්, අලුත් සහල් මංගල්‍යය ආදිය නිදසුන් වෙයි. පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන පුරුදුව සිටියේ ලාංකීය රාජ නාමාවලියෙහි අගට තමන්ගේ නම ද එක් කිරීමටය. මහනුවර දළදා මැදුරෙහි පත්තිරිප්පුවෙහි සිට ජාතිය ඇමැතීමට ද ඔහුට වුවමනා විය. ඉකුත් පාලන සමයයෙහි රාජත්වය යළි පිහිටුවීම සඳහා උත්සාහයක් ගත් බව ද රහසක් නොවේ. රාජ ප්‍රශස්ති පවා ගැයිණි.

දේශපාලනයෙහි සමත්කම් සහ අසමත්කම් සඳහා වගකීම නායකයන් වෙත පැවැරෙන අතර කිසි විටෙක එය සාමූහික නායකත්වයක් පිට පැවැරෙන්නේ නැත. මාක්ස්වාදී පක්ෂ හැරෙන විට දේශපාලන පක්ෂ සාමාජිකයෝ නායකයන් වෙත යටහත් පහත් සම්බන්ධතාවයකින් බැඳෙත්. මහජන මුදලින් මහානායක අභිවාදනය නිරන්තරයෙන් පෝෂණය කරනු ලැබෙයි. මහජන මුදලින් උපන් දින සැමැරෙයි. ද‌ාන මාන පින්කම් පැවැත්වෙයි. නිවන් යාමට අදහස් කරන්නේ ද මහජන මුදලිනි.

අප දේශපාලන නිදහස දිනා වසර හැත්තෑවක් ඉක්ම ගොසිනි. එහෙත් තවමත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් හදා ගැනීමට අපි අපොහොසත්ව සිටිමු. එපමණක් නොව ජාති ආගම් වශයෙන් බෙදී කුළල් කා ගනිමු. ජාතික සමගිය තවමත් පවතින්නේ මිරිඟුවක් සේ ය. සහෝදර ප්‍රජා අතර විරසකය, අරගලය කෙතරම් උග්‍ර වී ද යත් එය තිස් අවුරුදු යුද්ධයක් කරා ඇවිළ ගියේ ය. යුද්ධය නිමාව දස වසරක් ආසන්න වෙතත් යුද්ධයට තුඩු දුන් ප්‍රශ්නවලට තවම පිළියමක් නැත. එපමණක් නොවේ. නුදුරු අනාගතයෙහි පෙනෙන තෙක් මානයක ද එය පෙනෙන්නට නැත. අලි මදිවාට හරක් කීවාක් මෙන් ආධිපත්‍යවාදී උන්මාදයෙන් පෙළෙන ඇතැම් සිංහල බෞද්ධ කල්ලි මුස්ලිම් භක්තික වැසියන්ට සහ ඔවුන්ගේ දේපළවලට පහර දෙන්නට පටන් ගෙන ඇත.

අප ජනවාර්ගික සම්බන්ධතා කොතෙක් අවුල් කර ගත්තේ ද යත් මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශ රාජ්‍යයන්ට එයින් මඟක් පෑදුණි. වසර 1983 ජුලි මස දෙමළ ජනයාට එරෙහි වූ බිහිසුණු සංහාරය නොවන්නට ඉන්දියාව මෙරට ප්‍රශ්නවලට ඍජුව මැදිහත් නොවන්නට තිබිණි. මෙරට ජන වාර්ගික අර්බුදය ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූයේ සියක් දහසක් සරණාගතයන් තමිල්නාඩුවට පලා යාම හේතුවෙනි. එසේම බටහිර රටවලට ද සරණාගතයන් සංක්‍රමණයෙන් ප්‍රශ්නය වඩාත් ජාත්‍යන්තර මට්ටමකට වර්ධනය විය. මෙසේ එතෙර බලපෑම් සඳහා අපම තත්ත්ව පටන්ගෙන විදේශීය කුමන්ත්‍රණ පිළිබඳ අඳෝනා නඟන තත්ත්වයකට අපි පත්ව ඇත්තෙමු.

එසේම අපි බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කළ සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් කප්පාදු කළ යුග පසු කෙළෙමු. බහුතර ජනයාගේ කැමැත්තෙන් තොරව ලාම්පු කළගෙඩි වරණයකින් පාර්ලිමේන්තුවෙහි නිල කාලය දික් කැරිණි. හදිසි නීතිය සාමාන්‍ය නීතියව පැවැතියේ ය. මාධ්‍ය නිදහස අහෝසිව මාධ්‍යවේදීහු ඝාතනයට පවා ලක් වූහ. බලහත්කාර අතුරුදන් කැරීම්, කැලෑ උසාවි සහ දඬුවම් ඇතුළත් “සුදු වෑන් සංස්කෘතියක්” පැලපදියම් විය.
අවසානයෙහි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති පාලනයකට මං විවර කැරැ ගැනිණි. නීතියෙහි ආධිපත්‍යය බිඳ වැටී අවනීතිය රජ කරන්නට විය. යහපාලන රජය යම් සාධනීය පියවර ආරම්භයෙහි දී ගත්ත ද තවමත් අව නීතිය රජ කරයි. නීතියක් නැත්තේ මහ මඟ පමණක් නොවේ. අධිකරණය පිළිබඳ පවා ජනතා සන්තානයෙහි කුකුස එමට ය.

මෙරට පරිපාලනය කෙතරම් අකාර්යක්ෂම දැයි කිවහොත් එය නොවැදැගත් සේ දුස්සාධ්‍ය ලේඛනයට ඇතුළත් කළ යුතු ය. එහි බෙලහීනතාව කෙබඳු ද යත් බස් මඟියෙකුට ගමන සඳහා ප්‍රවේශ පත්‍රයක් දෙන්නට බස් රථ හිමියන්ට බල කරන්නට වත් එය අසමත්ය.

අපේ අධ්‍යාපනය අවුල්ජාලයකය. පළමු වසර පන්තියට දරුවකු පාසලට ඇතුළත් කිරීම මවුපියන්ට නපුරු සිහිනයක් ව පවතී. ආණ්ඩුවෙහි පාසල් පද්ධතියෙහි සමාජ පාන්තික සහ ජාතික ආගමික අගති පවතී. ජාති වශයෙන් පාසල් පද්ධතිය බෙහෙවින් ම වෙන් කිරීමෙන් ජාතීන් අතර වෙනස්කම් උලුප්පා විරසකය සදාතනික කරන්නට විශාල බලපෑමක් සැපැයෙයි. අධ්‍යාපන පහසුකම් සැලැසීමෙහිලා භාෂා පදනමෙන් වෙනස්කම් පවතී. අධ්‍යාපනය නොමිලයේ සපයන බව කීව ද අධ්‍යාපනයට රජයෙන් වැය කරන්නේ මුළු වියදමෙන් සියයට හතළිහ මඳක් ඉක්ම වූ ප්‍රමාණයකි. ඉතිරි බර මවුපියන් මත ය. දරුවා ගේ ජීවිතයට බෙහෙවින් ම බලපාන පෙර පාසල් අධ්‍යාපනය තනිකරම වාගේ මුදලාලිලා සහ සුදුසුකම් රහිත “ගුරුන්” අතය. පාසල් අධ්‍යාපනයෙහි ගුණාත්මක මට්ටම පිරිහී අමතර ටියුෂන් සංස්කෘතියක් බිහිව පවතී. එම අමතර ඉගැන්වීම් නියාමනයකින් තොර ය. ඒ අතර හතු පිපෙන්නාක් මෙන් බිහි ව ඇති පෞද්ගලික පාසල් පද්ධතිය ද නියාමනයකින් තොරව හිතු මතේ ඉදිරියට දිවයෙයි.

ඉතිහාසමය වශයෙන් යල් පැන ගිය සහ අසමත්කම පෙන්වා ඇති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය මෙරට සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ තවමත් වැළැඳ සිටී. ඔවුන් තනි තනිවත් හවුලේත් මෙතෙක් එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම තුළින් බිහි කළ ආශ්චර්යයක් නැත.ප්‍රශ්නය වන්නේ පාලකයන් එක්කෝ යථාර්ථය වටහා නොගැනීම හෝ ඔවුන් නව ලිබරල් මතයනට කෙතරම් හණමිටි ආකාරයෛන් බැඳී ඇත්දැයි කිව හොත් ඔවුන්ට යථාර්ථය නොපෙනීමයි.

ආසියාවෙහි හෝ වේවා අන් කවර තැනක හෝ වේවා කඩිනමින් සංවර්ධනය වූ රටවල් සියල්ලම වාගේ නව ලිබරල් මතවලට ගෙඩිය පිටින් නොගෙන අනල්ප වශයෙන් සංශෝධනය කැරැ ඵල ගැන්වූ බව සිහිපත් කැරීම ප්‍රමාණවත් ය. නිදසුනක් වශයෙන්, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියා දෙන පිළිවෙලට ඔවුහු ආර්ථිකයේ රාජ්‍ය අංශය තොග පිටින් කඩා බිඳ නොදැමූහ. මහජන චීනය, මැලේසියාව නිදසුන්ය.

මෙම සකල ආර්ථික ප්‍රතිපත්තිවල සාමූහික ප්‍රතිඵලය ව ඇත්තේ දුප්පතා වඩාත් දුප්පත් වන අතර පොහොසතා වඩාත් පොහොසත් වීම මිස අන් කිසිවක් නොවේ. ජාතික ආදායම ජනගහනයෙහි ඉහළ ස්ථර තුළ, නිදසුනක් වශයෙන් වැඩිම ආදායම් ලබන පවුල් පහෙන් එක තුළ සංකේන්ද්‍රණය වෙයි. ඔවුන් ගේ ආදායම ජාතික ආදායමින් සියයට 5.0කි. අඩුම ආදායම් ලබන පවුල් පහෙන් එකේ ජාතික ආදායම් පංගුව සියයට 4.8 කි. එනම් දස ගුණයකටත් වඩා අඩුය.

මන්දපෝෂණය පැතිරෙයි. පස් හැවිරිදි විය නොඉක්ම වූ දරුවන් අතර එය වඩාත් උග්‍ර ය. ඔවුන්ගෙන් සියයට 26.3ක් වයසට නිසි බරෙන් අඩුය. ඔවුන්ගෙන් බොහෝ දරුවෝ සුව කළ හැකි රෝගවලින් මියැදෙති.

සැලැසුම් රහිත සහ අතරින් පතර කැරෙන සංවර්ධනයෙන් ස්වාභාවික උවදුරු උත්සන්නව ඇත. බොහෝ විට මැතිවරණ ඉලක්ක කරමින් ඉදිරිපත් කරන කෙටි කාලීන පැලැස්තර විසඳුම් මිස දීර්ඝ කාලීන තිරසාර විසඳුම් අනුගමනය නොකෙරේ. ඇතැම් විට සංවර්ධන යෝජනා ක්‍රම ඉටු කැරෙන්නේ ද අඩ වශයෙනි. නිල්වලා යෝජනා ක්‍රමය නිදසුනකි. තවත් විටෙක පාරිසරික ප්‍රශ්න සැලැකිලිමත්ව පරීක්ෂාවෙන් තොරව ව්‍යාපෘති අනුමත කරන්නේ වෙනත් ලාභ ප්‍රයෝජන තකා විය හැකි ය. ඒවායින් වන ව්‍යසන පිළිබඳ කදිම නිදසුනක් කොත්මලේ ඔය ව්‍යාපෘතියෙන් ලැබිණ.

දේශපාලනඥයන් සහ වන්දිභට්ට විශේෂඥයන් කුමක් කීව ද මෙතෙක් අනුගමනය කැරැ ඇති ප්‍රතිපත්ති සමස්තයක් වශයෙන් දුප්පතා වනසන පොහොසතා සනසන ඒවා බව කිව යුතුය. ඍජු බදු සහ වක්‍ර බදු අතර මෙරට පවතින අනුපාතිකය 20ට 80කි. එහි අර්ථය දුප්පතාගෙන් ගෙන පොහොසතාට දීමය. ධනය මාරු වන්නේ වෙනස්කම් සහ අසමානතාව වැඩි කැරෙන දිසාවටය.

මෙම ප්‍රතිපත්ති පිටුදැකිය යුතුය. නව ප්‍රතිපත්ති, දිළිඳුකම තුරන් කරන, අසාධාරණය ඉවත් කරන සැබෑ ජනහිතකාමී ප්‍රතිපත්ති වුවමනාය.

අප යා යුතු වන්නේ නව දැක්මක්, නව දේශපාලනයක් කරා මිස ආපස්සට නොවේ.

ග්‍රාමීය දරිද්‍රතාව තුනී කැරීමට නව ප්‍රතිපත්තිය වහාම යොදවා ගත යුතුය. රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දෙන වර්තමානයෙහි ඉක්මනින් ම පුබුදුවා ලිය හැකි වන්නේ කෘෂිකර්මාන්තයයි. යැපුම් කෘෂිකර්මාන්තය පමණක් නොව වාණිජ කෘෂිකර්මාන්තය ද, විශේෂයෙන්ම තේ, පොල්, රබර් අපනයන බෝග වගාව ද සංවර්ධනය කළ යුතුය. අප කෘෂි ඵලදාවෙන් සියයට 30ක් පමණ අස්වැන්නෙන් පසුව ගබඩාකරණය සහ ප්‍රවාහනය ආදියෙහි දී අපතේ යන බවත්, තවත් සියයට 30ක් පමණ කෘමීන්, මොනරුන්, අලින් ආදී සතුන් විසින් හානියට පත්කරන බවත් ගණන් බලා තිබේ. එය වළක්වාලීම සඳහා යුහුසුළුව ක්‍රියාකාරි විය යුතු ය. එසේ කළහොත් දළ ජාතික නිෂ්පාදිතයට කෘෂිකර්මාන්තයෙහි දායකත්වය අනල්පව වැඩි වනු නියතය. කාලගුණයෙහි අයහපත්කම් මැද නැගෙනහිර පළාත් වී අස්වැන්න දෙගුණ ව ඇති බව ද සැළයි.

නව දේශපාලන බලවේග කරලියට පැමිණිය යුතුය. රට අගාධයට හෙලූ දැනට එහි රඟන නලුවන්ට එයින් ගොඩ ඒමේ කාරිය භාර දිය නොහැකි ය. නව සමාජ-දේශපාලන බලවේගයක් තුළින් ජනතා හිතෛෂී, දුප්පතුන්ට හිතවත් නව ප්‍රතිපත්ති සහිත නව දේශපාලනයකට මඟ සලසා දීම අද සිවිල් සමාජයෙහි හෙවත් පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම සමාජ සංවර්ධනයෙහි අනිවාර්ය ඉතිහාසමය අවශ්‍යතාවකි.