සීදුවේ උපත ලැබූ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග ගම් හතරක් භාර පොලිස් විදානේ හෙවත් ගම්මුලාදෑනියා විය. ඔහු විවාහ වූයේ මිනුවන්ගොඩ දිවුලපිටියත් අතර පිහිටි මැඬේමුල්ලේ  උපත ලැබූ බියටි්‍රස් පෙරේරා සමගය. මේ යුවළට දරුවන් හතර දෙනෙක් වූහ. සිඞ්නි වෙලිංටන් වැඩිමලාය.

ඔහු හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංගගේ පියාය. ඔහු කොළඹ නගර සභාවේ ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කළේය. පවුලේ දෙවනියා විවියන් පද්මිණිය. තෙවැන්නා රූපා මෙරායාය. පවුලේ බඩපිස්සා විජය ඇන්තනී කුමාරතුංගය. විජය 1945 ඔක්තෝබර් 09දා ඉපදී දෙවසරකට පමණ පසු පියා මියගොස් ඇත. තම පියා ගැන විජයට ඇත්තේ අපැහැදිලි චිත්‍රයක් බව අපට කියා තිබුණි.

තාත්තාගේ හැඩ රුව මට ඉවෙන් හඳුනා ගන්න තරම් මතකයක් නැතිවීම ගැන මම අද දුක් වෙනවා. ගෙදර තිබූ තාත්තාගේ පින්තූරවලින් ඔහු ගැන යමක් දැන ගන්න මම අසාර්ථක  උත්සහයක් ගත්තා. තාත්තා ගම්මුලාදෑනියෙක් වශයෙන් ගමේ කා අතරත් ආදරය දිනා සිටි බවත් කලාකරුවකු ලෙස එකල ටවර් හෝල් නාට්‍යවල රඟපෑ නළුවකු ලෙස කැපී පෙනී සිටි බවත් වැඩිහිටියන් කියන කතාවලින් පසු කලෙක මට අසන්නට ලැබුණා. තාත්තත් පර්ල් වාසුදේවි නම් ප්‍රකට නිළිය සමග රඟපෑ නාට්‍යයක පින්තූරයක් අපේ ගෙදර තිබුණා. පුදුමය නම් මේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නිළිය සමග පසු කලෙක මම සුසී චිත්‍රපටය ඇතුළු චිත්‍රපට ගණනක රඟපෑමය.
තාත්තා මියගිය පසු එම භූමිකාව රඟපා ඇත්තේ සිඞ්නි ආසියා විසින් බව විජයගේ බාල සොහොයුරිය රූපා අපට කියා තිබුණි.

විජය සෑම නත්තලකටම සතුටින් සෑදී පැහැදී සිටියේ අයියා ගෙනෙන තෑගි බෝග අරන් එනකන්. දෙසැම්බර් 24 වැනිදා  මමයි, විජය මල්ලියි ඇඳට වී නොඉවසිල්ලෙන් හිටියේ අයියා එනතුරු. ඔන්න අපිට ඇහෙනවා රෑ වෙලා අයියා එනවා. අපි නිදාගෙන වගේ ඉම්මු’ මම මල්ලිට කියනවා. අපේ සටකපට වැඩ දන්නා ලොකු අක්කා විවියන්  අයියට මෙහෙම කියනවා.

අනේ අපේ පුංචි කෙල්ලයි, කොල්ලයි නිදි. කතා කරන්න එපා. අපි අයියෙ, මේ ගෙනාපු සෙල්ලම් බඩු දුප්පත් ළමයෙකුට දෙමු’ කියලා. මමයි විජයයි එකවරම කියනවා ‘අපි නිදි නැහැ අපි නිදි නැහැ’ කියලා. ඔන්න අයියා අපි ගාවට එනවා.

ඔන්න මම අපේ පුංචි පැටියට ගෙනාවා ලස්සන කාර් එකක්. පුංචි නංගිට ගෙනාව ඉබ්බෙක්. මොකද ඔයා ඉබ්බි වගෙ. අයියා මට ගෙනාපු ඉබ්බා වයින් කරලා තිබ්බම ඌ ගේ පුරාම යනවා. විජය තමාට ගෙනාපු කාර් එකට වැඩිය ඉබ්මටයි හිත. එයා ඉබ්බා ඉල්ලලා අඬනවා. අයියා කියනවා පුංචි නංගී ඉබ්බව මල්ලිට දෙන්න එයා තාම පොඩීනේ. මම කොළඹ ගියාම නංගිටත් ඉබ්බෙක් අරන් එන්නං කියලා.

විජය කුඩා කල සිටම දුප්පත් ළමයින්ට ආදරය කළේය. ඔහු මුලින්ම ගියේ නිවස ගාව තිබූ දවිසමර පාසලටය. ඒ පාසලේ ළමයි එක්ක විජය ටීක් බෝල (මාබල්) සෙල්ලං කරන්න කැමතියි. ටීක් බෝල නැති ළමයින්ට තමා සතු සියලුම ටීක් බෝල් බෙදාදී ගෙදර එන්නේ ලොකු වීරකමක් කළා වැනි සතුටකින් බව රූපා කීවාය. එපමණක් නොව නත්තල් දවසට වැඩිපුර තියෙන සෙල්ලම් බඩුත් කේක් බිස්කට්, චීස් දුප්පත් දරුවන්ටත් වැඩිහිටියන්ට බෙදා දීමෙන් සතුටක් ලබා ඇත. නත්තල හා විජයගේ කුඩා අවධිය අත්‍යන්තයෙන් බැඳී තිබුණි. මේ කාලයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් ඔහුගේ බිරිඳ පර්ලිත් නොවරදවාම විජයගේ ගෙදර පැමිණියා.  විජයගේ අම්මාගේ  අම්මාගේ (අත්තම්මා) සහෝදරියගේ පුතෙක් කාලෝය.  ඔහුගේ  බිරිඳ පර්ලි පණ්ඩිතරත්නගේ සොහොයුරියකි. විජයගේ ගෙදරවත්ත පහළ හරක් ගාල් කරන මඩුවට එහා තවත්  මඩුවක් තිබී ඇත. පවුලේ ඥාතීන්ද සිඞ්නි අයියා, කාලෝ මාමලා, එතැන නාට්‍ය කරනවා විජයට මතකය. විජයටත් රූපාටත් ඒ නාට්‍යවල ලැබී ඇත්තේ  ආවා ගියෝ’ චරිතය.

පුංචි අක්කේ අපිට පුංචි කෑලි ලැබෙන්නේ අපි පුංචි නිසා දැයි විජය රූපාගෙන් අසා ඇත.
පුංචි කාලයේ සිට ලස්සනට ඇඳුම් ඇඳීමට විජය ආසා කළ අතර ඔහුගේ රුචියට සරිලන ඇඳුම් මසා එව්වේ  විවියන් අක්කා විසිනි. විජය කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙන ගත් 14 වැනි වියේදී සිදුවීමක් රූපක්කාට මතකය.

ඒ කාලේ මල්ලිගේ පන්තියේ ගජ මිතුරෙක් හිටියා පැටි්‍රක් කියලා ළමයෙක්. ඒ ළමයා ලියුකේමියා නම් ලේ පිළිකාවෙන් පෙළෙන බව විජය දැන සිටියෙ නැහැ. ඒ ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. පැටි්‍රක්ට තිබුණේ ඒකාන්තයෙන්ම මිය යන රෝගයක් බව විජය දැනගත් මොහොතේ සිට හැඬූ කඳුළින් හිටියා. ඉහළ පන්තිවල ළමයිව එකතු කරගෙන පැටි්‍රක්ට ලේ දෙන්න වැඩපිළිවෙළක් ලැහැස්ති කළා. ඒත් පැටි්‍රක් මළා. එදා පැටි්‍රක්ගේ මිනී පෙට්ටිය එළියට ගෙන එන විට විජය  මහ හයියෙන් අඬමින් මිනී  පෙට්ටිය බදාගෙන හිටියා. අන්තිමට පැටි්‍රක්ගේ දෑතෙහි රඳවා තිබූ කොන්තයයි මාලයයි අරගෙන අත්දෙක ඉම්බා. විජය මිතුරන්ට තියෙන මානව දයාව පුංචි කාලේ ඉඳලම පෙන්නුම් කළා. ඒ කාලේ විජය තුළ සමාජවාදී අදහස් ඉස්මතු වුණා. එයාගේ එකම පරමාර්ථය දුප්පත් මිනිසුන්ට සේවය කිරීම. සිඞ්නි අයියත්  උග්‍ර සමසමාජ පාක්ෂිකයකු වීමට බලපාන්නට  ඇත්තේ කාලෝ මාමා. මේ බලපෑම විජයටත් බලපෑවා. ඒ කාලේ මීගමුවේ හිටපු  සමසමාජ මන්ත්‍රීවරයකු වූ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දුයි  කාලෝ මාමායි සිඞ්නි අයියායි අපේ ගෙදරදී කතා කරන දේශපාලන කතා විජය කුතුහලයෙන් අසා සිටියා පමණක්  නෙවෙයි සමසමාජ පත්‍රයක් සීදුවේ විකුණුවා. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කථික තරගයෙන් මුල්තැන ලබලා රන් පදක්කමක් දිනුව විජය ගෙදරදී ඇන්.ඇම්. කොල්වින් (කටානේ) කරන දේශපාලන කතා අහලා පදම් වෙලා හිටියෙ. ඒ විදියට කතා කරන්න පුරුදු වුණා. රූපා අක්කා මල්ලිගේ කුඩා කාලය මතක් කරමින් අප සමග පවසා තිබුණි.

 යම්තම් වයස 14 වන විට විජයට ගමේ තරුණියන් කිහිප දෙනෙක් ආදරය කළ බවත් ඔහුගේ සිත ඒ අතුරින් ලස්සනම කෙල්ලෙක් දිනාගත් බව කියන රූපා ඔහු සීදුවේ ‘සමරැස’ එල්ලේ කණ්ඩායමට ක්‍රීඩා කරනු බැලීමට තරුණියද නිතර පැමිණි බව පැවසුවාය. එහෙත් ඒ ප්‍රේමයට වැඩි ආයුෂ තිබී නැත.

විජය සමග ජ්‍යෙෂ්ඨ පන්තියේ එකම පන්තියේ ඉගෙනීම ලැබූ ශිෂ්‍යයෙකි රවීන්ද්‍ර රන්දෙනිය. මේ දෙදෙනා පසු කාලීනව චිත්‍රපටවල රඟපෑ අතර විජය ජනප්‍රියම නළුවා ලෙස සරසවි සම්මාන ලබන එකම වේදිකාවේ රවීන්ද්‍ර හොඳම නළුවා ලෙස සම්මාන ලැබීම සුවිශේෂ සිද්ධියකි. වරක් රවීන්ද්‍ර සමග විජය ‘ගෝඞ්කිං’ චිත්‍රපටයේ දෙබස් කැවීමට එංගලන්තයට ගියේය. මේ සිද්ධිය රවීන්ද්‍ර අපට කීවේ මෙසේය.

ඒ කාලයේ අපි දෙන්නම විවාහ වෙලා නැහැ. අපි හිටියේ ලන්ඩනයේ තට්ටු නිවාසයක. එතැන ඉඳලා ඩබින් ස්ටුඩියෝ එකට ගියේ. ඇතැම් නිවාඩු දිනවල සවසට ලන්ඩනයේ ඇවිදින අපි චිත්‍රපට නරඹා ගෙදර ඇවිත් උයා පිහා ගත්තෙත් අපි දෙන්නා. බොහෝ විට රාත්‍රි ආහාරයට බිත්තර ඔම්ලට් හැදුවේ මමයි. මේ හැම විටම විජය මා ළඟට පැමිණ ඕකට ඒවා දන්න ඕන, මේවා දාන්න ඕනෑ කියලා උපදෙස් දෙමින් කුළු බඩු එක දෙක මිශ්‍ර කරනවා. බැරිම තැන ‘විජයම ඕක හදන්න’ කියලා මම අයින් වෙනවා. දන්නවනේ කෝකියෝ දෙන්නෙක් හිටියම වෙන වැඬේ. පසුව බැලින්නම් විජය හදල තියන්නේ අමුතුම කෑමක්. ඒක බිත්තර ඔම්ලට් නෙවෙයි. කෑම හදල විජය හොඳටම නිදි සීතලේ හින්ද. මම අර අමුතු කෑම බොහොම අමාරුවෙන් කලා විජයට බ්ලැන්කට් එකක් පොරවල එයාගේ කෑම ටික බෙදලා වහලා තියෙනවා.

විජය කුමාරතුංගයන් මා හඳුනන්නේ 1968 වසරේ සිටය. මරදානේ ඩිබර්ගස් පාරේ (අද ජයන්ත වීරසේකර මාවත) ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේදී සිතිජය ඔපෙරාවේ ගීයක් ගයනු මට මුල්වරට දැක ගන්නට ලැබුණි. විජය හා සෝමා හෙට්ටිගේ ගීතයක් ගයනු මුල්වරට දැක්කේ එදා. ඒ ගීතය රචනා කළේ එදා සිසු අවදියේ සිටි සුනිල් ආරියරත්න. සිතිජය පිටපත ලියූ තිලකරත්න කුරුවිට බණ්ඩාර (එදා දිනමිණ උප කර්තෘවරයෙකි) මුල්වර අපට හමුවුණා.

1970 වසරේ සිට විජය මියයන තෙක්ම මම සරසවිය පුවත්පතට ඔහු ගැන විශේෂාංග රැසක් ලියා තිබුණි. 1972 පෙබරවාරි මාසයේ අග හරියේ ඔහු ගැන විශේෂාංගයක් ලිවීමට මම නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ පිහිටි එවකට සිළුමිණ පුවත්පතේ උපකතුවරයකුව සිටි පී.බී. ඉලංගසිංහ (අද ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ) චමරියට ගියෙමි. පත්‍ර කලාවේදීන් හා කලාකරුවන් විජය හමුවන අවිවාහකයන්ගේ කේන්ද්‍රස්ථානය මේ චමරියයි. විජය සමග සම්මුඛ සාකච්ඡාව කර අවසන් කළ පසු ඊට පෙරදින මගේ ඉල්ලීමක් පරිදි තම කුඩා කාලයේ ඡායාරූප දෙකක්ද ගෙනැවිත් තිබුණි.

මේ පින්තුර දෙක අම්මා පණ වගෙ පරෙස්සම් කළේ. පුංචි කාලේ මගේ පින්තූර වැඩිය අරන් නෑ. පරෙස්සම් කරල ගේන්න. විජය මට කීවේය.

ඒ ඡායාරූප බ්ලොක්ස් කැපීමෙන් පසු පසුදිනම මම විජය හමුවීමට පී.බී.ගේ චමරියට ගියෙමි. එදා හවස එහි ධර්මසේන පතිරාජ, පියසේන අහංගම, දයා තෙන්නකෝන්, ඩබ්ලිව්. ජයසිරි හා තව කිීප දෙනකු සිටි බව මට මතකය.

ඔන්න විජේ පින්තූර දෙක පරෙස්සම් කරල මම ගෙනවා. මම කීවෙමි.

විජය මේ චමරියේ සිටියදී  උඩුකය නිරාවරණව සිටියෙන් මා ගෙන ආ ඡායාරූප දෙක කාමරයේ බෝල කූඩුවේ එල්ලා තිබූ තම කමිසියේ උඩ සාක්කුවේ දමා ගත්තේය. එදා චමරියේ පිළියෙල කර තිබූ නුඞ්ල්ස්වලින් රාත්‍රී ආහාරය ගෙන මම ගෙදර ගියෙමි. පසුදින පී.බී. කී පුවතින් මම අන්දමන්දවීමි.

එදින මධ්‍යම රාත්‍රියේ විජය ඇතුළු පිරිස චමරියේ නිදා සිටියදී හොරු සුපුරුදු ලෙස ඇර තිබූ ජනේල දොරින් පේන මානයේ ඇති බෝල කූඩුවේ තිබූ සියලුම කමිස සොරාගෙන ගොස් තිබුණි. විජයගේ කුඩා කල පින්තුර දෙක තිබූ කමිසයද හොරු රැගෙන ගොස් තිබුණි. විජය පසුවදා මට ටෙලිෆෝන් කොට දන්වා සිටියේ කලින්දා රාත්‍රියේ සිදු වූ ඒ අමිහිරි සිද්ධියයි.

මගෙ කමිසය ගෙනිච්චට නං කමක් නෑ. පිංතූර දෙක ගැනයි දුක.

මම මේ පාර සරසවියේ ප්‍රවෘත්තියක් දමන්නම් විජයගේ කමිසය ගත් හොරාට විජයගේ දුර්ලභ පිංතූර දෙක පත්‍රයට තැපැල් කරන්න කියලා.

එහෙමත් කරලා බලමු. විජය කීවේය.
ප්‍රවෘත්තිය පළ කළත් පින්තූර දෙක ලැබුණේ නැත. එදා අතිශය ජනප්‍රිය නළුවා වූ විජයගේ කමිසය සොරා ගත්තේ ඔහුට අසීමිත ලෙස ආදරය කරන රසිකයකු බවට කිසිදු සැකයක් නැත.

විජය ගැන බොහෝ ලිවිය හැකිය. එහෙත් විජය ඝාතනය වූ දිනය එනම් 1988 පෙබරවාරි 16 වැනිදා ඒ සිද්ධිය ඇසින් දුටු  සාක්ෂිය ගැන මීට වසර 10කට පෙර විජයගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මට විස්තර කළේ මෙසේය. අද විජය මියගොස් වසර 30 ගතවී ඇත. ඒ කතාව එදාට වඩා අදත් වේදනාකාරී හද සසළ කරවන කතා පුවතකි.

එදා මහා ශිව රාශ්‍රි දිනය, පෙබරවාරි 16 වෙනිදා. මම හිටියේ අපේ ගෙදර. වසර 35ක් පමණ කාලයක් ලේකම්වරියක් ලෙස සේවය කළ තිලකා පොඩිමැණිකේ  වෙඩි ශබ්දය ඇහිලා මමයි තිලකයි දුවගෙන ගියා. වෙඩි ශබ්දය ඇහෙනකොට විජය හිටියේ දොරකඩ. මම යතුර අතේ තියාගෙන එළියට යන්න සූදානම් වෙලා හිටියේ.  දරුවෝ දෙන්නත් සෙල්ලම් කර කර හිටියා නිවාඩු දවසක් නිසා. දුව විජේට හරිම ආදරෙයි. විජය මොනවද එයාගේ වැඩ වගයක් කරලා ලියුම් වගයකුත් ලියලා තියලා චන්ද්‍රිකා එහෙනං මං ගිහිල්ලා එන්නං කියලා පඩි පෙළ බැහැගෙන ගියා. මම තවම ලෑස්ති නැහැ. මොනවා ගැනද තිලකට කිය කියා හිටියා. දුව විජය පිටිපස්සෙන් දුවගෙන ගියා. ඒ පස්සේ පුතත් දුවගෙන ගියා.

විජය ගේට්ටුවෙන් එළියට ගිහින් බලපිටියේ උපාලි එක්ක කතා කර කර සිටියේ. උපාලි චිත්‍ර ශිල්පියෙක්. කලින් දවසේ රෑ අපේ ගෙදර ඉඳලා බැනර් වගයක් අඳින්නයි විජය උපාලිව ගෙන්වාගෙන තිබුණේ. විජයගේ කාර් එක තිබුණේ එළියේ. එදා දවල් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දිවා භෝජන සංග්‍රහයකට යන්න විජය ලෑස්තිවෙලා හිටියේ. එකවරටම  මහත්තයා  කියලා  කව්දෝ  කෑගහනවා ඇහුණා. පත්තුවෙන ශබ්දයක්  ආවා. මහා ශිව රාත්‍රි දිනය නිසා මම හිතුවේ රතිඤ්ඤා  ශබ්දයක් කියලා.  විජය එක්ක  එතකොට පස්දෙනෙක් හිටියා.

 රියදුරු සහ  අත්තනගල්ලෙන් මම ගෙනාපු බොඩිගාඞ්ලා දෙන්නෙකුත් හිටියා.  විජය කවදාවත් බොඩිගාඞ්ලා අරන් යන්නේ නැහැ.  ඒ නිසා ඒගොල්ල අත ආයුධයක් තිබුණේ නැහැ. මහත්තයා කියන හඬින් මට දැනුනා මොකක් හරි අනතුරක් කියලා. මම දුවගෙන ගියා. තිලකත් හරි නිර්භීතයි.  මම දුවගෙන යනකොට ගේට්ටුව අතරින් මම දැක්කා මිනිහෙක් උඩ පැන පැන වෙඩි තියනවා. කොට රතු කෙනෙක්.  මිනිහා වෙඩි තියලා ඉවර වෙලා  (ටී 56 තුවක්කුව දිගටම  වෙඩි තියලා උඩට ගැස්සුවාමයි  වෙඩි උණ්ඩ නවතින්නේ කියලා මම අහලා තියෙනවා) තුවක්කුව ගස්සනවා දැක්කා. හැරිලා බැලුවා දුවගෙන  එන්නේ කවුද කියලා. අපේ පැත්තට තුවක්කුව එල්ල කළා. මා  දිහා බලලා අනිත් අතට හැරිලා දිව්වා.

මම ගේට්ටුව ළඟට එනකොටයි දැක්කේ කෙනෙක් බිම වැටිලා ඉන්නවා. හිස ගන්න දෙයක් නැහැ. සුන්බුන් ගොඩක්. මාව කම්පනයට පත්වුණා. වෙඩි කියන කොටම විජය ආපසු හැරිලා ගෙය දෙසට ඇවිත් තියෙනවා. දුව විජයගේ අතේ  එල්ලිලා ඉඳලා තියෙන්නේ. දුවට වසරක් යනතුරු කතාකරන්න බැරිවයි හිටියේ. අපි ලන්ඩන්වල ඉන්නකොට හරියට විජයගේ අවුරුද්ද දානය දවසේ එහේ බෞද්ධ පන්සලට දානය දෙන්න ගිය දවසේ කතා කරන් පටන් ගත්තා. තාත්ති කියලා කතාකරන්න පටන් ගත්තා. එදා විජයට වෙඩි තියනකොට විජය දුවගේ අත අත්හැරල දුවන්න දුවන්න  දුව කියලා කෑගැසූ බව ඇය කියන්න පටන් ගත්තා. මුලින්ම සාහසිකයා වෙඩි තියලා තියෙන්නේ විජයගේ පිටට. මා දුවගෙන යනකොට මම දැක්කේ දුව තාත්ති තාත්ති කියලා දුවගෙන එනවා. දුව පැටලිලා වැටුණා. මම දුවගෙන ගිහිල්ලා  ගෙට්ටුව ගාව බලනකොටත් විජය මැරිලා කියලා විශ්වාස කළේ නැහැ.

එතැන හිටිය පිරිමි පස්දෙනාම බයේ පැනලා හැංගිලා. එක්කෙනෙක් ගසක් යට. තව කෙනෙක් කාර් එක යට. තව කෙනෙක් තව කොහේද? මමයි තිලකයි ගේට්ටුව ගාවට ගියා. මම කෑගහන්න පටන් ගත්තා. එතකොට කඩවල මුදලාලිලා සහ එතන හිටිය මිනිස්සු දුවගෙන ආවා. මම ඒ වෙලාවේ දන්නවා විජය මිය ගිය බව. ඒත් මම උස්සන්න උස්සන්න කියලා කෑගැහුවා. මම ළමයි දෙන්නා ඇතුළට දැම්මා. ළමයි දෙන්නා කෑගසමින් අඬන්න පටන් ගත්තා.  ළමයි  බලාගන්න එක්කෙනත් කෑ ගහ ගහා අඬනවා.  විජයගේ මිනීමරුවා මෝටර් සියකලයක නැගලා ගිහිල්ලා කියලා මම ඒ වෙලාවේ දන්නේ නැහැ. මට බයක් තිබුණා මගේ දරුවන්ට මිනීමරුවා ආපසු ඇවිත් මොනවා හරි කරයි කියලා. මට නොහිතපු ශක්තියක් ආවා. මම දරුවන්  තරප්පු පේළියේ උඩට ඇදගෙන ගියා. කාමරයකට දරුවන් දාලා එළියට එන්න එපා කියලා දොර වහලා ඇවිත් තමයි මිනිස්සුත් එක්ක එකතුවෙලා  විජයගේ නිසල දේහය  රෝහලට ගෙනයන්න සූදානම් වුණේ. වෙඩි වැදිලා  උපාලිත් කෑගහනවා. උපාලිවත් කාර් එකේ ඉස්සරහ  දාගෙන යන්න ලැස්ති වෙනකොට ඩ්‍රයිවර් කම්පනයෙන් ‘අයියෝ මහත්තයා’ කියලා උඩ පනිනවා මට හොඳට මතකයි. රියදුරු කම්පනයෙන් හිටියේ.  මෙසේ කම්පනයෙන් සිටි කෙනෙකුට කළ යුත්තේ අයිස් වතුර බාල්දියකින් ගැසීම හෝ හයියෙන් පහරක් ගැසීම බව මම අසා තිබුණා. මේ දෙකම කරන මානසික තත්ත්වයක  නෙමෙයි මම හිටියේ. හැමෝම කෑගසද්දී මම මොළය පාවිච්චි කරලා යටි ගිරිහෙන් කෑගැසුවා නගිනවා ඕයි කාර් එකට කියලා. පස්සේ ඒ හඬට ඔහු යථා තත්ත්වයට පත්වුණා.

මැඩම් කොහේද යන්නේ කියලා ඇහැව්වා. ඉක්මනට ඇක්සිඩන්ට් වෝඞ් එකට කියලා.

විජයව කාර් එකේ යවලා මම දුවලා ගියා දරුවෝ බලන්න. මම දරුවෝ දෙන්නව බදාගෙන අඬන්න පටන් ගත්තේ ඒ වෙලාවේ. ඊට පස්සේ මම කෑගැහුවා ඉක්මනට කාර් එකක් ගේන්න මට යන්න ඕනෑ කියලා. මගේ පිකට් රථයටත් වෙඩි වැදිලා. යන්න බෑ. මම විජයගේ කාර් එකට නගින්න ලෑස්ති වෙන කොටම සිද්ධිය වෙලා විනාඩි 20කට පස්සේ පොලිසියෙන් ඇවිත් කිව්වා  ඒ කාර් එකට නගින්න එපා ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන් මේක ගෙනියන්න දෙන්න බැහැ කියලා.

එහෙනම් කොහොමද මම යන්නේ මට ටැක්සියක් ගෙනැත් දෙන්න කිව්වා.
පොලිසියෙන් ජීප් රථයක් ගෙන්නලා දෙන්නම් කීවාම මම ආයෙත් උඩුමහලට ගියා. එතකොටම මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් ආවා. පොලිස් ජිප් රථයේ රෝහලට යනතෙක්ම මම මානසිකව  විජය මැරුණා කියලා පිළිගත්තේ නැහැ. මම යනකොට විජයගේ හිස වහල තිබුණා. කවුදෝ කෙනෙක්  ඇවිත් විජයගේ ඇඟිල්ලේ තිබූ මංගල මුද්ද හා අත්ඔරලෝසුව මට ගෙනැත් දුන්නා. විජය මියගිය බව මා පිළිගත්තේ එවිටයි.

විජය ට්‍රොලියක තියලා මෝචරියට යන අතරේ කවුදෝ බෙල්ලේ තිබුණ මාලෙත් ගලවාගෙන.
විජය කුමාරතුංගයන්ගේ ජීවිතයේ චන්ද්‍රිකා මහත්මිය අගය කරන්නේ ඔහු තුළ තිබූ මිනිස්කමටය.
ඔහු තුළ මිනිස්කම ගැන අසීමිත විශ්වාසයක් තිබුණා. සියලු ජාතීන් හා ආගම්වලටත් අසීමිත ආදරයක් තිබුණා. විජය මම අගය කළෙත් මේ කරුණු නිසා. විජය තුළ දුර්වලකම් නොතිබුණා නොවේ.  ඒ සුළු දුර්වලකම් පසෙක තබා ඊට වඩා තිබූ මිනිස්කම නිර්භීතකම වගේ දේවල් මම අගේ කළා.

මට හමුවූ ලෝක නායකයන්  බොහෝ දෙනෙක් ඇසුවේ ඔබ මොනතරම්  අවාසනාවන්ත සිද්ධිවලට මුහුණදීලා අද රාජ්‍ය පාලනයට ඒමට ශක්තිය ධෛර්ය ලැබුණේ කෙසේද කියලා. සාමාන්‍ය ජනතාවට එය ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඒ ශක්තිය ගුප්තයි. එසේ වුණේ කෙසේද කියා මම තාම හිතලා නැහැ. විජය මිය ගියාට පසු මම මගේ ගෙදර තියෙන නිදිපෙති ගණන ගණන් කරලා තියෙනවා. නිදිපෙති ටිකක් අරගෙන මම මෝඩවීමට හිතුවේ නැහැ. මගේ කටින් කියවිලා තියෙනවා මම නිදිපෙති ගණන් කළා මදි කියලා. ඒ අවස්ථාවන්හී මගේ යාළුවෝ හා නෑයෝ මට ලොකු ශක්තියක් වුණා.

මම විශ්වාස කරනවා අධ්‍යාත්මික වශයෙන් මහා ශක්තිමත් බලවේග තිබෙන බව. ඒක දෙවියන්ට කරන යැදීමක් නොවෙයි. නමුත් ස්වභාවික බලවේග තියෙන බව මම විශ්වාස කරනවා. අනික මම හොඳ බෞද්ධයෙක් හැටියට චිත්ත බලය පුනරුත්තාපනය විශ්වාස කරනවා. හොඳ දේ කළාම ඒක හොඳ විදියට බලපානවා. නරක දේ කළාමත් ඒ විදියටමයි  බලපාන්නේ. මම හිතාමතා නරක දෙයක් කරලා නැහැ. මේ නිසා ඒ බලය අප වටා කැරකෙනවා. ඒ අසීමිත බලයත් අප වටා තිබෙන යහපත් දේත් ඒකරාශි කරගෙන අපිට ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාවේ බලයෙන් තමා විසින් පසුබිම හදාගෙන හොඳ චින්තන ක්‍රියාවන් ඒවා මත රැඳී කරන ප්‍රාර්ථනය.