ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරු මහ ජාතිය බවත් කාගෙවත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවත් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා කාත්තන්කුඩි ජුම්මා පල්ලියේ පැවැති ජනහමුවක දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා ප්‍රකාශ කළේය.

ගෙවී යමින් තිබෙන්නේ අළුයට ගිනි පුපුරු සඟවාලනු ලැබූ කාලයකි. ප්‍රඥාවන්ත යෝධ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන් සිදුවීමට නියමිතව තිබූ මහා විනාශ වළක්වාගත හැකි වූ බව කවුරුත් පිළිගත යුතුය. එබඳු ඥානාන්විත මැදිහත්වීමක් නොවුණේ නම් මේ රට යළිත් ලේ කුහරයක්වීමට ඉඩ තිබිණි.

එහෙයින් අවශ්‍ය වන්නේ රට සන්සුන් සංහිඳියාවකට පරිවර්තනය කිරීමට සමත් වැඩපිළිවෙළකි. එසේ නොවී අඬන්න සිටින එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අනින වර්ගයේ ප්‍රකාශ අප්‍රකාශිත බෝම්බ බඳු ය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතුව තිබෙන්නේ ඉහත පරිසරයට සාපේක්ෂව ය. ඔහුගේ අරමුණ නොවිය හැකි වුවද එම වර්ගයේ ප්‍රකාශවලින් සිදුවන්නේ මිනිස් ආවේග ඇවිළීමය. මිනිස් සිත් කුපිතවීම ය. පරිශ්‍රමයක් දරා සන්සුන් කර ඇති සමාජයක් එබඳු අඝාත අඳුරකට ඇද දැමීමට කිසිවකුට හෝ අයිතියක් නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය නොකළ යුතු ප්‍රකාශයක් ලෙස හෙළා දැක තිබිණි. උගත් බුද්ධිමත් සමාජ ස්ථරයක් වෙතින්ද නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශයට දැඩි විරෝධය එල්ල වී තිබේ.

මුදල් ඇමැති මංගල සමරවීර මහතාද “මේ රට සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි” යනුවෙන් ඉකුත්දා ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශයට සංඝ සමාජයෙන් බලවත් විරෝධයක් එල්ල වූ අතර මංගල සමරවීර ඇමැතිවරයාට එරෙහිව සංඝාඥාවක්ද නිකුත් කෙරිණි. මංගල සමරවීර ඇමැතිවරයා “මේ රට සිංහල බෞද්ධ රටක් නොව ශ්‍රී ලාංකිකයන්ගේ රට” යැයි ප්‍රකාශ කරන විට නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවද ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතිය බවය.

දෙදෙනාගේම ප්‍රකාශ ගත් කල්හි කිසියම් සත්‍යතාවයක් තිබේ. එහෙත් ප්‍රශ්නයක්ද තිබේ. ඇමැති මංගලගේ ප්‍රකාශයෙහි සිංහල වැරැදිය. “මේ රට සිංහල බෞද්ධයන්ගේ රට නොවෙයි, ශ්‍රී ලාංකිකයන්ගේ රට” යැයි ප්‍රකාශ කරනවිට නොවෙයි නම් ශ්‍රී ලාංකික බෞද්ධයාට ශ්‍රී ලාංකික ජාතියට එක්වීමේ අවස්ථාව අහිමිය. එය ප්‍රකාශ කළ යුත්තේ සිංහල බෞද්ධයාගේත් ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේත් ශ්‍රී ලාංකික මුසල්මානුවාගේත් රට ශ්‍රී ලංකාව බවය. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගෙන්නේ එසේය. එහෙත් “නොවෙයි” යනුවෙන් පදයක් එක් වූ විට අර්ථය විකෘති වේ. ප්‍රශ්න මතුවන්නේ එවිට ය.

නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය සිදු කරන අරමුණ කුමක්ද යන්න විමසිය  යුතුය. “තමන් ලෝකයේ මහ ජාතිය බව” අවධාරණය කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ මොහොතට අදාළව එබඳු ප්‍රකාශයක් කිරීමේ අර්ථය කුමක්ද? විනිවිද දැකිය යුතු සත්‍ය වන්නේ එය ය.

එල්ටීටීඊ සංවිධානය බිහිකර මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළ ප්‍රභාකරන් ඒ යුද නරකාදියට දෙමළ සමාජය ඇදගෙන ගියේ “ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජාතිකයා ද්‍රවිඩ ජාතිකයකු වීම නිසාම ප්‍රශ්න තිබෙන” බව ප්‍රකාශ කරමිනි. 1983 කළු ජූලිය නොවුණා නම් ප්‍රභාකරන්ට එම මතය සනාථ කළ නොහැකි වනු ඇත. එහෙත් අශිෂ්ට ජාතිවාදී සුළුතරය නිසා ප්‍රභාකරන්ට එම අවස්ථාව උදාවිය. ප්‍රභාකරන්ගේ ඊළාම් සටන නිමැවූයේ කෙසේදැයි යන්න ශ්‍රී ලාංකේය සමාජයට තවමත් අමතක නැත.

මෙරට සාතිශය බහුතරයක් ජනයා අශිෂ්ට නොවෙති. ජාතිවාදි නොවෙති. ආගම්වාදී නොවෙති. බඩබැඳගත් අගහිඟකම් මැද කුස පිළිසිඳගත් දරු පැටවුන්ට වඩාත් යහපත් හෙට දවසක් උදාකරදීමේ අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ඒ ජනයා වෙසෛති. කතා කරන භාෂාව අනුව හා අදහන ආගම අනුව අනෙකා කොන් කිරීමක් හෝ වෙනස්ව සැලකීමක් ඔවුහු නොකරති. වසර සිය ගණනක අතීතය එයට නිදසුනකි.

එහෙත් රුධිර ගංගා මතින් පීනා යමින් තම අරමුණ ඉටුකර ගැනීමට මාන බලන බාල සිල්ලර දේශපාලනඥයෝ සෑම ජන වර්ගයකම සිටිති. සෑම වර්ණයකින්ම සිටිති. ඔවුහු ගින්දරට ඉන්ධන වීසි කරති. දේශපාලනඥයන්ගේ බාල අරමුණු සහිත මුග්ධ කතා පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ එහෙයිනි.