ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි.
ආණ්ඩුවේ නිල හා නිල නොවන හමුදාත් ආණ්ඩු විරෝධී සටන්කාමීනුත් අතර ගැටුම උත්සන්න වී තිබිණි. මේ අතර රාජ්‍ය හමුදා රෝහණ විජේවීරයන් අත්අඩංගුවට ගනු ලැබ කුරිරු වධ දී රහසිගතව ඝාතනය කර දැම්මේය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්, මධ්‍යම කමිටු සාමාජිකයන්, පූර්ණකාලීනයන්ද, ක්‍රියාකාරීන් සහ හිතවතුන් හැටදහසක් පමණ ක්‍රෑර වධ බන්ධනයන්ට ලක්කොට මරා පුළුස්සා දැම්මේය.

සැබෑ වමේ ව්‍යාපාරයකට ධනේශ්වර පංතියේ ප්‍රතිචාරය එබඳුය. දිරාගිය ගරාවැටුණු ධනේශ්වර ක්‍රමයට සැබැ වමේ ව්‍යාපාරය මාරාන්තික අභියෝගයක් වන්නේය. එවැනි ව්‍යාපාරයක් සහ අව්‍යාජ විප්ලවවාදී පරපුරක් ගොඩනැගු ජාතික සහ ජාත්‍යන්තර වමේ ව්‍යාපාරයේ දැවැන්ත මිනිසුන් ගැන කතා කරන විට රෝහණ විජේවීර නාමය කිසිසේත් අමතක කළ නොහැකිය. 29 වැනි ඉල්මහ සමරුව එළැඹෙන මොහොත වන විටද රෝහණ විජේවීරයන්ගේ ඉගැන්වීම් ලාංකේය වමේ ව්‍යාපාරයට පමණක් නොව ජාත්‍යන්තර වමේ ව්‍යාපාරයන්ට ද නොමැකෙන පාඩම් සම්භාරයකි.

එදා ජවිපෙ මුහුණ දුන් ප්‍රශ්න එදාට වඩා වේගයෙන් ජවිපෙ සහ එහි නායකත්වයට අදත් එල්ලවෙමින් තිබේ. එය පුදුමයට කාරණයක් නොවේ. රෝහණ විජේවීරයන් නිර්මාණය කළේ තමාගෙන් පසුව ද ඉදිරියට යා හැකි දේශපාලන ව්‍යාපාරයකි. අද පවතින ගතානුගතික දේශපාලන පක්ෂවල නායක කාරකාදීන් බලන්නේ, තමන්ගේ පසු තම පක්ෂයේ නායකත්වයට තම පවුලේ කෙනෙක් ගෙන එන්නේ කෙසේද? කියාය. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා කිසි විටෙකත් තමා ගොඩනැගු දේශපාලන ව්‍යාපාරය තම පවුලේ බූදලයක් කිරීමට නොසිතුවේය. එය සැබෑ ජනතා ව්‍යාපාරයකි. එය අයිති ජනතාවටය.

ඔහු ඒ වෙනුවට ගොඩනැගුවේ සහෝදරත්වයකින් බැඳුණු ලොව සුවිශාලතම පවුලය. එය ජනතා විමුක්ති පෙරමුණ නමැති පවුලය. එම පවුල තුළ අසීමිත ලෙන්ගතුභාවයක්, සහෝදරත්වයක් නිර්මාණශීලී ගතිකත්වයක්, නිර්ධන පංති සංස්කෘතියක් රෝපණය කිරීමට ඔහු සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ සිට පහළට සැබෑ විප්ලවවාදීන් ගොඩනැගීමට රෝහණ විජේවීරයන්ට හැකිවීමට හේතු කිහිපයක් බලපෑවේය. එක් අතෙකින් ලාංකේය සමාජය තුළ ඒ සඳහා විභවයක් පැවැතීමයි. අනෙක එම කටයුත්ත එසේ නිම කිරීමට ඔහු තුළ තිබූ අප්‍රතිහත ධෛර්යයි. සංවිධානයේ ඉහළ සිට පහළට ගොනු වූ සැබූ විප්ලවාදීන් සමාජ සාධාරණත්වය වෙනුවෙන් එඩිතරව සටන් වැදුණේත් උසස් අරමුණු වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කිරීමට තරම් නිර්භීතභාවයේ මුදුන් හිණිපෙත්ත දක්වා යෑමට අධිෂ්ඨාන කරගත්තේත් එහෙයිනි. අසුහතෙන් ඇරඹි අරගලය තුළ දස දහස් සංඛ්‍යාත ලාංකේය විප්ලවවාදීන් තම ජීවිත පරිත්‍යාග කළේ එහෙයිනි. ඔහු ගොඩනැගුවේ තමන්ගේ සහ තම සමීප සගයන්ගේ මරණයෙන් මතු තමන් ගොඩනැගු දේශපාලන ව්‍යාපාරයත්, ස්වාභාවික මරණයට පත්වන පන්නයේ ව්‍යාපාරයක් නොවේ. දිවි ගලවා ගත් අතළොස්සක් දෙනා විප්ලවය අතහැර දමා දිරාගොස් ගරාවැටෙන ධනවාදී ක්‍රමයට අනුගත වන, ඒ මේ අත වැනෙන වියළි පරඬැල් පත් වැනි සාමාජිකයන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් නොවේ. ඔහු ගොඩනැගුවේ එළඹෙන ඕනෑම අභියෝගයකට අභීතව මුහුණ දෙන සැබෑ සටන්කාමී විප්ලවවාදීන්ගේන් සමන්විත පක්ෂයකි.

විප්ලවීය ජීවගුණයෙන් දුරස්ව, සතුරන් අතරට පලාගොස් සතුරාගේ සුරතලුන් බවට පත්වූ අතළොස්සක් දෙනා පිළිකෙව් කොට පීඩිත පංතියේ පක්ෂය යළි මුල සිට ගොඩනගන්නට සමත් සැබෑ විප්ලවවාදීන් බිහි කර තිබූ හෙයින් ජනතා විමුක්ති පෙරමුණට යළි දැවැන්ත බලවේගයක්ව වැඩෙන්නට හැකි විය. 1989 වර්ෂයේ මහා ලෝභිත සංහාරයෙන් පසු අහම්බෙන් ජීවිත බේරුණු අතළොස්සක් දෙනා එක්ව ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩනගා අද ධනවාදී සියලු බලවේගයන්ට අභියෝග කළ හැකි තත්ත්වයට පත්වී ඇත්තේ ඒ පදනම ශක්තිමත්ව ගොඩනගා සැබෑ විප්ලවවාදීන් නිර්මාණය කිරීමට විජේවීරයන් සහජයෙන්ම දක්ෂයෙකු ද වූ නිසාය. ධනවාදී වැහැරීම් සහිත සමාජයේ කිසිදු අරමුණක් නැතිව සිටි එහෙත් මනා තාර්කික බුද්ධියක් සහිත පිරිසක් ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් බවට පරිවර්තනය කළ ලාංකේය සමාජයේ පළමු ගුරුවරයා ඔහුය.

පීඩිත පංතියේ දුක් දොම්නස් නිමා කිරීමට තමන්ගේ මුළු ජීවිතයම කැපකරන මිනිසුන් සැබැවින්ම වීරවරයන්ය. සමස්ත සමාජයේ උන්නතිය වෙනුවෙන් අරමුණු සහගතව ස්වේඡාවෙන් වැඩ කිරීම මිනිස් ඉතිහාසයේ දුෂ්කරතම මෙන්ම දුර්ලභතම කටයුත්තකි. මිහිතලය මත එවැනි දුර්ලභ මිනිසුන් ලක්ෂ සංඛ්‍යාතව බිහි කළේ ඔහුය. ධෛර්ය යනු මිනිස් සමාජයේ පවතින තත්ත්වයන්ට අනුව දෝලනය වන ප්‍රපංචයකි. කායික සහ මානසික ප්‍රබෝධය හමුවේ ධෛර්ය අතු ඉතිලා වේගයෙන් වැඩෙයි. එහෙත් කය සහ මනස දුබල තත්ත්වයට පත්වූ පසු කෙනෙකුගේ ධෛර්ය කෙමෙන් ගිලිහී යා හැකිය. මරණය එවැනි අවස්ථාවකි. මරණය හමුවෙත් පාවාදීම වෙනුවට කටුක මරණයම තෝරාගත හැකි ධෛර්ය සම්පන්න මිනිසුන්ගෙන් අනූන දේශපාලන සංවිධානයක් ඇත්නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණි. එවැනි දේශපාලන සංවිධානයක් සහ එවැනි මිනිස් ප්‍රජාවගේ නිර්මාණය කළ අපූර්ව මිනිසා රෝහණ විජේවීරයන්ය. උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, සුමිත් අතුකෝරල හා තවත් එවැනි නායකයන් සමුහයක් මෙන්ම පාවාදීම වෙනුවට සැබෑ විප්ලවවාදී ජීව ගුණය තෝරාගත් නම් කී නොකී බොහෝ දෙනෙකුත් නොහඳුනන වීරවරයන් දස දහස් ගණනකුත් රෝහණ විජේවීරයන් සමග උත්තමාචාරය ලැබිය  යුත්තෝය.

සැබෑ වමේ ව්‍යාපාරයක්, මාක්ස් ලෙනින්වාදී දර්ශනයෙන් පෝෂණය වූවක් විය යුතුය. රෝහණ විජේවීරයන් තම විප්ලවවාදී දර්ශනය නිර්මාණය කර ගත්තේ මාක්ස් ලෙනින්වාදී පදනමේ සිටය. එහෙත් එක් එක් රටවල සුවිශේෂී තත්ත්වයන්ට එම න්‍යය ගලප්පා ගත යුතුය. එසේ නොවුවහොත් බරපතළ වරද්දා ගැනීම් සිදුවිය හැකිය. නිවැරදි විප්ලවාදී විනයක් තිබීම එම කොන්දේසි නිර්මාණය වීමට පහසුවක් වන මුත් න්‍යාය ඇදහිල්ලක් නොවන්නේය. න්‍යාය එහි අවසන් හැඩරුව ලබන්නේ සැබැවින්ම පොදු ජන හා විප්ලවාදී ව්‍යාපාරයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය හා සමීප සම්බන්ධතාවක් ඇතිව පමණි යනුවෙන් ශ්‍රේෂ්ඨ ගුරුවර ලෙනින් විසින් කියනු ලැබ ඇත.

විජේවීරයන් ගුරුකොට ගත්තේ ලෙනින්ගේ පිළිවෙතය. ඔහුගේ මෙම උදාහරණයෙන්ම ඒ බව මනාව පසක්වේ. “රුසියානු සපත්තුව අපට ලොකු වැඩිය. චීන සපත්තුව අපට කුඩා වැඩිය. අප හදාගත යුතතේ අපේ කකුලට ගැලපෙන සපත්තුවකි. ඔහු නිර්මාණය කළේ ලාංකේය  මාදිලියේ වමකි. මාක්ස් එංගල්ස් නිර්මාණය කරදුන් කොමියුනිස්ට්වාදී දර්ශනය පෝෂණය කොට මුල් වරට රුසියාව තුළ ක්‍රියාත්මක කළේ ලෙනින්ය. එකී මාක්ස් ලෙනින්වාදී දර්ශනය සමග විප්ලවවාදී ජීවගුණය හා ලාංකේය සංස්කෘතිය කදීමට ගැලපු රෝහණ විජේවීරයන් විසින් විප්ලවවාදී සංස්කෘතිය පෙරට ගෙන ගියේය. ජවිපෙ පූර්ණකාලීනයන් මත් උවදුරට සහ දුම්පානයට ගොදුරු නොවන්නේ එහෙයිනි. ජනතාවගෙන් නඩත්තු වන ඔවුන්ට දුම්වැටි හා මාධ්‍යසාර හෝ මත්කුඩු වෙනුවෙන් වැය කරන්නට තරම් වැඩකටම නැති රුපියල් ශත ඇත්තේ නැත.

මාක්ස් ලෙනින්වාදී චින්තනයේ සැලකිල්ලට ගත යුතු ප්‍රධාන සිද්ධාන්තය වන්නේ බලවේග පෙළ ගස්වන නිවැරදි න්‍යායක් මත පංතිය සංවිධානය කිරීමය. ලාංකේය කම්කරු සටන් ඉතිහාසයෙහි රැස්වීම්, පෙළපාළි, උද්ඝෝෂණ, වැඩවර්ජන මගින් පංති බලවේග පෙළ ගැස්වූ අවස්ථා අනන්තවත් දක්නට ඇතත් එම බලවේග විධිමත්ව සංවිධාන ගතකොට පෙරට ගෙන ආ අවස්ථාවන් ඇත්තේම නැති තරම්ය. ලාංකේය නිර්ධන පන්තිය නිවැරදි දාර්ශනික මතවාදයෙන් සන්නද්ධ කොට රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාළි මගින් පන්ති බලවේග විධිමත්ව සංවිධානය කිරීමේ කාර්යභාරයේ පළමු සංවිධායකයා රෝහණ විජේවීරයන්ය. ලාංකේය දේශපාලනයේ එබඳු සංවිධානයක් බිහි කළ පළමු සංවිධායකයා රෝහණ විජේවීරය. ඔහු විසින් බිහි කළ සංවිධානය ජනතා විමුක්ති පෙරමුණය.

එදා මෙන්ම අදත් ජවිපෙ විප්ලවාදී සංවිධානාත්මකභාවයන්ට අභියෝග කළ හැකි වෙනත් සංවිධානයක් ලංකාව තුළ ඇත්තේ නැත. විප්ලවවාදී වැහැරීම් හා න්‍යායික පීලිපැනීම් නිසා ජවිපෙ අතහැර ගිය සහ ජවිපෙන් ඉවත් කළ පුද්ගලයන් සහ කණ්ඩායම්, ආරම්භයේ සිට මේ දක්වාම විටින් විට සිටි බව සත්‍යයකි. එහෙත් ඒ එක් අයෙකුදු සාර්ථකව වෙනත් දේශපාලන සංවිධානයක් ගොඩනගා නැත. ඇතැමෙක් පිරිහුණු, ගතානුගතික ධනවාදී පක්ෂවල අනේවාසිකයන් වී සිටිනු දකිනවිට ඔහුන් ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. ජවිපෙ වෙනුවට අලුත් වමක් හෝ අලුත් වාම සංස්කෘතියක් ගැන කවරෙකු හෝ කතා කරන්නේ නම් එබඳු පුරසාරම් දෙඩු ඇතැමුන් ගත වූ කාලයේ නිකම්ම නිකං අවලංගු කාසි බවට පත්වූ හැටි මෙනෙහි කොට ඒ පාඩමක් ඉගෙන ගත්තාට වරදක් නැත.

විප්ලවාදීන් තුළ ද ස්වභාවයෙන්ම වමේ සංස්කෘතිය හා සමපාත නොවන හැඟීම් හා ක්‍රියාකාරකම් ඇතිවීම ස්වභාවිකය. එහෙත් ඒවා අතු ඉති දමා මහා රූස්ස ගස් බවට පත්වීමට පෙර ගලවා ඉවත්කොට එළි පෙහෙළිකර ගැනීමේ ක්‍රමවේදයක් සැබෑ වාම දේශපාලනයක් ව්‍යාපාරයක් තුළ දැකිය හැකිය. ඒ සඳහා නිවැරදි න්‍යායකින් සහ මනා විනයකින් සමන්විත සංවිධාන රටාවක් ඇත. ස්වයං විවේචන සහ විවේචන, ඒ සඳහා ඇති කදිම වේදයකි. අපේ රටේ වමේ ව්‍යාපාරයට ඒ දියුණු සංවිධාන ක්‍රමවේදය ගැඹුරින් හඳුන්වා දුන්නේ විජේවීරයන්ය. අදත් ඉහළ සංවිධානයේ සිට පහළම සංවිධානය දක්වා අනුගමනය කරන්නේ එම පිළිවෙතය. වැරදි නිවැරදි කරගැනීමේ හොඳම ක්‍රමවේදය එයයි.

රටේ ජාතික ධනය කොල්ල කෑ ජනතා ද්‍රෝහීන් අදත් ජවිපෙ වත්මන් නායකයන්, දිරාගිය ගරාවැටෙවමින් තිබෙන ධනවාදී පක්ෂ සමග අනියම් සබඳකම් පවත්වන බවට අවලාද හා මඩප්‍රහාර එකපිට එක බැගින් දමා ගසයි. ඒ අතර ධනවාදී පක්ෂ නායකයන් හා හූවක් නැතිව කරබාගෙන සිටින්නේ, “ඇත්ත තමයි” කියන්නාක් මෙනි. වත්මන් ජවිපෙ නායකයෝද විජේවීර පරපුරේ විප්ලවවාදීහු වන බැවින් කුමන අවවාද අපහාසද නැගුවත් නොසෙල් වී තම කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටිති. 71 හා 88 හා 89 අරගලවල දී දිවිදුන් වීර සගයන්ගේ නොසැලෙන විප්ලවවාදී ජීවගුණයෙන් සන්නද්ධව සිටින වත්මන් නායකත්වය අවලා ද අපහාසවලින් සැලෙන්නෝ නොවෙති.

ජවිපෙ දුර්වල කරනු ලැබූ අවස්ථාවල ජවිපෛන් ඉවත් වූවන් හෝ නෙරපා හරිනු ලැබුවන් රෝහණ විජේවීරයන්ට අවලාද අපහාස මඩ ප්‍රහාර එල්ල කරමින් ජවිපෙ අයිතිය පවා ලබා ගැනීමට වලිකමින් සිට ඒ  සියල්ල අසාර්ථක කොට පක්ෂය ජයග්‍රාහීව පෙරටම ඇදෙන විට පෙර කිසිවක් සිදු නොවුවාසේ පැසසීමටත් පටන් ගෙන තිබෙන්නේ ඔවුන්ය. එපමණක් නොව අපි කොහේ හිටියත් අපේ හිත තියෙන්නේ ඔතන යැයි කියන්නේද ඔවුන්ය. විජේවීර සලකුණ ලාංකේය දේශපාලන භූමි තලයෙන් පිටමන් කිරීමට නොහැකි බව තහවුරු වන්නේ එබඳු කපන්න බැරි අත සිඹින හැසිරීම්වලිනි.

රෝහණ විජේවීරයන් ඇතුළු දස දහස් ගණන් වීරවරයන් තම ජීවිත පූජා කළේ පටු පෞද්ගලික අරමුණක් මුදුන්පත් කරගන්නට ගත් වෑයමක් ලෙස නොවේ. ලාංකේය නිර්ධන පංතියේ දුක්ඛ දෝමනස්සයන් අවසන් කර දැමීමේ උදාර පරමාර්ථය වෙනුවෙනි. ඔවුන් සැබෑ ජාතික වීරවරයන්, වීරවරියන් වන්නේ එහෙයිනි. ජාත්‍යන්තර නිර්ධන පංතියේ ජාතික ඛණ්ඩයේ කාර්යභාරය ඉටු කරමින් සිටිය දී ජාත්‍යන්තර ප්‍රතිගාමිත්වයේ ලාංකේය ඛණ්ඩයේ ප්‍රතිගාමීන් විසින් මරා පුළුස්සා දමනු ලැබූ රෝහණ විජේවීර ඇතුළු දස දහස් ගණන් වූ වීරවරයන් ජාතික පමණක් නොව ජාත්‍යන්තර වීරවරයන්සේ නම් කිරීම කිසිසේත්ම අසාධාරණ නොවේ.

කුරිරු වධ බන්ධනයන්ට ලක්කොට ඝාතනය කරනු ලැබීමට මොහොතකට පෙර රෝහණ විජේවීරයන් විසින් තම මරණ මංචකයේ සිට පීඩිත පංතිය වෙත නිකුත් කරන ලද පණිවිඩයේ අවසන් වාක්‍යය වූයේ ‘පවත්නා තත්ත්වයන් තුළ සියලු උපක්‍රම වෙනස් කරන්න’ යන්නය. එහි ගැබ්වූ අර්ථය වන්නේ උපාය මාර්ගය වෙනස් නොකොට උපක්‍රම වෙනස් කරමින් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමේ අරමුණ කරා ධෛර්ය සම්පන්නව ගමන් කරන්න යන්නය.

මේ ඉල්මහේදී ඉල්මහ විරු සමරුව පවත්වන අප හැමදෙනාමත් පවතින නග්න දූෂිත ධනවාදී පාලනයෙන් බැටකන සමසත් පීඩිත ජනතාවත් ඉල්මහ විරුවන්ට දක්වන ඉහළම උපහාරය නම් දූෂිත ධනවාදී පාලනය පලවා හැර සැමට සාධාරණත්වය උදාකර දෙන සමාජවාදී ක්‍රමයක් ගොඩනැගීමට අධිෂ්ඨාන කර ගැනීමය. ඒ වෙනුවෙන් තමන්ට හැකි පමණින් දායකවීමය. දිවිදුන් වීරවරයන්ගේ ශ්‍රෙෂ්ඨ අරමුණු ජයග්‍රහණය කිරීමට උපරිමයෙන් දායකවීමය. ඊට සූදානම් සියලු දෙනාහටම ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.