රුපියලේ අගය ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ලෙස කඩා වැටෙමින් තිබේ. මේ පිළිබඳව තර්ක රැසකි. ඒවා කවරාකාර වූවත් රුපියලේ අගය ශීඝ්‍රලෙස කඩා වැටීම බරපතළ කාරණාවකි. රටේ සමස්ත ආර්ථිකයම එක අගයකින් පිළිබිඹු කළ හැකි එකම සාධකය වන්නේ මුදල් ඒකකයේ අගයයි. එය පොදු පිළිගැනීමය. රටක ආර්ථිකය ශක්තිමත් වෙනවා නම් ඒ රටේ මුදල් ඒකකය ශක්තිමත්වීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයයි. ආර්ථිකය පිරිහෙනවා නම් රටේ මුදල් ඒකකය පිරිහීම පොදු තත්ත්වයකි. තවත් සාධක මේ කෙරෙහි බලපාන බව ද කිව යුතුය. කෙසේ වුවත් අද ලංකාවේ දක්නට ඇත්තේ ආර්ථික​යේ පරිහානිය පෙන්නුම් කරන වතාවරණයක් බව රුපියලේ අගය දිගින් දිගටම කඩා වැටීමෙන් පැහැදිලිය.

සමස්තයක් වශයෙන් රටේ මුදල් ඒකකය ශක්තිමත් කරගත හැකිනම් එයින් රටට සැලසෙන්නේ සෙතකි. ඕනෑකමින් රුපියලේ අගය අවප්‍රමාණය කරන්නට ද පුළුවන. වෙනත් අරමුණු ඉටුකර ගැනීමට එසේ කරන්නට ද පුළුවන. එහෙත් රුපියලේ අගය පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වුවහොත් එයින් කියැවෙන්නේ ර​ටේ ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති බවය. රුපියලේ අගය පිරිහීමෙන් පෙන්නුම් කරන්නේ බරපතළ අර්බුදයකට ආර්ථිකය ගොදුරුවී ඇති ස්වභාවයයි. ආර්ථිකය මේ ගමන්කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය වසර දෙකක් තිස්සේ අපි අනාවැකි පළ කළෙමු. ඒ අනාවැකි ප්‍රායෝගිකව දක්නට ලැබෙන විට ඇති වන්නේ වේදනාවකි. ඒ අනාවැකි පළකළේ ඒ තත්ත්වයට ආර්ථිකය එක්විය යුතු යැයි යන අදහසින් නොවේ. අනාගතයේ විය හැකි දෙය පෙන්වා දුන් විට අදාළ උපාය උපක්‍රම යොදා ආර්ථිකය නිවැරැදි මාර්ගයට ගැනීමට බලධාරීන් කටයුතු කරාවිය යන අපේක්ෂාවෙනි. එහෙත් බලධාරීන් ඒවා ගණනකට නොගත් නිසා මුළු ආර්ථිකයම දැවැන්ත ප්‍රපාතයකට ගමන් කරමින් තිබේ. මේ සියලු කාරණා අපේ රුපියලේ අගය හරහා පිළිබිඹු වන බව පැහැදිලිවම කිව යුතුය.

රුපියලේ අගය පිරිහීමෙන් ආර්ථිකයට වාසි අත්වන බව කියන අය ද සිටිති. තාක්ෂණික වශයෙන් මේ තත්ත්වය යොදාගෙන එසේ විග්‍රහ කළ හැකිය. අපනයන වර්ධනය වීමට අපනයන තරගකාරිත්වය වැඩි කිරීමට රුපියලේ අගය පිරිහීමෙන් ශක්තියක් ලැබෙන බව ඉහත පදනමේ සිට පෙන්වා දිය හැකිය. මේ තර්කය වසර පනහක පමණ සිට ඉදිරිපත්ව තිබේ. මේ තර්කයේ ඇත්තක් තිබේ නම් 8.83 ක තිබූ රුපියලේ අගය අද 170 වන විට මහා පරිමාණයෙන් අපනයන වර්ධනය වී තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුව නැත. ​ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 40 කින් පමණ පසුගිය කාලයේදී අඩුවී තිබේ. එසේ වූ පමණින් එයින් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නැත. එනිසා යම් යම් අය ගොඩ නඟන ඉහත කී තර්කය පුස්සකි. තාක්ෂණික වශයෙන් මෙවන් තර්ක ගොඩනැඟුවද කිසිදු අවස්ථාවක ප්‍රායෝගිකව මේ මහ පොළොවේ එවැන්නක් සිදුව තිබෙනු දක්නට නැත. පොතේ යම් යම් කරුණු කාරණා සඳහන්ව තිබේ. ඇතැම් ලේඛකයෝද මේවා ලියති. කවුරු කුමක් කීවද ඒවා ප්‍රායෝගිකව නොවන්නේ නම් කිසිදු පලක් නැත.
ඇතැම් විශේෂඥයන් යැයි කියා ගන්නා අය ද මෙවන් පුහු තර්ක ගොඩනඟති. රුපියලේ අගය පිරිහීම රටට යහපත් බව ඔවුහු පෙන්වා දුන්හ. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ තරමය. ජනතාව අතරට ගොස් මෙවන් ප්‍රකාශ කළහොත් මොවුන්ට නිසි ප්‍රතිචාර ලැබෙන බවනම් පැහැදිලිය.

රුපියලේ අගය ස්ථාවරව පවතින්නේ නම් එයින් ලෝකයට යන්නේ වැදගත් පණිවිඩයකි. අපේ ආර්ථිකය හසුරුවා ගන්නා ආකාරය නිසා මෙරට මුදල් ඒකකය ශක්තිමත්ව පවතින බව එම පණිවිඩයයි. ව්‍යාපාරයක් කරන ඕනෑම කෙනකුගෙන් විමසුවහොත් ඔවුන් ඉල්ලන්නේ ස්ථාවර මුදල් ඒකකයකි. ඒවගේම ස්ථාවර පොලී අනුපාතයක් අවශ්‍ය බව ඔවුන් කියනු ඇත. එසේ කියන්නේ නිරන්තරයෙන් පොලී අනුපාත වෙනස් වන විට ව්‍යාපාර කිරීම අපහසු වන නිසාය. ඒ වගේම ස්ථාවර බදු ක්‍රමයක් අවශ්‍ය බව මේ අය නිසැකයෙන්ම කියනු ඇත. ව්‍යාපාරයක් සැලසුම් කිරීමට ස්ථාවර බදු ක්‍රමයක් අවශ්‍යය. මිල ඉහළයාම්, යම් සීමාවකින් තිබිය යුතු යැයි ව්‍යාපාරිකයන් කියන බවට සැකයක් නැත. එනම් මිල ස්ථායිතාවයි. නිරන්තරයෙන්ම මිල ගණන් වෙනස් වෙනවා නම් ඉතා ඉක්මනින් බඩු මිල වැඩි වෙනවා නම් ව්‍යාපාර කිරීම අපහසුය. රුපියලේ අගය පිරිහෙන විට සිදුවන්නේ කුමක්ද? බඩුමිල වැඩිවීමය. මේ පසුබිම යටතේ රුපියලේ අගය පාලනය කර ගැනීමට පොලී වැඩි කිරීමට මහ බැකුවට සිදුවනු ඇත. පොලී අනුපාත වැඩිවන විට ආර්ථික වර්ධන වේගය අඩුවීම ස්වභාවයෙන්ම සිදුවන්නකි. ඉහළ පොලී අනුපාත ආර්ථික වර්ධනයට බාධාවකි. විශේෂයෙන්ම ව්‍යාපාර අඩාල කිරීමට මෙය හේතුවනු ඇත. ව්‍යාපාර අඩාලවන පසුබිමක් ඇති රටකට පැමිණ ආයෝජනය කිරීමට ආයෝජකයන් කැමැති නැත. දේශීය ආයෝජකයන් පවා උනන්දු වන්නේ නැත. මෙවන් වතාවරණයකදී අමාරු අඩියකට ආර්ථිකය වැටීම වැළැක්විය නොහැක. විෂම චක්‍රයකට හසුවනු ඇත. එවිට මේ චක්‍රයේම කැරකෙනවා විනා ගැලවීමක් නැත.

එහෙත් අපි එදා කෙසේ හෝ මේ විෂම තත්ත්වයෙන් මිදෙනෙමු. යහපත් චක්‍රයට ඇතුළත් වුණෙමු. 2014 වන විට තිබුණේ එම චක්‍රයේය. කළ යුතුව තිබුණේ මේ යහපත් චක්‍රයේ ඉදිරියට යාමට කටයුතු කිරීමය. එහෙත් එවැන්නක් වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ යහපත් චක්‍රයෙන් මිදී ඉතාමත් අමාරු තත්ත්වයකට රට පත් කිරීමය. අද අත් විඳින්නේ එහි ප්‍රතිඵල බව අමුතුවෙන් කිව යුතු නැත.

එදා රුපියලේ අගය රැක ගැනීමට ඩොලර් සංචිතයෙන් යම් ගණනක් පුච්චා දැමූ බවට නැඟෙන චෝදනා තිබේ. අපේ කාලයේ සෑම වසරක් පාසාම ඩොලර් සංචිත ඉහළ ගියේය. රටේ ඩොලර් තිබුණි. ඒ නිසි කළමනාකරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. එලෙස ඩොලර් රැස්කර තබා ගැනීම හේතුවෙන් අවශ්‍ය වෙලාවට ඒවා පාවිච්චි කිරීමේ හැකියාව ද තිබුණි. අවශ්‍ය අවස්ථාවල රුපියලේ අගය රැක ගැනීමට සංචිතයෙන් ඩොලර් යොදා ජනතාවට පීඩනයක් වීම වළක්වා ගැනීමට කටයුතු කළේය. එසේ කිරීම මහ බැංකුවේ නෛතික වගකීමකි. මිල ස්ථායිතාව පවත්වා ගැනීමට යම් යම් කටයුතු කිරීමට මහ බැංකුවට සිදුවනු ඇත. රුපියලේ අගය පිරිහෙන විට එය වළක්වා ගැනීමට ක්‍රියා කිරීම ඉන් එකකි. රුපියල ශක්තිමත් කිරීමට නම් අතේ මුදල් තිබිය යුතුය. එදා අවශ්‍ය පමණට මුදල් තිබුණි. රුපියලේ අගය රැකගැනීමට ඩොලර් පිළිස්සුවා යැයි ​චෝදනා නඟන වසරේදී මහ බැංකුවෙන් මුදල් යෙදවූවාට පසුවත් තවත් ඩොලර් අතිරික්තයක් තිබුණි. ඒ හරහා සංචිත වැඩි වුණි. 2012 වසරේදී විදේශ සංචිතය මිලියන 356 කින් ඉහළ ගියේය. ඒ සමඟම මිලියන 1166 ක් විදේශ විනිමය වෙළෙඳ පොළට යෙදවීමට හැකි වුණි. එතරම් ශක්තියක් එදා තිබුණි. එහෙත් ඒ ශක්තිය අද නැත. මුදල් නැත. ඒ වෙනුවට ඇත්තේ අන් අයට දොස් නැඟීම පමණි. එයින් රුපියලේ අගය ඉහළ යන්නේ නැත.

වසර 2014 දී ඉතිරි වූ සංචිත 2015 දී තිබුණි. මෙයින් ඩොලර් මිලියන 3250ක් යොදා ඇත්තේ රුපියලේ අගය රැක ගැනීමටය. එවන් මුදලක් යෙදවීමෙනුත් මේ අයට රුපියලේ අගය රැකගැනීමට හැකි වූයේ නැත. ඇමෙරිකන් ඩොලර් මිලියන 905 කින් විදේශ සංචිතය අඩුවුණි. සියයට 9.1 කින් රුපියලේ අගය පිරිහුණේය. 2016 වසරේදී ඩොලර් මිලියන 768 ක් මේ අය යෙදවූයේද රුපියලේ අගය රැකගැනීමට යැයි කියමිනි. එසේ යොදවා තිබියදීත් රුපියලේ අගය සියයට හතරකින් පිරිහුණි. ​ඩොලර් මිලියන 1284 කින් සංචිත අඩුවුණි. අවුරුදු දෙකකදී ඇමෙරිකන් ​ඩොලර් මිලියන 4000 කට වඩා රුපියලේ අගය රැකගැනීමට මේ අය යොදවා තිබේ. මා මහ බැංකු අධිපති වශයෙන් සිටි වසර නමයටම යෙදවූයේ ඇමෙරිකන් මිලියන 2283කි. රුපියලේ අගයද රැක ගත්තේය. අවප්‍රමාණය වූයේ සියයට 2.8කින් පමණි. ඇමෙරිකන් ඩොලර් මිලියන 2735 සිට ඇ.ඩො. මිලියන 8208 දක්වා සංචිත වැඩිකර ගැනීමට ද ඒ කාලයේදී හැකි වුණි. එවන් තත්ත්වයකට ගොඩනඟා දුන් සංචිත වසර දෙකකින් විනාශ කර ගැනීමට වත්මන් පාලකයෝ කටයුතු කළහ. ඒවායේ ප්‍රතිවිපාකවලට මුහුණදීමට නොහැකි තත්ත්වයක් අද නිර්මාණය වී තිබේ. කිසිදු ප්‍රතිපත්තියක් නැති ක්‍රියාවලියක් මෙලෙස රට අසීරු අඩියකට අද දමා ඇති බව කිව යුතුය.

ලෝක අර්බුද, ඇමෙරිකාවේ ක්‍රියාවලි පෙන්වා රුපියලේ අගය පිරිහීමේ චෝදනාවෙන් ගැලවීමට බලධාරීන් උත්සාහ ගන්නා ආකාරයක් දැකගත හැකිය. ඇමෙරිකන් ඩොලර් දර්ශකයක් තිබේ. ලෝකයේ අනෙක් මුදල් ඒකකවලට සාපේක්ෂව ඇමෙරිකන් ඩොලරය හැසිරෙන ආකාරය මෙම දර්ශකයෙන් පෙන්නුම් කරනු ඇත. 2017 මුලදි ඇමෙරිකන් ඩොලරය ශක්තිමත් තැනක තිබුණි. 2018 දක්වා ඇමෙරිකන් ඩොලරය සෑහෙන පමණ දුර්වල වුණි. 2017 අගවන විට ඒකක 100ක් වශයෙන් ඉහත දර්ශකයේ සටහන් වූයේය. එහෙත් ඒකක 90 දක්වා ඇමෙරිකන් ඩොලරය වසරකදී දුර්වල වුණි. මේ දුර්වලවීම දිගටම නොපවතින බව සෑම කෙනෙක්ම දැන සිටියහ. විශේෂයෙන්ම 2018 දී ඇමෙරිකන් ආර්ථිකය ශක්තිමත් වන බව අවබෝධ කරගෙන තිබූ කරුණකි. අපේ විශේෂඥයන් දැන නොසිටියද ආර්ථිකය සම්බන්ධව අධ්‍යයනය කළ අයට මේ තොරතුරු තිබුණි. මේ වසරේදී ඩොලරය ශක්තිමත් වීමට පටන් ගත්තට තවමත් එය ශක්තිමත් වී ඇත්තේ ඒකක 95 දක්වා පමණි. එහෙත් මේ කම්පාව අපට දැනෙන්නේ ඇමෙරිකන් ඩොලරය නිසාම නොවේ. අපේ මුදල් ඒකකය දැවැන්ත ලෙස දුර්වලවීම නිසාය. සෑම අංශයකම වර්ධනය අඩුවී තිබේ. සංචිත දැවැන්ත ලෙස කඩා වැටී තිබේ. මහ බැංකුව තිබෙන්නේ ලෝකයේ යම් කුඩා ප්‍රශ්නයක් වුවත් එයට මුහුණදීමටය.

වසර 2006 සිට 2014 දක්වා ලෝකයේ ලොකුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නෙමු. තෙල් අර්බුදයට මුහුණ පෑවෙමු. ලෝකයේ ලොකුම බැංකු අර්බුදයට අපි එදා මුහුණ දුන්නෙමු. එහෙත් ඒවායේ බලපෑම ජනතාවට දැනෙන්නට ඉඩ හැරියේ නැත. වත්මන් ලෝකයේ එවන් අර්බුද නැත. එහෙත් අපේ නායකයන් නම් කියන්නේ එවන් අර්බුද පිළිබඳවය. ඒවා ඔවුන්ට සීමා වූ ඒවාය. නොයෙක් කතා කියමින් ප්‍රශ්නය යට ගැසීමෙන් විසඳුම් ලැබෙන්නේ නැත. අද ඇත්තේ ලෝකයේ ප්‍රශ්නයක් නොව ලංකාවේ ප්‍රශ්නයකි. සීමාවක් නැති බදුය. ව්‍යාපාර කිරීම අපහසුය. ස්ථාවරත්වයක් නැත. මේවා සිදුව ඇත්තේ ලෝකයේ ප්‍රශ්න නිසා නොවේ. ගෙවුණු වසර තුනේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නිසාය.

ස්වාධීනව කටයුතු කරනවා යැයි කියා රට අගාධයට ඇද දැමිය යුතු ද රත්රන් පිහියකින් ඇන්නත් සාමාන්‍ය පිහියකින් ඇන්නත් සිදුවන්නේ එකම දෙයකි. එනිසා ප්‍රලාපවලින් පලක් නැත. අවශ්‍ය වන්නේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම්ය. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය නොහැකි ස්වාධීනත්වයකින් වැඩක් නැත. රට ආර්ථිකය නිසිලෙස හැසිරවීමට මුදල් ඇමැතිවරයාට හැකිවිය යුතුය. 

උද්ධමනය පාලනයවී ඇති බව සැබෑය. එය සාධනීය පැත්තකි. එහෙත් ඉදිරියේදී උද්ධමනය ඉහළයාමේ ප්‍රවණතාවක් තිබේ. උද්ධමනය යම් ආකාරයකට පාලනය වූ පමණින් සියල්ල සුබ වන්නේ නැත. ආර්ථිකයක ප්‍රධාන ක්ෂේත්‍ර පහකි. මූර්ත, මුල්‍ය, බාහිර, රාජ්‍ය සහ බැංකු ක්ෂේත්‍රය එම ක්ෂේත්‍ර පහය. අද මේ සියල්ල තිබෙන්නේ දුර්වල මට්ටමකය. රාජ්‍ය ආදායම වැඩි කරගෙන ඇති බව සැබෑය. එහෙත් ජනතාවගේ පොකැට්ටු හිස්ය. පොලි අනුපාත ඉහළය. එසේ නම් ඉතිරි වූ දෙයක් නැත. ​මේ ආණ්ඩුව ට්‍රිලියන පහක් පමණ අලුතෙන් ණය ගොඩට එකතු කර තිබේ. මේ මුදලෙන් මේ අය කළ එක් වැඩක් හෝ නොවිය හැකිද? එසේ නම් මේ මුදල්වලට වුයේ කුමක්ද යන ප්‍රශ්නය සැමට තිබේ. අර්බුද උග්‍රවෙමින් තිබේ.

සියල්ල ගිය ආණ්ඩුවට පැවරීමට වත්මන් වගකිවයුත්තෝ කටයුතු කරති. මෙසේ කරන්නේ බැරිකම වසා ගැනීමය. 2014 වන විට සෑම ආර්ථික දර්ශකයක්ම ඉහළ මට්ටමක තිබුණි. මේ අයට තිබුණේ එම තත්ත්වයෙන් රට ඉදිරියට ගෙනයාමය. එහෙත් එවැනි ගමනක් යාමට හැකිව නැත. ආර්ථිකය කෙරෙන් තිබූ විශ්වාසය කඩ කළේය. බැඳුම්කර වංචාවෙන් රටේ ප්‍රතිරූපය කඩා කප්පල් කර ගත්තේය. අද රට අගාධයට ගෙන ගොසිනි. මේ පසුබිමේ අන් අයට චෝදනා කරනවා මිස විකල්ප නැත. අද තිබෙන අලුත්ම ප්‍රවණතාව ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් දෙදෙනා වරද එකිනෙකා පිට පැටවීමය. ඒ නිසා අප අමතක වී තිබේ. මේ අනුව පෙනෙන්නේ අනුන්ට ඇඟිල්ල දිගු කරනවා විනා වැඩක් කිරීමේ හැකියාවක් මේ අයට නැති බවය.

සටහන - චමින්ද මුණසිංහ