වසන්ත ප්‍රිය රාමනායක

ආයු අපේක්ෂාව අතින් ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව එක හා සමානය. එසේම බෝ නොවන රෝගවලට ප්‍රතික්‍රියා දැක්වීමේ පැත්තෙන් හා සනීපාරක්ෂාව ගත් කල ශ්‍රී ලංකාව පසුවන්නේ ලෝකයේ දියුණු රටක මට්ටමකය. එසේම මානව සංවර්ධන අංශයේ රටවල් 196ක් අතුරින් ශ්‍රී ලංකාව 73 වැනි ස්ථානය හිමිකරගෙන සිටීම ද ජයග්‍රහණයකි.

සාමාන්‍ය දිනක වුව ද ප්‍රධාන මාර්ගය දෙස විනාඩි දහයක් බලාගෙන සිටින කෙනකුට කෝටි තුන හතර වටිනා වාහන කීපයක් දැකගත හැකිය. එසේම 2008 දී පැවැති 60%ක් වූ පොදු මගී ප්‍රවාහනය මේ වනවිට 40% දක්වා අඩුවී තිබේ. බොහෝ අය කුඩා කුඩා වාහන පාරට ගෙනැවිත් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටුකර ගන්නා බව පෙනේ. මේ නිසා නාගරිකව කි. මීටර් 15ක ගමණක් යෑමට වුව ද පැය එකහමාරක පාරේ රස්තියාදුවක් දක්නට ලැබෙන තැනකට රට පත්ව ඇත. ලබා ඇති ජයග්‍රහණවල වගකීම සියලු ආණ්ඩුවලට බැර වන අතර පසුබෑම ද සමස්තයක් වශයෙන් කාටත් බාර ගැනීමට සිදුවී තිබේ.

මෙවන් පසුබිමක අද ඇතිවී ඇති ආර්ථික අර්බුදය කුමක් ද? රුපියල මේ තරම් මස්තබාල්දු වෙමින් පවතින්නේ ඇයි?
මොන අර්බුදයක් ද?

“දැන් නරක කාලය අවසන්, ඉදිරියට උදාවී තිබෙන්නේ ජනතාවට සහන දෙන කාලයයි”

ආණ්ඩුවේ සමහර නායකයන් ජනතාවට උත්තර බඳින්නේ එහෙමය. ජනාධිපතිවරයා නම් එසේ කියන්නේ නැත. ඔහු පසුගිය කැබිනට් රැස්වීමේ දී පවා සඳහන් කර තිබුණේ තෙල් මිල හා ජීවන වියදම් ප්‍රශ්නය නිසා ‘ජනතාවට අමාරුයි’ කියලාය. එයම පැවැසීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අපහසුතාවකට පත්විය. සමහර කැබිනට් සගයන් සංඛ්‍යාලේඛන ගොන්නක් ගෙනහැර පාමින් සජිත්ගේ මතය චප්ප කිරීමට කටයුතු යොදා තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසානයේ ජනතාවගේ ජීවන වියදමේ ප්‍රශ්නය ගැන කතා කිරීමට ගිය සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට එය ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ බව පැවැසේ. ඔහු මොන හේතුවක් මත එය කළා දැයි කියන්න දන්නේ නැත. ඔහුගේ පියාණන්ගෙන් නම් කිසිදිනෙක එවැන්නක් සිදුනොවේ. අවසානයේ ජීවන වියදම ගැන කතා කළ ජනාධිපති මෛත්‍රීට තනිව තම මතය තහවුරු කිරීමට සිදුවිය.

මෙතැන ඇත්තේ ජනතාව අතරේ වැඩ කිරීම, ජනතා නාඩි හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකි. හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ නමුත් ආණ්ඩුව තුළම ජනතාවට එතරම් අමාරුවක් නැති ගානට කල්පනා කරන පිරිසක් සිටින බව පෙනේ. ජනාධිපති මෛත්‍රී හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිතර නිතර ගමට යන නිසා, ජනතාව සමීප කරගන්නා නිසා ඔවුන්ට දැනෙන දේ අනෙක් අයට නොදැනෙන්නේ නොදැනුවත්කම හෝ උද්ධච්චකම නිසා දැයි කියන්න දන්නේ නැත.

ඒ නිසා මේ අය ජනතාව ගැන කල්පනා කරන ක්‍රමයේ වෙනසක් තිබෙන බව පෙනේ. පුරා දශකයකට පසු ආණ්ඩුව ආර්ථික වර්ධනය වාර්තා කළේ 2017 වසරේදීය. එය 3.1%කි. මේ වසරේ එය යන්තමින් 3.8%ක් වත් වේ යැයි ආණ්ඩුවේ සමහරු උදම් අනමින් සිටිති. මෙය මේ කලාපයේ අඩුම වර්ධනයකි. වත්මන් වෙළෙඳපොළ ආර්ථිකය තුළ පිටරටට භාණ්ඩ පැටවීමෙන් (අපනයනයෙන්) තොරව අපේ වියදමට ඩොලර් ගලා එන්නේ නැත. ඒ අතින් බලන කල අප සිටින්නේ අඩුම අපනයන මට්ටමකය. එසේම වැඩි වැඩියෙන් පිටරටින් භාණ්ඩ ආනයනය කරන අවධියකය. එනම් පිටරටින් ඇ. ඩොලර් බිලියන 21ක භාණ්ඩ ආනයනය කරන විට අපට ලැබෙන්නේ ඇ. ඩො. බිලියන 10ක අපනයන ආදායමකි. ඉතිරි 11 සොයා ගන්නේ කෙසේ ද? ඒ සඳහා වැඩි වැඩියෙන් බදු අය කිරීමට ආණ්ඩුවට සිදුවී තිබේ. මේ වනවිට සරුංගලය හා වෙසක් කූඩුව පවා පිටරටින් ගෙන්වන තැනකට රට පත්ව ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නම් වෙනම ප්‍රශ්නයකි. එහෙත් වාහන ආනයනයට දෙවැනි තැන ලැබීම ගැන ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැත.
එක් අතකින් රස්තියාදුකාර ආනයන පිළිවෙතක් ගෙනයමින්, වක්‍ර බදු හා ඍජු බදු සමබර නොවන රටක බදු වැඩි කිරීමෙන් වියදම් පියවාගන්නා තැනට රජය පත්ව ඇත. මේ බදු බර වැඩියෙන් දැනෙන්නේ සාමාන්‍ය පන්තියේ දුගී දුප්පත් ජනතාවටය. රටේ බදු ආදායමින් සියයට 80ක වක්‍ර බදුවලින් සොයා ගන්නා විට අනිවාර්යයෙන්ම එය හිඟන්නාගේ, දුගියාගේ පොකැට්ටුවට තට්ටුවීමකි. මෙතැනට තෙල් මිල සූත්‍රය ද එක්වීමෙන් වැඩියෙන් රිදී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය. සුපර් මාකට්වලින් ක්‍රෙඩිට් කාඩ්වලින් බඩු ගන්නා දේශපාලනඥයන්ට මේ අමාරුව නොතේරීම ගැන පුදුම විය යුතු නැත.

“මේ අවස්ථාවේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති ඇතැම් බදු ප්‍රතිසංස්කරණ මෙරට ආර්ථික හා සමාජ විෂමතා අතින් ගත් කල හානිකරය” - ජුවන් පැබ්ලෝ (එ.ජා. සංවිධානයේ විදේශ ණය, මානව හිමිකම් සහ සමාජ ආර්ථික අයිතිවාසිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ)

මේ අතර ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය යන රටවල අනෙක් ආසියාතික රටවලට වඩා ආහාර මිල ගණන්වල ඉහළ මට්ටමක් පවතින බවත් මේ නිසා එම රටවල මන්දපෝෂණය බහුල වීමේ ඉඩකඩ පවතින බවත් සඳහන් කරන්නේ ද තවත් ලෝක බැංකු විද්වතුන් දෙදෙනෙකි. මෙය සඳහන් වන්නේ පසුගිය අගෝස්තු 28 වැනිදා නිකුත් වූ අග්නිදිග ආසියාවේ පෝෂ්‍යජනක ආහාර වියදම පිළිබඳ සමීක්ෂණ වාර්තාවේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ තර්ක කළ අය මේ වාර්තා කියවා ඇද්දැයි කියන්න දන්නේ නැත.
මේ නිසා පසුගිය ආණ්ඩුවට බැණවදිමින් රාජපක්ෂ වෛරයෙන් පමණක් සියල්ල යටපත් කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ රජය මේ ආණ්ඩුවට රට බාරදෙන විට ඩොලරයට සාපේක්ෂව රුපියල පැවැතියේ රු. 131/- මට්ටමකය. මේ ලියන මොහොත වනවිට 171/- කි.

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න - “රුපියලේ අගය පාලනය කරන්නේ ආණ්ඩුව නොවෙයි. මහ බැංකුවයි.”

එතකොට ආණ්ඩුවක් තියෙන්නේ කුමකටදැයි ජනතාවට පිළිතුරක් අවශ්‍යය. මේ අර්බුදය සම්බන්ධයෙන් මීට වසර එකහමාරකට පෙර මහ බැංකුව කළ අනතුරු ඇඟවීම ගැන අද ආණ්ඩුව කියන්නේ කුමක් ද? මේ අතර රාජපක්ෂ යුගයේ 2012 වසරේ සියයට 12කින් රුපියල බාල්දු වූ බව ආණ්ඩුව කියයි. මේ කතා කරන්නේ එක අවුරුද්දක් ගැනය. සමස්ත චිත්‍රය එය නොවේ. රාජපක්ෂ යුගයේ වසර 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 3.56 කි. වර්තමාන රජයේ වසර 3යි මාස 9 තුළ රුපියල බාල්දු වීමේ වසරක සාමාන්‍යය රු. 9/- කි. එකට තුන් ගුණයකි. අනෙක් තර්කය ඉන්දියාව, මැලේසියාව හා තායිලන්තය වැනි රටවලට සාපේක්ෂව අපේ මුදල් ඒකකයේ මස්තබාල්දු වීමේ වේගය අඩු බවයි. මේ කියන රටවල අපනයන ආදායම මේ රටවල අපට වඩා බෙහෙවින්ම ඉහළය. ඒ නිසා එම රටවලට මුදලේ අවප්‍රමාණය අපට තරම් ප්‍රශ්නයක් නොවේ. උදාහරණ ලෙස ජපානයේ ණය බර සියයට දෙසිය ගුණයකටත් වඩා වැඩිය. අපේ සියයට 81 කි. එහෙත් ජපානයට වඩා අප පොහොසත් වන්නේ නැත.

රුපියල බාල්දු වුවත් අපේ විදේශ සංචිතවල අඩුවක් නොමැති බවත් ඒවා රුපියල ස්ථාවර කරගැනීමට නොයොදන බවත් රජය පවසයි. එය පූර්ණ සත්‍යයක් නොවේ. ඊට හේතුව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසේ නොකරන මෙන් කොන්දේසියක් දමා තිබීම නිසාය. මේ වනවිට අපේ රුපියල ඉතියෝපියාව හා සිම්බාබ්වේ වැනි දූෂිත නොදියුණු රටවලටත් වඩා අඩු මට්ටමකට වැටී ඇතැයි විපක්ෂයේ තර්කයට රජය පිළිතුරු නොදෙන්නේ එහි සත්‍යතාවක් ඇති නිසා ද? එසේ නම් අප වෙත ළඟාවෙමින් පවතින බියජනක ආර්ථික අර්බුදය පැහැදිලිය.

රුපියල අවප්‍රමාණය වීම නිසා 2015 සිට මේ දක්වා සිදුවී ඇති අලාභය නැතිනම් එකතු වී ඇති ණය බර රු. බිලියන 821 කි. එහෙත් රජය මෙම තර්කය පිළිගන්නේ නැත. රුපියලේ අගය පිරිහීමෙන් රටේ ණය බර බිලියන ගණනින් වැඩිවන බවට විපක්ෂය නඟන චෝදනාවට පසුගියදා මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙසේ පිළිතුරු දී තිබුණි.

“ඔය චෝදනාවේ කිසිදු පදනමක් නැහැ. ඕක මිනිස්සු නොමඟ යවන්න කියන කතාවක්.” (2018.09.24 මාධ්‍ය)
එහෙත් රාජ්‍ය ඇමැතිවරයා කරනු ලබන සඳහන සත්‍යයක් නොවන බව ‘2017 මහ බැංකු වාර්තාවෙන්ම’ සනාථ වේ.

“කෙසේ වුව ද රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 9කින්, රු. බිලියන 2032ක් දක්වා රු. බිලියන 925.7කින් ඉහළ යෑමට හේතු වූයේ ශුද්ධ ණය ප්‍රමාණය ඉහළ යෑමත්, විදේශ මුදල් ඒකකවලට අදාළව රුපියල අවප්‍රමාණය වීමත් ය.” (2017 මහ බැංකු වාර්තාව)
මේ වනවිට ආණ්ඩුව පිළිගන්නා ආකාරයට කොළඹ කොටස් වෙළෙඳපොළින් ඉවත් කරගෙන ඇති මුදල ඩොලර් දශලක්ෂ 450කි. එහෙත් මහ බැංකු බැඳුම්කරවලින් ඉවත් කරගෙන ඇති ගණන ගැන සඳහනක් නැත. 2015 මේ ආණ්ඩුව භාරගන්නා විට පැවැති ඇ.ඩො. බිලියන 3.4 බැඳුම්කරවලින් මේ වනවිට ඇත්තේ 1.5 කි. මෙහි සමස්ත චිත්‍රය රටේ අස්ථාවරත්වය හා එක ප්‍රතිපත්තියක් නොමැතිකමය. ජාත්‍යන්තර සාධකවලට අමතරව ඇතිවී තිබෙන මේ ප්‍රබල සාධකයට ආණ්ඩුව පිළිතුරු සොයාගත යුතුය.

රුපියල අවප්‍රමාණය වීම හා තෙල් මිල සූත්‍රය නිසා ඉහළ යන බඩු මිල අබියස වෙළෙඳුන්ගෙන් සිදුවන ගසාකෑමට එරෙහිව රජයේ මැදිහත්වීමක් නොමැති තරම්ය. පිටි කිලෝවක් රු. 5/-කින් වැඩි වනවිට එක බනිස් ගෙඩියකින්ම ඒ රු. 5/- එකතු කර ගැනීමේ ගසා කෑමක් රටේ පවතී. තෙල් මිල රු. 10/-කින් වැඩි වනවිට ත්‍රීවීලර්කරුවෝ පළමු කි. මීටරයටම එම දහය එකතු කරති. සොයන්න ආණ්ඩුවක් නැති ගාණය. එහෙත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවක එම තත්ත්වය පාලනය කර ගැනීමටය. රුපියලේ හා තෙල් මිලේ ප්‍රශ්නය උග්‍ර වී තිබෙන්නේ ඒ නිසාය.

කහටගස්දිගිලියේ පවුලක් මුරුංගා කොළ ආහාරයට ගැනීමේ පුවත ගැන ජනාධිපති මෛත්‍රී අතිශයින් කම්පාවට පත්විය. ඔහු මාධ්‍යයට දොස් කීවේ නැත. වහා ඒ ගැන සොයා බලා ඊට පිළියම් යෙදීමට නිව් යෝර්ක් යාමට ප්‍රථම කටයුතු යෙදීය. එහෙත් ආපදා කළමනාකරණ ඇමැතිවරයාට අනුව මුරුංගා මැල්ලුම ජපානයට පවා අපනයනය කරන සුඛෝපභෝගී ආහාරයකි. මාධ්‍ය එය හුවාදැක්වීම වරදකි. ඒ පවුලටත් සමෘද්ධි ලැබෙන නිසා “අපි සමෘද්ධි දෙනවා. පුළුවන් නම් කාපල්ලා, නැත්නම් නිකං හිටපල්ලා” වගේ කතාවක් මෙමඟින් ගම්‍ය වේ.

වෙනස ඇත්තේ මෙතැනය. ජීවන වියදමේ ප්‍රශ්නය ජනතාවට වැඩියෙන් දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ ආණ්ඩුවේ සමහර ප්‍රධානීන් ඊට සංවේදී නොවීම නිසාය. ඒ අයගේ සංවේදී නහර කපලා වාගේය. මේ නිසා දුප්පත් මිනිසුන් ගැන කතා කරන ආණ්ඩුවේ සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස වගේ අයට ද පසුබැසීමට සිදුවී තිබේ. ජනාධිපති මෛත්‍රීට මේ ගැන හොඳින් තේරෙන බව පෙනේ. ඒ නිසා එතුමා වෙනසකට යා හැකිය. ඒ ඔහු අසංවේදීන්ගේ වළේ වැටීමට සූදානම් නොවන නිසාය. එහෙත් වෙනසක් සිදු නොවන්නේ නම් මේ අය වළේ වැටෙන විට හෙට දවසේ එතුමාට ද ඉවුරේ සිට ගැනීමට නොහැකිවනු ඇත.