කුසල් පෙරේරා විසිනි

පාර්ලිමේන්තුවේ මහජන ගිණුම්කාරක කමිටුව සම්බන්ධයෙන් ඉකුත් සඳුදා පැවති වැඩමුළුවක් අමතා කතානායක කරු ජයසූරිය මහතා පවසා තිබූයේ පසුගිය 2017 වසරේ රාජ්‍ය ව්‍යවසායන්ගේ අලාභය රුපියල් බිලියන 50ක් ඉක්මවූ බව ය. එම වැඩමුළුව ඇමතූ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසා තිබූයේ “වීරතුංග මහතා (හිටපු ජනාධිපති ලේකම්) වැරදිකරුවකු ලෙස සිරගත කිරීමට තීන්දු වූයේ මහජන මුදල් අවභාවිතාව හේතුවෙන්. එලෙසින් අනෙක් රාජ්‍ය නිලධාරීන්ට ද සැලකුවහොත් ඔවුන්ගෙන් අඩකට සිර දඬුවම් විඳින්නට සිදුවනු ඇත” කියා ය. ඔහු එදින පැවසූ අයුරු, මහ බැංකු බැඳුම්කරය මේ රටේ එකම යෝධ දූෂණය නොවන්නේය. ගල් අඟුරු මිලදී ගැනීමේ සිට සහල් ආනයනය දක්වා පසුගිය ආණ්ඩුවේ සිට මේ යහපාලන ආණ්ඩුව දක්වාම යෝධ දූෂණ සිදුව ඇත.

මහජන ගිණුම් කාරක කමිටුව විසින් 2016 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවට අනුව අමාත්‍යාංශ 26ක් ඔවුන්ගේ ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීන කර නැත. අමාත්‍යාංශ 29ක් විගණන දෙපාර්තමේන්තුවේ විමසීම් සඳහා පිළිතුරු ලබාදී නැත. අගමැති කාර්යාලය සඳහා අනුමත වියදම්වලට වඩා වියදම්කර ඇතැයි ද වාර්තාව සඳහන්කර ඇත. එවැනි තවත් බොහෝ අඩුපාඩු, අතපසු කිරීම් ගැන එහි සඳහන් වන අතර, එවැනි කාරණා හේතුවෙන් දූෂණ වංචා සිදුවන්නට ඇතැයි කෙනෙකුට අනුමාන කළ හැකිය. එහෙත් මේ කිසිවක් සම්පූර්ණ කළ යුතුව තිබූයේ අදාළ ඇමතිවරුන් නොව, අමාත්‍යාංශවල ප්‍රධාන නිලධාරීන් විසින් ය. අමාත්‍යාංශයක වගකිව යුතු ගණකාධිකාරී ප්‍රධානියා වන්නේ අමාත්‍යාංශ ලේකම් ය.

මේ වාර්තාව විසින් මතු කරන්නා වූ මූලික කාරණාව වන්නේ, අපගේ රාජ්‍ය සේවය අතිශය දූෂිත හා අකාර්යක්ෂම බව ය. එය ආයතනික ලක්ෂණයක් බවට පත් වූවකි. රජයේ කාර්යාලයකට ගොසින් ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීමට, අවසරයක් අනුමැතියක් සඳහා රබර් මුද්‍රාව තබා ගැනීමට අදාළ නිලධාරියාගේ ලාච්චුවට කීයක් හෝ දැමීම අද සාමාන්‍ය සිරිතක් බවට පත් වූවකි. ලංකාවේ ලොකුම බොරුව වන අති ජනප්‍රිය පාසල්වල පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමේ ලිපිගොනු හදා ගැනීමට මධ්‍යම පාන්තික තරුණ මවුපියන් කරන වියදම ද එවැනි ම ය.

වංගුවක හෝ විදුලි පහන් කණුවකට මුවා වී ඉන්නා රථවාහන පොලීසියේ නිලධාරීන්ගේ තුණ්ඩුව වෙනුවට රියැදුරු බලපත්‍රය බේරා ගෙන යෑමට, වාහනයේ ලිපි ගොනු අතර රුපියල් 500යේ නෝට්ටුවක් හැම විට තබා ගන්නා රියැදුරන් ඇතැයි මම අසා ඇත්තෙමි. මෑත කාලයේ සමස්ත සාක්කිය සහ සාධාරණත්වය විසඳාලීමේ ක්‍රියාවලියම දූෂිත යැයි ද අකාර්යක්ෂම යැයි ද ප්‍රසිද්ධියේ චෝදනා නැඟිණ. නීතිඥ වෘත්තිය ද හවුල් වන්නා වූ දෛනිකව උසාවි භූමියේ සිදුවන දූෂණ හා වංචා ගැන ද කතා එමට ඇත. ඒ සියල්ල සත්‍ය යැයි නිගමනය කළ හැකි තොරතුරු ඉදිරිපත් වූයේ 2017 වසර සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විටය. එයට අනුව ලක්ෂ 07ට වැඩි නඩු සංඛ්‍යාවක් 2017 වසරේ සිට මේ 2018 වසරට කල් තබා ඇත. සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනයෙහි දූෂණවලට සම්බන්ධ යැයි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු වන සමන් කුමාරට එරෙහිව බැඳුම්කර වංචා ගැන සෙවීමේ ජනාධිපති කොමිසමට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වූවත් ඔහු ගැන කිසිදු ආරංචියක් දැන් නැත. අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා රාජ්‍ය ආයතන බිඳ වැටී ඇති ප්‍රමාණය තේරුම් ගැනීමට හැකි ඉතාම ඛේදනීය නිදසුන මීතොටමුල්ල කුණු කන්ද සිංහල අවුරුද්දට නාය යෑම ම නොවේ. කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ රැකියාවක් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක වුවත් අල්ලස් දීමට සූදානම් අය ඇතැයි අසන්නට ලැබීම ය.

රාජ්‍ය අයතනවල ඇති මෙවැනි මහ පරිමාන දූෂණ ප්‍රශ්න නොකෙරෙන හා ඒවා සාමාන්‍ය ජීවිතයේ හැඩ ගැසීම් ලෙස තබා ගෙන යාමේ පුරුද්දක් මේ සමාජය ඇතිකරගෙන ඇත. එය කෙතරම් දුරකට සමාජ මානසිකයෙහි පැළපදියම්ව ඇතිදැයි කිවහොත් රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ වගකීම පැවරුණු ස්වාධීන කොමිසම්වලට පත් කෙරුණු සිවිල් සමාජ නියෝජිතයන්ට ද ඒවා එතරම් ප්‍රශ්න නොවේ. එය වඩාත් කැපී පෙනෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී ව්‍යවස්ථා මණ්ඩලයට පත් කෙරුණු සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ දැඩි නිහැඬියාව හමුවේය. එවැනි සිවිල් සමාජයීය නියෝජනයක් ව්‍යවස්ථා මණ්ඩලයේ ඇත්තේදැයි මේ සමාජයට අමතක වන තරමට ඔවුන්ගේ ඇත්තේ අක්‍රීය නිහඬතාවකි.

දූෂණ හා වංචාවලට විරුද්ධව හඬ නැගීම තම වෘත්තිය කරගෙන සිටිනවුන්ට මෙහි ඇත්තේ ප්‍රචාරක වාසි ලැබිය හැකි සිද්ධි කිහිපයක් පමණි. ඇලෝසියස් සහ පර්පෙචුවල් සමාගමේ ගනුදෙනු පිළිබඳ කතාවක් පමණි. ඊට ඈඳාගත හැකි දේශපාලනඥයන්ගේ නාමාවලියක් ගැන ප්‍රශ්න කිරීමක් පමණි. ඒ ගැන කතාවේ දී ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදලේ මහා දූෂණ සම්බන්ධයෙන් සාක්ෂි සහිත චෝදනා ලැබූ සමන් කුමාර වැදගත් නොවන්නේ මේ සමාජයේ දේශපාලනඥයන්ට චෝදනා එල්ල කිරීම තරම් වීරත්වයක් රාජ්‍ය සේවකයන්ගේ චෝදනා ගැන කතා කිරීමේ දී මාධ්‍යයන්ගෙන් පවා ආරෝපණය නොකෙරෙන හෙයින්ය.

අවාසනාව නම්, ලොකු පොඩි පමණක් නොව, විශාල හා යෝධ දූෂණ වංචා සඳහා ද පදනම දැමෙන්නේ රාජ්‍ය සේවාවේ ඉහළ නිලධර පැලැන්තිය සහ වෘත්තිකයන් හවුල් වීමෙන් බැව් බොහෝ දෙනා තේරුම් නොගැනීමය. එය මේ අසීමිතව විවෘත කෙරුණු වෙළඳ​ෙපාළ මත පවත්වා ගන්නා ආර්ථිකයේ ආවේණික ලක්ෂණයකි. නියාමනයක් නොමැති මෙවැනි නිදහස් ආර්ථික පවත්වා ගෙන යන්නේ මූලික සාධක දෙකක් මතය. පෞද්ගලික ව්‍යාපාරිකයන් හවුල් කර ගන්නා යෝධ ව්‍යාපෘති, විශේෂයෙන් යටිතල පහසුකම් ඉදිකිරීම් එකකි. විවිධ දිරි ගැන්වීම් සමග විදේශ ආයෝජකයන් කැඳවා ගෙන අපනයන සඳහා නිෂ්පාදනය කිරීම අනෙකය. මේවා සඳහා විවිධ ව්‍යාපෘති සැකසීම, ඇස්තමේන්තු හැදීම, තාක්ෂණික වාර්තා සැකසීම, නෛතික ගිවිසුම් කෙටුම්පත් කිරීම වාගේම ඒවායේ ශක්‍යතා වාර්තා සැකසීමත් අනුමැති ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමත් කෙරෙන්නේ අමාත්‍යාංශ හා රාජ්‍ය සංස්ථාපිත ආයතන ප්‍රධානීන් විසින් ය. එයට හවුල් වන්නෝ ඉහළ පෙළ වෘත්තිකයෝය. ඒ හේතුවෙන්ම ඔවුන්ට ආණ්ඩු බලයේ දේශපාලනඥයන් හා එක්ව කටයුතු කිරීමේ අවස්ථා නිතැතින්ම හැදෙන්නේය. මේ හැමකින්ම සොරකම් නොකළ ද උපදේශන හා වෘත්තීය ගාස්තු ලෙස නාගරික මැද පාන්තික වෘත්තිකයන්ට වාසිදායි ඉපැයීමේ මාර්ග විවෘතව ඇත.

මෙය අතිශය තරගකාරී වෙළඳ​ෙපාළකි. විශාල මුදල් ගැවසෙන එවැනි ව්‍යාපෘති සහ ආයෝජන අවස්ථා වෙනුවෙන් වඩා වාසිදායී පසුබිම් හා අවස්ථා යොදා ගැනීමට ව්‍යාපාරිකයන් ද ඔවුන්ගේ වුවමනා සඳහා මේ වෘත්තිකයන් ලොකු මුදලකට යොදා ගනු ලැබේ. එනිසා එවැනි මැද පාන්තිකයන්ට රාජ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව, පෞද්ගලික ක්ෂේත්‍රයේ ද විවිධ ආදායම් මාර්ග අද විවෘතව ඇත. අප කවුරුත් දන්නා අයුරු මේ තරගකාරිත්වය දිග හැරෙන්නේ පොදු සාධාරණත්වයක් හා නීතිමය රාමුවක් ඇතුළත නොවේ. මේ තරගකාරිත්වයේ වැඩි වාසි සඳහා දේශපාලන බලය ද අවශ්‍ය වන්නේ ය. එබැවින් අමාත්‍යාංශ නිලධාරීන්ට ද වෘත්තිකයන්ට ද වැඩි හම්බකර ගැනීමකට පෙළැඹීමේ අපමණ නම් අවස්ථා හැදී ඇත.

මුදල් ඉපැයීමේ එවැනි විවිධ අයථා අවස්ථා හදා ගැනීමට විශේෂයෙන් මේ නාගරික මැද පන්තිය පෙළඹීමේ ප්‍රධාන සාධකය ඇත්තේ අසීමිත තේරීම් සහිත වෙළඳපොළ හේතුවෙනි. එය කොළඹ නගරයේ බිහිව ඇති නිරන්තරව හා වේගයෙන් වෙනස්වන විලාසිතා රැගෙන එන අති නවීන, සුඛෝපභෝගී වෙළඳ සංකීර්ණ හා විවිධ රටවල කෑම වට්ටෝරු සහිත අවන් හල්වල සිට තම දරුවන්ට විදේශීය අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ලැබීමේ ආයතන දක්වාම ව්‍යාප්ත වූ වෙළඳ​පොළකි. ඒ සමඟ වර්තමාන නාගරික මැද පන්තිය සකස්ව ඇත්තේ මීට අවුරුදු 30 - 40 ට පෙර පැවති විවේකී සමාජය අගයක් තිබූ ජීවන රටාවට අනුව නොවේ. වර්තමාන මැද පන්තිය සකස්ව ඇත්තේ හුදකලාව දිව යන මුදල් අගය පෙරට දැමූ ආකල්ප හා වටිනාකම් මත තහවුරු වූ අධිවේගී ජීවිත ගමනක් සඳහාය.

මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි ඊට විකල්පයක් ඔවුන්ට නැත. නාගරික මැද පන්තික ජීවිතය විවෘත වෙළඳපොළ ආර්ථිකය විසින් තීන්දු කරන්නේ එලෙසින්ම පමණි. එබැවින් මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි නාගරික මැද පන්තියට වෙනත් තේරීමක් ඉතිරිව නැත. දූෂණ වංචාවලින් තොර සමාජයකට මෙහි ඉඩක් නැත්තේ ද එබැවින් ය. කිසිවකුට හොඳ යැයි කිව නොහැකි සහ කිසිවකුට විවෘතව පිළිගත නොහැකි දූෂණ වංචා සමාජයේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත්තේ මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයේ පැවැත්මට එය අවශ්‍යව ඇති නිසාවෙනි. අපේ රටේ විවෘත වෙළඳපොළ ආර්ථිකයේ ආරම්භක යුගයේ දූෂණ හා වංචා එක්තරා ආකාරයකට නියමානුකරණය කරමින් සාධාරණය කළ ප්‍රධාන ක්‍රියාකාරිත්වයක් වූයේ කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන ය.

එහි සිදුවන දූෂණ හා වංචා සම්බන්ධයෙන් වරෙක පාර්ලිමේන්තුවට විස්තර ඉදිරිපත් කළ සරත් මුත්තෙට්ටුවේගම මන්ත්‍රීවරයාගේ කතාව ඉතා සාවධානව අසා සිටි මහවැලි ඇමති ගාමිණි දිසානායක ඊට පිළිතුරු දුන්නේ එම චෝදනා පිළිබඳව වහා පරීක්ෂණ පවත්වන්නේ යැයි කියමින් නොවේ. ඔහු පිළිතුරු දුන්නේ මුත්​ෙතට්ටුවේගම මන්ත්‍රීවරයාගේ දේශපාලන දර්ශනය හා තමන්ගේ දේශපාලනය අතර ඇති වෙනස මත මෙය ප්‍රතිවිරුද්ධයන් බවට පත්ව ඇතැයි කීමෙනි. වාමාංශිකයන් අල්ලස් දූෂණ යැයි නම් කරන සියල්ල ඔවුන් බලාපොරොත්තුවන ආර්ථිකයට අදාළ වුවත් ධනේශ්වර වෙළඳපොළ ඉදිරියට යන්නේ පෞද්ගලික ක්ෂේත්‍රය සඳහා එකතු කෙරෙන කොමිස් ප්‍රමාණයක් ද සමගින් යැයි ඔහු පැහැදිලි කරන්නට විය. ඒ අනුව මහවැලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඇස්ත​ෙම්න්තු කිරීමේදී ඒ සඳහා ද ඉඩක් තබා ඇතැයි ද එසේ නොවන්නේ නම් අවුරුදු 35ට සැලසුම් කළ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය තමන්ට අවුරුදු 06 කින් සම්පූර්ණ කරන්නට නොහැකි යැයි ද ගාමිණි දිසානායක ඇමැති එදින පැහැදිලි කෙරුවකි.

එදා සිට මෙදා දක්වා විවෘත වෙළඳපොළ ආර්ථිකය සමඟ ගමන, ගාමිණි දිසානායක ඇමති එදා කියූ අයුරු එතරම් සරල අහිංසක ගමනක් නොවූවකි. එය වඩ වඩාත් තරගකාරී වූත් ඒ තරගයෙන් දිනන්නට වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වන්නාවූත් ඒ අවශ්‍ය මුදල සාමාන්‍ය දෛනික ආදායමෙන් පිරිමසා ගැනීමට නොහැකි වන්නා වූත් තරගයක් බවට දැන් පත්ව තිබෙන්නකි. එබැවින් දැන් ඇස්තමේන්තු හැදෙන්නේ මීට අවුරුදු 40 ට පෙර මහවැලියට ඇස්තමේන්තු හැදූ ආකාරයට නොවන බැව් විවෘත රහසකි.

දූෂණයට වංචාවට එරෙහිව කෑ ගැසුවාට, දූෂණ වංචා නැති යහපාලනයක් පොරොන්දු වූවාට, දූෂණ වංචා තුරන් නොවන්නේ විවෘත වෙළඳපොළ පවත්වා ගැනීමට කවුරුන් බලයට පැමිණියත් දූෂණ වංචා සඳහා පිළිගත් අවකාශයක් මේ ආර්ථිකයෙහි ඇති බැවින් ය. එහි රාජ්‍ය සේවා නිලධරයේ සිට සියලු වෘත්ති දැන් ගිලී ඇති හෙයින්ය. මෙය කිහිප දෙනකු වැරදිකරුවන් කර හිරේ දමා විසඳාගත හැකි පිළිලයක් නොවේ. මෙය විකල්ප සංවර්ධන මාවතක් තෝරා ගැනීමෙන් පමණක් අවසන් කළ හැකි අර්බුදයකි. එතෙක් රාජ්‍ය සේවාද මේ දූෂණ වංචා අර්බුදයෙහි තව කිඳා බසිනු ඇත.