මේ රටේ ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීප අනුගාමිකයන් අතර පවතින ආර්ථික සහසම්බන්ධතා එළියට ඇදෙන්නේ කලාතුරකිනි. දොළපිදේනි පුදන බලවතාත් එයින් පිදුම් ලබන තැනැත්තාත් දෙදෙනාම මේ ගනුදෙනු ගැන කට හොල්ලන්නේ නැතිවීම ඊට හේතුව වෙයි. බොහෝ විට වැඩේ එළියට ඇදෙන්නේ විමර්ශන කොමිෂන් සභාවක හෝ අධිකරණයකදී හෝ සාක්ෂිකරුවකු නැතහොත් සාක්ෂිකරුවන් ලබාදෙන ප්‍රකාශ හේතුවෙනි. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පසුගියදා හෙළිදරව් වූ ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිණුමකින් දඹර අමිල හිමියන් ඇතුළු විවිධ තරාතිරම්වල 60 දෙනකු පමණ මාස්පතා මුදල් ගෙවීමේ සිද්ධිය ද එවැන්නකි. 

මේ සිද්ධිය හෙළිවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ අවස්ථාවේදීය. නඩු නිමිත්තට හේතු වූ කාලසීමාවේ ලිට්රෝ සමාගමේ සභාපති ධුරය හොබවා තිබුණේ ගාමිණී සෙනරත් මහතා විසින් බව ද එම කාලය තුළදී ඔහු වැටුප් හෝ දීමනා ලෙස කිසිදු මුදලක් ලබා නොගෙන තිබූ බව ද නඩු විභාගයේදී සඳහන් වී තිබිණි. ඉහත සඳහන් ආකාරයට 60 දෙනකු සඳහා රුපියල් එක් ලක්ෂ විසිපන්දාහේ සිට රුපියල් 20,000ක් දක්වා මාසික දීමනාවක් ගෙවා ඇති බව හෙළිදරව් වූයේ එම නඩු විභාගය අතුරතුරදී පසුගිය වසර තුනහමාරක කාලය තුළදී ලිට්රෝ සමාගම් ගනුදෙනු පිළිබඳ හරස් ප්‍රශ්න ඇසීමේදීය. එහි මූල්‍ය පාලක මුදිත හර්ෂජිත් තමානගම මහතා විසින් ලබාදුන් පිළිතුරේ මේ ගණන් හිලව් සඳහන් විය. 2015 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝබර් දක්වා රුපියල් ලක්ෂය බැගින් 4 දෙනකුට ද රුපියල් 50,000 සිට 75,000 දක්වා 17 දෙනකුට ද රුපියල් 25,000 සිට 50,000 දක්වා 29 දෙනකුට ද මුදල් ගෙවා තිබිණි. රුපියල් 25,000ට අඩුවෙන් තවත් 07 දෙනකුට ද මේ ආකාරයට මුදල් ලබාදී තිබේ. මේ අය අතර තවත් සංඝයා වහන්සේ නමකගේ වුවමනාවට කාන්තාවක් ද සිටින බවට දේශපාලන ​ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත. 

මේ රටේ මහජනතාව සතු රජයට අනුබද්ධ සමාගමකින් මේ ආකාරයට දොළපිදේනි ලබාදීමට අවසර ලබා දී ඇත්තේ කවුද? මෙය රටේ මූල්‍ය පාලනය පිළිබඳ මහජනතාව තුළ තිබෙන විශ්වාසය බරපතළ ලෙස කඩකිරීමක් නොවන්නේද? එක් එක් බලවතුන්ගේ වුවමනාවට මේ ආකාරයට රජය සතු සම්පත් කොල්ල කෑ හැකිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුතුය. 

ලිට්රෝ සමාගමෙන් මේ ආකාරයට මුදල් ගෙවීමට නියෝග කරමින් ලැයිස්තුවක් එවා ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන් බව ද අධිකරණයේදී සඳහන් වී තිබිණි. දඹර අමිල හිමියන්ට රුපියල් 1,25,000ක් බැගින් ගෙවන ලෙස අමාත්‍යාංශයෙන් එවා තිබූ ලිපියක ඒ හිමියන් සමාජ ක්‍රියාකාරකම්වල නිරත වන බවත් ඒ සඳහා උන්වහන්සේ රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කරන බවත් ඒ නිසා එම මුදල ලබාදිය යුතු බවත් සඳහන් වී තිබී ඇත. ලිට්රෝ සමාගමෙන් මුදල් ගත්තැයි එල්ල වන චෝදනාවලට පිළිතුරු වශයෙන් දඹර අමිල හිමියන් ද විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබිණි.

ඒ හිමියන් ප්‍රකාශ කර තිබුණේ තමන් සිදුකරන සමාජ සේවා කටයුතු සඳහා ආධාර කරන්නැයි ලිට්රෝ සමාගමෙන් කරන ලද ඉල්ලීමකට අනුව සමාගම් පාලක සභාව විසින් එය අනුමත කර දුන් බවය. එම මුදලින් තමන් සිදු කළ සියලු‍ම සමාජ සේවා කටයුතු පිළිබඳ වාර්තා ලිට්රෝ සමාගමේ සුබසාධක අංශයට යවා තිබෙන බව ද උන්වහන්සේගේ ප්‍රකාශයේ සඳහන් විය. ලැයිස්තුවේ සඳහන් වෙනත් පුද්ගලයන්ගෙන් මේ සටහන තබන විට පිළිතුරු ප්‍රකාශ පළ වී නොතිබුණ ද එවැනි ප්‍රකාශ නිකුත්වුවත් ඒවායේ සඳහන් වන කරුණු ද බොහෝදුරට මේ හා සමාන වනු ඇති බවට ඕනෑම කෙනකුට අනුමාන කළ හැකිය. 

සමාජ සේවා කටයුතු වෙනුවෙන් රජයේ හෝ රාජ්‍ය සමාගම්වල අරමුදල් යොදවා ගත හැකි නම් මේ රටේ ඕනෑම පුරවැසියකුට මුදල් අමාත්‍යංශයට එක් ලිපියක් යැවීමෙන් සමාජ සේවකයකු විය හැකිය. අනෙක් අතට රාජ්‍ය සමාගමකින් මුදල් ලබාගනිමින් සිදුකරන කටයුතු සමාජ සේවයක් වශයෙන් අර්ථ ගැන්විය හැක්කේ කෙසේද යන වග ද පැහැදිලි නැත. මෙරට සහ පිටරට වෙසෙන ප්‍රකට සමාජ සේවකයන් අප දන්නා තරමින් තමන්ගේ සමාජ සේවා කටයුතු සිදුකරන්නේ තමන්ගේ සහ තම පවුලේ පෞද්ගලික ධනය වැය කරමිනි. සමහරු තමන්ගේ වටිනා දේපළ පවා සමාජ සුබසාධන කටයුතු සඳහා පවරා දෙති. රාජ්‍ය අංශයෙන් ලබාගන්නා මුදලින් සිදුකරන සමාජ සේවා වැඩ රටේ මහජනතාවගේ බදු මුදලින් සිදුකරන කටයුතු මිස පෞද්ගලික සුබසාධන කටයුතු ගණයට වැටෙන්නේ නැත. කෙසේ වුවත් ලිට්රෝ හෝ වෙනත් රාජ්‍ය සමාගමකින් හෝ මුදල් ලබාගනිමින් තොරව උන්වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කිසියම් හෝ සමාජ සුබසාධන කටයුත්තක් සිදුකර ඇත්නම් ඒ බව අගය කිරීමට අප පසුබට නොවන බව ද සඳහන් කරමු. 

දඹර අමිල හිමියන් මේ රටේ ප්‍රසිද්ධව සිටින්නේ ජ’පුර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් පමණක් නොව දේශපාලන වේදිකාවේ ද ක්‍රියාකාරී චරිතයක් වශයෙනි. එවැනි භූමිකාවක් නිරූපණය කරන විට තමන් සහාය දක්වන රජයක අමාත්‍යාංශයකින් ආධාර ඉල්ලා මාසිකව මුදල් ලබාගැනීම සැලකිය හැක්කේ අයථා වාසි ලබා ගැනීමක් වශයෙන් මිස සමාජ සේවයක් වශයෙන් නොවේ. එවැන්නක් ලබාදෙන අමාත්‍යාංශය ද කර ඇත්තේ බලවත් වරදකි. මහජන මුදල් අයථා ලෙස යෙදවීමකි. මේ වැරැද්ද සිදුකර ඇත්තේ හිටපු රජය පමණක් නොවේ. ඊට පෙර පැවැති ආණ්ඩු ද තම තමන්ගේ ගෝල බාලයන්ට විවිධාකාර ලෙස මහජන මුදලින් දොළපිදේනි ලබා දී තිබේ. ඒ බව හෙළි වූ අවස්ථා මෙන්ම හෙළි නොවූ අවස්ථා ද බොහෝය. මෙහිදී වඩාත්ම කනස්සල්ලට කාරණය වන්නේ එවැනි අයථා ක්‍රියා නවත්වන බව ශපථ කොට බලය ලබාගත් පිරිස අතින් ද එවැනිම වැරැදි සිදුවීමය.