රාජ්‍ය බැංකු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයකට ප්‍රධානීන් පත් නොකිරීම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ බරපතළ ගැටලු මතු වෙමින් තිබිණි. එකී තත්ත්වය මඟහරවාගෙන අදාළ පත්කිරීම් කඩිනමින් සිදු කිරීමට දැන් පියවර ගෙන තිබෙන බව පෙනේ. සමහර බැංකුවලට තාවකාලිකව ද තව රාජ්‍ය බැංකු කිහිපයකට ස්ථිර පත් කිරීම සිදුව තිබේ. සෙසු ආයතනවලට ද ඒ ආකාරයටම ප්‍රධානීන් පත්කිරීම අප්‍රමාදව සිදු කෙරෙනු ඇතැයි අපි සිතමු.

සෑම රාජ්‍ය ආයතනයකටම පත් කළ යුතු පුද්ගලයන් ඉහළ සුදුසුකම් සපුරා තිබීම අවශ්‍ය බවට තර්කයක් නැත. එහෙත් එම පත්කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුවීම ද අවශ්‍යය. මෙහිදී ප්‍රමාදය ගැන සෙවීම තේරුමක් නැති වැඩක් බව අපගේ විශ්වාසයයි. අවශ්‍ය වන්නේ සුදුසු පුද්ගලයන් වැඩි පමාවකින් තොරව ඒ ඒ ආයතනවලට පත්කරනු ලැබීමය. එය නොසිදුවන විට එහි බලපෑම් රටේ සෑම ක්ෂේත්‍රයකටම එල්ලවීම වළක්වනු නොහැකිය.

මෙහිදී අප ද අවධාරණයෙන් පවසන්නේ ආයතනවලට යෝජනා කරනු ලබන පුද්ගලයන් අදාළ ආයතනවල අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන සුදුසුකම් ඇති පුද්ගලයන්දැයි සොයා බැලීම අවශ්‍ය බවය. දැනගන්නට තිබෙන අන්දමට ඇතැම් රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා අදාළ අමාත්‍යවරුන් විසින් යවනු ලැබ ඇතැයි කියන්නේ යන්තම් සාමාන්‍ය පෙළ දක්වා පමණක් උගත් හිතවතුන් හෝ තමන්ගේ පෞද්ගලික සහකාරවරුන් එසේත් නැත්නම් සම්බන්ධීකරණ ලේකම්වරුන් වශයෙන් කටයුතු කරන පුද්ගලයන් බවය. එක් උදාහරණයක් වන්නේ එක්තරා ආයතනයක සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු විසින් දැරිය යුතු තනතුරකට අක්ෂි කාච සම්බන්ධ විශේෂඥයකු නම් කිරීම පෙන්විය හැකිය. මේ තොරතුරු හෙළිකර තිබුණේ තනතුරු සම්බන්ධයෙන් සලකා බැලීමට පත් කෙරුණු ජනාධිපති කමිටුවේ නිලධාරියකු විසිනි. ආණ්ඩුවේ තනතුරුලාභීන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනාධිපති කමිටුවක් පත් කිරීම විවාදසම්පන්න කරුණක් වියහැකි නමුත් මෙවැනි උදාහරණ මගින් පෙන්නුම් කරන්නේ තනතුරුලාභීන් ප්‍රබල පිරික්සීමකට ලක්විය යුතු බවයි.

ඉහළ සුදුසුකම් ලත් පුද්ගලයන් රාජ්‍ය ආයතනවලට පත් කිරීමෙන් එම ආයතන දියුණු වනවිට එය රටටම යහපතකි. ආර්ථිකයේ බර සැහැල්ලු කිරීමකි. රට දියුණුවට යොමු කරන මාවතකි. අවසානයේ ආණ්ඩුවට ද මේ ප්‍රතිඵල පෙන්වා ගොඩයා හැකිය. එහෙත් අපේ රටේ කරුමය වී තිබෙන්නේ නිදහසින් පසු බිහි වූ බොහොමයක් ආණ්ඩු මේ යථාර්ථය අමතක කර දැමීමය. රාජ්‍ය ආයතන තමන්ට ඕනෑ හැටියට ක්‍රියාත්මක විය යුතු පෞද්ගලික බූදලයක් වශයෙන් සලකන ඇමැතිවරයකුට එම ආයතන පාලනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ‘හොඳ මොළයක්’ නොව තමන්ට කීකරු හෙංචයියෙකි. ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් නැති තරමට එවැනි ඇමැතිවරු කැමැති වෙති. කොතැනකින් හෝ මේ ක්‍රියාදාමයට තිත තැබිය යුතුය. නැතහොත් අපේ රටට කවදාවත් ගොඩ ඒමක් නැත. 
රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති හොඳ මොළ යොදවාගෙන හිස එසවූ රටක් වශයෙන් අපට ගත හැකි හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුවය. වර්තමානයේ සිංගප්පූරුවේ වරාය ආසියානු කලාපයේ වඩාත්ම නවීකරණයවී ඇති ජාත්‍යන්තර මුවදොරකි. ඔවුන්ගේ සේවා සියලු බලවත් රටවලට සැපයෙන විට අපි තවමත් අපේ වරායවල් ඉන්දියාවට හෝ චීනයට උකස් කරමින් මුදල් සෙවීමට තැත් කරමු. සිංගප්පූරුවේ චැංගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසරේ මගීන් මිලියන 65කට සේවා පහසුකම් සලසා තිබුණි. මීළඟ දශකය තුළදී එම සංඛ්‍යාව මිලියන 70ක් දක්වා වැඩි කිරීමට තවත් පර්යන්තයක් ඉදිකිරීමට එරට රජය දැන් සිටම සැලසුම් කරයි. 

සිංගප්පූරු ගුවන් තොටුපොළ මෙහෙයවනු ලබන්නේ එකී ක්ෂේත්‍රය පිළිබඳ ඉහළම සුදුසුකම් ඇති වෘත්තිකයන් සහ විශේෂඥයන් පිරිසක් විසිනි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. සිවිල් ගුවන් සේවා භාර ඇමැතිවරයා ගුවන් තොටුපොළ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් කරන්නේ තම සොහොයුරාය. ඒ සමඟ වරාය අධිකාරිය කළමනාකරණය සඳහා තම සොහොයුරා පත් කරන ඇමැතිවරයෙක් ද අපට සිටියි. සිංගප්පූරු ගුවන් සේවය ඉහළම ලාභ ලබන ආයතනයක් වශයෙන් ලෝ පුරා ප්‍රසිද්ධියට පත්වන විට අපේ ජාතික ගුවන් සේවය දේශපාලනඥයන්ගේ සෙල්ලම් බඩුවක් බවට පත්ව තිබේ. ප්‍රතිඵලය රටට දරාගත නොහැකි තරම් ණය කන්දරාවකින් ගුවන් සමාගම වැසී යාමය. ආර්ථික වශයෙන් සාර්ථක සහ ආර්ථික අගාධයකට වැටී සිටින රටවල් දෙක සැසඳුමට මේ උදාහරණ කිහිපයක් පමණි.

රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ඇති පුද්ගලයන් පත් කිරීමට උපමාන සකස් කළත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් එම උපමාන ක්‍රියාත්මකවී නැති බවට ද ඇතැම්හු චෝදනා කරති. උපමාන සකස් කළ යුත්තේ සෑමදෙනාටම එකසේ ක්‍රියාත්මක වීම සඳහා බව පෙන්වා දීමට කැමැත්තෙමු. එසේම තමන් සිදු කරන පත්වීම් තමාට වඩා රටේ උන්නතියට හේතුවන අන්දමින් සිදු කිරීම ඇමැතිවරුන්ගේ වගකීමක් බව ද සඳහන් කරමු.

ඒ සමඟ පැවැසිය යුත්තේ අපේ රට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා පැමිණ ඇති ගමනේදී සුවිශේෂී ජයග්‍රහණ ද ලබා තිබෙන බවය. දකුණු ආසියාවේ සාක්ෂරතාව, අධ්‍යාපනය, තාක්ෂණය, සෞඛ්‍යය සහ සංචාරක ව්‍යාපාරය වැනි විෂයන් අතින් අපට ආඩම්බර විය හැකි ජයග්‍රහණ ගණනාවක් තිබේ. ඒ බව සිහියේ තබා ගනිමින් ආර්ථිකය හරි පැත්තට පෙරළා ගැනීමට උත්සාහ කළොත් අපට වරදින්නට හේතුවක් නැත. ඒ වගකීම ඇත්තේ රට කරවන නායකයන් අතේය.