මහා භාණ්ඩාගාරයට බරක්ව පවත්නා රාජ්‍ය ආයතන 10කට තවත් වසර තුනකට පසු රජයෙන් ලබාදෙන සහනාධාර අත්හිටුවීමට තීන්දු කර ඇත. වසර තුනක් ඇවෑමෙන් එම ආයතනවලට ස්වාධීනව නැඟී සිටීම සඳහා සැලසුම් සහගතව ක්‍රියා කරන ලෙස දැනටමත් රජය දැනුම් දී තිබේ. ඒ සඳහා වන සාමූහික අභිලාෂ ගිවිසුමට පසුගියදා එම ආයතන ප්‍රධානීහු, අමාත්‍යංශ ලේකම්වරු හා භාණ්ඩාගාර නියෝජිතයෝ අත්සන් තැබූහ. මෙම ආයතන 10 වන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, පතල් කැණීම් හා ඛනිජ සම්පත් සංවර්ධන සංස්ථාව, ලංකා සතොස, රාජ්‍ය වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගමයි.

හිඟ අයවැයකට වග කියන රටක් ලෙස ආණ්ඩුව මෙලෙස රාජ්‍ය ආයතන සහනාධාර බරින් නිදහස්වීම කළමනාකරණ පැත්තෙන් ගත්කල ඉතා ප්‍රශස්ත තීන්දුවකි. මෙම ආයතනවලින් බොහොමයක් ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ආයතනයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව, ලංකා සතොස, නාගරික සංවර්ධන අධිකාරිය ඊට උදාහරණ කිහිපයකි. එහෙත් රාජ්‍ය වාණිජ ආයතන දිගින් දිගටම අයවැයට බරක් වන්නේ නම් ආණ්ඩුවට තමන්ගේ ආර්ථික යුද්ධය ජය ගැනීම පහසු වන්නේ නැත. රටේ ආර්ථික වර්ධන වේගය 3.2%ක් තරම් පහළ ප්‍රතිශතයක පවතී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සමස්ත වාණිජ අංශයේම කටයුතු දැඩිලෙස මන්දගාමී තත්ත්වයට පත්ව තිබියදී ආණ්ඩුව සහනාධාර බරින් නිදහස් වීමට දරන සුළු ප්‍රයත්නයක් වුව ද දිරිගැන්විය යුතුය.

බැලූ බැල්මට මෙම තීරණය රටට හිතකර සුබවාදී තීන්දුවක් බව පෙනුණත් මෙහි අප්‍රකට පැත්තක් ද තිබේ. ඒ බව වගකිවයුත්තන් මෙතෙක් රටට කියා නැත. එහෙත් ඒ බව මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාවල සඳහන්ය. වර්ෂ 2017දීත් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන පහක් වසර තුනකට පසු මෙලෙසම රාජ්‍ය ආධාරවලින් තොරව ස්වාධීනව යැපීම සඳහා ගිවිසුම් ගතවිය. එම රාජ්‍ය ආයතන 5 වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපොළ, ගුවන් සේවා සමාගම, ජල සම්පාදන මණ්ඩලය හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යන ආයතනයි. ඔවුන් අත්සන් කළ සාමූහික අභිලාෂ ගිවිසුම අනුව ලබන වසරේ එනම් 2020 සිට මෙම ආයතන ස්වාධීනව රාජ්‍ය ආධාරයෙන් තොරව නැඟී සිටිය යුතුය. එහෙත් මෙකී ආයතනවල 2018 ශේෂ පත්‍ර පරීක්ෂා කරනවිට එදා අත්සන් කළ සාමූහික අභිලාෂ ගිවිසුම නිකම්ම නිකම් ලියවිල්ලක් බවට පත්ව ඇති බව සඳහන් කරන්නේ සංවේගයෙනි.

2020 මූල්‍ය ස්වාධීනත්වය ලබාගන්නවා යැයි කී රාජ්‍ය ආයතන 5න් ලංකා විදුලිබල මණ්ඩලය 2018දී ලැබූ පාඩුව රුපියල් බිලියන 30කි. මෑත ඉතිහාසයේ පළමුවරට 2018දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 15ක පාඩුවක් ලැබීය. ජල සම්පාදන මණ්ඩලය රුපියල් මිලියන 568ක පාඩුවක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 17ක පාඩුවක්ද ලැබූ බව එම ආයතනවල ගිණුම් වාර්තා පරීක්ෂා කරනවිට පෙනේ. එදා සාමූහික අභිලාෂ ගිවිසුම් අත්සන් කළ ආයතන 5න් 2018දී ලාභ ලැබූ එකම ආයතනය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පමණි. එම ආයතනය රුපියල් බිලියන 10ක වාර්ෂික ලාභයක් වාර්තා කිරීම ගැන එහි කළමනාකරණ මණ්ඩලය ප්‍රශංසාවට පාත්‍ර විය යුතුය. 2020 වනවිට මූල්‍ය ස්වීයත්තතාව ලබනවා යැයි ගිවිසුම්ගතවූ සෙසු ආයතන 4 පාඩුව කලින් තිබුණාටත් වඩා ඉහළ ගොසිණි. එසේනම් අත්සන් කළ සාමූහික කළමනාකරණ ගිවිසුම යථාර්ථයක්දැයි ප්‍රශ්න කරනු වටී.

රාජ්‍ය ආයතන පාඩු ලැබීම සුබ සාධක රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කරන රටක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස ඇතැම් විද්වත්හු අර්ථකථනය කරති. සෞඛ්‍ය අධ්‍යාපනය, දරිද්‍රතාව තුරන් කිරීම, ප්‍රවාහනය, විදුලිය හා ජල සම්පාදනය ආදී අත්‍යවශ්‍ය මහජන කටයුතුවලදී රාජ්‍ය දායකත්වය ඉතා ඉහළය. එනිසා ඇතැම් අවස්ථාවලදී පාඩු විඳින්නට සිදුවීම ස්වභාවිකය. එහෙත් මෙරට ක්‍රියාත්මක වන ලාභ දේශපාලන ක්‍රියාන්විතය තුළ දේශපාලන බලවතුන් ලබාදෙන ඡන්ද පොරොන්දු ඉටු කිරීමට රාජ්‍ය ආයතන උපයෝගී කර ගැනීම කවුරු ආණ්ඩුව කළත් නොනවතින ක්‍රියාවලියකි. ඒ අනුව ඇතැම් රාජ්‍ය සංස්ථා මණ්ඩලවලට තමන්ගේ අය පිරවීම සිරිත් වශයෙන් සිදුවෙයි. ලංගමය, දුම්රිය සේවය, වරාය අධිකාරිය ආදී ආයතනවල සෑම ආණ්ඩුවක් යටතේම අසීමිත ලෙස දේශපාලන පත්වීම් සිදුකළ බව නොරහසකි.
මෙලෙස සේවකයන් පුරවා අතිරික්ත තත්ත්වයට පත්කොට ඇති බොහෝ ආයතන ශුද්ධ පාඩුවට යටත් වූ ඒවාය. මහා භාණ්ඩාගාරය ඔවුන්ට මුදල් පොම්ප නොකළොත් ආයතනය හාන්සිය. පසුගිය වසර ගත්කල ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් බිලියන 104කි. තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව බිලියන 5කි. දුම්රිය සේවය රුපියල් බිලියන 7ක ශුද්ධ පාඩුවකට යටත්ව මගී ප්‍රවාහනය කරයි. මේ සියලු_ පාඩු පියවන්නේ ජනතාව මිලට ගන්නා සීනි රාත්තල, පරිප්පු කිලෝව ආදියෙන් ලබන බදු මුදලිනි.

එහෙත් අප කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයට ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් සී.ටී.බීය බොහෝ කාලයකට පසු රුපියල් බිලියන 2ක ලාභයක් ලැබීය. ඒ පිළිබඳව ගිණුම් වාර්තාවල සඳහන් වෙයි. එකල ලංගමයේ සිටි සභාපතිවරයා ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයේ කාර්ය සාධන ප්‍රශස්තතාව එකී ලාභය ලබා ගැනීමට හේතු වූ බව නොරහසකි. එහෙත් කනගාටුවට කරුණ මෑත ඉතිහාසයේ ප්‍රථමවරට ලංගමයට ලාභය වාර්තා කළ සභාපතිවරයා විෂය බාර දේශපාලන බලධරයා විසින් හිටිහැටියේ සේවයෙන් ඉවත්කර දමනු ලැබීමයි. එනිසා ආයතන කළමනාකරණයට දේශපාලන අතපෙවීම් කොතරම් ව්‍යසනකාරී ලෙස බලපාන්නේදැයි වටහා ගැනීමට 2019 ලංගමයේ ශේෂ පත්‍රය ප්‍රකාශයට පත්වන තෙක් බලා සිටිය යුතුය.

ආණ්ඩුවේ රාජ්‍ය ආයතන සැකසුම් ව්‍යූහය අනුව රජයට අයත් සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සමාගම් සියල්ල ගත්විට එහි එකතුව 442කි. මෙයට අයත් නොවන සමස්ත රාජ්‍ය දෙපාර්තමේන්තු සංඛ්‍යාව 75ක් පමණය. එයින් ඉහළ ඵලදායීත්වයක් ඇතිව ලාභ උපයන ආයතන ඇත්තේ ඉතා ස්වල්පයකි. රාජ්‍ය බැංකු රක්ෂණය සහ තවත් සේවා සපයන ආයතන කිහිපයක් මේ ගණයට අයත් වේ. වාණිජමය වශයෙන් භාණ්ඩ සහ සේවා අලෙවි කරන රාජ්‍ය ආයතන 54ක් ආණ්ඩුවේ පාලනයට යටත් බවද මෙහිදී සිහි කටයුතුය.

එනිසා කවර සාමූහික ගිවිසුම් අත්සන් කළ ද මෙකී රාජ්‍ය වාණිජ ආයතන ආර්ථික වශයෙන් ඉහළ ඵලදායීතාවක් අත්පත් කරගැනීමට නම් මනා කළමනාකරණ සැලසුමකින් යුතුව මෙහෙයවීම කාලීන අවශ්‍යතාවකි. රාජ්‍ය ආයතන කළමනාකරණය පටු දේශපාලනයෙන් මුදවාගැනීම මෙහිදී මුඛ්‍යතම කාර්යභාරය වියයුතු බව ද අවධාරණය කරමු.