(හේමලතා ඩී හේවගේ)                     

පවතින කොරෝනා වසන්ගතය හමුවේ රසකැවිලි ආශ්‍රිත නිෂ්පාදන සකසන හා ඒවා අලෙවි කර මුදල් උපයන ව්‍යාපාරික ප්‍රජාව එම ව්‍යාපාර පවත්වාගෙනයෑමට ස්ථානයක් නොමැතිකමින් ආර්ථික දුෂ්කරතාවට පත්ව ඇති බව ඔවුහු පවසති.

කතෝලික දේවස්ථානවල සහ නොයෙකුත් උත්සව අවස්ථා පවත්වන ස්ථානවල ව්‍යාපාරික කටයුතුවල නිරතවූ මෙම පිරිස අද වනවිට එම උත්සව හා දේවස්ථාන ආශ්‍රිත පොළවල් නොපැවැත්වීම නිසා තම ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමට නොහැකිවී සිටිති.

රජය විසින් පාසල්, සතිපොළ, පොදු ප්‍රවාහන සේවාවන්, විවාහ මංගල උත්සව ආදී නොයෙකුත් අංශ වෙත මහජන ගැවසීම සීමාකර තිබියදී තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකසා නොදීම බලවත් අසාධාරණයක් බවද ඔවුහු කියති. කළු දොදොල්, මස්කට් ඇතුඵ රසකැවිලි තොග වශයෙන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ව්‍යාපාරික කටයුතුවල නිරතවන දංකොටුව දකුණු ගෝනවිල පදිංචි චමින්ද කුරේරා මහතා තම ව්‍යාපාරයන්ට අද අත්ව ඇති ඉරණම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“පරම්පරා තුනක ඉඳන් තමයි අපි මේ රසකැවිලි හදන්නේ. මගෙ පියා, පියාගෙ පියා, අද මම. එහෙම කරගෙන ආපු කර්මාන්තයක් තමයි අද වෙද්දි අක්‍රිය මට්ටමේ තියෙන්නේ. 2019 වසරේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාර නිසා අපි බැට කෑවා. ඒකවෙලා අවුරුද්දක් ගියේ නැහැ මේ කොරෝනා වසන්ගතය ආවා. පළමු රැල්ල ඇවිත් රට සාමාන්‍ය තත්වයට එනකොට දෙවනි කොරෝනා රැල්ල ආවා. අදවෙද්දි කොරෝනා වසංගතය පැවැතුණත් රට සාමාන්‍යකරණය වෙලා. නමුත් අපේ ව්‍යාපාරවලට තවම ඉඩක් ලැබිලා නැහැ. සතිපොළවල ව්‍යාපාර කටයුතු සිදුවෙනවා. නමුත් අපි තවම ගෙදර. මේ ව්‍යාපාරය සිදුකරන පිරිස ගැන කාගෙවත් අවධානයක් යොමුවෙලා නැහැ. රසකැවිලි පමණක් නෙමෙයි උත්සව-පොළවල් වටේම සිටින අනෙකුත් ව්‍යාපාරිකයොත් අද අන්ත අසරණ වෙලා. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබලා ඔය කියන සෞඛ්‍ය නීතිරීති වලට අනුකූලව අපේ මේ ව්‍යාපාර කරගෙන යන්න අවස්ථාව සලස්වලා දෙන්න කියලයි.”   

                                         

මාරවිල පදිංචි මනුසත් බොදු කිතුණු ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද කුමාර ජයසිංහ මහතා මෙසේ පැවසීය.

“වසර දහයක වැනි කාලයක ඉඳන් මමත් මේ ව්‍යාපරයේ යෙදෙනවා. පල්ලි මංගල්ල, පංසල්වල තියෙන ආගමික උත්සව, දේවාල මංගල්ල ඇතුඵ සැණකෙළි තියෙන ස්ථානවල තාවකාලික වෙළඳසැල් ඉදිකරගෙන සංචාරක ව්‍යාපාරිකයන් විදිහට තමයි අපි වෙළඳාම් කරන්නේ. සෘජුව සහ වක්‍රව රැකියා විශාල ප්‍රමාණයක් බිහිකිරීමට දායක වී ඇති අපි ඇත්තටම ව්‍යවසායකයින් කියලා කිව්වොත් නිවැරදියි. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී රජයට බදු මුදලක් ගෙවනවා වගේම කවදාවත් අපි රජයෙන් සහන ඉල්ලුවේ නැති ප්‍රජාවක්. ගොවියාගේ නිෂ්පාදන මිලදී ගන්නවා වාගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දරලා තියෙනවා. මම කරන්නේ දේශීය අලවලින් කරන නිෂ්පාදනයක්. කොවිඩ් කියන ඔය කාරණාව ඇතුලෙ අපි පිළිගන්නවා රටේ සෞඛ්‍ය නීතිරීතිවලට යටත්ව මේක කරන්න ඕනා කියලා. ඒ ගැන කිසිම විරුද්ධතාවයක් නැහැ. අපි කියන්නේ අපිටත් අපේ ජීවිත ගැටගහගන්න, අපේ රැකියා අවස්ථාවට ඉඩක් ලබා දෙන්න කියලා. ගොඩක් දෙනෙක් අද වෙද්දි තමන්ගෙ වාහනයක් ගෙදර තියාගෙන කුලීවැඩ කරන එක තමයි කරන්නේ. අපි අදාල බලධාරීන්ගෙන් ඉලලන්නේ සහන නෙමෙයි. අපේ රක්ෂාව කරන්න පුඵවන් වටපිටාව සකසලා දෙන්න කියලයි”

සංචාරක වෙළඳුන් සඳහා මහා පරිමාණයෙන් විවිධ රසකැවිලි වර්ග නිෂ්පාදනය කර තොග වශයෙන් බෙදාහරින වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි හැරලඩ් ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා මෙසේ කීය.                                             

“පුහුල්දෝසි, පැණිබුන්දි ආදී රසකැවිලි රැසක් වසර පහක කාලය සිට මමත් නිෂ්පාදනය කරනවා. මේ කොරෝනා වසංගතය නිසා අද අපේ ව්‍යාපාර අහිමිවෙලා. අපෙන් බඩු ගන්න සියලු දෙනාගෙම වෙළඳාම නතරවෙලා. අද අපිට බැංකුවලින්, ලීසිං සමාගම්වලින් එන ගැටලුවලට මුහුණදීමට නොහැකි තත්වයක් උදාවෙලා. මා ගාව සේවකයෝ 15ක් විතර වැඩකළා. බාස්ලා හතර පස්දෙනෙකු සමඟ විශාල ආයෝජනයක් කරලා මහා පරිමාණයෙන් විවිධ රසකැවිලි වර්ග විශාල ප්‍රමාණයක් මම හැදුවා. අද ඒ දේවල් සියල්ල අතහැරදාලා තියෙන්නේ. දැන් ඉන්නේ සේවකයන් දෙදෙනයි. සහරාන්ගෙ බෝම්බ ප්‍රහාරය එල්ලවුණු අවස්ථාවෙත් අපි මේ ගැටලුවට මුහුණදුන්නා. කටුවපිටිය පල්ලියේ මංගල්ලය කියන්නේ අපේ වෙළෙන්දන්ගේ හොඳම ස්ථානයක් තමයි. මේ බෝම්බ සිද්ධිය නිසා ඒක අහිමිවුණා. ඊට පස්සෙ කොරෝනා වසන්ගතය. නමුත් අපේ සියලු ම ව්‍යාපාරිකයන් අර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිකුත් කරන වෛද්‍ය සහතික පත්‍රය ඇතුව තමයි වෙළඳාම් කරන්නේ. මමත් රජයෙන් සහ අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂක නීති රීති යටතේ අපේ මේ ව්‍යාපාරය කරගෙන යන්න අවස්ථාව සලසලා දෙන්න කියලයි”

මාවල නාත්තනඩිය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාද සංචාරක ව්‍යාපාරිකයෙකු ලෙස රසකැවිලි අලෙවි කරන්නෙකි. ඔවුන් අදවනවිට මුහුණපා ඇති තත්වය පිළිබඳව ඔහු විස්තර කර සිටියේ මෙසේය.                                           

“වසර 25ක් වැනි කාලයක පටන් මමත් මේ රසකැවිලි අලෙවි කිරීමේ නිරත වෙනවා. වසර තුනක කාලයක ඉඳන් අපිට මේ වෙළඳාම් නිසියාකාරව කරන්න ලැබිලා නැහැ. කොරෝනා නිසා මිනිසුන්ගේ දෛනික ජීවිත, ව්‍යාපාර වැනි ගොඩක් දේවල් වෙනස්වුණා. නමුත් අද වෙද්දි රට යම්තාක් දුරට හරි සාමාන්‍යකරණය වෙලාත ගුවන් තොටුපළ ඇරලා. සංචාරකයෝ පැමිණෙනවා. පාසල් ඇරලා. සියලු අත්‍යවශ්‍ය සේවාවන් සිදුවෙනවා. ඒ ආකාරයෙන් එම දේවල් සිදුවුණාට මංගල්ල- පොළවල්වල කඩ දැමීම නතර කරලා. මට කරන්නම දෙයක් නැති නිසා පාර අයිනේ පොඩි භූමියක් කුලියට අරගෙන වෙළඳාම් කරනවා. කුලියයි ලයිට් බිලයි රසකැවිලිවල මුදලුයි ගෙව්වහම මට ඉතුරුවෙන්නේ සොච්චම් මුදලයි. ඒක අපේ පවුලේ හතරදෙනාට ජීවත්වෙන්නත් මදි. අද අපි ගොඩක් අසරණ වෙලා. අතිගරු ජනාධිපතිතුමාට මම කියන්නේ අපේ මේ ව්‍යාපාරය කරන්න උත්සව අවස්ථාවන්වල කඩවීදි පවත්වාගෙන යන්න ඉඩ ලබාදෙන්න කියලයි”  යැයි පැවසීය.