ජනබලයෙන් වුණේ කුමක්ද සහ ඒ සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ජනබලයේ පසු තක්සේරුව මොකක්ද?

පිළිතුර:- ලංකා උද්ඝෝෂණ ඉතිහාසයේ මෙතෙක් වැඩිම කාලයක් වැඩිම සෙනඟක් සහභාගි වූ උද්ඝෝෂණය ජනබල මෙහෙයුමයි. ඒ වගේම පාලකයන් වැඩියෙන්ම බය වූ උද්ඝෝෂණයත් එයයි.

ප්‍රශ්නය:- එහෙත් දියාරු උද්ඝෝෂණයෙන් පොහොට්ටු​ෙව් ජනබලය නැති වුණා කියා අගමැතිවරයා කිව්වා නේද?

පිළිතුර:- එ.ජා.ප.ය එවැනි චෝදනා නොකර වෙන මොනව කියන්නද? 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ පැවැති රැස්වීමෙන් පසුවත් ඔය වගේම කතා කිව්වා. පන්දහසක්වත් ආවෙ නෑ කිව්වා. විවිධ තර්ක ඉදිරිපත් කළා. කොටු ගහලා පෙන්නුවා. 2017 මැයි 1 වැනිදා ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයෙන් පසුවත් ඔය පන්නයේ ඔය භාෂාවේ නොයෙකුත් චෝදනා කළා. එ් නිසා ඔය චෝදනාවල වලංගුභායක් නෑ.

මේ උද්ඝෝෂණය ගැන ආණ්ඩුව කිව්වේ ​මොකද්ද? කරුණු දෙකක් වහගන්න ආණ්ඩුවට තිබෙනවා. එ.ජා.පයේ 72 වැනි සම්මේලනය අතිශයින්ම අසාර්ථකයි. එ.ජා.ප මන්ත්‍රීවරු පවා ඒක වර්ජනය කර තිබුණා. හාරසියයක්වත් නියෝජිතයන් ගෙන්ව ගන්න බැරි වූ සම්මේලනයක්. ඒක වහගන්න මොනව හෝ කියා ගන්න ඕන. ඒක එකක්. අනෙක් පැත්තෙන් ජන බලය කොළඹට එන්නේ විශේෂ අධිකරණයේ තිබෙන ලිපිගොනු උදුරා ගන්න, එෆ්.අයි.ඩීය වටලා එහි ලිපි ගොනු ගන්න කියලයි ආණ්ඩුව කිව්වේ. ඒ සියල්ල මිත්‍යාවක් බවට පත්වුණා. අපේ ඉතිහාසයේ ඉතාම අහිංසාවාදී කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් නොවුණු කිසි ලෙසකින්වත් රාජ්‍ය දේපළවලට හානි නොවුණු අතිදැවැන්ත ජනතාවක් සහභාගි වූ උද්ඝෝෂණය ජනබලයයි. මේ තත්ත්වය හමුවේ ආණ්ඩුව චෝදනා නොකර වෙන මොනව කියන්නද?

ප්‍රශ්නය:- රටේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තිබෙද්දී ජනබල මෙහෙයුම් මොකටද?

පිළිතුර:- පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයට ජනමතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි හැට නම දෙනකුට තිබෙන කාලය ජ.වි​.පෙ. හය දෙනකුට තිබෙන කාලය හා සමානයි. ටී.එන්.ඒ. දහයට තිබෙන කාලයත් ඒ හා සමානයි. දියවන්නාවෙන් එළියට ගොස් අපේ මතය ප්‍රකාශ කරන්න වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයේ බිත්තියට තදවෙලා. ඒකාබද්ධයට ජනමතය රටේ මතය ගොඩනගන්න වේදිකාවක් හදන්න වෙනවා. ආණ්ඩුව කළ හැකි සියලු සතුරුකම් කරනවා. ජනපති අගමැති තෝරාන්න ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ. කටයුතු කළා. ඒ වෙනුවෙන් ජනපති සහ අගමති ඔවුන්ට විපක්ෂ නායක කම සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කම දුන්නා. විපක්ෂය ඇවිත් අගමැති බේර ගන්නවා. මේක හරියට ලබුයි බතුයි, බතුයි ලබුයි වගේ. මහජන මතය ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ.

ආර්ථිකය විනාශ මුඛයට ඇවිත්. විපක්ෂ නායක ප්‍රමුඛ විපක්ෂය මේ ගැන කතා කරනවාද? පසුගිය දින දහය ඇතුළේ පමණක් රුපියලේ අගය රුපියල් තුනකින් අවප්‍රමාණය වෙලා. මේ ආණ්ඩුවේ වසර තුනකුත් මාස අට ඇතුළේ රුපියල් 31 කින් රුපියලේ අගය අවප්‍රමාණය වෙලා. ලංකාවේ විදේශ ණය ඩොලර් බිලියන හයක් පමණ වෙනවා. එක් රුපියලකින් ඩොලරයේ අගය වැඩි වූ විට ඒ නිසාම අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රු. බිලියන 30 කින් වැඩි වෙනවා. ගෙවුණු දින දහයේදී රුපියල අවප්‍රමාණයෙන් පමණක් වැඩි වූ ණය ප්‍රමාණය රු. බිලියන 90ක්. ආර්ථිකයේ තිබෙන බරපතළ තත්ත්වය බලන්න. ආර්ථිකය දැන් කනත්ත ළඟට ඇවිත්. මේවා ගැන ප්‍රධාන විපක්ෂය නිහඬයි. ඔවුන්ට උද්ඝෝෂණ කරන්න බැහැ. එ් නිසා ඒ හඬ මාර්ගයකවත් මතු වෙන්න ඕන.

ප්‍රශ්නය:- ආණ්ඩුව කලබල නොවී සූක්ෂමව කටයුතු කර උද්ඝෝෂණයට ඉඩ දුන්නා. කිව්වොත් ඔබේ පිළිතුර මොකද්ද?

පිළිතුර:- ආණ්ඩුව අපේ සැලසුමේ ඉතාම ලස්සනට ගොදුරු වුණා. අපි නිශ්චිත තැනක් නොකියූ නිසා ආණ්ඩුව විවිධ කටකතා ඔස්සේ ගියා. ආණ්ඩුවට තිබෙන්නේ ජල ප්‍රහාරක බවුසර් අටයි. එයින් එකක් කැඩිලා. පාර්ලි​ෙම්න්තුව වටලන්න එන බව එක් අයකු කිව්වාම කැරැලි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක බවුසර් එතැනට යෙදෙව්වා. අරලියගහ මන්දිරයට ජනබලය එන බව තව සමහරු කිව්වා. ඒ අනුව අරලියගහ මන්දිරය දෙපැත්තෙත් කැරැලි මර්දන කණ්ඩායම් සහ ජල ප්‍රහාරක යෙදෙව්වා. ජනාධිපති නිල නිවස පැත්තෙත් කණ්ඩායමක් සිටියා. අධිකරණය පැත්තෙත් සිටියා. මේ නිසා ආණ්ඩුවේ ප්‍රහාරක බල ඇණි බෙදිලා ගියා. අපි ලේක් හවුස් වටරවුමට එන බව දහවල් 12 පමණ වනවිට දැනගත්තත් අර තැන් දමා ඒමේ පොඩි බයක් ආණ්ඩුවට තිබුණා. අපි කළේ අත්හද‌ා බැලීමක්. ඒක හැම පැත්තෙන්ම සාර්ථකයි. අපි ආණ්ඩුව මැන්නා. අපේ ජනතාවගේ ශක්තිය මැන්නා. පොලිසිය හරියට කියවා ගත්තා. පොලිසියේ උපක්‍රම තෝරා ගත්තා. අපේ ඊළඟ අදියරට හොඳ පදනමක් මෙයින් හදා ගත්තා. මේක අපට හොඳ අධ්‍යයනයක්.

ප්‍රශ්නය:- ඔබලා එන්නේ බිලි පූජාවකට බවත් ඒ උගුලේ ආණ්ඩුව හසු නොවන බවත් මංගල ඇමැතිවරයා මුලින්ම කිව්වා. එහෙම බැලුවාම ඔබලා අසාර්ථක නැතිද?

පිළිතුර:- එතුමාගේ කතා ගැන විග්‍රහවලට යාමට තරම් අපි පහළ වැටෙන්න ඕන නෑ. එතුමා ඉතිහාසයේදී රනිල් වික්‍රමසිංහට, චන්ද්‍රිකා, ප්‍රේමදාස, මහින්ද යන මහත්ම මහත්මීන්ට එරෙහිව කිව්වේ මොනවද? මෛත්‍රී ජනපති වෙන්න කලින් ඔහුට එරෙහිවත් වැඩ කළේ එලෙසමයි. මෙයා කියන කතාවලට ගමේ භාෂාවෙන් කියන්නේ කට කැඩිච්ච කතා කියලයි. ජාතික මාධ්‍යයක් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න ඕන කියා මම සිතන්නේ නැහැ.

ප්‍රශ්නය:- කා බී පාරේ නැටීම ඇත්ත ජනතා විරෝධය නොවන බවයි ජ.වි.පෙ. ​ෙචා්දනාව. ඒ ගැන කියන්නේ ​ෙමාකක්ද?

පිළිතුර:- ලක්ෂ ගණනක් ආපු තැනක හතර පස් දෙනකුගේ ක්‍රියාකලාපය සමස්තයට ගලපන්න යාම ඛේදජනක දේශපාලනයක්. ජ.වි.පෙ. ශිෂ්‍ය පදනම බිඳවැටිලා. වෘත්තීය සමිති පැත්තෙත් ලොකු අර්බුද. එ්නිසා ජ.වි.පෙ.ට උද්ඝෝෂණවලට ජනතාව කැඳවා ගැනීමේ අපහසුතාවක් ඇති. මම එහෙම සැකකරනවා. කොහොම වුවත් එතුමන්ලා මේ කරන ප්‍රකාශය ඔවුන්ගේ දේශපාලන දැනුමේ ප්‍රකාශනයක් මිස සමස්තය නෙමෙයි.

ප්‍රශ්නය:- තැනක් නියමයක් නැතිව ජනබලය හතර අතේ යන තත්ත්වයක් තිබුණේ ඇයි? නිශ්චිත තැනක් නොතිබුණේ ඇයි?

පිළිතුර:- අපි ක්‍රීඩාංගණ පහක් වෙන් කළ බව ආණ්ඩුවට කිව්වා. එහෙම නම් නිශ්චිත තැනක් නැහැ කියන්නේ ඇයි? අපි ක්‍රීඩාංගණ පහක් වෙන් කළේ ඒ සභාවට හෝ එයින් එකකට එන්න ​ෙන්. උද්ඝෝෂණ වෙනුවෙන් තැන් වෙන් කිරීමක් කොහේවත් නැහැ. අපි වාඩාත් ශීලාචාරව ප්‍රධාන ක්‍රීඩාගණ පහක් වෙන් කළා. ඒ නිසා අපි එනතැන් ගැන පූර්ව නිගමනයක් ගැනීමේ ඉඩ තිබුණා. ඩ්‍රෝන කැමරාවලට පොලිසියේ අවසර ගන්න ඕන. අපි තැන් හයකට ඒ අවසර අරගෙන තිබුණා. ඒ අනුව අපි එන්නේ කොහාටද කියා ඕන පොඩි ළමයකුට තේරුම් ගන්න පුළුවන්.


මේ ​ආණ්ඩුව ගෙදර යවන්න අපට හොඳ මාර්ග සිතියමක් තිබෙනවා. පෙබරවාරි 10 ඉටුකර ගත්තේ එහි පළමු පියවරයි. ගමේ බලය අත්පත් කර ගත්තා. සැලසුමේ අංක දෙක හැටියට ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කළා. එ​ෙස් කර ශ්‍රී.ල.නි.ප. පතුරකුත් ගැලෙව්වා. අංක තුන හැටියට අගනුවර අත්පත් කර ගැනීම පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා. අපේ සැලසුමේ තව අදියර දෙකක් තිබෙනවා. අපි ඔබේ පාඨකයන්ට කියන්නේ ඒ අදියර දෙක දිහා බලාගෙන ඉන්න, අපට ඒකට උදව් කරන්න කියලයි.

පසුවදාට පාරේ කුණු කන්දල් පෙන්නන්න රූපවාහිනී කැමරා යොදවා තිබුණා. මිනිස්සු යොදවා තැන් තැන්වල මළපහ කරවා ඒවා අපේ පැත්තට හැරවීමට ආණ්ඩුව සැලසුම් කළා. රාජ්‍ය දේපලවලට ගල් ගසා කුඩු කර ඒවා අපි කළ බව පෙන්වන්න හැදුවා. ඒත් ඒවා සියල්ල අසාර්ථක වුණා. පොදු දේපල විනාශ කරන අයට මරණ දඬුවම දෙන බව ජනාධිපතිවරයා කිව්වෙත් පූර්ව නිගමනයක් ඇතිවයි. මේ සියලු දේ මිථ්‍යාවන් වුණා. පූර්ව නිගමනවලට ගිය සියලු දෙනා පට්ටපල් බොරුකාරයන් වුණා. ආණ්ඩුව කොතරම් දුෂ්ට වුණාද කියනව නම් ගම්වල ඉඳන් ඇවිත් අව්වේ සිටි මේ අහිංසක මිනිස්සුන්ට යම් යම් විස එන්නත් කර කිරි පැකට් බෙදීමට තරම් මේ අයගේ දේශපාලනය බංකොළොත් වී තිබුණා. ඒකත් ලංකා ඉතිහාසයේ වාර්තාවක්. තමන් මරන්න ආපු කොටි ත්‍රස්තයට අභයදානය දුන්නා කියන ජනාධිපති යටතේ ඇති ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයකට පැමිණි ජනයාට වස විස දමා කිරි පැකට් දෙනවා. මේක අපේ ඉතිහාසයේ කළු ලපයක්. ආණ්ඩුව මේ තරම් බංකොළොත් වුණේ ඇයි කියා සිතා ගන්න බැහැ.

ප්‍රශ්නය:- එස්.බී. ඇමැතිවරයා කියන හැටියට ජනබලයට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලැබුණද?

පිළිතුර:- එතුමා ශ්‍රී.ල.නි.ප. භාණ්ඩාගාරික හැටියට එතුමාට හෝ ඔහුගේ යහළුවන් පිරිසට කුමන හෝ සහයෝගයක් තිබුණද කියන්න මම දන්නේ නැහැ. එහෙම නැතුව ජනබලය කොළඹට ව්‍යාපෘතියට ජනපතිගෙන් කිසිදු සහයෝගයක් ලැබිලා නැහැ. අපි සහයෝගයක් ඉල්ලලත් නැහැ.

ප්‍රශ්නය:- ඒකාබද්ධයේ නායකත්ව අර්බුදය ජනබලයෙන් එළියට පැන්නා නේද?

පිළිතුර:- ඔවැනි කතා ඇසෙනවා. ඒවාට සිනාසෙනවා. හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඔබේ කාර්යාලයේ තිබෙන පසුගිය තෙමසක පුවත්පත්වල පිටු පෙරළන්න. ඒකාබද්ධ විපක්ෂය බිඳ වැටේ. ඒකාබද්ධ විපක්ෂය කුඩේ කුඩු. ඒකාබද්ධයේ 20ක් ආණ්ඩුවට. ඒකාබද්ධයෙන් 12ක් ආණ්ඩුවට. ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම්. මෙවන් සිරස්තල පසුගිය කාලයේ කොයිතරම් නම් වාර්තා කළාද? ගෙවුණු වසර තුනේම ආණ්ඩුව මේ සිහිනය දකිනවා. අපට තිබෙන්නේ ඔවුන්ට තව තව සිහින දකින්න සුබ නින්දක් ප්‍රාර්ථනා කිරීම පමණයි. විවිධ කතා කියූ අය කඩාගෙන ඇවිත් අපේ පැත්තේ නතර වුණා මිස වෙන මොකුත් වෙලා නැහැ.

ප්‍රශ්නය:- ජනබලයෙන් කෙරුණේ ඒකාබද්ධයේ නායකයා ලෙස නාමල් රාජපක්ෂ භෞතීස්ම කිරීමද?

පිළිතුර:- රටේ අගමැතිතුමා ඔය වගේ කතා කියන තැනට පත්වීම ඇත්තටම කණගාටුවට කරුණක්. ඒකාබද්ධයේ තරුණ මන්ත්‍රී කණ්ඩායමට යම් වගකීමක් පවරන්නේ ඒකාබද්ධයේ සියලු පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කළා. මේ වැඩේ ඔවුන්ට පැවරුවේ ඒ අනුවයි. එතන ඉන්නේ නාමල් පමණක් නෙවෙයි. කිසිදු දේශපාලන පක්ෂයක් පවරන්නේ නැති අභියෝගාත්මක වගකීමක් අපි අ​ෙප් තරුණ පෙළට පැවරුවා.

ඔවුන් අකුරටම එය ඉටු කළා. තරුණයන්ට වගකීම් පවරන්නේ නැති අයට මේක විහිළුවක් වගේ පෙනීම පුදුමයට කාරණයක් නෙමෙයි. තිබෙන්නේ කනගාටුවක්. මම දෙදහස් තිහේදී තරුණයන්ට පක්ෂය බාර දෙන බව අගමැතිවරයා කියනවා. මේක තමයි වෙනස. ලංකාවේ තිබෙන ඕනම දේශපාලන පක්ෂයක තරුණ කණ්ඩායම් අතරේ ශක්තිමත්ම නිර්භීතව වඩාත්ම කැපවූ තරුණ කණ්ඩායම් ඒකාබද්ධ විපක්ෂයේ සිටීම ගැන එහි ජාතික සංවිධායක හැටියට මම ආඩම්බර වෙනවා. ඔවුන් ඔවුන්ගේ වගකීම අකුරටම ඉටු කළා. එය සමච්චලයට ලක් නොකර අඩුපාඩු පෙන්නා දී ඉදිරියට ගන්න ඕන. මේ කොල්ලො කළ ටික වසර විසි ගණනක් විපක්ෂයේ සිටි නායකයන්ට කරන්න පුළුවන් වුණාද?

ප්‍රශ්නය:- ආපසු නොයන්න කොළඹ පැමිණි ජනබලය මධ්‍යම රාත්‍රිය වන විට ගියේ ඇයි?

පිළිතුර:- මේකෙ සාහිත්‍යයකුත් තිබෙනවනේ. අ​ෙප් මාර්ග සිතියමේ තුන්වැනි අදියරේ යම් සැලැස්මක් තිබුණා. අපි ආයුධ අතට අරගෙන ආවේ නැහැ. අපි කළේ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, අහිංසාවාදී සත්‍යග්‍රහයක්. ගමේ භාෂාවෙන් කියනවා නම් අපි මුට්ටිය දාලා බැලුවා. අපේ සැලසුම් කොතරම් සාර්ථක වුණාද කියලා. ජනබලය එන තැන දන්නවද කියා මාධ්‍ය ආයතනවලට කතා කර පොලිසිය බාර ඇමැතිවරයා විමසීමෙන් පැහැදිලි වෙනවා. ආණ්ඩුව කොයිතරම් අසරණ වුණාද කියා එයින් පැහැදිලියි. අධිකරණ නියෝග ගන්න ​පොලිසි තුනකින් ගියා. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. එහෙම දෙයක් නොවූ බව පොලිසිය බාර ඇමැතිතුමා කිව්වා. පොලිසිය ඉල්ලා සිටි නියෝග අධිකරණය ප්‍රතික්ෂේප කළ පුවත දුරකතනවලට ලැබී තිබූ ආකාරය අපි පෙන්නුවා. මේ ආණ්ඩුව කොයිතරම් විසංවාදී පරස්පර ආණ්ඩුවක්ද කියලා බලන්න. ​ෙපාලිසිය බාර ඇමැති ​නොදැන පොලිස්පති අධිකරණයට ගිහින්. ජනබල මෙහෙයුමට ආණ්ඩුව ​කොයිතරම් බය වුණාද කියලයි මේවායෙන් පෙන්නුම් කරන්නේ. ඇත්තටම මේක ආණ්ඩුවට හූනියමක් වුණා. ජනබලය හමුවේ ආණ්ඩුවේ හැසිරීම හාස්‍යෝත්පාදක නාට්‍යයක් වගේ වුණා. ජනබලය නිසා ආණ්ඩුව කරකවා ඇතෑරියා වගේ වුණා.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වාට ජනබලය ආණ්ඩුවට දැනුණේ නැති බව රතන හිමි කියා තිබුණා නේද?

පිළිතුර:- ආණ්ඩුවේ සිටින උන්හවන්සේ ආණ්ඩුව වෙනුවෙන් එවැනි ප්‍රකාශයක් කිරීම අරුමයක් නෙමෙයි. ඔයිට වැඩිය දෙයක් උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.

ප්‍රශ්නය:- ඇත්තටම ඔබලාගේ අරමුණ ඉටුවුණාද?

පිළිතුර:- පැහැදිලිවම. නියත වශයෙන්ම අපි හොඳ අධ්‍යයනයක් කළා. අපේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ශක්තිය උරගා බැලුවා. ජනතාවගේ ආණ්ඩු විරෝධී නැඹුරුව උරගා බැලුවා. පොලිසියේ හැසිරීම ආණ්ඩුව හැසිරෙන ආකාරය අධ්‍යයනය කළා. අපේ ඊළඟ අදියර දිහා බලන්නකෝ.

ප්‍රශ්නය:- හැබැයි අන්තිමට නටපු නැටමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ නේද?

පිළිතුර:- එහෙම සිතෙන අයත් ඇති. කොළඹට ලක්ෂ ගණනක් ඇවිත් ආණ්ඩු විරෝධී පෙළපාළියට එකතු වීමට බෙරේ පලුවක් නැති වීමක් හැටියට ද දැනෙන්නේ. ආණ්ඩුවේ බෙරකාරයන්ට සහ නැට්ටුවන්ට එහෙම දැනෙනවා ඇති. සාමාන්‍ය ජනතාවට නම් එහෙම නැහැ. ඒවා කියන එක කණ්ඩායමකට තමන්ගේ සමුළුව පවත්ව ගන්නටත් බැරි වුණා. අනෙක් කණ්ඩායමට මුළු ශක්තියම යොදවලත් සම්මේලනයට පක්ෂ මූලස්ථානයට හාරසීයක්වත් ගෙන්න ගන්න බැරි වුණා.

ප්‍රශ්නය:- සියල්ලේ මෙහෙයුම්කරුවා මෙන්ම ඒකාබද්ධයේ න්‍යායාචාර්යවරයා ලෙස සිටින බැසිල් මෙතැනදී මග හැරියේ ඇයි?

පිළිතුර:- ඒක හරිම අසාධාරණ ප්‍රශ්නයක්. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමෙරිකාවට ගියේ වසර දෙකහමාරකට පසුවයි. එතුමට තමන්ගේ දරුවෝ බිරිය හමුවෙන්නේ අවුරුදු දෙකහමාරකට පස්සේ. උසාවිය අවසර දුන්නේ මාසයකට ගිහින් එන්න. අපි සංස්කෘතික මිනිස්සු නම් ඔය වගේ ප්‍රශ්න මතු කරන්නේ නැහැ. සංස්කෘතික නොවන ආණ්ඩුවේ මිනිස්සු ඔය වගේ ප්‍රශ්න මතු කරනවා. වසර දෙකහමාරකට පසු තම බිරිඳ, දරුවන් බලන්නට ලැබුණු අවස්ථා වෛරීය දේශපාලන ප්‍රකාශවලින් අර්ථ ගැන්වීමට යාම අතිශය කණගාටුද‌ායක තත්ත්වයක්. මේ අර්ථ දැක්වීම ආණ්ඩුවේ දේශපාලනය මැන ගැනීමට තිබෙන හොඳ දර්ශනයක්. අසංස්කෘතික ආණ්ඩුවකින් අසංස්කෘතික ප්‍රකාශ හැර වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අවශ්‍ය සියලු මූලික කටයුතු සංවිධාන කටයුතු කර බැසිල් රාජපක්ෂ ගිය බව මම වගකීමෙන් කියනවා. එතුමාගේ සියලු ආශිර්වාදය ජනබලයට ලැබුණා.

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ