(සටහන - චමින්ද මුණසිංහ)

මේ රටේ ව්‍යාප්ත වී තිබෙන දුෂණය, වංචාව, අල්ලස යනාදිය සම්බන්ධයෙන් යම් පාලනයක් කිරීමට කලක පටන් උත්සාහ ගන්නා ආකාරයක් දැකගත හැකිය. කොතරම් කාලයක් තිස්සේ මේ උත්සාහය ගත්තද අද වනතෙක් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇති ස්වභාවයක් පෙනෙන්නට නැත. එයින් පෙනෙන්නේ මේ ප‍්‍රශ්නය නිරාකරණය කිරීමේ යම් අපහසුතාවක් ඇති බවය. 

එනිසා මෙවන් තත්ත්වයක් ඇතිවීමට බලපා තිබෙන හේතු සාධක කවරේදැයි සොයා බැලීම අවශ්‍යය. එසේ සොයා බලා එම හේතු ගැන කල්පනා නොකර අල්ලස, දුෂණය, වංචාව පිටුදැකීමට ගන්නා උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලබාගත හැකි යැයි සිතිය නොහැක.

යම් කෙනෙකුට රෝගී තත්ත්වයක් ඇති වුවොත් කරන්නේ කුමක්ද? එම රෝගී තත්ත්වය ඇතිවීමට බලපෑ හේතු සොයා බැලීමය. රෝගය නිවාරණය වෙනුවෙන් එම හේතුවට යම් පිළියමක් යෙදීමය. සමාජමය වශයෙන් අප මුහුණදෙන යම් යම් ගැටලූ සම්බන්ධයෙන්ද අනුගමනය කළ යුත්තේද එවැනිම පියවරකි. එනිසා මේ ගැටලූවල පසුබිම, හේතු සොයා පිළියම් යෙදීම අවශ්‍ය බව පැහැදිලි කාරණාවකි. එසේ නොවන තැනකදී සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීම අපහසුය.

තමන්ට විවිධාකාරයෙන් තිබෙන බලය තම පෞද්ගලික වාසිය සඳහා යොදා ගැනීම දුෂණයේදී සිදුවන්නකි. එය මූල්‍යමය වශයෙන් විය හැකිය. නැතිනම් වෙනත් ආකාරයක දේවල් වන්නටද පුළුවන. තමන් සතු බලය පාවිච්චි කර තමන්ට කවරාකාර හෝ වාසි ලබාගැනීම මෙහිදී සිදුවන්නකි. මෙය සෑම ක්‍ෂෙත‍්‍රයකම සිදුවිය හැකි දෙයක් බව අමතක නොකළ යුතුය. අප නිතරම කතා කරන්නේ දේශපාලනඥයන්ගේ වංචා දුෂණ සම්බන්ධයෙනි. එහෙත් සමාජයේ සෑම අංශයකම වංචාව, දුෂණය, අල්ලස සිදුවන බව අමතක නොකළ යුතුය. මෙය සමාජයේ සියලූ අංශ හරහා වේගයෙන් ව්‍යාප්ත වූ ගැටලූවකි. දේශපාලන රාමුවෙන් බැහැරව වෘත්තිකයන් ගතහොත් ඒ වෘත්තිවල සිටින අය තමන්ට හිමි බලය යම් යම් ආකාරයට තම වාසියට භාවිත කරන අවස්ථා තිබේ. ව්‍යාපාරික ලෝකය ගත්තද විවිධ අය තමන්ට ඇති ආර්ථීක බලය තම පෞද්ගලික ලාබ අපේක්ෂා සඳහා භාවිත කරනු පෙනේ. ඒ සමඟම රාජ්‍ය සේවාව ගතහොත් එහිදී ද ඉහත කී ස්වරූපයම දක්නට ලැබෙනු ඇත. මේවාට සමගාමීව නීතිය ක‍්‍රියාත්මක කරන අංශය ගතහොත් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනවලත් මෙවන් කටයුතු කෙරෙන බව අනාවරණය වී තිබේ. නීතිය පසිඳලන අංශයට පවා මේ ගැටලූ ව්‍යාප්ත වී තිබේ. සිවිල් සමාජ ක‍්‍රියාධරයන් අතර ද වංචාව, දුෂණය, අල්ලස යන ගැටලූ පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. ආරක්ෂක අංශ ගත්ත ද මේ කාරණය හඳුනාගන්නට පුළුවන.

මෙයින් පෙනෙන්නේ සමස්තයක් වශයෙන් සමාජයේ යම් කිසි බලයක් පාවිච්චි කළ හැකි සෑම ක්‍ෂෙත‍්‍රයකම අය අල්ලසට, දුෂණයට, වංචාවට පෙළඹී සිටින බවය. මෙවන් තත්ත්වයක් නිර්මාණය වූ විට ඒ සඳහා බලපා තිබෙන හේතු සාධක මොනවාද යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. සෑම ක්‍ෂෙත‍්‍රයකටම මේ ප‍්‍රශ්නය ව්‍යාප්ත වන්නේ බරපතළ ගැටලූවක් නිසා දැයි සෙවීම අවශ්‍යය.

ප‍්‍රධාන වශයෙන් ඇත්තේ හේතු දෙකකි. තමන්ට  නොමැති ධනය, තමන්ට නැති ආර්ථික ශක්තියක් පරිහරණය කිරීමට ජනතාව යොමුව සිටීම ඉන් පළමුවැන්නයි. වෙනත් ආකාරයට කියන්නේ නම් තමන්ට තිබෙන ආර්ථික හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවන රටාවක් ගොඩනඟා ගැනීමය. මෙය විශේෂයෙන්ම 1977න් පසුව ඇති වූ තත්ත්වයකි. විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව නිර්මාණය වූවකි. දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සිටින අයට නොයෙක් වරප‍්‍රසාද තිබේ. එහෙත් ඒ වරප‍්‍රසාදවලින් ඔබ්බට ගොස් තවත් ධනය හා සම්පත් විවිධාකාරයෙන් උපයා ගැනීමට මේ අය පෙළඹී සිටිති. අනෙක් සෑම ක්‍ෂෙත‍්‍රයකම වන්නේ ද මෙයයි. තමන්ට තිබෙන දෙයට වඩා වියදම් කර ජීවත්වීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. තමන්ට නැති සම්පත් ධනය පාවිච්චි කර ජීවත්වීමට යාමේදී අනිවාර්යයෙන්ම ඒක කළ හැකි වන්නේ වංචාව, දුෂණය සහ අල්ලස හරහාය. වැඩි වන වැය පියවා ගැනීමට වෙනත් ක‍්‍රමවලින් ධනය සම්පත් ඉපැයීමට සිදුවනු ඇත. බොහෝ වෘත්තිකයන් මේ ක‍්‍රියාවලියෙහි නිරතවන බව පැහැදිලිය. තම සේවාදායකයන්ගෙන් අසාධාරණ ලෙස යම් යම් දේ ගැනීමේ හැකියාව මේ අයට තිබේ. විවිධ උපාය උපක‍්‍රම යොදා තම ධනය වැඩිකර ගැනීමට ව්‍යාපාරිකයන්ට පුළුවන.

තමන්ට සාමාන්‍යයෙන් ගෙනයාමට නොහැකි ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට ජනතාව පෙළඹීමේ හේතුව කුමක්ද? රජයේ අසාර්ථකභාවය එහිදී අප පැහැදිලිවම දකින කරුණකි. ජනතාව මුහුණදෙන ප‍්‍රශ්නවලට පැහැදිලි, ස්ථීර විසඳුම් ලබාදීමට රාජ්‍යය අපොහොසත් වී තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය යනාදී පොදු ප‍්‍රශ්න විසඳීමට හැකිවී නැත. මේ පොදු සේවා ප‍්‍රමාණවත් පරිදි ජනතාවට සපයන්නට රාජ්‍ය මැදිහත්වීම අසාර්ථක වී තිබීම නිසා ඒවාට පෞද්ගලික විසඳුම් සොයා ගැනීමට ජනතාවට සිදුව තිබේ. සුළු රැකියාවක් කරන කෙනෙකුට තම එදිනෙදා වියදමෙන් එහාට යාමේ හැකියාවක් නැත. මේ කාරණය රාජ්‍ය අංශයේ බොහෝ පිරිසකට වුවද අදාළය. එහෙත් කෙසේ හෝ තම සීමාවෙන් ඔබ්බට ගොස් ක‍්‍රියාකරන ආකාරයක් දැකගත හැකිය.

ග‍්‍රාමීය පාසල්වලින් අධ්‍යාපනය ලබාගත් යුගයක් තිබුණි. එහෙත් ග‍්‍රාමීය පාසල්වල තිබෙන තත්ත්වය යටතේ ඒවාට හිරවී සිටියහොත් තම දරුවන්ට අනාගතයක් ගොඩනඟා ගැනීම අපහසු බව මවුපියන් වටහා ගැනීම නිසා නාගරික පාසල්වලට තම දරුවා ඇතුළත් කිරීමට යොමුව තිබේ. මේ නිසා නාගරික පාසල්වල නිර්මාණය වී ඇත්තේ තවත් ප‍්‍රශ්නයකි. මෙහිදී ග‍්‍රාමීය සහ නාගරික පරතරය අඩු කිරීමට රාජ්‍යය අපොහොසත් වී තිබේ. නාගරිකවද හොඳ පාසල් ඇත්තේ සීමිත සංඛ්‍යාවකි.

මේවාට ඇති ඉල්ලූම වැඩි නිසා එම අවස්ථාව උපයෝගී කරගෙන මුදල් සහ වෙනත් සම්පත් වාසි ලබාගැනීමට ඇතැම් අයට අවකාශය සැලසී තිබේ. පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සිදුවන වංචා දුෂණ ගැන නිරන්තරයෙන්ම මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබෙන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය ගත්ත ද ඇත්තේ මෙවන් තත්ත්වයකි. පොදු ප‍්‍රවාහන සේවාවේ පවතින ප‍්‍රශ්න නිසා තම ප‍්‍රවාහන ගැටලූ විසඳා ගැනීමට ජනතාවට තමන්ටම වාහනයක් ගැනීමට සිදුවිය හැකිය. එවන් අවස්ථාවක ඇතැම් විට යම් යම් අය ඒ සඳහා තම බලය යොදා ගනිමින් ධනය ඉපැයීමට පුළුවන. ලංකාවේ තිබෙන වාහන සංඛ්‍යාව ගෙන බැලූ විට ජනතාවගේ ආර්ථික තත්ත්වය අනුව එය පිළිගත හැකි තත්ත්වයක් නොවේ. සිතාගත නොහැකි තත්ත්වයක් සමාජයේ තිබේ.

ජනතාවට ජීවත්වීමට ප‍්‍රමාණවත් ආදායම් තත්ත්වයක් නොමැති බව එක් පැත්තකින් කියන කතාවකි. අනෙක් අතට ජනතාව කරන වියදම් ද සිතාගත නොහැකි තරම්ය. වාහන මිලදී ගැනීමම උදාහරණයකි. ප‍්‍රමාණවත් ආදායම් නොමැති නම් වාහන මිලදී ගන්නේ කෙසේද?. මෙතැන කුමනාකාරයක හෝ රහසක් තිබෙන බව පැහැදිලිය. වෙනත් උපාය උපක‍්‍රම හරහා බොහෝ දෙනා මුදල් ඉපැයීමට යොමුව සිටීම එම රහසයි.

ප‍්‍රවාහන ප‍්‍රශ්න විසඳීමේ හැකියාවක් තිබුණි. පැහැදිලි විසඳුම් තිබුණි. එහෙත් ඒ විසඳුමට ගියේ නැත. රාජ්‍යය මේ විසඳුම් සම්බන්ධයෙන් උනන්දු වූණේ නැත. පසුගිය දශක හතරක පමණ කාලය ගතහොත් අප සම්පූර්ණයෙන්ම අසාර්ථකය.

පොදු සෞඛ්‍ය සේවාවෙන්ද ජනතාව තෘප්තිමත් නොවන විට පෞද්ගලික අංශයට යොමුවනු ඇත. පෞද්ගලික සෞඛ්‍ය සේවා මේ රටේ ව්‍යාප්ත වී තිබෙන්නේ ඒ ආකාරයෙනි. පෞද්ගලික සෞඛ්‍ය සේවාව පැවතීම නරක දෙයක් යැයි මෙයින් අදහස් කරන්නේ නැත. නිවාස පිළිබඳ ප‍්‍රශ්නය ද මෙහිදී අමතක නොකළ යුතුය. ඉඩම් මිල ගණන් සිතාගත නොහැකි ආකාරයට පසුගිය කාලවලදී වැඩි වී තිබේ. රටපුරාම මේ තත්ත්වය දැකගත හැකිය.

මෙවන් පසුබිමකදී ජනතාව යොමු වන්නේ කොතැනටද? අධ්‍යාපනයේ, ආර්ථිකයේ ඇති වූ වෙනස්කම් නිසා ජනතාව නගරයේ හෝ ඒ ආසන්නව පදිංචි වීමට යොමු වුණි. නාගරික ප‍්‍රදේශයට පැමිණ පසු මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකර ගැනීමය. කෙනෙක් මුදල් සොයාගෙන ඉඩමක් ගෙන නිවසක් ඉදිකර ගැනීමට පුළුවන. ඒ වගේම ඉඩම් මිල ඉහළ යන නිසා ඇතැම් අය ඉඩම් නිවාස මිලදී ගෙන වැඩි මිලට විකිණීමට පෙළඹී සිටිති. මෙහිදී අපහසුතාවට, දුෂ්කරතාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. ඒ කෙරෙහි වගකිව යුතු අංශවල අවධානය යොමුව තිබෙනවාද?

කෙසේ වෙතත් අල්ලස, දුෂණය නීතිය ඉදිරියේ සාපරාධී ක‍්‍රියාවකි. සාපරාධී ක‍්‍රියාවකදී නීතියෙන් කෙරෙන්නේ දඬුවම් දීමය. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි.? අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් බරපතළ ලෙස චෝදනා නැඟුණ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබුණි. මේ රටේ ප‍්‍රභූ ක්‍ෂෙත‍්‍රවල සිටින බොහෝ දෙනා මේ ප‍්‍රශ්නයට කෙළින්ම සම්බන්ධ පිරිස්ය.

දේශපාලනයේ සිට අනෙක් සියලූ ක්‍ෂෙත‍්‍රවල අය අඩු වැඩි වශයෙන් අල්ලසට දුෂණයට සම්බන්ධවීමේ ප‍්‍රවණතාවක් පසුගිය කාලයේ දක්නට ලැබුණි. මෙවන් පසුබිමක් යටතේ නීතිය තදින් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ අයට නීතිය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ බලපෑම්වලට ලක්වීමට සිදුවන්නට පුළුවන. ඇතැම් විට දේශපාලන බලය යොදා යම් යම් සිද්ධි යටපත් කරනවාද යන සැකය මතුව තිබේ. අල්ලස, දුෂණය තුරන් කිරීමට සෑම කෙනෙක් තුළම පැහැදිලි කැපවීමක් තිබෙනවාද යන ප‍්‍රශ්නය ද තිබේ.

මේ තත්ත්වය යටතේ කළ හැක්කේ කුමක්ද යන්න ගැන කල්පනා කළ යුතුය. කෙටි කාලීනව මෙයට විසඳුමක් නැත. සමාජ, ආර්ථික පසුබිමක් මේ සඳහා තිබේ. එම සමාජ, ආර්ථික පසුබිම දෙස නොබලා විසඳුමක් ලබාගත නොහැකිය. සමාජ, ආර්ථික වශයෙන් මෙරට සමාජයේ ඇති පරතරය අඩු කිරීමේ හැකියාවක් අපට තවම ලැබී නැත. ජනතාව අතර තරගය ඇති කිරීමට ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ මෙම පරතරයයි. ජනතාව බලන්නේ කෙසේ හෝ තම අවශ්‍යතා ඉටුකර ගැනීමටය. ඔවුන්ට ඉවසීමක් නැත. විනයක් නැත. එයට හේතුව පොදු අවශ්‍යතා සංතර්පනය කිරීමට රාජ්‍යය සියයට සියයක්ම අසාර්ථක වී තිබීමය.

කෙසේ වුවත් මේ ප‍්‍රශ්නය විසඳීමට රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යය. එය නීතිය ක‍්‍රියාත්මක කිරීමෙන් ඔබ්බට ගිය මැදිහත්වීමක් විය යුතුය. පැහැදිලි රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ජනතාවගේ අවශ්‍යතා සංතර්පනය කරන තත්ත්වයට එන්නේ නැතිව පවතින ප‍්‍රශ්නයට මුහුණදීමේ හැකියාවක් කිසිසේත් ලැබෙන්නේ නැත.

එක් පැත්තකින් නීතිය ශක්තිමත් කිරීම, නීතිය ක‍්‍රියාත්මක කිරීම හැකි තරම් කළ යුතුය. ඒ අතරම අනෙකුත් ක්‍ෂෙත‍්‍ර සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ආර්ථිකයේ ව්‍යුහය සම්බන්ධයෙන්ද කල්පනා කළ යුතුය. ආර්ථිකය ප‍්‍රතිව්‍යුහගතකර නොගෙන ප‍්‍රශ්නය විසඳීම ද අපහසු බව අමතක නොකළ යුතුය. මුදල් සංසරණයෙන්ම ගොඩයාමට බලන්නේ නම් එය සාර්ථක වන්නේ නැත. එයින් වන්නේ තව තවත් අගාධයට යාමය.