ත්‍රස්තවාදය වෙනුවෙන් හඬ නැගීම, යහපාලනය කිළිටි වූ හැටි, සංහිඳියාව, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, තෙල් මිල, පළාත් සභා ඡන්දය කල්යාම, ආර්ථික වැඩ පිළිවෙළ යනාදී කරුණු සම්බන්ධයෙන් එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සමග කළ සාකච්ඡාවක් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- යළි ත්‍රස්තවාදය ඉල්ලන තැනට ආණ්ඩුවේ ඇමැතිවරු පත්ව සිටින්නේ ඇයි?

පිළිතුර:- රට අස්ථාවරයි කියා සමාජයේ හැමෝටම දැනී තිබෙනවා. රටේ නායකත්වයක් නෑ. රට අරාජිකයි කියන මානසිකත්වය ඇති ව තිබෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. දකුණේ සාමාජයේ තරුණ අසහනයක් විශාල වශයෙන් ඇති වී තිබෙනවා. ඒක විවිධ ආකාරයට මතුවෙන්න පුළුවන්. රටේ එක පැත්තක හිට්ලර් ගැන කතා කරනවා. තවත් පැත්තක ප්‍රභාකරන් ගැන කතා කරනවා. මේවා දෙස බැලුවාම රට විශාල අරාජිකභාවයක තිබෙන බව පිළිගන්න වෙනවා.

ප්‍රශ්නය:- එතකොට යහපාලනය කියන්නේ රට අරාජික වීමක් ද?

පිළිතුර:- යහපාලනය ගැන අපි ගෙනා බලාපොරොත්තු සමාජය තුළ බිඳවැටී තිබෙනවා.

ප්‍රශ්නය:- එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ ඇයි?

පිළිතුර:- මුල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රධාන ගැටලු මෙයට බලපෑවා. මේ සමාජයේ තිබූ මතය මහ බැංකු සිද්ධියත් සමග විශාල වශයෙන් බිඳ වැටුණා. මේ සම්බන්ධ පළවූ මාධ්‍ය වාර්තා සමග ර​ෙට් මහ බැංකුව කොල්ලකාපු අයට රට ගෙනියන්න පුළුවන් ද කියන මතය ගොඩනැගුණා.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ කියන්නේ මහ බැංකු වංචාවෙන් පමණක් යහපාලනය කිළිටි වුණා කියල ද?

පිළිතුර:- ඒක ප්‍රධානම කාරණයක්. වසර තුනකට අධික කාලයක් මාධ්‍යයේ ප්‍රධාන පුවත් සපයන ප්‍රවාහයක් බවට මේ සිද්ධිය පත්වුණා. අැලෝසියස් කියන නම පවා සාමාන්‍ය ජනතාව අපරට ගිය නමක් බවට අද පත්වෙලා.

ප්‍රශ්නය:- උතුරේ වගේම දකුණේ සමාජයත් අනාරක්ෂිත බවට චෝදනා නැගෙන්නේ ඔය කියන කාරණා නිසාමද?

පිළිතුර:- ර​ෙට් නායකත්වයක් හරියට නැති වුණාම ප්‍රශ්න එනවා. පොලිසිය, රජයේ නිලධාරීන් යනාදී සියලු දෙනා තමන්ගේ වගකීම් ඉටු නොකරන තත්ත්වයට පත්වුණා. යහපාලනයට ඇති බිය නිසාම සමහර නිලධාරීන් කිසිවක් නොකරන තත්ත්වයට පත්වෙලා. මේ අය යහපාලනය වැරදියට අරගෙන තිබෙනවා. ර​ෙට් රාජ්‍ය නායකයා කවුද කියන ප්‍රශ්නයට අනෙක් පැත්තෙන් ජනතාව මුහුණ දෙනවා.

ප්‍රශ්නය:- මෙවැනි තැනකට රට තල්ලු වුණේ කොහොමද?

පිළිතුර:- කතාවට ප්‍රජාතන්ත්‍රවාදය, සාකච්ඡාවෙන් සම්මුතියෙන් වුණාට අත්ථනෝමතිකව පුද්ගලයන් තුන් හතර දෙනකුගේ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ මේ චෝදනා කරන්නේ ආණ්ඩුවේ කාටද?

පිළිතුර:- හොඳ හෝ නරක ගිය ආණ්ඩුවේ වගකීම බැසිල් රාජපක්ෂ මහත්තයා ගන්න ඕන වගේම මේ ආණ්ඩුවේ වගකීම අගමැතිතුමා ඇතුළු එතුමා යටතේ ඉන්න තුන් හතර දෙනා ගන්න ඕන. හොඳ හෝ නරක සමාජයේ ඇති වුණා නම් ඒ සියල්ලටම වගඋත්තරකරුවන් බවට ආණ්ඩුවට වඩා මේ අය පත්ව සිටිනවා.

ප්‍රශ්නය:- මේ තත්ත්වය නිර්මාණය වුණේ ජනාධිපති ධුරය දුර්වල කරන්න යාමේ ප්‍රතිඵලයක් හැටියට නොවේද?

පිළිතුර:- මම එහෙම සිතන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා මෙහෙම වුණා කියා කියන්න බැහැ. සෑම විටම ජනාධිපතිවරයා පත්වුණේ ස්ථාවර පක්ෂයකින්. මෙවර ජනාධිපති පත්වුණේ එහෙම පක්ෂයකින් නෙමෙයි. ඔහුට පසුව පක්ෂයේ බලය ලැබුණත් ඒ ජනමතය තිබුණේ නැහැ. පසුගිය පළාත් පාලන ඡන්දයේ දී ඒක හොඳටම පෙනුණා. ශ්‍රීලනිප ජනමතය තිබුණේ මහින්ද මහත්තය සමගයි.

ප්‍රශ්නය:- සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන බව කිව්වත් රටේ යම් යම් සිද්ධි වාර්තා වෙන්නේ ඇයි?

පිළිතුර:- සංහිඳියාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනා වැඩසටහන් ඔක්කොම අසාර්ථකයි. ඒක මගේ අදහස. මහ බැංකු සිද්ධිය වගේ ප්‍රබල සිද්ධි මතුවුණාට පසුව එවැනි කරුණු සම්බන්ධව තිබෙන වුවමනාව බිඳ වැටී තිබෙනවා. ආණ්ඩුව යෝජනා කරන දකුණේ ලිබරල් ආර්ථික ක්‍රමය තුළ සංස්කෘතික අාධ්‍යාත්මික කඩා වැටීම ඔවුන්ට වැදගත් නැහැ. එනිසා මේවා ගැන කතා කරන්නෙවත් නැහැ. ආණ්ඩුවට එහෙම දැක්මක් නැහැ. සංස්කෘතිය, සමාජය නව ලිබරල් ආර්ථිකය යටතේ කුඩු පට්ටම් වෙලා යන එක හොඳයි කියන මානසිකත්වය තිබෙන අයත් ආණ්ඩුවේ ඉන්නවා. අද තිබෙන්නේ නව ලිබරල් ආර්ථිකයක්. පසුබිම සකස් වී තිබෙන්නෙත් ඒ වෙනුවෙන්.

ප්‍රශ්නය:- මේ වැරැදි සම්බන්ධයෙන් ඔබ වහන්සේලා ආණ්ඩුවට අනුශාසනා කරන්නේ නැතිද?

පිළිතුර:- ආගමික අනුශාසනාවලට ලංකාවෙ පාලකයන් සවන් දුන්නා කියා මම නම් කියන්නේ නැහැ. ඉතිහාසයේ ඇසුවෙත් නැහැ. දැනුත් අසන්නේ නැහැ. එහෙම අසන තත්ත්වයට පාලකයන් පත්කිරීමට අවශ්‍ය ජනතා ශක්තිය ගොඩනගාගෙන නැති කම අපේ අඩුවක්. ආණ්ඩුවට බලපෑමක් කළ හැකි ජනතාව මත පදනම් වූ විශාල ජනතා ව්‍යාපාරයක් නැතිකමේ ප්‍රශ්නයක් තිබෙනවා. එනිසා සමාජ සංස්කෘතික මනුෂ්‍යත්වය සිතන, පොදුජන දුක්වේදනා ගැන සිතන සියලු දෙනා එක්කරගත් මහා සමාජ බලයක් අපි ගොඩනගන්න ඕන. පාලකයන් දණ ගසන්නේ එම බලය ඉදිරියේ පමණයි.

ප්‍රශ්නය:- ඔය කියන බලය විපක්‍ෂය වටා ගොඩනැගෙමින් තිබෙනවාද?

පිළිතුර:- එහෙම මතයක් විපක්ෂයට තිබෙනවා කියා මම සිතන්නෙ නැහැ. ඔවුන්ට තිබෙන්නේ සම්පූර්ණ විරෝධාකල්පයක්. සමාජයේ තිබෙන කිසිදු ප්‍රශ්නයකට ඔවුන් හරියට ආමන්ත්‍රණය කරනවා කියා මම සිතන්නේ නැහැ.

ප්‍රශ්නය:- නව ලිබරල් ආර්ථිකය පිළිබඳ ඔබ වහන්​ෙස් ප්‍රකාශ කළා. මතභේදයට ලක්ව ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම එහි කොනක්ද?

පිළිතුර:- මේ ගිවිසුම පිටු එක්දහස් ගණනක ලියැවිල්ලක්. මෙවැනි ලොකු ලියැවිල්ලක් ඉදිරිපත් කරන්න කලින් අඩුම තරමින් මැති ඇමැතිවරුන්ට දී මේ ගැන සාකච්ඡා කළ යුතුව තිබුණා. කැබිනට් එකේදී මේක සම්මත වුණා ද නැද්ද කියා නිශ්චිතභාවයක් නැහැ. කැබිනට් එ​ෙක්දී මේක විධිමත්ව සාකච්ඡා කර නැහැ. සම්මත වුණා කියා බොහෝ අය කියනවා. එහෙමම කිව්වට මගේ අදහස නම් මේක කැබිනට් එකේ සම්මත වුණේ නැති බවයි. ඒක ලොකු වරදක්. තිබෙන්නේ යහපාලනයක් නම් මෙවැනි බරපතළ ගිවිසුමක් එනවිට ආණ්ඩුවේ පාර්ශව තුළ සහ විපක්ෂයේ අය අතර පවා ඒ ගැන සාකච්ඡා වෙන්න ඕන. රට දන්නේ නැතිව ජනතාවගේ අදහස් විමසන්නේ නැතිව මෙවන් ගිවිසුමක් අත්සන් කිරීම ලොකු වරදක්.

මෙහි අන්තර්ගතය ගැන විවිධ අය විවිධ අදහස් කියනවා. මේක රටට වාසිදායක බව ආණ්ඩුව කියනවා. එහෙත් ලෝක ප්‍රවණතාව අනුව නව ලිබරල් ආර්ථිකයට එරෙහිව ප්‍රධානම අත ඔසවන්නා බවට ඇමෙරිකාව පත්ව සිටිනවා. චීන නිෂ්පාදනවලට බදු වැඩි කරන්න ට්‍රම්ප් කතා කරනවා. එහෙම පසුබිමක වසර පහක් තුළ අපේ බදු ලිහිල් කරන්න කතා කරනවා. සිංගප්පූරුව කියන්නේ භාණ්ඩ නිපදවන රටක් නෙමේ. ඒක වෙළෙඳ පොළක්. ඒ වෙළෙඳ පොළට අපනයනය කරන්න අපට පුළුවන්. බොහෝ භාණ්ඩවලට බදු නැහැ. එහෙනම් මෙවන් වෙළෙඳ ගිවිසුමක් අපේක්ෂා කළේ ඇයි? මේ හරහා විශාල වශයෙන් ලංකාවට භාණ්ඩ පැමිණීමේ ඉඩකඩක් තිබෙනවා. සිංගප්පූරු සමාගම් හරහා මේක පහසුවෙන් කෙරන්න පුළුවන්. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම අනුව තේකොළ අපනනය කළ හැකි වුවත් අපට ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ඉන්දියාවට යැව්වේ පුවක්. ලංකාවේ පුරවැසියෙක් ඉන්දුනීසියාවෙන් පුවක් ගෙන්වා ඉන්දියාවට සැපයුවා. බදු සහනයක් තිබුණාට ලංකාවෙ පුවක් අපනයනය කළේ නැහැ. මේ ආකාරයට සිංගප්පූරු ගිවිසුම හරහා වෙනත් රටවල නිෂ්පාදන ලංකාවට එන්න පුළුවන්.

මේ නිසා ලංකාවේ ගොවි නිෂ්පාදන තමන් කඩා වැටෙන්න පුළුවන්. සිංගප්පූරු ගිවිසුම හරහා අපේ නිෂ්පාදන සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. අපේ සාගරය පරිහරණය කිරීමට සම්බන්ධ රටේ ස්වාධිපත්‍ය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබෙන බව දැනට මතුව තිබෙනවා. ඒ අතර මේ ගිවිසුම සම්මතයි කියා සැලකිය යුතු භාණ්ඩ ගණනක බදු අඩු කරන්න කියා මේ වන විට මුදල් අමාත්‍යාංශය වරායට ලිපියක් ගොස් තිබෙනවා. මේක ඉතාම නරක තත්ත්වයක්. එ්නිසා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම රටට ඉතාම අහිතකර ලෙස රටේ ජාතික නිෂ්පාදනය බිඳ වැටීමට, පාරිසරික ප්‍රශ්න නිර්මාණයට බලපානවා. කුණු ප්‍රතිචක්‍රීකරණ මහා ව්‍යාපෘති මේ හරහා ලංකාවට ගේන්න පුළුවන්. එවැනි කරුණු මේ ගිවිසුමට ඇතුළත්. ලංකාව කුණු ශුද්ධ කරන ලෝක මධ්‍යස්ථානය විය යුතු නැහැ. පිටරට කැළි කසළ ගෙනත් සල්ලි හම්බකරන්න ඕන නැහැ. මෙවන් බරපතළ තත්ත්වයක් තිබෙනවා.

විවෘත ආර්ථිකය හඳුන්වාදුන් ජේ.ආර්. ජයවර්ධනත් එකල වෙළඳ ඇමැති ලලිත් ඇතුලත් මුදලිත් දේශීය නිෂ්පාදන ගොවි නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමට විශේෂ ආරක්ෂක බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. ජාතික නිෂ්පාදනය රැක ගැනීමට එදා ගෙනා බදු සියල්ල ඉවත්වීමේ ප්‍රශ්නයට සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සමග මුහුණ දෙන්න සිදුවන පසුබිමක් ඇති වී තිබෙනවා. මේවාට ආණ්ඩුව නිසි පිළිතුරු දෙන්නේ නැහැ. ඉදිරි දේශපාලනය තීරණය වන සාධකයක් බවට මෙය පත්ව තිබෙනවා. වෛද්‍යවරුන්ගේ සංගමය මෝඩයෝ නීතිඥ සංගමයට මොළේ නෑ මොළේ තිබෙන්නේ ආණ්ඩුවට පමණයි කීම උත්තරයක් නෙමෙයි. මෙහි අනතුරු සෑම අංශයකින් ආණ්ඩුවට පෙන්වා තිබෙනවා. එනිසා ආණ්ඩුව නිහතමානී වී මේ ගිවිසුම ගැන විධිමත් විවෘත සාකච්ඡාවක් කරන්න ඕන. නව ලිබරල් පාරෙ යනවා කියන්නේ අපේ රට බංකොළොත් වෙච්ච, ගොඩ එන්න බැරි අගාධයකට රට ගෙනයාමක්. එජාතීන්ගේ සංවිධානයේ කරුණු 17 අනුව කටයුතු කළා නම් ලෝකයේ ගෞරවාන්විත රටක් බවට පත්වීමේ ඉඩකඩ අපට තිබුණා. ඒ අවස්ථාව අහුරා ගත්තා. සිංගප්පූරු ගිවිසුමෙන් කරන්න යන්නේ ඒ කරුණු 17ට විරුද්ධ කාරණා

ප්‍රශ්නය:- ඒ කියන්නේ ආණ්ඩුව ජනතාවට කොළේ වහල ගහලද?

පිළිතුර:- මේක කලබලයට අැතිකරගත් ගිවිසුමක්. මෙවැන්නක් ගැන රටේ ජනතාව දැනුවත්ව සිටිය යුතුයි. ජනතාව නොදැන මෙහෙම ගිවිසුම් අත්සන් කරන්න බැහැ. දැන් මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. යම් තරමකට හෝ ජාතික ආණ්ඩුව තිබුණා කියන කාලයක් තිබුණා නම් ඒ කාලෙවත් එතන සිටි අයට අදහසක් තිබුණේ නැහැ. විධිමත් සාකච්ඡාවක් වුණෙත් නැහැ.

ප්‍රශ්නය:- ආණ්ඩුව රෑට වැඩි කරන තෙල් මිල ජනාධිපතිවරයා උදේට අඩු කිරීම බල අරගලේ ප්‍රතිඵලයක් ද?

පිළිතුර:- සතිපතා කැබිනට් එක රැස්වෙනවා නම් තෙල් මිල ගැන එතැන කතා කරන්න පුළුවන්. එහෙම තියෙද්දී තෙල් මිල වැඩි කරන්න මුදල් අමාත්‍යාංශය තනි තීන්දුවකට යනවා නම් ඒක බරපතළ ප්‍රශ්නයක්. රට තුළ කැකෑරෙන ප්‍රශ්නයක් අසහනයක් තිබෙද්දී බදු ප්‍රශ්නයකට උත්තරයක් ලෙස එක ලියුමකින් තෙල් මිල වැඩි කරන්න යනවනම් ඒක බරපතළයි. ජනපතිවරයා කළේ ජනතාවගේ පැත්තෙන් එ් ප්‍රශ්නයට පිළිතුරු දීමයි. මේවා හරහා රට අද සම්පූර්ණයෙන් විහිළුවක් බවට පත්වෙලා.

ප්‍රශ්නය:- පළාත් සභා ඡන්දයත් කල්යන ලකුණු පහළ වෙනවා. පළාත් පාලනයේ දී වෙගේම පළාත් සභා ඡන්දයේ දී ජනතා අයිතිය උදුරාගන්න ද ආණ්ඩුව කැසකවන්නේ?

පිළිතුර:- පළාත් සභා කල් දැම්මේ කරුණු කීපයක් නිසා.

ඡන්ද ක්‍රමය වෙනස් කර එකවර ඡන්දය පැවැත්වීම ඉන් එකක්. සෑහෙන කාලයක් ඡන්ද කල් දැම්මා. දැන් ආණ්ඩුව බලන්නේ ඒ සංශෝධන නැතිව පළාත් සභා ඡන්දය තියන්න. රටේ ඉන්නේ පිස්සො කියා ආණ්ඩුව සිතනවාද දන්නේ නැහැ. ක්‍රමය වෙනස් කරනවා නම් ඡන්දය කල් දැම්මාට කමක් නැහැ කියා ජනතාව සිතුවා. හැබැයි දැන් ක්‍රමය වෙනස් නොකර ඡන්දය තියන්න ආණ්ඩුව බලනවා. මේක වැරැදියි. ඡන්ද ක්‍රමය වෙනස් කර ඉදිරි ඡන්ද තියන්නවත් ශීලාචාර ඕනකමක් ආණ්ඩුවට නැහැ. ඡන්දය කල් දැම්මේ යම් හේතුවක් මත නම් වහාම ඒ ප්‍රශ්නය විසඳා එක දවසක රට පුරා ඡන්ද තියන සැලසුම හදන්න ඕන.

ප්‍රශ්නය:- ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් ද?

පිළිතුර:- සිංගප්පූරු ගිවිසුම් හෝ ඉන්දීය ගිවිසුම් හෝ ජාතික සම්පත් විකුණා රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ණය ගන්න මහා ව්‍යාපෘති අරඹා තිබෙනවා. මහජන ප්‍රවාහන ප්‍රශ්නය නොවිසඳා අධිවේගී මාර්ගවලට ප්‍රමුඛත්වය දෙන්න එපා කියා අපි එදා කිව්වා. මේ ආණ්ඩුව කළෙත් ඒකමයි. අද ගම්පහ සිට කොළඹට කෝච්චි පහක සෙනග එනවා. අත ඉස්සුවොත් අත පහත් කරන්න බැහැ. අනෙක් පැතිවලත් එහෙමයි. අධිවේගී මාර්ග හැදුවට පොදු මහජන ප්‍රශ්නය විසඳී නැහැ. ඉක්මනින් කෝච්චි පාරවල් හදන්න කියා පෙන්නා දුන්නා. දැනට තිබෙන ලයින් ඩබල් කරමු කිව්වා. යාපනයට යන කෝච්චිය වව්නියාව දක්වා යන්නේ ගාටමින්. පාර අබලන්ව තිබීම එයට හේතුවයි. එහෙත් වව්නියාවෙන් එහාට ඒ ප්‍රශ්නය නැහැ. එයට හේතුව පාර අලුතෙන් හදපු නිසයි. එහෙනම් රට පුරා අබලන්ව පවතින රේල් පාරවල් අලුතින් හදන්න ඕන. ඩබල් ලයින් කරන්න ඕන. මේවා හරහා පොදු ප්‍රවාහන ප්‍රශ්නය විසඳන්න පුළුවන්. කෙටිදුර ධාවනයට පැහැදිලි පිළිතුරක්. බීජිං නගරයේ පමණක් පාපැදි කෝටියක් තිබෙනවා. බොහෝ තැන්වලදී අපට මේ පිළියම් යොදාගන්න පුළුවන්. ඒවා නොකර සොරා කන්න පුළුවන් අධිවේගී මාර්ගයම හදනවා. ගිය ආණ්ඩුව කළෙත් ඒක. මේ ආණ්ඩුව කරන්නෙත් ඒක.

රටේ ණය බර වැඩි වීම හා රුපියල පිරිහීම යන ප්‍රශ්න දෙක තිබෙනවා. රට ඇතුළට ගෙන එන ඩොලර් ඉතිරි කරගැනීම මෙයට පිළිතුරක්. වසරකට ඩොලර් බිලියන හතළිස් ගණනක් ණයයි. තව තවත් ණය ගන්නවා. ණය ගත්තාම රට සංවර්ධනය වෙනවා කියා මේ අය සිතනවා. ණය ගත්තාම දේශපාලනඥයන්ගේ සාක්කුවලට නම් සල්ලි යනවා. ඡනතාවගේ ණය කන්ද වැඩි වෙනවා. ණය අඩු කරගන්න එදා අය වගේම අද අයත් කල්පනා කරන්නේ නැහැ.

රටේ නිෂ්පාදනය වැඩි කරන්න ක්‍රමයක් නැහැ. විස පිරි ආහාර නිසා ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙලා. ආහාර ආනයනයට විශාල මුදලක් වැය කරනවා. මේවා නිපදවා මුදල් ඉතිරි කරගන්න ක්‍රමයක් කල්පනා කර නැහැ. ගොඩ ගොවිතැනේ ප්‍රශ්න ගැන ආණ්ඩුව කල්පනා කර නැහැ. විකල්ප ගැන ආණ්ඩුව සොයා බලා නැහැ. ආහාර පොහොර කෘෂි රසායන ආනයනයට වැය කරන මුදල බිලියන තුනහමාරක්. ණය නොගෙන රට තුළ ආර්ථික පිළිවෙළක් හදා එය සාර්ථක කර ගන්න තිබුණා. එහෙම කිසිම ව්‍යාපෘතියක් ආණ්ඩුවට නැහැ. ගිවිසුම් අත්සන් කළාට නිෂ්පාදනය වැඩිවෙනවද?

2025 වන විට ඇතිවන විදුලි අර්බුදයට විසඳුම් අපට නැහැ. එක් එක් අයට ඕන විදියට ගල්අඟුරු බලාගාර හදන්න යනවා. අනෙක් රටවල් පුනර්ජනනීය බලශක්තියට යනවා. ගෙවුණු වසර තුනේ විකල්ප බලශක්තියට නොගිය එකම රට ලංකාව වෙන්න පුළුවන්. ගල්අඟුරු තිබෙන රටවල් ඒවා ඉවත් කරද්දී අපේ රටේ තවත් ඒවා හදන්න යනවා.
වස විසෙන් තොර ගොවිතැන යම් තරමකට අපි දියුණු කළා. මෙහි තිබූ මිථ්‍යා මත බිඳ දැමුවා. මේවායේ සාර්ථක ප්‍රතිඵල තිබුණත් ආණ්ඩුවේ මාධ්‍යවත් එය ඉදිරියට ගත්තේ නෑ. විදේශ බලවේග සමග එක්වී රට විකුණා බිස්නස් එකක් කරගන්න හැරෙන්න රට ගොඩනගන අදහසක් මේ ආණ්ඩුවට නැහැ. ජාතික ආර්ථික වැඩ පිළිවෙළක් හඳුනානොගෙන ඉදිරියට යන්න බැහැ.