උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටි ඇත් පැටවකු කිසියම් අයකු වනෝද්‍යාන භූමිය තුළදීම වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අඩි දෙකක් පමණ දිගට වැඩුණ දළ යුගලය පොළොව දෙසට සමාන්තරව සිටින ලෙස තිබුණ ඇත් පැටවාගේ සිරුර හමුවී තිබෙන්නේ උඩවලව ජලාශයේ පිටවාන ආසන්නයේ බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ “ඇත් පැටවා” යනුවෙනි. “අලි බැලිල්ලත් බලි බැලිල්ලත්” එපා නොවන්නක් බව සාමාන්‍ය පිළිගැනීමකි. එය එසේ නම් ඇත් පැටවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යමකු පෙළඹෙන්නේ නම් හෙතෙම අලි සංහතිය සමඟම ජම්මාන්තර වෛරයකින් පසුවන්නෙකි. ඇත් පැටවා මරා දමා තිබෙන්නේ උඩවලව ජාතික වනෝද්‍යාන භූමිය තුළදීම බැවින් ඒ බව වඩාත් තහවුරු වේ. ප්‍රශ්නය වන්නේ පුපුරු ගසන වෛරයකින් පසුවන ඒ අමනයා අත තුවක්කුවක් තිබීමය.

මේ රට බෞද්ධ රටකි. බෞද්ධ සංස්කෘතියෙන් ඔපවත් වූ රටකි. ඒ බෞද්ධ සංස්කෘතිය තුළ පෙරහරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එය හැඳින්වෙන්නේ ද “පෙරහර සංස්කෘතිය” ලෙසය. පෙරහරක උච්චතම අවස්ථාව සාධාතුක කරඬුව වැඩම කරවීමය. සධාතුක කරඬුව වැඩමවන්නේ ඇතකු පිටය. පෙරහරේ පෞඪත්වය ඔප්නැංවෙන්නේ ද ගරු ගාම්භීරත්වය මතුවන්නේ ද අලි-ඇතුන්ගෙනි. පෙරහර විචිත්‍ර සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබෙන්නේ ද එහෙයිනි.
පෙරහර සඳහා යොදා ගනු ලබන්නේ හීලෑ අලි ඇතුන්ය. ඒ හීලෑ අලි ඇතුන් වේගයෙන් හිඟ වෙමින් යන බවට චෝදනාවකි. එය වර්ධනය වීමට ඉඩ හැරීම යනු බෞද්ධ සංස්කෘතියේ විචිත්‍රවත් සංස්කෘතිකාංගයක් වන පෙරහර සංස්කෘතිය අභාවයට යෑමය.

හීලෑ අලි ඇතුන් කියා විශේෂ වූ අලි ඇත්තු නොවෙති. වනයේ සැරිසරන අලි ඇතුන්ම හීලෑ කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් දැන් සිදුවන්නේ ඒ වන අලි ඇතුන් මිනිසුන්ගේ මාරක උගුල්වල පැටලී අකාලයේ මිය යාමය. විදුලි සැර වද්දා මරා දැමීමය. හක්ක පටස් කා මිය යාමට සැලැස්වීමය. වෙඩි තබා ඝාතනය කිරීමය. එසේ මරා දැමීම්වලට අමතරව අලි ඇතුන් විවිධ ස්වාභාවික උපද්‍රවලින් මිය යන බව ද වාර්තා වේ. මඩකළපුවේ විල්ලුවක එරී මිය ගිය අලි ඇතුන් හත් දෙනා එයට සාක්ෂියකි. එයට අමතරව දුම්රියේ ගැටී අලි ඇතුන් මිය යාමේ පුවත් ඉකුත් සමයේ බහුලව වාර්තා විය.

අලියා සම්පතක් වෙනුවට වසංගතයක් බවට පරිවර්තනය කරගත් අඳුරු යුගයක් උදා වී තිබේ. අලි මිනිස් ගැටුම යනු එයය. මෙහිදී වඩාත් වටින්නේ අලියා ද මිනිසා ද යන්න සාකච්ඡාවට බඳුන් නොකළ යුතු මාතෘකාවකි. අලියාට අවශ්‍ය පරිදි ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීම මිනිසාගේ වගකීමකි.

අලියා ජීවත්වන වනාන්තර ගම්මාන බවට පරිවර්තනය වීම අලි මිනිස් ගැටුමේ උපතය. අලියා ගමට ඒම වෙනුවට සිදු වූයේ මිනිසා අලියාගේ ගමේ පදිංචි වීමය. සැමට සෙවණ යැයි කීව ද ලක්ෂ ගණනක් ජනයාට හිතට නිවන දෙන හිසට සෙවණක් නැත. එය ඛේදවාචකයකි. ප්‍රතිඵලය වන්නේ මිනිසා වනාන්තර හෙළිපෙහෙළි කර ඒවා ජනාවාස බවට පත් කර ගැනීමය.

වනාන්තරයේ සද්දන්තයාගේ ජීවන රිද්මයක් තිබේ. එම ජීවන රිද්මය බිඳ වැටුණ විට අලියා කුපිත වේ. පවුල් පිටින් අසරණ වන මහා ඛේදවාචක එහි ප්‍රතිඵලයකි. පාරිසරික සාධක සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකර සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ද අලි මිනිස් ගැටුමට මඟ හදන්නකි. මත්තල ගුවන්තොටු​ෙපාළ ඉදිකිරීමේ දී ඒ ආශ්‍රිතව ජීවත් වූ අලි ඇතුන් දහස් ගණනක් වෙනත් පළාත්වලට පළවා හැරි බව සඳහන්ය. පාරිසරික සමතුලිත බව බිඳී යාම බොහෝ අතුරු ආන්ත්‍රා නිර්මාණය කරවන්නක් බව ඇස් පනාපිටම ඔප්පු වී තිබේ.

දඩයක්කරුවෝ ද මෙහි පෙරමුණේම වෙති. ඔවුහු ඇතුන් මරා දළ කපා විකුණති. ඒ වෙනුවෙන් ඕනෑම අපරාධයක් ඔවුහු කරති. දළ පූට්ටුවාගේ ඉරණම එයට කදිම සාක්ෂියකි. රටට මහරු සම්පතක් විය යුතු අලි සම්පත රට වනසන මාරක වසංගතයක් බවට පත්ව තිබෙන්නේ ඒ ආකාරයෙනි.

උඩවලව ජාතික වනෝද්‍යාන භූමිය තුළදීම ඇත් පැටවකු මරා දැමීම මේ සියල්ලටම වඩා වෙනස්ය. එය උම්මන්තකයකුගේ ක්‍රියාවක් ද? අභය භූමිය තුළදීම ඇත් පැටවකු වෙඩි තබා මරා දමන තුරු වනජීවීයේ මහත්වරුන් කොහි සැඟවුණි ද? සියලු අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම මෙවැනි අපරාධ වැළැක්වීමට ඇති ප්‍රධාන මාර්ගයකි.