සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

අගමැති ජනපති විරසකය, ආණ්ඩු පෙරළිය, ජනපති හමු වී කළ කතා බහ, විපක්ෂ නායක ධූරය, ජාතික ආණ්ඩුව හා කොමිෂන් සභා නිර්දේශවල අනාගතය සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.

ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්ද ප්‍රතිපලය සමඟ රාජ්‍ය පාලනය දැඩි අර්බුදයකට පත්ව සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය මොනවද දැන් කරමින් සිටින්නේ?   
පිළිතුර:- විපක්ෂයේ පක්ෂයක් පළාත් පාලන ඡන්දයක් ජයගත්තේ ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවටයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පමණක් වන මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට 45% ක් ලබා දී තිබෙනවා. ඕනෑම ඡන්දයක් ආණ්ඩුවක් පරාජයට පත්විය හැකි නමුත් පුංචි ඡන්දය ජයගැනීඹ අනිවාර්ය නියතයක්. එහෙත් මේ ආණ්ඩුව ලැබුවේ අන්ත පරාජයක්. එවැනි පසුබිමක සදාචාරවත් ලෝකයේ සිදුවන්නේ ආණ්ඩුවේ නායකයන් ඉල්ලා සිටීමයි. එංගලන්තයේ අගමැති ඬේවිඞ් කැමරන් ජනමත විචාරණයකදී තමන් විශ්වාස කරන මතවාදය පරාජය වූ විට තමන් විශ්වාස නොකරන ජනතාවකට නායකත්වය දීමට තමා නුසුදුසු යැයි පවසමින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා. එහෙත් අගමැතිතුමා ජනමතයට පයින් ගසමින් ඉවත්වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අද වනවිට රටේ දේශපාලන අර්බුදයකුත් ඒ නිසා ආර්ථික අස්ථාවරභාවයකුත් ඇති වී තිබෙනවා. අගමැතිතුමා ලිබරල් ජාත්‍යන්තරයේ උපසභාපතිවරයෙක්. ලිබරල් හා බි්‍රතාන්‍ය සම්ප්‍රදායන් ඉහළින්ම අගයන කෙනෙක්. ඉතින් කැමරන් සම්ප්‍රදාය අනුව අපේ අගමැතිතුමාත් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය ලද ඡන්ද පංගුව ඊටත් අඩුයි. අගමැතිවරයාට නගන තර්ක ජනාධිපතිට එල්ල නොවෙන්නේ ඇයි?
පිළිතුර:- අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධූර කාලය අවුරුදු පහයි. ඒ අතරමැද ජනාධිපතිවරයා ඉල්ලා අස්වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයෙකු තෝරාගන්නවා. ඩී.බී විජේතුංග ජනාධිපති ධූරයට පත්වුණේ ඒ ආකාරයටයි. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. ජනාධිපතිවරයා දැන් ඉල්ලා අස්වුණොත් අන්ත පරාජයට ලක් වූ අගමැතිවරයා ගෙදර යනවා වෙනුවට ඔහුට ජනාධිපති ධූරයට යා හැකියි. ජනාධිපතිතුමාගේ පක්ෂය අන්ත පරාජයක් ලබා දී තිබියදී විශිෂ්ට ජය ලැබුවේ අගමැතිතුමාගේ පක්ෂය නම් ඔබේ තර්කය සාධාරණයි. එහෙත් මේ දෙදෙනාම අන්ත පරාජයට ලක්ව තිබෙන නිසා ජනාධිපතිතුමාට ඉල්ලා අස්වන්නැයි කියා එම ධූරය අගමැතිතුමාට දීම අසාධාරණයි.

ප්‍රශ්නය:- එතකොට ඒකාබද්ධ විපක්ෂය අගමැති එලවා නව ආණ්ඩුවක් පත්කරගන්න යන්නේ දැනට තිබෙන ප්‍රශස්තම විසඳුම හැටියට ද?
පිළිතුර:- ප්‍රශස්තම විසඳුම වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත්කරගැනීමට අවස්ථාව දීමයි. අප එය ඉල්ලා සිටියත් ප්‍රායෝගිකව සිදු නොවන්නක්. මොකද මේ ඡන්දයෙන් එ.ජා.පයත් ශ්‍රී.ල.නි.පයත් ජ.වි.පෙත් දෙමළ සන්ධානයත් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබෙනවා. මහමැතිවරණයකින් තමන්ට තිබෙන මන්ත්‍රීධූරයත් අහිමි විය හැකි නිසා එවැනි යෝජනාවකට ඔවුන් කැමැති වන්නේ නෑ. පාර්ලිමේන්තුව විසුරුවාහරින්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෙවත් 150 කගේ කැමැත්ත අවශ්‍යයයි. ඒකාබද්ධ විපක්ෂයට සිටින්නේ 52 යි. ඉතුරු 98 සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසුයි. ප්‍රශස්තම විසඳුම වුණත් අපට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගැනීමට බැහැ.

ප්‍රශ්නය:- ලංකාවේ මහජන නියෝජනය පළාත් පාලන, පළාත් සභා හා මහමැතිවරණ ආදී වශයෙන් පද්ධති තුනක ක්‍රියාත්මක වෙනවා. මහමැතිවරණයකින් වසර පහකට ලැබූ ජන වරමක් පළාත් පාලන ඡන්ද ප්‍රතිපලයකින් ප්‍රශ්න කරන්නේ කොහොමද?
පිළිතුර:- පාර්ලිමේන්තු ඡන්දයෙන් ලැබූ ජන වරම ඉතිහාසයේ ප්‍රථම වතාවට පුංචි ඡන්දයකින් පිළිබිඹු වී තිබෙනවා. ඉතිහාසය පුරාම පුංචි ඡන්ද ජයගත්තේ ආණ්ඩු බලය තිබූ පක්ෂයයි. ආණ්ඩුව නියත වශයෙන්ම ජයග්‍රහණය කළ යුතු ඡන්දයක් පරාජයට පත්වෙනවා නම් අනෙක් මැතිවරණ කවර කතා ද? අපි 45% ක් පුංචි ඡන්දයේදී ගත්තා කියන්නේ පළාත් සභාවලදී 50% ඉක්මවාවි. මහ මැතිවරණයේදී 55% ඉක්මවාවි. ජනාධිපතිවරණෙකදි 60% ඉක්මවාවි. යකඩ මල්ලට ගුල්ලො ගැහුවා නම් වී මල්ල නොබලාම විසිකරන් කියලා කතාවක් තියෙනවා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ නායකයන් ලෝක සම්මතය අනුව ඉවත් වී ජනතාවට කැමැති නායකයන් පත්කරගැනීමට ඉඩදිය යුත්තේ ඒ නිසයි.

ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය මේ ප්‍රශ්නයට අත දැම්මේ ඇයි?
පිළිතුර:- ඇත්තටම අර්බුදය ඇතිකළේ අපි නෙවෙයි. මේ මැතිවරණ ප්‍රතිපලය අනුව ඔබට තවදුරටත් ධූරයේ කටයුතු කරන්න නොහැකි යැයි ද වෙනත් අගමැතිවරයකු පත්කිරීම සඳහා ඉල්ලා අස්වන්නැයි ද ජනාධිපතිවරයා අගමැතිවරයා කැඳවා කිව්වා. මේ දේශපාලන අර්බුදය බිහිවුණේ අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කිරීමෙන්. අපි ජනාධිපතිවරයාට විකල්පයක් යෝජනා කළේ රටක් අස්ථාවරවීමට ඉඩ දිය නොහැකි නිසයි.

ප්‍රශ්නය:- මොකද්ද මේ විකල්ප යෝජනාව?
පිළිතුර:- එ.ජ.නි.ස මන්ත්‍රීවරයෙකු අගමැති ධූරයට පත්කරනවා නම් ඔහුට විපක්ෂයේ සිට සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම්. ඒකාබද්ධ විපක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ අස්සනින් ලිඛිත සැලකිරීමක් ජනාධිපතිට අපි කළා. ඒ සමඟ එ.ජා.පයේ මන්ත්‍රීවරුන් රැසක්ම සන්ධානයට සහායදීමට තීරණය කර තිබෙන බව සන්ධාන නායකයන් අපට පැවසුවා. මේ සම්මුඛ සාකච්ඡාව මුද්‍රණයට යනවිට බොහෝවිට නව අගමැතිවරයකු බිහි වී තිබෙන්නට පුළුවන්.

ප්‍රශ්නය:- ඒ කියන්නේ එ.ජා.ප මන්ත්‍රීවරුන් පිරිසකගේ ආශිර්වාදය ඒකාබද්ධයට ලැබෙන බව ද?
පිළිතුර:- අපි ඒ ගැන මැදිහත්වීමක් කළේ නෑ. මොකද අපි ආණ්ඩුවක් හදන්න බලාපොරොත්තු වන්නේ නෑ. සන්ධානය එ.ජා.ප මන්ත්‍රීවරුන් සමඟ කළ සාකච්ඡාවලින් පසුව තමන්ට මන්ත්‍රීවරුන් 121 ක සහාය ඇතැයි එ.ජ.නි.ස ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අපට කිව්වා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයට ඇමැතිධූර බාරගන්නැයි යෝජනා කළා නේද?
පිළිතුර:- පසුගිය මහමැතිවරණයේදීත් පුංචි ඡන්දයේදීත් අපේ තේමාව වුණේ මහින්ද අගමැති කරමු යන්නයි. අපට ඇමැති ධූර දැරීමට ජන වරමක් තිබෙන්නේ මහින්ද අගමැති වන ආණ්ඩුවක පමණයි. එහෙත් ජනාධිපතිතුමා එයට සූදානම් නැති බව අපට පෙනුණා. එනිසා ඇමැති ධූර බාර නොගෙන මහින්ද නොවන අගමැතිවරයකුට සහාය පළකිරීමට තීරණය කළේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවට වඩා ප්‍රායෝගික විසඳුමකට යා යුතු නිසයි.

ප්‍රශ්නය:- ඇත්ත කතාව ආණ්ඩුව දුන්නත් ගන්න ඔබලා සූදානම් නෑ නේද?
පිළිතුර:- අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ වෙලාවෙ අපි කරන්නේ අගමැති ජනපති විරසකය හරහා රට අස්ථාවරවීම වැලැක්වීම පමණමයි. ඊළඟ ජනාධිපතිවරණය ජයගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ගම් මට්ටමින් වැඩ කරමින් සිටිනවා. තවත් මාස විස්සකින් එන ජනපතිවරණය ජයගැනීමෙන් පසු 2019 අගදී බාරගැනීමට රටක් තිබෙන්න ඕනෑ. මේ අස්ථාවරභාවයෙන් රට ඉදිරියට ගියොත් ලොකු වියවුලක වැටේවි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයේ කටයුතු කිරීම ඊටත් වඩා භයානකයි.

ප්‍රශ්නය:- ඔබලා මොනවා කීවත් අගමැතිවරයා කියන්නේ ව්‍යවස්ථාවට අනුව තමන් දිගටම අගමැති ධූරයේ කටයුතු කරන බවයි. බලෙන් අස්කරන්න පුළුවන් ද?
පිළිතුර:- ඔහු එසේ කියන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි උපදෙසක් කාගෙන්වත් ලැබී නැති නිසයි. අගමැති ධූරය පුරප්පාඩු වෙන්නේ කොහොමදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) වගන්තියේ සඳහන් වෙනවා. අගමැතිවරයා ඉල්ලා අස්වීම, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවීම, අමාත්‍ය මණ්ඩලය විසිර යෑම යන ක්‍රම තුන එහි සඳහන් වෙනවා. අමාත්‍ය මණ්ඩලය විසිර යා හැක්කේ කෙසේදැයි අපි ඊළඟට බලමු. අගමැතිවරයා ඉල්ලා අස්වීම එහි ප්‍රධාන වශයෙන් දක්වා තිබෙනවා. 19 වැනි සංශෝධනයේ චක්‍රීය ගැටයකට අගමැතිතුමා හසු වී තිබෙනවා. නීති විශාරදයන්ට පවා පෙනෙන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැති බවයි.
එහෙත් තව එක තැනක් තිබෙනවා. වාසනාවට දැන් තිබෙන්නේ ජාතික ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ ඇමැති ධූර 30 කට සීමා විය යුතු නමුත් ජාතික ආණ්ඩුවක් හදනවා නම් එවිට සිටිය යුතු ඇමැතිධූර ගණන පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුයි. 2015 සැප්තැම්බරයේදී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඇමැති මණ්ඩලය 48 දක්වා ඉහළ යන බවට යෝජනාවක් සම්මත වුණා. දැන් තිබෙන්නේ ඒ 48 ඇමැති මණ්ඩලය. ජාතික ආණ්ඩුවේ පාර්ශ්වයක් අස් වුණොත් ජාතික ආණ්ඩුව අහෝසි වී නැවත 30 ක ඇමැති මණ්ඩලයක් පත් කළ යුතුයි. ඇමැති මණ්ඩලය විසිර ගියාම අර කලින් කිව්ව 46(2) යටතේ අගමැති ධූරය පුරප්පාඩු වෙනවා. අගමැති ධූරය පුරප්පාඩු වුණොත් කොහොමද කෙනෙක් පත්කරන්නේ කියලා 42(4) වගන්තියේ සඳහන් වෙනවා.  ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයාව පත්කළ යුත්තේ යැයි එහි සඳහන් වෙනවා. සන්ධානයේ මහලේකම් හෙට අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යැයි එ.ජා.පයටත් ජනාධිපතිටත් දැනුම් දුන්නොත් පවතින අමාත්‍ය මණ්ඩලය විසිර යනවා. අමාත්‍ය මණ්ඩලය විසිර ගියාම අගමැති ධූරය පුරප්පාඩු වෙනවා. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය කිව්වාම 113 ක් පෙන්වීම අත්‍යවශ්‍ය නෑ. පළමුවැනිව උපරිම විශ්වාසය කියන්නේ සාමාන්‍ය බහුතරය නෙවෙයි. දෙවැනිව ජනාධිපතිවරයාගේ මතය අනුව කියද්දී විශ්වාසය ඔප්පු කර පෙන්විය යුතු නෑ. අවශ්‍ය වන්නේ ජනාධිපතිවරයාට එහෙම හිතෙන්න විතරයි. මේ පිළිබඳ පූර්වාදර්ශයකුත් තිබෙනවා. මන්ත්‍රීවරුන් 46 කගේ පමණක් සහයෝගය තිබූ රනිල් වික්‍රමසිංහ මහතාව 2015 ජනවාරි 9 අගමැති ධූරයට පත්කළේත් එහෙමයි.

ප්‍රශ්නය:- එහෙත් ජාතික ආණ්ඩුවට අස්සන් තැබූ ශ්‍රී.ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායක මේ වැඬේට විරුද්ධයි. ඔහු ඇතුලු තවත් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන් පිරිසකගේ සහාය මීට නොලැබෙන තත්ත්වයක ඒකාබද්ධයේ අරමුණු ඉටු වෙන්නේ කොහොමද?
පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට 2015 පත්කළේ ඔහු 113 ක් පෙන් වූ නිසාදැයි මා නැවතත් ප්‍රශ්න කරනවා. පත්වීමෙන් පසුවවත් විශ්වාසය පළකිරීමේ යෝජනාවක් මගින් හෝ ඔහු 113 පෙන්වූයේ නෑ. එනිසා ව්‍යවස්ථානුකූලව 113 ක් පෙන්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ. පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි ජනාධිපතිට හිතෙන කෙනාවයි පත්කරන්නේ. ඒ නිසා අවශ්‍ය හිතෙන්න විතරයි.

ප්‍රශ්නය:- ජාතික ආණ්ඩුව අර්ථකතනය කෙරෙන්නේ වැඩිම මන්ත්‍රීධූර හිමි පක්ෂය හා දෙවැනියට වැඩිම මන්ත්‍රී ධූර හිමි පක්ෂය කියා නොවෙයි නේද? ජාතික ආණ්ඩුව යනු කුමක්දැයි නිසි අර්ථදැක්වීමකුත් නැහැ නේද?
පිළිතුර:- ඇත්තෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂය අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගත යුතුයි. වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථානුකූලත්වය ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළා. එහිදී අධිකරණයේ මතය වූයේ ජාතික ආණ්ඩුව යනු ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාදාමය පිළිබඳ අභ්‍යන්තර කාරණයක් බැවින් ඊට තමන්ට මැදිහත් විය නොහැකි බවයි. අවාසනාවට මේ ගැන අර්ථදැක්වීමක් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළා. ව්‍යවස්ථාව අනුව බැලුවොත් මෙතෙක් පැවැති ජාතික ආණ්ඩුව යැයි කියාගන්නා එකත් ජාතික ආණ්ඩුවක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථදැක්වීම ප්‍රතික්ෂේප කළ නිසා අපි අපිට අර්ථදැක්වීම් කරගන්න සිදුවෙනවා.

ප්‍රශ්නය:- එසේ නම් මෙය තරමක් ව්‍යාකූල යැයි පිළිගන්නවාද?
පිළිතුර:- නැහැ. මෙය සරලයි. වැදගත් වෙන්නේ එතැන නෙවෙයි. ජාතික ආණ්ඩුවක් පිහිටෙව්වාට පස්සේ ඇමැති ධූර ගණන තීරණය කරන්නේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ධූර හිමි පක්ෂයට වුණත් පාර්ලිමේන්තුවේ බහුතරය නැත්නම් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඇමැති මණ්ඩලය වැඩි කරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

ප්‍රශ්නය:- දැන් විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට හිමි විය යුතු යැයි පාඨලි චම්පික රණවක ඇමැතිවරයා යෝජනා කර තිබෙනවා. ඒකාබද්ධයේ අපේක්ෂාවත් එය ද?
පිළිතුර:- සන්ධාන ආණ්ඩුවක් බිහිකරමින් විපක්ෂ නායක ධූරය ඉල්ලන්න අපට බෑ. සන්ධාන අගමැතිවරයකු බිහිවුණොත් එ.ජා.පයට විපක්ෂයට යෑමට සිදුවෙනවා. ඔවුන්ගේ ගණන 52 ට වැඩි නිසා එ.ජා.පය ඉල්ලන කෙනෙකුට විපක්ෂ නායක ධූරය දිය යුතුයි. එහෙත් රණවක ඇමැතිතුමාගේ ප්‍රකාශය අතිශයින් වැදගත්. විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට දීමට පාර්ලිමේන්තුවේ බල තුලනයේ කිසිදු වෙනසක් වුණේ නෑ. තාම තිබෙන්නේ 2015 අගෝස්තුවේ බිහි කළ පාර්ලිමේන්තුවමයි. ඇමැතිතුමා තම ප්‍රකාශයෙන් එසේ නම් පිළිගන්නේ වසර තුනක් තිස්සේ අපි ඒකාබද්ධ විපක්ෂයට බලවත් අසාධාරණයක් කළ බවයි. ඔවුන්ට හිමි විය යුතු විපක්ෂ නායක ධූරය අපි බලෙන් උදුරාගෙන සිටි නමුත් ඒ වරද දැන් පිළිගන්නා බවයි. වසර තුනකට හෝ වරද පිළිගැනීම අපට සතුටක්.

ප්‍රශ්නය:- යම් හෙයකින් සන්ධාන ආණ්ඩුවක් බිහිවුණොත් එතැන් පටන් ඒකාබද්ධ විපක්ෂය නමැති දේශපාලන කණ්ඩායම හඳුන්වන්නේ කොහොමද?
පිළිතුර:- අපි ඒකාබද්ධ විපක්ෂයම තමයි. අපේ එ.ජ.නි.ස මන්ත්‍රීවරු 43 ක් ආණ්ඩුවේ සිටියදී අපි 54ක් විපක්ෂයේ හිටියා. අපේ දෙන්නෙක් පුංචි ඡන්ද සමයේ ආණ්ඩුවට එක් වූ නිසා අපි 52 ට බැස්සා. එදා වාගේම අපි 52 විපක්ෂයේ සිටිනවා. දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටිමින් එ.ජා.ප ආණ්ඩුවට විවේචනාත්මක සහාය පළ කළ අයුරින්ම අපි විපක්ෂයේ සිටිමින් සන්ධාන ආණ්ඩුවට විවේචනාත්මක සහාය පළ කරනවා.

ප්‍රශ්නය:- ජනාධිපති කොමිෂන් වාර්තා දෙකක් පසුගියදා නිකුත් වුණා. බැඳුම්කර කොමිසම් නිර්දේශ එ.ජා.පය ඉලක්ක කරගනිද්දී බරපතල මූල්‍ය වංචා කොමිසම් නිර්දේශ රැසක ඉලක්ක බවට සන්ධාන පාර්ශ්වය පත්ව සිටිනවා. මේ වාර්තා දෙකට අදාළව ඉදිරි පියවර කුමක් විය යුතු යැයි ඒකාබද්ධය සිතනවාද?
පිළිතුර:- අප අතර සිටින යම් මන්ත්‍රීවරයකු, ආධාරකරුවකු නීතියට පටහැනිව යමක් කර තිබේ නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි අපි දැඩි ස්ථාවරයක සිටිනවා. එය අප ආණ්ඩුවට සහාය දක්වනවාද විපක්ෂයේ සිටිනවාද යන්න මත වෙනස් නොවිය යුතුයි. අපි ආණ්ඩුවට සහාය දෙන්නේ එවැනි පටු අරමුණකින් නෙවෙයි. අගමැතිතුමා නම්‍යශීලීව ඉවත්ව යනවා නම් අපේ මැදිහත්වීමකින් තොරව මේ ප්‍රශ්නය විසදෙන්න ඉඩතිබුණා. එහෙම නම් එ.ජා.පයෙන් වෙනත් අගමැතිවරයකු පත් වී ආණ්ඩුව ඉදිරියට යනවා. අපිත් නඩුත් අතර කිසිදු සම්බන්ධයක් නෑ. එය අධිකරණ ක්‍රියාවලියක්.