මේ දවස්වල රටේ හැමෝම අහන්නේ තෙල් නැව එන්නේ කවදද කියාය. මේ රටේ මීට පෙර කවදාවත්ම නොතිබුණු ආකාරයේ තෙල් ප‍්‍රශ්නයක් නිසා සතියක් පමණ රටම නැවතී තිබුණු බව හැමෝටම හොඳට මතකය. ඒ ප‍්‍රශ්නයෙන් ඇතිකළ කම්පනය තවමත් පහවී ගියේ නැති ගානය. ආණ්ඩුව කියන්නේ තෙල් නැව එනකල් ඉවසගෙන ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නොමැති බවය.

අරපිරිමැස්මෙන් ගෙවල්වල තියෙන තෙල් ටික පාවිච්චි කරන්න කියා ඛනිජ තෙල් ඇමතිවරයා කීවේ ඒ නිසා විය යුතුය. ඒ වගේ වැඩකට නැති කථාවක්  කියනවා හැරෙන්නට වෙන යමක් කියන්නට හෝ කරන්නට ඔහුට මේ මොහොතේ ඉතිරි වී ඇතැයි මා සිතන්නේද නැත. මේ වගේ දේවල් ඉවසන්න පුරුදු විය යුතු බව සමහර යහපාලන ඇමතිවරුන් ප‍්‍රකාශ නිකුත් කරමින් කියන්නට ගත්තේ තෙල් ප‍්‍රශ්නය ආපු කාලයේ සිටමය.

නැවක් එනකල් බලාසිටීම කියන කියමන රටේ මහ සමාජයට අලූත් දෙයක් වුණාට විශ්ව විද්‍යාලවල තියෙන උප භාෂාවට අනුව නම් එය නිතරම කියන තවුරුත් දන්නා ප‍්‍රකාශයකි. අපි නැවක් එනවා යැයි කියන්නේ අලූතින් බැච් එකක් විශ්ව විද්‍යාලයට එන එකටය. ඒ නැව එනකල් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් බලා ඉන්නේ අලූත් බැච් එකේ අය විවිධ ආකාරයෙන් පිළිගැනීමකටය.

සමහරුන් තම තමන්ගේ ඊළඟ සහකාරියන් හොයා ගන්නේත් මේ එන අලූත් නැව හරහාය. අනෙක් අතට විශ්ව විද්‍යාලවල දේශපාලනය කරපු අපි වැනි අය නැවක් එනතුරු ඉන්නේ අපේ  දේශපාලන මතවාද ඒ අලූතින් එන අයට කියා දෙන්නටය. එයට කියන්නේ තෙල් බෙදනවා කියාය. මෙතැන වෙනස වන්නේ  විශ්වවිද්‍යාලයේ අය නැවක් එනතුරු ඉන්නේ තෙල් බෙදන්නට වන අතර ආණ්ඩුවේ අය නැවක් එනතුරු ඉන්නේ තෙල් ගසාගන්නට වීමය.

ඒ නැවේ ප‍්‍රශ්නය කෙසේ වෙතත් මේ තෙල්  ප‍්‍රශ්නය හරහා පෙන්නුම් කරන්නේ මේ රටේ බරපතළ ආකාරයේ පරිපාලනමය වූ ගැටලූවක් තිබෙන බවය. මේ ගැන තරමක් පළල් ආකාරයෙන් සාකච්ජා කිරීම රටක් හැටියට ඉතාමත් වැදගත්ය.

මට හිතෙන්නේ මෙතැන ප‍්‍රශ්න දෙකක් එකට සම්බන්ධ වී තිබෙන බවය. එකක් වන්නේ මේ ආණ්ඩුව පැමිණීමෙන් පසු කාලයේ රට තුළ ගොඩ නැගී ඇති රජයේ නිලධාරි සම්බන්ධ තත්ත්වයක්ය. මේ ආණ්ඩුවට හිතවත් අය හැසිරෙන්නේ රාජ්‍යයේ සිටින නිලධාරියා යනු හොරෙක්ය යන අවිඥ්ඥානයක් රට තුළ ගොඩනැගෙන ආකාරයටය. ඇත්තටම මේ වැඩේ පටන් ගත්තේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය. ඒ මැතිවරණය දිනන්න නම් ඒ කාලයේ පැවති ආණ්ඩුවට එරෙහිව අලංකාරිකමය වූ චෝදනා මාලාවක් හැදීම ඒ අයගේ පැත්තෙන් අනිවාර්ය දෙයක්  විය. මේ චෝදනා හුඟක් හරිය හුදු ඡන්දයට හදපු ඒවා මිස ඇත්තටම තිබෙන ඒවා නොවන බව ආණ්ඩුවට හිතවත් සිවිල් සමාජයේ අය හෝ එජාපයේ සමහර කණ්ඩායම් හෝ දන්නේ නැත. ඒ අය වැඩේට බැස්සේම මේ රටේ පරිපාලන ක්ෂේත‍්‍රයේ සිටි සියලූම නිලධාරින් දුෂිත යැයි සිතාගෙනය.

රටේ පරිපාලනයේ නොපෙනෙන යටි අදහස වන්නේ මොන ආකාරයක නීති රීති තිබුණත් කරන  ඕන වැඩක් නිලධාරියාගේ වැරුද්දක් ලෙසින් ඊළඟ ආණ්ඩුව සැලකිය හැකි යැයි සිතා සිටීමය. ඒ නිසාම නිලධාරීන් අවංකවම හදන්නේ හොඳින් ෆයිල් එක හැදීමටය. අනෙක් අතට වැඩක් නොකර සිටීම දඬුවම් ලැබීමේ වරදක් නොවන බවත් වැඩක් කිරීමට යාමෙන් දඬුවම් ලැබිය හැකි බවත් මේ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය හරහා ඔවුන් හොඳින්ම මේ වන විට තේරුම් ගෙන හමාරය.

ඇත්තටම තනිකරම වූ වගකීම කිසිම නිලධාරියකුට නොවැටහෙන පරිදි වැඩක්  හරිම අමාරු දෙයකි. ඒ නිසාම ඒ වැඩේ නොකිරීමේ දිසාවට තල්ලූවීම අනිවාර්යයෙන්ම සිදුවන බව කාට වුණත් තේරුම් යා හැකිය. දැන් රටේ නිලධාරීන්ගේ පැත්තෙන් ගොඩ නැගී ඇති මේ තත්ත්වය මේ තෙල් ප‍්‍රශ්නයට ඝෘජුවම සම්බන්ධ බව මගේ අදහසය. හදිසියේ ආයුධ මිලදී ගැනීමට එරෙහිව හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්ට දැනටමත් නඩු දමා හමාරය. අනෙක් පැත්තෙන් ගං වතුර ආධාර බෙදුවා යැයි ඒ ආණ්ඩුව කාලයේ සිටි නිලධාරීන් රාශියකට එරෙහිව නෛතික ක‍්‍රියාමාර්ග දැනටමත් අරගෙන හමාරය.

මේ වැනි අත්‍යාවශ්‍ය මිලදී ගැනීම් පසුව එන ආණ්ඩුව බලන්නේ සැකයෙන් හා වෙනමම දෘෂ්ටිකෝණයකින් නිසා රටේ සියලූම දෙනා පාරට විත් තෙල් පෝලිමේ හිටියත් අත්‍යවශ්‍ය මිලදී ගැනීම්වලට නිලධාරීන් සම්බන්ධ වන්නේ කල්පනාවෙන්ය. දින 21 තෙල් ස්ටොක් එකක් රට තුළ තිබිය යුතු යැයි තිබූ පිළිගැනීම දිගටම පවත්වාගෙන නොගියේ ඒ බව කොහේවත් ලිඛිතව නොතිබූ නිසා දැයි මා දන්නේ නැත. නිලධාරීන්ගේ මනස බියෙන් වසා ඇති තත්ත්වයක් තුළ එවැනි තීරණ ගැනීමට සිදුවන්නේ දේශපාලඥයන්ම පමණක් වීම මෙහි ඇති අනෙක් බරපතළ තත්ත්වයය.

දේශපාලනඥයා විසින් තාක්ෂණික තීරණ ගැනීමට යාම කෙළවර වන්නේ රටටම ඉන්ධන නොමැති වීමකට ගොදුරුවීම හෝ  මුළු රටටම කරන්ට් එක වැදීම වැනි දෙයක් අත්විඳීමෙනි. දැනට සිදුවී ඇත්තේ පළමු වැඬේ නම් සිදුවී හමාරය. ඉදිරියේදී අනෙක් ක්ෂේත‍්‍රවලද මේ තත්ත්වය උදා නොවේවා යැයි ප‍්‍රාර්ථනය කිරීම හැර වෙන කළ හැකි යමක් අපට නැත.

මෙහිදී තේරුම් ගත යුතු තවත් වැදගත් දෙයක් ද තිබේ. ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් තිබෙන රටක නිලධාරියා සහ රටේ ජනාධිපතිවරයා අතර විශ්වාසය සම්බන්ධව බරපතළ ගැටලූවක් නොඑන පරිදි වැඩ කටයුතු කිරීමට හැකි නෛතික ඉඩක් 1978 ව්‍යවස්ථාවේ තිබෙන බව බොහෝ අය දන්නේ නැත. මේ ව්‍යවස්ථාවට අනුව සෑම අමාත්‍යාංශයකටම ජනාධිපතිවරයා පත් කරන පුද්ගලයන් දෙදෙනකු සිටින බව අප අමකත නොකළ යුතුය. ඇමතිවරයාත් අමාත්‍යාංශ ලේකම්වරයාත් යන දෙදනාම ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ ඒ දෙදනාටම ඝෘජු රාජකාරිමය වූ සම්බන්ධතාවක් රටේ ජනාධිපතිවරයාට තබා ගැනීම මේ ආණ්ඩු ක‍්‍රමය යටතේ අත්‍යාවශ්‍ය දෙයක් වන නිසාය.

පසුගිය ආණ්ඩු කාලයේ ඒ සම්බන්ධයෙන් සමහර අවස්ථාවල ගැටලූකාරීත්වයක්  මතු වූ බවත් සැබෑය. සමහර ලේකම්වරුන් ඇමැතිවරුන්ට එරෙහිව යාම වැනි නොවිය යුතු දේවල් එහිදී සිදුවූ බැව් ද සැබෑය. එහෙත් ඇමැතිවරයාගේ සහයෝගයත් ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවත් යන දෙකම එකට පවත්වාගෙන ගිය අවස්ථා ද   ඕන තරම් ජයවර්ධන රජයේ සිට රාජපක්ෂ රජය දක්වාම තිබූ බව මගේ අදහසය. රාජපක්ෂ පාලනය කාලයේ මේ රටේ විශාල වැඩ කොටසක් සිදු වුවේ යැයි සිතන බොහෝ අය නොදන්නා කාරණයක් වන්නේ ඒ සමහර ජයග‍්‍රහණ පසුපස ඇත්තේ එවැනි සක‍්‍රීය සම්බන්ධතා බවය.

විශේෂයෙන් තේරුම් ගත් කාරණය වන්නේ යුද්ධය ජයග‍්‍රහණය කිරීම ආර්ථිකමය වශයෙන් නිවැරැදි තීරණ ගණනාවක්ම ගැනීම සහ උතුරේ හා රටපුරා යටිතල පහසුකම් විශාල වශයෙන් සිදු කිරීම පසුපස තිබුණේ මේ කියන ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයේ තිබෙන යහපත් ලක්ෂණයන්ගේ හේතුව නිසා බවය. රටේ විධායකය මේ කාරණය තේරුම් ගෙන ව්‍යවස්ථාවේ තියෙන නෛතික ඉඩ හරහා මේවාට මැදිහත්විය යුතු බව මගේ අදහසය.

දැන් රටට තෙල් නැතිවීම ගෙනාපු තෙල්වල ප‍්‍රමිතිය වැරදි නිසා සිදුවුණ දෙයක් යැයි සරලව කිව නොහැකි වන්නේ මේ  කාරණයත් නිසාය. තෙල් සම්බන්ධව ගත යුතු බරපතළ තීරණ ගැනීමේ තාක්ෂණික ඉඩ ඒ ඒ ආයතනවලට ලබා දි තිබුණත් ඒ සම්බන්ධව තිබිය  යුතු දේශපාලන හා රජකාරිමය වූ නිර්භයතාව නිලධාරින්ගෙන් ඉවත් කර තිබෙන නිසා එවැනි තීරණ ගැනීමෙන් වැළකී සිටීම හැර වෙන දෙයක් ඒ අයට නැත.

අනෙක් අතට අපේ රටේ වාහන සම්බන්ධව දැන් ඇතිවෙමින් තිබෙන ඉන්දියානුවාදය ද ඉන්දියන් ඔයිල් සමාගමට නොදෙවෙනි බලපෑමක් මේ රටට සිදු කරමින් තිබෙන බව අප පිළිගතයුතු කාරණයකි. අද පාරකට බැස්සවිට පෙනෙන්නේ ඒක්කෝ ඉන්දියානු බජාජ් ත‍්‍රීවීලර්ය එහෙම නැත්නම් ඉන්දියානු හොන්ඩා මෝටර් සයිකල්ය. ඒ දෙකම නැති තැන්වල පේන්නේ අශෝක් ලේලන්ඩ් හෝ 1210 ලොරි චැසිවලට බොඩි ගසා ඇති බස්රථය.

ඉන්දියාවෙන් අපිට ලැබුණ බරපතළම මතවාදී බලපෑම බුදුසමය යැයි කීවාට මට නම් හිතෙන්නේ දැන් ඉන්දියාවෙන් අපට ඇති තීරණාත්මකම මතවාදී බලය වන්නේ මහපාරේ බලය සම්පූර්ණයෙන්ම ඒ අය අතට ගැනීමය. තෙලූත් ඒ අයගේය. බසුත් ඒ අයගේය. ත‍්‍රීවීලරුත් ඒ අයගේය. මෝටර් සයිකලූත් ඒ අයගේය. පදවන්නෝ පමණක් අපේය. මේ තත්ත්වය තේරුම් ගැනීම රටක් ලෙසින් ඉතාමත් වැදගත් බව අප පිළිගත යුතුය.

මගේ විදේශීය මිතුරෙකු මෑතකදී මේ පිළිබඳව අපූරු දෙයක් මා හට කීවේය. ඔහුට අනුව අප යමින් සිටින්නේ ත‍්‍රීවීල් රියැදුරන්ගෙන් පිරුණ ජාතියක් හැදීමටය. මේ ඉන්දියානු බලපෑමෙන් මිදීම අපේ දේශපාලනයේ එක් කලාපයක් විය යුතු බව මගේ අදහසය.

 

(පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ  අංශාධිපති ආචාර්ය චරිත හේරත්)