බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන

(bingungamage88@gmail.com,tharindudld@gmail.com)

සිවිල් යුද්ධය නිමා වී වසර අටක් ගෙවී ඇතත් එයින් උපන් අනිටු පල විපාකවල අඩුවක් නම් නැත. උතුර දකුණ කියා හෝ සිංහල දෙමළ කියා කිසිදු වෙනසක් ඊට නැත. ජීවිත හා දේපළ හානි මෙන්ම ඒ නිසා හටගත් මානසික කම්පනවල අඩුවක් නැත. රටේ එදිනෙදා වැඩ අස්සේ යට යන මේ ප‍්‍රශ්න විවිධ මුහුණුවරින් නැවත මතුවීමෙන් එය මනාව පසක් වේ.

යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සමීපතමයන් මේ දිනවල කරන ඉල්ලීම් ද එම කතාවේම නිමා නොවුණු තවත් පරිච්ඡේදයකි. යුද්ධයේදී ජීවිතක්ෂයට පත් වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන් හා ආබාධිතභාවයට පත් පිරිස අතර විවාදාත්මක තලයක කතාබහක් මතුව තිබෙන්නේ ද එහි ප‍්‍රතිපලයක් වශයෙනි.

මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් අවුරුදු 55 වෙනකන් වැටුප ලැබුණා. ඒ 21/88 චක‍්‍රලේඛයට අනුවයි. ආබාධිත අයටත් එහෙමයි. මිය ගියත් ආබාධිත වුණත් 55 වෙනතුරු වැටුප ලැබුණා. අවුරුදු 55 දි වැටුප නතර වෙනවා. ඉන්පසුව අපට ලැබෙන්නේ වැන්දඹු අනත්දරු හා යැපෙන්නන්ගේ දීමනාවයි. ඒ වැටුපෙන් ජීවත්වීමට බෑ කියලා අපි සාකච්ඡා ගණනාවකට ගියා. සාකච්ඡා කීපයකට පස්සේ අවුරුදු පනස් පහෙන් පස්සේ සීයට සීයක් වැටුප කියන තැනට ආවා. ඒ කියන්නේ බේසික් එක. හැබැයි ඉල්ලූවේ ජීවිතාන්තය දක්වා වැටුපයි. හරියට කිව්වොත් මේ සීයට සීයෙ බේසික් එකෙන් අපට ලැබෙන්නෙ එතෙක් ලැබූ වැටුපෙන් 50-55 ක් පමණයි. මේ දවස්වල ආබාධිත රණවිරුවන් ජීවිතාන්තය දක්වා වැටුප ඉල්ලා අරගල කරනවා. අපි ඉල්ලූවෙත් ඒකමයි. මිය ගිය ආබාධිත අතුරුදන් ඔය හැම දෙනාටම ගෙව්වෙ එකම අමාත්‍ය මණ්ඩල පනතකින්. එකම චක‍්‍රලේඛයකින්. දැන් ඒ අයට විතරක් වෙනසක් කරන්න යනවා. මේ හඬ සමස්ත ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමයේ සභාපතිනි කුමාරි ඇන්තනී මහත්මියගේය.

සමස්ත ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය පවසන්නේ ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිතාන්තය දක්වා වැටුප ගෙවීමට රජය සූදානම් බවයි. එසේ නම් එම වරප‍්‍රසාදය මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ වැන්දඹු බිරින්දැවරුන්ට ද ලබා දෙන්නැයි ඔවුහු පවසති.

හස්බන්ඩ් මැරුණා කියලා අපට එහෙම සැළකිය යුතු වන්දි මුදලක් ලැබුණේ නෑ. රුපියල් 75 000 යි. මවුපිය දෙපළට විසි පන්දාහ බැගින් පනස්දාහයි. බිරිඳට විසි පන්දාහයි. මනුස්සයෙක් මැරුණාම රුපියල් 25 000 කින් ඒ පවුල ගොඩගන්න බෑනෙ. ඉන්ෂූවරන්ස් කරගත්තෙ නැති නම් රජයෙන් දීපු ගාන විතරයි. අග‍්‍රහාර තිබුණු අයට රුපියල් ලක්ෂ හයක විතර මුදලක් ලැබුණා. ඒත් 2006 න් පස්සෙ අග‍්‍රහාරවලට සම්බන්ධ වූ අයට විතරයි. මේ වෙද්දි ගොඩක් අය විශ‍්‍රාම ගිහින්. රජය කියන්නෙ සීයට සීයක් විශ‍්‍රාම වැටුප දුන්නා කියලයි. හැබැයි අපට වැඩිවෙලා තිබෙන්නේ රුපියල් පන්දාහයි. අධිකාරියෙ සභාපතිතුමිය කියන්නෙ ආබාධිත අයට ජීවිතාන්තය දක්වා වැටුප දෙන එක සාධාරණයි කියලයි. මොකද ආබාධිත තත්ත්වය වැඩිවෙනවා මිස අඩුවෙන්නේ නෑනෙ. රජය ඒ තීරණය ගන්නවාට අපි විරුද්ධ නෑ. හැබැයි මැරිච්ච රණවිරුවා ගැන ඒ අය කතාකරන්නේ නෑ. අපට කනගාටුව ඒකයි. ආණ්ඩුවේ ආබාධිතභාවය මනින තර්කයට අනුව ගත්තොත් මියයාම කියන්නේ සීයට සීයක අහිමිවීමක්.

මේ දෙපිරිසේ ඉල්ලීම්වල පදනම අහිමිවීම්ය. ආරක්ෂක අංශ සාමාජිකයාට සිය සිරුරෙන් අහිමි වූ ප‍්‍රමාණය අනුව රජය ආබාධිතභාවය ප‍්‍රමාණීකරණය කරයි. එවිට වැන්දඹු බිරින්ඳෑවරුන් පවසන්නේ මිය යාම සියයට සීයක අහිමිවීමක් නොවන්නේ මන්දැයි කියාය. විවාදය හටගෙන ඇත්තේ ආබාධිතභාවය හා මිය යාම ගැන වුවද පොදුවේ ගත්කළ එය නැවත නැවතත් අපට පසක් කරන්නේ යුද්ධයේ අනිටු පල විපාකම මිස අනෙකක් නොවේ. ප‍්‍රදානය කරන්නට යනවා යැයි කියන ජීවිතාන්තය දක්වා වැටුප සම්බන්ධයෙන් විස්තර දැනගැනීම සඳහා මේ වනවිට රණවිරු බිරින්ඳෑවරුන්ගේ සංගමය තොරතුරු දැනගැනීමේ අයැදුම්පතක් පවා යොමු කර තිබේ.

රුපියල් 10 000 ක එකතුවීමක් වැටුපට සිදුකරමින් 2015 වැටුප් පරිවර්තනයක් ආවා. හැබැයි 2015 දෙසැම්බර් 31 ට කලින් වයස 55 සම්පූර්ණ වූ අයට වැටුපට රුපියල් 10000 හිමිකම් තිබුණත් විශ‍්‍රාම වැටුපට ඒ හිමිකම ආවෙ නෑ. ඒ අයට ලොකුම අසාධාරණයක් වුණා. ඒක සියලූම විශ‍්‍රාමිකයන්ට අදාළයි. මොකද 2020 වෙනතුරු විශ‍්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් සංශෝධනයක් වෙන්නේ නෑ කියලා කිව්ව නිසා. 2009 යුද්ධය අවසන් වූ නිසා මේ වෙනකොට අපේ දරුවන් ලොකු වෙලා ඉන්න  ඕනෑ. ඒ නිසා ප‍්‍රශ්න අඩුවෙන්න ඕනෑ කියලයි අධිකාරිය පැත්තෙන් කියන්නේ. පොඩ්ඩක් හිතන්න. අපේ ස්වාමිපුරුෂයනුත් ආබාධිත වෙලා හිටියා නම් අපිත් මේක ගන්නවා. හැබැයි අද ඔවුන් ජීවතුන් අතර නෑ. ආබාධිත තත්ත්වයෙන් හෝ සිටිනවා වෙනුවට ඔවුන් අප අතරේ නෑ කියන්නෙ ඒක තවත් වේදනාවක්. නිලධාරින්ට ඒක නොතේරෙන්නෙ ඇයි? රජය එවැනි තීරණයක් ගත්තොත් අපි ඉතාම කනගාටු වෙනවා. 1983 සිට රණවිරුවන් ආබාධවලට ලක්වුණා. මිය ගියා. අතුරුදන් වුණා. හැබැයි එදා සිට පැවැති සෑම රජයක්ම වචන පෙළගැස්සුවේ මිය ගියා. අතුරුදන්,ආබාධිත කියලයි. මේ රජය තමයි මේ පිළිවෙල වෙනස් කරන්න යන්නේ. අපි ඒකට විරුද්ධයි. රණවිරු බිරින්ඳෑවරුන්ගේ සංගමයේ ලේකම් චන්දිමා ගුණවර්ධන මහත්මිය පවසන්නීය.

ආබාධිත අය හා අපි එකම සංසදවල තමයි වැඩ කළේ. හැබැයි ඔවුන් කියන්නේ අපිට වෙනම ඉල්ලීම් කරන්න කියලයි. ඔවුන් කියන්නේ තවමත් අපට දරුවන් හදන්න පුළුවන් කියලයි. ඒක හරි. හැබැයි අවුරුදු පනස් පහ සම්පූර්ණ වූ මිය ගිය රණවිරුවන් ත‍්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසියෙත් සිටින්නේ දාහකට අඩුවෙන්. ජීවිතාන්තය දක්වා වැටුප බිරින්ඳෑවරුන්ටත් දුන්නා කියලා ලොකු මුදලක් වැයවෙන්නේ නෑ. අපේ සංගම් කැමැති කරගන්න කියලා ආබාධිත අයට ඉහළින් කියලා තියෙනවා. අපි තොරතුරු දැනගැනීමේ ඉල්ලීම් කීපයක්ම කළේ ඉන්පසුවයි.  

ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක් ද? සමස්ත ලංකා දිවි පිදු හා ආබාධිත රණවිරු එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක උපාලි දයානන්ද මහතා සම්බන්ධ කරගත්තේ ඒ අනුවය.

අවුරුදු 55 වෙනතුරු වැටුප් හා දීමනා ඒ ගොල්ලන්ටත් ගෙවනවා. අපිටත් ගෙවනවා. හැබැයි මිය ගිය රණවිරුවා දැන් මියගිහින් ඉවරයි. අහිමිවීම මිස ඒ බිරින්ඳෑවරු පුද්ලයා නිසා දුකක් විඳින්නේ නෑ. කාටත් දරුවෝ ඉන්නවා. අවුරුදු පනස් පහ වෙනකොට ඒ ගොල්ලන්ගෙත් අපේත් දරුවො දීග ගිහින් වෙන්න පුළුවන්. එතකොට මේ තනි කෙනෙකුට තමයි ඉල්ලීම් කරන්නෙ. අපේ බෙල්ලෙන් පහළ පණ නැති අය ඉන්නවා. කකුල දෙකම අහිමි අය, දෑසම නොපෙණෙන  අය වගේම මල මුත‍්‍ර පැකට් එල්ලාගෙන රෝද පුටුවටම ජීවිතය සිර වූවන් සිටිනවා. අවුරුදු පනස් පහෙන් පස්සේ ආබාධිත පුද්ගලයයි මේ අයයි සමාන වෙනවාද? වයෝවෘද්ධ වනවිට අපේ රෝගී තත්ත්වය උත්සන්න වෙනවා. දිගින් දිගටම ඖෂධ පානය නිසා බොහෝ දෙනෙකුට දන් වකුගඩු ප‍්‍රශ්න ඇති වෙලා. රෝද පුටුවක යන මනුස්සෙයකුට තව කෙනෙකුගෙ උදවු නැතිව බෑ. හැබැයි බිරින්ඳෑවරුන්ට එහෙම තත්ත්වයක් නෑනෙ. ආබාධිත රණවිරුවාට දෙනවා නම් අපිටත්  ඕනෑ කියලා මේ ඉතාම අසාධාරණ ඉල්ලීමක්නෙ කරන්නේ. ඒ අය යැපෙන්නන්. හැබැයි අපි යුද්ධය කරපු මිනිස්සු. සැමියා මිය ගිය අයට විවාහවෙන්න ආණ්ඩුව අවසර දීලා තිබෙනවා. එතකොට අවුරුදු දහයක වැටුප ලබාදෙනවා. 2013 ආරක්ෂක අමාත්‍යංශයෙන් ත‍්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානින් හා විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා අපි ගැන සොයාබැලීමට වෙනම කමිටුවක් ද පත් කළා. එහි නිරීක්ෂණ වාර්තාවෙන් අවුරුදු 55 න් පසුව අප මුහුණ දෙන තත්ත්වය පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා.  ඒ  නිසා වැටුප් හා දීමනා අඛණ්ඩව ගෙවන්න කියලා ඒ මණ්ඩල වාර්තාවේ නිර්දේශ කරනවා. අපි කියන්නෙ ඒ මණ්ඩල වාර්තාව ක‍්‍රියාත්මක කරන්න කියලයි. ඒකෙ බිරින්ඳෑවරු ගැන නෑ.  

උපාලි දයානන්ද මහතා වැඩිදුරටත් අවධාරණය කරමින් පැවැසුවේ ජනාධිපතිවරයා සිය ප‍්‍රශ්නයට සැළකිය යුතු මැදිහත්වීමක් කර ඇති බවයි. එහෙත් ජනාධිපතිවරයාගේ නිර්දේශ පවා අතරමග සිරව ඇති බවයි.

”මේ ගැන කියාගෙන ගියාම 15 ක සුරැකුම් දීමනාව කියලා එකක් 55 න් පස්සෙ පඩියට එකතු කළා. හැබැයි ඒක ලැබෙන්නෙ සේවා කාලය අනුව. ඒ නිසා ඒකෙන් සාධාරණයක් ඉටුවෙන්නේ නෑ. 55 වෙනතුරු දුබලතා දීමනාවක් ගෙවනවා. සුරැකුම් දීමනාව එක්ක වෙන්නේ අපේ දුබලතා දීමනාව කපාහරින එක. හැබැයි බිරින්ඳෑවරුන්ට ගෙවන රුපියල් 13 000 ක යැපෙන්නන්ගේ දීමනාව නම් ජීවිතාන්තය දක්වා ගෙවනවා. එතැනත් අපට වෙන්නේ අසාධාරණයක්. සුරැකුම් දීමනාවයි යැපෙන්නන්ගේ දීමනාවයි විශ‍්‍රාම වැටුපයි තුනක් ඒ අයට ලැබෙනවා. ඒ අය දැන් කියන්නෙ ආබාධිතයාට දෙනවා නම් අපිටත් දෙන්න කියලයි. ඒ අයට දුන්නට අපට ඇත්තටම කමක් නෑ. අපි ආණ්ඩුවට කියන්නෙ සල්ලි තියෙනවා නම් ඒ අයටත් දෙන්න. හැබැයි එහෙම නම් අපේ අභාවයෙන් පස්සේ අපේ බිරින්ඳෑවරුත් රණවිරු බිරින්ඳෑවරු හැටියට සලකලා ජීවිතාන්තය දක්වා වැටුප ඔවුන්ටත් දෙන්න  ඕනෑ.  මේ දක්වා වූ සාකච්ඡාවලදි හිටපු ආරක්ෂක ලේකම්වරයාටත් දැන් සිටින අතිරේක ලේකම්වරයාටත් ජීවිතාන්තය දක්වා වැටුප අනුමත කරන්නැයි ඉල්ලූවා. ඒත් තාම ඒක ක‍්‍රියාවට යොදා නෑ. ඊටපස්සෙ තමයි සුරැකුම් දීමනාව එකතු කළේ. පස්සෙ ජනාධිපති පෞද්ගලික ලේකම් හා කාර්ය මණ්ඩල ප‍්‍රධානී සම`ග සාකච්ඡා කළාම ඔවුන් එය කඩිනමින්ම ජනාධිපතිවරයාට යොමු කරන බව කිව්වා. ආබාධිත සෙබළුන්ට ජීවිතාන්තය දක්වා සම්පූර්ණ වැටුප අනුමත කිරීමට ජනාධිපතිවරයා සම්පූර්ණ එකඟතාව පළ කර තිබෙනවා. ඊට පසුව ජනාධිපතිවරයාම ආරක්ෂක අමාත්‍යංශයට ලියුමක් යොමුකරලා මේක කරන්න කිව්වා. එතැන තමයි දැන් වැඩේ හිර වෙලා තිබෙන්නේ.  

ආරක්ෂක අංශ සාමාජිකයන් සිය සහනය ගැන තබා සිටින්නේ දැඩි විශ්වාසයකි. එහෙත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවැසුවේ ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගෙන නැති බවයි. මීට අදාළව ඉදිරි සාකච්ඡා කීපයක් ද පැවැත්වීමට නියමිත බව කී ඇය අවධාරණය කළේ මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට හැකි උපරිමයෙන් සාධාරණය කිරීමට රජය කැප වූ බවයි.

කෙසේ වෙතත් යුද්ධයේදී මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ බිරින්ඳෑවරුන්ට ද සම්පූර්ණ වැටුප ලබාදෙන්නැයි රජයට බල කරමින් සමස්ත ලංකා රණවිරු බිරින්දෑවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේ පසුගිය සතියේය. ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව පැවැසූ එහි ලේකම් චන්දිමා ගුණවර්ධන මහත්මිය ප‍්‍රශ්න කළේ ජීවිත පරිත්‍යාග කළ සිය ස්වාමිවරුන්ට එම අයිතිය ලබානොදෙන්නේ මන්දැයි කියාය.

ඔවුන්ගේ අපේක්ෂා තවදුරටත් දල්වනු ලැබ තිබෙන්නේ 2016 නොවැම්බර් 16 වැනිදා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප‍්‍රකාශයක් විසිනි. ශ‍්‍රීලනිප මාධ්‍ය හමුවේදී ඇය පැවැසුවේ ජනාධිපතිවරයා ඊට මැදිහත්ව ඇති බැවින් සුභවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවය.

යුද්ධයක් මගින් තීරණය වන්නේ ඉතිරි වන කෙනා මිස ජයග‍්‍රාහකයකු නොවේ යැයි පැවැසුවේ 20 වැනි සියවසේ මහා දාර්ශනිකයා ලෙස සැලකූ බර්ට‍්‍රන්ඩ් රසල්ය. යුද්ධය අවසන් වී සැළකිය යුතු කලක් ගතවීත් නිමා නොවන දුක්ඛාන්තයන් විසින් යළි යළිත් අපට සිහිකරනු ලබන්නේ එයයි. මෙය ද එහි තවත් එක් අතුරු කතාවක් පමණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා

ප‍්‍රශ්නය: ඇත්තටම මේ ප‍්‍රශ්නය මොකද්ද ?

පිළිතුර: රණවිරු බිරින්ඳෑවරු හිතන්නේ මේ සහනය ආබාධිත අයට පමණක් දෙනවා කියලයි. හැබැයි ඒ ගැන අවසාන තීන්දුවක් ගෙන නෑ. තාම සාකච්ඡා වට දෙකක් කළා පමණයි. කාටවත් එවැනි ගෙවීමක් කරලා නෑ. මම සොයා බැලූවා. හා හෝවක් නිසා කලබල වීමයි වෙලා තිබෙන්නේ. රන් සුරැකුම කියලා දීමනාවක් දෙන්න යනවා. මොකද විශ‍්‍රාම වැටුප හැටියට දෙන්න බෑ. විශ‍්‍රාම  වැටුප් ගන්න පිරිස අතිවිශාලයි. රන් සුරැකුමට මුදල් යෙදෙන්නේ හමුදාවෙන්මයි. නැත්තන් විශ‍්‍රාම වැටුප දුන්න ගමන් අනෙක් අය කලබල වෙනවා.

ප‍්‍රශ්නය: ජීවිතාන්තය දක්වා වැටුප ලබාදීමේදී තිබෙන්නේ පිරිවැය පිළිබඳ ප‍්‍රශ්නයක් ද?

පිළිතුර: ඒ අයට  100% විශ‍්‍රාම වැටුප දීලා තියෙන්නේ. ඒක හොඳයි. මෙහෙම හරි දෙයක් ලැබුණේ මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙයි. මීට කලින් කොච්චර ඉල්ලීම් කළත් ලැබුණේ නෑ. හැබැයි ආබාධිත රණවිරුවන් කිව්වාම 50%ට  වඩා වැඩි අය ගැන අපි සැලකිලිමත් වෙන්න  ඕනෑ. මොකද ආබාධිත අය එන්න එන්නම දුර්වල වෙනවා.

ප‍්‍රශ්නය: 100% කිව්වාට මූලික පඩිය පමණයි ලැබෙන්නේ කියලයි ඔවුන් කියන්නේ?

පිළිතුර: සම්පූර්ණ වැටුප ජීවිතාන්තය දක්වා ඉල්ලන්න පුළුවන්ද? දරුවන් විවාපත් වුණාට පස්සෙ තනි ගෑණු කෙනෙකුට සම්පූර්ණ වැටුප කියන්නෙ සෑහෙන මුදලක්. ඒ ඉල්ලීම සාධාරණයි කියලා මට හිතෙන්නේ නෑ. රජයට ඒක දරන්න අමාරුයි.

ප‍්‍රශ්නය: තීරණය ගන්නෙ කොතැනින්ද?

පිළිතුර: විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන්න  ඕනෑ. ජනාධිපතිතුමාගේ නියමය ගැන තමයි සැලකිල්ල යොමුවන්නේ.