සටහන - බිඟුන් මේනක ගමගේ 

අද වනවිට රටක් හැටියට අප මුහුණ දී සිටින්නේ ප්‍රශ්නයකට දෙකකට නොවේ. ප්‍රශ්න සමුදායකටය. එහි ප්‍රමුඛ ප්‍රශ්නය වී ඇත්තේ ආර්ථිකය විකෘති වීමය. ආර්ථිකයක ප්‍රධාන අංශ නම් කෘෂිකාර්මික, කාර්මික හා සේවාය. ලෝකයේ කිසිදු ප්‍රඥාසම්පන්න රටක් ආර්ථිකයේ මෙකී ප්‍රධාන අංශ අතර සමබරතාව නැති කරගන්නේ නැත. මෙම අංශ තුනම වැදගත් වන අතර වඩා වැදගත් වන්නේ මේවා අතර සමබරතාව පවත්වාගෙන යෑමය. එකිනෙකට වෙනස් මෙම ත්‍රිවිධාංශ දියුණු කිරීමට භාවිත කළ යුත්තේ ද එකිනෙකට වෙනස් ක්‍රමෝපායන්ය. එහෙත් අපේ රටේදී ආර්ථිකය තිබෙන්නේ සේවා යන අංශයට ලඝු කරලාය. දේශපාලන විධායකය ගන්නා තීරණවලින් මේ හිර කිරීම තවත් උග්‍ර වනු විනා සමනය වන බවක් පෙනෙන්නට නැත.

ලංකාවේ අතිබහුතරයක් සිටින්නේ ග්‍රාමීය ජනතාවයි. එය සියයට 70 ඉක්මවයි. එවිට රටේ තිබිය යුත්තේ මෙම සියයට හැත්තෑව මුල් කරගත් ආර්ථික ක්‍රමයකි. එය මේ බහුතර ජනයා ගම්වලින් එලවන පන්නයේ වැඩක් විය යුතු නැත. ග්‍රාමීය ප්‍රදේශවල ජනයා දියුණුවට පත්කරන වැඩක් විය යුතුය. එහිදී වැදගත් සාධකය වන්නේ කෘෂිකර්මයයි. සැබැවින්ම කෘෂිකර්මය සමස්ත රටවැසියාටම වැදගත් සාධකයකි. ඒ මිනිසාගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර සමඟ ඊට ඇති සබැඳියාව නිසාය. එහෙත් කෘෂිකර්මයට ඇති නොසැලකිල්ල නිසා ගම්වල ජනතාව නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වීම දැන් සිදුවේ. ඔවුන් උත්සාහ කරන්නේ නගරයට ගොස් මොනවා හෝ කර බඩ වියත රැක ගැනීමටය.
බ්‍රිතාන්‍ය සමයේදී මේ රටේ කාර්මීකරණයක් නොතිබුණු බව අපි කවුරුත් දනිමු. එහෙත් නිදහසින් පසුව මේ රටේ කාර්මික නිෂ්පාදන අංශයක් පැවැතියේය. එය කාර්යක්ෂම ද නැද්ද නවීන ද නැද්ද යන කරුණු වෙනම විමසිය යුතුය. විශේෂයෙන්ම නිදහසින් පසුව නායකයන් කල්පනා කළේ කෘෂිකාර්මික අංශයට අවශ්‍ය යෙදවුම්වලින් ඔබ්බට යන නිර්මාණ බිහිකර මේ රටේ කාර්මික අංශය ප්‍රවර්ධනය කළ යුතු බවය. ඊට හේතු වූයේ සියලුම කාර්මික භාණ්ඩ ඒ වනවිට විදේශයන්ගෙන් ආනයනය කිරීමය.

සේවා අංශය විවිධය. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, පණිවුඩ හුවමාරු සේවා, විදුලි බලය, ජල සම්පාදනය උදාහරණය. සේවා අංශය අද වනවිට මූල්‍යමය අංශයට නතුව ඇත. ඊට අමතරව අද වනවිට නාගරික ඉදිකිරීම් සෙසු සේවා අභිබවා ඉස්මතු වී ඇත. යටිතල පහසුකම් සම්බන්ධයෙන් රට තුළ හටගත් උනන්දුව ඊට හේතු වී ඇත. මහාමාර්ග, නාගරික ගොඩනැගිලි, හෝටල් ඉදිකිරීම් ආදියෙහි කූඨප්‍රාප්තිය බවට පත්ව තිබෙන්නේ ඉඩම් සීමිත වීමය. එය එතැනින් ද නතර නොවී කොළඹ වරාය නගරයක් බිහිකරන තැන දක්වා වර්ධනය වීමෙන් පෙනෙන්නේ කුමක් ද? ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙහි ප්‍රසාරණයයි. එහෙත් මා නඟන ප්‍රශ්නය නම් අප වරාය නගරයක් ඉදිකිරීමට පැමිණියේ සෙසු සියලු ප්‍රශ්න විසඳා අවසන් කර ද යන්නයි. මා එය දකින්නේ මිනිසුන්ගේ අවශ්‍යතා මත පදනම් වූ ප්‍රමුඛතා හඳුනා නොගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. මේ රටේ ආර්ථිකය මේ වනවිට තිබෙන්නේ යම් යම් කල්ලි කණ්ඩායම්වල අවශ්‍යතා මත හසුරුවන තත්ත්වයකය.

එහෙත් අතීතයේදී මේ රටේ ආර්ථිකය හැසිරවීමට නිසි ක්‍රමවේදයක් පැවැතියේය. දේශපාලන නායකයන් විසින් ආර්ථිකය හසුරුවනු ලැබීම වෙනුවට විෂය ගැඹුරින් අධ්‍යයනය කර මග පෙන්විය හැකි සැලසුම් මණ්ඩලයක් මෙරට තිබුණේය. 1950 ගණන්වල සිට 1970 පමණ වනතෙක් පැවැති එය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ ප්‍රතිඵලය වූයේ ආර්ථිකය මෙහෙයවීම සුළු පිරිසකගේ අණසකට නතුවීමය. මේ සුළු පිරිස කටයුතු කරන්නේ කාගේ උපදෙස් අනුව ද? යම් දේවල් සිදුවන ආකාරයට නම් අපට සිතෙන්නේ ඔවුන් ආර්ථිකය පිළිබඳ හසල දැනුමක් ඇති පිරිසකගෙන් උපදෙස් ගන්නවා ද නොඑසේව තමන්ගේම සිතැඟි අනුව කටයුතු කරන්නේ ද යන ප්‍රශ්නයයි.

2015 ජනාධිපතිවරණයෙන් අපට ලැබුණේ මේ කටයුතු වෙනස් කිරීමට අවශ්‍ය පරිසරයයි. ජනතාව ආණ්ඩුවට ලබාදුන්නේ පුළුල් ජාතික වැඩපිළිවෙළකට යන්නට අවශ්‍ය බලයයි. එහෙත් මේ වනවිට අප සිටින්නේ එම අවස්ථාවට මුළුමනින්ම පයින් ගසාය. අප වසර තුනක් තිස්සේ දකින්නේ ප්‍රතිපත්තිමය වශයෙන් යම් ඒකාග්‍රතාවක් ඇති කරගැනීමට ඇති අසමත්භාවයයි. ආර්ථික අර්බුදයේ එක් හේතුවක් හැටියට ද එය දැක්විය හැකිය. රුපියලේ අවප්‍රමාණ වීම යනු කල්තියා දූරදර්ශීව කටයුතු කළේ නම් වළක්වාගත හැකිව තිබූ තත්ත්වයකි. එහෙත් අර්බුදයට මුහුණ දුන්නේ දැනුම අවබෝධය ඇති අයගේ උපදෙස් ගැනීමෙන් නොවේ. සුළු පිරිසකගේ සිතැඟි අනුව කටයුතු කිරීමෙනි. එනිසා අපට කිවහැක්කේ ආර්ථික අර්බුදය වනාහි දේශපාලන අර්බුදයේ ප්‍රතිබිම්බයක් කියාය. එමෙන්ම දේශපාලන අර්බුදය වනාහි ආර්ථික අර්බුදයේ ප්‍රතිබිම්බයක් කියාය. අර්බුද දෙකෙහි තිබෙන්නේ පරායත්ථ තත්ත්වයකි. පසුගිය අවුරුදු තුනේදී ආණ්ඩුවට කිසිදු දෙයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගැනීමට හැකි වූයේ නැත. මේ නිසා සිදුවුණේ ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී වැරැදි මගක යාමය.

අවුරුදු තිහක් පුරා පැවැති යුද්ධ කාලයේදී රටේ ප්‍රමුඛම කාරණය වූයේ ජාතික ආරක්ෂාවය. එහෙත් ජාතික ආරක්ෂාව මත රටේ සියලු දේ තීරණය කළ හැකි නොවේ. සියල්ල ඊට ලඝු කළ නොහැකිය. විශේෂයෙන්ම යුද්ධයක් අවසන් වීමෙන් පසුව මේ ප්‍රමුඛතා ලයිස්තුව සැලකිය යුතු ලෙස වෙනස් විය යුතුය. සෞඛ්‍ය හා ප්‍රවාහනය, තරුණ පරපුරේ අනාගතය, රැකියා උත්පාදනය සඳහා කාර්මික කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයන්හි කරන ආයෝජන ආදිය කෙතරම් වැදගත් ද? මිනිසුන්ට අද දවසේදී වැදගත් වන්නේ මෙකී කාරණාය. එහෙත් රටක් හැටියට අද අප සිටින්නේ මෙකී ප්‍රමුඛතා හඳුනා ගැනීමට බැරි තරම් අගතිගාමී අකර්මණ්‍යභාවයක ගැලීය. රටේ දේශපාලනයෙහි අතීත උරුමයක් වූ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාම්ප්‍රදායික ප්‍රතිවිරෝධයන්ගෙන් බැහැර වී ප්‍රතිපත්තිමය එළැඹුමකට පිවිසීමට රටේ නායකයන් අසමත් බව අද වනවිට හොඳින්ම පැහැදිලි වී තිබේ.

මේ රටේ ජනවාර්ගික අසමගිය යනු අහසින් පහත්වූවක් නොවේ. අප විසින්ම නිර්මාණය කරගනු ලැබූවකි. ලෝකයේ අතිශය බහුතරයක් රටවල් විමසා බැලුවහොත් ඒවායේ ජන සංයුතිය විචිත්‍රය. බහුආගමිකය. බහුවාර්ගිකය. ඒ ඒ රටවල ජාතික ධජ ගෙන විමසා බැලුවහොත් එය තේරුම්ගත හැකිය. එක් ජනවර්ගයක් පමණක් ජීවත් වන රටවල් ඇත්තේ අතළොස්සකි. උදාහරණයකට යුරෝපය ගෙන බලමු. රටවල් විසි අටකි. භාෂා විසි තුනකි. එහෙත් මේ භාෂා වාර්ගික වෙනස්කම යුරෝපය හැටියට එකම කණ්ඩායමක් වීමට ඔවුන්ට බාධාවක් අභියෝගයක් වී නැත. අපේ අසල්වැසියාම ගනිමු. ඉන්දියාවේ ජනසංයුතිය කෙතරම් බහුවාර්ගික ද? බහුආගමික ද? විවිධත්වය මගින් ඒකත්වයක් නිර්මාණය කරගැනීමේ හැකියාවට ඉන්දියාව තරම් අනර්ඝ උදාහරණයක් තවත් නැත. එහෙත් ඒ කිසිවක් බාධා කරගන්නේ නැතිව ඉන්දියාව ඉතාම ශක්තිසම්පන්න ජාතික මට්ටමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නඟා ඇත. ඉන්දියාවට හැකි දේ ශ්‍රී ලංකාවට නොහැකි මන්දැයි යන පැනය කුඩා දරුවකුට මතුවීම පුදුමයට කරුණක් නොවේ.

රටක් හැටියට අප කර තිබෙන්නේ අතීත ජයග්‍රහණ මුළුමනින් අකාමකා දමා අලුතින් ප්‍රශ්න ඇති කරගැනීමය. අප කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මෙරට ජන සමාජයට විවර වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයෙන් හරිහැටි ප්‍රයෝජනයක් ගත් ජාතියක් නොවේ. ජාතියක් හැටියට අප කළේ කන්නන්ගර ප්‍රතිසංස්කරණවලට සම්පූර්ණයෙන්ම පස්ස හැරවීමය. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් හා දේශපාලන නායකයන් ඇතුළු බහුතරයක් නියෝජනය කරන්නේ මධ්‍ය මහා විද්‍යාල උරුමයයි. එම දායාදය රටට උරුම වූයේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිසාය. එහෙත් ඒ උරුමයෙන් නිසියාකාරව ප්‍රයෝජන ගැනීම වෙනුවට අප අද වනවිට සිටින්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ලොකු අවුලක් ඇති කරගෙනය. මේ වියවුල්සහගත තත්ත්වය නිර්මාණය කරනු ලැබුවේ කවුද? අපේ අධ්‍යාපන ක්‍රමය, භාෂා ප්‍රතිපත්ති විපර්යාසකාරී කළෝ පරජාතීහු නොවෙති. දැන් අප කරමින් සිටින්නේ අපේ නොහැකියාවට විජාතිකයන් අල්ලා ගැනීමය. මුව හමට තැලීමය.

අපේ රටේ තරම් අමාත්‍යාංශ ලොව කිසිදු රටක නැත. ඒ අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථා වශයෙන් වූ රාජ්‍ය ආයතන ගණනින් අතිවිශාලය. එහෙත් ඒ ආයතන අතර සංගත බවක් ඇති කරගෙන ඒකාබද්ධව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් තවමත් සිදු නොවේ. උදාහරණයකට පර් යේෂණ ආයතනයක් යනු විද්‍යාඥයන් නිතර රැස්වන පර් යේෂණවලට පහසු පිවිසුම් ඇති තැනක් විය යුතුය. සියලු පහසුකම්වලින් සපිරි තැනක් විය යුතුය. එහෙත් තේ පර් යේෂණ  ආයතනය තිබෙන්නේ තලවාකැලේය. අඩුම තරමින් නගරයේ සිට එතැනට යන්නට බස් රථයක්වත් නැත. තේ යනු මෙරට ආර්ථිකයෙහි සුවිශේෂී අංශයකි. එහෙත් ඊට දී ඇති තැන මෙබඳුය. ලංකාවේ සෙසු පර් යේෂණ  ක්‍ෂේත්‍රවල කතාව ද මීට බොහෝ වෙනස් නැත. පර් යේෂණ  යනු රටක අනාගත දියුණුවයි. එහෙත් ලංකාව යනු පර් යේෂණවලට අඩුවෙන්ම සම්පත් වෙන් කරන රටවල් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා රටකි. නැගෙනහිර ආසියාව අප අභිබවා පෙරට ගියේ කෙසේ ද? පර් යේෂණ සඳහා ප්‍රමුඛස්ථානයක් දීමෙනි. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට විශාල වශයෙන් ආයෝජන කිරීමෙනි. කලාප වශයෙන් රටවල් දියුණු වන්නේත් අගතිගාමීත්වයේ මුල්පෙළට ලංකාව වැටෙන්නේත් මන්දැයි ඇස් කන් ඇති නම් තේරුම් ගැනීමට අපහසු නැත. එම රටවල තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබෙන්නට පුළුවන් වුව ද අඩුම තරමින් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරගත්තේය.

රටක් දියුණු වීමට නම් දැනුම තිබෙන තැනැත්තාට නිපුණතාවට ප්‍රමුඛතාව දිය යුතු වේ. ආයතනයක ප්‍රධානියකු වශයෙන් පත්විය යුත්තේ නිපුණතාව ඇති තැනැත්තෙකි. එහෙත් අද අපේ රට ගමන් කරන්නේ නිපුණතාව වෙනුවට යාළු මිත්‍රයන්ට සංග්‍රහ කරන ප්‍රතිපත්තියෙනි. විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයේ සිදු වූ විනාශය ඇස් දෙකෙන් දුටු පුද්ගලයන් හැටියට නිපුණතාවට පිටුපා පැමිණි ගමන ගැන දීර්ඝ ලෙස වුව විස්තර කළ හැකිය. පාර්ලිමේන්තුවට අත්ව තිබෙන්නේ ද මේ සෙසු ආයතනවලට අත් වූ ඉරණමමය. පාර්ලිමේන්තුවක් යනු කුමක් ද එහි විවාද කරන්නේ මොනවා ද යනාදිය ගැන අදහසක් ඇති කරගැනීමට අපේ මන්ත්‍රීවරුන් අඩුම තරමින් සති දෙකක්වත් සිංගප්පූරු පාර්ලිමේන්තු ගැලරියට යැවිය යුතුය. එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක්දැයි මේ මිනිසුන් ජීවිතයට උගෙන ගන්නේ නැත. ඔවුන්ට ඒ පාඩම නොලැබීම යනු ජීවිතයට මේ රට ගොඩගැනීමට ද බැරි වීමමය.

රටේ මතුව තිබෙන ආර්ථික දේශපාලන අර්බුදය විසඳීමට නම් පුළුල් හා විවෘත ලෙස එය විමසා බැලීමට මේ රටේ නායකයන් පළමුව කටයුතු කළ යුතුය. එහෙත් තවමත් එවැනි සූදානමක් ඔවුන්ගෙන් පෙනෙන්නේ නැත. විවිධ සැබැවින්ම ක්‍ෂේත්‍රයන්හි හසල දැනුමක් ඇති බුද්ධිමතුන්ගෙන් සමන්විත කවුන්සිලයක් අපේ රටට ද අවශ්‍යය. විශේෂයෙන්ම රුපියලේ අවප්‍රමාණය වීමෙන් ප්‍රකාශයට පත්වන ආර්ථික අර්බුදයට මුහුණදීමට එය අත්‍යවශ්‍යය. අප අසල්වැසි ඉන්දියාවේ ජාතික ක්‍රමසම්පාදන කවුන්සිලය එහිදී අපට ආදර්ශයක් කරගත හැකිය. ගණනින් අතිවිශාල සංඛ්‍යාවක් වූ අමාත්‍යාංශත් ඒවා යටතේ ඇති රාජ්‍ය ආයතනවලටත් නිසි මාර්ගෝපදේශයක් ලැබෙනු ඇත්තේ එවැනි ආයතනයකිනි. කෙටියෙන් කිවහොත් ලංකාවේ රාජ්‍ය ආයතනවලට අර්ථයක් ලැබෙනු ඇත්තේ එවැනි ආයතනයකිනි. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ යෝජනාවලට කන් දිය හැකි තත්ත්වයක දේශපාලන නායකයන් සිටී ද යන්නය.