රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සැමට යම් වැටහීමක් තිබේ. මෙම තත්ත්වය තවදුරටත් තබාගෙන රට ඉදිරියට ගෙනයාමට නොහැකි බවද වැඩි දෙනකුට අවබෝධ වී තිබෙන සාධකයකි. ඒ නිසා ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීමට යම් වැඩ පිළිවෙළක් අත්‍යවශ්‍ය වී තිබේ. ජාතික එකඟතාවකින් ජාතික මට්ටමෙන් පිහිටුවන ආණ්ඩුවකින් එම කටයුත්ත කළ නොහැකි බව මේ වනවිට ඔප්පු වී හමාරය. ජාතික ආණ්ඩුවක් මේ රටේ ස්ථාපිත කළ නොහැකි බව පසුගිය කාලයේදී අපි අත්දුටුවෙමු. යම් අවස්ථාවකදී විවිධ එකඟතා මත එකට එක්වූවද රට ඉදිරියට ගෙනයාමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අපහසු බව අද වනවිට මේ සමාජය අත්විඳ ඇති යථාර්ථයයි.

මේ පවත්නා තත්ත්වයට මුහුණදීමට යම් ආකාරයක පොදු එකඟතාවක් ඇතිකර ගැනීමේ වුවමනාව මතුව තිබේ. ඒ ආණ්ඩුවක් පිහිටුවීමට නොවේ. ඒ මේ රටේ ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටය.

පසුගිය කාලයේ වැඩියෙන්ම කතා කළේ දූෂණය සම්බන්ධයෙනි. අතීතයේදී දූෂණ ක්‍රියා සිදුවීම සම්බන්ධව කිසිවකුටත් සැකයක් තිබීමට හේතුවක් නැත. පසුගිය කාලයේ දූෂිත ක්‍රියා සිදු වූ බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. මෙය වසර තුන හතරකදී වූවක් නොවේ. එය සෑහෙන කලක සිට මේ රටේ ගොඩනැඟුණු තත්ත්වයකි. මේ රටේ මෙම ප්‍රවණතාව ආරම්භ වන්නේ හැත්තෑව දශකයේය. ඒ ගොඩනැඟුණු ආර්ථිකයක් සමඟය. හැත්තෑව, අසූව දශකවල සිදු වූ ක්‍රියාකාරකම් අපි අත්දුටුවෙමු.

මෙහිදී අවධානය යොමුවිය යුතු ප්‍රධාන අංශ තුනකි. ආර්ථිකය ඉන් එක් කරුණකි. මේ රටේ ජනතාවගේ අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමට ආර්ථිකය ප්‍රතිසංවිධානය කරගන්නේ කෙසේද? යම් පමණකට මේ රටේ ආර්ථිකය සංවර්ධනය වූ බව ඇත්තකි. එහෙත් සැමට සාධාරණ ලෙස සැමට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ආර්ථිකය ගොඩනඟා ගැනීමට හැකි වී නැත. මේ නිසාම ආර්ථිකය නොවිසඳුණු ප්‍රශ්නයක් වශයෙන් අදත් ඉතිරිව තිබේ. ජනවර්ග අතර තිබූ ප්‍රශ්නය දෙවැන්නය. වාර්ගික කණ්ඩායම් අතර මතභේද පසුගිය කාලයේදී ඇති වුණි. ගැටුම් ද නිර්මාණය වුණි. පැවැති ගැටුම්කාරී තත්ත්වය නැති වුවද එදා වගේම අදත් විසඳාගත යුතු ප්‍රශ්නය ඉතිරි වී තිබේ.

ජනවර්ග අතර සංහිඳියාවක් අවශ්‍ය බවට තවමත් අදහස් ප්‍රකාශ වන්නේ ඒ නිසාය. ආර්ථික ප්‍රශ්නය තවමත් නොවිසඳී තිබෙන්නාක් මෙන් ජනවාර්ගික ප්‍රශ්නය ද පවතින්නේ එකී රාමුවේමය. ඒ නිසා මෙය නිරන්තරයෙන්ම ගැටලු සහගත තත්ත්වයක් වශයෙන් පෙනෙන්නට තිබේ. මේවා සියල්ලක්ම එදිනෙද‌ා ජන ජීවිතයට බලපෑම් කිරීමට සමත්ය. ඒ වගේම අනාගතය පිළිබඳ ප්‍රශ්නාර්ථයක්. අවිනිශ්චිතතාවක් මේ පසුබිම යටතේ ගොඩනැඟී ඇති බව පැහැදිලි කාරණාවකි.

පාලන තන්ත්‍රය සම්බන්ධ කරුණ තුන්වැන්නය. පාලන තන්ත්‍රය ප්‍රකෘතිමත් කර ගන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී මතුවන්නකි. මේ සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක තිබේ. එහෙත් පසුගිය කාලයේ අවසන් වශයෙන් කතා කළේ යහපත් පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙනි. රටකට යහපත් පාලන තන්ත්‍රයක් අවශ්‍ය නැති බවට කිසිවකුටත් තර්ක කළ නොහැක. නීතිය හා සාමය පවත්වාගෙන යාමට රටේ අධිකරණ පද්ධතිය සාධාරණව, ක්‍රමානුකූලව, කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම, දේශපාලනික වශයෙන් ගන්නා තීරණවලට යම් වගකීමක් තිබීම, ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම, ඒවායෙන් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ලබාදීම, දූෂණය වංචාව හැකි තරම් මර්දනය කිරීම, ජනතාවට ප්‍රතිලාභ ගෙනෙන ප්‍රතිපත්ති සහ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම යනාදීය මෙහිදී ප්‍රධානය. මේ අනුව බලනවිට රටේ පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ඇත්තේ විසඳ‌ාගත යුතු ගැටලුය. ඒවා විසඳා නොගෙන කිසිවක් කිරීමට හැකියාවක් නැත.

නීතිය හා සාමය බෙහෙවින් වැදගත්ය. අපරාධ යුක්ති විනිශ්චය අත්‍යවශ්‍යය. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව අවශ්‍යය. පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් යහපත් පාලනය නැමැති කාරණාවද තවමත් සම්පූර්ණයෙන් නොවිසඳුණු ප්‍රශ්නයක් වශයෙන් ශේෂවී තිබේ. දූෂණය සම්බන්ධ කාරණාව මෙහිදී ප්‍රමුඛය. මේ ප්‍රශ්නය විසඳා නොගෙන රටකට ඉදිරියට යාමට ​ෙනාහැක. දැඩි ලෙස දූෂිත රටකට ඉදිරි ගමනක් නැත. මහජන මුදල් හොරකම් කරනවා නම් තම පෞද්ගලික ඕනෑ එපාකම්වලට රාජ්‍ය ආයතන යොද‌ා ගන්නවා නම් බලය අයුතු ලෙස පාවිච්චි කරනවා නම් බලධාරීන් නීතිය ගරු නොකර කටයුතු කරනවා නම් එය දූෂිත පරිසරයකි. ආයතන ද දූෂිත නම් එය යහපත් වාතාවරණයක් නොවේ.

මේ කාරණා සම්බන්ධයෙන් රටේ ජාතික එකඟතාවක් ඇතිකරගත නොහැකිද? එය අද දවසේ මතුව තිබෙන ප්‍රශ්නයකි. මේ රටේ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනාම මූලික සාධක පිළිගත යුතුය. එවන් ඉල්ලීමක් ඉදිරිපත් විය යුත්තේ මහජනතාවගේ පැත්තෙනි. ජනතාව අතර විවිධාකාර මතභේද තිබෙන්නට පුළුවන. විවිධ වාද විවාද තිබිය හැකිය. එහෙත් අවම වශයෙන් ඉහත දැක් වූ මූලික කාරණා තුන සම්බන්දයෙන් යම් එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිද? එකට එකතු වී වැඩ කිරීමක් එයින් අදහස් වන්නේ නැත. යම් ආකාරයකට ආර්ථිකය දියුණු කර ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීම මෙහිදී සිදුවිය යුතුය. මේ කාරණාව සම්බන්ධයෙන් මත භේදයක් තිබිය නොහැක.

මෙය හුදු දේශපාලන ක්‍රියාවලියක් නොවේ. ආර්ථික දියුණුව ඇති කිරීම දේශපාලනඥයන් අත තිබිය යුතු ඒ අයට සම්පූර්ණයෙන්ම තීරණ ගැනීමට ඉඩ දී බලා සිටිය යුතු කාරණයක් නොවේ. මේ රටේ විවිධ ක්ෂේත්‍රවල දැන උගත්කම් ඇති පිරිස් සිටිති. වෘත්තීයවේදියෝ සිටිති. මේ රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කළ යුත්තේ මේ විවිධ අංශ නියෝජනය කරන දැන උගත් පිරිස්වල එකතුවෙනි. එය දේශපාලන වැඩ පිළිවෙළක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන් මෙරට සංවර්ධනය දේශපාලන පාපන්දුවක් බවට පත්වුණි. ආර්ථිකය නැංවීම දේශපාලනික ප්‍රශ්නයක් නොවේ. තාක්ෂණික ප්‍රශ්නයකි. පවතින අභියෝග ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද? මේ කාරණා සම්බන්ධයෙන් නිසි අවධානයක් නැත. 1970 ගණන්වල මෙරට තිබූ ජාතික ක්‍රම සම්පාදන මණ්ඩලය අහෝසි කෙරිණි. ඉන් පසුව මේ රටේ ආර්ථිකය ගමන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳව ජාතික මට්ටමේ චිත්‍රයක් මවා ගැනීමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඇහිරී ගියේය. වෙන්නේ කුමක්දැයි කිසිදු අවබෝධයක් නැති තත්ත්වයට අද පත්ව ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පවත්නා ප්‍රශ්න ඒවා විසඳීමට නොහැකි කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන පියවර මොනවාද යනාදිය සම්බන්ධයෙන් විද්වතුන් එකට වාඩි වී කරන සාකච්ඡාවක් නැත.
අද වනවිට ආර්ථිකය විකෘති තත්ත්වයට පත්ව තිබේ.

මේ රටේ ආර්ථිකය අද මෙහෙය වෙන්නේ සේවා අංශයෙනි. කෘෂිකර්මය. කර්මාන්ත ද්විතීයික මට්ටමට පත්ව තිබේ. කෘෂිකර්මය, කර්මාන්ත යම් ස්ථාවර පදනමක තබා නොගෙන රටක ආර්ථිකයක් ඉදිරියට ගත නොහැක. ලෝකයේ දියුණුම රටවල් දෙස බැලුවත් කෘෂිකර්මය අමතක කර නැත. එහෙත් මෙරට කෘෂිකර්මය බෙහෙවින්ම දුර්වල අඩියකට වැටිලාය. මේ ක්ෂේත්‍රයේ තිබෙන ආයතන පණ ගන්වා ප්‍රවර්ධනය කර කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්ත දියුණු කිරීමෙන් මේ ක්ෂේත්‍රය දියුණු කළ හැකිය.

දෙවැනි කරුණ වන්නේ කර්මාන්තය. හැත්තෑ ගණන් වලදී ඇඟලුම් කර්මාන්ත මෙරට ආරම්භ කෙරිණ. ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම පාහේ කර්මාන්ත පිහිටු වුණි. ඒවා විවිධ අංශවලට අයත් වුණි. කඩද‌ාසි කර්මාන්තායතනය මෙයට උද‌ාහරණයකි. එහෙත් අද මේ සියල්ලම පාහේ නැත්තටම නැති වී ගොසිනි. රටපුරා ව්‍යාප්ත වී තිබූ ඇඟලුම් කර්මාන්ත පවා වැසී ගොසිනි. ඉතිරිව ඇත්තේ ඉහළ මට්ටමේ ඇඟලුම් කර්මාන්ත පමණි. ​අනෙක් කිසිදු අංශයක කර්මාන්ත බිහිවීමක් අද පෙනෙන්නට නැත. කිසිදු කාර්මික භාණ්ඩයක් නිපදවන්නේ නැති තත්ත්වයට රට පත් වී තිබේ. සියල්ල පිටරටින් ගෙනෙන තැනට ගොසිනි. ලැබෙන විදෙස් ආද‌ායම භාණ්ඩ ආනයනයට කිසිසේත් ප්‍රමාණවත් නැත. මේ නිසා විශාල වෙළඳ පරතරයක් දිගින් දිගටම පවතින ආකාරයක් දැකගත හැකිය. මේ පරතරය පියවා ගන්නා ආකාරය දෙස බැලුවහොත් දක්නට ඇත්තේ ශෝචනීය තත්ත්වයකි. විදෙස්ගතව සිටින ශ්‍රමිකයන් එවන මුදල්වලට වෙන්නේ කුමක්ද?

පවත්නා තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් ණය ගැනීමේ ප්‍රවණතාවක් ඇතිවුණි. මේ ප්‍රවණතාව දිගින් දිගටම වර්ධනය වී බරපතළ ණය උගුලක රට හිර වී තිබේ. මේ ණය උගුලෙන් ගැලවීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. රටේ ස්වෛරීභාවය සම්බන්ධයෙන් කතා කරන්නේ මෙවන් පසුබිමකය. මේ රටේ ස්වෛරීභාවය නැති වූයේ මීට බොහෝ කලකට පෙරදීය. ණය වී සිටින කෙනකුට ස්වාධීනත්වය තිබිය නොහැකිය. පසුගිය වසර පහළොවක් විස්සක් අප සිටියේ ණය බරින් මිරිකිලා නම් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් මේ රට හඳුන්වාදීමේ හැකියාවක් නැත. සෑම අවස්ථාවකම කාට හෝ අත්පාන්නට සිදුව තිබේ. ඒ නිසා මේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකසාගත යුතුය. ඒවා තාවකාලික නොවිය යුතුය. අස්ථාවර නොවන සමාජමය ප්‍රතිලාභ ලැබෙන රැකියා අවස්ථා උත්පාදනයට වගබලා ගැනීමද අවශ්‍යය. ත්‍රිරෝද රථ පදවන සංඛ්‍යාව ලක්ෂ 13 ක් පමණය. රටේ ශ්‍රම බලකාය ලක්ෂ 85 කි. එයින් ලක්ෂ 13 ක් ත්‍රිරෝද රථ පැදවීම යනු බෙහෙවින්ම ශෝචනීය තත්ත්වයකි. ඒ වගේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් නිරතව සිටින්නේ තාවකාලික රැකියාවලය. එසේ නම් ශ්‍රමය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ද මේ රටේ තිබේ. එයද අවධානයට ගතයුතු ප්‍රශ්නයකි. නව ආර්ථිකයකට අවශ්‍ය කරන්නා වූ කුසලතා නිපුණතා දැනුම සපිරි පිරිසක් බිහිකර ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා ඉදිරියට යාමට නොහැකිව ආර්ථිකය හිරවී තිබේ.

පරිවර්තනයක් කිරීමට හැකිවන පසුබිමක් නිර්මාණය කිරීමට සරිලන පරිදි ප්‍රමාණවත් ආයෝජනයක් අධ්‍යාපනයට කර නැත. පර්යේෂණ සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් වසර තිහ හතළිහකින් කර නැත. මේ නිසා ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ. මේවා ජනප්‍රිය සටන් පාඨවලින් සාකච්ඡා කළ හැකි ප්‍රශ්න නොවේ. ආර්ථික ප්‍රශ්නය බෙහෙවින්ම බැරෑරුම්ය. මේ කාරණා සම්බන්ධයෙන් හසළ අවබෝධයක් ඇති පිරිස ඒකරාශී කරගෙන යම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා කිසිදු සූද‌ානමක් ඇති බවක් මේ වන විට පෙනෙන්නට නැත. ඒ නිසා මෙය විශාල අභියෝගයකි.

යහපාලනය අවඥ‌ාවට ලක්කරන තත්ත්වයක් තිබේ. මෙයද ශෝචනීය තත්ත්වයකි. යහපත් පාලනයක අවශ්‍යතාව පිළිනොගන්නා කෙනකු සිටිය නොහැක. යහපත් පාලනයක් නැති නම් ජන ජීවිතයේ ප්‍රගතියක් ඇති වන්නේ නැත. ජනතාව සතුටින් සිටින්නේ නැත. ජනතාවට අනාගතයක් නැත. ඒ නිසා යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යය. රාජ්‍ය ආයතන ප්‍රකෘතිමත් කර ගැනීම ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත් මේ සෑම ආයතනයකම ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කරන තැනකට තල්ලු වී ති​බේ. මේ ආයතනවලින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ලැබෙනවාද? මේ ආයතනවල කාර්යභාරය තේරුම්ගෙන ඒ වෙතට මෙහෙයවීම කළ යුතුව තිබේ. එහෙත් මේවා ගැන කතාවක් නැත. ඇත්තේ හුදු දේශපාලන සංවාද පමණි. ජනතාවට අදාළ, සංවර්ධනයට අදාළ රටේ අනාගතයට අද‌‌ාළ කිසිවක් ගැඹුරින් සාකච්ඡා නොකරන දේශපාලන කණ්ඩායමක් සිටීම බෙහෙවින්ම කනගාටුද‌ායක තත්ත්වයකි. රටේ දියුණුවට අවශ්‍ය මූලික කටයුතු සම්පාද‌නය කිරීම පාලකයන්ගේ වගකීමකි. රටේ අනාගතය රඳ‌ා පවතින්නේ ඒ මතය.