න තං මාතා පිතා කයිරා - අඤ්ඤේ වා පිච ඤාතකා
සම්මා පනිහීතං චිත්තං  - සෙයිය්‍ය සෝනං තතෝ කරේ
(ධම්ම පදය - චිත්ත වග්ගය)

මනාව පිහිටුවා ගත් සිත මවුපියන්ට ද නොකළ හැකි සෙතක් සිදු කරයි

දුරුතු පුර පොහෝ දිනය එළඹ ඇති අද දිනය ව්‍යවහාරිකව තවත් නව වර්ෂයක ආරම්භ දිනය ද වේ. විශේෂයෙන්ම හෙළ බොදුනුවන් බහුතරයක් අද දිනය ආගමික වතාවත්වල යෙදී ආරම්භ කිරීමට රුචියක් දක්වනවා මතු නොව තම සේවා ස්ථානවල ද ආශිර්වාදාත්මක ආගමික වතාවත්වල නිරත වනු ලැබේ.

ඇතැම් විට තම නිවෙස්වලද එබඳු චාරිත්‍ර පවත්වන අතර තම නිවෙස සහ රැකියා ස්ථාන පවිත්‍ර කරමින් නව සිතුම් පැතුම්වලින් පරිපූර්ණව නව වසරට එළඹෙන  අයුරු සුලභව  දැකිය හැකිය. මෙහි මූලික අපේක්ෂාව වන්නේ රැකියා ස්ථානවලදී නම් එය ආයතනවල ප්‍රගමනය මතු නොව එහිදී තමා විසින් අපේක්ෂිත ඉලක්කවලට සපැමිණීමය.

තම නිවෙස්වලදී  වුවද ආශිර්වාදාත්මකව අපේක්ෂා කරනුයේ තම තමන්ගේ ජීවිතවල  විවිධ  ප්‍රාර්ථනා සපුරා ගැනීම සහ සෞභාග්‍ය ළඟාකර ගැනීමය. මේ සියල්ලම භෞතිකමය අපේක්ෂාවන් වනවා, මතු නොව සියල්ලන්ගේ ඒකායන පරමාර්ථය  වන්නේ ඉහළ තනතුරු ලැබීම සහ උසස් ස්ථානවල වැජඹීම වේ. ඉහත දේශනාව අනුව අපේ අවදානමට ලක්කොට ඇත්තේ ‘මනාව පිහිටුවා ගත් සිත පුද්ගලයාට අපේක්ෂිත උසස්වීම පමණක් නොව ඒ තුළින් උතුම් පුද්ගලයා බවට පැමිණ වීමේ ක්‍රමවේදයකි.

මේ පිළිබඳ සිදු කරන විග්‍රහයේදී දක්වා ඇති  ‘මාතා පිතා’ යන පාළි වචන දෙක නොදන්නා  අය ඉතා විරලය. මව හා  පියා මෙන්ම දෙගුරුන් යන හැඳින්වීමම මෙම දෙපළ වෙනුවෙන් යොදා ඇතිවා මතු නොව සිංහල ජන සමාජය තුළ මහා බඹු සේ අගය කිරීමකට ලක්ව ඇත. එදා සමාජය ලෝකයෙහි නිමැවුම්කරුවා ලෙස පිළිගැනුණේ මහා බ්‍රහ්මයා වන අතර එයට නව අරුතක් දෙමින් තථාගතයන් වහන්සේ විසින් මවුපිය පෙළ මහ  බඹු හා සමානව ඔසවා තබා තිබේ. මැවුම්කරුවකු  වශයෙන් මහ බඹු තම ප්‍රජාව කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා  යන සිව් බඹ ගුණයන් පෙරදැරිව ක්‍රියා කරන බව දක්වා ඇත්තේ මතු නොව එය මවුපිය දෙපළට ආරෝපණය කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් සිදුකොට ඇත. එපමණක් නොව පූර්ව ආචාර්ය යන අභිධානයද දෙගුරුන් වෙත ප්‍රධානය කර ඇත්තේ මූලික ඉගැන්වීම් සියල්ල එම දෙපළගෙන් හැර වෙනත්  කිසිවෙකුගෙන් නොලැබෙන නිසාය. අන්ඤේ ඥාතකා යන්නද අපහැදිලි වූවක් නොවන්නේ ඥාතීන් පිළිබඳව කුඩා කල සිටම ඇති සමීප සබඳතා නිසාවෙනි. මෙහිදී විශේෂයෙන්ම සහෝදර සහෝදරියන් වැනි ඉතා සමීප ඥාතීන්  පිළිබඳව සඳහන් වන්නේ ඔවුන් සැපතෙහි තුටුපහටුවීම පමණක් නොව දුක්සහගත අවස්ථාවලදී අත් නොහැර සමීපව සිටින පිරිසක් වශයෙනි. ඇතැම් විට එබඳු ඥාතීන් ඥාතීත්වය නිසා ඕනෑම පරිත්‍යාගයක්  කිරීමට පෙළෙඹෙන බැවින්ය. ‘සම්මා පනීහිතං චිත්තං’ යනුවෙන් දැක්වෙන සිත මැනවින්  සකසා ගත් සිත ලෙස හඳුන්වා ඇත. එනම් කුලධර්ම එක්රැස් කිරීමෙහි  උත්සුක වූ සිත ලෙස ද හැඳින් වේ. කුසල පිළිබඳව  සලකා බැලීමේදී දානය, සීලය, භාවනාව, පින්දීම පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම, සම්‍යක්දෘෂ්ටිය  යන කුසල ධර්මයන් සිදුකරගැනීම සඳහා නැඹුරු වූ සිත බව සඳහන් කෙරේ.

‘සෙයිය්‍ය සෝ’ යන්නෙන් ඉතා උසස් සැපතකට පමණක් නොව එබඳු වූ ප්‍රමුඛ ස්ථානවලට පත් කිරීම ඉන් අදහස් කෙරේ. මෙහි දක්වා ඇති සැපය හෙවත් නිවන් සුවය මින් අදහස් කරනු ලැබේ. දරුවන්ට මවුපියන් විසින් තම ශක්තීන්  අනුව ලබා දිය හැකි සියලු සැප ලබාදීමට උත්සුක වනවා, මතු නොව ඒ සඳහා රන් රුවන් ආදිය පමණක් නොව යානවාහන ආදී විවිධ සම්පත් ලබාදීම සිදුකෙරේ. ඒ සියල්ල සැපවත් දිවිපැවැත්මක් සඳහා හේතු වන අතර කොතෙක් ඕනෑකම් තිබුණත් ඔවුන්ට තම දරුවන්ට ‘සක්විති රාජ සම්පත්’ යනුවෙන් දහමෙහි විස්තර වන අසිරිමත් සම්පත් ලබාදිය නොහැකිය. එසේ නම් කොතෙක් ඕනෑකම් තිබුණත් උතුම් නිවන් සුව ඔවුන්ට ලබාදිය නොහැක. සෙසු ඥාතීන් ද කොතෙක් බලවත් වූයේ නමුදු ඥාතීත්වය නිසා එම විමුක්ති සැප සාදා දිය නොහැකිවනු ඇත. ලොව්තුරා සම්පත් ලබාදී පුද්ගලයා අසීමිත උසකට ඔසවා තැබිය හැකි වන්නේ මැනවින් පිහිටුවාගත් සිතට පමණක් බව තථාගතයන් වහන්සේගේ පෙන්වාදීම වන්නේය.

සාමාන්‍ය ජනසමාජය තුළ පුද්ගල මනස නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වන්නේ උසස් තත්ත්වයන්ට පත්වීම බව රහසක් නොවේ. තම නිවස  පමණක් නොව විවිධ ආයතන පිළිබඳව සලකා බැලීමේදී බොහෝ දෙනා උසස් අයුරින් පවත්වා ගැනීමේ අභිලාෂයන්ගෙන් යුතුව ක්‍රියා කරනු දක්නට ලැබේ. මෙය මානව සමාජයේ  ආරම්භයේ සිටම දැකිය හැකි සාමාන්‍ය ක්‍රියාවලියකි. සාමාන්‍ය මිනිස් අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා විවිධ ක්‍රියා මාර්ග තමා විසින් සකසා ගන්නවා මතුනොව මවුපිය සහෝදර ආදී ඥාති සමූහයා ද  ඒ සඳහා සිදු කරන මැදිහත්වීම් දැකගත හැකිය. එබඳු ඔසවා තැබීම් හා උසස්වීම් සඳහා පුද්ගල ක්‍රියාකාරීත්වය හේතුවනවා මතු නොව ඒ සඳහා සැකසුන මානසික අවශ්‍යතාවත් එම මානසික ස්වරූපය පුද්ගලයා උසස් කිරීමට හේතුවන  බවත් ඉහත දේශනයෙන් සනාථ වේ. දස පුණ්‍ය ක්‍රියාවලට නතු වූ පුද්ගල මනස යහපත් පුද්ගලයකු නිර්මාණය කිරීම සඳහා හේතු වේ. සාමාන්‍ය සමාජය තුළ එබඳු පුද්ගලයන් යම් ප්‍රමාණයක අගය කිරීමට ද ලක්වන බව පෙනීයයි. වත්මන් සමාජය තුළ එබඳු තත්ත්වයන් විරල වුවද සාමාන්‍ය සමාජය සදාතනිකවම ශික්ෂාකාමී සත්පුරුෂ මෙන්ම ගුණගරුක පුද්ගලයන් අගය කරනු ලැබේ. ආයතනික වශයෙන් ද එබඳු පුද්ගලයන් නිල වශයෙන් ද බල වශයෙන් ද ශක්තිමත් වන අයුරු දක්නට ලැබෙන අතර ඒ සඳහා මූල සාධකය වී ඇත්තේ මනාව පිහිටුවා ගත් සිත බව ඉහත ඉගැන්වීම් තුළින් සනාථ වේ. ඒ අනුව ලෝකෝත්තර උසස්වීම් සඳහා මෙන්ම ලෞකික උසස්වීම් සඳහා ද මනාව පිහිටුවාගත් සිත ප්‍රබල හේතුවක් වනු ඇත.

තථාගතයන් වහන්සේගේ මෙම උතුම් ධර්ම දේශනය සඳහා පසුබිම් වී ඇති සිදුවීම විශ්මයජනක වන්නේ මතු නොව තිගැස්සීම් සහගත වූ අපූර්ව සිදුවීමකි. එදා දඹදිව සෝරෙය්‍ය නම් නගරයෙහි  ප්‍රධාන සිටු  තනතුර දරන ලද සිටුතුමාද සෝරෙය්‍ය සිටුතුමා නමින් හැඳින්විය. එක් දිනක් ස්නානය සඳහා සිටුමැදුරින් පිටත්ව ගමන් ගන්නා සිටුතුමාට දක්නට ලැබුණේ මහ මඟ සන්සුන්ව වැඩමවන මහතෙර නමකි. නමින් මහාකච්චායන නම් වූ උන්වහන්සේ මහරහත් නමක් වූහ. රන්වන් සිරුරින් යුතු වූයේ මතු නොව අතිශ්‍ය රූපශ්‍රීයෙන් අනූන වූ මුන් වහන්සේගේ දැකීමෙන් සිටුවරයාට තම සිත පාලනය කර ගත නොහැකිව කාම කල්පනාවට යොමුවුණි. ‘මුන් වහන්සේ මාගේ බිරිඳ වූයේ නම් හෝ මුන්වහන්සේගේ  රුව, පැහැය, පියකරු බව මාගේ බිරිඳට පිහිටියේ නම් කොතරම් අගනේදැයි සිතමින් මනස් සලෙළුන් අවදි කරවන ලදී. මෙම සිතුවිලි සමඟම සිදුවූයේ විශ්මය දනවන සිදුවීමක් නොව මෙතෙක් පුරුෂයකුව සිටි සෝරෙය්‍ය ස්ත්‍රියක් බවට වූයේ සියලු කාන්තා අඟපසඟ සමඟය.

මෙසේ විපර්යාසයකට ලක්වූ  සිටුවරයා සුන්දර කාන්තාවක්වීම නිසා මහත් ලැජ්ජාවට මෙන්ම බියට පත්ව තක්සලා නුවරට පලා ගියාය. එහිදී එනුවර සිටුතුමා විසින් මෙම රූමත් කාන්තාව විවාහ කරගත්තේ මතු නොව කල්යත්ම පුතුන් දෙදෙනකුගේ මවක්ද වූවාය. සෝරෙය්‍ය සිටුවරයා ලෙස පුතුන් දෙදෙනකු ලබා සිටි මෙම සිටු දියණිය අපූර්ව මවක් වූවාය. පියෙකු වශයෙන් හා මවක වශයෙන් පුතුන් සිව්පලක් ලබන ලද්දේ මතුනොව මෙම සිදුවීම අතිශයින්ම රහසක් විය.  මෙසේ කල්ගත වන්නේ එක් දිනක සෝරෙය්‍ය නුවර සිට පැමිණි වෙළඳ සිටුවරයකු දැන හඳුනා ගන්නා ලද්දේ තොරතුරු අසා සිටු බිරිඳට සදුප දේශයක් ලබාදෙමින්  මහා කච්චායන මහා රහතන් වහන්සේගෙන් සමාව ගැනීමට යොමු කරන ලදී. ඒ අනුව මහරහත් තෙරණුවන්ගෙන් සමාව ලබන ලද්දේ නැවත පුරුෂ භාවයට පත් වූයේ මතුනොව පුරාණ සෝරෙය්‍ය බවටද පත්වුණා. සුවිශේෂී විපර්යාසයන්ගෙන් යුත් දෙවසරක කාලය පිළිබඳ විසුම් සහගත වූ සෝරෙය්‍ය  පිරිමියෙකුව ලබන ලද උපතත් අනතුරුව කාන්තාවක වීමත් එම කාන්තාව නැවත පිරිමියකු වීමත් දෙවිදියකින්  ලබන ලද දරුවන් සිව්දෙනා පිළිබඳවත් සිතන්නේ මහත් කල කිරීමට පත්වූවේය. මෙම කල කිරීම නිසා පැවිදි දිවියට එළඹියේ වුවද මෙම තෙරුන් පිළිබඳ පුදුමසහගත පුවත ඇසුවෝ නිතර පැමිණ සිව් දරුවන්ගෙන් වඩාත් ආදරය කරනුයේ කිනම් දරුවන්ටදැයි  ආදී ලෙසින් විවිධ ප්‍රශ්න කිරීම් සිදු කළහ. සිය කුසින්  උපන් දරුවන්ට වඩාත් ආදරය කරන බව පිළිතුරු වශයෙන් ප්‍රකාශ කරන්නේ දිරියෙන් යුතුව සිත පිහිටුවා විදර්ශනා වඩනුයේ උතුම් රහත් භාවයට පත්වූයේ මතු නොව ඉන්පසු ප්‍රශ්නකරුවන්ට ලබාදෙන පිළිතුරු වූයේ තමන් වහන්සේ  කිසිවෙකුටත් ආදරය නොකරන බවය. මෙම කරුණ අරමුණුකොට මෙම දම් දෙසුම පැවැත්වූ භාග්‍යවතුන් වහන්සේ මවුපියන්ට ද ලබාදිය නොහැකි වූ  සඟමොක්සුව ලැබීම සඳහා මැනවින් පිහිටුවාගත් සිත මූලික වන බවද මතු නොව එනිසාම පුද්ගලයා අතිශය උසස් උත්තම ගණයට පමුණුවන බවය.

මෙම වසරෙහි දුරුතු පුර පොහෝ දිනය යෙදී ඇති අද දිනය නව වසරක ආරම්භක දිනය වශයෙන් සුවිශේෂී වනවා පමණක් නොව ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයෙහි ද වැදගත් දිනයක් බවට පත්වන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදූවූ දිනය වශයෙනි. බුද්ධත්වයෙන් නව මසක් ගත වෙත්ම ජටිල දමනයෙන් පසුව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් අපේ මව්බිම  පාරිශුද්ධත්වයට පත්වීම ඉමහත් භාග්‍යයකි. එම පූජනීයත්වය ලක්දෙරණෙහි වැලිකැටයක් පාසා රැඳී ඇතිවා මතු නොව අප රට පුණ්‍ය භූමියක් බවට පත් වූයේය. එහි සංකේතයක් ලෙස අද වන් දිනක තතාගත ශ්‍රී හස්තයෙන්ම සමන් දෙවිඳුන්ට ලබාදෙන ලද කේශ ධාතූන් නිදන්කොට ලක්දිව ප්‍රථම දාගැබ මහියංගනයෙහි ඉදිකිරීමත් සුමන සමන් දෙවිඳුන්  උතුම් මගඵල ලැබීමත් ශාසන ඉතිහාසයෙහි  සිහිකටයුතු අවස්ථාවන්ය. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම් ද සිත් හි දරා ගනිමින් නව වසරෙහි නව සංකල්පනාවන් සමග මනාව සකසා ගන්නා මනසකින් යුතුව උතුම් පුද්ගලයන්ව විමුක්ති සුව සාධනය පිණිස උත්සුක විය යුතුව ඇත.

හැව්ලොක් සිටි සාම විහාරාධිපති
අතපත්තුකන්දේ  ආනන්ද හිමි