පළාත් පාලන ජන්දය පවත්වා මාසයක් ගතවෙන්න තියෙන්නේ තවත් එක දවසකි. ජන්දය තිබ්බේ  පෙබරවාරි 10 වැනිදාය. මාර්තු 10 වැනිදා වෙන්නේ හෙටය. ඒත් තාමත් මාසයකට පෙර පැවති ජන්දයේ නිල ප්‍රතිඵල නිකුත් කරන්නට හැකියාවක් මැතිවරණ කොමිසමේ සභාපති තුමාට ලැබී නැත. වෙනදා හයියෙන් කථා කරන මැතිවරණ කොමිසමේ සභාපති තුමාගේ හඬ දැන් ජනමාධ්‍යවලවත් ඇහෙන්නේ නැති ගානට පල්ලම් බැස තියෙන්නේ මේ නොසිතූ විරූ ආකාරයේ ප්‍රතිඵල ප්‍රමාදයත් නිසා  විය යුතුය.

එහෙත් දැන් රට පාලනය කරන්නේ ‘යහපාලනය’ නම් වූ විශේෂ ක්‍රමවේදයකට යැයි කියන නිසා මැතිවරණ ප්‍රතිඵල මාසයක් යනතුරු දෙන්නට බැරිවීම ඒ කියන අලුත් ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් එක් ජයග්‍රහණයක් යැයි කියන අයද සිටින්නට බැරි නැත. අනෙක් අතට පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේත් නියමිත කාලයට වඩා අවුරුදු දෙකහමාරකට පසුව බැවින් ප්‍රතිඵල දෙන්නට මාසයක් ගතවීම එච්චර ගණන් ගත යුතු දෙයක්වත් නොවේ යැයි යහපාලන සිවිල් සමාජයේ විද්වතුන් විසින් ඉදිරි දිනක කියන්නට වුණත් බැරි කමක් නැත.

මැතිවරණ කොමිසමේ ප්‍රධානියාත් පරණ ආණ්ඩුවට තරම් බරපතළ ආකාරයෙන් මේ ආණ්ඩුව ගැන කථා නොකරන නිසා මේ ප්‍රතිඵල ප්‍රමාදය යහපාලන ක්‍රමවේදයේ තවත් එක ජයග්‍රහණයක් ද එසේත් නැතිනම් අගමැතිතුමා නිතර කියන ‘ලිච්ජවී ධර්මවලට’ අයිති දෙයක් දැයි හරියටම කිව නොහැකි නමුත් ඒ දෙකෙන් එකක් විය හැකි බව නම් ඉතා පැහැදිලිය. 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සහ ඒ ආයතන පිහිටුවීම ගැන මා ලියන්නට සිතා සිටි සටහන පැත්තකින් තියා මේ සතියේ ලිපියෙන් කථා කරන්නට සිදුවී තිබෙන්නේ  මේ දවස් කීපයේ මහනුවර ප්‍රදේශයේ ඇති වී තිබෙන තත්ත්වය සහ අද රටේ පවතින ආණ්ඩුකරණයේ අර්බුදය පිළිබඳවය. 

තෙල්දෙනියේ ඇතිවූ ට්‍රැෆික් ප්‍රශ්නයක්  මේ වන විට මුස්ලිම් - සිංහල ගැටුමක් බවට පත් වී හමාරය. මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ තත්ත්වය පාලනය  කරන්නට ආණ්ඩුවේ පැත්තෙන් ගත් උත්සාහය එතරම් හොඳ ප්‍රතිඵලයක් ලබා දී නැති බවද සත්‍යයකි. මේ රටේ මුස්ලිම්වරුන් ගේ දේශපාලනය පිළිබඳවත් සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ගම්මාන හරහා සිදුවෙමින් පවතින ඒ අයගේ ජනගහන ව්‍යාප්තිය පිළිබඳවත්  සිංහල බෞද්ධ සමාජයේ ඇත්තේ බරපතළ සැකයක් හා විරෝධයක් බව පෙන්නුම් කළේ අද ඊයේ නොව බොහෝ කාලයක  පටන්ය. පසුගිය ආණ්ඩු කාලයේ  එක්තරා ආකාරයකින් මතුවී ආවේ මේ සැකය හා විරෝධයේ එක ප්‍රකාශනයක් යැයි කීමේ වැරැද්දක් නැත.

මේ නිසාම බිහිවූ බොහෝ සංවිධාන මේ ප්‍රශ්නය දෙස බැලුවේ හැඟීම්බරව මිස බුද්ධියෙන් නොවේ. ඒ නිසා බෞද්ධයන් මුස්ලිම්වරුන් අතර ඇති ප්‍රශ්නයක් බවට මේ තත්ත්වය පත්වූ බව නොරහසකි. මේ සැකය තවත් වර්ධනය වූයේ පසුගිය කාලයේ සිදූවූ සමහර දේශපාලන ක්‍රියාකාරිත්වයන් ද නිසාය.

පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය  කාලයේ එජාපය හා හංස සන්ධානයට සම්බන්ධ සමහර  අය බොහෝ විට උත්සාහ කළේ මේ තත්ත්වය තමන්ගේ පක්ෂයට දේශපාලන වාසියක් ලෙසින් යොදා ගන්නට මිස ගැටලුව ආමන්ත්‍රණය කිරීමට නොවේ. එක් එක් ජනවර්ගවලින් ලැබෙන ‘ජන්ද කුට්ටිය’ දෙස පමණක් බලාගෙන රටේ ප්‍රශ්න විසඳන්නට යාම නිසා තත්ත්වය තවත් අවුල් සහගත තැනකට වැටී ඇති බව දැන් හොඳටම පැහැදිලිය. 

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ ආණ්ඩුවේ සුජාතභාවය ගැන ජනතාවගේ පැත්තෙන් එතරම් පිළිගැනීමක් නොමැති තත්ත්වයක් ගොඩ නැඟී ඇති නිසා මෙවැනි ගැටලුවක් විසඳන්නට ඒ අයට ඇති හැකියාවද බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති බව මගේ මතයයි. වෙනත් ආකාරයකින් කිවහොත් තෙල්දෙනියෙන් මතුවූ ගැටුම පාලනය  කරගැනීම දුෂ්කර වුණේ ආණ්ඩුවේ සුජාතභාවය ගැන ජනතාවගේ ඇති නොපිළිගැනීමත් නිසා යැයි සිතීමේ වරදක් ද නැත.

පළාත් පාලන ජන්දයෙන් පසුව මේ රටේ තියෙන්නේ පරණ ආණ්ඩුවම යැයි ආණ්ඩුවේ අය සිතාගෙන සිටියාට කාටත් පෙනී යන කාරණයක් වන්නේ ජනතාවගේ සිත් තුළින් මේ ආණ්ඩුව මැකී ගොස් ඇති බවය. මා මීට පෙරදිත් මතුකළ පරිදි ‘බලය තිබුණාට ගෞරවය ගැලවී ගිය’ ආණ්ඩුවකට කළ හැක්කේ වැඩි වැඩියෙන් පොලීසිය යෙදවීම වැනි කාරණා මිස ජනතාවගේ එකඟතාවක් ලබා ගැනීම නොවන බව තේරුම් ගැනීමට මේ කාරණයම ඉතාමත් වැදගත්ය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීම හරහා සිදුකළ සමහර සාකච්ජා මගින් මේ ගැටුම්කාරිත්වය විසඳන්නට ආණ්ඩුව යම් උත්සාහයක් ගන්නා බව පෙනී ගියත් අගමැතිවරයාගේ හා සමහර මහනුවර එජාප ඇමැතිවරුන්ගේ කථා නිසා සිදුවන්නේ එසේ යන්තමටවත් ගොඩනඟා ගෙන තියෙන පාලනයත් ගැලවී යාම බව මගේ අදහසය. තෙල්දෙනියේ සිද්ධිය මත මේ වන විට ගොඩ නැඟී ඇති සිංහල-මුස්ලිම් ගැටුම වහාම නැවැත්වීම ආණ්ඩුවේ පමණක් නොව හැම දේශපාලන පක්ෂයකම වගකීම බව තේරුම් ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය.

මේ මොහොතේ සිංහල බෞද්ධ සමාජයේ බහුතරයක් විශ්වාස කරන නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැවින් ගැටුම්වලින් වැළකී සිටින මෙන් එතුමා විසින් සිදු කළ ආයාචනය ද මෙහිදි ඉතාමත් වැදගත්ය. මේ ආයාචනය සමඟ ඒකාබද්ධයේ හා පොදුජන පක්ෂයේ කණ්ඩායම් මේ ගැටුම් ඇති ප්‍රදේශවල ‘සහයෝගිතා කමිටු’ වැනි අලුත් යාන්ත්‍රණයක් හදාගනිමින් මේ ගැටුම නිමා කරන්නට සක්‍රීයව සම්බන්ධ විය යුතු බව මගේ යෝජනාවය. විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ අය පසුගිය කාලයේ මහින්ද වෙත දමා ගැසූ ‘මුස්ලිම් විරෝධය’ යනු ඒ අයගේ දේශපාලන වාසිය සඳහා හැදු පට්ටපල් බොරුවක් බව පෙන්වීමට මේ අවස්ථාව බලෙන්ම අත්පත් කර ගැනීමට ඒකාබද්ධයේ නායකයන් පෙරට පැමිණිය යුතුය.

යටත් විජිතයෙන් පසුව අප හදන්නේ මොන වගේ රටක් දැයි 1948 සිටම අප තවම විසඳන ගත්තේ නැති බරපතළම ප්‍රශ්නය බව සැබෑය. මේ ප්‍රශ්නයට මහ ජාතියේ පැත්තෙන් සහ සුළු ජාතින්ගේ  පැත්තෙන් යන දෙපැත්තෙන්ම විසඳුම් සොයන්නට අප උත්සාහ ගන්නේ ඒ කාලයේ පටන්මය. එක අතකින් අප කරමින් ඉන්නේ ක්‍රීඩා කිරීම නොව ක්‍රීඩාව සඳහා පිටිය සකස් කර ගැනීමට ගොස් රණ්ඩුවක් ඇල්ලීම වගේ දෙයක්ය. රාජ්‍ය පාලනයේ ක්‍රීඩාව වන්නේ රට ගොඩ නඟන්නේ මොන ආකාරයක දේශපාලන ආර්ථික මතවාද හරහා ද සහ මොන වගේ ප්‍රතිපත්ති හරහා ද යන කාරණා මත පදනම් වූ දෙයක්ය.

අප තවම ඉන්නේ පිටියේ දිග පළල ගැන රණ්ඩුවක නිසා මේ ක්‍රීඩාව කරන්නට කාලයක් අපට ලැබෙන්නේම නැති ගානය. 1989න් පසුව මේ රණ්ඩුවට මුස්ලිම් ජනතාවත් එක් වූයේ නැගෙනහිර පළාතේ දේශපාලන නායකත්වයක් හදා ගැනීමේ උත්සාහයත් සමඟය. මෙතැනදි සිංහල ජනතාව තේරුම් ගත යුතු කාරණයක් වන්නේ උතුරේ ගැටුම තියෙද්දී මුස්ලිම් සමාජය ඒ අවි ගත් දෙමළ දේශපාලනය වෙත ගමන් නොකළේ අෂ්රොප් වැනි නායකයන්ගේ තිබූ පළල් දේශපාලන අවබෝධය නිසා බවය. දැන් අප කළ යුත්තේ මුස්ලිම් දේශපාලනය අපේ රටේ ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනයට එකතු කර ගැනීමට උත්සාහ කිරීමය. හකීම් සහ රිෂාඞ් යනු අෂ්රොෆ්ගේ දේශපාලන ඥානය ගෑවිලාවත් නැති නිකම්ම නිකම් නායකයන් දෙදෙනකු බව මගේ හැඟීමය.

ඒ අයට දේශපාලන බලය ගන්නට නැගෙනහිර පළාතත් මන්නාරම් දිස්ත්‍රික්කයත් පාවිච්චි කළාට මගේ අපුලක් නැත. ඒත් රට පුරා විසිරී සිටින අපේ ගම්වලට සම්බන්ධ මුස්ලිම් ජනතාව මේ දේශපාලනය සඳහා ‘පාව්ච්චි වීමෙන්’ ගලවා දැමීම මේ ගැටුමෙන් අපි උගෙන ගත යුතු හොඳම පාඩමය. අප අතර මොන ආකාරයේ විරෝධයක් තිබුණත් එජාපයේ ඩී.එස් ගේ කාලයේ සිට පවත්වාගෙන එන වැදගත් දෙයක් වන්නේ නැගෙනහිරින් පිටත  සිටින මුස්ලිම්වරුන්ට එජාපයේ ඉහළ ධුරාවලියේ අවස්ථා  ලබා දිමේදී පෙන්නුම් කරන නම්‍යශීලීභාවයය. අකුරණ හමීඞ් පුත්තලමේ නයිනාමරික්කාර්, කොළඹ මොහොමඞ්, බේරුවල බකීර් මාකර් සහ මාවනැල්ලේ කබීර් හසීම්  වැනි අය මේ සඳහා හොඳම ආදර්ශය. මුල් කාලයේ ශ්‍රීලනීපයේත් තත්ත්වය මේ වගේමය.

ඒ දවස්වල කඩුගන්නාවේ මරික්කාර් සහ ගම්පොළ බදියුදින් මොහොමඞ් වැනි නායකයන් ඒ පක්ෂයේ සිටි නායකයන්  බව අප අමතක කළ යුතු නැත. පසුකාලීනව පලස්තීන ප්‍රශ්නයට සහයෝගය ලබාදීම වැනි කාරණා හරහා මුස්ලිම්වරුන් වැඩියෙන්ම ආදරය කළ ශ්‍රීලනීපයේ නායකයකුව සිටියේ මහින්ද රාජපක්ෂ බව ඒතුමාගේ දේශපාලනයේ අද සිටින අනෙකුත් නායකයන් පවා දන්නවා දැයි මා දන්නේ නැත. ඒ නිසාම පොදුජන පක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා වැනි නායකයන්ට මුස්ලිම් සමාජයේ ඇති පිළිගැනීම ස්වකීය පක්ෂයේ දේශපාලනමය ස්ථානගත කිරීමක් දක්වා වර්ධනය කිරීමට මේ අවස්ථාවේ දී  මුල්විය යුතු බව මගේ යෝජනාවය.

මෙහිදී සඳහන් කළ යුතු අනෙක් කාරණය වන්නේ මේ රටේ බෞද්ධ සභ්‍යත්වයට හිමි තත්ත්වය යනු  හුදු ආගමකින් එහාට යන ශිෂ්ටාරමය වූ බැඳීමක් සහිත දෙයක් බව පිළිගැනීමට අනෙකුත් ආගමිකයන් සූදානම් වීම අවශ්‍ය බවය. මේ පැත්තෙන් බලද්දී වර්තමාන කතෝලික සභාවේ මැල්කම් කාදිනල් රන්ජිත් රදගුරුතුමන්ගේ නිහතමානී පිළිගැනීමට අප හැමෝගේම ප්‍රසාදය හිමිවිය යුතුවා පමණක් නොව බෞද්ධයන් හා කතෝලිකයන් අතර මුහුදුබඩ තිරුවේ ඇති සාමය හා සහයෝගයට ඒ අදහස් මගින් ලබා දී ඇත්තේ විශේෂ ශක්තියක් බව නොකියාම බැරිය. 

බෞද්ධ සමාජයේ මුදුන් මල් කඩ බඳු වූ දළදා මාළිගාව අනුරාධපුර පූජා නගරය වැනි සුවිශේෂ ස්ථානවලට වෙනත් ආගමිකයන්ගේ බලපෑමක් ඇතිවේ යැයි බෞද්ධයන් තුළ ඇති වී තිබෙන බිය හා සැකය දුරු කළ හැක්කේ ආණ්ඩුවේ සිටින මේ ප්‍රශ්නය තේරෙන මැදිහත් අයගේ මැදිහත්වීමෙන් මිස බෞද්ධයන්ගේ පිළිකුලට  පත් වූ අය යොදා හාමුදුවරුන්ට අපහාස කිරීමෙන් නොවන බව මෙහිදී විශේෂයෙන් කිව යුතු කාරණයකි.

දැන් මේ තෙල්දෙනියේ ප්‍රශ්නය දඩමීමා කරගෙන ආණ්ඩුවේ සමහර එජාප නායකයන් හදන්නේ එක්කෝ තමන්ට එරෙහිව ගමේ මතුවෙන දේශපාලන විරෝධය මැඬපවත්වන්නටය. නැත්නම් මේ ප්‍රශ්නය පෙන්නා විවිධ නීති රිති දමමින් විපක්ෂයේ දේශපාලනය මැඬපවත්වන්නටය. ඒ එකක්වත් බැරි නම් අඩුගානේ මේ ප්‍රශ්නය පාවිච්චි කරමින් ආණ්ඩුවට විරුද්ධව මතුවී ඇති සමාජ මාධ්‍යවත්  තහනම් කිරීමය. සමාජ මාධ්‍ය බොරු ප්‍රචාරය කරන බව සැබෑය.

2015 ජනාධිපතිවරණයේ දී සමාජ මාධ්‍ය කියා කළේම තරගෙට බොරු කීමය. ඒත් ඒවා බොරු බව පෙන්විය හැක්කේත් ඒ මාධ්‍ය තිබුණොතින් මිස වසා දැමීමෙන් නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ආණ්ඩුව බලයට එනවිට කීවේ ‘හැමෝටම ෆ්‍රී වයි ෆයි දෙනවා’ කියාය. ඒ නිකම්ම නොව අහසේ පාවෙන ‘වයිෆයි බැලුම් බෝලයක්’ හරහාය. අන්තිමට සිදුවුණේ ෆ්‍රී වයිෆයි බැලුම් බෝලය’ සිහිනයක් කෙරුවා  පමණක් නොව  අපේ සල්ලිවලින් බලපු ෆේස්බුක් එකවුන්ට් එකටත් සීල් තැබීමය.

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්