සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

ජනපතිගේ දේශපාලන ප්‍රහාර, ජනපති කොමිසම් වාර්තා, ජාතික ආණ්ඩුවේ නිල කාලය, බැඳුම්කර කොමිසම් විවාදයේ හෙට දවස, රාජපක්ෂ ජවිපෙ ගැටුම, දූෂණ විරෝධී කොඩියේ අයිතිය හා ජවිපෙ මැතිවරණ උපක්‍රම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි.

ප්‍රශ්නය :- සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් වූ 96 දෙනා එනවා නම් හෙට ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න තමා සූදානම් යැයි ජනාධිපතිවරයා පැවැසුවා. ඇත්තටම, ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදේවිද?
පිළිතුර:- ඔහු එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් හදනවාද ශ්‍රීලනිපය ප්‍රමුඛ කරගත් ආණ්ඩුවක් හදනවාද යන්න මේ රටේ ජනතාවගේ පැත්තෙන් ඒ තරම් වැදගත් සාධකයක් නෙවෙයි. 2015 ජනවාරි 8 පරාජයට පත්කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පමණක් නොවෙයි. ඔහුගේ දේශපාලන සංස්කෘතිය වගේම සමහර විට රාජපක්ෂටත් වඩා වැඩි විවේචනයක් තිබූ අමාත්‍යවරු හා පාලනයයි. ජනාධිපතිවරයා එවැනි කණ්ඩායමක් සමඟ හිටගන්නවා කියන්නේ තම ජන වරමට එරෙහිව කටයුතු කරනා බවයි. කෙසේ නමුත් පක්ෂ දෙක වෙන වෙනමත් එකතු වෙලාත් රට පාලනය කළා. ඒ ඔක්කොම අසාර්ථක වෙලා තියෙන්නෙ. ඒ නිසා තව කවර පන්නයේ පාලන හැදුවත් අදාළ වන්නේ ඔවුන්ගේ වරදාන වරප්‍රසාද පමණයි.

ප්‍රශ්නය:- ආසන්න කාලයේදී ළඟ ළඟ ජනාධිපතිවරයා නිකුත් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශවලින් මැතිවරණ වේදිකාවේ වාසිය ජනපති සිරිසේන වෙත ගමන් කරමින් ඇතැයි ඇතැමුන් කියනවා. ඔබ මෙය පිළිගන්නවාද?
පිළිතුර:- ඔව්. මේ අවුරුදු තුනක පාලන කාලයේදී ඔහුගෙන් ප්‍රකාශවලට වැඩිමනත් යමක් දැක්කෙත් නෑ. මේ ඡන්දයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ කඳවුරත් එක්ක සන්ධානයකට යන්න ඔහු උත්සාහ කළා. ඔහු කෙලින්ම ඊට මැදිහත් වූ බව වාර්තා වුණා. ඒ එකඟතා අසාර්ථක වූවා. ඒ වගේම මැතිවරණය කල්දමාගැනීමට ඔහුගේ කණ්ඩායම විශාල උත්සාහයක් දැරුවා. විශේෂයෙන්ම නඩු පැවැරීම් ආදී කරුණුවලින්. නමුත් ඒ ප්‍රයත්න සියල්ල අසාර්ථක වූවාට පසු ඔහුට වෙනම මැතිවරණයක් තරඟවැදීමට සිදුව තිබෙනවා. මැතිවරණයේදී සිය කණ්ඩායමට අත්වන නරක ප්‍රතිපලය නිසා ඔහු මෙවැනි ප්‍රකාශ කිරීමට පෙළඹී තිබෙනවා. නමුත් අපි දකින හැටියට ඒ ප්‍රකාශම මැතිවරණයේදී ඔහුට අවාසිදායක වටපිටාවක් නිර්මාණය කරමින් තිබෙනවා. මේ නිසා මැතිවරණයක් විසින් ඔහුව ව්‍යාකූලත්වයට පත්කරනු ලබන අයුරු තමයි අපි දකින්නේ.

ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මෙය රනිල් මෛත්‍රී එකඟතාවයෙන් පෙන්වන ඩ්‍රාමා එකක් කියලයි. ජවිපෙ සිටින්නෙත් ඒ මතයේම ද?
පිළිතුර:- මේ පාර්ශ්ව තුනම යම් යම් ඩ්‍රාමාවල තමයි නිරත වී සිටින්නේ. ශ්‍රීලනිප ලේකම්කම අතහැරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එජාපය සමඟ පොදු එකඟතාවයකට පැමිණ මැතිවරණ ව්‍යාපාරයේ නිරත වුණා. ශ්‍රීලනිපයේ සියල්ලන් ඔහුට එරෙහිව කටයුතු කළා. නමුත් මැතිවරණයෙන් දින කීපයක් යද්දී ශ්‍රීලනිප සභාපතිකම රාජපක්ෂ මහත්තයා බන්දේසියක තබා මෛත්‍රීපාල මහත්තයාට බාරදුන්නා. ඒ වගේම මැතිවරණයේදී රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල ලෙස වැඩ කළ පිරිසකට මෛත්‍රීපාල මහත්තයා ඇමැතිකම් දුන්නා. ඒ නිසා විටෙක කඩු අමෝරාගෙන එන සෙයක් පෙන්වමින් තවත් විටෙක කඩුව කොපුවේ ලා බදා වැළඳගන්නා රංගනයක් තමයි පසුගිය කාලය පුරාවටම අපි දුටුවේ. මේ ගහගැනීමත් එවැනිම රංගනයක්. ආණ්ඩුව යූ.එන්.පී ලෙස පෙන්වමින් විපක්ෂයේ භූමිකාව රඟදක්වමින් මේ නාට්‍ය තනිකරම ඡන්ද ගැරීමේ ප්‍රයත්නයක් පමණයි. පෙබරවාරි 10 වැනිදාට පස්සේ මෛත්‍රී රනිල් මහත්තුරුන්ගෙ ඡන්ද එක මල්ලට දාලා ආණ්ඩුවට ජන වරමක් ඇති බව ප්‍රකාශ කරාවි.

ප්‍රශ්නය:- ශ්‍රීලනිප එජාප ගිවිසුම දෙසැම්බර් 31 න් පසු අවසන් වූ බව විපක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා. ඒත් ආණ්ඩුව කියන්නේ එය දීර්ඝ කළ බවයි. ඇත්ත කියන්නේ කවුද?
පිළිතුර:- ජාතික ආණ්ඩුවක් හදන්නේ නැතිනම් ඇමැති ධූර සංඛ්‍යාව 30 ටත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිධූර සංඛ්‍යාව 40 ටත් සීමා විය යුතු බව 19 වැනි සංශෝධනයේ පැහැදිලිව දක්වා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අමාත්‍ය ධූර සංඛ්‍යාව 30 සිට 48 දක්වාත් නියෝජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව 40 සිට 45 දක්වාත් වැඩි කරනු ලැබුවේ 2015 සැප්තැම්බර් දෙවැනිදායි. එජනිස හා එජාපය අවුරුදු දෙකකට එකඟතාවයකට එන බව එහිදී කතානායකවරයාට නිශ්චිතව දැනුම් දුන්නා. එය 2017 සැප්තැම්බර් 2 අවසන් වුණා. එදිනත් මම පාර්ලිමේන්තුවේදී විමසුවේ ඉන් අනතුරුව නැවත ගිවිසුමක් අස්සන් කළාද කියලයි. නමුත් කිසිදු පිළිතුරක් ලැබුණේ නෑ. පසුගියදා මා නැවතත් කතානායකවරයාගෙන් ගිවිසුම දීර්ඝ කරන බවක් ඔබට දැනුම්දුන්නාදැයි කියා විමසූ විට ඔහු කීවේත් නැත කියලයි. ඒ අනුව 2017 සැප්තැම්බර් 2 න් පසුව මේ අමාත්‍ය මණ්ඩලය දැන් පවත්වාගෙන යන්නේ රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි.

ප්‍රශ්නය:- මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද කියා පැහැදිලි තීන්දුවක් තවම ගෙන නෑ කියලයි. ජනාධිපතිවරයාගේ මේ කතාව ගැන ජවිපෙ මොකද හිතන්නේ?
පිළිතුර:- ඇත්තටම අපේ රටේ දේශපාලනය ගැන ජනතාවට විශාල කලකිරීමක් තිත්තවීමක් තිබෙනවා. ඒ දේවල් සිදුවන්නේ මේ හේතු නිසයි. ජනාධිපතිවරයා පුටුවේ වාඩි වෙන්න පෙර කියපු දේවල් නෙවෙයි වාඩි වුණාට පසුව කියන්නේ. පසුගිය සෑම ජනාධිපතිවරයෙකුම එහෙමයි. නව දේශපාලනික සංස්කෘතියක් හදන ජනාධිපතිවරයකු වෙනවා වෙනුවට පැරැණි ජනාධිපතිවරුන්ගේම පෝලිමේ හිටගන්නා ජනාධිපතිවරයෙකු බවට වත්මන් ජනාධිපතිත් පත්වෙලා හමාරයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුයි. එනිසා නැවත ජනාධිපතිවරණයක් ගැන කතා කිරීමට වඩා වුවමනා වන්නේ එය අහෝසි කිරීම සඳහා වූ ජනතා පෙළගැස්වීමක් නිර්මාණය කරගැනීමයි. ජනවාරි 8 පොදු වුවමනාවන්ට පස්ස හැර වූ පොදු අපේක්ෂකයකුගේ තනතුරක් ආරක්ෂා කිරීමෙහි කිසිදු පලක් නෑ.

ප්‍රශ්නය:- බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටු අඩු බවක් චෝදනා නැගෙද්දී ආණ්ඩුව පැත්තෙන් කියන්නේ නීතිමය පියවර ගැනීමේදී චූදිතයන්ට වාසිදායක වන ලේඛන කීපයක් අමුණා නොමැති බවයි. ආණ්ඩුවේ තර්කය ජවිපෙ පිළිගන්නවාද?
පිළිතුර:- විවාදයක් හා ජනතාවට තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් කර තිබෙන වාර්තාව ප්‍රමාණවත්. තවත් තොරතුරු අවශ්‍ය වන්නේ යම් අයෙකුට තවදුරටත් අධ්‍යයනය කිරීමටයි. එහෙත් ඉදිරිපත් කර ඇති වාර්තාවට අමතරව කිසිවක් නොමැති යැයි ජනාධිපති ලේකම් දැනුම් දුන් බව 23 වැනිදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ප්‍රකාශයක් කළා. එහෙත් එම ජනාධිපති ලේකම්ම ඊට පසු දින ඊට අමතරවත් වාර්තා ඇතැයි කතානායකට දැනුම් දෙනවා. ඒ නිසා මේවා රහස්‍ය ලේඛනද, ඒවා හෙළිදරව් වීමෙන් විත්තිකරුවන්ට වාසිදායකද යන්න ගැන අපට අදහසක් නෑ. ඒ නිසා මේ ගැන නිවැරැදි තොරතුරු දැනගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමකට කැඳවන්නැයි අපි ඉල්ලීම් කළා. එම නිසා මේ සඟවාගෙන තිබෙන තොරතුරු නීති කටයුත්තකදී බාධා වන තොරතුරුද යන්න ගැන අපට හරිම අදහසක් නෑ.

ප්‍රශ්නය:- දෙපැත්තේම ප්‍රභූ හොරු බැඳුම්කර විවාදය කල් දාගත්තා යැයි ජනපති කියද්දී ඒකාබද්ධ විපක්ෂය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන් හා ජවිපෙ කඩිනම් විවාදයක් ඉල්ලූ බවයි. ඇත්තටම වුණේ මොකද්ද?
පිළිතුර:- බැඳුම්කර මෙන්ම බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් වූ ජනපති කොමිසමේ වාර්තාව ද 10 වැනිදාට පෙර විවාදයට ගත යුතුය යන දැඩි ස්ථාවරයේ අපි සිටියා. පක්ෂ නායක රැස්වීමේදීත් අපි එය අවධාරණය කළා. ඒ වගේම ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළාට පසුව 10 වැනිදාට පෙර විවාදය ලබාගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි කතානායකවරයාට අපි ලිඛිතව දැනුම් දුන්නා.

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුව සමාජ අවධානයට ගත්තේ කවුරුන් විසින්දැයි දේශපාලන වේදිකාවේ විවාදයක් සිදුවෙනවා. කෝප් කමිටු සභාපතිකම නිසා එය ජවිපෙට පවරාගන්න නොහැකි යැයි සමහරු කියනවා. ජවිපෙ වැඬේට බැස්සේ හරියටම කවදාද?
පිළිතුර: 2015 පෙබරවාරි 27 මේ සිදුවීම වෙනවා. එයින් සති දෙකක් ඉක්මයෑමටත් පෙර මාර්තු 7 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජවිපෙ මෙය හෙළි කළා. ඒ විගසම පාර්ලිමේන්තුවේදී මාර්තු 17 ප්‍රශ්න කළා. අනතුරුව මේ ප්‍රශ්නය කෝප් කමිටුවේ සාකච්ඡාවට බඳුන් වුණා. විධිමත් බලය සහිත ආයතනයක් පිහිටුවා විමර්ශනය කළ යුතු යැයි කමිටුව නිර්දේශ කළේ පෞද්ගලික ආයතනයක් තමන් හමුවට පමුණුවන්නට නොහැකි නිසයි. එම යෝජනාව දැක නොදැක හෝ ඒ අනුව ජනාධිපති කොමිසමක් පත්වුණා. එනිසා මෙම ක්‍රියාවලිය හෙළිකරන්නටත් ඊට එරෙහිව සමාජීය වශයෙන් මතයක් දරන්නටත් ජවිපෙ විශාල කාර්යභාරයක් කළ බව ජනතාව දන්නවා.

ප්‍රශ්නය:- රවී කරුණානායක මන්ත්‍රීවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගවල දින වකවානු හා සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර මත ගැටුමක් තිබෙනවා. ජවිපෙ මතකය මොන වගේද?
පිළිතුර:- රවී කරුණානායකට එරෙහිව මහින්ද පාර්ශ්වය විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. ඒ පසුගිය මහමැතිවරණයට පෙරයි. ඒක ඉදිරියට ගියේ නෑ. නැවත එකක් ඔවුන්ම ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේ විවාදයට භාජන කළා. ඉතාමත් පැහැදිලිව ඊට මහින්ද රාජපක්ෂ සහභාගී වුණේ නෑ. ඒ විශ්වාසභංගයෙන් පසුව තමයි රවි කරුණානායකට මුදල්වලින් මල් මාලයක් දාලා පිළිගනු ලැබුවේ.

ප්‍රශ්නය:-හිටපු ජනාධිපතිවරයා යම් අවස්ථාවලදී නිවේදන නිකුත් කරනවා. ආසන්නතම නිවේදනයෙන් ජවිපෙට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. ජවිපෙ රාජපක්ෂ ගැටුම අවසන් නොවන්නේ ඇයි?
පිළිතුර:- ජනාධිපතිවරණයේ හා මහමැතිවරණයේ පරාජයෙන් පසුව ඔහුට යළි බලය පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනැගෙන්නේ මේ පළාත් පාලන මැතිවරණයෙන්. එනිසා මෙය ඔහුගේ දේශපාලන අවසානය සනිටුහන් කරන මැතිවරණයක් නැතහොත් ලාස්ට් චාන්ස් බවට පත්වීමට ඉඩ තිබෙනවා. එනිසා ඔහු කෝපයෙන් වෛරයෙන් විවිධ ප්‍රකාශ කිරීමට පටන්ගෙන තිබෙනවා. මෙම නිවේදනය තනිකරම අසත්‍ය හා විකෘති කරන ලද කරුණුවලින් ගහණ වූවක්. අපි නම් දකින්නේ එය ඔහුගේ මානසික ව්‍යාකූලත්වයේ ප්‍රකාශනයක් හැටියටයි.

ප්‍රශ්නය:-හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔබ කටයුතු කරනවා. ඒ වගේම මහින්ද, බැසිල්, රෝහිත, විමල් ආදී වශයෙන් තවත් පිරිසකටත් අධිකරණය හමුවට එන්නැයි අභියෝග කරනවා. මේක ටිකක් බරපතල වැඩක් නේද?
පිළිතුර:- ජනතා විමුක්ති පෙරමුණ සෑම කරුණක්ම ඉදිරිපත් කරන්නේ අතිශය සත්‍යවාදී පදනමින්. අපට යම් කරුණක් පිළිබඳ දෙගිඩියාවක් තිබේ නම් ඒ කරුණ ඉදිරිපත් කරන්නේ නෑ. මා එවැනි ප්‍රකාශයක් කරන්නේ ඇයි? මේ පාලකයන් විසින් මොවුන්ව අධිකරණයට ගේන්නේ නැත්නම් ඔවුන් මට එරෙහිව පවරන නඩුවක් හරහා හෝ අධිකරණයට ගෙන්වන්නට මම බොහෝම කැමැතියි. මගේ අරමුණ ඒකයි.

ප්‍රශ්නය:-අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවට ඒකාබද්ධ විපක්ෂය වහසි බස් දෙඩූවත් එය කිසිදා සිදුනොවන්නේ යැයි ඔබ කියනවා. කොහොමද එහෙම සහතික දෙන්නේ?
පිළිතුර:- මන්ත්‍රීධූර 142ක් අතේ තියාගෙන මන්ත්‍රීධූර 42 ක් පමණක් පැවැති එජාපයට අගමැති ධූරය දෙනවිට බෙල්ල නවාගෙන පූස් පැටව් වගේ ඇවිත් විපක්ෂයේ වාඩි වුණේ මේ පිරිසයි. මන්ත්‍රී ධූර 142ක් ජවිපෙ අතේ තිබුණා නම් අපි කිසිවෙකුට පාර්ලිමේන්තුවේ බලය උදුරගන්න දෙන්නේ නෑ. එයින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ හීලෑවීමේ තරමයි. ඔවුන් සිටිය යුත්තේ ගෙදරද හිර ගෙදරද කියලා දෙන තීරණයේ තොණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා අතේ තිබෙනවා. ඉතින් වික්‍රමසිංහ මහත්තයා කඹේ දිගේලි කරන තරමට තමයි මේ ගොල්ලන්ට දඟලන්න පුඵවන්.

ප්‍රශ්නය:- ඒ කියන්නේ බල දේශපාලනයේදී එජාපය ශක්තිමත් බව නේද?
පිළිතුර:- නැහැ. ඒක නෙවෙයි. එජාප ආණ්ඩුවක් ආවොත් ආර්ථිකය හොඳ වේවි කියලා රටේ මතයක් තිබුණා. ආර්ථිකේ මහා ඔස්තාර් රනිල් වික්‍රමසිංහට මීතොටමුල්ල කුණු කන්ද වගේ ණය කන්ද ගැන අඬ අඬා හිටිය හැරුණුකොට, පැරැණි වලව්වක නාස්තිකාර පුත්‍රයකු වගේ රටේ තිබෙන දේපළ විකුණනවා හැරුණු විට කිසිවක් කරගන්න බැරිවුණා. නිශ්චිතවම එජාපයේ නායකයන්ට චෝදනා එල්ලවෙද්දී අඩුම තරමින් පක්ෂ තනතුරුවලින්වත් ඔවුන් පහකරන්න ඔහුට නොහැකි වී තිබෙනවා. ඔවුන් මේ පෙන්වන ප්‍රජාතන්ත්‍රවාදය පට්ටපල් බොරුවක් බව මේ වසර තුනේදී හොඳින්ම පෙන්නුම් කර තිබෙනවා.

ප්‍රශ්නය:- විද්වත් වෘත්තිකයන්, කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරීන් පෙරටු කරගෙන පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණයට ජවිපෙ අවතීර්ණ වී සිටිනවා. උපායමාර්ගිකව මේ වැඬේ සාර්ථක ද?
පිළිතුර:- එහි අරමුණු දෙකක් තිබෙනවා. 2020 මැතිවරණයේදී බලය ලබාගත හැකි සංවේදී ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම එකක්. ඒ සඳහා විවිධ කණ්ඩායම් සමඟ පසුගිය කාලයේ අප සාකච්ඡා කළා. මෙවර ඡන්දය එහි දිගුවක්. දෙවැන්න නම් පළාත් පාලනයේ ඇති කාර්යභාරය මේ වනවිට මු`ඵමනින් අත්හැරදා තිබෙනවා. ඒ වගේම ජාතික මංකොල්ලකරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත වී තිබෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් සිටින මේ බළකාය හරහායි. එනිසා මේ බළකායේ ගෙල සිඳීමත් 2020 මැතිවරණයේදී අතිශය වැදගත්. ලංකාවේ ප්‍රබලතම කැප කිරීම සහිත, පිරිසිදු, අවංක, රටට ජනතාවට ආදරය කරන පොදු ජන ව්‍යාපාරයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනගනවා. එම ගොඩනැන්වීමේ සුහුඹුල් අවස්ථාවයි මේ ගෙවෙමින් තිබෙන්නේ.

ප්‍රශ්නය:-2014 දී ජවිපෙ ගොඩනැගූ දූෂණවිරෝධී සටනේ වාසිය පොදු අපේක්ෂක ව්‍යාපාරයට හිමි වූ බව විචාරකයන්ගේ මතයයි. එහෙත් ආසන්නයේදී ජනාධිපතිවරයා නිකුත් කළ කොමිසම් වාර්තා දෙක සමඟ දූෂණවිරෝධී කොඩිය සියතට ගැනීමට ඔහුට බැරිකමක් නැහැ නේද?
පිළිතුර:- බැඳුම්කර කොමිසම් වාර්තාව එතුමාට බාරදුන්නේ ජනවාරි පළමුවැනිදායි. නමුත් ඊට පෙර පරීක්ෂණ 17 ක් පිළිබඳව වසර එකහමාරක් තරම් පැරැණි වාර්තා ඔහුට බාර දී තිබුණා. මා ඒවා අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියත් අඩුම තරමින් ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කළේවත් නෑ. පැවැති පාලනය ගැන බොහෝ වාර්තා මෛත්‍රීපාල සිරිසේන මහතා එළියට දැම්මේ නෑ. තමන්ට එකතුවීම සඳහා ඔහු ඒවා මෙවලමක් විදියටයි යොදාගත්තේ. යම් හෙයකින් ඒ එකතුවීම සිදුවුණා නම් මෙම කොමිසම් වාර්තා කිසිසේත්ම එළියට එන්නේ නෑ. ඒ නිසා මේ වාර්තා එළියට එන්නේ එකතු නොවීම හේතුකොටගෙනයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා අල්ලස් කොමිසමෙන් සිදුවන පරීක්ෂණ ගණනාවක් එල්ල වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටේ ඉන්න අයටයි. මොට්ට කඩුවක් අත අමෝරා ගත්තාට දූෂණවිරෝධී නායකයෙක් වෙන්නේ නෑ. ඒ වගේම මෑත කාලයේ ඔහු ළඟට ගත් අයට අපරාධ චෝදනා පවා එල්ල වී තිබෙනවා. ඔහු දූෂණවිරෝධය පටන්ගත යුත්තේ තමන්ගේම කණ්ඩායමෙන්. එහෙම නම් ඔහුගෙ වටේ ඉන්න බොහෝ දෙනෙක් දැනටමත් හිරේ.