පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට ඇති නුසුදුසු කමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ අවධානය යොමුව තිබේ. ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්වීමත් සමඟය. එම මන්ත‍්‍රීවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු තහනම් නියෝගය මෙම නඩුවේ විභාගය නිමවෙන තුරු බලපැවැත්වේ. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් පවතින බව පැහැදිලිය.

කෙසේ වෙතත් මෙය තවමත් අධිකරණය හමුවේ පවතින කරුණකි. එනිසා අධිකරණ තීන්දුව හෝ ඉදිරිපත් කර ඇති අභියාචනය සම්බන්ධයෙන් කිසිදු මතයක් මෙහිදී ප‍්‍රකාශ කළ නොහැක. එහෙත් මේ ආශ‍්‍රිත නීතිමය කරුණු සහ එම නීතිමය කරුණුවල දේශපාලන අනුශංග පිළිබඳ ශාස්ත‍්‍රීය වශයෙන් සලකා බැලීමට පුළුවන.

මේ වන විට මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයක් දරන පුද්ගලයකුගේ නුසුදුසුකම් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මූලික විරෝධයක් හෝ යම් විරෝධතාවක් ඉදිරිපත් කරන්නේ නම් එසේ ඉදිරිපත් කළ යුත්තේ නාමයෝජනා පත‍්‍ර බාරදීමෙන් පසු ඒවාට විරෝධතා ඉදිරිපත් කළ හැකි අවස්ථාවේදීය. එම අවස්ථාවේදී අදාළ කාලසීමාව තුළ එකී පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයට පත්වී සිටින පුද්ගලයාගේ නාමයෝජනා පත‍්‍රයට විධිමත් විරෝධතාවක් යොමුකර තිබේද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් තොරව ඒ ගැන තවදුරටත් ක‍්‍රියා කළ නොහැක. යම් හෙයකින් එම අවස්ථාවේ විරෝධතාවක් ඉදිරිපත් කළේ නම් ඒ සම්බන්ධයෙන් තේරීම්භාර නිලධාරිවරයා නියෝගයක් කළයුතුව තිබුණි.

එම නියෝගයෙන් අතෘප්තිමත්වන කෙනෙකුට නාමයෝජනාව සම්බන්ධයෙන් එම අවස්ථාවේම අදාළ අධිකරණයට යා හැකිව තිබිණි. මෙවැන්නකට අදාළ පූර්ව නිදර්ශනද පෙන්වා දීමට පුළුවන. 1976 පාර්ලිමේන්තු මැතිවරණයේදී එවකට වැලිමඩ ආසනයට පර්සි සමරවීර මහතා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වුණි. එනිසා එහි අනෙක් නාමයෝජනා පත‍්‍ර ඉදිරිපත් කර තිබූ එකම අපේක්ෂකයා වූ ආර්.එම්. බණ්ඩාර මහතා නිතරගයෙන් තේරී පත්වූයේය. එම පක්වීමට විරුද්ධව පර්සි සමරවීර මහතා ඡුන්ද පෙත්සමක් ඉදිරිපත් කළේය. එහෙත් එය නිශ්ප‍්‍රභ වුණි. එයින් නොනැවතුණු ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත් කළේය. එහෙත් එයද නිශ්ප‍්‍රභ කෙරුණි.

කෙසේ වුවත් එම ප‍්‍රතිකර්මය ගාලූ මන්ත‍්‍රී සිද්ධිය සම්බන්ධයෙන් අනුගමනය කිරීමට හැකිව තිබිණ. ගාලූ දිස්ත‍්‍රික් එ.ජ.නි.ස නාම යෝජනා ලැයිස්තු සම්බන්ධයෙන් යම් විරෝධතාවක් තිබුණේ නම් හෝ එබඳු විරෝධතාවකට එරෙහිව තේරීම්භාර නිලධාරිවරයා නියෝගයක් කළේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප‍්‍රශ්න කිරීමට ඉඩ තිබුණි. එහෙත් එවැන්නක් සිදුව නැති බව පැහැදිලිය.

පවතින වාතාවරණය යටතේ යම් හෙයකින් අනාගතයේදී මෙ තේරීපත්වීම් දිගටම අවලංගු යැයි තීරණය කළහොත් ඇතිවන තත්ත්වය කුමක්ද යන්න මේ අවස්ථාවේදී පැහැදිලි කළ හැකිය. මෙම වකවානුවේ පවතින සමානුපාත ඡන්ද ක‍්‍රමයට අදාළ නොවූවත් පරාජිත අපේක්ෂකයකුට එබඳු අවස්ථාවකදී අධිකරණය මගින් අදාළ මන්ත‍්‍රීධුරය ලබාදිය හැකිද යන ප‍්‍රශ්නය මතුවනු ඇත. එවැන්නක් අතීතයේ සිදුව ඇත. එනම් 1969 දී තීරණය වූ පීරිස් එදිරිව ඬේවිඞ් පෙරේරා නැමැති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවයි.

72 වැනි නව නීති වාර්තාවේ 232 වැනි පිටෙහි ඒ විස්තර සඳහන්ව ඇත. එහිදී සිදුවු කරුණු සැකෙවින් මෙසේය. බණ්ඩාරගම ආසනයට 1965 පාර්ලිමේන්තු මැතිවරණයේදී කේ.ඩී.ඩී. පෙරේරා මහතා ශ්‍රී.ල.නි.ප. අපේක්‍ෂකයකු වශයෙන් නාමයෝජනා බාරදුන් පසුව එම මැතිවරණය සම්බන්ධයෙන් ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කොට ඔහුගේ අපේක්‍ෂකත්වය අහෝසි කළේය. ඉන් පසුව පැවැති අතුරු මැතිවරණයේදී කේ.ඩි.ඩි. පෙරේරා මහතා නැවත වතාවක් ශ්‍රී.ල.නි.ප. යෙන් ඉදිරිපත් වී ජයගත්තේය. එම මැතිවරණයෙන් දෙවැනි තැනට පත්වූ පරාජිත එ.ජා.ප. අපේක්ෂකයා වූ ජෝර්ජ් කොතලාවල මහතා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී ගෙනගිය ප‍්‍රධාන තර්කයක් තිබුණි. එනම් කේ.ඞී.ඞී. පෙරේරා අතුරු මැතිවරණය ජයගත්තද එයට නාමයෝජනා දෙන අවස්ථාව වන විටත් නුසුදුසු කමකින් සිටි නිසා නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් තරග කළ නොහැකි බවය. ඡන්ද පෙත්සමකින් මුලින් වරදකරු වූ නිසා කලක් යන තෙක් යළි තරග කිරීමට නොහැකි බව එහි අදහස වී තිබුණි. මේ තත්ත්වය යටතේ ඔහු තේරී පත්වුවත් අධිකරණය හරහා එම මන්ත‍්‍රී ආසනය පරාජිත අපේක්ෂකයාට ලබාගත හැකි බව මෙහිදී කියැවුණි.

කෙසේ වුවත් එම අතුරු මැතිවරණයෙන්ද වැඩි ඡන්ද පන්දහසකින් පමණ කේ.ඞී.ඞී. පෙරේරා මහතා ජයගත්තේය. පසුව එයට එරෙහිව ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කෙරුණි. එහිදී කේ.ඞී.ඞී. පෙරේරා මහතාගේ පත්වීම අවලංගු වුණි. එයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් වී තිබුණි. මෙමගින් ඉල්ලා තිබුණේ එම මන්ත‍්‍රීධුරය පරාජිත අපේක්ෂකයා වූ ජෝර්ජ් කොතලාවල මහතාට ලබාදෙන ලෙසය. වැඩි ඡන්ද පන්දහසකින් පමණ ජයගත් අපේක්ෂකයා නුසුදුසු අපේක්ෂකයකු වුවහොත් කළ යුත්තේ තවත් අතුරු මැතිවරණයක් නියම කිරීම මිස පරාජිත අපේක්ෂකයාට අදාළ මන්ත‍්‍රී ආසනය අධිකරණය හරහා ප්‍රදානය කිරීම නොකළ යුතු බව මෙහිදී තර්ක කර තිබුණි.

මේ සම්බන්ධයෙන් කටයුතු කළ විනිශ්චයකාරවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ මතය වූයේ එම මන්ත‍්‍රී ආසන ජෝර්ජ් කොතලාවල මහතාට ලබාදිය යුතු බවය. එහෙත් එය එසේ නොවිය යුතු බවත් අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු බවත් අනෙක් විනිසුරුවරයා සඳහන් කර තිබුණි. කෙසේ වුවත් මෙහි බහුතර තීන්දුව වූයේ කේ.ඞී.ඞී. පෙරේරා මහතාට ලබාදුන් බහුතර ඡන්ද විසිකරන ලද ඡන්ද බවය. එනම් ඡන්ද දායකයන් දැන දැනම අපතේ යවනු ලැබූ ඡන්ද බවය. එංගලන්තයේ සහ වෙනත් රටවල් කීපයක මැතිවරණ පෙත්සම් කීපයක තීන්දු ගැනද මෙහිදී සඳහන් කර තිබුණි.

එක් අපේක්ෂකයකුගේ නුසුදුසුකම හේතුවෙන් ගාලූ දිස්ත‍්‍රික්කයේ එජනිස මුළු ලැයිස්තුවම ඉවත දැමිය යුතු බවටද මේ වන විට තර්ක හා අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. ඉහත සඳහන් කළ ඡන්ද පෙත්සමේ තීන්දුව අනුව ගාල්ල දිස්ත‍්‍රික් අපේක්ෂිකාවට ලබාදුන් ඡන්ද විසිකරන ලද ඡන්ද බවට සැලකිය යුතුයැයි යම් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් මෙහිදී ප‍්‍රශ්නයක් මතුවනු ඇත. පීරිස්ට එදිරිව ඬේවිඞ් පෙරේරා තීන්දුවට අදාළ නඩු තීන්දුව ක‍්‍රියාත්මක වුණේ 1969 දීය.

එවකට පැවතියේ මුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතය. ආසන ක‍්‍රමය පැවැති ඒ කාලයේ මේ සිදුවීම අදාළ වූයේ බණ්ඩාරගම ආසනයට පමණි. දැන් පවතින තත්ත්වය එයට වෙනස්ය. ගාලූ දිස්ත‍්‍රික්කයම එක ආසනයක් වනු ඇත. ප‍්‍රධාන වශයෙන් පක්ෂයටත් පසුව එම ලැයිස්තුවේ සිටින අයට මනාප ලබාදී තිබේ. ඒ නිසා එක් අපේක්ෂිකාවක නුදුසුදු වූ පමණින් සියලූ ඡන්ද වීසි කළ ඡන්ද වශයෙන් තීරණය කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව අද පවතින තත්ත්වය යටතේ එක් ඡන්ද පත‍්‍රිකාවකින් තිදෙනකුට ඡන්දය දීමට හැකිවීමය.

පළාත් පාලන මැතිවරණවලදී වයස් සීමා ප‍්‍රශ්න හේතුවෙන් අපේක්ෂක ලැයිස්තු බල රහිත කළ අවස්ථා තිබේ. වරක් එජාපය කොළඹ නගර සභාවට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුව එලෙස අහෝසි වුණි. පානදුරේ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකුගේ ප‍්‍රශ්නයක් නිසා මුළු ලැයිස්තුවම ප‍්‍රතික්ෂේප වුණි. එහිදී අභියාචනාධිකරණයේ නඩුවක් පවරා සහනයක් ලබාගැනීමට හැකි වුණි. එහෙත් ඉන්පසුව ලැබුණු තීන්දු බහුතරයකගේම ඇත්තේ එක් අයකුගේ නුසුදුසුකම හරහා මුළු ලැයිස්තුවම අවලංගු කිරීමට හේතුවන බවය. මේ මූලධර්මය පාර්ලිමේන්තු මැතිවරණ වලටත් යොදාගත හැකිදැයි තර්ක විශ්ලේෂණය කර බැලිය යුතුය. එහෙත් එය ප‍්‍රායෝගික කාරණයක් නොවේ. වර්තමානයේ මූලික වශයෙන් ඡන්දය දෙන්නේ පක්ෂයට පක්ෂ ලකුණටය. අපේක්ෂකයන්ට ඡන්දය මනාපය දෙන්නේ ඉන් පසුවය. පක්ෂයකට දුන් ඡන්ද නුසුදුසු යන්න තීරණය කළ හැකිද යන තර්කය මෙහිදී මතුවන්නකි.

දැන් පවතින තත්ත්වය අනුව මැතිවරණ කොමිසම දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියාගෙන් විමසා ලැයිස්තුවේ ඊළඟ මනාප ගත් පුද්ගලයා පත්කිරීම කරනු ඇත. එහිදී පක්ෂයට කිරීමට කාර්යයක් නැත.

මැතිවරණ නීතිය විධිමත් නීතියකි. එය නූලටම පිළිපැදිය යුතුය. කුඩා අඩු පාඩුවක්වත් ඇතිව කටයුතු කිරීමට මෙහිදී ඉඩක් නැත. සුළු වැරැද්දක් වුවත් නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීමට පුළුවන. කෙසේ වුවත් මින් ඉදිරියට කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවලදී හෝ අලූත් ව්‍යවස්ථා සකස්කරන කාලයකදී හෝ මෙවන් කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. දැන් තිබෙන නීති වුවත් හොඳටම ප‍්‍රමාණවත්ය. නාමයෝජනා දීමට දින ගණනාවක් ලබාදී තිබේ. එහෙත් එම කාලය ප‍්‍රයෝජනයට ගන්නේ නැත. නාමයෝජනා සකසා අවසන් කරන්නේ අවසන් මොහොතේය. මෙය සෑම පක්ෂයක්ම කරන්නකි. මේ පසුබිම යටතේ වැරැදි වීමට අවස්ථාව තිබේ.

නාමයෝජනා ලබාදෙන අවස්ථාවේදී විරෝධතා නොදක්වා සියල්ල අවසන් වී වසර කීපයක් ගියතැන විරෝධතා දැක්වීම කොතරම් දුරට ප‍්‍රායෝගික දැයි යම් කෙනකු ප‍්‍රශ්න කරන්නට පුළුවන. ඒ දෙස සාධාරණව බලන්නේ නම් වසර කීපයක් ගිය තැන විරෝධතා දැක්වීම බුද්ධිගෝචර ක‍්‍රියාවක් නොවේ. වත්මන් ආණ්ඩුවට වසර දෙකකට වඩා වැඩිය. එවන් පසුබිමක පාර්ලිමේන්තුවේ තවත් අය සම්බන්ධයෙන් මෙලෙස ප‍්‍රශ්න කළහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? එය රටේ පාලනයට බලපාන ප‍්‍රශ්නයක් බවට පත්වනු ඇත. මේ වන විට ද්විත්ව පුරවැසි භාවය ඇතැයි කියන තවත් අය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් වශයෙන් සිටින බවට මත ඉදිරිපත් වී තිබේ. එනිසා මේ අය සම්බන්ධයෙන් යම් යම් අය ප‍්‍රශ්නකර අධිකරණය හමුවට ගියහොත් පාලන තන්ත‍්‍රය ප‍්‍රශ්නකාරී තත්ත්වයකට පත්වන්නට පුළුවන. මෙය ඡන්ද පෙත්සමක් නොවන බවද පැහැදිලිව පෙන්වාදිය යුතුය.

ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයක් දැරිය නොහැකි බව මුල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ නැත. මෙය ඇති වන්නේ 2015 වසරේදීය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සිදුකළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙවන් සීමාවක් පනවා තිබේ. එනිසා මෙය වලංගු වන්නේ 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණවලට පමණි.

කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව ශ්‍රී ලංකාවේ ඒ අරබයා තිබෙන නීතිය බවට පත්වනු ඇත. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමතරවය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේ අවසන් බලය ඇත්තේද ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. ඒ අනුව මෙය වැදගත් නඩු තින්දුවක් බවටද පත්වනු ඇත.