ජනපතිවරයා, අගමැතිවරයා සහ ඔවුනොවුන්ගේ ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයන් අතර පැය එකහමාරකට ආසන්න කාලයක හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිවස්නයේදී පැවැත්වින. 
නායක දෙපළට අමතරව සහභාගීව සිටියෝ, ඔවුන් දෙපළ අතර ගැටලු මතුවූ සහ ආන්දෝලනාත්මක අවස්ථාවල සාමය ඇතිකිරීම සදහා මැදිහත්වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සාම කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. ජනපති සිරිසේනට අමතරව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම සහ මහින්ද අමරවීර යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගීව සිටියෝය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අගමැතිවරයා සමග සහභාගීව සිටියේ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ සජිත් ප්‍රෙමදාස යන මහත්වරුය.පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද පැමිණ සිටියේ ය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනයක්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් වූ නීති සම්පාදන කටයුතුවලට නායකත්වය දෙමින්, එම කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද නොයෙක් වාද විවාදයන්ට එක්වන පළාත් සභා සහ පළාත් පාලන ආයතන අමාත්‍යවරයා, සීමා නීර්ණ කොමිසමේ වාර්තාව තමන්ගේ වාර්තාවක් නොවන බවත්, එය ස්වාධීනව ඉදිරිපත් කර තිබෙන වාර්තාවක් බවත් අවධාරණය කළේය.

බහු සාමාජික කොට්ඨාස පිහිටුවීම සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමුව නොමැති බව ඔහු පෙන්වා දුන්නේය. එවන් ගැටලුවක් පැවතියේ නම් එය ඉතාමත් පහසුවෙන්ම කොමිසමේ කාර්ය පටිපාටියට ඇතුළත් කළ හැකිව තිබිණ. නමුත් එවැන්නක් සිදුව නොමැත. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සීමා නීර්ණ කොමිසම ඇතිකළේ ජනපතිවරයාම බව ඔහුට අමතකය. එසේ නොමැති නම් ඔහු සිටින්නේ සීමා නීර්ණ කොමිසමේ වාර්තාව අරබයා තමාව ආරක්ෂා කරගත නොහැකි තත්ත්වයකය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔහු අවස්ථා ගණනාවකදීම පාර්ලිමෙන්තුවේ දී අදහස් දක්වා තිබේ. එම සෑම අවස්ථාවකදීම මැතිවරණය ප්‍රමාද වීමට ඔහුගේ ඇගිල්ල දිගුවූයේ සීමා නීර්ණ කොමිසමේ කටයුතුවලටය.

සීමා නීර්ණ කොමිසම පත්කරනු ලැබුවේ 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පණත යටතේය. විශ්‍රාමික මිනින්දෝරු ජනරාල් කරගරත්නම් තවලිංගම් (සභාපති), විශ්‍රාමික සහකාර මහ බැංකු අධිපති ආචාර්ය අනිල් ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස්. එච්. හිස්බුල්ලා (පසුගිය සෙනසුරාදා අභාවප්‍රාප්ත විය), මහාචාර්ය සාගර විජයසන්දිරන් සහ විශ්‍රාමික සහකාර මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලක සිරිවර්ධන, යන මහත්වරු එහි සාමාජිකයෝ වූහ.

පසුගිය වසරේ නිකුත් කිරීමට නියමිතව තිබූ මෙම කොමිසමේ වාර්තාව අවසානයේ දී විෂය භාර අමාත්‍ය මුස්තාපාට භාරදෙනු ලැබුණේ මෙම වසරේ පෙබරවාරි මස 19 වැනිදාය. අමාත්‍යවරයා එම වාර්තාව එළැඹි මාර්තු මාසයේ දී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය. මසක් ඇතුළත වාර්තාව විවාදයට ගෙන එයට අනුමැතිය ලබාගැනීම සිදුකළ යුතුව තිබිණ. නියමිත කාලයේ දී විවාදය පවත්වා, නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට අපොහොසත්වූයේ යැයි සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට දැඩි චෝදනා එල්ල විය.තමාගේ කාර්යය වන්නේ නියමිත කාලයේ දී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් බවත්, එම කාර්යය තමා නිසි පරිදි ඉටු කළ බවත්, පිළිතුරු දෙමින් මුස්තාපා කීවේ ය.

“වාර්තාවේ අරමුණට කිසිම දෙයක් වෙලා නැහැ. එය විවාදයට ගන්න පුලුවන්” ඔහු අවධාරණය කළේ ය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පවතින ගැටලු සීමා නීර්ණ කොමිසමේ වාර්තාව අනුසාරයෙන් අධ්‍යනය කිරීමට සහ වාර්තාවක් සකස් කිරීමට, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවරණ කමිටුවක් පත් කෙරුනේ යන්තම් පසුගිය මාසයේදීය. එම කමිටුවේ සාමාජිකයන් වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සීමා නීර්ණ කොමිසමේ සභාපති තවලිංගම් පසුව ලබැදියා ගැටුමක කරුණු දක්වමින් ඉන් ඉල්ලා අස්වූහ. මාස දෙකක් ඇතුළත මෙම කමිටුවේ වාර්තාව ලැබීමට නියමිතව තිබිණ.

බලාත්මක වීමට නම් සීමා නීර්ණ කොමිසමේ වාර්තාවට පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබිය යුතුය. නමුත් පවත්නා තත්ත්වය හමුවේ එවැනි අනුමැතියක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නැත. 

ජනපති සිරිසේන - අගමැති වික්‍රමසිංහ හමුව පැවැති පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ, කොමිසමේ වාර්තාව පාර්ලිමෙන්තුවෙන් ප්‍රතික්ෂේපව තිබෙන නිසා එය බලාත්මක කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දෙනු ලැබිණ. එනිසාම ඊළග පියවර ලෙස, අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු පස් සාමාජික කමිටුවක් මෙම වාර්තාව අධ්‍යනය කිරීමට සහ සංශෝධනයන් නිර්දේශ කිරීම සදහා පත් කිරීමට කතානායකවරයා කටයුතු කළ යුතුව තිබෙන බව මුස්තාපා පැවසුවේය. 

එම නිර්දේශ අනුව සංශෝධනය කැරෙන වාර්තාව සෘජුවම ජනපතිවරයාට ඉදිරිපත් කළ හැකි බවත්, එය නැවත පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු කීවේය. වාර්තාව දැනට තිබෙන තත්ත්වයෙන් පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නොමැති බව අගමැති වික්‍රමසිංහ මහතාද කියා සිටියේය. 
එදින මුල් භාගයේ පැවැති එක්සත් ජාතික පාර්ලිමෙන්තු කණ්ඩායම් රැස්වීමේ දී වාර්තාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබිණ. එක්සත් ජාතික පක්ෂය, පක්ෂයක් ලෙස ගන්නා තීරණ හා එකගව අදහස් දැක්වීමේ යෙදෙන එම පක්ෂයේ මන්ත්‍රීවරයකු කියා සිටියේ ඉදිරියේ එන මැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමේ තැතක් එම රැස්වීමේ නොතිබුණු බවය.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තීරණය කරමින් හමුව අවසන් වූ පසු ජනපති සිරිසේන මහතා 2015 ජනපතිවරණයේ දී තමන් දුන් පොරොන්දුවක් සිහිපත් කළේ ය. වසර 20ක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවට නායකත්වය දුන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් එම කාලය පුරාවටම විසදා ගැනීමට අපොහොසත් වුනු තවත් බරපතල ගැටලුවක් වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමය. 

“පවත්නා මැතිවරණ ක්‍රමය දූෂණයට සහ ප්‍රචණ්ඩත්වයට ඉණිමං තනන්නකි. සමානුපාතික ක්‍රමය නිසාවෙන්ම අපේක්ෂකයින්ට මනාප ලබාගැනීමට නම් අතිශය විශාල මුදලක් තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මම මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරමි. සමානුපාතික ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමටත්, සෑම මැතිවරණ කොට්ඨාසයකින්ම ජනතා නියෝජිතයෙක් පාර්ලිමෙන්තුවට පත්වන බව සහතික කිරීම සහතික කිරීමටත් මම කටයුතු කරමි.”

“නව මැතිවරණ ක්‍රමය, කේවල ක්‍රමයේ සහ පරාජයට පත්වූ අපේක්ෂකයින් සැළකිල්ලට ගනිමින් කැරෙන සමානුපාතික තෝරාගැනීමක සම්මිශ්‍රණයක් වනු ඇත. මේ හරහා පාර්ලිමෙන්තුවේ සාමාජික සංඛ්‍යාවේ වෙනස් වීමක් සිදුනොවන නිසාම වෙනසක් සිදුකිරීම සදහා පාර්ලිමෙන්තුවේ දේශපාලන පක්ෂවලින් සහාය ලබාගැනීමට මට හැකිවේවි. එක් මැතිවරණ කොට්ඨාසයකට පමණක් ප්‍රචාරණ කටයුතු සීමාවන බැවින් නාස්තිය සහ ගැටුම් අවම කරගැනීමටද හැකිවේවි”

උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සාකච්ඡා කිරීමට සූදානම් බව අගමැති වික්‍රමසිංහ මහතා පැවසුවේය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නිල ස්ථාවරය මේ දක්වාම ප්‍රකාශයට පත් කර නොමැත. එක්සත් ජාතික පෙරමුණ යටතේ පෙනී සිටින කුඩා දේශපාලන පක්ෂවලින්, එක්සත් ජාතික පක්ෂයට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබේ. මැතිවරණය පැවැත්විය යුත්තේ පවත්නා සමානුපාතික ක්‍රමය යටතේ බව එම පක්ෂවල මතයයි. පසුගිය පළාත් සභා මැතිවරණය පැවැත්වුනේ ද මෙම ක්‍රමය යටතේය. අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ නායකත්වය යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය, අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා යටතේ වන සිලෝන් මක්කල් කොංග්‍රසය, අමාත්‍ය රවුෆ් හකීම් මහතා යටතේ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මෙම පක්ෂයන්ය. දෙමළ ජාතික සන්ධානය ද පෙනී සිටින්නේ පවත්නා සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවෙන්ය.

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව යන පළාත් සභාවල ධූර කාලය පසුගිය වසරේ අවසන් විය. එතැන් පටන් අද දක්වා එම පළාත් සභා පවතින්නේ ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේය. උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභාවල ධූරකාලය මෙම වසරේ ඔක්තෝබර් මාසයෙන් අවසන් වේ. ඉදිරි වසර දක්වාම පවතින පළාත් සභා වන්නේ - බස්නාහිර (අප්‍රේල් 2019), දකුණ (අප්‍රේල් 2019) සහ ඌව (ඔක්තෝබර් 2019) යන පළාත් සභාය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව තිබෙන වර්තමාන අර්බුදයේ රජය සිරව සිටින්නේ, වුවමනාවෙන් හෝ වෙනයම් හේතුවක් නිසා හෝ පෙන්වන නොසැළකිල්ල සහ නිශ්චිත කාලරාමුවකට අනුව කටයුතු කිරීමට අසමර්ථ වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. තවත් අතකින් එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් නැගෙන පීඩනයටද මුහුණ දෙමින් සිටින්නේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට තුඩු දුන් නව නීතියකට අනුමැතිය ලබාගැනීම සදහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කළ නිසාවෙන්ය. 

නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන බවට දෙමළ ජාතික සන්ධානයට එදා දුන් සහතිකය අද වලංගු නැත. පළාත් සභා හරහා බලය බෙදීමක් සිදුවන බව - දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම ඉන්දියා රජය ද පිළිගන්නා කාරණයක් නිසා, මේ හේතුවෙන් මතුව තිබෙන තත්ත්වය සුලුකොට තැකිය නොහැකිය. 

මේ නිසාම ජනපතිවරණයක් හෝ පාර්ලිමෙන්තු මැතිවරණයක් හමුවේ තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසයන් බැහැදැකීම දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ට දුෂ්කර කටයුත්තක් වනු ඇත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් දිනාගත් දෙය පාගා දැමීමට කටයුතු කර ඇතැයි ඔවුනට එරෙහිව නියත වශයෙන්ම චෝදනා නැගෙනු ඇති බැවිනි. 
අනෙක් පසින්, මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට තවමත් නොහැකිව තිබීමෙන් ගම්‍ය වන්නේ එම පක්ෂය යටතේම පවතින කුඩා දේශපාලන පක්ෂවල ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටීමට එයට හැකියාවක් නොමැති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි නායක ජනපති සිරිසේන, කේවල සහ සමානුපාතික ක්‍රමය අන්තර්ගත වන මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් භාවිතයට ගතයුතු බව අවධාරණය කරමින් සිටින වාතාවරණයක, කුමකින් කුමක් තෝරාගම්දෝ යන අවිනිශ්චිතභාවය තවත් කාලයක් මෙළෙසම පවතිනු ඇත.
ක්‍රම දෙකහි සම්මිශ්‍රණයක් වන මෙවන් මැතිවරණ ක්‍රමයක්, කුඩා දේශපාලන පක්ෂවලට මාරකයකි. කේවල ක්‍රමය යටතේ සහ සමානුපාතික ක්‍රමය යටතේ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා වන ප්‍රතිශත අනුපාතයන්ට මුහුණදීමට මෙම පක්ෂ බහුතරයකට හැකියාවක් නොමැති අතර, එනිසාවෙන්ම මෙම ක්‍රමය යොදාගැනෙන මැතිවරණයක දී එවන් පක්ෂ බොහෝමයක් සම්පූර්ණයෙන්ම දේශපාලන තලයෙන් අතුගෑවී යාමේ ප්‍රබල තර්ජනයක් තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ලැබීමට ප්‍රථමයෙන් මෙවන් ගැටලු විසදාගැනීමට රජයේ නායකයින් කටයුතු කරනු ඇතිද යන්න මෙතැන ඇති ගැටලුවයි. එය විසදීම කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුතක් නොවනු ඇත.