වසර තුනහමාරකට පෙර තමන් ජනතාවට දුන් පොරොන්දුව රජයට අමතකව ගොස් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එය නම් මහා පරිමාණ වංචා හා දුෂණවල  යෙදී ඇතැයි චෝදනා ලැබ සිටින්නන්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමය. නමුත් යථාර්ථය වන්නේ වත්මන් රජය යටතේද එදා මෙන්ම වංචා හා දුෂණ  සිදුවෙමින් පැවැතීමය.

අද සිටින සොරුන්ට එරෙහිව හෝ නීතිය කි‍්‍රයාත්මක කිරීමට රජය සමත් වන්නේ නම්, ආදායම් උපයා ගැනීමට ජනතාව පීඩාවට පත්කිරීමකින් තොරවම අති විශාල මුදලක් ඔවුන් හරහා එකතු කර ගැනීමට හැකිවන්නට තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් පසුවට සිදුකෙරෙනු ඇත.

පසුගිය සතියේ සිදුවීම් සැළකිමේ දී අවධානයට ගත යුතුම කාරණයක් ඇත.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක වූ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව අහෝසි කර, රටේ ආර්ථිකය තමා යටතේ මෙහෙයවිය යුතුව ඇතැයි ජාතික ආර්ථික කවුන්සිලයක් පත් කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කළද, එයින් රටේ ආර්ථිකයේ ප‍්‍රධාන කොටසක් වන බලශක්තිය ක්ෂේත‍්‍රය අරබයා ලබා දී තිබෙන දායකත්වය පිළිබද සැහීමකට පත්විය නොහැකිය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ මෙයමය.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට නීත්‍යානුකූලව බලය ඇත්තේ ඔහුට මිස මුදල් අමාත්‍යංශයට නොවේ. ඉන්ධන මිල සංශෝධනය අරභයා නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම පමණක් නිලධරයන්ට පවරා තිබේ. දැනට තීරණය කර තිබෙන්නේ මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමටය. එය සතිපතා සංශෝධනය කළ යුතුව ඇතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යෝජනාවක් ඉදිරිපත් කළ ද, එය භාවිතයට ගත නොහැකි බවට සැළකින.

තමන්ම පත්කළ ජාතික ආර්ථික කවුන්සිලයේ නිර්දේශයන්ට පිටුපා යමින් අවසානයේ ඉන්ධන මිල සංශෝධනයට අවසර දීමට ජනපති සිරිසේන මහතා කටයුතු කිරීම එක් දෙයකි. අනෙක් අතින්, එක්සත් ජාතික පක්ෂයේම කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක්ද කියා සිටියේ ඉන්ධන මිල මීට වඩා අඩු මට්ටමකින් සංශෝධනය කළ යුතුව තිබුනු බවකි. ඇතැම් විට එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛත්වය ගෙන ඉන්ධන මිල සූත‍්‍රයක් හදුන්වාදීමට කටයුතු කළේ, රටේ ආර්ථිකය පවතින දුක්ඛිත තත්ත්වය සළකා වන්නට පිළිවන.

මේ සියල්ල සිදුවන අතරවාරයේ, වරක් රටේ ආර්ථික කටයුතු මෙහෙයවුණු, ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේ ප‍්‍රධානියා ලෙස වැදගත් ආර්ථිකමය තීරණය ගත්, ඇතැම් විට කමිටුවේ බලය ඉක්මවා එම තීරණය ගැනීමට නායකත්වය දුන්, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදුව තිබෙන්නේ පසෙකට වී අනාගතයේ සිදුවිය හැකි දේවල් සම්බන්ධයෙන් පුරෝකථනය කිරීමටය.

ගෙවුණු සතිවල පළවූ රජයේ ඬේලිනිව්ස් පුවත්පතෙහි මුල් සිරස්තලය මෙයට කදිම නිදසුනකි. 2050 වන විට ශී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් සංවර්ධිත රටක් - අගමැති, ගාල්ල, දකුණු ආසියාවේ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්වෙයි - අගමැති.

 

මරණ දඩුවම කරළියට

 

එදිනට නියම න්‍යාය පත‍්‍රයේ කටයුතු අවසන් වූ පසු ජනපති සිරිසේන මහතා තම අමාත්‍ය කණ්ඩායම අමතමින්, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණේ යැයි සිරගත කර සිටින ඇතැම් මහමොළකරුවන්, එසේ සිරගතව සිටිය දී පවා සුපුරුදු ලෙසම මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මෙහෙයවමින් සිටින බවට තමාට බුද්ධි අංශ වාර්තාවක් මගින් දැනගැනීමට හැකිව තිබෙන බව පැවසුවේය. එවන් පුද්ගලයින්ට මේ දක්වාම මරණ දණ්ඩනය නියම කර නොමැත.

”අපට මේ තත්ත්වය මෙහෙම පවතින්නට ඉඩ දෙන්න බැහැ. අපට අපේම ප‍්‍රමුඛතා තිබිය යුතුයි. වරදකරුවන් බවට තීන්දුවී සිරගතකර සිටින අයට මරණ දඩුවම කි‍්‍රයාත්මක කළ යුතුයි” ජනපතිවරයා කීවේ ය.

ජනපතිවරයාගේ ප‍්‍රකාශය කැබිනට් මණ්ඩලයේ බහුතරය පිළිගත්තේ, අත්පොලසන් ගසමින් සහ මේසයට තට්ටු කරමිනි. අනතුරුව අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය දෙසට හැරුනු ජනපතිවරයා මරණ දණ්ඩනය නියම කර දැනට සිරගත කර සිටියද, එසේ සිටියදීම මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව වහාම තමාට ලබාදෙන ලෙසට ඇයට උපදෙස් දුන්නේය.

”ඔයා නම් ටික දෙන්න, මම අත්සන් කරන්නම්” ඔහු කීවේ ය.

ව්‍යවස්ථාවට අනුව විනිසුරුවරයකු, යම් පුද්ගලයකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කළහොත්, එම විනිසුරුවරයාගෙන් එසේ මරණ දඩුවම නියම කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා සිටීමටත්, අනතුරුව එම වාර්තාව උපදෙස් සදහා නීතිපතිවරයා වෙත යොමුකිරීමටත් රටේ ජනපතිවරයා කටයුතු කළ යුතුය. එම වාර්තාවට අනුමැතිය ලබාදෙන්නේ නම්, එය සඳහන් කළ යුතු නීතිපතිවරයා අනතුරුව එය යොමු කළ යුත්තේ විෂය භාර අමාත්‍යවරයාටය. අවසානයේ එම අමාත්‍යවරයා නීතිපති නිර්දේශය ලත් වාර්තාව, මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සදහා අවැසි අනුමැතිය ලබාගැනීමට ජනපතිවරයා වෙත යොමුකළ යුතුය.

මරණ දඩුවම හදුන්වාදීමට එරෙහිව ඇතැම් අය හඬ නගනු ඇතැයි ජනපතිවරයා කීවේය.

කැබිනට් මණ්ඩලයේ මංගල සමරවීර වැනි ලිබරල්වාදී ඇතැම් අමාත්‍යවරු පවා ඊට විරෝධය දක්වනු ඇතැයි ඔහු පැවසුවේය. සමරවීර කිසිත් නොකීවේය.

”අපට ලිබරල් එපා” යයි ඇතැම් අමාත්‍යවරු කියා සිටියේ කැබිනට් මණ්ඩලය සිනාසයුරක ගිල්වමිනි.

නීති උල්ලංඝණය කරන බව කියමින් ඇතැම් රටවල් පවා අපට විරෝධය දක්වනු ඇති යැයි ජනපති සිරිසේන මහතා තවදුරටත් කීවේය. ඔහු වෙනුවෙන් එම අවස්ථාවේ දී තවත් අත්පොලසන් නාදයක් නැගින.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය කෙනෙකුගේ ජනපි‍්‍රයත්වයේ දර්ශකයක් ලෙස සැළකිය හැකි නම්, ජනපතිවරයාගේ මෙම තීරණයෙන් පසු ඔහුගේ ජනපි‍්‍රයත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙන බවක් දැකගත හැකිය. බොහෝ දෙනෙක් එම තීරණය අගය කරමින් අදහස් දක්වා තිබිණි. ඇතැම් අය කියා තිබුනේ නිවැරදි දෙය කිරීමට දැන්වත් ජනපති සිරිසේන මහතාට කොන්ද පණ ලැබී තිබෙන බවයි.

කැබිනට් මණ්ඩලයේදී ගැනුනු තීරණය සම්බන්ධයෙන් නිල කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා මාධ්‍ය දැනුම්වත් කළේ ය.

”මත් උවදුර මර්දනය කරන්නයට ති‍්‍රවිධ හමුදාව එකතු කරගන්නට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා. ඒ වගේම මත් ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩය කි‍්‍රයාත්මක කරන්නටත් තීරණය කළා. හැමෝම ඒ තීරණයට කැමැත්ත පළ කළා”

”මම මරණ දණ්ඩනයට එරෙහිව පෙනී සිටින පුද්ගලයෙක්. නමුත් ලොව පුරා අනෙක් රටවල් බලද්දී පෙනෙනවා, මරණ දඬුවම කි‍්‍රයාත්මක වන තැන මත් උවදුර මර්දනය වෙලා තිබෙනවා කියා. බොහෝ රටවල් මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම කි‍්‍රයාත්මක කරනවා. සිරගතව සිටින ඇතැම් පුද්ගලයින් මත්කුඩු ජාවාරමට හවුල් බව මෑතකදී සිදුකෙරුණු පරීක්ෂා වලින් අනාවරණයව තිබෙනවා. දැනට පුද්ගලයින් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන්නට තීරණය වුණා.

ඒ වගේම මත්කුඩු ජාවාරම මර්දනය කරන්නට ති‍්‍රවිධ හමුදාව යොදාගන්නටත් තීරණය වුණා. පිලිපීනයේ එය සාර්ථකව තිබෙනවා. නමුත් එරට ජනපතිවරයා වන ඩුඅර්ටේගේ ක‍්‍රමවේදයන් පිළිගන්නට බැහැ.

රාජිතගේ ප‍්‍රකාශය මැනිලා නුවරින් නිවේදනයක් නිකුත් කිරීමට තරම් අවධානයක් ඇතිකර තිබූ අතර, මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව තමා ගෙන යන සටන ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ අවධානයට ලක්ව තිබෙන බව දැනගන්නට ලැබීම සතුටක් යැයි පිලිපීන ජනපති ඩුඅර්ටේ එම නිවේදනයේ සඳහන් කර තිබිණි.

බ‍්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා මත්කුඩු ජාවාරමට එරෙහිව ගෙන ගිය සටන අරබයා ද සේනාරත්න අමාත්‍යවරයා අදහස් පළකළේ ය.

”ඔහු පොලිසිය යොදාගත්තා. නමුත් එය සාර්ථක නොවන බව පෙනුනහම, ඔහු නාවික හමුදාවත් එතැනින් පස්සේ ගුවන් ප‍්‍රහාරත් භාවිතා කළා. නමුත් කිසිවක් සාර්ථක නැහැ කියලා පෙනුනහම මාස තුනකට පස්සේ ඔහු එය අතහැරියා. ඒ නිසා තමයි අපි මෙයට ති‍්‍රවිධ හමුදාවෙත් සහාය ලබාගන්න තීරණය කළේ” යයිද රාජිත සේනාරත්න මහතා කීවේ ය.

 

ප‍්‍රශ්නය - පාසල් දරුවන් දුෂණය කිරීම වැනි සිදුවීම් ගැන කොහොම ද?

පිළිතුර - අපි එකකින් පටන් අරන් බලමු

ප‍්‍රශ්නය - දැනටමත් මරණ දඩුවම තිබෙනවා ද?

පිළිතුර - මේක ඇවිල්ලා මරණ දඩුවම නියම කරලා තියෙන පුද්ගලයින් මත එම දඩුවම කි‍්‍රයාත්මක කිරීම ගැන. ජනපතිවරයා එම ලැයිස්තුව ඉල්ලලා තිබෙනවා. ඔහු එය අත්සන් කරාවි.

ප‍්‍රශ්නය - ජනපතිවරයා අත්සන් කිරීම මත නේද තීරණය වෙන්නේ?

පිළිතුර - අත්සන් නොකර සිටීමයි මීට කලින් අනුගමනය කරපු ප‍්‍රතිපත්තිය. දැන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබෙනවා, ලැයිස්තුව ඉල්ලා තිබෙනවා.

ප‍්‍රශ්නය - 19 දෙනාගේ ලැයිස්තුව ද?

පිළිතුර - ඒ ලැයිස්තුවත්, දෙවතාවක් වරදකරුවන්ව ඇති පුද්ගලයනුත්

ප‍්‍රශ්නය - මෙය කි‍්‍රයාත්මක කරන්නට කොපමණ කාලයක් ගතවේවි ද?

පිළිතුර - අධිකරණ දෙපාර්තමෙන්තුවේ වාර්තාව ලැබෙන්න  ඕනේ

ප‍්‍රශ්නය - මේ ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයෙත් සාකච්ඡාවක් තිබුණා. නමුත් මානව හිමිකම් සංවිධානවලින් මතුවුණූ විරෝධය නිසා එය කි‍්‍රයාත්මක වුනේ නැහැ. මේ තීරණයටත් එහෙම වේවි ද?

පිළිතුර - මෙය කි‍්‍රයාත්මක වන්නේ මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව

ප‍්‍රශ්නය - යෝජනාව ඉදිරිපත් කළේ කවු ද?

පිළිතුර - ජනපතිවරයා

 

මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමෙන් මත්කුඩු ජාවාරමට නැවතීමේ තිත වැටීම අතිශයින් සැක සහිතය.

ජනපති සිරිසේන මහතා තම කැබිනට් අමාත්‍ය කණ්ඩායම හමුවේ කියා සිටි අයුරින්ම මත්කුඩු යනු විශාල වශයෙන් මුදල් ගැවසෙන ක්ෂේත‍්‍රයකි. ලොව ප‍්‍රමුඛ පෙලේ මත්කුඩු ජාවාරම්කරුවන් හා කණ්ඩායම් සේම, ශී‍්‍ර ලංකාවේ සිටින ජාවාරම්කරුවන් සහ කණ්ඩායම්ද අතිශයින් ධනවත් හා බලසම්පන්නය.

ඔවුන් සතුව මුදල් බලයට නැටවෙන දේශපාලඥයින්, නීති ක්ෂේත‍්‍රයේ සිටින්නවුන්, පොලිසිය සහ අනෙක් ආයතනවල සිටින්නවුන්, ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන ආයතනවල සිටින්නවුන් හා විශේෂයෙන් බුද්ධි ජාලය හා සම්බන්ධව සිටින්නවුන් එමට ඇත. මෙවන් සම්බන්ධතා ඇති ජාවාරම්කරුවන්ට, ක්ෂේත‍්‍රයේ සිදුවන්නේ කුමක්දැයි තොරතුරු ලබාගැනීම අතිශයින් පහසුය.

මත්කුඩු රජෙකුගේ මුදලින් කොළඹ තරු පහේ හෝටලයක තම උපන් දිනය සැමරූ ඉහළ පෙලේ පොලිස් නිලධාරියකු ගැන පුවතක් ද මෑත අතීතයේම අපට අසන්නට හැකිවිය. කුඩු රජෙක් ඝාතනය කළද, ඔහුගේ තැන ගැනීමට තවත් අයෙක් සෑම විටම සිටී. ඒ නිසා වෙන්ම ඔහු තැනූ කුඩු අධිරාජ්‍යය කඩා නොවැටේ.

ශී‍්‍ර ලංකාවේ පාසල් හා පන්සල් අසළින් ඉතා පහසුවෙන්ම මත්කුඩු ලබාගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ මේ කාරණය නිසාවෙන්මය. අර්බුදය විසදීමට අවැසි වන්නේ මහා පරිමාන දුෂණය මැඩලීමේ සමත් පුළුල් යොමුවකින් යුත් උපායකි, සැළැස්මකි. නමුත් පසුගිය වසර තුනහමාරක කාලය සැළකීමේ දී, එවැන්නක් සකස් කරගැනීමෙහිලා අපොහොසත් බව හැර දුෂණය මර්දනය කිරීම සම්බන්ධයෙන් රජයේ අසමර්ථභාවය පෙන්වා දීමට වෙනත් උදාහරණයක් නැත.

කෙසේවුවද රජයේ තීරණයට ඇතැම් පාර්ශවයන්ගේ ප‍්‍රසාදය ද හිමිව තිබේ. ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා එවැන්නෙකි.

නපුරින් තොර, ධාර්මික සමාජයක පැවැත්ම බුදු දහමින් පවා දේශනා කර තිබෙන බව ඔහු තම පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අමතමින් කීවේය. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝද රජයේ තීරණය අගය කළහ. නමුත් තවත් කළ යුතු දේ බොහෝ තිබෙන බව උන්වහන්සේ කීහ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙම තීරණය ගැන අදහස් දැක්වූයේ නොපහන් හැගීමකින්ය.

වසර 43කට පසු මරණ දඩුවම නැවත කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ අවධානය යොමුව තිබීම අන්තර්ජාතික ප‍්‍රජාවේ කැළඹුමට හේතුවක්වී තිබෙන්නකි.

විශේෂයෙන් යුරෝපා සංගමය ශී‍්‍ර ලංකාවට පිරිනමා ඇති ජී.එස්.පී.පල්ස් බදු සහනයේ අනාගතය මේ අරබයා අතිශයින් තීරණාත්මක වනු ඇත. එයට හේතුව වන්නේ මෙම සහනය ශී‍්‍ර ලංකාවට පිරිනැමීම සදහා අවැසි තීරණය ගැනීමේදී, මරණ දඩුවමට එරෙහිව එක්සත් ජාතීන් ඉදිරිපත් කළ යෝජනාවකට ශී‍්‍ර ලංකාවද අත්සන් තබා තිබීම එම සංගමයේ අවධානයට ලක්වූ ප‍්‍රධාන කරුණක් වන බැවිනි. 2007 වසරේ දී ඉදිරිපත් වුනු මෙම යෝජනාවට අත්සන් තබා ඇති රටවල් 104 අතුරින් ශී‍්‍ර ලංකාව ද එකකි.

මරණ දඩුවම නැවත බලාත්මක කිරීම හමුවේ අර්බුදයට ලක්වනු ඇති තවත් අංශයක් වනු ඇත්තේ උදර්පනයයි. යුරෝපයේ, රුසියාවේ, ලතින් ඇමරිකාවේ, කැනඩාවේ, ඇමරිකාවේ ඇතැම් ප‍්‍රාන්ත, අප‍්‍රිකාවේ,  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ මරණ දඩුවම කි‍්‍රයාත්මක වන්නේ නැත.

අනෙක් අතට අමාත්‍යවරයා කුමක් කියා සිටිය ද, මරණ දඩුවම කි‍්‍රයාත්මක කළේයැයි අපරාධවල අඩුවීමක් ද දක්නට නැත. උදාහරණයක් ලෙස කාන්තා දුෂකයින්ට මරණ දඩුවම කි‍්‍රයාත්මක කරන රටවල් ගතහොත්, එම රටවල ඝාතන සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එයට හේතුව වන්නේ තමන් අතින් දුෂණය වූ තැනැත්තා හෝ තැනැත්තිය ඝාතනය කිරීමෙන් තමා හදුනාගැනීමට කිසිවෙක් සිටිනු නැතැයිද, තමා ආරක්ෂිත යැයිද දුෂකයාට ඇතිවන සිතිවිල්ලයි. එම තැනැත්තා හෝ තැනැත්තිය ජීවත් වුවහොත් අත්වන්නේද එකම ඉරණම බැවින් දුෂකයින් වඩාත් යොමුවන්නේ ඝාතනයටය.

බි‍්‍රතාන්‍යයේ අධිකරණ කොමිසම් අනාවරණය කරගෙන තිබෙන ආකාරයට අතීතයේ මරණ දඩුවම නියම කර ඇති පුද්ගලයින්ට එසේ දඩුවම් නියම කර තිබෙන්නේ ඔවුන් නොකළ වරදවලටය. තිබෙන සියලූම සාක්කිවලින් තහවුරු වන කරුණ නම් අපරාධ මර්දනය කිරීමට තිබෙන හොදම විසඳුම වන්නේ ඉක්මනින් හඳුනාගැනීම සහ ඉක්මණින් නීතිය කි‍්‍රයාත්මක කිරීම බවය.

මේ ද්විත්වයම ශී‍්‍ර ලංකාවේ සොයා ගැනීමට නැත. මැතිවරණ සඳහා තරග වදින අපේක්ෂකයින් මත්කුඩු මුදල් තොග ගණනින් පිළිගන්නා, මත්කුඩු ජාවාරම්කරුවන් යැයි සියලූදෙනාම හොදින් දන්නා පුද්ගලයින්ම ජනතා අපේක්ෂකයින් ලෙස නම් කරන දේශපාලන පක්ෂ සිටිනා ශී‍්‍ර ලංකාවේ මෙවැනි තීරණයක් ගැනීම විහිළුවක් මිස ඊට අඩු දෙයක් නොවේ.