ජනපතිවරයා ලෙස සම්පූර්ණ වසර 5 ක ධූර කාලය සම්පූර්ණ කරන තෙක් ජනපතිවරණයක් නොකැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු ඒ මත්තෙහිම පිහිටා කටයුතු කළහොත් ලබන ජනපතිවරණය පැවැත්වෙනු ඇත්තේ 2019 නොවැම්බර් මස 8 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා අතර වන දිනයකදීය.

ලබන ඔක්තෝබර් මාසයේ පටන් ජනපතිවරණයක් සදහා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථාවෙන්ම බලය හිමිව තිබේ. එනම් ඒ දක්වා තවත් ගෙවීමට ඇත්තේ මාස 8ක කාලයක් පමණකි.

කෙසේවුව ද, අපේක්ෂකයකු ලෙස ඉදිරියේ එන ජනපතිවරණට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුව ජනපති සිරිසේන මහතා තවමත් අත්හැරගෙන නැත. මෙය තවත්  පැහැදිලි වූයේ ඔහු සමග පසුගිය බදාදා ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය. 

ආරක්ෂාවට යොදවා සිටි ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන්, ජනපතිවරයා හා සාකච්ඡාව පටිගත කිරීම සදහා ලියුම්කරු රැගෙන ගිය පටිගත කිරීමේ යන්ත්‍රය (රෙකෝඩරය) ජනාධිපති කාර්යාලයට ගෙනයා නොදී ඉතා දැඩි පිළිවෙතකින් අනුගමනය කළේය. එහෙත්  ජනපතිවරයාගේ ස්වරූපය ඔවුන්ගෙන් ඉදුරාම වෙනස් විය.

නිහතමානීව ලියුම්කරු පිළිගත් ජනාධිපතිවරයාගේ පිළිවෙත ඉතාම සැහැල්ලු සහ ආචාරසම්පන්න විය. පටිගත කිරීමේ යන්ත්‍රයක් රැගෙන යා යුතුවීමේ වැදගත්කම දොරටුවේ සිටි ජනපති ආරක්ෂක අංශ සාමාජිකයාට නැවත නැවතත් පැහැදිලි කර දීමට ලියුම්කරුට සිදුවූ අතර, අවසනයේදී ඔහු සිය පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් උසස් නිලධාරියෙක් ඇමතුවේය. ඔහුගෙන් ලැබුණු උපදෙස වූයේ ලියුම්කරුගේ රාජකාරියේ අත්‍යාවශ්‍යම උපකරණයක් වන පටිගත කිරීමේ යන්ත්‍රය ජනපතිවරයා හමුවට ගෙන යෑමට අවස්ථාව සළසා දෙන ලෙසය. 

දොරටුවේ සිටි නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට ද ලියුම්කරුට සහතිකයක් ලැබිණ. ලියුම්කරු පැමිණ සිටින්නේදැයි ජනපතිවරයා විමසූ බවද එම උසස් නිලධාරියා පැවසුවේය.

ජනපති ලේකම් කාර්යාලයේ තුන්වැනි මහලේ, ජනපතිවරයාගේ කාර්යාලයට මෙපිටින් වූ කාමරයක පනවා තිබූ සෝෆාවක වාඩි වූවා පමණි. කාර්යාල සහායකයකු පැමිණ ජනපතිවරයා මා කැදවන බව දැනුම් දුන්නේය. දොරටුව විවෘත වූ විට, කාන්තාවක් ඇතුලු නිලධාරීහු හතර දෙනෙක් ජනපතිවරයා හමුවෙහි අසුන්ගෙන සිටිනු දැකගත දැකගත හැකිවිය. 

සිය මේසයට විරුද්ධ පසින් අසුන්ගෙන සිටි ඔවුන් හා සාකච්ඡාවක නිරතව සිටි ජනපතිවරයා මොහොතකට එය නවතා කාමරය කෙළවරේ වූ සැටියක අසුන්ගන්නා ලෙස මට ආරාධනා කළේ ය. නොයෙක් ඵලක, මල් බදුන් සහ වෙනත් සැරසිලිවලින් කාමරය පිරී තිබිණ. තේ බොනවාදැයි ඔහු කාරුණිකව විමසුවේ ය.

ජනපතිවරයා නිරතව සිටි සාකච්ඡාව අවසන්වීමට සැළකිය යුතු කාලයක් ගතවිය. එය අවසානයේ තමන් අසළට පැමිණෙන ලෙස මට සන් කළ ඔහු, කිසිවෙකුටවත් කාමරයට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස කාර්යාල සහායකයකුට දැනුම්දුන්නේය. 

මා අසුන් ගත් පසු ඔහු මේසය මත තිබූ කුරක්කන් රොටී පිරි පීරිසයක් මා වෙත ළං කළේ ය. මේසය මැද තිබූ කුඩා කෝප්පයක වූයේ ලුණු මිරිස්ය. කුරක්කන් බිස්කට් කිහිපයක් තවත් පීරිසියක විය. ජනපතිවරයා ඒ වන විටත් කුරක්කන් රොටියක් අනුභව කරමින් සිටි අතර, ඔහු අනුගමනය කරමින් මම ද රොටියක් අතට ගත්තෙමි. ජනපතිවරයා තවත් තේ ඇණවුම් කළේය. මේසය අස්කැරුණු පසු අපගේ සාකච්ඡාව ආරම්භ විය.

ගෙවුණු සිකුරාදා රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයින්ගේ හමුව සැළකීමේ දී ජනපතිවරයා පළකළ අදහස්වලට හිමිවන්නේ වැඩි බරකි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ එකතුවෙන්, විශේෂ කොටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙරමුණු කරගත්, පොදු සන්ධානයක් පිහිටුවාගැනීමේ අරමුණ ඇතිව ඔවුහු වැඩිදුරටත් සාකච්ඡා කළහ.

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිවස්නයේ දී එම සාකච්ඡාව ආරම්භවන විට රෑ බෝවී තිබිණ. කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන අමාත්‍යවරයාට දිව්රුම්දීමටද ජනාධිපතිවරයා කාලය වෙන් කර තිබිණ. 

මෙම සතියේ දී සිය දේශපාලන දිවියේ වසර 30 සනිටුහන් කරන මංගල සමරවීර මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දරමින් සිටි තනතුරින් ඉල්ලා අස්වීම හමුවේ එය හිමිවූයේ රුවන් විජයවර්ධනට මහතාටය. එක්සත් ජාතීන්ගේ හිටපු තානාපතිවරියක මෙන්ම සමරවීර මහතාගේ පෞද්ගලික හිතවතියකද වන සමන්තා පවර් මහත්මිය ඒ වෙනුවෙන් ලබන බ්‍රහස්පතින්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී විශේෂ දේශනයක් කිරීමට ද නියමිතය.

විසඳුමකට එළැඹිය හැකිවනු ඇතැයි අපේක්ෂා දල්වාගෙන සිටියද, රැස්වීම ගලා ගියේ ඉතා මන්දගාමීව සහ වේලාසනින්ම පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා මතු කරන ලද ගැටලු මැදිනි. 

ගැනුණු එකම තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ප්‍රතිපත්ති ව්‍යුහයක් ගොඩනගාගැනීමේ කාර්යය වෙනුවෙන් එකිනෙකා හා අත්වැල් බැදගත යුතුව තිබෙන බව පමණකි. මෙම යෝජනාව ඉදිරිපත් කළේ යෝජිත නව සන්ධානයට ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාර්යභාරය පැවැරී තිබෙන ඒකාබද්ධ තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා වන ඩලස් අලහප්පෙරුම මහතාය. 
මේ හමුවේ රැස්වීමේ මුලසුන හෙබවූ ජනපති සිරිසේන මහතා කියා සිටියේ එසේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක මහින්ද රාජපක්ෂ මහතා සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.ඒකාබද්ධ මැයි රැලියක් පැවැත්වීමේ යෝජනාවක් ඉදිරිපත් වුව ද, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගැනිණ. පෙර අවස්ථාවේ මෙන් නොව මෙම රැස්වීමේ දී නැවත හමුවන දිනයක් පිළිබදව ස්ථීර එකගතාවයක් ද ඇති නොවිණ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ පක්ෂයේ න්‍යායාචාර්යා සහ උපාය සැළසුම්කරුවා වන බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගීව නොසිටීමද කැපී පෙනිණ. මෙයට පෙර පැවැති රැස්වීමට ඔවුන් දෙදෙනම එක්ව සිටියේ ය. පැමිණ නොසිටි තවත් අයෙකු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය නායකයා වන නිමල් සිරිපාල ද සිල්වා මහතාය. කටයුතු දියත් වෙමින් තිබෙන මන්දගාමී ස්වභාවය සැළකිමේ දී දෙපාර්ශවය අතර සංවාදය තවත් දිග් ගැස්සෙනු ඇති බව නම් පැහැදිලිය. නමුත් ඒ සදහා හේතුපාදක වී තිබෙන කරුණු කාරණා නම් පැහැදිලි නැත.

කතාබහ අරතුර දී මම ජනපති සිරිසේන මහතාගෙන් යෝජිත පොදු සන්ධානය පිළිබදව විමසුවෙමි.

“අනාගත මැතිවරණවලට මේ සන්ධානය යටතේ තරග කිරීම තමයි අපේ අරමුණ වෙන්නේ” යයි ඔහු පිළිතුරු දුන්නේ ය.

එක්සත් ජාතික පක්ෂය ද අනෙක් පක්ෂ හා එක්ව සන්ධානගතව සිටින බව පැහැදිලි කළ ඔහු අනතුරුව එවන් සන්ධානයන් පිළිබද ඉතිහාසයෙන් ද කරුණු ගෙන හැර දැක්වූයේ ය.

“ඒවා හදන්න ලෙහෙසි නැහැ” ඔහු කීවේ ය. 

පහත දැක්වෙන්නේ සන්ධාන ගොඩනැගීම පිළිබදව ඔහු පළකළ අදහස්වලින් තෝරාගත් කොටසකි.

“1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එවක නායකත්වය දුන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මහජන එක්සත් පෙරමුණ සමග සන්ධානයක් ඇතිකර ගත්තා. 

1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය අතර සන්ධානයක් ඇතිකර ගැනුනා. සී.පී.ද සිල්වා මහතා එම සන්ධානයෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 11ක් එක්ක බෙදිලා වෙන්වුනා. ලේක් හවුස් පණතට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු ඔවුන් රජය පරාජයට පත් කළා. 

1965 වසරේ දී ඩඞ්ලි සේනානායක මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය රජය හත් හවුල, එහෙමත් නැතිනම් පක්ෂ 7කින් සැදුම් ලැබූ සන්ධානයක් පිහිටුවාගෙන හිටියා. පස්සේ මේ සන්ධානයට කිව්වේ කැඳ හැලිය කියලා. 

1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙත් හිටියේ කොමියුනිස්ට් පක්ෂයයි, ලංකා සමසමාජ පක්ෂයයි එක්ක සන්ධානගත වෙලා. 

1975 දී ඒ සන්ධානය බිද වැටුනා. පස්සේ ජේ.ආර්.ජයවර්ධන 1977 පාර්ලිමෙන්තු මැතිවරණයෙන් හයෙන් පහක බහුතරයක් දිනාගෙන බලය තහවුරු කරගත්තා. ඔහුගේ දක්ෂතාවය වගේම පොදු පෙරමුණු සන්ධානයේ බිද වැටීමත් ඒකට හේතු වුනා
1994 දී ජනතා සන්ධානය පිහිටවපු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ හරහා රටේ ජනපතිනිය බවට පත්වුනා. ඒකත් සන්ධානයක්.

2004 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පිහිටුවපු - එක්සත් ජනතා නිදහස් සන්ධානය දක්වා ගිය - සන්ධානය තමයි අසීරුවෙන්ම පිහිටවපු සන්ධානය වුනේ. මාස 9ක කාලයක් පුරා සාකච්ඡා පැවැත්වුනා. එවැනි කණ්ඩායමක් ගොඩනැගීමට විරුද්ධ වුනු එකම පාර්ශවය වුනේ කුමාරතුංග මහත්මියගේ දරුවන්. ඔවුන්ගේ පියා, විජය කුමාරතුංගයන්ගේ ඝාතනයට වගකිවයුත්තන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආධාර අනුබල දීමට යන්නේය කියා ඔවුන් චෝදනා කළා. ඔවුන්ගේ පියා මරණයෙන් නැගිට විත් මේ කරපු දේට සාප කරාවි කියා ඔවුන් පැවසුවා.

නව සන්ධානයක් තැනීමට යන්නේ ඇයි? එතකොට ජාතික රජයක් පිහිටුවාගැනීමට මොකද වෙන්නේ? යයි මම ඇසුවෙමි.

ජනපති සිරිසේන මහතා ඊට පිළිතුරු දුන්නේ එක්සත් ජාතික පක්ෂය - එහි නායකත්වය හා තමන් අතර වන සම්බන්ධතාවයේ ගැටලු රැසක් ඇතිව තිබෙන බව නොසඟවමිනි.

“ඔවුන් පිරිසිදු පක්ෂයක් නොවෙයි. ඔවුන් පිරිසිදු නම්, දූෂණයෙන් සහ වංචාවෙන් තොරයි නම්, කෙනෙකුට ඔවුන් හා වැඩකටයුතු කළ හැකිව තිබුණා. 2015 නව රජය ආරම්භයේ පටන්ම ඔවුන් මහජන මුදල් සොරකම් කිරීමේ නිරත වුනා. ඒක පටන් ගත්තේ මහ බැංකු බැදුම්කර වංචාවෙන්. ඔවුන් ගැන තියෙන අලුත්ම කතාවට අදාළ වෙන්නේ මහ බැංකුවට ලොකු කොටසක් අයත්ව තිබුණු ඊ.ඒ.පී.එදිරිසිංහ සමාගම. යහපාලනය කියන්නේ එක්සත් ජාතික පක්ෂය එල්ලන් ඉන්න බෝඞ් ලෑල්ලක් විතරයි. ඒක නිකන්ම සංදර්ශනයක් පමණයි”

“දේශපාලනයේ අත්දැකීම් විරහිත පුද්ගලයින් වන්නේ සන්ධානයක් නොතැනූ පුද්ගලයින්” එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පැහැදිලි වෙනස්කමක් පෙන්වා දෙමින් ජනපතිවරයා පැවසුවේ ය.

“සන්ධානයක් නොමැතිව ඔබට මැතිවරණ ජයගන්නට බැහැ. දිනන්න වුවමනා නම්, එක්සත් වන්නට වුවමනාමයි.” යයි ද ජනාධිපතිවරයා කීවේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් හා කළ සාකච්ඡා ගැන ද ඔහු සදහනක් කළේ ය.

“අපි දැන් මාසයක් පමණ සාකච්ඡා පැවැත්වූවා. පොදු සන්ධානයක් තනන්න තවත් මාසයක් හෝ දෙකක් ගතවේවි” යයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවක් සකස් කරගත යුතුව තිබෙන බවත්, ඒ අනුව මැතිවරණයට අදාළ කටයුතු දියත් කළ යුතු ආකාරය සැළකිල්ලට ගතයුතුව තිබෙන බවත් පෙන්වා දුන්නේ ය.

මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ අපේක්ෂාවක් ඔබට තිබෙනවා ද යන්න මම ජනපතිවරයාගෙන් විමසුවෙමි.

“ඇත්තටම, අපි ජනපතිවරණ අපේක්ෂකයෙක් ගැන සාකච්ඡා කරලා නැහැ. අපි සාකච්ඡා කර තිබෙන්නේ පොදු සන්ධානයක් ගොඩනගා ගැනීම ගැන පමණයි” ඔහු පිළිතුරු දුන්නේ ය.

ඔබ පොදු අපේක්ෂකයා නොවන්නේ නම් ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු සන්ධානය හා එක්වන බව ද? යයි මම ඇසුවෙමි.

“දැනට අපි ඒ ගැන සාකච්ඡා කර නැහැ. පොදු සන්ධානය ගොඩනැගීමක් පමණයි දැන් සිදුවෙමින් තිබෙන්නේ” ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

ජනාධිපතිවරයා පැවසූයේ සත්‍යයකි. 

සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් සාකච්ඡා පවත්වා නොමැත. නමුත් ජනපති සිරිසේන මහතා පසුගියදා ඔහුගේ සමීපතමයකු හා පවසා තිබෙනුයේ සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කැරෙනු ඇතැයි අපේක්ෂාවක් ඔහුට තවමත් පවතින බවයි.

එම සමීපතමයා දැක්වූ අදහස්වලට අනුව, ජනපතිවරයා ඔහුගේ අපේක්ෂාව පදනම් කරගෙන තිබෙන එක් කාරණයක් වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පවතින අභ්‍යන්තර ගැටලු හමුවේ අවසානයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ අවස්ථාව තමා වෙත ලැබෙනු ඇතැයි යන්නය. එම පදනම තවත් ශක්තිමත් කර තිබෙන කාරණයක් වන්නේ, මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකිව වූ තොරතුරුවලට අනුව, සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇතැයි දැනටමත් ප්‍රබල ඉගි පළව තිබෙන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඔහු පෙර සිතා සිටි අයුරින් සිය ඇමරිකා පුරවැසිභාවය පහසුවෙන් ඉවත් කරගැනීමට නොහැකි වනු ඇතැයි දැනගැනීමට හැකිව තිබීමය. එසේ වුව ද, ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ව වඩ වඩාත් සූදානම් කරගනු පසුගිය සතියේ දී දැකගත හැකිවිය.