ලෝකයේ රටවල් 176ක් අතරින් ලොව පවතින දූෂිත රටවල් ලැයිස්තුවේ 2016 වසරේ ලංකාවට හිමිවී ඇත්තේ 95 වන ස්ථානයයි. ලෝකයේ රටවල් අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යාමේ දර්ශකය තුළ ලංකාවට හිමිවී ඇත්තේ 52 වන තැනයි. සිය දිවි නසා ගැනීමේ දර්ශකයේ ලෝකයේ රටවල් අතුරින් මෙරටට හිමින්නේ 4 වන ස්ථානයයි. මාධ්‍ය නිදහස දැක්වෙන දර්ශකයේ අපට හිමිව ඇත්තේ 141 වන ස්ථානයයි.
 
අපගේ මහජන නියෝජිතයන් සුළු ප්‍රමාණයක් හැර අන් අය තෝරාගනු ලබන්නේ ජනතාව විසින්ම ය. 1978ට පෙර පැවති කේවල සහ බහු ආසන කොට්ඨාස ක්‍රමයට මහජන නියෝජිතයන් තෝරාපත්කර ගනු ලැබුවත් සමානුපාතික නියෝජන ක්‍රමය තුළ පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 ක් පත් කරන්නට යෙදුණි.
 
වර්තමානයේ නැවතත් පැරණි මැතිවරණ ක්‍රමයට අනුගත වීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් පවතී. පළාත් පාලන මැතිවරණ ක්‍රමය මේ වන විට මිශ්‍ර ක්‍රමයක් ලෙසට සංශෝධනය වී ඇත. කාන්තා නියෝජනය තහවුරු කිරීමට ද අවිධිමත් ලෙස නීතිය සැකසී ඇත. 
 
නිදහසෙන් පසු රාජ්‍ය පාලනය ශ්‍රී  ලාංකිකයන් අතට පත්වී වසර 70 ක් ගතවී ඇතත් රටේ බොහෝ ක්ෂේත්‍රවල තුළ ප්‍රගතියක් දක්නට නොමැත. 1971 සහ 1987/88 ජන සංහාරය සහ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය ඊට බලපෑ බව සැබෑය.
 
1971 සහ 1987/88 විජේවීරගේ තරුණ කැරළිවලින් ජීවිත 70,000 ක් පමණ රටට අහිමි වූ අතර එම අරගලවලින් රටට හෝ ජනතාවට ලැබුණු යමක් නැත. ප්‍රභාකරන්ගේ යුද්ධයෙන් තවත් 60,000 කට වැඩි ජීවිත රටට අහිමි වූ අතර ඉන් දමිළ ජනතාවට ලැබුණ යමක් ද නැත. 
 
වාණිජ ණය පොලී අනුපාතය මත රටට ඔරොත්තු නොදෙන ආකාරයෙන් ලබාගත් ණය කන්දරාවක් සැලසුමකින් සහ ශක්‍යතා අධ්‍යනයකින් තොරව වියදම් කරමින් ඉදිකළ වරායත්, ජාත්‍යන්තර ගුවන් තොටුපොළත්, අධිවේගී මාර්ගත්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත් වැනි ඇසට පෙනෙන සංවර්ධනයන් වුවත් එය ආර්ථිකයට දරාගත නොහැකි ය.
 
වර්තමානය වන විට වරාය, ගුවන්තොටුපොළ වැනි රටේ ආර්ථික මර්මස්ථාන මෙන්ම කලාපයේ ආරක්ෂක මර්මස්ථාන විකුණමින් ඩොලර් හිඟා කන ජාතියක් බවට අප රට පත්ව ඇත. මහවැලිය ඇතුළු මහා පරිමාණ වාරිමාර්ග ව්‍යපෘති කොතෙක් තිබුණත් රටට අවශ්‍ය සහල් පවා නිපදවා ගැනීමට අපි අපොහොසත් වී ඇත්තෙමු. ඒ වෙනුවට ජාතියට බත සැපයූ ගොවි පවුල්වල සාමාජිකයෝ වකුගඩු රෝගීන් බවට පත්ව මරණ මංචකය අබියසට වී සුසුම් හෙළමින් බලා සිටිති. 
 
තරුණ අසහනය දිනෙන් දිනම උග්‍ර තත්ත්වයට පත්වෙමින් පවතී. රටේ ආර්ථිකයට ප්‍රබලව දායක විය හැකි ක්‍රියාකාරී ජවසම්පන්න තරුණයෝ ලක්ෂ 12 කටත් වැඩි පිරිසක් ත්‍රිරෝද රථ රියදුරන් බවට පත්ව සිටිති. හෙරොයින්, කොකේන්, ගංජා වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනක් විය හැකිය.
 
ඔවුන්ගෙන් බන්ධනාගාර ද පිරී ඉතිරී ගොස් ඇත. ඇමැතිලා, මන්ත්‍රීලා, ඔවුන්ගේ ලේකම්ලා අතර ද මත්කුඩු සහ මත් පෙතිවලට ඇබ්බැහි වූවන් බොහෝ දෙනකු සිටින බව අපි හොඳාකාරවම දනිමු.
 
රටම සමලිංගිකකරණයට පත් කිරීම සඳහා අණපනත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තරම් මැති ඇමැතිවරු අවිචාරවත් වී සිටිති. පැවතෙන්නට පරම්පරාවක් නැති මිනිසුන්ට රකින්නට බූදලයක් නැතැයි කට ඇර ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකි වුවත් අඹුදරුවන් ඇත්තෝ එසේ කීමට තරම් ම්ලේච්ඡ නොවෙති. සදාචාරය සහ සාරධර්ම විනාශ කිරීමට නායකත්වය දෙන්නෝ දේශපාලනඥයෝය.
 
ආගමික සංස්ථා විනාශ කර දැමීමද ඉතා සූක්ෂම ලෙස සිදු කරති. බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කර දැමීමට පවා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. 
 
රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ප්‍රාදේශීය දේශපාලන නායකයන්ට රජයේ ඉහළ තැන්වලින් ආශිර්වාදය ලැබී ඇත. කලින් මෙරට යුරෝපීය අධිරාජ්‍යවලට යටත්ව පැවති නිසා යුරෝපීයයන්ගේ වහලුන් ලෙස පිළිගෙන කටයුතු කළ මානසිකත්වයෙන් ගොඩ ඒමට තරම් පෞරුෂයක් නැති නිවට දේශපාලඥයෝ තවමත් වහලුන් ලෙස යුරෝපීය අණට කීකරු වෙමින් මෙරට අනන්‍යතාව සහ සදාචාරය විනාශ කිරීමට අණපනත් ගෙන ඒමට ද කටයුතු කරති. 
 
යහ පාලනය ස්ථාපිත කිරීමට දුන් ප්‍රතිඥාව මත වර්තමාන ජනාධිපතිතුමා සහ එ.ජා.ප. ආණ්ඩුව 2015 ජනවාරි මස 08 වන දින පත් කරන්නට යෙදුණි. බලයට පැමිණ සති හයක් ගතවන විට සිදු කළ මහා බැංකු බැඳුම්කර වංචාවෙන් රජයට සිදු වූ හා හඳුනාගත හැකිවූ පාඩුව මිලියන 11,145 (කෝටි 1114.5) ක් බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තහවුරු කර ඇත.
 
මෙම පාඩුව එහි සඳහන් කෙටි කාල පරාසයට අදාළ වන අතර සත්‍ය ලෙසින් සිදුවන පාඩුව ඊට වඩා වැඩි ය. ඊට හේතුව එම බැඳුම්කර වසර 30 ක් වැනි දීර්ඝ කාලයක් සඳහා නිකුත් කළ ඒවා වීමය. එම වංචාව නිසා රටේ මුල්‍යය ආයතනවල පොලී අනුපාතය ඉහළ ගිය අතර විනිමය අනුපාතය නිර්ණය කිරීමේ දී රුපියල ශීඝ්‍රලෙස අවප්‍රමාණ වීමට ද එය බලපෑවේය. 
 
පාසල් පද්ධතිය ජාතික සහ පළාත් වශයෙන් වර්ගීකරණය කොට ළමයින් ඇතුළත් කිරීම දේශපාලනඥයන්ට සහ නිලධාරීන්ට මුදල් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් කරගෙන ඇත. සමහර දේශපාලනඥයන්ට පාතාල කල්ලි ද ඇත. පාතාල කල්ලි නායකයන් ලැගුම් ගන්නේ සමහර දේශපාලනඥයන්ගේ නිවෙස් තුළය.
 
කප්පම් කල්ලි නිසා ව්‍යාපාරිකයන් මහත් අසීරු තත්ත්වයන්ට පත්ව ඇත. ඒ පිළිබඳ කථා කිරීම හෝ පොලීසියට පැමිණිලි කිරීම ජීවිතයට තර්ජනයක් ඇති කළ හැකි නිසා ඔව්හු ඒවා විඳ දරාගෙන සිටිති. රටේ විනයක් නැත. බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවෙයි. මහමඟ සිදුවන අනතුරුවලින් පමණක් වසරකට 3000 ක් පමණ මිය යති. මෙය යුද සමයේ යුද්ධයෙන් වසරකට මිය ගිය ප්‍රමාණයට වඩා වැඩිය.
 
රටේ උගතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් බොහොමයක් මේ වන විට රට හැර ගොස්ය. ඇති හැකි පවුල්වල බොහෝ දරුවෝ ඉහළ අධ්‍යාපනය සඳහා විදේශගත වෙති. රටේ මුදල් කෝටි ගණනින් පිටට ගලා යයි. බුද්ධි ගලනයේ වේගය අනුව තව ටික කලකින් රට තුළ ඉතිරි වන්නේ රොඩු ටික පමණි.
 
ආයෝජන මණ්ඩලය වැනි අති දූෂිත ආයතන නිසා දේශීය ව්‍යාපාරිකයා විනාශ මුඛයට ඇද වැටෙමින් පවතී. මෙය අහෝසි කිරීමේ අවශ්‍යතාව පුන පුනා ප්‍රකාශ වුවත් දේශපාලඥයන් එය සිදු නොකරන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට එය හොද මාර්ගයක් වන නිසා ය.
 
නිදහසින් වසර හැත්තෑවක් ගියත් තවමත් මෙරට පවතින්නේ කුණුවී ජරාජීර්ණ වූ ගඳ ගසන මජර දේශපාලන සංස්කෘතියක් බව දේශපාලනඥයෝ සහ ජනතාව යන දෙපාර්ශ්වය පිළිගනිති. අගමැති උපදේශක මහාචාර්ය ඕ.එම්. ද සොයිසා මහතා මෑතක දී මාධ්‍යයට කියා සිටියේ මීට හේතුව පාර්ලිමේන්තුවේ සිටින්නේ නූගතුන් වීම කියාය. අ.පො.ස. (සා.පෙළ) සමත් නැති 94 ක් ද, අ.පො.ස. (උ.පෙළ) සමත් නැති 142 ක් ද පාර්ලිමේන්තුවේ 225 තුළ සිටින බව ඔහු හෙළිදරව් කළේ ය. 
 
ජනතාව සිය නියෝජිතයන් ලෙස තෝරාගනු ලබන්නේ අපේක්ෂකයාගේ පවතින බුද්ධිමත් භාවය හෝ කැපවීම මත නොව ජනප්‍රියභාවය මතයි. ජනමාධ්‍ය තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ ඕනෑම පුහුදුන් මිනිසෙකු පුම්බවා ජනප්‍රියත්වයේ මුදුනට ගෙන යා හැකි ය. ඊට අවශ්‍ය වන්නේ මුදල් පමණි.
 
ඒවා කුඩු, කසිප්පු, ගංජා විකුණා සොයාගත් ඒවා ද අල්ලස් හෝ කප්පම් ලෙස වංචාවෙන් දූෂණයෙන් සොයාගත් ඒවා ද යන්න වැදගත් නැත.
 
මහජනතාව තෝරනු ලබන නියෝජිතයන් නිරන්තරයෙන්ම බුද්ධිමතුන් නොවන්නේ ය යන පූර්ව නිගමනය වෙස්මින්ස්ටර් ක්‍රමයත්, විධායක ජනාධිපති ක්‍රමය පවතින ඇමෙරිකා එක්සත් ජනපදයේත් එදා පටන් අද දක්වා පිළිගත් සම්මතයකි.
 
එනිසා බ්‍රිතාන්‍යය්‍ෙ සාමාන්‍ය මන්ත්‍රී මණ්ඩලය (House of Commons)  නැතහොත් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තේරීම ජනතාවගේ ඡන්දයෙන් සිදු කරනු ලබන නමුත් පාර්ලිමේන්තුවේ ගනු ලබන තීරණ තවදුරටත් කිරා මැන බලා විශ්ලේෂණය කරමින් අවශ්‍ය ප්‍රතිශෝධන කිරීමට හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලය ඇති බුද්ධි මණ්ඩලයක් ලෙස කටයුතු කරන සෙනට් සභාවක්ද   (House of Lords) ඇත. බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ඉන්දියාව වැනි රටවල එය සාර්ථකව ක්‍රියාත්මක වේ.
 
ඔවුහු මහජනතාව විසින් තෝරනු ලබන්නන් නොවන නිසා ලාභ ජනප්‍රියත්වයට යට නොවී රටේ අනාගතය පිළිබඳ දූරදර්ශී නුවණකින් යුතුව කටයුතු කරනු ලබති. 
 
රු. ලක්ෂ දෙක තුනක වැටුපක් ලැබෙන තනතුරක් සඳහා තරග කරන අපේක්ෂකයකු මිලියන සිය ගණනක් මැතිවරණයක දී වියදම් කරනු ලබන්නේ ඊට වඩා වැඩි මුදලක් මන්ත්‍රීධුරය හරහා සොයාගත හැකි නිසාය. අරක්කු බෝතලයකට, හාල් කිලෝවකට පමණක් නොව අපේක්ෂකයාගේ නම අලවා බෙදනු ලබන කෙසෙල් ගෙඩියට ද ඡන්දය භාවිත කරන ජනතාවක් ගොනාට අන්දන ක්‍රමවේදය ජනතාවට වඩා හොර දේශපාලනඥයාගේ ගණදෙවි නුවණට හසුවේ.
 
සිය ජීවනෝපාය සඳහා දේශපාලනයට ප්‍රවිශ්ටවන වෘත්තීය දේශපාලනික මිනිසාට හෝ ගැහැනියට දේශපාලනයෙන් මිදිය නොහැක. වෙනත් ජීවනෝපායක යෙදීමට ද නොහැකි ය. එසේ හැකි වුවත් දේශපාලන වෘත්තීය තරම් වාසිදායක නැත.
 
එම හේතුව නිසා මන්ත්‍රීවී, ඇමැති වී ඊටත් ඉහළට යන්නට උත්සාහ දරන ඔහු හෝ ඇය එම තනතුරු අහිමි වූ විට පළාත් සභා මන්ත්‍රීවරයකු වීමට හෝ එසේ නැති වුවහොත් නගර සභා / ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස හෝ රැඳී සිට නැතහොත් සංස්ථා සභාපතිකමක් හෝ තානාපතිකමක් පසුපස හඹා යයි.
 
කලින් අමාත්‍ය තනතුරු දැරූ තැනැත්තන් පසුකාලීනව නගර සභා / ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස කටයුතු කරනු දැකීම කලින් දැරූ ඉහළ තනතුරුවලට කෙරෙන කොතරම් අපහාසාත්මක හා ජුගුප්සාජනක වීම ඔවුන්ට නොවැටහෙන ග්‍රාම්‍ය  ප්‍රජාතන්ත්‍රවාදී සලකුණකි. ඔවුන් වියපත් වනවිට ඔවුන්ගේ දරුවන් ජීවනෝපාය ලෙස වෘත්තීය දේශපාලනයට තල්ලු කිරීම පරපුටු දේශපාලනයක තවත් ලක්ෂණයකි.
 
වර්තමානයේ පවතින මජර දේශපාලනය වෙනස් නොකළහොත් අපටත් අපගේ දරුවන්ටත් අනාගතයක් නැති වී යනවා මෙන්ම අපට රටක් ද නැති වී යාමේ අවදානමකට අපි මුහුණ දී සිටිමු. රට බේරා ගැනීම සඳහා ප්‍රමාදවී හෝ අපට ගරු මන්ත්‍රීවරුන් අවශ්‍ය වී ඇත. ජීවනෝපාය සඳහා මුදලට, තනතුරට වහල්වී කටයුතු කරන මන්ත්‍රීවරු සිදු කරන්නේ ගරු සේවයක් නොවේ.
 
අපට දැන් අවශ්‍යව ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරු සේවයක් ඉටුකළ හැකි මන්ත්‍රීවරුන්ය. ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් අවශ්‍යව ඇත. 
 
නීතිඥවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගෘහනිර්මාණ ශිල්පීන්, කලාකරුවන්, අධ්‍යාපනඥයන්  සහ ව්‍යාපාරිකයන් යනාදී ඒ ඒ ක්ෂේත්‍රවල අත්දැකීම් හා පළපුරුදුකම් ඇති අය මගින් රටට ප්‍රයෝජනයක් ලබා ගැනීමේ නව ක්‍රමයක් සකසාගත යුතුව ඇත.
 
එකී ක්ෂේත්‍රවල නිපුණතාවක් දැක්වූ සිය ජීවනෝපාය සඳහා ආදායම් මාර්ගයක් ඇති තැනැත්තන් මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතේ මැතිවරණවලට ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සැලසිය යුතු අතර ඔවුන් එසේ පත්වන වසර 5 ක හෝ 10 ක කාලය තුළ රජයෙන් වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, වාහන, වාහන බලපත්‍ර යනාදී කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නොගෙන කටයුතු කරන බවට මැතිවරණ නාමයෝජනා සමඟ ප්‍රකාශනයක් මැතිවරණ කොමිසමට බාර කළ යුතු ය. එමෙන්ම ඒ සමඟ ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශනයක් ලබා දිය යුතු අතර රජය සමඟ කිසිදු ටෙන්ඩරයක් හෝ ගනුදෙනුවක් නොකරන බවට සහ මන්ත්‍රීධුරය භාවිත කරමින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් ඔවුන් හෝ ඔවුන්ට සම්බන්ධ කිසිවකුටත් නොලබන බවට ප්‍රතිඥාවක් ද ලබා දිය යුතුය. 
 
එහි දී මූලික වගකීම පැවරෙනුයේ ඡන්දදායකයන් වෙතය. එම අපේක්ෂකයන් ඉදිරිපත්වී සිටින්නේ ගමේ පාර හෝ කාණුව සෑදීමටවත්, නිරන්තරයෙන් මළ ගෙවල්, බණ ගෙවල් ගානේ ඇවිදීමටවත් නොව ජාතික දේශපාලනය තුළ රටේ අනාගත ගමන් මඟ නිවැරැදි දිසානතියකට යොමු කරලීමටය.
 
මෙරට පවතින මෙම දුර්දාන්ත දේශපාලන සංස්කෘතිය වහාම වෙනසකට භාජනය නොවුනහොත් තුන්වන තරුණ අසහන කැරැල්ල අතළඟ බව අප අවබෝධ කරගත යුතුව ඇත. එය සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැක. එම කණ්ඩායම බිහිවනුයේ ඊටත් පහත් ස්ථරයේ සිට ය.
 
රටේ ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකට තුන් වේලක් තියා එක වේලක්වත් කුස පිරෙන්නට ආහාරයක් නොමැතිව මන්ද පෝෂණයෙන් පෙළෙන මෙරට ජනතාවගේ මුදලින් රුපියලක් හෝ සොරා කෑවෙකුට යහතින් මියැදීමට හෝ නොහැකි වූ බවට පසුගිය දශක තුන හතරක අත්දැකීම් අප සතුව ඇත.
 
දේශපාලඥයන් හෝ නිලධාරීන් හෝ වෙනත් කෙනකු කොතෙකුත් බලවත් වුවත්, ධනවත් වුවත් ජනතාවගේ දෑ සොරාගතහොත් දෙවියන් ඉදිරියේ බේරුනත් ජනතා සාපයෙන් බේරීමට බැරි බවට උදාහරණ ලෝක ඉතිහාසය පුරාවට පැතිර පවතී.