මුදිතා දයානන්ද

         

අපේ රටේ බහුතරයක් දෙනා ගමනාගමනයේ දී භාවිතා කරන්නේ පොදු ප‍්‍රවාහන සේවය වේ. දියුණු රටවල නම් මෙය අතිබහුතරය වේ. දියුණු රටවල් නවීන තාක්ෂණය යොදා ගනිමින් පොදු ප‍්‍රවාහනය දියුණු කිරිමෙන් ජනගහනයෙන් අතිබහුරතය ඊට යොමු කරගැනීමට යොමු වී ඇත.

එමගින් ඒ රටවල් වාසි රැසක් අත්පත් කරගනී. මාර්ග තදබදය අවම කිරිම, එමගින් අපතේ යන මිනිස් ශ‍්‍රමකාලය හා ඉන්ධන ප‍්‍රමාණය අවම කිරිම, රටක් ලෙස ඉන්ධන සඳහා දරණ වැය අඩුකර ගැනීම, පරිසර දුෂණය අවම කිරිම එම වාසි අතර සුවිශේෂී වේ.

රජය දැරිය යුතු වියදම් අවම කිරිමේ පටු සීමාවේ හිරවී සිටීම නිසා මෙතෙක් කිසිදු ආණ්ඩුවක් පොදු ප‍්‍රවාහනය දියුණු කිරිමට කටයුතු කර නැත. දේශපාලඥයින් පවසන පරිදි මැදි ආදායම් ලාභී රටක් වුවත් තවමත් සංවර්ධනය වෙමින් පවතින අපේ වැනි රටවල හුරුපුරුදුව තිබෙන්නේ  ඕනෑම ක්ෂේත‍්‍රයක් තුළ අවම ආයෝජනයක් සිදුකර උපරිම ලාභ ලැබීමටය. ඒ නිසා ප‍්‍රවාහනයේදී ද උත්සාහ කරනුයේ රෝද කැරකෙනවා නම් ගමන් ආරම්භ කරන්නට සුදානම් බස් රථවල, මගීයාට යම්තමට වාඩි වීමට හැකිවන අසුන් පනවා, ටිකට් පතේ මිල පමණක් වසරකට වරක් නොවරදවා වැඩිකර උපරිම ලාභ ඉපයීමටය.

මෙසේ ප‍්‍රවාහනයේ දී නවීන තාක්ෂණය භාවිතා කිරිමට දක්වන මැලිකම නිසා පමණක් නොව අවම වශයෙන් මගී ජනතාවට පහසුකම් සහිත ප‍්‍රවාහන සේවයක් ලබාදීමට කිසිදු අවධානයක් යොමු නොකිරීම නිසා තමන්ගේ වාහනයක ගමන් කිරීමට පෙළඹෙණ ජනතාවගේ ප‍්‍රමාණය ඉහළ යමින් පවතී. මෙය නැවත පාරාවළල්ලක් බවට පත්වෙමින් මහමඟ අධික වාහන තදබදයක් නිර්මාණය කරමින් කාලයත් ධනයත් මිනිස් ශ‍්‍රමයත් අපතේ යවමින් ජාතික ආදායමට හානි කරමින් තිබේ.

පහසුකම් වැඩිකිරීම තුළින් තෘප්තිමත් වන මගීයා නැවත නැවත ඒ සේවය ලබාගැනීමට පෙළඹීමෙන් ලාභය ඉහළ නංවනු ඇතැයි සිතන්නට දක්වන මැලිකම නිසා අපි තවමත් සිටින්නේ ලෝකයේ පොදු ප‍්‍රවාහන සේවා හා සළකන කළ අවුරුදු තිහ හතළිහකට ඈත යුගයකය.

බොහෝ රටවල පොදු ප‍්‍රවාහනයේ දී අද භාවිතා කරන පෙර ගෙවුම් ඉලේකට්‍රොනික මගී ගමන්පත අපටද භාවිතා කළ හැකිය.

මේ තත්වය වටහා ගත් බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය පෙරගෙවුම් පත් භාවිතයට වැඩිපිළිවෙළක් සැකසීම පොදු ප‍්‍රවාහනය අගයන බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. එහෙත් තෙවසරකට පෙර බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය මගින් ආරම්භ කරන ලද පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික මගී ගමන් කාඩ්පත් ව්‍යාපෘතිය අද වන විට ආදායම් උපයන්නේ නැති සුලූ අලියෙක් බවට පත්ව තිබේ.

පළමු අදියරේදීම මෙම ව්‍යාපෘතියෙන් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ආදායම ලෙස මාසිකව රුපියල් 675,000ක් බලාපොරොත්තු වුවද වසර තුනක් අවසන් වන විටත් අධිකාරිය ලබන්නේ මසකට රුපියල් 8748ක් පමණි.

නවීන තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට ඇදී යන ලෝකයේ විශාල පොතක පොතක ලියා තැබීමට සිදුවන තොරතුරු ගොන්නක් තැන්පත් කළ හැකි කුඩා චිපය නිර්මාණය කිරිම ආර්ථික මෙන්ම සමාජ සංස්කෘතික සංවර්ධනයේ ද දිගු පිම්මක් ඇති කළේය. ඉලෙක්ට්‍රොනික මුදල් සංසරණ ක‍්‍රමය සොයා ගැනීම එය තවත් වේගවත් කරනු ලැබිණි.

භාණ්ඩ මිලදි ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික මුදල් සංසරණ ක‍්‍රමය භාවිතයට පැමිණෙද්දී  දුරක සිටින අයෙකුට දුරකථන ජාලා භාවිතා කරමින් මුදල් යැවීමේ ක‍්‍රමවේදයක්ද සොයාගනු ලැබිණි. එහි තවත් ඉදිරි පියවරක් ලෙස මගී ප‍්‍රවාහනයේදී ඉලෙක්ට්‍රොනික පෙර ගෙවුම් කාඩ් ගමන් පතක් යොදාගැනීම ආරම්භ විය.

මේ ක‍්‍රමය චීනය, හොංකොං, මැකාවූ, දකුණු කොරියාව වැනි රටවල භාවිතයට ගනු ලැබුවේ 1997-98 තරම් වසරවලදීය. එනම් මීට වසර විස්සක් පමණ ඈතකදීය. අද වන විට ලෝකයේ බොහෝ රටවල් මේ ක‍්‍රමය බස් රථවලදී පමණක් නොව දුම්රිය ගමනාගමනයේදී ද යොදාගැනේ. 

මෙවැනි පෙරගෙවුම් ඉලොක්ට්‍රොනික මගී ගමන්පත් පොදුවේ රජයේ හා පෞද්ගලික අංශය දෙකටම යොදා ගැනීමෙන් මගියාට මෙන්ම ගමනාගමන මණ්ඩලයට හා පෞද්ගලික බස්රථ හිමියන්ටද වාසි කිපයක්ම අත්පත් කරනු ඇත. බස් රථ අතර අනවශ්‍ය තරගකාරිත්වය, එමගින් මහ මග සිටින මගීන් අතහැර දමා බස් ධාවනයේ යෙදීම නිසා මගින් අසරණ වීම, අනවශ්‍ය කාලයක් ගනිමින් තැනින් තැන නවතමින් බොහෝ වේලාවක් ගතකර මගීන් රස්තියාදු කිරීම ආදිය වැළැකෙනු ඇත. බස් හිමියාට හෝ ගමනාගමන මණ්ඩලයට නියම ආදායම හිමිවනු ඇත.

පාරිභෝගිකයාට මුදල් අතේ නැති අවස්ථාවක වුවත් බය නැතිව ගමනක් යාමට හැකියාව ලැබේ. මාරු කාසි නැති අවස්ථාවක ටිකට් පත්වල ඉතිරි මුදල් ලබාගැනීමේදි මුහුණ දීමට සිදුවන අපහසුතාවයෙන් මිදිය හැකිය. මෙහි වැඩිම වාසිය අත්පත් වන්නේ බස්රථ හිමිකරුටය.

බස්රථවලින් කප්පම් උපයන අයගෙන් බේරි සිටිය හැකි වීම, අද දවසේ පවතින කප්පම් කල්ලිවල ප‍්‍රශ්න සමඟ සසඳන කළ බස් රථ හිමියා ලොකු හිසරදයකින් ගලවා ගැනීමක් බඳුය. බස්රථවලින් දෛනිකව උපයන ලද ආදායමෙන් කොටසක් සේවකයින් විසින් සඟවා ගැනීමට තිබෙන හැකියාව ද මෙයින් වළකිනු ඇතැයි බස්රථ හිමිකරුවන්ගේ අපේක්ෂාව විය. එසේම මාරුකාසි හිඟවීමෙන් මගීන්ට ඉතිරි මුදල් ලබාදිමට නොහැකි වීමේ ගැටලූවෙන් කොන්දොස්තර මහතුන්ටද මිදිය හැකිය.

ලංකාවේ මගී ප‍්‍රවාහනයේ දී ඉලේක්ට්‍රොනික කාඩ්පත යොදාගැනීම ආරම්භ වුණේ 2014 පෙබරවාරි 14 වැනිදාය. ඒ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසිනි. මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිම සඳහා ඔවුන් ත්‍රෛපාක්ෂික ගිවිසුමකට එළැඹුනහ. ඒ ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම, ඇක්සස් ආයතනය සමගය. මුදල් සංසරණ ක‍්‍රියාවලියක් මෙහි සිදුවන නිසා ඒ සඳහා මහ බැංකුවේ අවසරය ලබාගැනීමට සිදුවු අතර මුදල් සංසරණය මහජන බැංකුව හරහා සිදුකරනු ලැබිණි.

මෙම වැඩපිළිවෙළට අනුව ටිකට් යන්ත‍්‍රයෙන් කඩනු ලබන සෑම ටිකට් පතක් සම්බන්ධයෙන්ම තොරතුරු එහි මුදල් ගලායන ඩයලොග් ආසියාටා සමාගමෙන් බස්රථ හිමිකරුට ලබාගත හැකිය. එහි තැන්පත් සියලූ ආදායම කොමිස් මුදල් ගෙවූ පසු දිනය අවසානයේ බස් රථ හිමිකරුට ලබාගත හැකිය.

බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය ආරම්භ කළ ඉලෙක්ට්‍රොනික මගී ගමන් පත් මගින් ලැබෙන ආදායමෙන් 2.5% ක් ඩයලොග් ආසියාටා සමාගමටත්, 1.5% ඇක්සස් ආයතනයටත් ලෙස කොමිස් මුදලක් හිමිවන අතර ඩයලොග් සමාගම ලබන කොමිස් මුදලෙන් 0.5% ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියටත් ලැබෙන පරිදි ගිවිසුමෙන් එකඟ වී තිබේ.

බස්නාහිර පළාතේ මාර්ග 430ක් පමණ පවතින අතර එම මාර්ගවල බස් රථ 6000ත් 6500 ත් අතර ප‍්‍රමාණයක් ධාවනය වේ.

මෙහිදී එක් බස් රථයකින් දිනකට රුපියල් 3000 ක ආදායමක් උපයනු ඇතැයි අනුමාන කරන ලද අතර බස් රථ 1500ක් මුල් අවස්ථාවේදී මෙම ටිකට් යන්ත‍්‍ර භාවිතා කරනු ඇතැයි මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය බලාපොරොත්තු විය. ඒ අනුව දිනක සමස්ත ආදායම රුපියල් 4,500,000 ක් වනු ඇතැයිද බලාපොරොත්තු වූ අතර එයින් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට දිනකට රුපියල් 22500ක් වන පරිදි මසකට රුපියල් 675,000ක ආදායමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය. එය ක‍්‍රමයෙන් බස් රථ 6500 දක්වා වැඩිකර ගන්නේ නම් දිනක ආදායම රුපියල් 7000ක් බවට පත්ව අධිකාරියේ මාසික ආදායම රුපියල් 6, 825,000ක් වනු ඇතැයි බලාපොරොත්තු විය.

එහෙත් ආරම්භයේදී රුපියල් 123.26 ක ආදායමක් ඉපයූ අධිකාරිය 2016 අප්‍රේල් වන විටත් මෙම ව්‍යාපෘතියෙන් ලබා තිබෙන්නේ රුපියල් 877.85 ක ආදායමක් පමණි. ආදායම් ලැබීමේ යම් වර්ධනයක් පෙන්වා තිබෙන්නේ 2016 මැයි මාසයෙන් පසුව වුවත් එය සැළකිය යුතු මට්ටමක වර්ධනයක් නොවේ.

වසර තුනක් අවසානයේ ආපසු හැරි බලන විටත් පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික මගී ගමන් පත භාවිතා කළ හැකි ටිකට් යන්ත‍්‍ර භාවිතා වන්නේ මාර්ග 29 ක ධාවනය වන බස් රථ 751 ක පමණි. එම බස් රථවලින්ද දිනකට එක් බස් රථයකින් රුපියල් 3000ක් උපයනු ඇතැයි කරන ලද උපකල්පනය අනුව දිනකට සියලූ බස් රථවලින් රුපියල් 2,253,000ක් ලැබිය යුතුව ඇත. ඒ අනුව මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ ආදායම දිනකට රුපියල් 11,265ක් ලැබිය යුතුය. එහෙත් මේ වන විට එහි ආදායම රුපියල් 8748කි.

අධිකාරියට ලැබිය යුතු ඉතිරි මුදලට සිදුවන්නේ කුමක්ද? අධිකාරියට එම මුදල ලැබුණත් සටහන් වන්නේ නැද්ද? නැත්නම් නව ටිකට් යන්ත‍්‍රයෙන් කොන්දොස්තරලා හොරකම් කරනවාද? එසේත් නැත්නම් ටිකට් යන්ත‍්‍රය නිසි පරිදි භාවිතා කරන්නේ නැත්ද? එසේත් නැත්නම් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ උපකල්පනයන් වැරදිද? කාරණාව කුමක් වුවත් එයින් හෙළිවන එක් කරුණක් තිබේ. ඒ මෙම ව්‍යාපෘතිය මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ තවත් එක් ව්‍යාපෘතියක් පමණක් බවට පත්ව ඇති අතර එය කිසි නියාමනයකට ලක් නොවන බවය.

ගිවිසුම අත්සන් කිරිමේදී ඊට අදාළ සමාගම් සඳහා කිසිදු ගෙවීමක් කර නැතත් මෙම ව්‍යාපෘතිය ජනතාව අතරට ගෙන යාමට විශාල වියදමක් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය විසින් දරනු ලැබිණි. එහෙත් අද වන විට එය අධිකාරිය බලාපොරොත්තු වූ ආදායමෙන් 0.12%කි. අධිකාරියේ නිසි නියාමනයක් නැති කමින් මෙන්ම බස් රථ හිමියන්ගේ නිසි යොමු වීමක් නැතිකමින්ද පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික මගී ගමන් පත් ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත.

වසරකට පමණ පෙර මධ්‍යම පළාතේ සැරිසර නමින් සිසුසැරිය බස්රථ සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එය යම් දුරකට සාර්ථක වී තිබේ. මේ වන විට අයවැය යෝජනා අතරට ද මෙම ව්‍යාපෘතිය එක්කර ඇත. එහෙත් කවුරුන් කෙසේ ආරම්භ කළත් වගකිව යුතු ආයතනවල නිසි නියාමනයක් නොවන්නේ නම් එය සාර්ථක වන්නේ නැත.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු  පාර්ශ්ව කීපයක් දැක්වු අදහස් මෙසේය.

පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙසේ පැවසීය.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරිමට අපිත් විශාල සහයක් ලබාදුන්නා. දැන් බස් රථවලින් උපයන නියම ආදායම අපිට ලැබෙන්නේ නැහැ. කොටසක් අපේ සේවකයින් සොරකම් කරනවා. තවත් කොටසක් කප්පම් කරුවන්ට ගෙවන්න සිදුවී තිබෙනවා. ඒ නිසා මේ ව්‍යාපෘතිය සාර්ථකව ක‍්‍රියාත්මක වෙනවා නම් සියයට දෙකයි දශම පහක නෙවෙයි ඊට වැඩි කොමිස් මුදලක් දුන්නත් අපිට පාඩු නැහැ. නමුත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය මෙම ව්‍යාපෘතිය නිසි පරිදි නියාමනය කළේ නැහැ. ඒ නිසා එය අද අක‍්‍රීය ව්‍යාපෘතියක් බවට පත්වෙලා. ටිකට් යන්ත‍්‍ර ලබාගත් බස් රථවල පවා එය නිසි පරිදි භාවිතා වන්නේ නැහැ.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමි වු මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති අමිල රන්මණ්ඩල මහතා

මේක අපි ආරම්භ කළේ පාරිභෝගිකයාට වගේම බස් රථ හිමියන්ටද වාසි රැසක් අත්පත් වන ආකාරයට වගේම අධිකාරියටත් ආදායමක් ලැබෙන පරිදියි. අද ලෝකය බොහෝ දියුණුයි. මේ ක‍්‍රමවේදයන් ලෝකයේ අනෙක් රටවල් භාවිතා කරන්න පටන් අරන් අවුරුදු විසිපහක් තිහක් වෙනවා. අපිට ආරම්භ කළ වැඩසටහන ඉදිරියට අරන් යන්නවත් වුවමනාවක් නැහැ. ගිවිසුමක් අත්සත් කළ පමණට ව්‍යාපෘතියක් ක‍්‍රීයාත්මක වන්නේ නැහැ. එය අධික්ෂණය කළ යුතුයි. නියාමනය කළ යුතුයි. නමුත් කණගාටුවට කරුණ අද එය සිදුනොවීමයි. අධිකාරියට පසුගිය වසර දෙක තුළ සභාපතිවරු සිව්දෙනෙක් පත්වෙනවා. ඒ නිසාත් නිසි වැඩපිළිවෙළක් ඇතිව සභාපතිවරයකුට වැඩක් කරන්න බැරි වී තිබෙනවා. මොන හේතුව නිසා හෝ සිදුවන්නේ අපරාධයක්.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා මෙසේ පැවසීය.

මධ්‍යම රජයේ මැදිහත් වීමෙන් පෙරගෙවුම් ඉලෙක්ට්‍රොනික කාඩ් පත් ව්‍යාපෘතිය රජයේ හා පෞද්ගලික අංශයේ බස් රථ සඳහා ක‍්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ වැඩපිළිවෙළත් සමඟ එක්ව මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනවා.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා

මගීන්ට පෙර ගෙවුම් කාඞ් පතක් හඳුන්වාදීම කළ යුතු වැදගත් කාර්යයක්. බස්නාහිර පළාත් සභාවේ මේ ක‍්‍රමය ආරම්භ කළා. නමුත් ඔවුන් එය ක‍්‍රියාත්මක කළේ පෞද්ගලික බස්රථ සඳහායි. ඒ වගේම එහි මුදල් එකතු වුණේ පෞද්ගලික ආයතනයක ගිණුමක. එයින් මගීන්ට ටිකට් ගැනිමේදී මාරු කාසි නැතිකම, ඉතිරි මුදල් ලබාගැනීමේදි ඇතිවන ගැටලූ නිරාකරණය වීම හා බස් රථ හිමියන්ට තමන්ගේ ආදායම හොරකමක් නොවී ලැබීම වැනි කාරණා නිරාකරණය වෙන බවට බලාපොරොත්තු වුණා.

නමුත් මේක හැම බස්රථයකම ක‍්‍රියාත්මක නොවීම නිසා කාඩ්පතක් ලබාගත් පුද්ගලයාට එය භාවිතා කිරිම අපහසු වුණා. ඒ නිසා ජනතාව අතරට මේ කාඩ්පත ගියේ නැහැ. ඒ නිසා  අධිකාරිය බලාපොරොත්තු වූ සාර්ථකත්වය අත්පත් වුණේ නැහැ.

දැන් ආණ්ඩුව මෙවර අය වැයෙන් පෙරගෙවුම් කාඩ් පතක් හඳුන්වාදෙන්න යෝජනා කර තිබෙනවා. එය රටේම පවතින සියලූම බස්රථවලට භාවිතා කළ හැකි කාඩ්පතක් ලෙසයි නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම එහි ආදායම තැන්පත් වන්නේ රජයේ බැංකුවක හෝ ආයතනයකයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රවාහන හා කාර්ය ප‍්‍රවර්ධන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අමල් එස්. කුමාරගේ මහතා

ආණ්ඩුව මෙවර අයවැයෙන් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සඳහා නව ඉලෙක්ට්‍රොනික පෙරගෙවුම් මගී කාඩ් පතක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා. මෙය බස්නාහිර ක‍්‍රියාත්මක කළ කාඩ් පතට වඩා වෙනස්. එහි නියමු ව්‍යෘපෘතියක් සහසර නමින් මධ්‍යම පළාතේ පෞද්ගලික බස් රථ සඳහා භාවිතා කළා. දැන් උත්සාහ කරන්නේ රජයේ හා පෞද්ගලික බස් රථ සියල්ලට එය හඳුන්වා දීමටයි. එයින් කාඩ්පත ලබාගන්න ඕනම කෙනෙකුට  ඕනම බස් රථයක ගමන් කළ හැකිවෙනවා.

නැත්නම් මගීයාට සිදුවෙනවා කාඩ්පත වගේම බස් ගාස්තු ලෙස අමතරව මුදලක්ද අරගෙන යන්න. ඒ වගේම මෙම කාඩ්පත්වලින් ලැබෙන ආදායම රජයේ බැංකුවක හෝ ආයතනයකයි තැන්පත් වන්නේ. අදාල බස් රථය ගමන් කළ කිලෝමීටර් ප‍්‍රමාණය අනුව ගෙවීම් කරනවා. බස් රථයේ ගමන් ගත් මගීන් ප‍්‍රමාණය මෙහිදි සළකන්නේ නැහැ. ඒ නිසා බස් රථය මගීන්ගෙන් පිරවිම සඳහා කොට කොටා යාමේ ප‍්‍රවණතාවය වගේම මගින් අතර මඟ හලාදමා යන්නට දරණ උත්සාහයද නැතිවී යනවා. බස් අතර තරඟය අහෝසි වෙනවා. නමුත් කිසිවෙකුට පාඩුවක් සිදුවන්නේ නැහැ.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා

අපේ රටේ සියලූම මගීන්ට ඉලෙක්ට්‍රොනික මගී පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් එය සම්පූර්ණ කරන්න වසර තුනක් වත් යයි. මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම් රජයේ හා පෞද්ගලික සෑම බස් රථයකටම කාඩ්පත භාවිතා කළ හැකි විය යුතු අතර සෑම බස් රථයකම එය භාවිතා කළ හැකි ටිකට් යන්ත‍්‍රයක් තිබිය යුතුයි.

අපි ක්ෂමා ආයතනයත් සමඟ එක්ව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමට අදහස් කරන අතර ලංකාවේ ජීවත් වන සෑම පවුලකටම එක් කාඩ්පතක් පළමුව නොමිලේ ලබාදී මෙය ජනතාව අතරට ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ අයට දෙවනුව මුදල් ගෙවා කාඩ්පත අලූත් කරගන්න පුලූවන්. මේක පහසු වැඩක් නෙවෙයි. බිලියන හතක්වත් ව්‍යාපෘතියට වැය වෙයි කියලා විශ්වාස කරනවා. දැන් සිටම අපි ඒ සඳහා මුදල් සෙවීම ආරම්භ කළ යුතුයි.