කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

රට මුහුණ දී ඇති අර්බුදය සුළුපටු නැත. ලෝකයම ඉන්නේ අර්බුදයකය කියා රටේ අර්බුදය මගහැරිය නොහැකිය. වසන් කළ නොහැකි ය. ලෝකය පෙන්නා රටේ අර්බුද වසන් කරන්නෝ එක්කෝ කපටියෝ ය. නැත්නම් මෝඩයෝ ය. එහෙමත් නැත්නම් කපටියෝ, මෝඩයෝ සහ අලසයෝ ය. අනිත් කාරණය නම් ලෝකය පෙන්නා අර්බුද වසන් කරන්නන් එනම් පාලකයන් මැදි වී ඇත්තේ වෙනත් අර්බුදයකට ය. ඒ බලය රැකගැනීමේ සහ බලය ඩැහැගැනීමේ බල පෙරේතකම පිළිබඳ අර්බුදයට ය. ඒ අතින් පාලකයන් පීඩාවට පත් වී ඇත්තේ මානසිකවය. එහෙත් රටේ පොදු ජනයා මුහුණ දී ඇත්තේ අති දැවැන්ත, පුළුල් සහ සමාජ පතුලටම කිඳා බැස ඇති ආර්ථික, සමාජ සහ දේශපාලන අර්බුදයකට ය. මේ මහා ජනකායට දෛනික ජීවිතයේ හැම මොහොතක්ම ගෙවා දැමීමට සිදු වී ඇත්තේ වල්මත් වී හසරක් නොදුටු සහ නොපෙනෙන උන් ලෙස ය. ඔවුන් මුහුණ පා සිටින ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයට සහ ගැටලුවට පිළිතුරක් සහ විසඳුමක් ඇසට අසුවෙන මානයක නැත.

ජනවාරි ව්‍යසනය විසින් විනාශ කරන දෑ බොහෝ ය. තරමකින් හෝ හඳුනාගත හැකි ආකාරයේ අනන්‍යතා නැතහොත් වෙනස්කම් තිබූ මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය මුළුමනින්ම සමජාතීය වීම ඒ එක් විනාශයකි. පක්ෂ අතර ප්‍රතිපත්තිමය වෙනස්කම් සුනුවිසුණු විය. සමසමාජ පක්ෂයේ ‘බෝල්ෂෙවික් පිල’ එජාපයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට ඇමැතිකම් ලබා ගත්තේය. වම දකුණ වී, දකුණ වම වීම නිසා ජනයාට ඒ දෙකම එකක් විය. විපක්ෂ නායකකම පවතින ආණ්ඩුවේ ඇමැතිකමක් බවට පත් විය. ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලනවාදී බුද්ධිමත්හු යන එන මං නැති, කිසි කෙනකු ඇහුම්කන් නොදෙන විහිළුකාර නිවටයන් බවට පත්ව සිටිති. නින්දා අපහාස ලබන්නෝ බවට පත්ව ඇත. ආණ්ඩු විපක්ෂ භේදය අහෝසි වී නිල විපක්ෂයේ න්‍යාය පත්‍රය ද ආණ්ඩු බලය රැකීම මුල් කරගත්තක් විය. මහ බැංකුව නොරටෙකුගේ අණසකට යටත් වී ග්‍රාමීය බැංකුවකටත් වඩා අසරණ වී ඇත. රටේ ආර්ථිකය රැකීමට නොව මූල්‍ය ස්ථාවරභාවය රැකීමට තබා තමාව වත් රැක ගැනීමට බැරි තැනකට මහා බැංකුව ඇද වැටුණේය. “අප රකිනා තබා තොප සතු ගොනා නොතබා....” ජනයාට බුදුගුණාලංකාරය සිහියට ආවේ ය. අධිපතිතුමා සිය රට බලා සැපත් විය. ලේකම්තුමා සහ නිලධාරීහු රට රටවල ඇවිදින්නට ගියෝය.

සියල්ලට පෙර සහ එසේ සිදුවෙද්දී ජනාධිපතිතුමා ස්ව-කැමැත්තෙන්ම විලංගු ලා ගෙන අවුරුදු හතර හමාරකට පාර්ලිමේන්තුවේ හිරකාරයෙක් බවට පත්ව සිටී. ඒ සියල්ලේ සැලසුම්කරු ලෙස පෙනුණේ ‘ජයම්පති කුමරු’ ය. ඇත්තටම සිදු වුණේ පිටුපසින් සිට ජයම්පති කුමරු මෙහෙය වූ පිරිස කැපූ වළට ජනාධිපතිතුමා ඇද වැටීමය. නොඑසේ නම් ජයම්පති කුමරු විසින් තල්ලු කරනු ලැබීමය. ඒ ජනාධිපතිතුමා කලබලවීම නිසා සහ දුර නොබැලීම නිසා ය. දැන්වත් එතුමාට “පුත දීඝායු, ළඟ නොබලව, දුර බලව” පාඨය තියෙන දීඝිති කෝසල ජාතකය මතක් විය යුතු ය. එහෙත් සියල්ල සිදු වී හමාරය.

බලන බලන අත මේ මහා අර්බුදයමය. ආර්ථිකය අර්බුදය, වෙළෙඳ අර්බුදය, මූල්‍ය අර්බුදය, ඉන්ධන අර්බුදය, සමාජ අර්බුදය, ජීවන අර්බුදය, ආරක්ෂක අර්බුදය, අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය, සෞඛ්‍ය අර්බුදය, ප්‍රවාහන අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ධීවර අර්බුදය, එළවළු ඇතුළු කෘෂි නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම පිළිබඳ අර්බුදය ඒ හැම එකක්ම විසඳන නොව තීව්‍ර කරන සහචර ජාවාරම්කාර දේශපාලන අර්බුදය සහ ව්‍යාකූලතාව මිස ආණ්ඩුවක් පෙනෙන්නට නැත. විපක්ෂයක් ද නැත. ජනයාට වගකියා ඔවුන් සනසවන නායකයෝ ද පාලකයෝ ද නොසිටිති. කෑ කෝ ගසමින් සිටිනා බල කල්ලි මිස අර්බුදය විසඳන ඉදිරි මඟක් වැඩපිළිවෙළක් ගැන හිතන, සකස් කරන සහ ජනයා දැනුවත් කරන දේශපාලන පක්ෂ ද නැත. ර​ටට ‘යහපාලනය’ ගෙනා ජනවාරිවරුන් කොහේ කොතැනක සැඟවුණා දැයි කිසිවකුත් දන්නේ නැත. රට, ජනතාව සහ ජාතිය නිසි ඉලක්කයක් කරා යොමුකොට මේ මහා අර්බුදය විසඳීමට මහජන සංවිධාන ඒකාබද්ධ කොට නායකත්වය සපයන සාර් රුසියාවේ මෙන් බෝල්ෂෙවික් ව්‍යාපාරයක් හෝ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මෙන් ඉන්දියානු ජාතික කොංග්‍රසයක් බිහිවෙන පාටකුත් පෙනෙන්නට නැත. ඉතින් කළ යුත්තේ කුමක්ද?

දැන් ඇසෙන්නේ ‘ජාතික ආණ්ඩුව’ පෙරළා දමා ‘සභාග ආණ්ඩුවක්’ හෝ ‘භාරකාර ආණ්ඩුවක්’ හැදීම පිළිබඳ කතා බහ ය. ඒ කුමකට ද? පවතින ආණ්ඩුව පෙරළා දැමීම හුදු බල-දේශපාලන අරමුණකින් පමණක් සිදු නොවිය යුතුය. මේ ආණ්ඩුව පෙරළා දමා තවත් ආණ්ඩුවක් හදනවානම් ඒ ආණ්ඩුව හුදු තවත් පිරිසකට බලය මාරුවීමක් පමණක් නොවිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය පිළිබඳව සලකා බලා මේ ආණ්ඩුව විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව මා ‘ලංකාදීප’ ‘කිවිදා දැක්මේ’ ම මතු කළ අවස්ථා බොහෝ ය. මේ වසරේ ජනවාරි 12 වැනිදා ලිපිය ඊට එක උදාහරණයක් පමණි. පහත උපුටා දක්වන්නේ ඉන් කොටසකි. “මෙවැනි මොහොතක කළ යුත්තේ කුමක් ද? පාලකයන් අව්‍යාජ ජාතිකවාදී හෝ ස්වදේශිකවාදී වුන් නම් කළ යුත්තේ මේ තත්ත්වය ජාතික අර්බුදයක් ලෙස ගෙන රටේ දේශපාලන ක්‍රමය ඒ අර්බුදයට විසඳුම් සොයන එකක් බවට පත්කර ගැනීමට කටයුතු කිරීමය. එහිදී කළ යුතු පළමු කටයුත්ත වන්නේ අවුල් සහගත ව්‍යාජ ‘ජාතික ආණ්ඩු දේශපාලනය’ මේ අර්බුදයට ප්‍රධාන සහ ප්‍රබල හේතුවක් ලෙස හඳුනා ගැනීමය. ඊළඟට කළ යුත්තේ ඉන් මිදී පැහැදිලි ආණ්ඩුවක් සහ විපක්ෂයක් ස්ථාපිත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් යටතේ මහ මැතිවරණයක් පැවැත්වීම ය.

එහෙත් පෙනෙනා ආකාරයට ඊට ඉඩක් නැත. පිහිටුවා වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ජනාධිපතිවරයාට නැති කළේ මේ ආණ්ඩුවමය. ඊට පෙර, පිහිටුවා වසරක් ගිය තැන හේතු සහිතව පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාමට ජනාධිපතිවරයාට තිබූ අධිකාරී බලය මේ ‘ජාතික ආණ්ඩුව’ විසින් නැති කළේ ‘තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය’ ඉන් රැකෙනවාය යන මුසාව ඉදිරියට දමාගෙනය. එහෙත් එහි සැබෑ අරමුණ වූයේ ජනවාරි සැලසුම්කරුවන්ගේ අභිලාෂ ඉටුකර ගැනීමට පමණක් පොදු අපේක්ෂක ජනාධිපතිවරයා පාවිච්චි කොට ඔහුගේ ධුර කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි කිරීමය. මන්ද එවිට ජනාධිපතිට අවනත නොවන අගමැතිවරයකුට තම සිතැඟි පරිදි පාර්ලිමේන්තුව මෙහෙය විය හැකි නිසාය. පාර්ලිමේන්තුව අද පවතින ආකාරයේ විකාරයක් වීමට ඒ හේතුව තදින්ම බල පා ඇත. ආණ්ඩුවේ නායකයා ජනාධිපති වුවත් ඒ ආණ්ඩුව රටට සහ රාජ්‍යයට එරෙහිව සාහසික තීරණ ගන්නා විට ඊට එරෙහිව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජනයාට ඉඩ කඩ සලසා දීමට වෙනම මැතිවරණයකින් බලයට පත් වූ ජනාධිපතිට නොහැකිය. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයට එදාත් අප විරුද්ධ වූයේ එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලටිනය වන බවට පෙර නිමිති දුටු නිසා ය. දැන් ජනයාට සිදු වී ඇත්තේ රාජ්‍යයත් රටත් දෙකම විනාශ මුඛයට යද්දී අසරණ දෑසින් බලා සිටීමට ය”.

අප එසේ කීවද බොහෝ අයට, විශේෂයෙන් පාලකයන්ට මොළේ පෑදෙන්නේ රටට සමාජයට බොහෝ විනාශ සිදුවුණාට පසුව ය. ඊට හේතුවක් තිබේ. එනම් මහජනයා, රට, සමාජය කොතරම් අර්බුදයට ගිය ද පීඩාවට ලක්වුණද ඒ අර්බුදය සහ පීඩාව පාලකයන්ට දැනෙන්නේ බොහෝ කල් ගියාට පසුවය. එසේ වන්නේ ආර්ථික හෝ සමාජ ප්‍රශ්න නැති පාලකයන්ට අර්බුදයක් දැනෙන්නේ ඒ අර්බුදය තමන්ගේ බල ව්‍යාපෘතියට විනාශයක් අත්කරදීමට ලක ලෑස්ති වන ආසන්න පසුබිමක නිසාය.

කෙසේ වෙතත් භාරකාර ආණ්ඩුවක් පිළිබඳව ඇති සාකච්ඡාව කෙරෙහි මෙරට ජනයාගේ විශේෂ අවධානය යොමු විය යුතුය. රටට අවශ්‍ය වන්නේ සිටින ආණ්ඩු කල්ලිය වෙනුවට වෙනත් ආණ්ඩු කල්ලියක් නොවේ. තවත් ටික දවසක් ගියොත් ඉතිරිවන්නේ රටක් නොව හපයක් බවට ඇසෙන කතා එමට ය. එවැනි කතාවල අරමුණ විය යුත්තේ ඊට කලින් රටේ බලය ගතහොත් තවත් පරම්පරා ගණනකට හම්බ කරගත හැකිවෙනු ඇත, නැවත ඇමැතිකම් ලබාගත හැක යන්න නොව පොදු ජනයාට යහපතක් කිරීම සඳහා වේලාසනින් බලය ලබාගත යුතුය යන්නය. කළ යුත්තේ වේලාසනින් බලය ගෙන වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී වැඩ කණ්ඩායමක් වෙත ආණ්ඩු බලය ලබාදීම ජාතික අරමුණක් ලෙස ගෙන මැතිවරණයක් පැවත්වීමය. ඒ වැඩ කණ්ඩායමට පරණ අවැඩකාරයන් එකතු නොකිරීමට ක්‍රියා කිරීම ජනතාවගේ පැත්තෙන් සිදුවිය යුතු සුවිශේෂ කාර්යභාරය ය.

ඒ භාරකාර ආණ්ඩුව අනිවාර්යයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය අරමුණු කරගත් දූෂණයට සහ අව-කළමනාකරණය ට එරෙහි ජාතික ඉදිරි වැඩපිළිවෙළක් සඳහා තබන පළමු පියවර විය යුතුය. එය එසේ වීමට නම් හදන්න යන භාරකාර ආණ්ඩුවේ නියෝජනය පාර්ලිමේන්තු සහ ඉන් පිටත යන දෙපාර්ශවයෙන්ම සමන්විත විය යුතුය. වාමාංශික කණ්ඩායම් සහ බුද්ධිමතුන් එකී භාරකාර ආණ්ඩු සංයුතියේ තීරණාත්මක අධිකාරී බලයක් සහිත අය බවට පත්කර ගැනීම සඳහා මහජන තෙරපුමක් ඇති කිරීම මහජනයාගේ මහා වගකීමය. භාරකාර ආණ්ඩුවක් යන්න බලකල්ලි අතර බලය බෙදා ගැනීමේ උපාය මාර්ගයේ පළමු පියවර කර ගැනීමට ජනතාව ඉඩ නොදිය යුතුය. බලහවුලක් නොව එය ජනහවුලක් බවට පත් කරගත යුතුය. මන්ද සදාකාලික පීඩිතයන් වී ඇති මෙරට ජනයා ඉන් මුදවා ගැනීමට මෙරට බලහවුල්වලට ඒ තරම් කැක්කුමක් නැති හෙයිනි. මේ ගැන නොසිතා වැඩ කළොත් මෙරට ජනයා 2015 ජනවාරි සහ අගෝස්තුවලදී වැටුණු වළ තවදුරටත් මහා ගිලා බැසීමකට ලක් වී ජන සමාජය අන්ත අසරණ වනු නො අනුමානය.