(මෙහි පළමු සහ දෙවැනි කොටස් මීට පෙර පළ විය.)

සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන සිදු වෙද්දී ගිනිඅවියක්  තබාගෙන සිටිනා පුද්ගලයකු ගැන  සංවිධානාත්මක  අපරාධ විමර්ශන  කොට්ඨාසයට  තොරතුරක්  ලැබිණි. එම තොරතුර ඔස්සේ පොලිසිය හඹා ගියේය. 

මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් මෙන්ම 3.8 රිවෝලයක් සහ උණ්ඩ තුනක් ද පොලිසියඔහු ළඟ තිබී සොයා ගත්තේය.සමීර සේනාරත්න මහතාට වෙඩි තැබුවේ මේ සැකකරු බව අනාවරණය කරගැනීමට වැඩි කාලයක් ගියේ නැත. අහන්නටත් පෙර ඔහු තොරතුරු වමාරන්නට විය.

මේ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු විය.  කොළඹට ආසන්න ප්‍රදේශයක රැකියාවක් කරගෙන ගිය ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කළේ වසර 05කටත් අධික කාලයක් එතැන වැඩ කළ බවයි.  එමෙන්ම ඔහු තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහිවූවෙක් ද විය. සොරකම් කිහිපයකට සම්බන්ධ බවට චෝදනා කරමින් පොලිසිය මීට පෙර ඔහුට නඩු පවරා තිබිණි.

තමා ගරාජයක සේවය කරමින් සිටි බවත්, එහි සේවය කරමින් සිටිය දී කිහිප දෙනකු හඳුනාගත් බවත් කී එම සැකකරු අවසානයේ පවසා ඇත්තේ සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න මහතාට වෙඩි තැබුවේ ද තමන් බවයි.  වෙඩි තැබීමට පැමිණි අනිත් පුද්ගලයා කවුරුන්දැයි කී ඔහු තමන් වෙඩි තැබීමට පැමිණියේ යතුරුපැදියකින් බවත්, යතුරු පැදිය පැදවූයේ අනිත් පුද්ගලයා බවත් පුද්ගලයා බවත් ප්‍රකාශ කළේය.

එම සැකකරුගේ ප්‍රකාශයට අනුව කතාව මෙසේය.

වෛද්‍ය සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඇත්තේ කොන්ත්‍රාත්තුවක් අනුවය. එම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ලක්ෂ දෙකකි. කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා ගැන ද සැකකරු පාපොච්ඡාරණය කළේය.  වෙඩි තැබීමට ගිනි අවිය ගෙනැවිත් දී ඇත්තේ සුදු මහත්තයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකි. ගනුදෙනුව කතා බහ කර ගෙන ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ අවන්හලකදීය.

මෙම අවන්හලට තමා නිතර ආගිය බව කියා ඇති සැකකරු සුදු මහත්තයා අනි අවිය රැගෙන එම අවන්හලට පැමිණි බව ද ප්‍රකාශ කළේය.  සුදු පැහැති ජීප් රියකින් පැමිණි සුදු මහත්තයා ගිනි අවිය ගෙනවිත් දී තිබිණි. ලක්ෂ දෙකේ කොන්ත්‍රාත්තුව අවසානයේ රුපියල් ලක්ෂයකට බස්සවා ගැනීමට සුදු මහත්තයාට හැකි විය. ඊට හේතුව අවිය සැපයූවේද ඔහු බැවිනි.

දැන් පොලිසියට තවත් ප්‍රශ්නයක් ආවේ මේ පාපොච්ඡාරණයත් සමඟය. ඒ සමීර සේනාරත්න මහතාට වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්නයි. මෙම සැකකරුගෙන් කෙතරම් ප්‍රශ්න කළත් ඔහු කීවේ කොන්ත්‍රාත්තුව භාර ගත්තා මිස වෙඩි තැබීමට හේතුව නොවිමසූ බවයි.

ඊළඟට පොලිසිය මේ සැකකරු කියන ආකාරයට යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා ගැන සොයන්නට විය. ඔහු පාතල නායකයෙකි. මේ පාතාල නායකයා ඒ වන විටත් මිය ගොස් සිටි අතර ඒ අනුව සැකකරුගේ ප්‍රකාශය බොරුවක් බව පොලිසියට ඒත්තු ගැන්විණි. සැකකරු මෙවැනි බොරුවක් ගොතන්නේ ඇයි?

කාරණාව පැහැදිලි විය. එනම් නියම සැකකරුවන් අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා අග මුල ගැලපෙන පදිරි බොරු පාපොච්ඡාරණයක් කිරීමට සැකකරුට උපදෙස් ලැබිණි. එම බොරුවේ යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා ගැන සඳහන් නොතිබිණි නම් ඇතැම් විට මේ බොරුව තව දුරටත් ඇදගෙන යෑමට සැකකරුවට හැකියාව තිබිණි.

ගිනි අවිය ගෙනවිත් දුන් සුදු මහත්තයාගේ සිට සියලුම කතා  කිසිවකු විසින් ගොතන ලද බේගල් බව පොලිසිය අනාවරණය කර ගත්තේය.

ඒ අනුව සැකකරුගෙන් යළිත් ප්‍රශ්න කිරීම ආරම්භ විය.  ඒ වන විට වෙනත් නඩුවකට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු හමුදා සාමාජිකයකු ගැන තොරතුරු එළියට ආවේ ඒ අනුවය. එපමණක් නොව මේ නාටකය පිටුපස ප්‍රාදේශීය දේශපාලකයකු සිටින බවත්, නාටකයේ මහ මොළකරු ඔහු බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය.  මුලින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු මාර්තු 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබිණි.

ඊළඟ රාජකාරිය වූයේ ඒ මහමොළකරු ගැන පරීක්ෂණ ආරම්භ කිරීමය.

මතු සම්බන්ධයි.