(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

වාර්ගික ගැටුම්, ආණ්ඩුවේ මන්දගාමීත්වය, සමාජ මාධ්‍ය අවහිර කිරීම, බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය, මහින්ද මෛත්‍රී සාකච්ඡා හා 2020 ජනාධිපතිවරණය ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතායි.


ප්‍රශ්නය- නුවර හටගත් වාර්ගික ගැටුම් පාලනයේදී ආණ්ඩුව අසමත් යැයි ජනතාව අතරේ කතාබහක් තිබෙනවා. ඇත්තටම මොකද වුණේ?
පිළිතුර- ජනතාව අපට දෝෂාරෝපණයක් කරනවා නම් ඊට එක ප්‍රධාන හේතුවක් තිබෙනවා. ලබා දුන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍ය ලෙස පාවිච්චි කරන්නන්ට ඉඩ දීලා තිබෙනවා.  ජාති අතර අවිශ්වාසය සැකය වර්ධනය වන ආකාරයේ ප්‍රචාර දෙපැත්තෙන්ම විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කෙරුණා. ඒක පාලනය නොකිරීමේ වගකීම ඇත්තටම ආණ්ඩුව ගන්න ඕනෑ.

ප්‍රශ්නය- ලබා දුන් නිදහස අයුතු විදියට පාවිච්චි කිරීම කියන්නේ මොකද්ද?
පිළිතුර - සම්මන්ත්‍රණ පැවැත්වීමට මේ රටේ නිදහසක් තිබෙනවා. හැබැයි අපේ රටේ පිළිගත් විශ්‍රාමික හමුදා නිලධාරින් පිරිසක් පහුගිය කාලේ රට වටේම ගිහින් සම්මන්ත්‍රණ තියලා අතිවිශාල බොරු කිව්වා. රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ සුළු ජාතින්ගේ යහපතට බවත්, රණවිරුවන් හිරේ දාන්න යන බවත් කියමින් වැරැදි අදහස් ප්‍රචාරය කළා. මෙහෙම දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රෝධය පතුරලා ජාතින් අතර සැකය තහවුරු කරලා අවසානයේදී දෙන්න තියෙන්නේ පොඩි පණිවුඩයක් විතරයි. දැන් වෙලාව හරි කඩුව ගන්න කිව්වාම ඇති. ඉතින් ඒ පැත්තෙන් ගත්තාම ආණ්ඩුව ෆේල්. ඒ සංවිධානවලට වැඩකරන්න දීමම ආණ්ඩුව ලද ලොකු පරාජයක්. ආණ්ඩුව කළ වැරැද්දක්.

ප්‍රශ්නය - ඉතින් ආණ්ඩුව දිගින් දිගටම ෆේල් වෙන්නේ ඇයි?
පිළිතුර - ඔය සංවිධාන කරන වැඩ නැවැත්තුවා නම් දැන් බණින ජනතාවගෙන් එදත් බැණුම් අහන්න වෙන්නේ අපට. එහෙනම් බණින්නේ නිදහස දීලා සීමා කරනවා කියලයි. හැබැයි ඒ බැණුමට වටිනාකමක් තිබෙනවා. මොකද බැන්නත් රට විනාශයකින් බේරෙනවා. අද බැණුම අහනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ආණ්ඩුව දැන් වැඬේ පටන්ගෙන තිබෙනවා. සෝෂල් මීඩියා තාවකාලිකව තහනම් කිරීමට අපි තීන්දුවක් ගත්තේ ඒ අනුවයි. මේ වෙනකොට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරණ, නුවර හිටියේ ප්‍රදේශවාසීන් නෙවෙයි. මේකෙ මැද ඉදගෙන වෙනත් කණ්ඩායමක් හසුරුවනවා.

ප්‍රශ්නය - නීතිය හා සාමය බාර ඇමැතිවරයාගේ පළමු රාජකාරිය හැටියට අගමැතිවරයා පවරන්නේ පොලිස් කොමිසම ගැන හොයන්න කියලයි. ස්වාධීන කොමිසම්වල ප්‍රතිපලයක් නැද්ද?
පිළිතුර- මේක කොමිසමේ රාජකාරියක්ද කියලා මම දන්නේ නෑ. හැබැයි මේ රටේ බුද්ධි අංශයක් තිබෙනවා. ඔවුන් මේක නිසියාකාරයෙන් හොයලා අදාළ තැන්වලට දැනුම් දුන්නද කියලා මුලින්ම බලන්න ඕනෑ. හිතුමතේ ඇඟිල්ල දිගු කරන්න බෑ වගේම කාට හරි බැනලා අත හෝදාගන්නත් බෑ. මේ රටේ යුද හමුදාවේ, පොලිසියේ බුද්ධි අංශ තිබෙනවා. සෑම පොලිසියකම බුද්ධි අංශ කණ්ඩායමක් ඉන්නවා. අම්පාරේ, නුවර සිද්ධි හරියට ඉහළට දැනුම් දීලාද කියලා හොයන්න ඕනෑ. දැනුම් දීලා නම් ඒ ඉහළ නිලධාරින් දේශපාලන යාන්ත්‍රණය දැනුම්වත් කළාද කියලා හොයන්න ඕනෑ. අන්තවාදී රැස්වීම් ගැන බුද්ධි අංශ කල්තියා අපට අනතුරු ඇඟෙව්වා නම් මේ දේවල් වළක්වාගන්න තිබුණා.

ප්‍රශ්නය- සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරු දෙදෙනෙක් ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවා. විපක්ෂය කියන පරිදි එසේ නම් ඔවුන්ගේ නම් හෙළි කළ යුතු නැද්ද?
පිළිතුර- මම නම් දන්නේ නෑ. ඒ දෙන්නා ගැන රාජිත සේනාරත්න ඇමැතිතුමාගෙන් ඇහුවා නම් හොඳයි. එතුමා නම් දෙක කිව්වොත් ඇත්තටම ඒ අය සම්බන්ධද නැද්ද කියලා අපට කියන්න පුළුවන්.

ප්‍රශ්නය - වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් නව නීති ගෙන ආ යුතු යැයි හෙළ උරුමය යෝජනා කළා. ශ්‍රී.ල.නි.පය පක්ෂයක් හැටියට ඉන්නේ කොතැනද?
පිළිතුර- පැහැදිලිවම. නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රශ්නයේදී ඇතැම් අය ප්‍රකාශ කරන්නේ 2020 දි 2030 දි 2050 දි ආදි වශයෙන් ජනගහණය ගණන් බලමින්. දැන් ඔය රැවුල් වවාගෙන අව් කණ්ණාඩි දාගෙන ජිම් ගිහින් සිංහල ජාතිකවාදය ගැන කතා කරන තරුණයෝ හංදියේ බෝඞ් අල්ලලා පල්ලියට ගල ගහලා හරියන්නේ නෑ. පුළුවන් නම් එන්න ගම් ගානේ යන්න අපිත් එක්ක යැයි ඒ තරුණයන්ට ආරාධනා කරනවා. පන්සල්වල හාමුදුරුවරුත් එක්ක අපි ගම් ගානේ ගිහින් එක දරුවෙක් ඉන්න පවුල්වලට දෙන්නෙක් හදන්න කියලා කියමු. හයියක් නැති පවුල්වලට උදවු කරමු. මුදල් ශිෂ්‍යත්ව දෙමු. එහෙම වුණොත් තමයි අපේ ජාතිය වර්ධනය වෙන්නේ. වෙන ජාතියක් වර්ධනය වෙද්දී අපේ ජාතියේ තරුණයන්ට කඩුවක් දුන්නාට අපේ ජාතිය වර්ධනය වෙන්නේ නෑ.

ප්‍රශ්නය - නීතිය හා සාමය කියන්නේ මේ ආණ්ඩුවේ දැඩි විවාදයට තුඩු දුන් විෂයක්. කෙටි කාලයක් තුළ ඇමැතිවරු සිව් දෙනෙක් පත්වුණා. බුද්ධි ක්‍රියාවලියෙහි අඩුපාඩුවක් තිබේ නම් ආණ්ඩුව තුළ මේවා ගැඹුරින් කතා නොවුණේ ඇයි?
පිළිතුර - මේකට මොකද්ද මම කියන්නේ කියලයි කල්පනා කරන්නේ. උදාහරණයකට විමල් වීරවංශ ගමු. එයාට පාස් පෝට් දෙකක් තියෙනවා. ආණ්ඩුවේ ප්‍රබලයෙකුට කෝල් එකක් දුන්නාම එතුමාගේ දෙවැනි පාස්පෝට් එකෙන් රට යන්න ඉඩ දෙනවා. ගිහින් ආවාට පස්සෙත් නඩුවක් නෑ. හැබැයි ඒ වරදම කළ ගුණරත්නම් රිමාන්ඞ් එකෙන් ඉඳලා හිරෙත් යනවා. මේකෙ තේරුම පහුගිය කාලේ නීතිය හා සාමය අමාත්‍යංශය තුළ නීතීය දෙවිදියකට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඊටපස්සෙ පොලිස්පතිවරයා හරි සර් මම නිලමෙ ගන්නැතිව ඉන්නම් කියලා රටටම ඇහෙන්න කියනවා.

ප්‍රශ්නය- ඒ කියන්නේ නීතිය හා සාමය වෙනුවට විෂය දේශපාලනය වුණා කියන එකද?
පිළිතුර - අපට සිටින ප්‍රතිවිරුද්ධ පක්ෂය දෙකට කඩන්න පුළුවන් නම් දේශපාලනික වශයෙන් අපට කරන්න තියෙන හොඳම දේ ඒකයි. පහුගිය කාලෙ අපේ අතින් වුණේ මේ වැරැද්දයි. ගොඩනැගිලි, බැංකු ගිණුම්, මිග් යානා ආදී ගනුදෙනු, මිනීමැරුම් ගැන චෝදනා එල්ල වී තිබෙන්නේ හිටපු ආණ්ඩුවටනේ. හිටපු ආණ්ඩුවෙ කණ්ඩායමක් ඉන්නේ විපක්ෂෙ. මේවායේ වැරැදිකරුවන් ඇල්ලුවොත් මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප.ය ශක්තිමත් වෙනවා කියලා එ.ජා.පයේ කවුරු හරි හිතන්න ඇති. උපක්‍රමයක් වශයෙන් මේවා අපි හොයන්නේ නැතිව කල් මැරුවොත් මේ දෙගොල්ලා දෙකට බෙදෙනවා. ඒ තුළ එ.ජා.පයට ජයගන්න පුළුවන් කියලාත් කල්පනා කරන්න ඇති. අපේ කට්ටිය හොරු කළොත් අපේ ඡන්ද ටික තමයි දෙකට බෙදෙන්නේ ඒ නිසා ෂේප් න්‍යායෙන් ඉමු කියලා අපේ අයත් කල්පනා කරන්න ඇති. මම කියන්නේ හැමෝම නෙවෙයි. පහුගිය කාලේ අපි කළේ විරුද්ධ කඳවුරෙන් අපට එල්ල වන ප්‍රහාරවලට සහතික දීමයි. ඉතින් දෙගොල්ලොම වරද්ද ගත්තා. දැන් හෝ මේ පක්ෂ දෙකම 2015 ජනවාරි 8 රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න වේගයෙන් කැප වෙන්න ඕනෑ.

ප්‍රශ්නය- ආණ්ඩුවේ ජීවිත කාලයෙන් ඉතිරි වෙලා තිබෙන්නේ අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක්. මේ දේවල් කරන්න කාලය ප්‍රමාණවත් ද?
පිළිතුර - 2020 පැත්තකින් තියලා ජනවාරි 8 ගැනයි අපි හිතන්න ඕනෑ. ඇත්තටම කල් මදි නෑ. මොකද මේ වනවිට සියලු තොරතුරු ගොනුවෙලා තිබෙන්නේ. හරියට තීන්දු තීරණ ගන්නයි තිබෙන්නේ.

ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය විෂය බාරදෙන්නැයි එ.ජා.පයෙන් ඉල්ලීමක් කර තිබියදීත් ඊට වෙනත් අයකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ඇයි එහෙනම්?
පිළිතුර - සරත් ෆොන්සේකා මහතා කියන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය කරන්න බැරි පුද්ගලයෙක් නෙවෙයි. යුද්ධයට විශාල කැපකිරීමක් නායකත්වයක් දුන් පුද්ගලයෙක්. ඉතින් එතුමාට මේක බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. හැබැයි දේශපාලනය කියන්නේ යුද්ධයක් නෙවෙයි. පොලිසිය කියන්නේ සියල්ලන්ටම සාධාරණයක් වන පරිදි පාලනය විය යුතු තැනක්. මේ නිසා අමාත්‍යංශ දෙද්දී දේශපාලන පක්ෂයක් බලන කෝණය වෙනස්වෙන්න පුළුවන්. එ.ජා.පයේ විෂයන් බලාගතයුත්තේ එ.ජා.පයමයි. ඒක ශ්‍රී.ල.නි.පයේ වැඩක් නෙවෙයි.

ප්‍රශ්නය - මැතිවරණ ප්‍රතිපලයෙන් පසුව ආණ්ඩුවෙන් හෝ පක්ෂයෙන් ඉවත්වීමක් ගැන ඔබ ජනාධිපතිවරයා සමඟ කිසියම් සාකච්ඡාවක් කළාද?
පිළිතුර - මේ අය එක්ක අපි යන්නේ නෑ දුමින්ද කියලා ජනාධිපතිතුමා මට කියලා තිබෙනවා නම් මම ඒ වෙනුවෙන් එළියෙත් හිටගන්නවා. ඒ බලාපොරොත්තුව තුළ ජනාධිපතිතුමා තාම සිටිනවා නම් එතුමාව රැකීමට මට දෙපැත්තකින් වගකීමක් තිබෙනවා. එක පැත්තකින් පක්ෂ ලේකම්. අනෙක් පැත්තෙන් එතුමාත් එක්ක ශ්‍රී.ල.නි.පයෙන් එලියට බැහැලා ආපු දෙදෙනාගෙන් ජීවත් වෙලා සිටින එකම කෙනාත් මමයි. ගුණවර්ධන ඇමැතිතුමා මැරුණා. ඉන්නේ මම විතරයි.

ප්‍රශ්නය - ජනාධිපතිවරණය දිනයේ තමන් සැඟවී සිටි බවත් පරාජය වූවා නම් අඩි ගණනක් යට යන්නට සිදුවන බවත් කී ජනාධිපතිවරයා පසුගිය කාලයේ ප්‍රතිවාදීන් සමඟ දේශපාලනික ගනුදෙනුවකට ගියා. දැන් අවදානම් කාලය පහව ගිහිල්ලා ද?
පිළිතුර - සද්භාවයෙන් හදන ආණ්ඩුවකට කොන්දේසි විරහිතව රට වෙනුවෙන් තීන්දු ගන්න අපට පුළුවන්. හැබැයි මේ එකතුවෙන්නේ නඩුවලින් බේරෙන්න නම්, හිරේ යෑමෙන් ගැලවීමට නම්, අසත්‍ය ප්‍රචාර කරලා රට අස්ථාවර කිරීමට නම්, ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ හෙලීමට නම්, 2020 ආණ්ඩුවක් වෙනුවෙන් අපි සියලුදෙනාම අමාරුවේ දාන්න නම් මේවාට එකඟවෙන්න පුළුවන් කමක් නෑ.

ප්‍රශ්නය- එතකොට ප්‍රශ්නය තිබෙන්නේ රාජපක්ෂ පාර්ශ්වයේ සද්භාවය ගැන ද?
පිළිතුර -අපි පහුගිය කාලෙ සද්භාවය දැක්කනෙ. උදේ කණ්ඩායමක් ඇවිල්ල එකක් කියනවා. රාත්‍රී ප්‍රවෘත්තියෙන් අපි දකින්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා අපට පලු යන්න බනින හැටි. මේ සද්භාවයේ තිබෙන්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා නැවත ජනාධිපති වීම විනාශ කිරීම නම් මට එකඟවීමට පුළුවන් ද? අපි කාටවත් එකඟවීමට බෑ. ශ්‍රීලනිපයේ ආණ්ඩු පාර්ශ්වයේ අතිබහුතරයක් සිටින්නේ මේ මතයෙයි.  රටට මතයක් දීලා ඒක අකුලාගන්න මට නම් බෑ. ඊට වඩා හොඳයි ගෙදර යන එක.

ප්‍රශ්නය- ඊළඟ ජනාධිපතිවරණයට ශ්‍රී.ල.නි.ප යෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාම ඔබ යෝජනා කළත් ඇතැමුන් කියන්නේ ජයග්‍රාහී විකල්පය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි. ඒ ගැන හිතන්නේ මොකද්ද?
පිළිතුර - ගෝඨාභය රාජපක්ෂ කොළඹ කුණු ටික ඇද්ද එකත් යුධ ජයග්‍රහණයට ආරක්ෂක ලේකම් වීමත් ඇත්ත. හැබැයි මහලොකු දක්ෂයෙක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂට යුද්ධයේදී වාසිය වුණේ ජනාධිපතිගේ සොයුරා වීම නිසයි. ජනපති අවසරය ලැබෙනතුරු බලා නොසිට නිවැරැදි තීන්දුව නිවැරැදි වෙලාවට ගන්න පුළුවන් වුණා. කොළඹ කුණු ඇද්දේ කවුද? හමුදාව. නාගරික සංවර්ධන අධිකාරියටත් හමුදාව දාගත්තා. කෘෂිකර්ම ඇමැති හැටියට මටත් ත්‍රිවිධ හමුදා ශක්තිය දුන්නොත් මමත් රටේම කුඹුරු ටික අස්වද්දනවා. කිසිවක් වුණේ නැහැයි මම කියන්නේ නෑ. එතුමා වැඩ කොටසක් කළා. අපි ඒකට ගරු කරනවා. හැබැයි ඒ සියලු බලය පාවිච්චි කරලා කරපු වැඩ සළකලා ඊළඟ ජනාධිපතිවරණයට සුදුසු යැයි කියනවා නම් පිස්සුවක් තියෙන්න ඕනෑ.

ප්‍රශ්නය- ඔබ සිතන්නේ පළමුව පැමිණිය යුත්තේ ජනාධිපතිවරණයක් කියාද?
පිළිතුර - ඒක නීතිය අනුව විය යුත්තක්. ඒකට දිනයක් තියෙනවා.

ප්‍රශ්නය- ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්?
පිළිතුර - එහි ක්‍රමවේදය නීතියේ පැහැදිලිව තිබෙනවා. ඒ වකවානුව එනවිට වඩා සුදුසු දේ අපට කරන්න පුළුවන්. ඒකට දැන් ඉඳලා කලබල වෙන්න ඕන නෑ. මේ රටට කෙළවිලා තියෙන්නේ මාධ්‍ය විසින් ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන අනාවැකි කියලා වෙන්නැති දේවල් ගැන මහා චිත්‍ර ඇඳීමෙනුයි. මාධ්‍යයේ තිබෙන නරක පැත්ත ඕකයි.

ප්‍රශ්නය - භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තහවුරු කිරීමේදී මේ ආණ්ඩුව යම් වැඩ කොටසක් කළ බවට දේශපාලන විචාරකයන් යම් කීර්තියක් ලබාදුන්නා. හැබැයි ඒ ආණ්ඩුව දැන් සමාජ මාධ්‍ය අවහිර කරලා. ආණ්ඩුව අඩියක් ආපස්සට ගත්තා නේද?
පිළිතුර - අංගොඩ ඉන්න ඕනෑ පිස්සෙක් පැනලා ඇවිත් මහා දර්ශනයක් කියලා රට ඉස්සරහා පිස්සු කෙලිද්දී ඒකට ඉඩදීම මානව හිමිකම් ආරක්ෂා කිරීමක් නෙවෙයි. දෙකෝටියක් මිනිස්සුන්ගේ මානව හිමිකම් ඒකෙන් උල්ලංඝනය වෙනවා. පිස්සො ඉන්න ඕනෑ පිස්සන් කොටුවේ. මේ වෙන්නේ වෙන්න ඕනෑ නැති දෙයක් නම් ඒක පාලනය කරන්න ඕනෑ. මේක පාලනය නොකර බෑ.

ප්‍රශ්නය - කොච්චර කාලයකට පාලනය කළ යුතු යැයි ඔබ හිතනවද?
පිළිතුර - සමාජ මාධ්‍ය දිගටම පාලනය කළ යුතු නෑ. ඒක ඉතා හොඳ දෙයක්. ආණ්ඩුව බලයට ගේන්න උදවු කළා. ව්‍යාපාරවලට එය අද සම්බන්ධ වෙලා තිබෙනවා. නෙට්වර්ක් කරන්න පුළුවන්. හැබැයි මේකෙ නරක පැත්ත බලන්න. අපට විරුද්ධව එක බොරු පුවතක් මවනවා. ඊටපස්සෙ ඒක වෙබ් සයිට් විස්සක ගහනවා. අපි බයවෙනවා. ඊටපස්සේ අපිට කතා කරලා ඇමැතිතුමා අපට මාසෙකට මෙච්චර විතර ඇඞ් එකක් දෙන්න  ඕවා කතාකරලා විසඳගන්න පුළුවන්නේ කියනවා. මේ තක්කඩිකම නවත්තන්න එපැයි. මාධ්‍ය නිදහස කියලා මිනිහෙක් විනාශ කරනවා කියන්නේ හෙණ ගහන අපරාධයක්. ලසන්ත වික්‍රමතුංග මහත්තයා වීරවංශ මහත්තයා තම බිරිඳට ලෙන්ගතුව ලියූ ලිපිය පත්තරේ පළ කළා. ඒක හරිද? මිනිහෙක් ගෑනියෙක්ට ආදරේ ප්‍රකාශ කරලා ලියපු ලියුමක් පත්තරේක පළ කරනවා කියන්නේ හෙණ ගහන්න ඕනෑ වැඩක්.

ප්‍රශ්නය - හැබැයි ආණ්ඩුව බලයට එද්දී පොරොන්දුව දුන්නේ ලසන්ත ඝාතකයා නීතිය හමුවට පමුණුවන්නයි. අවුරුදු තුනක් ආණ්ඩුව මොනවද කළේ?
පිළිතුර - පරීක්ෂණවල අභ්‍යන්තර කාරණා නම් මම දන්නේ නෑ. සැලසුම්සහගත මිනී මැරුමක් කරන්නේ හොයන්න බැරි වෙන්නයි. සාමාන්‍ය මිනී මැරුමයි සැලසුම්සහත මිනී මැරුමයි හඳුනාගන්න මම විශාරදයෙක් නෙවෙයි. තාජුඩීන් ඝාතනය ගැනත් නොයෙක් කතා තියෙනවා. එයාගෙ පර්ස් එක තිබුණෙ ගිනිගත්ත වාහනෙන් එලියේ.  ඇට කටු නැති වෙලා. මේවා මේ අපෙන් අහන්න ඕනෑ ප්‍රශ්න නෙවෙයි. කෝ මේ පරීක්ෂණ කියලා පොලිසියෙන් අහන්න.

ප්‍රශ්නය- දේශපාලනික වශයෙන් එල්ල වන පීඩනය හමුවේ ආණ්ඩුව පරීක්ෂණ මෙහෙයවන්නන්ට නිසි සහයෝගයක් දෙනවාද? ප්‍රශ්නය පොලිසියේද ආණ්ඩුවෙද?
පිළිතුර - ඒවාට ඕගොල්ලො ගහන්න. නීතියෙන් ඔප්පුවෙන්න යන දෙයක් තියෙනකොට නීතියේම හිලක් පාවිච්චි කරලා අභියෝග කරද්දී ඕගොල්ලො ඒවාට ගහන්න. ආණ්ඩුවටත් ගහන්න. මේ හිල් වහන්න කියලා බල කරන්න. එක මිනියක් මැරුණාට පස්සෙ තව දහයක් මරන්න තාමත් චාන්ස් එක තියෙනවා නම් අපටත් ගහන්න.